31 January 2015

දේශ හිතයිශී විනෝද චාරිකා ....


පෙරවදන : අනුන්ගේ කතාබහට කන යෙවිම මගේ එක නරක පුරුද්දකි . පෙර දිනයක තේ කඩයකදී , යාබද මේසයේ කතාබහක් මා කණ  වැකුණි .


ආ කොහොමද කාලෙකට පස්සේ 

කොහොමද කොහොමද 

මොකද කරන්නේ දැන් , තාම අර උපාසකම්මලා දඹදිව  පටවන  බිස්නස්  එකද ?

ඒ ලයින් එකේම තමා හැබැයි , දඹදිව නෙමෙයි .. මෙන්න මගේ බිස්නස් කාඩ් එක 

දේශ හිතයිශී  චාරිකා ...!   ඒ කිව්වේ  මුලින් ආගම වික්කා , දැන් ජාතිය විකුනනවා ?

ඔන්න ඔන්න උඹත් රෝන්  ට්‍රැක් ..

හරි හරි එහෙනම් කියපන්කෝ ..මොකක්ද ඔය කන්සෙප්ට් එක 

මෙහෙමයි , ඉස්සර අපි කලේ කට්ටියගේ බුද්දාලම්බන ප්‍රීතිය වැඩි කරන ට්‍රිප් නේ , දැන් අපි බැහැලා ඉන්නේ ජාතියාලබ්බන එක වැඩි කරන ට්‍රිප් වලට 

මොකක්ද බන් ඒ කුනුහරුපේ...ජාතියා ලබ්බේ  එක ?    ඒ කියන්නේ අනුරාධපුරේ පොළොන්නරුවේ සීගිරි  දඹුළු  එහෙමද ?

පිස්සුද , මුලින්ම අපි පටන් ගත්තේ ගිහින්  යුද්දෙන් පස්සේ උතුරේ ගෙනිහින් ,.. යාපනේ , කලටි කැඩිච්ච තල් ගස්, ප්‍රභාකරන්ගේ බංකරේ , නන්දිකුදාල් පෙන්නුවා , ගාන කඩා ගත්තා 

ඔව් ඔව් ඇයි අපිත් ගියේ ...කට්ටිය වෑන්  එහෙක දා ගෙන , "රණ බිම මැරුණේ සිංහලයෙකුනම් .... අපිට එපා බිම් අඟලක්වත් ...රත්න දීප ජන්ම භුමි ..." වගේ සිංදු  තියෙන කැසට් එකක් පුල් බ්ලාස්ට් දාලා කන පැලෙන්න..ගිහින් අපි ආමි කඩේකින් ජැප්නා ක්‍රැබ් කරී කාලා ...රියෝ අයිස් ක්‍රීමුත් කාලා ආවේ....තාම ඒවා බලන්න මිනිස්සු යනවද ?

නෑ  මචන්  දැන් එහෙ මිනිස්සු වැඩිය යන්නේ නෑ ... ජාතී ආලේ දැන් මෙහෙන් ගන්න පුළුවන්නේ ...දැන් රියෝ අයිස්  ක්‍රීම්  තියෙනවා වැල්ලවත්තේ ..

ඉතින් දැන් මොකද කරන්නේ 

අපි අලුත් වැඩක් පටන් ගත්තා ... දැන් ගෙනියනවා මැදමූලන 

ට හි ....( වාරණය කරන ලදී )...මොකක් කිව්වා ?  

 වන්දනාවේ යමු ප්‍රේමි ....ලා ...නන නන නන නා 
 වැඩෙන් ටා වැඩෙන් ටා හිතේ ජාත්‍යාලේ ඒ ඒ 

මැද මුලන ගෙනියනවා //

නන නන නන පෙන්වනවා //

ඔව් ඔව් ...අර පරණ වෑන් කට්ටේම  කට්ටිය දාගෙන , අර සින්දුම කියාගෙන .. ...... ගිය සුමානේ ගියා මම කට්ටියක් එක්ක ...තව "ආයුබෝවන් මහා රජාණෙනි " කැසට් පීස්  එකත් ගෙනිච්චා , හැබැයි ඒක  පහු ගිය දොහේ ප්ලේ කරලා කරලාම සවුත්තු  වෙලා......



මොනවද එහෙ තියෙන්නේ ?

අයියෝ , උඹ ලංකාවේද ඉන්නේ ...දැන් හැමෝම ට්‍රිප් යන්නේ එහෙනේ ...අර වීරවංස මහත්තයා පාර්ලිමේන්තුවේත්  කිව්වේ ....නිකං  ආයේ පරණ රජ කාලේ ට ගියා වගේ ..හන්දියේ පොල් කොටං  වලින් ඉස්ටේජ්  එකක් ගහලා රජ කතා පෙන්නවා ....ගොඩක් වෙලාවට ඔක්කොම චරිත කරන්නේ මහින්ද මහත්තයම තමා ...එය හොඳ ඇට්ටර්නේ කොහොමත්..  ඇවිල්ලා ඉස්ටේජ්  එකේ රවුමක් දෙකක් කැරකිලා ...තනියම කඩු  පයිට් එකක් කරලා .... විරහ ගීයක් කියනවා , කදුළු ඇස් වලින් පනින්න ....ඇඬේනවා ..

නෑ ...ඉතින් උඹලා ගිහින් මොකද කලේ  .....

මුලින්ම අපි හාල් පොල් , සීනි ටිකක් අරන් ගිහින්  මහින්ද මහත්තයා  බැලුවා ... එහෙම කියලා ඉතින් රස්සාවෙන් හම්බු කරගත්ත දෙයක් තියෙනවා කියලා යෑ උන්දා  .... අපි කළගුණ සළකන  මිනිස්සුනේ .... කුරහන් තලපයක් හපලා පොඩ්ඩක්  කයියක් ගහ ගෙන ඉඳලා ... 

