29 April 2017

ටෙනිසේනගේ ගැසට් පීස් එක

මචං , අර ටෙනිසේන ගේ ගැසට් ජෝක්  එක අහලා තියෙනවද 

මොන ටෙනිසේනද ?

අර බන්දු ටෙනිසේන ඩබලගේ ටෙනිසේන 

ටෙනිසේන  නෙමෙයි ඒ  ටෙනිසන් 

හරි හරි , අහලා තියෙනවද 

මොන ගැසට් එකද මචං 

ගැසට් පීස් මචං  ඉස්සර සිංදු රෙකෝඩ් කලේ 

යකෝ ඒ ගැසට් නෙමෙයි කැසට් පීස් .. මොකක්ද ඉතින් ඔය කතාව 

ඔන්න පොර ඉස්සර කැසට් එකක් ගැහුවලු .  ඌට එහෙම කියලා සින්දු කියන්න හැකියාවක් නෑලු.  ඒත්  කැසට් එක විකිනේනවලු . පොරටම පුදුමයිලු . ඉතින් පොඩි සමීක්ෂණයක් කලාලු  කවුද ගන්නේ කියලා බලන්න .

ඉතින්?

උඹට මතකද ඉස්සර ඔය කැසට් පීස් , පොඩි එවුන්ට අහු උනාම .. අර පටිය ඇදලා දානවා . .. ඇදලා අරන් සරුංගල් අරින්න ගන්නවා .. රෙදි වැලවල් බඳිනවා 

ඔව් ඔව් ඉස්සර ඔය කැසට් මැදදී ඇඹරිලා .. මහද නමැති වන බඹරා ලංවී.. කියනකොටම හිරවුණා .. ඇඩ්ඩින් මාමා නැගිට්ටේ "අම්මට " කියාගෙන 

ඔව් ඔව් ඔහොම ඇබැද්දි වුනානේ .. ඉතින් මිනිස්සු ඔය ජෝතිගේ මිල්ටන් ගේ පීස් ආරක්සා කොරගන්න , පොඩි එවුන්ට සෙල්ලම් කරන්න දෙන්න තමයි ටෙනිගේ කැසට් පීස් එක සල්ලි දීලා අරන් තියෙන්නේ 

මේ මචං , උඹේ ටෙනිසේනගේ කැසට් විතරක් නෙමෙයි  වෙන වෙන සේනලා ගේ ගැසටුත් ඔය වගේම තමා  . 

17 April 2017

මේ කුණු කන්ද බැලුවා හොරැහින් මදෙස



                                      (මෙය උපුටා ගත්තේ මෙතනින් https://www.facebook.com/madhushaka.sahanjeewa)


හුන් උන් අතැර නුඹ පත්කර ගත් දවස 
මේ කුණු කන්ද බැලුවා හිඳ ගම සිරස 
කාලය ගතව දිව්රුම් අමතකවූ සඳ 
මේ මහා කන්ද බැලුවා හොරැහින් මදෙස

හමන හුළඟ දුගඳම  හැම අත පතුරයි 
නෙක සැලසුම්, දිවුරුම්, ආපසු ඇකිලෙයි 
කුණු ලොරි ගණන් තව තව කන්දට එක්වෙයි 
නොකියූ රහස් කුණු ගොඩ අස්සෙම සැඟවෙයි 

මනාප යදින්නට ඔබ ආ එදවස 
මේ කුණු කන්ද සිනහා උනේ ඔච්චමට 
මරණාධාර දෙන්න ඔබ මෙහි ආ අද දවස 
මේ කුණු කන්ද බැලුවා හොරැහින් මදෙස 



පලි 
මේ ප්‍රශ්නය ගැන මම දන්නේ එහෙන් මෙහෙන් ඇහෙන කියවෙන දෙයම පමණි . 
ව්‍යසනය මා සිතේ කම්පනයක් නම් ඇති කර ඇත . කුණු කන්දකට යටවී මැරෙන්නට වෙන රටක් ..??? අනෙක් අතට අපද්‍රව්‍ය කළමනාකරණය ගැන ද මා  දන්නේ බොහෝ අල්ප වශයෙනි . නමුත් මට මේ ගැන කියවෙන නොකියවෙන දේ අතරේ නැගෙන්නේ ප්‍රශ්න පමණකි . 

