31 August 2015

සාමාන්‍යයෙන් ...

"සාමාන්‍යයෙන් ජෝන් " ගෙන් ඇසුවොත් 

ඔබ සාමාන්‍යයෙන් බොනවද ?
ඔහු දේවි  එයට හරිම  පිළිතුර
ඔව් සාමාන්‍යයෙන් බොනවා

ඔබ සාමාන්‍යයෙන් මොනවද හිතන්නේ ?
සාමාන්‍යයෙන් හිතනවා

එතකොට
දැන් කොහොමද සාමාන්‍ය තත්වය
තත්වය සාමාන්‍යයයි

එතකොට කොහොමද ආණ්ඩුව 
සාමාන්‍යයෙන් යහ පාලනය එහෙම
සාමාන්‍යයෙන් යහපාලනය තියෙනවා

***


29 August 2015

මහතැන්න හඬන්නී // Mahathanna weeps (silently)




පෙරවදන 
කාලේකට ඉස්සර . ඒ කියන්නේ කොල්ලා කාලේ . අපි කොටුව දුම්රිය පොලේ කොම්බුව යටදී එක්තරා උදෑසනක හමුවුණෙමු. පැය අටකට නමයකට පසු ඔහිය දුම්රිය පොලෙන් බැස , මහතැන්නට ඇවිද්දෙමු . මහා තැන්නේ දින කීපයක් ගෙවුවෙමු . අතේ තිබුණු තුට්ටුවෙන් ෆා ඉන් එකෙන් බීර බෝතල් දෙකක් ගෙන බෙදා ගත්තෙමු . එදා සිට මහතැන්න මා මතකයේ පැල්ලමක්  විය . දැනුදු බොහෝ විට  ලංකාවට ගිය විට මම මහා තැන්නට යන්නෙමි... දකින්නට එහෙම කියා සතෙක් නැති , ගහක් කොලක් නැති ( මම හරිත වනාන්තර වඩාත් ප්‍රිය කරමි ) මහා තැන්නේ මම යන්නේ තේ කඩය ලඟට පමණි . පුරුද්දට මෙන් , ලුණුමිරිස්, අතීත කාමය (නොස්ටල්ජියාව ) සමග රොටියක් කා , ප්ලේන්ටියක් බොන්නෙමි . අම රස පිරි ඥානකථා දැන් එහි නැත ...ඒත් වැඩි සීනි ප්ලේන්ටිය එසේමය . එක් වරම , එදා ඔහියෙන් ආ ගමනත්  අදත් අතර කාලය මතකයෙන් අතුරුදහන් වේ .


සිතේ කවක් ලියවේ . මම එය පොතේ පිටු අතර සටහන් කරමි 

මහා තැන්න
දොඩවන්නී 
හීන් හඬින් 
ඈ මතක කථාව 
අමතක කර 
තබන්නී 

ගල විද 
එලු 
රේල්ලු 
පාර දිගේ 
සුද්දා විත් 
දැක 
විඳ 
ගෙන වසඟයට 
වාසගමද දී 
ගියේය 

ඈ 
සුසුම් ලන්නී 
හමන පවන්හි 
කඳුලෙන් තෙමන්නී 
සඟවා 
පාවෙනා වළා හී  




Mahathanna
speaks loudly 
in silence 
of the past 
throbbing memories 
she'd rather forget

The white men
who built rail tracks 
came along
to see
shucked her off 
her composure.
conquered.
gave their names.
and forgot

She sighs 
in a strong breeze
the cloud shawl
cloak  you 
soak you 
in her tears


පලි :
පින්තුරය ගත්තේ තේ කඩේ පිටි පස්සේ මහජන වැසිකිලියේ කවුළුවෙන් . මෙය දුටු මා මිතුරෙක් මෙයට Nature's calling කියා සටහනක් තැබුවා .   දෙවැන්න ඇත්තටම මහ තැන්න හඬනවා කැමරාවේ සටහන් වූ අයුරුයි . ඇගේ සුසුම් , කඳුළු හා වේදනාව ඔබට නොදැනේද ?

26 August 2015

The three legged man ( the national government?) // කකුල් තුනේ මිනිහා (හෙවත් ජාතික ආණ්ඩුව ?)





Right handed scribes
families of four
and men within
their self-imposed 
three drink limit
on a work night
and other orders  
and norms 
stare disapprovingly
at the 
three legged man

one to lead the stride
another for good measure
and the other
just to draw
attention 

***

දකුණත් හුරුවෝ 
අම්මයි . තාත්තයි . පුතයි . දුවයි 
පුංචි පවුල් 
සතියේ දින 
ෂොට් තුනේ සීමාවේ 
මෙපිට සිට 
හෙලත් 
නුරුස්සුම් 
බැලුම් 

මේ කකුල් තුනේ මිනිහෙක් !

