10 November 2018

පාලසේන මෙතඩ්

ලංකාවේ බහුතරය  දිනවල දේශපාලනය පිලිබඳ හා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා පිලිබඳ විශේෂඥයන්ය. ඒ අතුරිනුත් අති  විසේසඥයන් වන්නේ බුකී වාසින් හා තෙසක් රියදුරන්ය .  

අප , තෙසක් රියකට නැග , මහද නමැති වන බඹරා,  මලට ලංවූ සේ , රියදුරු තෙම වෙත ලංවී ඇසුවේ ... මොකක් වෙයිද කියාය ... 
"මොනවා වෙන්නද , අපිට  හි .." ( වාරණය කරන ලදී ) ලද පිළිතුරෙන් අපි  ලයින් එක වෙනස් කළෙමු ...

මොකද හිතන්නේ ජනාධිපති තුමාගේ හැසිරීම ගැන  

මහත්තයෝ , එතුමා දකින කොට මට මතක් වෙන්නෙම අපේ ගමේ හිටියා පාලසේන කියලා ගොයියෙක් .. 
උන්දැ ගේ අප්පා ටොයියාපාල , මව් බයියා වතී . අප්පාට 
 ඕනේ උනා මූට  සේන කියලා නම තියන්න , මව්ට ඕනා උනේ මූට පාල කියලා නම තියන්න. පස්සේ මූ  පාලසේන උනා .

මේකා අමු ඇට්ටරයා . හිමිච්චා වගේ ඉන්නේ . ඕකා මොකක් හරී නසරානි වැඩක් කරපුවහම බයියාවතී , හඬ උස් කරලා බනින්නේ ටොයියට . " කොල්ලා හදපු විදිය තමයි ඔය කියලා " . හැබැයි ඕකා මොකක් හරි හොඳ වැඩක් කරපුවහම , අයිතිය බයියාවති තනි බුදලේට ලියා ගන්නවා " මයේ කොල්ලා " කියලා 

 අම්මලා එහෙම තමයි 

ටොයියාපාලයත්  ඔහොමයි.. 
මොකක් හරි දස වැඩක් කරපුවහම, ගෙදර ඇවිත් කෑගහන්නේ "අන්න තමුසෙගෙ පුතණ්ඩියා .." කියලා . 
හැබැයි අවුරුදු උත්සවේ විරිදු කියලා දිනපු  දවසේ නම් ටොයියා කීවේ " කොල්ලා දස්සයා අප්පා වගේම"  කියලා ... බයියාවති පැත්තක ඉඳන් කිව්වේ "අප්පා කවුද කියලා දන්නේ මං නේ" කියලා .

එහෙමත් සීන් එකක්ද 

ඕකා ඉස්සර දාන් අදින්න යනවා ඔට්ටුවට . මිනිස්සු වටේ ඉඳන් ඔට්ටු අල්ලනවා . සමහරු කැට තියනවා පාලසේන දිනයි කියලා , සමහරු  මූ  පරදියි කියලා .  මූ  ටිකක් ඉත්තෝ එහෙ මෙහෙ කර කර ඉන්නවා . ඉත්තෝ කැපුනහම , "අයියෝ දැක්කේ නැහැනේ" කියනවා . ඔහොම ඉඳලා ලෑල්ලට පයින් ගහලා පෙරලනවා . 
ඔට්ටු අල්ලපු ඔක්කොම පරාදයි .  කඩේ මුදලාලිට ගාන පියවලා , ඉතුරුටික ඌ සාක්කුවේ දා ගන්නවා 

මාර පුත්රයෙක්නේ .. දැන් කොහෙද ඉන්නේ 

හරියටම දන්නේ නෑ ..මව් නම් අද උදෙත් හම්බවුනා .. ගෑණිට නොනවත්වා කිම්බුහුන් යනවා 

03 November 2018

උන්ගේ සබන් ගා අපි නා ගැනීම ....පිස්සු ලාබයි සීසන් 2


පප් පප් ටින්කිරි කිරි කිරි පප් පප් 

ආයුබෝවන් ,  දිගු කාලයක විරාමයකට පස්සේ අපි හමු වෙන්නේ ඔබේ හදේ  රැඳුනු කාලීන  ව්‍යාපාරික වැඩසටහනත් සමග .. පිස්සු ලාබයි ...සීසන් 2 ...වොයිස් කට්ස් ..

ඉතින් අපේ බලාපොරොත්තුව එදා මෙන්ම , අලුත් අලුත් නිෂ්පාදන වෙළඳ පොලට ගෙන එන ව්‍යාපාරිකයන් ඔබ වෙතට ගෙන එන්නයි.  අපි ගියා කොළඹ වටේ , ඇහුවා ප්‍රශ්නයක් ... කොහොමද පිස්සුව .. සමාවෙන්න බිස්නස් 

(පදික වේදිකාවක , බෑග් එකක් කරේ එල්ලාගෙන සිටින සේල්ස් රෙප්  මහතෙක් තිරයේ දිස්වේ)

කියන්න මොනවද මේ දවස් වල විකුනන්නේ ?

අපි කරන්නේ සබන් බිස්නස් තමයි 

ඇයි  සබන් ම  තෝර ගත්තේ ?

