Showing posts with label කථා. Show all posts
Showing posts with label කථා. Show all posts

08 June 2017

සෝමේ අයියාගේ ගංවතුරු ආධාර බත් එක සහ කොම්පැනි ගංවතුරු ආධාර වතුර බෝතලේ

මේ , හෙට උදේට වැඩිපුර බත් එකක් බැඳලා දෙනවා .. ඉස්ටෙටමේ ගංවතුර ආධාර එකතු කරනවලු " කියලා සෝමේ අයියා කියපු නිසාම සොමි අක්කා උදේ පාන්දරම නැගිටලා බත් පාර්සල දෙකක් බැන්දා .

"මේ දැන්  මතක තියාගන්නවා , මේ පින්තුරේ තියෙන කොලෙන් ඔතලා තියෙන්නේ ආධාර බත් එක අනිත් එක ඔයාගේ .. ඒකට මාළු කෑල්ල  බෙදුවා . ගංවතුරු කාරයින්ට එලවුලුයි බතුයි ඇතිනේ " සොමි අක්කා සිලි මල්ලක බත් ගෙඩි දෙකම දැම්මා.

" එහෙම හොඳද ? " සෝමේ අයියා කෝච්චියේ එනකන් හිතුවේ ඒ ගැන .


කෝච්චියේ සීට් එකට හේත්තුවෙලා , පෝන් එකේ පේස් බුක්එකේ පහලට  යනකොට,  මෙන්න දැන්වීමක්

එක්තරා බෝතල් වතුර සමාගමකින් අඩු මුදලට ගංවතුර ආධාර සඳහා වතුර බෝතල් දෙනවලු .

කොම්පැනි නේ. මාසේ පඩියෙන්, තුන් වේල ගැට ගහන අපි වගේ නෙමෙයිනේ. වියදම වත් පියවගන්න ඕනෙනේ.

ඒත් එක්කම , රුපියල් දහය ගානේ , අඹ ගෙඩි  සීයක් විකුණු විට ලැබෙන ලාබයද , රුපියල් දෙක ගණනේ අඹ ගෙඩි දාහක් විකුණු විට ලැබෙන ලාබයද වැඩි , පොඩි ඒකිගේ ගණන් පොතේ පැනයක් සෝමේ අයියාට මතක් උනා

20 December 2015

ඇස් වලින් ඇසු සිංදුව

ඔහු පරිස්සමට ඇඟිලි තුඩින් ස්වර හඬවන්නේය පියනෝවේ . යතුරු මත ඇඟිලි සක්මනේ , කළු සුදු සුදු කළු සුදු .
මුමුනන්නේය , ගීයේ තාලය රහසින් මෙන් . 

ඈ ,  අසා සිටින්නී දෙනෙතින් ,  දෙ ඇස්  දල්වා .

මිමිණුම , කාටත්  හොරා වචන බවට පත් වේ 

"සුදෝ ..... මම ආදරේ ....." 

වචන නිමවී , සංගීතය ස්වර පණගැන්වෙන තෙක් පිරි නිහඬ තාවය , මහගෙදර ආලින්දයේ,  ඔහේ වල්  පල් කතා කරමින් කල් මරණ , තම ආගන්තුක සත්කාරය ඉක්මවා සිටින නෑයෙක් වැන්න .

ඔහු බලන්නේය, දෙඇස් ඔසවා ස්වර ප්‍රස්ථාරයෙන් .

ඇය , අසා හිඳින්නී නිහඬතාවයද, පද සේම. ස්වර සේම . 

ස්වර පෙරහැර නැවත ඇරඹේ , ඈ  විඳින්නී රිද්මය, තට්ටු කරමින් දණ හිසට දැඟිල්ලෙන් . 

"පොඩ්ඩක් ඕෆ් ටියුන් ගියා ..කමක් නෑ එයාට දැනුනේ නෑ " ඔහු දිග හැරුණු සිතුවිලි වසා ස්වර කළාලයක් එළන්නේය . 

අවසන් ස්වරයට පෙර ස්වරය ....
.....අවසන් ස්වරය ...
අන්තිමම අන්තිම ස්වරය .

ඈ අත්පොලසන් දෙන්නී , ළදැරියක්  මෙන් .
සිහින් ඇඟිලි කරකවා , මවන්නී වදනක් හස්ත මුද්‍රාවෙන් .

ඔහු කියවන්නේය එය 

"ලස්සනයි .." 

පලි : මේ කතාවට නිමිත්ත මා  ඇසු කතාවකි . එනම් මරදාන ඉස්ටේසමේ සින්දු කියූ යාචක යුගලක් ගැනය . සැමියා වයලීනය ගැසූ බවද . ඔහුගේ පාදයේ රිද්මයට මියුරු හඬින්  ගී ගැයූ බිරිඳ ශ්‍රවනාබාධිත බවද ඔහු කියූවේය . 

