27 September 2016

සංහිඳියාව සහ තුවාල මාටියාගේ ක්‍රමය

මුල් කතාව මා මිතුරෙක් කී කතාවක් 

"මචං   ලංකාවේ සංහිඳියාවක් නෑ  කියලා මට තේරුනේ මුලින්ම කෙල්ලෙක් යාලු කරගත්ත දවසේ . මේකිගේ ජාතිය ජන්මය දන්නේ නැතිව , පෝය දවසේ පන්සලකට ගෙනියනවද , කෝවිලට ගෙනියනවද , සිකුරාදා පල්ලි ගෙනියනවද මට මාර ප්‍රශ්නයක් ආවා . මොකද අපේ හිත ඇතුලේ කොම්බුවක් වගේ දරන ගැහිලා ඉන්න ජාතිවාදියා ජාතිකත්වවාදියා ට  වෙන එකෙක් ගේ පල්ලියකට ගියාම නිකන් ඉන්න බෑනේ ...නලියනවා , සසඳන්න  ගන්නවා. 

ඊළඟට අතේ තියෙන ගාණට  සරිලන්න , කන්න කොහේ හරි ගියොත්  එතනත් ප්‍රශ්න ... ඔලුව වහ ගත්ත මුස්ලිම් කෙල්ලෙක් එක්ක සිංහල කඩේකට යන්න බෑ  , දෙමළ  කෙල්ලෙකුට සිංහල කොල්ලා එක්ක යාපනේ තොසේ කඩේකට යන්න බෑ  . 

හැබැයි එක තැනක් තියෙනවා සංහිඳියාව තියෙන .. ඔඩෙල් එක . මොකා ගියත් ප්‍රශ්නයක් නෑ . දෙයියෝ ගාව නැති සංහිඳියාව දෙයියන්ගේ මල්ලි ගාව තියෙනවා . අනාගතයේ සමාජවාදයේ පල්ලිය පන්සල ඇතිවෙනකන් , සංහිඳියාව (ගෙවලා හරි ගන්න ) තියෙන්නේ ධනවාදයේ පන්සල් වල විතරයි දැනට "
***

ඉස්සර අපේ (අර්ධ නාගරික)  ගමටම තිබ්බේ එක ඩිස්පෙන්සරියයි . දොස්තර මහත්තයා උදේ  ඉස්පිරිතාලේ වැඩ කරලා ඩිස්පෙන්සරියට ආවේ දවල් කෑමෙන් පස්සේ වගේ තමයි මට මතක. ඔහුට තිබ්බා පරණ වොක්ස්වැගන් කාර් එකක් ( කනේ මයිල් මොඩල් එකේ ) . 

දොස්තර හැරුණු කොට, මුළු ඩිස්පෙන්සරියටම හිටියේ , එක නර්ස් කෙනෙකුයි ,  තුවාල මාටිනුයි විතරයි . 

නර්ස් නෝනා කලේ උණ බලන එක   , නම ගම ලියාගන්න එක , නොම්බර කතාකරන එක , ගෑණු කෙනෙක් එක්ක දොස්තරගේ කාමරේට ගිහින් තනි රකින එක වගේ දේවල්  . ඊට අමතරව බෙහෙත් කලවම් කිරීම මෙන්ම , ඉතාමත් රුදුරු කාර්යක් වූ ඉන්ජෙක්ෂන් ගහන එකත් ඇයට පැවරුණා . 

තුවාල මාටින් තමයි ඩිස්පෙන්සරිය උදේට ඇරියේ , හවසට වැහුවේ . සුද්ද පවිත්‍ර කලේ . .. ඒ ඔක්කොටම වැඩියෙන් වැදගත් රාජකාරියක් ඔහුට පැවරී තිබුනා . ඒ තමයි තාර පාරේ , බොරළු පාරේ බෝල ගහන්න ගිහින් කකුල් ලෙලි ගහ ගන්න , ටින් කඩන්න ගිහින් වීදුරු කටු වලට යටිපතුල් කපා ගන්න, බයිසිකල් පදින්න ගිහින් චේන්  වලට කකුල් කපා ගන්න ,  යටි පතුලේ කම්බි ඇණ , ඇන ගන්න , මෙකී  නොකී විවිධ ආබාධ වලට ලක්වෙන පොඩි එවුන්ගේ තුවාල වලට ප්‍රතිකාර කිරීම . .. 

