30 July 2015

අසෝක වීදුරැවට පිරැනූ සැඳෑ අහස


ලා දම් 
මොටයි රෝස
අහස් නිල්
ඉහිරී
චමත්කාරය
අපරදිග නුබ

දික් කළ 
අසෝක වීදුරැවට
හෙමින් හෙමින්
කාන්දු වී
උතුරාවී
සැඳෑ අහස

26 July 2015

සංවර්ධන ආතල් සහ සමා බෝවීම

සංවර්ධන ආතල්

විහාරමහා දේවී එක
තරැණ වෙලා
වැට ගලවලා
පරණ දිනමින පත්තරේ
උපක්රමික හිල් අස්සෙන්
කපල් බලපු
පරාන
දැන් කියවන්නේ
තරැණයා


සමා බෝවීම

උන්නැහේව දැක්කම
මගේ පපුව ඩග් ඩග් ගාලා
ගැහෙන්න ගත්තා
දේශපෙරේමේ
ඔලුවේ පිරැනා
අපේ කම 
නාස් පුඩු දිගේ ගිහින්
පෙනහලු පිරැනා
එතුමා 
ලඟටම ලඟටම
එනවා
සිරි සරීරයේ
තෙදසට
දණහිස් පණ නැති උනා
සමා බෝ වෙන්න
මම ශ්රී දබරැඟිළ්ළ
තදින් අල්ලා ගත්තා




19 July 2015

ඇයි අපි කළුද ?......ඔබේ වටිනා චන්දය නිවැරදිව පාවිච්චි කරන්න

ගේට්ටුවට කව්දෝ ගසනවා ඇසුනෙන්, ඒ දෙසට  ඇදුනු ඔහුට හිතේ යම් චකිතයක් විය . කාලයකට ඉහත මෙසේම ගේට්ටුවට ගසා ඇතුළුවූ  නෝන්ජල් තරුණයෙකුට වූ හදිය ඔහු සිත තවම කම්පනය කළේය ... 

මමත් ඒ වුනු දෙයට වග කියන්න ඕනෑ  වරෙක ඔහු හිත කීවේය .. නමුත් සන්ධානේ ලේකම් තුමා මෙන්,  " වග වෙන්නම්... ඒත්  වග කියන්න ඕනේ නෑ " කියා ඒ හැඟීම ටිකක් තුනී කර ගත්තේය . අතීතය ගැන සිතා වැඩක් නැත , දැන් ඔහු ඒ රස්සාවට තිත තියා අවසන්ය .. 

මේවා ගැන හිතමින් නොදැනීම ගේට්ටුව ළඟටම විත්ය .. ගේට්ටුවෙන් එපිට කවුරුත් පෙනෙන්නට නැත . "හොල්මනක් වත් ද ?... "  සිතේ ඇතිවූ සිතිවිල්ල එසැනින් "පිස්සු මනස්ගාත ...."    කියා බැහැර කළේය .

"කව්ද ගෙදර " එහා පැත්තෙන් කටහඬක්  ඇසේ ....

ඔහු ගේට්ටුව විවර කළේය .. අඩි 4 කට නොවැඩි උසැති , දැකුම් කලු  පැහැති හාදයෙක් ,  දත් ඇන්දම පෙන්වා සිනාසෙමින් සිටිනෙන්ය ..

"ඔව් ????"

"මේ අර පෝස්ටර් අඳින ..."

"ඔව් ඔව් එන්න ඇතුලට "


තරුණයා ඔහු පසුපසින්ම ගොස් වැඩ කාමරයට ඇතුළු විය .  කාමරයේ බිත්ති පුරා එක එක දේශපාලන පක්ෂ වලින් ඉදිරිපත් වෙන අපේක්ෂකයන්ගේ පෝස්ටරය . ඔහු දිගු හුස්මක් ගත්තේය 

"හම්මේ දැනෙන දේශපාලන සුවඳ "

" නෑ  නෑ  මම හිතන්නේ අර පාප්ප බාල්දිය පල් වෙලා, දැන් මොකද මේ ..පෝස්ටරයක් ඇඳ  ගන්නද ?

"අනේ ඔව් මම මේ සැරේ ඉල්ලනවා . ඉතින් පෝස්ටරයක් ඇඳ  ගන්න ඕනේ . කට්ටිය කිව්වා හිතට වදින එකක් ඇඳ  ගන්න නම් මෙහෙටම එන්න කියලා ."

"හරි හරි ඉතින් මොන වගේ එකක්ද හිතේ තියෙන්නේ "

"හිතන් ආවේ නම් අප්පච්චි එක්ක කියලා ඔය මොකක් හරි එකක් තමා "

අයියෝ එක නම් හරියන්නේ දැන් අප්පච්චි එක්ක නැගිටපු තැන ඉඳන් , මුණ හෝදලා, දත් මැදලා ..නිදියන කම් ම ඔක්කොම එක එක්කෙනා පෝස්ටර් වල ගහලා . ඉතුරු වෙලා තියෙන්නේ ටොයිලට් යන එකයි , තව එකකුයි විතරයි ..