12 December 2015

නිවනට ගඩොල්

"හම්මේ බස් වල ඇවිල්ලා , මගේ හොඳ පන ගියා . ඒ මදිවට මේ ගඩොල් දෙකේ බරට උරහිස්ස කකියනවා "

ආතම්මා , හෙමින් උඩු තොල පහතට හරවා , පපුවට හුලන් පිම්බේය . ඉන්පසු ඔසරි පොට ගෙන පවන් සලන්නට විය . තවම රෙදි මල්ල කරේය . 

"අම්මේ ඔය මල්ල පැත්තකින්  තියලා ඉන්න ඉතින් . "  මා සිතිවිලි,  වචන බවට හැරවුයේ අම්මාය . 

"ඔන්න උඹලා දන්න බුද්දාගමේ තරම ...ඒක , බිම තියන්න පව් .... බුදු පිළිමේ ගාවින්ම තියනවා එක පාරම "

"මොනාද ආතම්මේ මල්ලේ , නයෙක්ද ?".....පවුලේ පුංචි ඕපා දූප සොයන්නී හෙවත්  නංගි,   ආතම්මාට ලංවිය .

"මේකේ තියෙන්නේ බොහොම වටින දෙයක් දුවේ ..." ආත්තම්මා බොහොම පරිස්සමෙන් මල්ලට අත දැම්මාය 

"ආතම්මේ සීනි බනිසක් ද ..."

"සීනි බනිස් නෙමේ ආත්ම ගණනාවකට වටිනා දෙයක් "

"නාග මානික්‍යයක්ද ?"

ආතම්මා අත දමා , මහගු වස්තුව එලියට ගත්තාය 

"අයියෝ ගඩොලක් .."

"උඹ ලෑ  මහා එවුන්ට වගේම , උඹලාටත් ...."

"සෙනඟ හිටියද අම්මේ පන්සලේ  ?..."   ඒ  කතාව දුරදිග යා නොදී අම්මා වෙනතකට හැරවුවාය 

'"මං  කලින් ගිය හින්දා හොඳට ගියා , සුටුස් ගාලා ගිහින් පැන්සොන් එක අර ගෙන , දුවලා ගියා පන්සලට . ... හොඳ වෙලාවට යහපාලන ආණ්ඩුවෙන් පෙන්සෝන් වැඩිකොලේ ....රුපියල් තුන්සිය පනහක්ම වැඩියෙන් හම්බුවුනා ....එක්කෙනුකුට එක ගඩොලයි කියලා බෝඩ් එකක් ගහලා තිබ්බා ...   සල්ලි සල්ලි කියලා බලන්නේ නැතිව  ...මම එතන කොල්ලට කියලා ,      මුන්ගේ සීයටයි මටයි ගඩොල් දෙකකටම සල්ලි බැන්ඳා ... අවුරුදු පනහක්  එකට පවුල් කාපු මනුස්සයා නැතිව තනිවම කොහොමෙයි නිවන් දකින්නේ ?.."

***
"ග්ර්ර් , ෆුෆුෆු "පත්තරේ පපුව උඩ තබා ගෙන හාන්සි පුටුවේ නිදා සිටි ආතා , එක වරම ගෙරෙව්වේය 

***

"ආතම්මේ මොනවද මේ ගඩොල් ...."  පුංචි ඕපාදුප කාරී ගඩොල අතට ගෙන ඒ මේ අත කරකවමින් බලන්නීය 

"හා හා පරිස්සමෙන් ... අපේ රජමහවිහාරේ දාගැබ හදනවනේ දුවේ ... මේ ඒක හදන්න ගඩොල් .... අපේ ඇමතිතුමා , යහපාලන ආණ්ඩුවෙනුත් ලස්ස ගානක් වෙන්කරගෙනලු මේ වැඩේට .."


"හි හි ඉතින් ආතම්මා ගඩොල් ගෙදර ගෙනාපුවහම , දාගැබ හදන්නේ කොහොමද ?"

ආතම්මා වදනින් නොකීවත් , දහසක් දේ බැල්මේ ලියවුනි 

"නෑ දුවේ ආතම්මා මේ ගඩොල් ගෙදර ගෙනාවේ , හැමෝටම අත  ගස්සලා , ආපහු ගෙනියන්න ..." ආතම්මා ගේ වතේ පිළිඹි කුසල් සිතුවිලි සම්මා වාචා බවට පෙරලීමට කලින් අම්මා උත්තර බැන්දාය .

***

"...විදුලිය සම්ප්‍රේෂණය වෙන්න සන්නායකයක් අවශ්‍යයි . නිමල් විදුලි පේනුවට ඇඟිල්ල දැම්මහම , ඔහු ගේ ශරීරය විද්‍යුත් සන්නායකයක් ලෙස ක්‍රියා කරලා ..."
සිරිසේන සර් , පන්ති බාර ගුරුතුමා , 

***
කොල්ලෝ මේ පත්තරේ එලාපන් , ගඩොල් දෙක වේලෙන්න තියන්න 

ආතම්මා දිය පිරි පනිට්ටුවෙන් ගඩොල  ගත්තේ පරිස්සමටය . මා අත දිගු කලද , ඈ එය නොදැක්කා සේ ගඩොල ඈ විසින්ම ගෙන ගොස් පත්තර පිටුව මත තැබුවාය .