හැම තුවාලෙකටම ඔහු ළඟ තිබ්බේ එක ප්‍රතිකාර ක්‍රමයක් . හැබැයි අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි . 
මුලින් බයෙන් බිරාන්ත වෙලා ඉන්න පොඩි එකාව  පුටුවේ හිඳුවා , "පොඩ්ඩක් වත් රිදෙන්නේ නෑ"  කියා , සැව්ලෝන් වතුරෙන්  තුවාලය සෝදන්න ගන්නේය . පරණ තුවාලයක් නම් , වටේ කුණු හම කඩා, හම තුලට කාවැදුණු වැලි කැට වීදුරු කටු තියේ නම් ඒවා පිරිසිදු කරන්නේය . මේ වෙනකොට පොඩි එකාට , මාටින් සත්ය්වාදියෙකු නොවන වග සනාථ  වී හමාරය . ඉන්පසු සිකට්‍රීන් කුඩු මදක් තුවාලය මතට ඉස , මහා ප්ලස්ටරයකින් වසන්නේ , පිටත විසබීජ වලින් මෙන්ම , ජොලියට , සොමියට සහ ආතල් එකට අනිත් එවුන්ගේ තුවාල පාරන  එවුන්ගෙන් බේරා  ගැනීමටය .

"තුවාල වලට බෙහෙත් කරන්න බෑ  .. තුවාලේ වටේට සුද්ද කරලා ,  එළියේ විසබීජ වලින් ආරක්ස්සා කරගත්තම , ඕනෑම තුවාලයක් ඉබේම හොඳ වෙනවා " ... ඒ තුවාල මාටියාගේ ක්‍රමයයි .හැම පරණ තුවාලයකටම ඔට්ටුද මන්දා ?

17 September 2016

ආදරේටනේ .......... ( නූතන ආදර කතාවක් )

බාහුව වෙළී 
බඳ  වටේ 
වකය විඳ 
නිතඹ මායිමේ 
ඇදී පහළට 
හෙමී හෙමිහිට 
කොට  සාය 
වාටියෙන් අල්ලා
මදක් ඉහළට 

ආදරේටනේ ඒ..

කූඩූ  නැතිව මොන 
ප්‍රීති වෙසක් වෙද ?

ඉහලන් 
කියුටෙක්ස් පාට නිය කුඩය 
හීන් සුසුමක උණුහුමින් මුවාවී 
රතැඟිලි සක්මනේ 
ලිනන් කමිසේ , රැහැන් හිදැසේ 
නොපැටලී  මං  මුළාවේ  

ගොරෝස් ඩෙනිම් සාක්කු වාටිය දැනෙන 
නොදැනෙන  මානේ 
පිම්බුණු සම් පසුම්බිය 
හීතල 
කොණින් අල්ලා 
හෙමින් එළියට 
අදිද්දී දැනේ 
බර 
මොණරුන්ගේ 

ආදරේටනේ .... ඒත් .

දන්සැලක් හෙම නැතිව 
කොහේ වෙසඟේ අසිරිය ?

පලි :


මේ කවට  නිමිත්තක් තියෙනවා . එය මම දැක්ක කාටුන් චිත්‍රයක් . උයනක බංකුවක  ඉඳන් ඉන්න යුවලක් . කොල්ලා කෙල්ලගේ රෙද්ද පොඩ්ඩක් උස්සනවා . කෙල්ල කොල්ලාගේ පර්ස් එක සාක්කුවෙන් පික් පොකට් ගහනවා . ගිය සතියේ මතක පද අහද්දී බිමල් රත්නායක මේක මතක් කළායින්  ආයෙත් මතක් උනා .

11 September 2016

නිව් සුමනදිසි හෝටලය සහ අලුත් පාර්ලිමේන්තුව

සුමනදිසි  හෝටලය අනාදිමත් කාලයක සිට  එලෙසම පැවතුනි . කැෂියර් කූඩුව ඉස්සරහ දුවිලි වැකුණු සෝ කේස් එක මෙන්ම,  පුටු , කෑම  වට්ටෝරුව , රස , ගඳ , වේටර්වරු පමණක් නොව කුණු වැකුණු බෝඩ් ලෑල්ල ද කාලාන්තරයක් නොවෙනස් ය . නමුත් , දිනය හරියටම නිච්චියක් නැති එක්  දිනක ඒ බෝඩ් ලෑල්ල ගැලවී අලුත් ඊස්ට්මන් වර්ණ බෝඩ් ලෑල්ලක්  වෙනුවට අර පරණ යකඩ රාමුවේම සවි විය . "නිව් සුමනදිසි හෝටලය හා බේකරිය " බෝල අකුරෙන් ලියා තිබුණි . නමුත් හෝටලය ඇතුලේ පරණ පුරුදු ලෙසම පුටු , කෑම  වට්ටෝරුව , රස , ගඳ , සහ වේටර්වරු එලෙසම විය . 

මෙය එක්තරා ට්‍රෙන්ඩ් එකක් ය . සුමනදිසි හෝටලය පමණක් නොව . එන්රිච් , නිව් එන්රිච් වීම , රාහුමනියා නිව් රාහුමනියා වීම , පිලාවූස් , නිව් පිළාවූස් වීමද මෙසේම සිදුවිය.