සිරන්ති නෝනා හිටියේ නැද්ද ?

හිටියා හිටියා ...එදා එයාගේ උපන්දිනේ ...ඉතින් කුස්සියේ කේක් එකක් හදනවා , කෑල්ලක් කාලා යන්න ඉන්න කිව්වා ..අපිට පරක්කු වෙන නිසා අපි බෑ කිව්වා....එන ගමන් ඕන්  තංගල්ලේ ජනමුල තේ කඩේ ගාව නැවැත්තුවා ...මේන් නාමල් ළමයත් බංකුවක ඉඳ ගෙන කහට කෝප්පයක බිබී දාන් අදිනවා ...එතනින් තේ බීලා  ..අපි එන්න ආවා ....

සෙනග හිටියද සූ  ගාලා ?

ඒ ගැන නම් මොකට කියනවද ...සූ ගාලා තමා 

ඇයි හිටියේ නැද්ද ,

සූ ගාලා ...

හ්ම්ම් ... වෙන මොනවද ඉතින් බලන්න තියෙන්නේ 

 තැන තැන අර පොඩි කඩ දාගෙන පෙරහැර කාලෙට වගේ මිනිස්සු සෙල්ලම් බඩු  , පිඟන් කෝප්ප , එහෙම ලාබෙට විකුනවා .... මමත්  ගත්තා පොඩි එකාට ලම්බෝගිනියකුයි හෙලිකොප්පරෙකුයි ...

දැන් ඉතින් ඔය ගමනෙන් අන්තිමේදී කට්ටියගේ ජාති ආලේ වැඩුනද 

ඒක නම් මම දන්නේ නෑ  ....අඩුම ගානේ ලීස් එකේ ගාන , ඩ්‍රයිවර්ගේ පඩියවත් කවර්  කර ගන්න ඕනෙනේ 

ඒකත්  ඇත්ත ...හැබැයි පුතෝ ...මේ යහ පාලන කාලේ ...පරිස්සමෙන් රාලේ ...

හරි හරි ...ඒ වුනාට ...කොන්සේප්ට් එකක් හැටියට නම් මේක තව විකුණ ගන්න  පුළුවන්..... ගන්න මිනිස්සු තව ඉන්නවා ... ට්‍රිප් යන්න අලුත් අලුත් ලොකේෂන් හොයා ගන්න විතරයි තියෙන්නේ 

.හ්ම්ම් ....අපිත්  යන්න ඕනේ  නිවාඩුවක් අල්ලලා  මැදමුලන 


25 January 2015

අනාවැකි 101 // predictions for dummies

මේ සටහනට නිමිත්ත වුයේ පහු ගිය සතියේ මා සවන් දුන් චූටි  මල්ලි සහ පොඩි මල්ලි ගුවන් විදුලි නාටකයේ පියවරකි . එදා "අද කතාව " ජෝතිර්වේදියා 2 වුයේය . ඉන් කියවුනේ එක අනාවැකියක් කියන්නට ගොස් , වැඩසටහනේදී ෆෝම් වී , ඕන නැති කතාවක් කියා, අනාවැකිය වැරදි දැන් ගෙදරින් එළියටවත් බැසීමට නොහැකිව සිටින  ජෝතිර්වේදියෙක් ගැනය . මේ කවුරුන් ගැන දැයි ඔබට සිතා ගත හැක . තුන් වේලටම දිව්‍යභෝජන කෑවොත් , එය පවා ඔක්කාරෙට එන බැවින් දේශපාලන කතා බහ අයෙක් වර්ජනය කරන මේ සමයේ , නිර්දේශපාලනිකව , තාර්කිකව  පමණක් මේ අනාවැකි කීම ගැන විමසීමට සිතිමි . මෙය , ඒ අවස්ථාවේදී තිබු දේශපාලන තත්වය ඇත හැර විමසීම කිසි සේත්ම නිරවද්‍ය නොවුනද , විහිලුවට වාගේ එහෙම කරමු . මාගේ පුද්ගලික විශ්වාස , අවිශ්වාස කුමක් වුවද , ජෝතිෂ්‍ය විෂයක් ලෙස විහිළුවට ලක් කිරීමද මෙහිදී අදහස් නොකරමි . 

ප්‍රවේශයක් ලෙස මෙහෙම සිතමු . . දැන් අර ජෝතිපාල නම් ජෝතිර්වේදියා නිවෙසට වී සැඟවී සිටින්නේය . ලඟම මිතුරන් ඔහුට , කළුවර වැටුන පසු ගොස් , හාල් පරිප්පු ටිකක් දී එන්නෝය . මේ අතරතුර පත්තර වාර්තාකාරියක් ඔහු හමු වීමට යන්නේ ඔහුගේ පැත්තෙන් කතාව අසා ගැනීමටය . 

සම්මුඛ සාකච්චාව ආරම්භ වන්නේය 

ජෝතිපාල මහතා ආයුබෝවන් කොහොමද වාසේ දේසේ 

අනේ යන්න නෝනා යන්න 

හිහිහි , පොඩි විහිළුවක් කළේ  ..අපි කෙලින්ම ප්‍රශ්නෙට බහිමු  ඇයි  ඔබ එවැනි අනාවැකියක් කලේ 

මෙහෙමයි ඒ අවස්ථාවේදී ප්‍රථිපල දෙකෙන් එකයි බලාපොරොත්තු වෙන්න තිබ්බේ එක්කෝ එය දිනනවා , නැත්නම් මෙයා දිනනවා . ඒ කියන්නේ 50% සම්භාවිතාවයක් . මම ඉතින් එක පැත්තකට ඔට්ටු ඇල්ලුවා 

එහෙම අඩු සම්භාවිතාවයක් යටතේ එච්චර ලොකු ඔට්ටුවක් ඇල්ලීම ඥානාන්විත ද ?

