18 April 2014

සතුට , නැවත සිතීම // Re thinking happiness

කාලෙකට පස්සේ ඔන්න කතා කරන පින්තුර (කවක් ).
වෙලාවකට කැමරාවත් එක්ක පාරේ ඔහේ ඇවිද ගෙන යන කොට නිකන් භාවනාවක් වගේ .  ඇහින්  ඇතුලුවෙන රූප  , හිතේ කවි, කතන්දර ලියනවා . කැමරාවෙන් ලියා ගන්න කතන්දරේ කොච්චර ලඟට සමපාත වෙනවද මන්දා ඒ කතාවට .

Some times walking through the streets with the camera in your hand is like a meditation . The images that come through your eyes and writes prose in your mind . And in the post processing you try to recreate the that story in the pictures that you have captured 




මගේම මගේම අඳුරු කොනක
In a dark nook of one's own

හිතක හිරවුණු තාලයක
In a tune stuck in one's head 




 නෙතක හිරවුණු සිනා පැල්ලමක
In a stain of a smile covering the gaze


සතුටු සිතුවිල්ලක සේයාවක් රැඳුනු
One finds a faint hint of happiness 

10 April 2014

කුසලානේ උණුසුම ළඟ දුක දැනෙන්නේ නෑ



සින්දුවක් අහලම පටන් ගනිමු . මොකද දැන් හැමෝම ගහයිනේ සින්දු ජය සමරන්න . ඉතින් මම ලියුවා එකක් කලින්ම . පරණ තනුවකට නව පද මාලාවක්

කුසලානේ උණුසුම ළඟ දුක දැනෙන්නේ නෑ 
මැච් එක දෙක දිනපු ගමන් , දුක පෙනෙන්නේ නෑ 
දේශප්‍රේමි  කඳුළු උනා මග පෙනෙන්නේ නෑ 
මැජික් වෙට්ටු ඩමී නැතිව රට කොරන්න බෑ 

චියර් එකෙන් විසිල් එකෙන් සැමගේ කුසගින්න නිවේ 
ලෝකය උඩු යටිකුරු වී ප්‍රාර්ථනා අමතක වේ 
සැමදා  එක විජ්ජාවම නොහැකි ලෝකයේ 
මේකෙන් ටික දවසක් රන් කල හැකි සාමිනේ 

කුසලානේ උණුසුම ළඟ ....

කුසලානේ පසක තබා , එකිනෙකාට  කේක්  කවයි 
කැප්ටන් පැත්තකින් තියා , මණ්ඩලයක් ගේම දුවයි 
ඔල්වරසන් හඬින් ගිගුම් දෙවන දීපයේ 
සාටකේ හුවා "මෑන්  ඔෆ් ද මැච් " සිනාසේ 

කුසලානේ උණුසුම ළඟ ....

කරමි පාපොච්චාරණයක් . ඔන්න මම නම් තනිකර දේශප්‍රේමී , ජාතිවාදී ක්‍රිකට් ලෝලියෙක්මි . ඒ කියන්නේ ඉඳලා ඉඳලා බලන්නේ ලංකාව ගහන මැච් එකක් විතරයි . ඒ වගේම අවස්ථාවාදී ක්‍රීඩා ලෝලියෙක් . ෂුවර් එකටම පැරදෙන මැච් මම බලන්නේ නෑ .
(නිකන් පැය  ගානක් නාස්ති කරලා ලේ පුච්ච ගන්න ඕනේ නෑනේ ).

අපි ඉතින් මැච් බලන්නේ අන්තර්ජාලය ඔස්සේ නේ .  ගිය සති අන්තයේත් ඔන්න මම, මගේ පාට වියකුණු ශ්‍රී ලංකා ක්‍රිකට් ටි ෂර්ට් එකත් ඇඳ  ගෙන,  බැලුවෙමි අවසන් තරඟය . පරදේසක්කාර කඩුල්ලෙන් කඩුල්ල දැවී යනකොට මගේ හද ජාතිආලයෙන් පිරී  ගියා . ඔන්න අපි දිනනවා , සංගා  උඩ පනිනවා , ජාල සම්බන්දය බිඳෙනවා . "buffering " තිරයේ දිස් වෙනවා. තිරයේ රූපය  ගල් වෙනවා.මට ගහපු විසිල් එකක් ඉස්පොල්ලේ යනවා .

පලි : අවුරුදු 18ට පසු ලබා ගත ජය ලඝු කරනවා නෙමෙයි මම , ඒත්  අනු හයේ දැනුනු මොකක්දෝ දෙයක් මේ සැරේ නොදැනෙනවා වගේ .
මොකද කියන්නේ ? කොහොමද සිංදුව ?

