28 January 2018

බුරුවා හිස මත තබාගෙන ගිය මිනිසා , වෙලට අයිතිවාසිකම් කී පඹ රාල සහ අනෙක් සතියේ පුවත්

පප්ප පප්ප පා , 
පප්ප පප්ප පා , 
පප්ප පප්ප, පප්ප පප්ප, පප්ප පප්ප පා....
ටීක් ටීක් ටීක් ...

මෙන්න සතියේ පුවත් . ප්‍රකාශය  අංක සමරජිත් 

තම පුතා සමග බුරුවෙක් දක්කාගෙන , නගර මධ්‍යයේ කලහකාරී ලෙස හැසිරුණ මැදිවියේ පුද්ගලයෙක් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා . විටෙක බුරුවා දක්කාගෙනද , විටෙක බුරුවා කර උඩ තබා ගෙන ගමන් කරමින්ද ,  විටෙක බුරුවා පිට උඩ  ගමන් කරමින්ද, විටෙක දරුවා බුරුවා පිට  හින්දවා  වහසි බස් දොඩමින්ද මොහු ගමන් කළ  බව දුටුවන් කියති .

(රූපරාමු )
මිනිසුන් වටවී සිටිති . අයෙක් එ මැද  නුර්තී ගීයක් මුමුනමින් කඩු සටන් රඟති .
එක්විටෙම නැවතී කඩුව කැමරාව දෙසට එල්ල කරයි 
" එම්බා අකමැතිය ගනු සටන  හිටං එනු කඩුවට හිටං .. මෙන්න චැලේන්ජ් එක ..."
යනුවෙන් යමෙකුට අභියෝග කරයි 

(නැවතත් මැදිරියට )
මොහුව පෙබරවාරි අටවනදා තෙක් රක්ෂිත බන්ධනාගාර කර ඇත .

*
කුඹුරේ ආරක්ෂාවට යයි සිතා හිටවූ පඹයෙකු , මුළු  වෙල්යායටම අයිතිවාසිකම් කීමේ සිද්ධියක් පසුගියදා අලිගමෙන් වාර්තාවිය .

(රූපරාමු )
අලිගම වැසියන් තමන් දෙසට එල්ලවූ මයික්‍රපෝන වෙත තම අදහස් ප්‍රකාශ කරති .

" අපි ඉඳලා ඉඳලා කලකට පස්සේ වෙලකට බැස්සේ ආයුබෝවන් . කුඹුරේ ආරක්ෂාවට තමයි මේ පඹ රාලව හිටෙව්වේ ආයුබෝවන් . මෙන්න කරළ 
පැහීගෙන එනකොටම මූ කුඹුරට අයිතිවාසිකම් කියාගෙන එනවා ."

කැමරාව සුදු ඇඳුමකින් සැරසුණු අයෙක් දෙසට යොමුවෙයි 

"මේ සුදු ඇඳුම අන්දලා මාව වෙල මැද  හිටෙව්වේ මේ කට්ටිය තමයි . අසරණ කමට  පඹයෙක්  ගානට හිටියට මමත් ගමරාල කෙනෙක් . ඊට පස්සේ , ගිරව් ඇවිත් වැහුවේ මගේ ඔලුවේ, ගොයම් මැස්සෝ කීඩෑවෝ පුරුක් පණුවෝ ඔක්කොම රිංගුවේ මගේ කන් අස්සේ ,  රෑට නරි හූ  කිව්වේ මට .  හැබැයි මහ දවල්ටත් නරි හූ කිව්වා . මඩ ගා ගෙන , මඩ නාගෙන හිටපු ගොයියෝ , මට කියනවා ඒ හූ  කිව්වෙත් මටලු . ඒ වුනාට සුදු ඇඳුම ඇඳලා මම ඉඳිද්දී උන් හිටියේ අමුඩ කෙටියෙන් ... කොටින්ම මම හිතන්නේ ඉතින් මම තමයි මේ කුඹුරේ නියම හිමිකරු . අනෙක ඔය ගොවිකම එච්චර ලොකු කජ්ජක් නෙවෙයි . මම මෙච්චර දවසක් බලාගෙන හිටියනේකොහොමත් වැඩේ වැඩිහරිය කරන්නේ අත්  ට්‍රැක්ටරෙනේ. තියෙන්නේ එක ස්ටාර්ට් කොරන් එකයි, පස්සෙන් යන එකයිනේ  . විටින් විටෙ ඔය බෙහෙත් ටිකක් එහෙට මෙහෙට ඉහින එකයි නේ  "

අලිගම වැසියන් කියා සිටියේ , එව්වට ආවොත් තමන් ඇන්දවූ සරම ගලවාගෙන යන බවය .