සමහර අච්චු පොත් වල , පාඩමට පෙර ප්‍රශ්න කිහිපයක් දක්වා සිටින්නේ , පාඩම කියවන අතරේ ඒ ගැන සිතන්නට බල කරන්නය .

1. මුලින්ම , වියත් මග කට්ටිය කියන ඔය සැලැස්ම  මහඟු නම් . අවුරුදු 20ක් ආණ්ඩු කරලා ඕක ක්‍රියාත්මක නොකළේ මන්ද? ප්‍රමුඛතා ලයිස්තුවේ , දියත උයන , ඉන්ඩිපෙන්ඩන්ස් ආකේඩ් එකට, සුරියවැව පිට්ටනියට පස්සෙද  මේ ප්‍රශ්නය පෙළ ගැහුනේ . 

2. මේ කුණු විකුණා ගෙන , ඉහ ගෙන කෑ  , හැම පැත්තේම හොරි කඩ දේශපාලඥයෝ කෝ 

3. හැම ප්‍රශ්නයක්ම විසඳන්න ඕනේ ජනාධිපති, අගමැති නම් පළාතේ මන්ත්‍රී ලා කුමටද . අපේ බදු මුදලින් උන් නඩත්තු කළ  යුතුද . 

4.උන් පන්නා දමන්නට චන්දයක් එනකන්ම සිටිය යුතුද . 

5. සයිටම් ප්‍රශ්නයට රෙද්ද උස්සා ගත්  සිවිල් සමාජ නඩ  (පක්ෂ විපක්ෂ දෙකම ) කෝ 
6. දැක්කේ නැති නිසා අහන්නේ , ඇත්තටම ඒකාබද්ධ විපක්සෙ උන් , ජවිපෙ උනත් කෝ ?
7.  මේ කුණු ගොඩ තියෙන්නේ ඉතා වටිනා ලොකේෂන් එකක නොවේද . මේ කුණු ගොඩ මෙසේ තිබීම , එය ඉවත් කිරීමට වඩා  වාසිද? ඒ කාටද 
8. මේ කුණු ගොඩ අස්සේ සැඟවුණු , කොමිස් කුට්ටි ,  ඩීල්  තිබේද 
9. ඇත්තටම රටේ නායකයා කෝ ?
10. අපදාවක් සිදුවූ පසු මරණාධාර දෙන්න නම් ආණ්ඩුවක් අවැසිද ? එයට නම්  මරණාධාර සංගමයක් ප්‍රමාණවත් නොවේද ?

07 April 2017

මැණිකේ මම ආයේ ගෙදර එනවා

මෙන්න මේ පැයේ  ජනප්‍රියම ගීතය ... සාදර අනුග්‍රහය කොළ නිල් පැකට්ටුවේ  යහපාලන පෆ් ... බිස්කට් දෙකට මැදිවෙච්ච , ක්‍රීම් බිංදුව  මිරිකෙච්ච ... යහ පාලන පෆ් 

පපර පපර පප  පා ,පපර පපර පප  පා 

මැණිකේ මම ආයේ ගෙදර එනවා 
මට බේල්  හම්බු වෙනවා //

කොච්චර මැතිකම් දැරුවත් , කළකම් දවසක පලදෙනවා 
කනකොට සනීප උනාට කුම්බලා අජී රණේ වෙනවා 
පායන කාළේ ආවම තණ කොළ ගහත් ගහක් වෙනවා 
ට්‍රෙන්ඩ් එකට දැන් හැම එකාම දැන් වැලිකඩ ගොස් එනවා 
නැතිනම් කොන් වෙනවා 


ස්ටේජ් එකට නැගිලා , අඬලා සෙල්පි ගසාලා 
මාංචු කේක් කපාලා , ඩලස්ලා ගම්මන්පිලලා 
මාස තුනක් වෙන්නත් ඇවිල්ලා , මුන්ට දැන් මං අමතක වීලා  
බලද්දී තනිව හිතාලා , ඇත තනියම මට කෙලවීලා 