"අම්මේ මේ රෙද්ද හොඳද ගඩොල ඔතන්න ?.." අම්මා පැමිණ සුදු රෙදි කඩක් දිග හැරියාය . උදැහැනැක්කේ සිට ආතම්මා පිං ගඩොල් රාජයන් ඔතන්නට සුදු රෙදි කඩක් හොයන්නේ , අද අද මරු  එන බවක් කියමිනි 

අපෝ ඕක එපා , ඕක ගිය චන්දෙට දුන්න සිල් රෙද්ද . අර යටින් සුභ අනාගතයක් කියලා ගහලත් තියෙනවා. මේ යහපාලන ආණ්ඩුවේ දාගැබට ඕක හරියන්නේ නෑ ... ආතම්මා කුසළ කර්ම ගැන ගැඹුරු ධර්ම කරුණක් අපට කියා දුන්නාය 

***
"සබ්බ දානං ධම්ම දානං ජිනාති "
බුදු හාමුදුරුවෝ උපුටා දක්වමින් , රජමහා විහාරයේ නායක ලොකු හාමුදුරුවන් වහන්සේ 

***
කවුරුත් පෙනෙන්නට නැත . මම හෙමින් සැරේ ගඩොලට ලංවීමි . ගඩොල දෙඅතට ගතිමි . දිය පෙඟුණු ගඩොලේ , කර්කශ පොළොවට , මුල් වැස්ස වැටෙන විට නැගෙන සුවඳ නැගේ . මම දිගු හුස්මක් ඇද්දෙමි . ඒත් මේ පිං ගඩොලත් ඉස්සරහ තාප්පය හදන්න ගෙන ගඩොල් වැනිමය . මම එය මුවට ලංකර දිව ගෑවේ , රසයේ වත් වෙනසක් ඇත්දැයි බැලීමටය ... එකෙනෙහිම 

" මොකක්ද ඒ කරපු  අලගේත්තෙරු වැඩේ ?..."   

ඒ මොර ගෑම ආතම්මා ය . ඉන්පසු වූ සිද්ධීන් මට හරියටම මතකයක් නැතත් , මා බිය වෙන්නට ඇති බවත් , ගඩොල අත හැරෙන්නට ඇති බවත් , එය බිම වැටි කුඩු වී ඇති බවත් මට අනුමාන කළ  හැකි විය 

***
"මාත්‍රාව වැරදියට අනපුවහම , ගඩොල් වතුරට දිය වෙනවා පුංචි මහත්තයෝ . කුඩු වෙනවා . මෝඩ ගඩොල් "
- ඉස්සරහ තාප්පය බැඳී සීමන් බාස් 

***
"පව් කාර කම , පව් කාර කම ... දැන් එක ගඩොලක් කුඩු ... කොහොමෙයි දෙන්නම නිවන් දකින්නේ ?.. හ්ම්ම්ම් මොනවා කරන්නද ? උන්දැගේ පෙන්සෝන් එකෙන් උන්දැට නිවන් දකින්න කියනවා ...."


පලි : නිමිත්ත :චාමි මුහුණු පොතේ ලියු කෙටිම කෙටි ඕපා දූපයක්  ඇසුරෙන් මෙය ලියවුනි .

27 September 2015

රොක් හඩ්සන්



හඩ්ඩා  අහස දෙස බලා ගෙන සිටින්නේය . කොමලසිරි විදානේගේ හඩ්සන් , ඒ උප්පැන්නේ නම . එය හඩ්ඩා යයි ලඝු වූයේ කවදාදැයි හරියටම නිච්චියක් ඌට වත් නැත . ඒ හැත්තෑ ගණන් වල මැද  භාගයේ යයි යාන්තමට මතකයක් ඇත . පන්ති පහට ගිය හ ඩ් ඩා, ඉන් පැන ආවේ ඉංග්‍රීසි සින්දු කියන්න නොදුන් නිසාය . 

"මචං මල්ලි මේ සයිඩ් බර්න්ස් තියෙනවා නේද ?  " 

ඒ ඔහුගේ සුපුරුදු ඇමතීමයි . මේ සයිඩ් බර්න්ස් කතාවද පරණ කතාවකි . ඒ ප්‍රශ්නය එතනින් එහාට විකාශනය නොවේ ,  හැමදා මෙන්ම හිස්ය . කන්පෙත්තේ සිට අඟලක් පමණ පහලට දික්වුනු , අංශක 45ක ඇලයට කැපුණු පැති  රැවුල ඔහු අභිමානයෙන් පිරිමදින්නේය .