09 April 2014

Error 404 (moments before)

හේ සුසුම් හෙලා
ඉනික්බිති ඈනුමකින් ලය පුරා
දිලි දිලි නිවෙන
නිවි නිවි දිලෙන
නිල් පැහැ තිරයට
අනිමිසලෝචනයෙන් නෙත් යොමා
ඇගිලි තුඩු සක්මන් කර
යතුරුපුවරුව මත
ගලපත් අකුරෙන් අකුර
තනනට වදන "සැබෑ ජීවිතය"
සොයන්.
දෙන්නේය විදානය ඔහු

He sighs
and yawns
in that order, of course
Before he stares
in to the blinding blue
Incandescent screen
and type "real life",
in the search bar,
and wait.

01 April 2014

සිහින සතක් දුටුවෙමි මම

සිහින සතක් දුටුවෙමි මම සත් දවසක් එක විලසට . ඒ වුනාට මට පෙනුනෙම විකාර රූපී ම සිහින


සිහිනය 1
මම ගාල්ල නගරයේ ඇවිදගෙන යන්නෙමි . බස් නැවතුම් පොලක් ඉදිරිපිට සිටින්නේ දැක පුරුදු මුහුණකි .
ඒ අනර්කලී ආකර්ශා මෙනෙවියයි .
"ආ මිස් අඳුන ගන්නත් බැරි උනා . මොකද මෙතන . මාතර බස් එකක් එනකන් ද ?
" නෑ  මෙයා , අරයා එනවා කිව්වා , ටිකක් පරක්කුයි වගේ . නුවර ඉඳන් එන්නත් ඕනෙනේ "
මෙවන් ලද බොළඳ ලඳකට , චන්දෙන් පැරදුනා  මදිවාට , මෙසේ අව්  කාස්ටකේ  රස්තියාදු වීමට වීම ගැන මගේ සිතේ හීන්  දුකක් ඇතිවිය
" මිස් ඕවා ගණන් ගන්න එපා . දැන් මොකද කරන්න හිතාගෙන ඉන්නේ ?"
" මම අලුත් වැඩක් පටන් ගත්තා " ඇය  මට නේම් කාඩ් පතක් දිගු කරන්නීය .
උපදෙස් ලාබයි . ජනාධිපති උපදේශිකා ...එහි ලියා  ඇත 


සිහිනය 2
සුදු පාට පජෙරෝවක් ම ඉදිරියට පැමිණෙන්නේය . එහි සන් රූෆ්  එකෙන් ඉන තෙක් එලියට දා ගත් තරුණයෙක් මට අත වනන්නේය .
" මචං  මම දිනුම් '
" ආ එහෙනම් ජයවේවා කිව්වා "
" එහෙම නෙමෙයි , අද අපි ඔක්කොම සෙට් වෙනවා නයිට් ක්ලබ් එකේ , බේබිත්  එනවා . අයියත් එන්න . හොඳ ෆන් එකක් ගත්තහැකි ."
"අපි කිව්වේ ?"
" මගේ ජයග්‍රහණයට කැප වෙච්ච කට්ටිය "
" ආසනේ චන්දදායකයෝ ඔක්කොම එනවද ?"
"උන්ට උදේ කිරිබත් කෑලි  ටිකක් බෙදුවා . තාත්තත් කිව්වා ඕකුන්ව වැඩිය ලං කර ගන්න එපා කියලා ජනතා සේවය කරන කොට"


සිහිනය 3
බැංකුවක් මත තැබූ දාන් ලෑල්ලක  එක පැත්තක අතිගරු ජනාධිපති තුමා ඉඳ ගෙන සිටින්නේය . අනෙක් පස බිම හිඳගෙන සිටින්නේ හිරුනිකාය .
"ඔන්න ජනාධිපති තුමා මම මෙහෙම මේ ඉත්තවත් කපලා  , මේ  අනික් ඉත්තවත් කපලා  රජ වෙනවා . කොහොමද මගේ මූව්  එක ?"
ඇය  හඬ නලවා අසන්නිය .
ඔහු කතාවක් නොමැත . මාපටඟිල්ලෙන් රැවුල සකසමින් කල්පනා කරන්නේය.
" ඔබ තුමාට මන්  ගැන ආඩම්බරයිද ?"
ඔහු හිමින් සැරේ හොරෙන් වගේ පයින් ලෑල්ලට  ගසන්නේය . සමතුලිතතාවය බිඳෙ . ඉත්තන් ඉවතට විසිවේ . ඇතැම් ඉත්තන් වෙනත් කොටුවලය . ඇතැමුන් ලෑල්ලේ දාරේ දිගේය .
ඔහු මුහුණේ  අහිංසක පෙනුමක් මවා ගෙන සිනාසෙන්නේය
" ඔහ්  කකුල වැදුනනේ  . දැන් මොකද කරන්නේ . අයෙත් මුල ඉඳන් අදිමුද ?"