අඩු සම්භාවිතාවයක් ? නෝනා දන්නවද ඔය ඕනේ කැසිනෝ ක්‍රීඩාවක දිනීමේ වැඩිම සම්භාවිතාවය කීයද  කියලා ? 42% ඉඳන් 46% වෙනකන් .. කොච්චර නම් මිනිස්සු ඔට්ටු අල්ලනවද ? ලොතරැයි වල දිනීමේ සම්භාවිතාවය මිලියන ගානකට එකයි ඒත්  ලොතරැයි කීයක්  විකිනෙනවද ? ඉතින් 50%ක ඔට්ටුවක් ඇල්ලීම ගැන වැඩිය හිතන්න වුනේ නෑ  ... දිනුවානම් වාසි ගොඩයි . පැරදුනොත් , පොඩ්ඩක් කල් මිනිස්සු මඩ  ගහයි ඊට පස්සේ මිනිස්සුන්ට අමතක වෙලා යනවා .හැබැයි මට පොඩි වැරදීමක් උනා 

මොකක්ද අරයා දිනයි කිව්ව එකද ?

අපොයි නෑ ... නෝනා , නිකන් හරි එය පරදියි කියලා එය දිනුවානම් මම ඉවරයි නේ ... එයා පැරදුනොත් මම මොනවා කිව්වත් මට ලැබිල තිබ්බ දේ නැති වෙනවා නේ ... එයා දිනයි කියලා මෙයා දිනුවොත් , මට වෙන හානිය අවමයි ...ඉතින් මට කියන්න තිබ්බ එකම අනාවැකිය එයා දිනයි කියලා තමා 

එහෙනම් මොකක්ද වැරදුනේ ?

මෙහෙමයි... මමයි , චන්දරේ මල්ලියි දෙපැත්තට අනාවැකිය කියන්න තිබ්බේ ..ඒත්  එක්කම පොඩි සම්මුතියකට ඇවිල්ල හිටියානම්  අපි දෙන්නා , අනාවැකිය වැරදෙන කෙනා ගැන අනිත් කෙනා " ඒ අනාවැකිය වැරදුනාට ඒ අයියා දක්ෂයෙක් , වෙන බාහිර හේතු තියෙන්න ඇති  ඒ වගේ දෙයක් කියන්න " ....වගේ කතාවක් කිව්වා නම්,  ඒ කඹේ දිගේ එල්ලිලා ගොඩ යන්න තිබ්බා 

ඔබේ අනාගත බලාපොරොත්තු මොනවද ?  වර්ල්ඩ් කප්  එකත් ළඟ එනවා 

එක ටිකක් අමාරුයි නෝනා , මොකෝ සම්භාවිතාව අඩුයි නේ , ඉතින් අවසාන තරඟය වෙනකන් ඉඳලා තමයි බලන්න ඕනේ . හදිස්සියේ වත් ලංකාව ආවොත් අවසාන තරඟෙට කෙලින්ම කියනවා ලංකාව දිනනවා කියලා 

එතකොට 

ලංකාව දිනුවොත් ඇතිවෙන රැල්ලෙන් මටත් ඔරුව පැද ගන්න පුළුවන් . ලංකාව පැරදුනොත් කවුරුත් එන්නේ නෑනේ මගේ සාස්තරේ හින්දා තමයි පැරදුනේ කියන්න ... මැතිව්ස්ට , සංගාට , මයියට , බනියි ...එහෙම නැත්නම් නවීන්ට බනියි ...නැත්නම් මණ්ඩලේට බනියි ....නැත්නම් අරයට බනියි ...මම බේරිලා .... ඔන්න ඔහොමයි නෝනා අනාවැකි කියන්නේ 

20 January 2015

දූසන අල්විස් මාමා වෙත // Who wants to be a government witness ?

අර පොඩිහිටියාගේ අප්පොච්චා , මගේ මිතුරා , ඔබට මතකද ? (මෙතනින් මතක් කර ගන්න )
ඔහු මේ ලඟදි දවසක කතා කළේය . කතා බහ අතරතුර මම නිකමට වාගේ ඇහුවේ "පොඩි එකා කොහොමද " කියලාය .

"අනේ මචං ඌත් එක්ක කතාකරන්න අපිට බෑ , නියම ඇම්ඩන් "

"ඒ මොකෝ "

"මේ ඊයේ පන්තියේ ටීචර් කියලා රාජකාරී  ලිපියක් ලියන්න කියලා , මූ  ලියලා මාර ලියුමක් . ඔන්න මම එවුවා බලපන්කෝ "


දූසන අල්විස් මයා 
බයිබයි කොමිසම 

කොළඹ 

දයාබර දුසාන් දූසන අල්විස් මාමේ 

මේ ලියන්නේ පහුගිය කාලයේ සිදුවූ මහා පරිමාණ දුෂණයක් ගැන ඔබ දැනුවත් කිරීමටය . මෙය සිදුවුයේ අපේ පංතියේය . මේ චෝදනාව ගොනු කරන්නේ අපේ පන්තියේ මහාම මහා දූෂක ජයසුමන හෙවත් ජයියා  ගැනය . ඌට ගෙදරට කියන්නේ බබා කියාය . 