*
දැන් කෙටි විරාමයක් 

*
(වෙළඳ දැන්වීම් )
කෝපයෙන් ඇඟ වෙවුලනවාද , ලජ්ජාවෙන් මුණ රතුවෙනවද , කළ මෝඩකම් නිසා බඩ බුරුල් වෙලාද 


සීනුව ලකුණ අරිෂ්ට ..දැන් අලුත් දවටනයෙන් ,  

බීලා බලමුද ? 

*

පොප් පොප් ,පොප් පොප් ,
පොප් පොප් ,පොප් පොප් ,
පොප් පොප් ,පොප් පොප් ,
පොප් පොප් , 
පොප්  , 

පොහොට්ටුව ලකුණ පොප්කෝන් 

බලන් ඉන්න සෙට් වෙන්න 
අහුරක් අතට ගන්න 

ඔහේ හපන්න 

20 January 2018

බැරල් , කොළඹ ගෑනු සහ කාන්තාවෝ



ගිය සතිය මැද බැරල් එකක් පෙරලුනා .  
කාන්තා අයිතීන් පිලිබඳ කතාව ආයෙත් පත්තු වුනා . මේක ගැන රට පුරාම , බුකිය පුරාම එක එක කට්ටිය තම අදහස් ප්‍රකාශ කරලා තිබ්බා . තවත්  මයික් ටයිසන්ලා කට්ටියක්, , රට වටේම ගිහින් මයික් දික් කරලා වොයිස් කට් ගත්තා . සමාජයෙන් කොන් වෙන්න බැරි හින්දාම  පිංච් පොයින්ට් හි අපිත් වීදී සරා , ජනතාවගේ අදහස් විමසා සිටියා . 

අපිට මුලින්ම හම්බුවුනේ ඉබා ගාතේ ඇවිදගෙන යන තලත්තෑනි අයෙක් .  රාජගිරිය ගුවන් පාලම පහු කරලා බත්තරමුල්ල පැත්තට යනකොට . හරියටම පාර්ලිමේන්තුව ඉස්සරහ දී

***
මහත්මයා ගේ නම මොකක්ද 

නා නා නන්දසේන මහතා  

මම නා නා නන්දෙ , නා නා නන්දසේන 

මිස්ට නා නා , අපිට පොඩ්ඩක් ඔබ එක්ක කතා කරන්න පුලුවන්ද ?

පුළුවන් , මට නන්දෙ කියන්න .. මල්ලි මුලින්ම කියනවද මට,  මේ පැත්තේ හොරු එහෙම ඉන්නවද 

ඉන්නවා ඉන්නවා අරක ඇතුලේ දෙසිය විසිපහක්ම ඉන්නවා 

ඈ .. ඒහෙම කිව්වද?  නැත්නම් මට ඇහුන හැටිද?  ..දෙසිය විසිපහක් ...එතකොට මේ මේ .. පැත්තේ හො හෝ හොල්මන් එහෙම  තියෙනවද ?

ඔව් ඔව් , මළ  හොල්මන් තමා අරක ඇතුලේ ඉන්නේ 

හැ 

මේ මිස්ට මේ මමයි ප්‍රශ්න අහන්නේ ..

හරි හරි අහන්න , අහන්න 

 අපි දැන ගන්න කැමතියි කාන්තාවන්ට  මත්පැන් මිලදී ගැනීමට ඇති අයිතිය ඇති කිරීම හා අත්හිටුවීම ගැන ඔබේ අදහස 

ඒක පොඩ්ඩක් හරි නෑ  නේ 

මොකක්ද  තහනම නැති කිරීමද නැත්නම් නැති කිරීම අත්හිටුවීමද ?