ඒකත්  එහෙමද , එහෙනම් යහ පාලන මොකක් හරි එකක් ...?

ඒකත්  ටිකක් කේස් , යහපාලනයේ නියමුවෝ , කොන්දොස්තරලත් හැම තැනම . එහෙම නෙමෙයි අලුත් විදියට මොකක් හරි කරමු 

එහෙනම් දුප්පතාගේ හිතවතා ? 

ගැහුවා 

එහෙනම් නිකන් මොකෙක් හරි හොඳ සතෙක් එක්ක නිකන් , පළාතේ සිංහයා , හස්ති රාජයා , පිවිතුරු හංසයා ..

හොඳ සත්තුත් ඉවරයි මල්ලි , ඔක්කොම ඉන්නේ නිකන් නරි , ගල් ඉබ්බෝ , ගොළු බෙල්ලෝ, ඇටි  කුකුලෝ වගේ එවුන් තමා    

හරි එහෙනම් මාස්ටර්ම  කියන්නකෝ 

කොන්ඩේ පොඩ්ඩක් ඩයි කරලා ගත්තානම් , ඔය තාරුණ්‍යයේ මොකක් හරි කියලා ගහන්න තිබ්බා 

ඒ වුනාට අයියේ , මට බඳින වයසේ ළමයි ඉන්නවා 

ඒකට කාරියක් නෑ ... 

එහෙම නෙමෙයි,  නිකන් ඔබේ චන්දයට වැඩි වටිනාකමක් වගේ එකක් 

මල්ලි කීයක් දෙනවද චන්දෙකට ?

ඒ කිව්වේ ?

ඔහොම ගහනවා නම් දෙන ගාණත්  ගහන්න ඕනේ ... එක චන්දෙකට හැට හැත්තෑ දාහ වියදම් කරන කට්ටිය ඉන්නවා ... වැඩි වටිනාකමක් නම් ඊට වැඩියෙන් දෙන්න ඕනේ 

අයියෝ , අපි මේ පලවෙනි සැරේට නේ ඉල්ලන්නේ , එහෙම වත්කමක් නෑ . මේ ළමයි දෙන්නා දීග  දෙන්න විදයක් නැතුව දහ අතේ කල්පනා කර කර හිටියේ ... කොරියාවට වත් යන්න කියලා ඉන්න කොට එකෙක්නෙක් කිව්වේ , ඊට වඩා හොඳ වැඩක් තියෙනවා කියලා ...අවුරුද්දක් දෙකක් පාර්ලිමේන්තුවට ගිහිල්ලා කීයක් හරි එකතු කරන් කෙල්ලෝ දෙන්නට දැවැද්දට කීයක් හරි එකතු කර ගන්න මම මේ හදන්නේ ....

ඒකත්  එහෙමද ?

අයියේ නිකන් "ප්‍රතිපත්ති ගරුක දේශපාලනය" වගේ එකක් ගහමුද 

පිස්සුද ඕයි , මේවා ප්‍රසිද්ධ ස්ථාන වල ගහනවනේ , කුණුහරුප ගහන්න බෑ .....වෙන මොකක් හරි බලමු .... මේ තියෙන්නේ මගේ ඉතිරි වෙලා තියෙන කොන්සේප්ට්ස් ..කොහොමද මේවා..."සද්දේ විතරයි ගඳ නෑ " එහෙම නැත්නම්  "මෙන්න හඬ දෙන්න ඉඩ "

ඒවා  නිකන් ... වෙන එකක් බලමුද .. නිකන් නියම පොදු ජනතා නියෝජිතයෙක් වගේ දැනෙන්න එකක් 

එහෙනම් " බජාර් එකේ කකුලක් " එහෙම නැත්නම්  "බොක්කෙන්ම සේවයට "

හොඳයි .... ඒත් නිකන්  ඇඟට දැනෙන්නේ නෑ වගේ 

එහෙනම් .. ඔහේ ගේ ශරීර ලක්ෂණත් බලලා ... "උස නැති උනාට වැඩ කෝටියක් "

අයියේ ඔය එක එකා කතා කිව්වට , නඩු දැම්මට එකක් වත් ඔප්පු වෙලා නෑ

ඈ ?

අපි ඕනේ නම් මෙහෙම ගහමු ...    "බී වාර්තා පමණි , අධි චෝදනා පත්‍ර කිසිත් නැති "

මම දැනන්  හිටියේ නෑ  තමුසේගේ  එහෙම ලයින් එකක් තියෙනවා කියලා .. එහෙනම් අපි පෝස්ටරේ ගහන්න ඕනේ ඒ පැත්ත වැහෙන්න ...