ගිය ඔක්තෝබරයේ අපේ ඉස්කෝලේ වාර්ෂික දානමය පිංකම තිබුනේය . එයට එක එක්කෙනා කම හදා ගෙන ආවෝය .මම  ගෙනිච්චේ ගොටු කොළ  සම්බෝලයක්මි . අපේ තාත්තා රජයේ සේවකයෙක් නිසා ඔය මස් මාළු ගෙනෙන්ට එහෙම අත  උස්සන්න එපා යයි , මට ස්ථාවර නියෝගයක් අපේ ගෙදර විධායක ජනාධිපති , අම්මා  කියා තිබෙන නිසා , මම කරෝල බැදුම් හෝ හාල්මැස්සන් බැදුමකටවත් අත නොඋස්සුවෙමි . 
ටවුමේ ග්‍රෝසරියේ මුදලාලිගේ පුතා , වරුණ ගෙනාවේ කටලස් ය . ඒවායේ පුසුඹ දැනුනාම මට එකක් ගිලින්න හිතුනේය . ඒත්  අපේ ගමේ පන්සලේ හාමුදුරුවෝ , ගෙදරට දානෙට ඇවිත් හොඳ බත් කන්දක් වලඳා , පෘට් සැලඩ් , අයිස් ක්‍රීම් , වටලප්පන් ඔක්කොමත් වලඳා , ඉන්පසු කෝලිකුට්ටු වහන්සේ කෙනෙකුත් වලඳා , දේශනා කලේ සාංඝික නොකළ කෑම  කෑවොත් ටක්කෙටම අපායේ යනවා කියලාය . මට එය  මතක තිබුනේය . 

ඒත්  එතනට ආ ජයියා දඩස් ගා එක කට්ලස් එකක් ගිල්ලේය ඉන්පසු තව එකක් ගිල්ලේය . මම ඔහුට සංඝික කතාව කියූ විට,  ඌ කිව්වේ උගේ වාසගම සංඝදාස නිසා , දැන් සංඝිකයි කියාය . ඔන්න ඔහේ ඕනේ එකක් කියා මමද එකක් කටේ දා ගත්තෙමි .ටීචර් පන්තියට එන විට මගේ කටේ කටලස්ය , ජයියා  පෙනෙන්නට හිටියේ නැත . අයියෝ මගේ ඉරණම අර සුමනදාස අංකල්ගේ වගේ සෝචනීය විය 

මෙපමණක් නොවේ ජයියාගේ දුෂණ රැසකි . මිට අමතරව ජයියා  භීෂණයද පතුරනවාය . අපේ  පන්තියේ අයිස්චර්යා කියා ගෑල්ළමයෙක් සිටිනවාය . ඈ  පැත්තෙන් බැලුවාම ජැකලින් වාගේය . මම හැම තිස්සෙම පැත්තෙන් බලන්නෙමි . ඇයත්  මට ටිකක් කරුණාවය . දවසක් මම ඇගේ  අතින් අල්ලන් ඉඳිද්දී . ඇය සමග පාඩම් වැඩක් ගැන කතා කරමින් සිටිද්දී එතැනට  ආ ජයියා , ඌ අයිස්චර්යයේ අයිස්චර්යාගේ අයිතිකාරයා කියා , මගේ කණට  ගැසුවේය .

මාමේ මේ ලියුම ලියන්නේ මේ හැම තැනම යහ පාලනේ පැතිරෙන නිසාය . කොටින්ම අපේ තාත්තා දවසක් පොඩ්ඩක් මතට තිත තියාගෙන ඇවිත් , රෑට කන්න තිබුනේ පරිප්පුයි වැටකොලුයි  පානුයි නිසා අපේ අම්මාට සද්දයක් දැම්මේ , "මේකද තමුසේගේ යහපාලනේ " කියාය . මාමේ මේ ලියුම ලියන්නේ හැමෝම මේ දවස් වල දුෂණ ගැන මාමාට  ලියන නිසාය . මා ඉල්ලා සිටින්නේ ජයියා ගැන කඩිනමින් විමර්ශනයක් කරන්නට කියාය . උන්ගේ ගෙදර ලම්බෝ ගිනියක් ඇත්දැයි , ඇත්  දළ කන්ටේනර් , උගේ මුහුණ ගහපු පිඟන් සෙට් එකක් එහෙම ඇත්දැයි මට සැකය . ඌ රට පනින්න ඉඩ ඇති නිසා ඉතින් ඉක්මනින්ම ඒ පරීක්ෂණය සඳහා පොලිසිය  වන්ෂෝට් ව එවන්නැයි ඉල්ලා සිටිමි . 

මාමලා  දැන් ජයියාව අල්ලන්න ගියාම,  ඌ මගේ ගැනත් විවිධ චෝදනා ඉදිරිපත් කරන්නට ඉඩ ඇත . ඒවා ගණන් ගන්නට එපාය . ඒ කිමද යත් , මම  රජයේ සාක්කි කාරයෙක් වීමට කැමැත්තෙන් සිටින බැවිනි . අම්මා දවසක් ප්‍රවෘත්ති බලා ඇහුවේ  "යකෝ ඔක්කොම සාක්කි කාරයෝ උනාම , කෝ වැරදි කාරයෝ කියාය " අපේ තාත්තා අම්මාට  තතු පහදා දුන්නේ එය ධර්මිෂ්ට සමාජයක් කරා යන ක්‍රමයයි කියාය . ඒ කොහොමද කියා  ඇසුවාම ඔහු කීවේ  ඔක්කොම සාක්කි කාරයෝ උනාම වැරදි කාරයෝ නෑ , වැරදි කාරයෝ නැති තැන වරදක් තියෙන්න බෑනේ කියාය. "අනේ තමුසේගේ  ලොජික් " කියා අම්මා සභාව විසුරවා හැරියාය .