නැතිකිරීමද , අත්හිටුවීමද ....ඔව් ඒකයි ඒකයි තමා 

දෙකම එහෙම හරි නොයන්න ... හරි.. එතකොට ඔබතුමා හිතනවද කාන්තාවන්ට මත්පැන් අලෙවි කලොත් රටේ සංස්කෘතියට හානි වෙයි කියලා 

එහෙනම් , දැන් බලන්න අපේ ගෙදර , තුන් වේලටම මුළු පවුලම කන බොන ඒවා තීරණය කරන්නේ අපේ නෝනා . දැන් නෝනා පොඩි සොට් එකක් දාන්න තීරණය කලොත් , අපි කාලා හමාරයි නේ 

එතකොට මිස්ට නන්දේ කියන්නේ , ඒ තීරණ ඔක්කොම ගන්න ගෑනුන්ට ඔට්ටුයි හැබැයි තමන් කන බොන දේ ගැන තීරණය කරන්න ඔට්ටු නෑ .
සෝමාවතී ඩුබායිවල බැල මෙහෙවර කරලා එනකොට , ඩියුටි ෆ්‍රී එකෙන් මිනිහට බෝතලයක් ගෙන්න පුළුවන්... හැබැයි වයින් ස්ටෝර් එකෙන් කාලක් ගන්න බෑ .
මේ ප්‍රශ්නේ ෂොට් එකක් ඇතුලේ හිරකරන්න එපා ..මේක ෂොට් එකෙන් ඔබ්බට ගිය ප්‍රශ්නයක් අයියා 

ෂෝට අස්සේ ඩියුටි ෆ්‍රී ?.. වයින් ඉස්ටෝර්? ..  වයින් ස්ටෝර් !   .. නෑ  නෑ  මල්ලි  මේක ෂොට් එක ගැන ප්‍රශ්නයක්ම  තමා .. ගොඩක් පිරිමි ෂොට් එකක් දාන්නේ පිරිමි කමට ... ඉතින් කොහෙද ඒ ඉස්පෙස් එකට ගෑනුත් එන්ටර් උනොත් ..

එතකොට නන්දෙ අයිය දැක්කද අර බැරල් ඇඩ් එක .. මොකද හිතන්නේ එක ගැන 

ගෑනියෙක් හැඩේ බැරල් නොවිය යුතුයි කියන්නෙත් පිරිමි නේ මල්ලි .. අනික් අතට ඔය ඇඩ්  එකම ඉඟ සුඟ ගත හැක එක මිටින ගෑනු පරානයක් දාලා තිබ්බා නම් , ගෑනු උනත් මොකුත් කියන්නේ නෑ නේ ... ඒත්  දෙකම එකයිනේ ..කියන්නේ එකම දේ නේ ...ඇඩ්ඩ ටයිසින් නේ ..

තීරණ ගැනීමේ අයිතිය කාන්තාවන්ට  තිබිය යුතු නැද්ද 

ඕක මගෙන් අහලා හරියනවැයි .. අහනවකෝ ආණ්ඩුවෙන් 

ඇහුවා , රාජිත ඇමති තුමා නම් කිව්වේ කොළඹ ගෑනු විතරක් නෙමෙයි කාන්තාවෝ කියලා 

ඒ මට ඇහුන විදියද , මූ කිව්ව විදියද ...කොළඹ ගෑනු ?..කාන්තාවෝ ?....හරිනේ . ඔය තීරණය ගැනීමේ අයිතිය කොළඹ ගෑනුන්ට විතරක් දෙන්න 

එහෙම හරිද 

හරි ඕයි . ඒක එහෙම කරන්න ඕනේ . ප්‍රශ්න ප්‍රාදේශීය කරණය කරන්න ඕනේ එතකොට අනිත් එවුන් හිතනවා මේක අපිට අදාළ නෑ ..අපිට වැඩක් නෑ කියලා 

ෂුවර්ද  ?එහෙම හරිද  ? 

හරි නැත්තම් අහනවකෝ .. අහනවකෝ... ජනාධිපතිගෙන් 

අපි ගියා අහන්න ... හිටියේ නෑ ... අපි ආවා 

අපරාදේ තමුසෙලාට තව පොඩ්ඩක් ඉන්න තිබ්බේ ... පොඩ්ඩක් දොට්ට පිලට යන්න ඇති .. හිටියා නම් අල්ල ගන්න තිබ්බා 

ඒ මට ඇහුන හැටිද ... නැත්නම් මූ?