***
ගෝල්පේස් පිට්ටනියට ඔබ්බෙන් ඉන්දියානු සාගරය අටවක සඳ තුරුළු කරගෙන , පැද්දී පැද්දී නලවනවා . පොඩි එකීට ගුඩුස් ගිහින් බිව් සඳ රැස්  උගුරක් සාගරය පුරාවටම ඉහිරිලා 

***

එකදහස් නවසිය අසු දෙකේ, ජූනි මස හැන්දෑවක , ගිටාරයක් තුරුළු කරන්, ඉගිපොප් ගේ , බෝවීගේ සිංදු , උන්ට වැරදුනු තැන් නිවැරදි කරනවා. සින්දු දෙකක් මද රොක්ලන්ඩ් රතු රම් වඩියක් සෝඩා වල දියකරනවා . හිමින් සැරේ තත් පිරිමදිමින්, මතු යම් දිනෙක ලියවෙන , කියවෙන ගීයක ඉන්ටලූඩ් එක ස්වර පේලියෙන් පේලිය අමුණනවා .

" අඩෝ රොක්ලන්ඩ් හඩ්සන් , අන්නාසි කාරයෝ බය කරන්න එපා ...." 
ඇත ඉඳන් කෑගහගෙන කවුදෝ එනවා , පිට්ටනියේ දිගට ඇඳුනු ලයිට් කණුවේ හෙවනැල්ල දිගේ .

***
අටවක රෑ අහසේ තරු ලස්සනට ඉහිරිලා . පිස්සු ජැක්සන් පොලොක්ට බාර දීලා වගේ අද රෑ අහසේ සිතුවම අඳින්න . උල්කාවක් අහස දිගේ ඉරක් ඇඳගෙන කොහේදෝ ඈතක , නමක් නැති වැවකට වැටෙනවා . පත ගෙම්බෙක් නෙලුම් කොලයක් අස්සේ සැඟවෙනවා .

***
ප්ලාස්ටික් කෝප්පයක රොක්ලන්ඩ් රම් , කොකා කොලා හා මුසු වෙනවා .

"අපි මාර බඩු  තමා මචං  මල්ලි දවල්ට පං තොප්පි දා ගෙන , බතික් ෂර්ට් ඇඳන් කැලිප්සෝ ටියුන් ගහ ගහා ක්ලැරන්ස් ව විකුණන් කනවා, මුණ හංගගෙන ....රෑට් රොක් වෙනවා . "

දුම් වළලු, පුළුන් වලාකුළු දිහා බලා ගෙන පාවෙලා උඩට උඩට යනවා . ... හිතත් එක්කගෙන 

***

ආයෙත් මගේ හිත වත්මනට දුවලා එනවා . . 

මේ ඉහේ ඉඳන් පිට දිගේ දාඩිය බිඳු බේරෙන කොළඹ ගිම්හාන රැයක ,හඩ්ඩා පරණ පුරුදු විදියටම ලෙදර් ජැකට් එකක් ඇඳන් ඉන්නවා ...

"මචං මල්ලි ඇයි උඹ සයිඩ් බර්න් දෙක කැපුවේ "  කැස්සක් එනවා . එය දිගට අල්ලනවා ...කැහැළා ඉවර වෙලා හඩ්ඩා පපුව පිරිමැද ගන්නවා . 

"අපරාදේ " ඔහු වාක්‍යය අවසන් කරනවා .

"...සයිඩ් බර්න් තියෙනකන් බොක්කේ රොක් ජීවත් වෙනවා බං  " ඔහු සිතිජයට එහා ලක්ෂයක් දෙස බලාගෙනම දොඩවනවා .
පැති රැවුල පැහිලා , කහපාට හැලජන් ලාම්පුවේ එලියට හොඳට පෙනෙනවා . නමුත් මම මොකුත් කියන්න යන්නේ නෑ .


පලි :
ඇතැම් වස්තු බීජ මම හරිම පරිස්සමට ලෝබ කමට තියන් ඉන්නවා ... හරියට මොකක් හරි නිර්මාණයක් කෙරෙනකන් . සමහර වෙලාවට එක නිර්මාණයක් කරලා මදි .. ඒ නිමිත්ත පට්ට ගහනවා ...ඒත්  හරි නෑ  කියලා හිතෙනවා .. මේ ඒ වගේ එකක් . මෙයින් ම ලියවුනු දෙවැන්න මින් පසු පළ කරන්නම් .... ඒත් තාම හිතට හරි මදි .

මෙවැනි චරිත අපේ සමාජයේ කාලයක හිටිය බව මතක තියෙන්නට ඔබ ඇතැමෙකුට වයස ඇති . තවමත් කොළඹ ජරා ජීර්ණ වූ තැබෑරුම් තුළ මොවුන් හැංගිලා ඉන්නවා .

19 September 2015

කෙස්

මට එකපාරටම මතක් උනේ රාස්සිගේ ඇල්ල .

ඈ ඇවිත් හිටිය කොන්ඩේ  කඩා දාලා .

" නාලා ආවේ , කොන්ඩේ  තාම තෙතයි " මගේ සිතුවිලි කියවලා ඈ  බැන්දා  උත්තර .
"මම ආසයි ..දිග කොන්ඩේට " මම දිග හුස්මක් ඉහලට ඇදලා , හීනියට දැනුනු අරලිය මල් සුවඳ නාස් පුඩු දිගේ අරන් හිතේ කොනක හිර කර ගත්තා .

"එහෙනම් කපලා දෙන්නද ලඟින් තියා ගන්න ?"