***

"යක්කු බය කරන්න සොහොනක් ගාවින් යනකොට ,  තනි අලියා මගදී මුණ ගැහුනොත් , අපේ  මුතුන් මිත්තෝ කලේ තිත්ත කුණුහරුපයක් දෙකක් කීමයි  ... ඉතින් කුණුහරුප කියන්නේ අපේ සභ්‍යත්වයේම සංස්කෘතියේම අංගයක් .. නමුත් නොබෝ දිනෙක කුණුහරුප කියුවා කියා තරුණයෙක් පොලීසිය  විසින් අත්අඩංගුවට ගැනුනා ..

මම අංක සමරජිත් ...මේ අලුත් වගේ පාර්ලිමේන්තුව ... අද අපි කතාකරන්නේ කුණුහරුප ගැන ..."

ඩිංගි ඩිගා ..ඩිංගි ඩිගා ..ඩිංගි ඩිගා ..ඩිංගි ඩිගා ...ඩිෂ් 

"හඳුනා ගනිමු අපේ විසේසඥ මඩුල්ල , මුලින්ම කැලණිය විස්ස විද්‍යාලයේ කුණුහරුප හා දේශීය  සභ්‍යත්වය පිලිබඳ මහාචාර්‍ය  අ මා ට හු පියසේන  මහතා . ඉන්පසු මේ දවස්වල ඉතා ප්‍රසිද්ධ සමාජ විශ්ලේෂකයෙක් හීන් බබා සීයා . අපේ වැඩසටහනේ නිත්‍ය සාමාජිකයෙක්  , හැමදේටම විරුද්ධ , කුමාර එපා බණ්ඩාර  මහතා . රැප් චක්‍රවර්ති ජරාස් . අවසාන වශයෙන් අපේ දේශීය සංස්කෘතියේ සිංහල කමේ ප්‍රතිමුර්තිය, නදුන් ගමුවේ හස්ති රාජයා ."

අපි මුලින්ම මහාචාර්ය තුමන්ට යොමු වෙමු 

කු . එ  බ : " එපා , එහෙම කරන්න එපා "

අ .ස : නෑ  නෑ  ලොක්කා දැන්ම විරුද්ධ වෙන්න එපා . තාම පටන් ගත්තෙත් නෑ නේ 

කු . එ .බ ; ආ එහෙමද , එහෙනම් ඇහැක් ගහන්න  විරුද්ධ වෙන්න ඕනේ වුනාම ... හැබැයි මගේ වෙලාව මට දෙන්න 

අ.ස : හරි , මුලින්ම අපි මහාචාර්ය තුමාට යොමු වෙමු . මොනවද මේ කුණුහරුප කියන්නේ ?

මා ආ මා ට හු පි :  
කුණුහරුප කියන්නේ ඉස්සර මිනිහෙකුට කිව්වහම ලජ්ජා හිතෙන , සමාජ අසම්මතයයි හැඟෙන දෙයක් නේ . බොහෝ කුණු හරුප ලිංගික අවයව හා සම්බන්ධයි නේ . ඒ අපි විලිවහගෙන ඉන්න නිසා . එහෙම නැත්නම් විෂම ලිංගික ක්‍රියා නේ .  මේ වික්ටෝරියානු සංස්කෘතිය අපි වැළඳ ගන්න කලින් , ලිංගික නිදහස ,  නිරුවත අපට ප්‍රශ්නයක් නෙමෙයි . ඉතින් ඒ කාලේ කුණුහරුප වෙන්න ඇත්තේ ...ගෙරිමස් කෑම  , බේබදු කම, හොර කම වගේ දේවල් . 

අ.ස : ඉතින්  මේ කුණුහරුප අපි කාලයානුරූපිව විකාශනය කර ගත යුතුද , එසේ කර ගන්නේ කෙසේද 

කු .එ . බ ;  දැන් මේ කුණුහරුප කියන්නෙම ප්‍රොජෙක්ට් එකක් නේ .. මේ අවස්ථාවේ ගෝලීය කුණුහරුප කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි 

අ.ස . මේ ඕයි පොඩ්ඩක් පනින්නේ නැතිව ඉන්නවද ? ආයේ ගෙන්න ගන්නේ නෑ  

කු .ඒ . බ :  හරි හරි ශේප් , හැබැයි මගේ වෙලාව දෙන්න 

අ.ස ; හීන් බබා සීයා මහතා . ඔබේ විශ්ලේෂණය කුමක්ද කුණුහරුප වල විකාශනය ගැන 

හී .බ .සී :  අපේ අපුච්චා ඉන්න කාලේ අම්මේ... , අලුත් කුණුහරුප කොච්චරනම් හැදුවද ... ඒවා මේ රෙදි වලින් වහලා තියෙන දේ , කළුවරේ කරන දේ ගැන නෙමෙයි ඕං හුමුක්  .. මේ එලිපිට වෙන දේ ගැන නේ .. අයිස්චර්ය කියයි ,  විදේසිය  කුමන්ත්‍රණ කියයි ...කොටින්ම අපේ අපුච්චා පුරුදු කරලා අපේ ගමේ ඒ දවස්වල මිනිස්සු හවසට පොඩ්ඩක් කටේ ගා ගත්තම බැන  ගත්තෙත් "අපේ හාන්දුරුවනේ .." කියාගෙන නොවැ ඕං ... හුමුක් 