ඉතින් මාමේ මම මෙතනින් නවතින්නම් . 

මිට විශ්වාසී 

පොඩි එකා 

පලි : මම මේ අමාරු සිංහල වචන කොහෙන් ඉගෙන ගත්තාදැයි මාමා හිතනවා ඇති . පහුගිය ටිකේම බැලුවේ දේශපාලන සංවාද නිසා මගේ සිංහල සද්දකෝෂය පෝෂණය වෙලාය 

17 January 2015

ජයග්‍රහණයේ තාත්තලා සහ වෙනත් කතා (ජනාධිපතිවරණයේ අතුරු කථා - අවසාන කොටස )

පරාජය අවජාතකව හිඳිද්දී . ජයග්‍රහණයේ දහසක් පියවරු ජාතකයට හිමිකම් කීමට ඉදිරියට එන සමයයි මේ . (නමුත් මා දන්නා ප්‍රජාතන්ත්‍රවාදයේ පරාජිතයන් නොමැත . බහුතර මතයට හිසනමා , ඉන් පසු ඒ තීරණය දිනවීමට සැවොම අප කැප විය යුතුය ). අපි එවැන්නන්  කිහිප දෙනෙක් සමග කතා කළෙමු .

ෆේස් බුකියේ මිතුරන් 867ක් සිටින සමිල සුදේශ් :  අයියේ මම අනුර කුමරගෙයි , සන්ජන් සාමනායකගෙයි කතා හිටු කියලා සෙයා  කළා . අපි මේ මයිතිරි යුගේට  ඉතින් ඒ දවස් වල බැහැල තමා වැඩ 

ෆේස් බුකියේ පෝස්ට්  ලයික් කිරීම තම විනෝදාංශය  කරගත් හක්මන ලැම්බට් මයා : අපිත් පෝස්ට්  එකක් නෑර ලයික් කළා . රජයේ සේවයේ කියලා බැලුවේ නෑ පොත අත්සන් කරපු වෙලාවේ ඉඳන් ඕප්  වෙනකන් , ඔන්න තේ බොන්නයි දවල්ට කන්නයි ඇරුනාම බුකියෙමයි හිටියේ . මේ දුසනේ නාස්තිය නැති කරන්න එපා යෑ ?  ඉතින් එක අතකට ඒකත් මහඟු සේවයක් නේ 

තුන්මං  හංදියේ ලංසි ගෙදර මිසිස් ඩොරීන් : ටු ටෙල්  යු ද ට්රුත් , වී ඔෆ්කෝස්  රුපවාහිනී  චැනල් එක බැලුවෙම නෑ  ..ඩයලොග් ටීවී තියෙනවනේ ...නැත්නම් ක්‍රිස්මස් දවස් වල ආපු අයට වුනත් මයින්දට වෝට් කරන්න හිතෙනවනේ ...  වී හැව්  ටූ  තින්ක් ඔෆ් ද කන්ට්‍රි නේ 

බඩා ගේ කඩේ,  බඩා  මුදලාලි මහතා . මහත්තයෝ ඔන්න ඉතින් අපි නම් අපේ යුතුකන්  ඉටු කළා . ආප්පමයි විකුණුවේ . පහක් ගත්තම එකක් නිකන් දුන්නා 


අපේ ආච්චි : පුතේ මම දෙයියන්ට පින් දෙන වෙලේ කිව්වා , මයිතිරි මහත්තයා පැරදුනොත් නම් ආයේ මගෙන් නම් පින් බලාපොරොත්තු වෙන්න එපාය කියලා . දෙයියෝ බය වුනා 
______________________________________________


මිස්ට පෙරේරා පත්තර ගොඩට ගිනිකුරක් ගසා , බිමට වැටුණු අඹ කොලද ඉදලෙන් අතුගා ඊට ලංකළේය . ඇවිලීමට පටන් ගන්නා ගිනි ගොඩ දෙස බලා ගෙන සරම ගැට ගසා ගත්තා පමණි , බරාස් ගාගෙන මිදුලේ බ්රේක් ගැසුවේ පොලිසියේ ජීප් එකය . එයින් බැස  ගත්තේ ග්‍රාමසේවක මහතාය  

"හා හා මොනවද කරන්නේ "

"මේ ඉරිදා පත්තර ටික පුච්චලා දාන්න කියලා "

" තමුසේ කොහෙද වැඩ කරන්නේ , මේ දුෂණ ගැන තියන පත්තර නේද .."

"නෑ  නෑ  වැඩි හරියක්ම ලහි පිට "

" පයිල්ස් තියෙනවද ?"

" අනේ ඔව් මහත්තයෝ , මේ කරුමෙට ... සිංහල වෙදකම් කරන්නේ දැන් "

ඔහුට කියන්නට ලැබුනේ එපමණකි .....

____________________________________________________

මේ සැරේ  බලෙන් කිරිබත් කවන්නට බැරිය . ආප්ප දන්සල් අමාරු වැඩය . ඉතින් මේ දවස් වල කට්ටියගේ අලුත්ම විනෝදාංශය අල්ලස් හා දුෂණ කොමිසමට පැමිණිලි කිරීම වේ ගෙන එනවා වාගෙය . ඒ ගැන මට මෙහෙම සිතුනි . ඔය පැමිණිලි විභාග කරනවා ඇත්තේ එකින් එකය . අනු පිළිවෙලටය . ඉතින් උඩින් තියෙන ෆයිල් බලන අතරේ , යට ෆයිල් වල එවුන් පැනලා යන්න , හැංගෙන්න පුළුවන්ය . 