"අර දෙවනියට කිව්ව එකනම් එච්චර නරක අදහසක් නෙවෙයි "

"ආ ඇත්තද ?"

***

දවල් හිතේ නැගුනු තරහ බොහොම පරිස්සෙමට හිතේ තද කරන ගෙදර ආපු මම , රණ්ඩුවට මුල පුරන්න , කෑම  පෙට්ටිය සද්දෙට මේසේ උඩින් තැබුවෙමි . පුරුද්දට ඈ එය අතට ගත්තේ " ආ මොකෝ මේ අද කෑම  කන්නේ නැතිව ආපහු ගෙනල්ලා " කියා අසමිනි .

"කොහොමද මනුස්සයෙක් කන්නේ , බත් එක පුරාම කෙස් "
බත් පතේ වූ එක්  කෙස් ගස මගේ කතාවේදී පැටව් ගැහැව්වා . 

"අනේ අද උදේ නාලා මන  බත් බෙදුවේ . අපරාදේ ඒක අයින් කරලා කන්න තිබ්බේ .. මාළු කෑලිත් දෙකක්ම බෙදුවා "

"රෙද්ද මාළු ...මම හැම තිස්සෙම කියනවානේ ඕක මෝහිනී වගේ කඩා දාලා ඉන්නේ නැතිව බැඳ ගන්න කියලා පිළිවෙලකට .."

පැතිරුණු නිහඬතාවය මාසිත අවුල් කළේය . ඒ , රණ්ඩුව මා පැතු  අයුරින් දිග නොහැරුණු නිසාවටත් වඩා , ඈ  මෙසේ නිහඬ වූ පසු , ඉන්පසු දින කිහිපයක ඉරණම මා අත්දැකීමෙන් දන්නා බැවිනි .

"හෙට කැන්ටිමෙන් කන්න වෙයි උඹට"  මාසිත උළුක්කුවට මෙන් සිහි ගැන්වීය 

***

"ඉතින් කෝ දෙන්න ඔය කන්නාඩිය "

"ඕනේ නෑ ඕක බලන්න දැන්ම , හිත ගැස්සෙන එක හොඳ නෑ "

"දෙන්න !"

ඒ සියුම් විධානයට යටත් වෙනවා හැරෙන්නට මට කළහැකි වෙන යමක් නොවිණි . මම වෙව්ලන අතින් කැඩපත ආ වෙත දිගු කලෙමි . 

දිගු බැල්මක් . ඊටත් වඩා දිගු සුසුමක් .

"මම දැන් මෙහෙණින් වහන්සේ කෙනෙක් වගේ "

"කේශී , ඩොක්ට කිව්වා වගේ , මෙහෙම කරපුවම  බේත් සැරට  කොන්ඩේ  යනවා පේන්නේ  නෑනේ ."

"හ්ම්ම්ම් ..දේවා ,.. ඔයා ඉස්සෙල්ලාම  කැමති උනේ මගේ දිග කොණ්ඩෙට නේද ?..."

මම දෙඅතින්ම ඈ  මුඩු හිස අල්ලා ගතිමි . සිපගතිමි . එහි උණුසුම මා තොල් වලට දැනුනි .

"කොල්ලා කාලේ හිතුන දේවල් නේ කේශී ..ඔය නර කෙස් වල නැත්නම් මොන ලස්සනක්ද ?"

ඈ හෙලු මද සිනහවේ ගැබ්වුණු මහා අනුකම්පාවක බර මට හොඳින් දැනෙන්නට විය .


පලි : මේ කතාවට නිමිත්ත මා කියවූ කවියක් . කවියාගේ නම දැන් නම් හරියට මතක නැතත් , මතක් විදියට ඩෝසන් ප්‍රීති ද කොහෙද. 


මෙය කෙටි කතාවකටත් වඩා , දිගම දිග කතාවක , කෙටිම කෙටි කොටසක් .

13 September 2015

ලොකු සාදු ගේ රෑ දානේ සහ වෙනත් පස්චාත් මැති දිවුරුම් දීම් කතා


"  පොඩි නම ... පොඩි නම !!!.." නායක හාමුදුරුවෝ කටහඬ අවදි කලෝහ .

"පොඩි සාදු  හංදියට වැඩියා ලොකු සාදු , පෝන්  එකට සිම් කාඩ් එකක් වඩම්මන්න ..ඔබ වහන්සේට තේ කෝප්පයක් හදන්නද ?"

පොඩි ඇබිත්තියාට තවම  උඛ්ත ආඛ්‍යාත පැටලේ . නායක හාමුදුරුවෝ එය නො ඇසුනා සේ සිටියහ .

"නෑ  නෑ පොඩි උපාසක , අද රෑට මොනවද හදන්නේ .."

"මම පිටි ටිකක් අනන්නද  සාදු ...රොටියක් පුච්චගන්න .."

"රොටි බෑ බන් , අර පුච්චපු රොටියත් කර උනා , තැටිය සුද්ද කරලා ගනින් ...."