මැණිකේ මට මේවා මතක් වෙනවා 
මට හරි කේන්ති යනවා 
මැණිකේ මම ආයේ ගෙදර එනවා 
මට බේල්  හම්බු වෙනවා

නොකා නොබී ඉස්පිරිතාලේ මා කළ මාරාන්තික උපවාසේ 
තැඹිලි පැනින් මා දෙතොල් තෙමන්නට එදා වගේ ඔබ නෑ ආවේ 
කවර්  කරන්නට , පුවත් මවන්නට දෙයක් අවස්ස වූ මේ මොහොතේ 
එදා මෙන් අදත් , මොනවා කීවත් , රනිල් තමයි පිහිටට ආවේ 

මැණිකේ මම ආයේ ගෙදර එනවා 
මට බේල්  හම්බු වෙනවා

02 April 2017

යක්කුන්ටත් කුක්කු පෙව්වේ...... කෙලින් හිටවලා

කඩ පේලියේ කොනේම , බෝඩ් ලෑල්ල ඊස්ට්මන් වර්ණයෙන් . කිව්ව හැටියට මෙතන තමයි තැන . ... ඇඩ්ඩින් ඇඩ්වටයිසින් ..ඔය තියෙන්නේ බෝඩ් එකේ ගහලා 

" ආ එන්න ඇතුළට , කාවද බැලුවේ "

" මිස්ට ඇඩ්ඩින් ..??"

" ඔව් ඔව් මම තමයි , මොනවද කරගන්න ඕනේ ?"

මම මේ දැන්වීමක් හදා ගන්න කියලා 

ඔව් අපි ඒවා තමයි කරන්නේ .. ප්‍රින්ට් මීඩියාද , රේඩියෝද , ටීවී විසුවල් ද 

ටීවී එකේ පෙන්නන්න තමයි 

හරි .. මොකක්ද ප්‍රෝඩක්ට් එක 

අපි මේ අලුත් කිරි පිටි ජාතියක් වෙළඳ පොලට දාන්න කියලා .

කිරි පිටි නම් ඉතින් විකුනන්න ඉතින් එක්කෝ ළමයි පෙන්නන්න වෙනවා නැත්නම් අම්මලා පෙන්නන්න වෙනවා .

ඇත්තටම මම අහන්න හිටියේ ඇයි මේ එළදෙනුන්ගේ කිරි එළදෙන පෙන්නලා විකුනන්න බැරි කියලා 

ගොන් ප්‍රශ්න අහන්න එපා
එහෙම නෙමෙයි, හැම කිරි ජාතියක්ම විකුනන්නේ අම්මලා , ළමයි නැත්නම් , නැන්දම්මලා පෙන්නලානේ .. අපිට ඕනේ අලුත් කොන්සේප්ට් එකක් ..


ඉතින්   සේක්සුඇලිටි , දුක කියන්නේ තාමත් හොඳට විකිණෙන  කොන්සේප්ට් නේ 

ඊට වඩා විකිණෙන කොන්සේප්ට් එකක් නැද්ද 

ඔහේගේ වෙලාව හොඳයි .. මං ගාව තියෙනවා එළකිරි කොන්සේප්ට් එකක් , බ්‍රෑන්ඩ් නිව් . .. ඔන්න ඇස් දෙක වහ ගෙන හිතෙන මවා ගන්න ... 

මහා දුක්මුසු , ජාතික සෝක දිනවලට රේඩියෝ එකේ යන , සිතාර්  මියුසික් එකක් එක්ක ඔන්න විසුවල් එක පටන් ගන්නකොටම පොඩි එකෙක් ඉන්නවා ලෙඩ ඇඳක . ... අම්මලා ආච්චිලා පොඩි එකාගේ ඇඳ වටේ... අම්මා  බිස්කට් එකක් කවන්න හදනවා , පොඩි එකා කන්නේ නෑ , ඔලුව අනෙක් පැත්තට හරවා ගන්නවා ..ආච්චි ඔරේන්ජ් ජූස් එකක් ගේනවා . කොල්ලා බිත්තිය  පැත්තට හැරෙනවා  .. කොල්ලාගේ අප්පච්චි ඉන්නවා ඈතට වෙන්න බෙල්ලේ තුවායක් පටලාගෙන .. එක පාරටම කැමරාව බිත්තියට යොමුවෙනවා . බිත්තියේ නිකන් පොඩි එකෙක්ගේ අකුරු වලින් ඇඳපු  බෝඩ් එකකට ෆ්‍රේම් එක යනවා " මහා මාරාන්තික වගේ උපවාසය " .. වටේ මිනිස්සු කතා කරන සද්දේ පොඩ්ඩක් ලාවට ඇහෙනවා 