එපා බණ්ඩාර මහතා , ඔබට යම් අදහසක් කියන්න තියෙනවද 

එපා .. නෑ  මම කියන්නේ ඔව් තියනවා 

හරි පොඩ්ඩක් තියාගන්න ..අපි වෙලාව බලලා එන්නම් 

නැවතත් අපි ඔබත් සමග , ඔව් කුමා මහතා කියන්න 

මම නම් කියන්නේ මේක ලොකු ප්‍රොජෙක්ට් එකක් .. ඒ කියන්නේ  මේ අවස්ථාවේදී ගෝලීය කුමන්ත්‍රයක්  දියත් වෙනවා ..සිංහල ජාතියට එරෙහිව .. එකේ ප්‍රතිපලයක් හැටියට තමයි අපේ මේ කයිසර් කියන අමු සිංහල සහෝදරයාව අත්අඩංගුවට ගන්නේ 

කයිසර් කියන්නේ මුස්ලිම් කොල්ලෙක් නේද 

ආ එහෙමද ... 

දැන් අපි යොමු වෙමු ජරාස් ට . ජරාස් ඔබ ගායකයෙක් 

නෑ  මම සින්දු කියන්නේ නෑ නේ 

ඔබ සංගීතඥයෙක්  ?

නෑ  මම මියුසික් හදන්නෙත් නෑ  

එහෙනම් ?

මම අර මියුසික්  වීඩියෝ වල පෙනී ඉන්නවා විතරයි .

හරි.  ඔබට මොකක්ද තියෙන අදහස මේ ගැන 

මේ මයි , මේ කුණුහරුප කීන ඒවා මෙයා , සිංහලීස් වලින් කිව්වම පොඩ්ඩක් දිරවන්න අමාරුයි .. ඕක ඉන්ලිෂ් වලින් මදර් ෆ් ..

මේක පොඩි ළමයිනුත් බලනවා ඒ නිසා එවැනි වචන කියන්න එපා 

හැ .. මේවා පොඩි ලමයිනුත් බලනවා ?

ඔව් ඔව් වැඩිපුරම පොඩි ළමයි තමා බලන්නේ 

හරි එහෙනම් මම ඒක  කිව්වා කියලා හිතා ගන්න කෝ ... ඔය ඉංග්‍රීසි කුණුහරුප , කට්ටියට හරියට තේරෙන්නේ නැති උනාට දිරවනවා .. කිසිම අජීර්ණයක් නෑ  ..හැබැයි දැන් ඕක ඊළඟ ලෙවල් එකට යද්දී දේශීයකරනය වෙද්දී , සිංහල රැපර්ස්ලා  බිහිවෙනවා නේ .. ඉතින් එතකොට ඔය ඉංග්‍රීසි කුණුහරුප නිකන්ම ට්‍රාන්ස්ලේට් වෙනවා ..එතකොට ඒවා දිරවන්නේ නෑ අමු තිත්ත කුණුහරුප වෙනවා . 

මා ආ මා ට හු පි :  දැන් එක්දාස් නවසිය හතලිස් ගණන් වල උනෙත් ඔය වගේ දෙයක් නේ . ලෝකයේ ඇතිවුන සමාජවාදී රැල්ල , ඉන්දියාවේ නිදහස් සටන අපි දේශීයකරණය කළා . ඒවා අපේ රටේ කුණුහරුප උනා .
කලම්බු ඇකඩමිය ට, පල්ලියේ ඉස්කෝල වලට චැලේන්ජ් කරන්න දේශීය  ඉස්කෝල හැදුවා . ඒවායින් බිහිවුනේ ඇතුල සුදු කට්ට කළු මිනිස්සු . ඒවායින් පල්ලියේ ඉස්කෝල වලට කිසිම දෙයක් උනේ නෑ  , තිබ්බ පිරිවෙන් ටිකට කෙළ  වුනා 

ඒක  දිරවන්න නම් , සම්භාව්‍ය ස්පයිසස් දානං ඕනේ .. ඒකනේ  , යට ලීයෙන්  නාරි ලතා මල් පුදීන  එක , උකුල ලැම හැස මලාවි කරලිය මුවා කළ  දුහුල් සළු තෙර විවර කරන එක විතරක් නෙමෙයි මගේ පුංචි රෝස මලේ කියන එකවත් වල් නොවෙන්නේ 