හැබැවට නිකන්වත් මේ පැමිණිලි දාන්නේ ලොකුම හොරු වද්ද?  එතකොට උන්ට උන්ගේ පැමිණිල්ලට එන්න කලියෙන් පැනලා යන්න පුළුවන් වෙනවා නේද ?



පලි :
.
මහින්දට වැරදුනේ කොතැනද  කියා පෝස්ට්  මොටම් හෙවත් මරණ පරීක්ෂණ හැම තැනම පැවැත්වේ . එවැන්නක් නොවුනට මෙයද ඊට සම්බන්ධ  දෙයකි . මට පෙනුනේ රාජපක්ෂ මැතිවරණ ව්‍යාපාරය 2005, 2010 ව්‍යාපාරවල නැවත ප්‍රචාරයක්ම වූ බවකි  . කොටින්ම ලංකාවේ , ලෝකයේ මේ කාලය තුල සිදුවූ ප්‍රධාන විපර්යාස වත් ඔවුන් සැලකුවේ නැති සෙයකි  . ඒ මෝඩ කමද , මුරණ්ඩු කමද කියා නොදනිමි . කොටින්ම  , මැතිවරණ වේදිකාවට එක ලෙවල් එකකිනුත් . රුපවාහිනි සංවාද වල තවත් ලෙවල් එකකිනුත් , සිංහල පත්තර වලට තවත් ලෙවල් එකකිනුත් , ඉංග්‍රීසි පත්තරවලට  බිබීසියට තවත් ලෙවල් එකකිනුත් ඇමතීමේ න්‍යාය තවමත් වලංගු යයි ඔවුන් විශ්වාස කළ  බවක් පෙනුනි . එය අවලංගු වී බොහෝ කල් බව ඔවුහු නොදැන සිටියහ . නාමල් බේබිගේ චන්ඩි කතා , වීරවංස ගේ මෝඩ ජෝක් , රුපවාහිනි සංවාද වල හැසිරීමෙන් මෙන්ම, පරාජයෙන්  පසු ලොක්කා රඟ පෑ මෙගා ෆෝන් නාඩගමෙන් ද නිරුපණය  වන්නේ එයයි .මෙකළ , පොඩි පොකැට්  මීටිමක  විහිලුවට කියන දෙයක් පවා සමාජ වෙබ් අඩවි හරහා ලෝක ප්‍රවුර්ති බවට පත්වේ .මා හිතන්නේ මිනිස්සුන්ගේ බුද්ධියට නිගා කිරීම මිනිසුන්ට ඉවසා ගත නොහැකි තැනට ගිය නිසා මේ පෙරලිය වූ බවය . ඒ බව කවුරු කවුරුත් සිහියට ගත යුතු බවද මම සිතමි  . ඇහුන් නෑ  වගේ හිටියට , රාජිතගේ බැසිල් @ගම්පහ ජි මේල් ඩොට් කොම් තර්කය පවා ඒ ලඟින් යන්නේය .
යහ පාලන මාවතේ ගමන ආරම්භ වී ඇත . හැබැයි ඩ්‍රයිවර් ට පාර හරියටම නිච්චි නැති බව අප අමතක නොකළ යුතුය . "හරි සිරිසේන දැන් යමු , නුවර ගිහින් මාව ඇහැරවන්න " කියා කැළණි පාළම උඩදී  නින්දට වැටුනොත් වෙන දේ ගැන අමුතුවෙන් කියන්නට දෙයක් නැත 

15 January 2015

ටකරං වියන යට // life goes on (or does it?)

කාක වසුරු තට්ටු බර 
ටකරං වියන යට 
අලුයම හිවුඩට ගුලිවී 
නිදත් ඈ 
පොරවා ඉහේ සිට 
බැනරයක් 
පහුගිය චන්දෙට 
එල්ලූ 
තාරුණ්‍යයට හෙටක් 
පිට මැද 

පුංචි මල්ලි 
පැතුම් 
කෙඳිරි ගායි 
අඩ නින්දෙන් 
ඇදී දිගු හුස්මට 
අලුත් තීන්ත පුසුඹ 
දැනේ නහයට 
කොට්ටෙට තැබූ 
ගුලිකර 
පෝස්ටරේ 
මයිත්‍රී පාලනයේ 

11 January 2015

ආකල්ප (මාරාන්තිකයි ) // (Beware of the ) Opinions

ආකල්ප (මාරාන්තිකයි )

බොර දියෙහිත් 
පෑදී දියෙහිත් 
බෝවෙත් 
උන් 
මල් පෝච්චිවල , කුඹී  උගුල් වල 
පොල් කෝම්බ 
ප්ලාස්ටික් බාල්දිවල 
(නිල් පැහැය මිලානවූ )
කීටයන්ට 
තටු අවුත් 
දවසින් දෙකින් 
පියඹා විත් 
කරච්චල් කර 
දෙසවන'සල 
උරා බොත් රුහිරු 
රත්වන් බිබිලි , සාක්කිය 
අහා සනීපය කසනකොට ඉනික්බිති 
සම ඉරී  , ගලත් ලේ 


(Beware of the ) Opinions
They breed in 
murky waters 
in clear waters 
in abandoned faded blue plastic pails 
and ant traps 

In days they grow 
wings to
fly away
and flying they come to 
sting you deep
and feed on your blood
for it's larvae to grow
it needs nothing less

The bump on your skin
that scarlet trace
leaves an itch 
to be scratched endlessly
until you bleed 

05 January 2015

මහින්ද රාජපක්ෂගේ ලෙගසිය (legacy) කුමක්ද ?