එහෙමද ?  එහෙනම් ,  "සත් ගුණවත්,  සිල් වත් , ඕනේ නම් ග්‍රාමසේවකගෙන් අහන්න " නැත්නම්  "වරදක් කලත් හිතකින් නොවේ "..?


පොඩ්ඩක් ඉන්නවා ඕයි විකාර කියවන්නේ නැතිව ... අපි ගහන්න ඕනේ නිකන් අහිංසක ආයාචනාවක් වගේ එකක්...මෙන්න මේවා බලනවා 
" එතෙර වෙන්න  සංසාරේ , දෙන්න මනාපයක් මේ වාරේ " නැත්නම්  " සු... සු ...  මේ  ... මටත් එකක් " 

හොඳයි ඒත් ...

මේ තියෙන්නේ ........තමුසෙට හරියටම ගැලපෙනවා ....

"ඇයි අපි කළුද ?".......අඩේ ඒක නම් මරේ මරු 

14 July 2015

සුරංගනී ගේ වෙනස , නොවෙනස

ස්ථානය : තුන්මුල්ල හංදිය . 
වේලාව : රාත්‍රී දහයට පමණ .

බස් රථයක් එනතෙක් සිටින තරුණයෙකි . ඊට ටිකක් ඈතින් සාරියක් හැඳ ගත් තරුණියක් විදී පහනේ ආලෝකයෙන් මෑත්වී , මාර ගහක සෙවනැල්ලට මුවාවී සිටින බව ඔහු දුටීය . මේ වේලාවට මෙතැන ඉන්නේ විදී ලඳුන් හෝ එහෙමත් නැතිනම් අනෙක් වුන් බව ඔහු දනී . හිටිවනම ය ඔහු දෙසට එන බව ඔහු ඇස් කොනින් දුටුවෙන් , ඔහු සිත කලබල විය .


සු සු සු 

ඔහු ඒ දෙස බැලුවේ තිගස්මෙනි ...(මේ මොන කරදරයක් ද ඔලුවට වැටෙන්න එන්නේ )

යනවා යනවා යන්න , මම ඔය සබ්ජෙක්ට් එකට නෑ 

මචං මාව අඳුනන්න බැරිද 

ඔහු ඇය/ඔහු දෙස බැලිය .

සාරියෙන් , මුහුණේ ඉලු පුයර ,  තොල් ආලේපන විනිවිදී කළ ඔහුට පුරුදු මුහුණක් පෙනෙන්නට විය 

මචං මම ...

ඒ ...සුරංග 

ඔව් ඔව් ....හැබැයි දැන් සුරංගනී 

මොකෝ මේ ?

මට කලක් ඉඳන්ම තේරුණා මම ගතින් පිරිමි උනාට හිතින් ගෑණු කියලා . ඉතින් මම වෙනස් වුනා . වෙනස් වෙන එකේ වරදක් නෑනේ 

හ්ම්ම් 

මද නිහැඬියාවක් 

උඹ ඉස්සර පන්සලේම නේ හිටියේ . තාම පන්සල් යනවද 

මම බෞද්ධ උනේ උප්පත්තියෙන්ම නේ .   පස්සේ මට ජේසුස් වහන්සේ හම්බු වුනා .දැන් මම බෝන් අගේන් 

ඒ කිව්වේ 

දැන් මම කිස්ට්‍රියන් ... පල්ලි යන්නේ . වෙනස් වෙන එකේ වරදක් නෑනේ 

හ්ම්ම් 

තවත් මද නිහැඬියාවක් 

චන්දෙ නේද ? කාටද සපෝට් කරන්නේ 

අපි නම් මචං ඉතින් පරම්පරා ගත අලි .. කැපුවත් කොළ .. ඒවා වෙනස් කරන්න බෑනේ 

හ්ම්ම් 

11 July 2015

රොටි කරවෙන ගඳ





Photo credits Shehan Gunasekare (https://www.facebook.com/574293862595164/photos/a.730572830300599.1073742104.574293862595164/1004042642953615/?type=1&theater)


මේ දිනවල බොහෝ දෙනා සිටින්නේ සිත් තැවුලෙනි . රොටි කරවෙන ගඳක් නාසයට දැනේ. එසේ වුයේ ඇයිදැයි බොහෝ දෙනා විපක්ශිතව සිටිති. එය එතරම් පුදුමයට කාරණයක් නොවේ යයි මම සිතමි . 