අපි ඒ ගැන කතා කරමු , පොඩ්ඩක්  චූ  කරලා .. සොරි සොරි වෙලාව බලලා ඇවිත් 

නැවතත් අපි ඔබ සමග 

හී බ සී : අපේ අපුච්චා ඕල්කට් තුමාටත් කුණුහරුප ඉගැන්නුවා නොවැ   .. කොටින්ම ඕල්කට් රැවුල වැවුවෙත් අපේ අපුච්චාගේ රැවුල දැකලා ..ඕං හුමුක්

මා ආ මා ට හු පි : මම නම් යෝජනා කරන්නේ .. අපි මේක යා පාලනයක් ඉස්තාවර රටක් ප්‍රතිපත්ති  ප්‍රකාශනයේත් ඇතුල් කලා .. කාලයට ගැලපෙන කුණුහරුප දේශීයවම නිෂ්පාදනය විය යුතුයි කියලා ... ඒක  අපේ ජනාධිපති තුමයි අගමැති තුමයි මුලිකත්වය අරන් දැනටම පටන් අරන් තියෙන්නේ 

ඇත්තද ?

මා ආ මා ට හු පි :  දැන් බලන්න යහ පාලනය කියන වචනයම බාගේට  කුණුහරුප වෙලා නේ තියෙන්නේ . ඊට අමතරව ,  ස්වාධීන කොමිසම් සභා කියන එක , රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීම, දඬුවම් කිරීම , වංචා දූසන කියන එක,  පත්තරෙන් දැක්කා කියන එක , එතකොට පෝට්  සිටි කියන එක දැනටම කුණුහරුප වෙලා . අනාගතයේදී ... නුදුරු අනාගතයේදීම .... හම්බන්තොට වරාය කියන එකත් , සහජීවනය කියන එකත් පුර්ණ කුණුහරුප බවට පත්වෙනවා ..එතකොට ජනතාවට  දෙකක් දා ගෙන රෙද්ද උස්ස ගත්තාම , පරණ විදියට "උඹ ලෑ අම්මට " කියන්නේ නැතිව ... සිංහල බෞද්ධ  සංස්කෘතියට අනුකූලව , කට ඇරලා  "උඹ ළෑ යහ පාලනේ " කියන්න පුළුවන් 

අපේ නදුන් ගමුවේ හස්ති  රාජයා මෙතෙක් වෙලා නිශ්ශබ්දයි ..ඔබට මුකුත් කියන්න තියෙනවද 

(කුන්ච නාදයක් නැගේ )..මට නම් හිතෙන විදියට මේ රටේ තියෙන විදියට  මේ රටේ තියෙන ලොකුම කුනුහරුපේ තමයි ' ඔය කිව්ව සිංහල බෞද්ධ සංස්කෘතිය 

කු එ බ :  මේක තනිකරම ප්‍රොජෙක්ට් එකක් ...ඔබ එහෙම කියන්නේ කොහොමද? සාධක තියෙනවද 

ම. අ. ම .ට . හු .පි : ඔව් හෙම කියන්න ඔබට සාධක තියෙනවද 

හී බ සී : අපේ අපුච්චාත් කිව්වේ මොනවා හරි කිවුවොත් කියන්න ඕනේ  සාධක ඇතිවම තමා කියලයි ඕං හුමුක්

න හ රා :  අංක මහත්තයෝ , කකුල පොඩ්ඩක් ඈත් කරලා පෙන්නන්ද මේ කට්ටියට 

අ.ස : නෑ  නෑ  ..දැන් අපිට ලැබී ඇති කාලය අවසන් ඒ නිසා , ඒවා මේවා පෙන්නන්න වෙලාවක් නෑ  .... මගේ කතාව අවසානයි ..සොරි.. අපේ වැඩසටහන අවසානයි ..නිදා ගන්නට පෙර සුළු දිය පහ කරන්නට අමතක නොකරන්න  . ඔබට සුව දායක සතියක් 

09 September 2016

පාට හොරු



කොහොමද පින්තුරේ

හොඳයි ..ඒත්

ඇයි , ඒත් කිව්වේ

මට මතකයි ඒ දවස .. ඒ විල කොච්චර නිල් පාටද ... මම ජීවිතේට දැකලා නෑ  එහෙම නිලක් ...ඈත කන්දක උඩ  හිම තොප්පියක් .. මට හීතල දැනුනා .

ඉතින්

මේ පින්තුරේ ඔක්කොම පාට හොරු අරන් වගේ ... කෝ ඒ නිල

මතකද ඒ හීතල .. අර විලේ එක කොනක ඉඳන් අනෙක් ඉවුරට විසිරුණු දිය රැල්ල ...එක පාරටම දැනුනු පාළුව ..