සයවෙනි මිහිඳු රජ සමය වසර නවයකින් නිමා  වීමට බොහෝ ඉඩ ඇත . එය එසේම විය යුතුයැයි  අයෙක් කියති .
කන්නසාමි රජ කෙරවූ , පිළිමතලව්වේ මහාධිකාරම , ශ්‍රී වික්‍රම රාජ අණින් ගෙළ සිඳ  මැරීමට පෙර කියූ ලෙසින්ම , කලෙක රජුන් තනන්නන්ටම , පසු කලෙක ඔවුන් නසන්නට වීම ලෝක ස්වභාවයයි .

උරුලෑවා ගිය මග උගේ ගඳ ඉතුරුවන්නා සේම  , රජෙක් ගිය මග ඉතිරි වන යමක් වේද,  ඒ ලෙගසියයි .  හතලිස් අටේ සිට හුන් හැම ජනනායකයෙක්ම ඉතිරි කළ සාකල්‍ය උරුමයක් හෙවත් ලෙගසියක්  ඇත . උරුලෑ ගිය මග මෙන්ම , බොහෝ විට එය හොඳ අඩු , ගඳ වැඩි එකකි .

ජාතිවාදය ඇවිස්සීම බණ්ඩාරනායක උන්නැහේගේ ගිණුමට බැරවෙන විට , මේ පවතින ජරාජීර්ණ දේශපාලන ක්‍රමයේ ,දුෂණයේ , භීෂණයේ ජාතකය හිමි වන්නේ ජූනියස් රිචර්ඩ් ජයවර්ධනටය . එතරම් ඈත අතීතය ගැන විමර්ශනය නොකර හිඳිමු . අපි මහින්ද රාජපක්ෂගේ ලෙගසිය ගැන විමසමු .

සුනාමි රළ රට ගිල ගත් වෙලේ , රටේ නායිකාව රටේ නොසිටියාය . එවෙලේ හෙලිකොප්ටරයක නැගී, රළ පෙළ දුක් දුන් ජනයාගේ කඳුළු පිසින්නට ගියේ මහින්දය . ඉන් පසු ජාතික නායකයෙක් ලෙස ඉතා වේගයෙන් ඉදිරියට එන්නට ඔහුට අවස්තාවක් ලැබුනේය . නමුත් මුදල් වංචා ගැන මතුවූ සැකයන් නිසා ඒ කිරි බඳුනට ගොම බිඳක් එක්  විය .

කාලයාගේ ඇවෑමෙන් ඔහු ජනපති විය . තිස් වසරක යුද්ධය නිමවිය . ඒ උදෙසා රජෙකුට හිමි කාර්යය  හේ 100% ඉටු කළේය . ඒ ගෞරවය ඔහුටය . නමුත් ඔහු , සෙන්පතියන්ට හිමි ගෞරවය , සෙබළුන්ට හිමි ගෞරවය සියල්ලම තම දෑතටම බදා ගන්නට ගියේය . සතුරන්ට,  රජෙකු මෙන් නොසැලකුවේය ( මේ කියන්නේ උන්ට අභය දානය දීමට කියා නොවේය. නමුත් සටනක් විජයග්‍රහණය කළ රජෙකු සතුරන්ට සලකන විදියක් ඇත . ) . රාජ සභාව  කාර්යශුර ඇමතියන්ගෙන් නොව වන්දිභට්ටයන්ගෙන්  හා කවටයන්ගෙන්ම පිරවුවේය . නිස්සංකමල්ල ගිය මග යන්නට පටන් ගත්තේය . දෙවැනි කිරි බඳුනටද ගොම තලියක් එක්  විය .

තෙවැනි වරට ජනතා වරම (බොහෝ දෙනෙකුට මෙය වරමක් බව අමතක වේ. එය අයිතිවාසිකමක්, උරුමයක්  යයි සිතන්නට පටන් ගනිති  ) ඉල්ලන විට , පරණ ප්‍රවෘත්ති සිරස්තල ප්‍රති ප්‍රචාරයෙන් ඔබ්බට යාමට ඔහුට නොහැකි වී ඇත්තේ නේද යයි , මෙය ලියන විට මට සිහිවේ  .  රටේ ඇත්තේ මතුපිටින් ඇති , ශෝ කේස් සංවර්ධනයෙන් ඔබ්බට කිඳා නොබැසුනු සංවර්ධන තත්වයකි . බිම් මට්ටමේ සිට ඉහළට  මෙන්ම ඉහළ  සිට  පහලටද  විහිදවිය හැක , එය ගැන තර්කයක් නොමැත . නමුත් රටේ සංවර්ධනයේ මුලික අංගයන්හි පවා  තිබෙන ව්‍යාකුල , නොපිරිපුනු තත්වය  යටතේ , රට සංවර්ධනයෙන් ඔබ්බට ලොව දිනන මගක් ගැන කීම විහිළුවක් යැයි  සිතමි .

ආණ්ඩුවෙන් අලෙවි කරන ප්‍රධාන සටන් පාඨය , රටේ ස්ථාවරත්වය සඳහා මහින්දට නැවත වරමක් දෙන්න යන්නයි. නමුත් නව වෙනිදා සිදුවිය හැකි ප්‍රතිපල දෙකෙන් කුමක් උදා වුවත් සිදු වන්නේ රට අස්ථාවර වීම පමණකි .