පලි :

සංස්කෘතිය වෙනස් වේ . එය පාලනය කල යුත්තේ  සමාජ සංවර්ධනය සඳහා උචිත ලෙසය. 

කලානුරුපිතව සම්මතයන් වෙනස් නොකර ගත්තා නම් අපිට ලන්කට් එකක් වත් අඳින්න වෙන්නේ නැත.  අපේ සංස්කෘතිය ඇතුලේ තියෙන බෞද්ධ හික්මීම,  සමානාත්මතාව ගැන කතා කරන කොට අපිට රජවරුන්ගේ අන්තපුර අමතක වේ . 
රටේ 51% ගෑනුන්ය. රටේ බේබද්දන්ගෙන්  80% වැඩි ප්‍රමානයක් පුරුශයන්ය. ඒ ගෑනුන නොබෝන්නේ මේ නීතිය නිසා යයි ඔබ හිතනවාද? 

ඇත්තටම මෙය ෂොට් එක පිළිබඳව නොව, ෂෝට හෙවත් යට කලිසම ඇතුලේ ප්‍රශ්නයකි . සංවර්ධනය යනු හයිවේ නොවේ . සිතිවිලි පිලිබඳ සංකල්පයකි . රාජගිරියේ  ගුවන් පාලම විවෘත කරන ගමන් , ගෑනුන් ගැන මෙවැනි ස්ථාවරයක් දැරීමට රටකට හැකිවීමෙන්  කියන්නේ කුමක්ද . .. 

ප්‍රසිද්ධ රැස්වීමක පිරිමියෙකුට, කොළඹ ගෑනුන්ට තියෙන නිදහස අනිත් පලාත්වල ගෑනුන්ට ඕනේ නෑ  කියා . කාන්තාවන්ට සම අයිතිය දීම විදේශ කුමන්ත්‍රණයක් කියා ....නිරුපද්‍රිතව ගෙදර යන්න හැකි වීමෙන් කියවෙන්නේ කුමක්ද 

ලංකාව තවම සංවර්ධනය වෙමින් පවතින රටකි !


ප ලි ට ප ලි 

මෙය ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නය නොවේ . ලොකුම ප්‍රශ්නය මුලින් විසඳීම යනු  අන්දරේ ගල ඉස්සුවා ජාතියේ එක්ස්කියුස් එකකි 



බැරල් කතාවේ ලින්ක් එක




06 January 2018

කුඹී කෑම , සහෝදර පෙම සහ අනිත් එක

කූඹි කාපුවහම , කසලා කසලා පලු දානවා . නයි කූඹී තමා වසම . කුඹී , කනවා කිව්වට , උන් කිට්ටු වෙලා , අඬු දෙකෙන් පොඩ්ඩක් අපිචර්මය කොනිත්තලා , පස්ස හරවලා ඇසිඩ් බින්දුවක් තියෙනවා උඩින් ... ඔන්න එතකොට තමයි කැසිල්ල  පටන් ගන්නේ .

රටම කුඹී කෑවේ මාස කිහිපයකට කලින් . දැන් නම් පලු බැහැලා යන්න අරන් .. ඒත්  , පස්සේ පටන් ගත්ත සහෝදරයා , වෙනම මානේකට කට්ටියව අරන් යන්න පටන් අරන් . මේවා දෙකම  ආර්ටි වැඩ... රූපමය කාව්‍යාත්මක බව අතින් ඉස්සරහට පැනපු  ... කොහොම වෙතත් මේ දෙකම එකට බලලා , රටේ සමාජීය තත්වය , අපේ ජීවිත ගැට ගහන දේශපාලනය ගලපන්න හදන්නේ මම විතරක් නොවෙන බව මට විශ්වාසයි . 