සිරිසේන මහතා  පරණ සිස්ටම් එකේ බුවල්ලා ගේ ග්‍රහණයට අසු වී ඇත. මේ බුවල්ලා මහින්ද රාජපක්ෂම පමණක්යැයි නොසිතන්න. මේ බුවල්ලා ගේ අඬු  රනිල් වික්‍රමසිංහය , ජාතික පදනමකින් බලයට එන සුළු ජාතික පක්ෂය , කැපුවත් නිල්  කැපුවත් කොළ දේශපාලනයය, ඒ දේශපාලන ක්‍රමයේ අතපල්ලෙන් වැටෙන දෙයකින් පැවැත්ම සදා ගත්, ඒ සඳහාම පුරුදු වූ සමාජයය. මෙකී  හා නොකී නෙක දේය .

නමුත් අපි ප්‍රශ්නයක් දෙස බලද්දී,  ඇති දෙය ඇසේ ඇනෙද්දී, නැති දෙය පෙනෙන්නේ නැතුව යයි .  මහින්ද රාජපක්ෂ මහතාට නාම යෝජනා ලැබී ඇත .. ඒ සමග ඔහු වටා සිටි නඩයටද නාම යෝජනා ලැබී ඇත . ඒ ගැන සිහින් හඬින්  වුව විරුද්ධත්වයක් නැගේ .  එහෙත් පහු ගිය සමයේ බලය ඉතාම අනිසි ලෙස පාවිච්චි කළ බවට බොහෝ අය චෝදනා කළ නිල් බලකායේ අණ දෙන නිලධාරිතුමා  ගැන  කෙඳිරියක්වත් ?... ඇමරිකාවේ විශ්වවිද්‍යාලයක කල ප්‍රකට පරීක්ෂණයක් තිබේ . එය "කාමරයට ආ ගොරිල්ලා " ( The Invible Gorilla Test) යයි හැඳින්වේ .  පරීක්ෂණයට ලක්වෙන්නාට වීඩියෝවක් තුල සිටින කළු සහ සුදු කමිස හැඳි අය ගණන් කිරීමට නියම වෙන අතර , වීඩියෝව මැදදී ගෝරිල්ලෙක් කාමරයට එන්නේය . 50% ක් ඒ ගොරිල්ලා නොදකී ...පහුගිය පළාත් සභා සමයේ     ලංකාවේ මෙය අත්හදා බැලුවා ඔබට මතකද , ජිනජර් ව , රුවන්ති ව පෙන්වා ඉන් පසු නාම යෝජනා හකුලා ඒ අස්සෙන් මල්ෂා ව ඇතුලට යැවීම දැන් අමතකද ? ... ඒ සාර්ථක ක්‍රමය නැවත දියත් කර ඇත්ද ?

ජනේරු අටවනදා සිරිසේන මහතාට ලැබුණු ජනවරම තුළ බොහෝ අනිසි තීරණ ආපසු හැරවීම හා දැඩි තීරණ ගැනීමේ අභිප්‍රාය ජනතාවට විය. එය එසේ නොවීමෙන් හා ඔහු මේ ගැන ගොළුවත රැකීමෙන් කියන්නේ , ඒ සැබෑ බලය ඔහු වෙත නැති බව නොවේද ?
"ඕක ඔහොමම වෙනවා තමා හිටං , නිකං  පරඩලක් වගේ මනුස්සයෙක් නේ රැවුලක් වත් නෑනේ හිටං" කියන්නට අයෙක් ඉක්මන් වන්නට පුළුවනි . නමුත් පැණි වරකාවක් ගහෙන් බිමට වැටෙන්නේ, එය ඉදෙන විට එහි බර වැඩි වෙන නිසාම ද , සුර්ය තාපයට එහි නටුව  වේලී  දුර්වල වෙන නිසාම ද , කපුටන් විත් එහි නටුව කඩා දැමු නිසාම ද , සුළඟට අසුවී ඒ මේ ඇත පැද්දුනු නිසාම ද ?   සංසිද්ධියකට එක හේතුවකට වඩා තිබිය හැක .


මයිකලන්ජෙලෝගෙන් වරක් අයෙක් "ඔබ මේ අනගි ඩේවිඩ් ප්‍රතිමාව ඇඹුවේ කෙසේද " යයි විමසු විට ඔහු පිළිතුරු දුන්නේ 
" මම ගලක් අරන් ඩේවිඩ් ඉතුරු කරලා අනිත් ඔක්කොම ඉවත් කළා " කියාය . 

පිළිතුර ඇතැම් විට එයම විය හැක .

01 July 2015

අල්ලන සෙල්ලම්




ඔන්න එහෙනම් 
ඇස් දෙක වහගන්න 
සීයට ගණන් කරන්න 
එකයි දෙකයි 
.....අනුනවයයි 

හොරා හොරා 
එහෙම ඔට්ටු නෑ
එහෙනම් මම දුවනවා 
පිම්මේ 
හරි 
පුලුවන්නම් 
 අල්ලන්න