ඔව්

නිල අයින් කරපුවහම තමා ඒවා මතු වෙන්නේ

04 September 2016

සිරිලංකා පාටිය , සිරි ලංකා පාටියේ පාටි (සහ ඒ ඔස්සේ මතුවූ අනෙක් වැඩකට නැති සිතුවිලි )


සිරි ලංකා පාටිය බිහිවීම  සිදුවෙන කාලයේ  මා ඉපදී  සිටියේ නැත . ඒ නිසා ඒ වටා වූ භුමියේ සත්‍ය මම නොදනිමි . ඒ ගැන නොදැන සම්පුර්ණ චිත්‍රයක් කිසි ලෙසකවත් ඇඳිය නොහැක . නමුත් අසා කියවා ඇති පරිද්දෙන් නම් එය , එක්කෝ සොලොමන් වෙස්ටලී රිජ්වේ ඩයස්  මහත්තයා පොඩ්ඩක් කලබල වෙලා  එහෙමත් නැතිනම් කල්යල් බලා, සිංහල මහා සභාව කාලේ ඇඳි  ජාතික බැනියම , රෙද්ද ආයෙත් ඇඳ  ගෙන ඩඩ්ලි ගේ ආතල් එක කැඩීමේ ප්‍රයත්නයයි . යමක් කියවා තීරණය කිරීමට යාමේදී , අපේ ද්වීමාන චින්තනය තුළ  සුදු සහ කළු දෙගොඩ නිර්මාණය වී , කතාවේ චරිත ඒ කුලක රවුම් තුලට තල්ලු වීම නොවැලක්විය හැකියි . ඉතින් මේ රාමුවේ සොලොමන් වෙස්ට්ලි  රිජ්වේ ඩයස් කතාවේ වීරයා වේ . කාලයාගේ ඇවෑමෙන් ඔහු සතුරන් පවා පිළිගන්නා වීරයෙක් වේ . ඒ ගස උසටම වැඩෙද්දී  ඒ යටින් තිබු තුත්තිරි ගස්ද සරුවට වැඩේ . පාර්ලිමේන්තු ලොබිය හරහා අනෙක් පැත්තට ගිය ඇතැම් අය  මහා පුරුසයන් වුයේ ඒ ඉඩකඩ තුළ  දෝයි   විටෙක සිතේ . (කුමන සාධක ඔස්සේ වුව  ) ඔක්ස්ෆර්ඩ් හී අධ්‍යාපනය ලැබූ ඔහු ගේ අකල් වියෝවෙන් පසු , සාමන්‍ය පෙළවත් නොසමත් ඔහුගේ බිරිඳ වීරවරියක් ලෙස කරලියට එන්නේද  මේ වපරසිය තුලමය . රට බාර ගන්නට සුදුස්සියක් වන්නේ බණ්ඩාරනායක මහත්තයා එක්ක  අහවල්  එක කරලා දැයි මම නොඅසමි  . ඒ ද අර ද්විමාන තර්කයේ සුදු පැත්තේ අඩුවක් ඇතිවූ බැවිනි .

කවුරු කොහොම කිව්වත් , දේශපාලනය යනු ඔය කියන ප්‍රතිපත්ති පිලිබඳ , සමාජ සාධාරණත්වය පිලිබඳ කටයුත්තක් නොවේය . දේශපාලනය කියන්නෙම ආතල් දීම සහ ආතල් කැඩීම පිලිබඳ කටයුත්තකි . එහි තුල ඇත්තේ එය පමණි . මේ සංසිද්ධි දෙක තුලින් , බලයේ රැහැන්  අතට ගත හැකි බව රෝම ග්‍රීක කාලයේ ප්‍රජාතන්ත්‍රවාදයෙන් පමණක් නොව , ධර්මාශෝකගේ ධර්මවිජය පිළිවෙත තුලද    ,  ලෙනින් , කස්ත්‍රෝ  මාඕ ගේ විප්ලව තුලද අපට හමුවේ . එක අතකට මුළු ජීවිතය පුරාම ඇත්තේ ආතල් දීම හා ආතල් කැඩීමේ නොනැවතින චක්‍රයයි . (මෙය සංකීර්ණ වී , විටෙක තමන්ගේම ආතල් එක කැඩීම  තුලින්ම තමන්ට ආතල් එකක් ලැබීමේ තැනට අයෙක් පත්වේ  .මෙය ප්‍රකෘති තත්වයක්ද විකෘති තත්වයක්ද යන්න ගැන තීරණය තම තම ගුණ නැණ  පමණින්මය .)