"හරි සාදු , මොකෑ හදන්නේ රෑට"

"උළුදු ටිකක් පෙඟේන්න  දාපන් තොසේ හදන්න"

"රොටි තැටියේ ? තොසේ ? අනික පන්සලේ ?"

"ඔව් ළමයෝ දැන් එහෙම  තමා"

***

"සර් මොකෝ මේ ජාතික ආණ්ඩුවක් පිහිටෙව්වේ?"

"ඇයි  අපි මුල ඉඳන්ම කිව්වනේ ඕක  කරනවා කියලා . ඉතින් ජනතාව එකට කැමැත්ත ප්‍රකාශ කරානේ  . සියලු දේ කෙරෙන්න ඕනේ ජනතා කැමැත්තට නේ  .."

"එතකොට සර් අර ජනතාව එපා කියපු උන් .. එතකොට ජනතා කැමැත්ත?"

"ඇයි අහලා නැද්ද ..ඕනෑම දෙයක් ඕනෑ වට වඩා ඕනේම  නැත නේ"

"සර් ..."

"ඇයි  ? "

"අන්න අර කිතුල් ගහේ නම් තණ කොළ තියෙනවා වගේ.."

***
බුරුවා පොලේ , කට්ටිය වටවී සිටිති . දෙදෙනෙක් කොළ බෙදන්නෝ ය 


"කුට්ටම හොඳට ඇනුවද "

"ඔව් ඔව් "

"එහෙනම් බෙදන්න බලන්න "

"එකයි එකයි දෙකයි දෙකයි .. එක්කෙනෙකුට කීය ගානේද බෙදන්නේ "

"එහෙම ගානක් මිම්මක් ඕනේ නෑ ඔහේ බෙදා ගෙන පලයන්කෝ "

"හරි ....ඔන්න එහෙනම් බෙදාගෙන යනවා "

"මොකක්ද බන් උඹ බේ ජෝකර් දෙන්නත් අනලා නේ "

"උනුත් කුට්ටමේ ඉන්නවනේ , වෙනස් කමක් කරන්න හොඳ නෑ "

"හරි ... මේ උඹ ඔක්කොම කොළ ගත්තද ?"

"විස්...සයි..... ඇයි එහෙම ඇහුවේ "

"නෑ .. මේ ...මට ...තාම ආසියෝ මොකුත් වැටුනේ නෑ "

"මටත් නෑ "

කට්ටිය පිටිපස්සේ සිට කෙනෙක් ආසියා කොළ හතරම අතේ තියාගෙන , උඩු රැවුල දෙ කනේ ගෑවෙන සේ සිනහසෙන්නේය .

***

ප්‍රශ්නය ඇත්තේ බොහෝවිට 
කියා නොකරන
නොකියා කරන 
දෙයට වඩා
නොකියා නොකරන 
දෙයෙහිය 

***
පලි: දරුණු විහිළුවක්ම පොතු හැර බැලු කළ ඛේදවාචකයක් හමුවේ 

06 June 2015

සදා කාලික නොවූ ලෝකෙක , සදා කාලික ප්‍රේමයක් ?

මෙය සිදුවිය හැකිද ? " 

(ශ්‍රී, පරිඝනක තිරයට නැවත එබී බැලුවේය . )

"දත්ත අනුව  නම් එහෙම තමයි . ඔව් මේ ඩේටා ෆයිල් අතර සිදුවෙන මේ සම්බන්දතා ,  ඔව් මේ තියෙන්නේ .. "

"මේ හැඟීම් sub programms වලින් memory file එකට දත්ත එකතු වෙනවා . ඒ කියන්නේ  අලුතින් අලුතින් මතක හැදෙනවා . ඒ මතක ආපහු අලුතින් හැඟීම් sub  programms ලියනවා .

(ඔහු නැවතත් දත්ත පරික්ෂා කළේය . )

"මේකේ වැරැද්දක් නෑ .. අවුරුදු පහළොවක උත්සාහයේ ප්‍රතිපලය ...හ්ම්ම් ......

(දිගු සුසුමක් පිටවිය .....පරණ සින්දුවක් ඔහුට එක්වරම සිහිවිය. )

"හිත හීලෑ නෑ .....හරිම මුරණ්ඩුයි"

***

"....ශත වර්ෂයේ වැදගත්ම සොයාගැනීම් වලින් එකක් .... මහාචාර්‍ය ශ්‍රී මම ඔබට ආරාධනා කරනවා මේ විද්වත් සභාව අමතන්නට ...."