නිකමට අපි මහින්ද දිනුවේ යයි සිතමු . ආණ්ඩුවේ පවුරු වළලු  මේ වනවිට පුපුරා ගොස් ඇත . එවන් කල්හි අනාගත ආණ්ඩුව ස්ථාවර කිරීමට ඇති ක්‍රම කිහිපයකි . ඒ කුමන ක්‍රමයක් යටතේ වුවත් ආණ්ඩුවට එක් කර ගත හැක්කේ මුදලට , තම පටු න්‍යාය පත්‍රයන් ඉටු කර ගැනීමට එක්වෙන අවස්තාවාදින්ය . උන් කොයි මොහොතේ දැයි ෂුවර් නැත . එසේ වුවොත් මීටත් වැඩියෙන් බලය , ජනපති හා ඔහුගේ හිතයිෂීන් වටා තබා ගනු වලකනු නොහැකිය . ප්‍රජාතන්ත්‍රවාදය , බලය විමධ්‍යගත වීම ගැන අමතක කළ  මනාය . රාජ්‍යයක් ලෙස ලංකාව තවත් , ලොවේ හුදකලා වෙනු ඇත  . අපිට ඇති (චීනය වැනි ...වැනි කිව්වට චීනය විතරක්මද මන්දා )  සීමාසහිත විකල්පයන් ගේ සෑම කොන්දේසියකටම යටත් වීම හැර අන් විකල්පයක් නැති වෙනු නියතය .

නවවෙනිදා මයිත්‍රී පාලනයක් ඇතිවුවත් , ස්ථාවරත්වය පිළිබඳව විශාල ගැටළු ඇත . දෙන්න දෙමහල්ලෝ මධුසමය අවසන් කර , ඇට්ටෝම් එකෙන් පසු ජීවත්  වෙන්නට ගත් විට කුමන නම් ගැටළු ඇතිවේවිද . ( දින සීයක්  යනු ඔය කියන තරම් කෙටි කාලයක් වත් , සියලු පක්ෂ මහා මැතිවරණ උපක්‍රම සාදන අතරේ , ජාතික ආණ්ඩුවක්ද පවත්වා ගනිමින් , ඔය මහා දිග පොරොන්දු ලැයිස්තුව ඉටු කිරීමට  තරම් සෑහෙන  කාලයක් වත් නොවන්නේය.)

ඉතින් මහින්ද රාජපක්ෂගේ ලෙගසිය  සැබවින්ම කුමක් දැයි සිතන්නට වීමි

මහින්ද රාජපක්ෂ යුද්ධය දිනුවද ,  සාමයෙහි පැරදුනේ නොවේද  . .....
අවුරුදු තිහක බෙදුම්වාදය පරාජය කලද , නවමු බෙදුම්වාදයක බිජ රෝපණය කළේ නොවේද ......
 රට පාලනයට ස්ථාවර වරමක් ලදද , විරුද්ධ පක්ෂ බිඳ , දෙවන පෙළ අනාගත නායකත්වයක් ඇතිවීමද  උවමනාවෙන්ම වලකා රටේ අනාගතය අස්ථාවර කළේ නොවේද  ......
දේශ මාමකත්වය , දේශප්‍රේමය, ජාතික චින්තනය  නැවතත් දන  සිත් තුල උපදා   , ඉන් පසු එය විකුණා , ඉනික්බිති එය බලෙන්ම පොවා . අවසන  එය විහිළුවක් , ලජ්ජාවට කාරණයක් , අනාගතයේ කිසිවෙකුට එය පදනමක් කර නොහැකි තැනට ගෙන ගියේ නොවේද  . .......

එසේනම් ඔහුගේ ලෙගසිය , වාසනා ශක්තිය හා තම දක්ෂතාවය නිසා   නිසා මහඟු අවස්ථා ලද , එහෙත්  අහිමි වූ (lost opportunities ) , විහින් ඒවා අහිමි කරගත් , මුළු රටටම ඒවා අහිමි කළ  ......
නැතිනම් 
Who came to the edge of a few astral leaps yet failed to take that one last step
 එහෙමද ?

03 January 2015

Beyond the revolt // විප්ලවයෙන් එහා





No more are the
Umbrellas 
the young ones have gone 
home 
even the most defiant 
eventually succumbed to
the persuasive reason
(minimum force,  mind you)
now these avenues are 
walking paths 
for the old men 
to stroll through the remnants of 
the revolt
to click a photo 
peacefully 
to ponder 
for a moment 
and wonder 
endlessly 

like young men would 


















අවසන්ය විප්ලවය  
ආපහු ගිහින් කොල්ලෝ කෙල්ලෝ
නොගිහින් හිතුවක්කාරකමට උන් අයත් 
ආපහු ගියෝ 
පැහැදු පසු තතු 
යොදා අවම බලය 
දැන් මේ මාවත් වල 
සක්මන් කරත් වියපත් මිනිසුන් 
නිදහසේ 
අතපත ගාමින් නෂ්ටාවශේෂ 
විප්ලවයේ 
පින්තුර ගනිමින් 
සිත්සේ 
මදකට නවතිමින් 
සිතන්නට 

පලි : විප්ලවය,  යුද්ධය කරන්නේ තරුණයන්ය . බැට කන්නේ , මියැදෙන්නේ තරුණයන්ය . දිනුවොත් එහි ජය,  මහල්ලෝ සිනක්කරේට ලියා ගනිති . 
දිනුමට පියවරුන් සියයක් සිටියත් , පරාජය අවජාතයෙකි . මෙහෙත් එසේය , එහෙත් එසේමය . මෙහි කුඩ  හැකිලී ගොසිනි . නමුත් මව්බිම , අට වෙනිදා රැයින් පසු .. නව වෙනිදාත් ඉරක් පායාවී . ඒත් ඒ ඉර ගෙනේවිද නව ප්‍රාර්ථනා ?