කෙසේ හෝ ධනවාදය තුල,  සිස්ටම් එක දිගට පැවතීමට කට්ටියක් බැට් කරන විට බෝල දාන්න මෙන්ම බෝල අහුලන්නත් කට්ටිය පිටියේ සිටිය යුතුය . සිරි ලංකා පාටිය මේ භූමිකාවට අත්‍යාවශ්‍ය විය. කොටින්ම අංකල් නෙවිව් පාටියේ පොෂ් ආතල් දිරවන්නේ නැති එවුන්ට , ගොඩේ ආතල් දීමේ ක්‍රමයක් අවැසි විය  . ජේවීපිය දෙවරක් ශොක් තෙරපියක් හරහා  සංවේදනාව වැඩි නිසා ඇඟ  හිටි වැටෙන තැනටම ඒ  ආතල් එකක්  දුන්හ එය අසාර්ථක විය . (එය ආතල් කැඩීමකින් කෙලවර වෙන බව එක සම්භාවිතාවක් බව ඔවුහුද දැන  සිටියෝයයි  මම සිතමි .   මා මිතුරෙක් දිනක් පැවසුවේ , 1977 ජේ ආර් දිනලා පහුවෙනිදා කවුරු හරි ඉඳ ගෙන අනාගතයේ වෙන්න පුළුවන් අවස්ථා පිලිබඳ සම්භාවිතා රුප සටහන්  අඳින්න ගත්තා නම් , ඉන් එක් අත්තක් නිතැතින්ම අද දක්වා සිදුවූ  සිද්ධි සියල්ල ඇමුනුන එකක් වන බවය . ඒ කියන්නේ අපේ රටේ දේශපාලන සිදුවීම් අතිශ්‍ය  ප්‍රෙඩික්ටබල් බවය . එය හුදෙක් තර්කනය පිලිබඳ ප්‍රකාශයක් නොවේය . ඇත්තටම මේ සිදුවූ කිසිම දෙයක් තුළ  කලු හංස, ඉතාම අහඹු  සිදුවීමක්,  නැත්තටම නැතිවා ය .  ඇත්තේ එකම එකකි ඒ සුනාමියයි .. නමුත් ඉන් දේශපාලනයේ කිසිම වෙනසක් නොවුනි )

ආතල් එහෙම බැරිය , නියමිත මාත්රාවටම විය යුතුය .  

අවුරුදු හැට පහක් පිරෙන සිරි ලංකා පාටියේ උපන්දින පාටි දෙකකි . එකක් නිල එකය , අනිත් එක ඒකාබද්ද එකය . මෙතැන් ඇත්තේද ආතල් දීම් හා කැඩීම් මය . ඒකාබද්ධ විපක්ෂයේ කට්ටිය හදන්නේ මේ සහයෝගිතා ආතල් එක බිඳ , නැවත ජාතිවාදී ආතල් එකක් දෙන්නය . ඔවුන්ට රෙඩි  මේඩ්,  ට්‍රයිඩ් ඇන්ඩ්  ටෙස්ටඩ් වීරයෙක් ඇත . ඔහුව මාකට් කිරීමට අවදානම් පරිසරයක් තිබිය යුතුය  . 
එක අතකින් බැලුවොත්, අපි කැමති වුවත් නැතුවත් , ආණ්ඩු විරෝධී මතයට දේශපාලන වශයෙන්  රොක් වෙන්නට ඇත්තේ  මේ මළ බද්ධයම පමණි . නමුත් ඔවුන් කරන්නේ ඒ මතය අවුස්සා , ප්‍රතිචාර පටිගත කර ගෙන , ගොන් ජෝක් දමා ඊට පසුව (canned laughter වගේ ) අර ප්‍රතිචාර නැවත ප්ලේ කිරීමය . 

මීට ආසන්නම උදාහරණය සිරිලංකා පාටියේ පාටියයි . මුලින්ම ඔවුහු අත්  උස්සා මහා පාටියේ මහා පාටියට නොයාමට ජනමතයක් ගත්හ .ඉන්පසු ඒ විරෝධත්වයට හිස නමා , වෙනම කේක්  එකක් ලෑස්ති කර  අත්පුඩි ගසා එය කැපුහ  (එහි මහින්ද රාජපක්ෂ හා දරු කැල යයි ලියා . ..අම්මපා "දරුකැල" අස්සේ අර බන්දුලයත් හිටියා .. මොනවා උනත් හිටපු ජනාධිපති කෙනෙක් නේ ..මේ අපහාස කරන එකේ සීමාවක් තියෙන්න ඕනෑ )


මට ඇති පැනය ඩලස් පවිත්‍රා ට කේක්  කැව්වා ම , සිරි ලංකා පාටි ජනතාවගේ පපු අස්සේ තියෙන විරෝධාකල්ප මතුවෙන්නේ කොහොමද කියන එකය . (චන්ඩි නම් කුරුණෑගල ගිහින් විරෝධය පාන්න තිබුණාය . මලයාසියාවට පැනලා යන්නේ නැතිව අර වේදිකාවටම නැගලා කන් වල ඇඟිලි ගහ ගන්න කතාවක් කරන්න තිබ්බාය . ආතල් කඩනවා නම් , අන්න එහෙමය )