(අත්පොලසන් නාදය විනාඩි කිහිපයක් පැවතිනි ... )

"ආයුබෝවන් මිත්‍රවරුනි .. මෙය අවුරුදු පහළොවක උත්සාහයක ප්‍රතිපලයක් . කෘතීම මොලයක් artificial inteligence, බොහෝ කාලයක සිට මිනිස්සු හදන්නට උත්සාහ  කළා .. නමුත් මම හැදුවේ මොලයක් හදන්න නෙමෙයි , හිතක් හදන්න an atrificial mind ... මගේ හිත backup  කරන්න ... මම උපතින්ම බෞද්ධයෙක් ඉතින් , මම ඉගෙන ගත්ත හිත ගැන සංකල්පය නම් . එය ඉපදී මැරෙන දෙයක් .. එවන් කලෙක සදා කාලික වූ හිතක් යනු මිත්‍යා වක් .. නමුත් "

***
"මොකක් කිව්වා , හිත backup  කරන්න ?, ලංකා ඈ  කුරුටු ගාමින් සිටි සිතුවමින් දෙනත ඔසවා ශ්‍රී දෙස බැලීය . 
ශ්‍රී පොඩ්ඩක් ඔය ඔලුවට විවේකයක් ගන්නත් එක්ක අපි යමුද නිවාඩුවක් ... ඔයා ඔහොම වැඩ කරලා අසනීප වෙයි "

"නෑ නෑ , මේක අහන්න මේක කරන්න පුළුවන් . මගේ ගණනය කිරීම්  වලට අනුව coding  lines , ට්‍රිලියනයක් විතර ලියන්න තියෙනවා .."

"අනේ මන්දා ශ්‍රී ඔයාගේ මේ මනස්ගාත ප්‍රොජෙක්ට්ස් .. මොකක්ද ඕකේ ප්‍රයෝජනේ"

"මම මගේ හිත යි , ඔයාගේ හිතයි bakup කරනවා ...එතකොට අපි දෙන්නගෙන් කාගේ හුස්ම මුලින් ගියත් .... අපිට     දිගටම , අපි ආදරය කරන කෙනා එක්ක ඉන්න පුළුවන් .

අනේ මන්දා ශ්‍රී මට නම් ඕවා තේරෙන්නේ නෑ 

***


(ශ්‍රී ගේ නිහඬ තාවය මොහොතක් පැවතුනේය .. සභාව එම නිහඬතාවය ද සාවධානව අසා සිටියහ .)

" සමාවෙන්න , මම මගේ සිතුවිලි තුළ අතරමන් වුනා ..." (සභාවේ සිනා )...මම හිතන්නේ අසාර්ථක උනේ එය මොලයක් හදන්න උත්සහ කරපු නිසා ..එහි අභිමතාර්ථ වෙනස් වුන නිසා ..දැන් මගේ හිත backup  කරලා ඉවරයි ... එය සම්පුර්ණයෙන්ම ක්‍රියාන්විතයි .... සතුට , තරහ , දුක වගේම ආදරය වගේ හැඟීමුත් එහි ඇති වෙනවා අපි නිරීක්ෂණය කරලා තියෙනවා ...

"මහාචාර්ය තුමනි , ඔබ හිතනවද මෙවන් කෘතීම හිතක් සමග මිනිසෙකුට ප්‍රේමයෙන් වෙලිය හැකියි කියා ..."

(නැවතත් මතක සුලඟ , මාරුතයක් වී ඔහු වට කොට  බමන්නේය. ලංකා දෙනෙතින් සිනහා  වන්නීය ... ඈ නැඹුරු වී ශ්‍රී ගේ පිටි අල්ල මත තම සුරත තබන්නීය... රැලි වැටුණු මුත් ඈ අත , ස්පර්ශය තවමත් මුදුය .....)

හොඳ  ප්‍රශ්නයක් ... එසේ නොහැකි වීමට කිසිම හේතුවක් නෑ.

***

ප්‍රොෆෙසර් ප්‍රොෆෙසර් ... මේ බලන්න 

මොකද මනුස්සයෝ කෑ ගහන්නේ 

මේ බලන්න මේ ඩේටා ...මේ මේ 

ඇයි මොකද වෙලා තියෙන්නේ ?

අර backup කරපු මයින්ඩ් (mind ) ඒ , මයින්ඩ් බී  එක්ක කතා කරන්න පටන් අරන් .

ඔව් ඉතින් ඒක බලාපොරොත්තු වුනා නේ 

ඔව් සර් ඒත් .. එහෙම කතා කරන කොට හැඟීම් sub  programs activate  වෙලා .... ඒවයේ trend  එක ආදරය pattern එකමයි 

ඒ කියන්නේ they have fallen in  love ......

ඒත් ඒක logical නෑ නේ 

හ්ම්ම් ... 
(මතක මාරුතයේ හෝ හඬ දෙසවන් පුරා ඇසේ , පැරණි ගී හඬක් තුලින් මතුවේ )

සදාකාලික නොවූ ලෝකෙක , සදා කාලික ප්‍රේමයක් .