කූඹියෝ එකේ  ගේම් කාරයා , සහෝදරයා එකේ ගවේෂණාත්මක මාධ්‍යවේදියෙක් වෙලා .
සත්‍යය කියන කොන්සේප්ට් එක සහය රංගනයක යෙදෙනවා දුමිඳු එක්ක නාට්‍යය දෙකේම . ධනවාදය අස්සේ , සිදුරු හොය හොයා රිංගන  ගේම් කාරයා එකේම දුතිකාවක් හමුවේ අසරණ වෙද්දී , අර සත්‍යවාදියා , ධනවාදයේ පරණ වලව්වක ඝනකම බිත්ති අස්සේ සිත මිස කය නැතිව හිරවෙලා , බළලුන් ලවා කොස් ඇට  බාවන්න හදනවා .
 දෙකේම පසුබිමේ තියෙන වාමාංශික දේශපාලනය , මාන දෙකක . ඒත් මාන දෙකකද ? කූඹියෝ එකේ වාමාංශික පක්ෂයේ ඔෆිසිය තියෙන්නේ පරණ කොලෝනියල් බිල්ඩිමක බව නෝට් වෙන්න ඇතිනේ .

අලුත් ලෝකයක් හදන්න හදන අජන්තට වෙන්නේ , තමන් වෙනුවෙන් බලාපොරොතතු  තියන් ඉන්න  උන්ව රස්තියාදු කර කර , අනෙක් උන්ට කඩේ යන්න . දැන් මේක මැදට සහෝදර කම ඇදලා ගන්න එපා . සහෝදර කම කියන්නෙම එකෙක් විසින් අනෙකාව පාවිච්චි කිරීම ද කියලා හිතෙනවා වෙලාවකට (භෞතිකව , මානසිකව හෝ වෙනත් අයුරකින් වුව )

ඒත්  මේ දෙපොට හා ගොතන්න තවත් පොටක් තියෙනවා . එතකොට තමයි   තුන්පත් රෑන වියෙන්නේ .. ඒ.. පැරීසියට යන පාර ... 
මහුල්පතගම ඉඳන් කොළඹ එන ප්‍රියන්ත , වාමාංශිකයෙක් වෙන්නේ කුඹියෝ  එකේ . මෙන්න පැරිසියේ මූ,  මිනිස්සු බෝට්ටුවේ ඕස්ට්‍රේලියා යවනවා .. ඇත්තටම ප්‍රියන්තගේම අනාගත ඉරණමමද කියලා හිතෙනවා වෙලාවකට .

 අනිත් අතට අර බුදුන් වැඳලා වැඩට යන පොලිස්  කාරයයි , පෝස්ටර රෝල අරන් යන කැම්පස් කාරයයි , හවසට එකම කාමරේ නිදා ගන්න එකත් මරු .


එකේ ගේම් කාරයා , උපාධිදාරීයෙක් නෙමෙයි, සත්යවාදියෙකුත් නෙමෙයි .   ලොන්ඩරි යක  අනුන්ගේ ඇඳුම් බලෙන් ඇඳ ගෙන යන , විජේ වගේ වීරයෙක් . 

හැම මිනිහෙකුටම ජීවිතයක්  ඇතුලේ වීරයෙක් වෙන්න මොහොතක් එනවා . හැබැයි බොහෝ වෙලාවට අපිට එන්නේ මහා සත්යවාදියෙක් වෙන්න , තඩි ගේමක් ගොඩ දා ගන්න චාන්ස් එකක් නෙමෙයි , අනුන්ගේ ඇඳුම් ඇඳන් පොඩි චන්ඩි පාට් එකක් දාන්න චාන්ස් එකක් විතරයි .

කූඹියෝ එකේ , සහෝදරයා එකේ තියෙන රූප කාව්‍ය , පැරීසියේ  නෑ . සංගීතය ඉමෝෂනල් නෑ . කොටින්ම ඒක  ආර්ටි නෑ ... රූප  .. ෆැන්ටසි ගතියට වඩා , ගොන් ජෝක් ගතිය වැඩියි ... සැබෑ ජීවිතය වගේම . අපි වගේම . 

පලි 
මේ ගැන දිගින් දිගටම හිතුන නිසා ලියලා දැම්මේ සිතුවිලි ටික අත අරින්න . ඒත් , ලියුවට පස්සේ දිගින් දිගටම සිතුවිලි ගලා එන්න පටන් අරන් . කැමතියි ඔබේ සිතුවිලි දැන ගන්න . එන්න කොමෙන්ට් හරහා සෙට් වෙන්න