ආණ්ඩුව හදන්නේ "ඔහොම යං " කියා , ඉඳ හිට වොයිස් කට්  , රිමාන්ඩ් කිරීම් හරහා ලාවට ආතල් දෙන්නය .  අනෙක් උන් ගේ ආතල් ලාවට කඩන්නය . අනෙක් උන්  හදන්නේ මෙවැනි සිඟිති ආතල් දෙන්නය .  පෙර කළා  මෙන් විරෝධාකල්ප වල සිනක්කර අයිතිය,   දේශපාලන පක්ෂයකට  බාර දී සිටියොත් ,  මිනිසුන්ට මේ ආතල්  මදිවෙනු ඇත. අපේ රටේ ආතල් දීමට වෙනත් ක්‍රම නැත , සංස්කෘතික ආතල් ඇත්තෙම නැතිය (ඉඳ හිට නිර්මාණ ඇති වුනත් බොහෝ දෙනාට එවන් ආතල් ගන්නට නොතේරේ).  ක්‍රීඩාව අතින් ද එහෙම කියා ජයග්‍රහණ නැත , ඇත්තේ ක්‍රිකට් පමණි . මිනිස්සු ආතල් ගන්නෙම දේශපාලනයෙන්මය. (ක්‍රිකට් අස්සේද  දේශපාලනයමය) . 

මට බය මෙහෙම ගොස්  මිනිසුන්ගේ බුද්ධියට නිගා කිරීම තවත් ඉවසා නොහි , ආතල් ඇරියස් කවර්  කර ගන්නත් එක්ක ශොක්  තෙරපියකට නැවතත් තල්ලු වේ දෝයි  කියාය.

03 September 2016

හැකර්ලා

අංකල් ,  මේ අල හැකර්ට  මොනවා වෙයිද 

දරුවා කරලා තියෙන්නේ අපරාධයක් නේ ඉතින් දඬුවම් අනිවාර්යයි 

ඒ වුනාට අංකල්  මේ යා පාලනේනේ ...අනික ඌ  වෙබ් සයිට් එකට ගිහින් තියෙන්නේ තමන්ගේ ප්‍රශ්න කියන්නලු නේ 


එහෙම කියලා බෑ  පුතා , එහෙම රාජ්‍ය වෙබ් සයිට් වලට එහෙම බලෙන් යන්න බෑ  ප්‍රශ්න කියන්න උනත් ... 

ඒ කිව්වේ අංකල් ..

මෙහෙමයි පුතා දැන් ඔය ගොල්ලන්ගේ ගෙදරට ප්‍රශ්නයක් කියන්න ගේට්ටුවෙන් කවුරු හරි ආවොත් එන්න පුළුවන් , තාප්පෙන් පැනලා ආවොත් හොරෙක් හැටියට නේ සලකන්නේ 

ඒ වුනාට අංකල්  අර කැටපත් පවුරේ නම ලියපු අක්කාව අවවාද කරලා නිදහස් කලේ ..

 ලංකාවේ කොපිරයිට් ලෝ එක එච්චර දියුණු නෑ  නේ ..පුතත් නිකං  මොන්ටිසෝරි තර්ක නේ දාන්නේ 

ඉතින් මං මොන්ටිසොරිනේ ...ඒ කියන්නේ කැටපත් පවුරේ වගේ බෑ  වෙබ් පේජ් වල ?

බෑ 

අංකල්  අර නිවුස් වලට පෙන්නපු,  එයාගේ ප්‍රශ්නේ කියන්න ජනාධිපති ගේ ඔපිස් එක ඉස්සරහ තාප්පේ ළඟ ඉන්න ඇන්ටිවත්  හිරේ දායි ද , යා පාලනේ ?

නෑ  නෑ  යහපාලනේ එහෙම වෙන්නේ නෑ  ,  තාප්පෙන් එළියේ ප්‍රජාතන්ත්‍ර වාදයට ඕනෑ තරම් ඉඩ තියෙනවා 

හ්ම්ම් ... මේ අංකල් මේ අපේ වත්තෙත් ඕකෙක්  හැංගිලා ඉඳලා මම අල්ල ගත්තා 

මොකෙක් ?

හැකර්ලා , ඌ මම එනකොටම රෝල් වෙලා මාරු වෙන්න හැදුවා . ඒවා කොහේද  ... කෙලින්ම අත්  අඩංගුවට ගත්තා ...නඩු අහනකන් දැම්මා ජෑම් බෝතලේක .... මේ