පළමු පය පෙරට 
දෙවැනි සමබරට 
තෙවැන්න 
ඔහේ පස්සෙන් යන 



15 August 2015

කොලොම්පුරේ ශ්‍රියා හෙවත් කොළඹ ගමන පසුවදන හා මැතිවරණයේ අතුරු කතා

අපි සති කීපයකට කොළඹ ගියෙමු . හමුවීමට බොහෝ දෙනා , කිරීමට දහසක් දේ සිතේ තබා ගෙන ගියත් හැමදා මෙන්ම එය අසාර්ථක විය . බොහෝ දේ මෙන් එකම දේ නැවත නැවතත් කරමින් වෙනස් ප්‍රථිපල බලාපොරොත්තු වෙමු . පිස්සුද හැටිද නොදනිමි . හමුවූ කිහිප දෙනෙකු හා ඇති වූ දෙබස් කිහිපයක් පහත දක්වන්නේ එහි සිතීමට යමක් ඇතැයි මට සිතුනු නිසාය . නමුත් ඒ ගැන වැඩිපුර සිතීමෙන් වලකින්න , එය ශාරීරික මෙන්ම මානසික සෞඛ්‍යයටද අහිතකර විය හැක 

 මුළු රටම චන්ද උණුසුමෙන් ඇළලී  ඇති නිසා මේ දෙබස් වල දේශපාලන ෆ්ලෙවර් එකක් ඇත , ඒ ගැන කමා කරන්න ( වරදක් කලත් හිතකින් නොවේ ).


****

කොහේද මාමේ පපුව අල්ලන් දුවන්නේ ?

කඩේ යනවා ළමයෝ 

එහෙමද ?  ඒත්  පපුව  අල්ලන්   දුවන්නේ?

කට්ටියක් බඩ අත ගගා කඩේ යනවා , තව කට්ටියක් ඔලුව කහ කහ කඩේ යනවා , ඉතින් මෙහෙම ගියාම මොකෝ ....ඇයි අවුල් වගේද ?


***


ආ නැන්දේ මොකෝ මේ සුදු රෙදි ගොඩක් හෝදලා වනලා 

වැඩක් නෑ ළමයෝ කතා කරලා ,  ජනවාරි මාසේ ඉඳන් හැම පන්සලකටම ගියා . අම්මේ ....එහෙම පින්වන්ත කාලයක් . ගෙදරට ඇවිත් බස් එකේ ගෙනියන්නේ . .. හැම දාම සෝ එකක් ...සමහර දවස් වලට දෙක තුන ...ඕන් ...මම ඉතින් සුදු කිට් දෙකක්ම මහගත්තා , සල්ලි සල්ලි කියලා බලන්නේ නැතිව . ...කොහෙද මේ අපේ කරුමෙට නාම චෝදනා දුන්නා නේ ....

වචනේ නාම යෝජනා නේද නැන්දේ ?

එහෙමද ?

***


ආ මල්ලි කවදද ආවේ 

ගිය සුමානේ ..   අයියා නම් චන්දෙට බැහැලා වැඩ වගේ  

නෑ එහෙම එකක් නෑ 

එහෙනම් අර රවී ගේ තඩි කටවුට් එකක් අර අඹ ගහ ගාව හිටවලා තියෙන්නේ ?

මල්ලි ඒකත්  දැක්කද ?   නෑ නෑ ඔය අඹ ගහට පිටි පස්සේ කෙහෙල් ගහෙ කැනක් මෝරනවා.  මේ පැත්තේ හරියට හොරු නේ. මම ඕක ගෙනත් තියනවා හවසට   ගස් අස්සෙන් , යාන්තමට පෙනෙන්න . එතකොට කළුවරට නිකන් කවුරු හරි ඉන්නවා වගේනේ මුරට 

මරු මිනිහා මුරට තියලා තියෙන්නේ 

ඇයි  මල්ලි අවුල්ද ?

***


ආ සර් කොහේටද යන්නේ .

මේ හන්දියට යන්න . කීයක් ගන්නවද 

අපි දැන් මීටර් නේ ... නගින්න සර් 

(ටික දුරක් ගිය පසු )

සර් ඒක  නෙමෙයි   සර් ගේ මතය අනුව  කවුරු අගමැති කරා නම් හරිද ?

ඒකට ඉතින් ඔය කට්ටිය ඉන්නේ 

මම නම් කියන්නේ සර් මහින්ද මහත්තයා දිනුවත් ඕක ගන්න හොඳ නෑ 

ඇයි  ඒ ?

නෑ සර් දැන් ඔය මහින්ද මහත්තයා නැගිට්ටවන්න , ඔය වාසු මහත්තයා, වීරවංස මහත්තයා , ගම්මන්පිල මහත්තයා ලා කොච්චර මහන්සි උනාද ?.. කළගුණ සලකන්න ඔය අගමැති කම ඒ එක්කෙනෙකුට දීලා දාන්න තියෙන්නේ .

එහෙම කළගුණ සලකන්න එක එක්කෙනාට දෙන දෙයක් යෑ අගමැතිකම කියන්නේ 

ඈ හ් ... එහෙම එකක් නෙවෙයිද ?

01 August 2015

සඳ එනකන්

සඳ
ඇවිදන් ඒවී
මේ මග දිගේ
කහ පැහැ වීදී ලාම්පු එලිය
තාර පාර මත ඉහිරැනු
පරිස්සමට මග හැර
දිගට ඇඳුනු සෙවනැලි
මහලු මාර ගස්වල

ඈ එනතෙක්
ඔහු හිඳී වී
කල්පයක් හෝ
දෙකක්

සඳ
අඳුරැය
එක් පැත්තක්
සදහටම
බරට හෙවනැල්ල
දිගා වුනු
දනී
ඔහු
එය

....කම් නැත.
(සුවඳ සබන් කෑල්ලක්
සිලි මල්ලක)

අවුල්වූ කෙහේ
තොල් සායම් පාට පැල්ලම්
මිලාන ලාභ විලවුන්
..ඈ එන්නීය...
(ත්‍රී වීලරයෙන්
බැස)