සිහිනය 4
සෙනග රැස්වී සිටිති . ඊට ටික ඔබ්බෙන් දිග මේසයක් පිටුපස අනුර කුමාර මහතා , ස්තුති කතාවක්  කරන්නේය . කතාව පැහැදිලිව ඇසෙන්නේ නැත .
එක වරම මා අසල සිටි කෙනෙක් අත්පොලසන් දෙන්නට විය .
"සහෝදරයා ඇහුනද ? මටත් ස්තුති කළා "
" හරියටම ඇහුනේනම් නෑ  . නම කිව්වද ?"
" නම නම් කිව්වේ නෑ  "
"එහෙනම්?"
' ඇයි  කිව්වේ , මෙකි නොකී කියලා "


සිහිනය 5
උදය ගම්මන්පිල වේගයෙන් ඇවිදගෙන පලා යන්නේය . මම ඔහු ලුහුබඳිමි .
"මහත්තයෝ ගම්මන්පිල මහත්තයෝ , ඕයි  නවතිනවකෝ "
"මම නැවතී ඉන්නේ පින්වත, ඔබයි දුවන්නේ "
මට යකා නගින්නේය " මේ ඕයි  නිකන් බුදු ටෝක් දෙන්න එපා . මට කුණුහරුප  එනවා කටට  "
" හරි හරි මොකක්ද ගැටලුව ?"
" දැන් ඔබද මහ ඇමති ?"
" බලනවකො ඕයි  පින්වත . මගේ දුකට වඩා ඇගේ දුක , දුක වැඩි වුනානේ . දුක තමයි ඉතින්"
" එතකොට අර හදනවා කිව්ව ධර්ම රාජ්ජේ ? එකතු කරපු සීයේ කොල ටික ?"
"චිහ් , ලැජ්ජා  නැත්ද ඕයි පිනට දුන්න දේ ගැන ආයෙත් අහන්න ?"


සිහිනය 6
හාත්පසම අඳුරුය . එහෙත් අඳුරු සෙවනැලි අතරේ කවුදෝ ඉන්න බවක් මට දැනේ . එක්වරම හේ ගීතයක්  ගයන්නට පටන් ගන්නේය
"මඩේ ලගින තාරාවන් දිනවතහැකි බං
ඌරූ  දලින් වුව ගජ මුතු අර ගත්තහැකි බං
චපල බසට කැටයම් දා විකුණත  බං
එහෙම කලොත් ඔබ කියාවී  "
" පොදු අපේක්ෂකයා , පොදු අපේක්ෂකයා මං  ..." මම කෑ  ගසමි
" හා හා  කලබල වෙන්න එපා . 2016 වෙනකන් ටෙස්ට් මැචස් නෑ "  ගොරෝසු හඬකින් කවුදෝ කියන්නේය 


සිහිනය 7
"ම ..මයන්න " නිවේදිකාව මා දෙස බලා කියන්නීය .
මම මයන්නෙන් ගීතයක්  මතක් කරමි .
" ඔබ  දැන් ඉන්නේ ජයග්‍රහණය පෙනෙන මානේ . සීමාසහිත දේශප්‍රේමී සමුහ ව්‍යාපාර අනුග්‍රහයෙන් පිරිනමන අයිස්චර්ය තෑගි මල්ලට බොහෝ ලඟින්."
හරි මතක් උනා  . මම ගීතය පටන් ගනිමි
"මගේ සිහිනය මට දකින්න ඉඩ හරින්න . ...... ඒ සිහිනෙන් මා මුදන්න ලං නොවන්න "

....................."අම්මේ ලං වෙන්න එපා . ඔය එපා කියන්නේ "
ඒත්  සමගම සිනා හඬක් පැතිරෙන්නේය . මම දෑස  විවර කරමි . යතාර්ථය මට සමපාත වීමට මොහොතක් ගතවේ. මට පුටුවෙම නින්ද ගොසිනි
" අප්පච්චි දැන් හීනෙන් සින්දුත් කියනවා " මා දියණිය ඇනුම් පදයක් එල්ල කරන්නීය
" පුරුදු විදියට ගෙරෙව්වනම් හොඳයි වගේ " මා දයාබර බිරිඳ මාගේ ගායන කෞශල්‍යය අගය කරන්නීය