මොකද අපේ ලංකාවේ කට්ටිය නාන්න හරි කැමතියිනේ 

බලමු මොනවද තියෙන්නේ කියලා 


මේ තියෙන්නේ අපේ ඕල් ටයිම් බෙස්ට් සෙලර් ප්‍රොඩක්ට් එකක් ...දෙසා ප්‍රේමි කාබෝලික් සබන් ... ගාලා නා ගත්තම මාර ගැම්මක් එන්නේ 

කෝ බලන්න .. හප්පා සැර කෙලින්ම කුඩා මොලේටම වදින්නේ .. වෙන මොනවද තියෙන්නේ 

මෙන්න මේ සිනිඳු සමට , යහ පාලි බේබි සොප් 

හරිම ප්‍රබෝධාත්මක රිෆ්රෙෂින් පුසුඹක් ... වෙන වෙන 

මේක අපේ අලුත්ම ප්‍රොඩක්ට් එක .. රෝස වසන්තේ ප්‍රජාතන්ත්රිකා ....

දැන් මේවා ඔක්කොම දේශීය නිෂ්පාදන ද ?

ඔව් ඔව් සීයට සීයක්ම 

කෝ බලන්න ... මේඩ් ඉන් ඉන්ඩි ..?

කෝ කෝ ඕක දෙන්න මෙහාට .. ඕක ප්‍රින්ටින් මිස්ටේක් එකක් ..මෙන්න මේක බලන්නකෝ 

මේඩ් ඉන් චයි ..?

කෝ කෝ ඕකත් දෙන්න මෙහාට ... මේ මාද්‍යටත්  ඕනේ නැති දෙයක් නෑනේ    (ඔහු පෑනක් ගෙන මොනවදෝ ලේබලයේ කුරුටු ගායි )... ඔන්න දැන් හරි ..  ශ්‍රී ලංකා කියලා ලිව්වා 

ඒ වුනාට මේවා දේශීය  නෙමෙයි නේද 

මෙහෙමයි මහත්තයෝ සබන් වෙන රටවල වුනාට  නාන වතුර අපේ නේ 


(නැවතත් මැදිරියට ... )

අපට අද ලැබී ඇති කාලය එපමණයි .... නැවතත් හමුවෙන තෙක් මතක තියා ගන්න ... හැමදේම බිස්නස් එකක් 
.... හැමෝටම තියෙනවා මිලක් .... ඒ වුනාට පිස්සු ලාබයි....


පප් පප් ටින්කිරි කිරි කිරි පප් පප් //

01 November 2018

ලංකාදාසගේ මෙව්වා එක

ලංකාදාස වැඩ කරේ සුද්දෙක් ගාව.. 

සුද්දා ආපහු ගමේ යන කොට ගෙදර බඩු එක එක අයට බෙදලා දුන්නා . ගෙදර තිබ්බ  රූප පෙට්ටිය හෙවත් ටී වී එක දුන්නේ ලංකාදාසට . 

ලංකා දාසත් චන්ඩියා වගේ මෙව්වා එක  කරේ තියාගෙන ගමේ  අරන් ගියා . සාලේ ඉස්සරහම පේන්න තිබ්බා . හාමිනේ  ඇවිත් ආසාවෙන් අත ගෑවා . ගමේම උන් ආවා මෙව්වා එක  එක බලල යන්නම . හැබැයි ගමේ ගෙදරට විදුලිය නෑ . සිග්නල් අහුවෙන්නෙත් නෑ .  "නිකන් හම්බුවෙච්ච එකනේ , ඔන්න ඔහේ පරෙස්සමට තිබිච්චාවේ , කවදා හරි ගම දියුණු වෙයි , එදාට පාවිච්චි කරනවා ".. ලංකාදාස  හිතුවේ එහෙම 

ටික කාලෙකට පස්සේ ලංකාදාස ගේ හාමිනේ මෙව්වා එක  වැහෙන්න ලස්සනට මල් මල් කවර එකක් මහලා දූවිලි  නොවැදෙන්න  , උඩින් මල් පෝච්චියක් තිබ්බා පාලුවට . 

පහු පහු වෙනකොට , මෙව්වා එක  උඩ , පොඩි එකාගේ සෙල්ලම් බඩු , ගෙදර යතුරු කැරලි , උදේ පත්තර වගේ නා නා ප්‍රකාර දේවල් තියන්න පාවිච්චි කරන්න ගත්තා . 

පිටි පස්සේ කවරේ ඇන ටික ගලවලා , ලංකාදාස පඩි දවසට ගන්න කාල බෝතලේ ආරක්ෂා සහගතව තියා ගන්න පාවිච්චි කළා . පොඩ්ඩක් අනුමත වෙන කොට බයිට් එකට ගන්න උම්බලකඩ කෑල්ල තිබ්බෙත් මෙව්වා එක උඩ .

මුලින් බදාගෙන බාරගත්ත ලංකා දාසගේ හාමිනේ ,  පහු පහු වෙනකොට ආඬි පාලි කියන්න ගත්තේ " මහා ලොකුවට සුද්දා විසිකරලා ගිය හුචක්කුව උස්සාගෙන ආවා " කියලා .



ප්‍රජාතන්ත්‍රවාදයත් ....