"මොකුත්ම කන්නේ නෑ  කියන්නේ ... ඔහොම ගියොත් කොල්ලා මැරෙයිද ..." මිනිස්සු කතා කරනවා ඇහෙනවා නිකන් ලාවට වගේ හොඳේ 

අනේ මන්දා ඕක ගැලපෙයිද කියලා , මේ කිරි විකුනන්න

ඔහොම ඉන්නවකෝ  කලබල නොවී ..ඇස්  දෙක වහගන්නවා කෝ තව ටිකක් .. ඔන්න එකපාරටම හේවිසි  සද්දයක් එනවා  . එක පාරටම අර පිරිස මැද්දෙන් හාමුදුරු කෙනෙක් එනවා කිරි වීදුරුවක් අරගෙන . .. පොඩි එකා නැගිටලා බොනවා .. අම්මයි ආච්චියි හාමුදුරුවන්ව බදා ගන්නවා 

ලොක්කා මේ ..ඕක හරියන්නේ නෑ ..හාමුදුරුවෝ බදා ගන්න ..පිස්සුද ඕයි... 

හරි එහෙනම් ඒ කෑල්ල කපමු ..හැබැයි ඉතින් ආච්චිලා අම්මලා හාමුදුරුවෝ බදාගෙන තමයි ගොඩක් තැන්  වල ඉන්නේ .. කමක් නෑ ඔහේගේ කැමැත්තක්, ඔහෙනේ කස්ටමර්  ..ඊට පස්සේ ඊළඟ විසුවල් එක කිරිවීදුරුවක් , බැක් ග්‍රවුන්ඩ් එකේ ලෙලදෙන සිංහ කොඩියක් .. සිංදුවත් එක්කම ටැග් ලයින් එකක් ලියවෙනවා 

අපි යක්කුන්ටත් කුක්කු පෙව්වේ 
කෙලින් හිටවලා 
මල්ලි , කෙලින් හිටවලා  

..  කොහොමද ?

මේ මම දැන් ඇස් දෙක අරින්නද ?



පලි : හාමුදුරු කෙනෙක් කිරිපොවා උපවාසය නවත්වයි... එහෙමයි පත්තරේ තිබ්බේ . මේක තල කීපයකින්ම කිරිමිනෙල් කේස් එකකි . මා මිතුරෙක් මේ ගැන කිව්වේ වාහන අවභාවිතා කළ එකා , හාමුදුරුවෝත් අවභාවිතා  කරලා කියලාය . 

 අයෙක් කීවේ බුද්ධාගම දැන් දේශපාලකයින්ගේ , ධනවත් මිනිසුන්ගේ ආයුධයක් වෙලා කියලාය. ඒ කතාවේ ඇත්තක්  නැත්තේම නැත . නමුත් බුද්ධාගම හැම දාම ධනවත් මිනිසුන්ගේ ආගමක්ව තිබුනා නොවේදෝ කියා විටෙක සිතේ   . අනේපිඬු සිටු ගේ සිට ටයිගර් වුඩ්ස් දක්වා බිල්ගේට්ස් දක්වා , ධනවාදයේ කෙළට ගිය අය,   හිතට සැනසුම හෙවත් හයි එකක් ලබාගැනීමට ඉන් පසු ලංකර ගන්නේ නිරාමිස බුද්ධාගමයි. තම ධනය රැස් කිරීමේදී කළ  පව් සෝදා ගැනීමට වතුරට දිය කරන්නේ බුද්ධාගමයි . එක අතකින් බිල් ගේට්ස්ට එය වැරදි නැත්නම් , වීරවංශට එය වැරදි වන්නේ කෙසේදැයි කියාද සිතේ .