පලි 
මේ  විෂය පිලිබඳ මගේ තාක්ෂණික දැනුම අල්පය. නමුත් මා ඒ ගැන ඉතා උනන්දුය . ලිවිම අතිනුත් තව වෙලා අරන් තව ටිකක් ඔප දැමුවා නම් හොඳයි කියාද සිතේ . 
ඔබ "her " නම් චිත්‍රපටය බැලුවාද කියා නොදනිමි . එය ද මෙවැනි තේමාවක් ඔස්සේ ලියවුන්නකි .. අපේ යථාර්තය නිරතුරුව වෙනස් වේ ... මීට ශතවර්ෂ ගණනකට පෙර පෞද්ගලික ඉඩම් හිමිකම විහිළුවක් වෙන්නට ඇත , අද එය යථාර්තයකි .  කෘතීම හිතක් සමග ආදරයෙන් බැඳීම මෙන්ම කෘතීම   දෙහිතක් එකිනෙකා හා ආදරයෙන් බැඳීම ද සිදුවිය නොහැක්කක් නොවේ . එවන් කලෙක , ගතේ පැවැත්ම මත , ආදරයේ පැවැත්ම නො යැපේ .. එවන් කලෙක ... භෞතික ලොවේ පැවැත්ම .... ධනවාදයේ පැවැත්ම කෙසේ වෙනස් වෙයිද ... ආගම් කෙසේ විකාශනය වෙයිද ?  ..එවන් කලෙක සදා කාලික නොවූ ලෝකෙක , සදා කාලික ප්‍රේමයක් ?

මේ කතාවට ප්‍රස්තුතය  මීට වඩා රසවත්ය පිරිපුන්ය . ඒ ගැන සටහනක් මීලඟට ලියමි .. ඒ තෙක් මේ කතාව කියවන්න . . ඔබට හිතෙන දේ  ලියන්න  

11 April 2015

ලෝකය වෙනස් විදියට දැකීම ( කතාවක් මැද ) // A different perceptive (a very short story)





These two Islands sit in the shallow waters like two old lovers . Peacefully. They are connected by a thin strip of sandbank, which get's submerged during high tide . I could close my eyes dream of a man living in one island, in a small house. An old man , with a scruffy beard, in a dirty pair of shorts . He get's up early and rushes to the shore to walk down the sand bank to the other island . To sit in his favorite place . To gaze at the sea and watch the seagulls. Then before the high tide he rushes back . Everyday.

But can't you see the gulls from your island

I can

Then can't you see the sea from there

I can the sea too

Then why do you go to the other side 

everybody needs a different perceptive I guess

                                                         * * *

මේ දුපත් ද්විත්වය , හිඳී නොගැඹුරු දියේ , වියපත් වූ ප්‍රේමවන්තයන් දෙදෙනෙක් මෙන්. දුපත් දෙක සම්බන්ධිත වැලි ඉවුර වඩදියට නොපෙනී යයි . බා දියට මතුවේ , මදකට පමණක් දෑත් අල්වා ගන්නා සේ වියපත් ප්‍රේමවන්තයන් . මම දෑස   පියා ගනිමි . මට මැවී  පෙනේ එක දුපතක කුඩා නිවසක දිවි ගෙවන වයසක මනුස්සයෙක් . මුහුණ පුරා තැනින් තැන වැවුණු රැවුල , දුර්වර්ණ වූ කොට කලිසම. 

අරුණැල්ලේ ම ඔහු පැමිණේ වෙරළට , වැලි ඉවුර දිගේ අනෙක් දිවයිනට යාමට .  ඔහුගේ ප්‍රියතම තැන හිඳ  මුළු දවසම සයුර දෙස බලා සිටීමට . ලිහිණියන් සුළගේ පාවෙන අයුරු , දියේ කිමිදෙන අයුරු බලන්නට .

වඩ දිය එන්නට කලින් ඔහු පැමිණේ නැවතත් . හැමදාම .


ඒත්  ඇයි  ? ඔබේ දූපතට පෙනෙන්නේ නැද්ද මුහුද 

පෙනෙනවා 

එහෙනම් ලිහිණියෝ ?

උනුත් පෙනෙනවා 

එහෙනම් ඇයි හැමදාම යන්නේ අනෙක් පැත්තට ?

මම, වෙනස් විදියට ලෝකය දකින්න  කැමති  මිනිහෙක් 

04 April 2015

තුන් දෙනෙක් ඩබල් දාලා යෑම

බොහෝ කාලේකට,  අපේ අප්පච්චිට සන්තකේටම වාහනේකට කියලා තිබ්බේ පුෂ් බයිසිකලයකි. එතරම් වාහන බහුල නොවූ එකළ , නුගේගොඩ මහා මාර්ග දිගේ පමණක් නොව හයිලෙවෙල් පාර දිගේද බයිසිකලයෙන් ගමන් යාම එතරම් අපහසු කාරණයක් නොවීය .  මේ කියන්නේ එතරම් ඈත නොව අසූව  දශකය මුල් භාගයේය .

ඒ දවස්වල බොහොම අමාරුවෙන් බැංකුවෙන් ණයක් අරගෙන , අපේ ගෙදර හදන කාලයයි . හැම දාම හවස අප පදිංචි වී සිටි නාවල ඇළ  අසළ  කුලී නිවසේ සිට හැදෙන අලුත් ගෙදර වැඩ බලන්නට , අප්පච්චි බයිසිකලයෙන් යන්නේය . නමුත් ඒ තනියම නොවේ . අම්මා ලගේජ් එකේ හිඳ  ගෙනය . මම බාර් එක මතය. කන්දක් ආවිට අම්මා බයිසිකලයෙන් බසින්නීය . අප්පච්චිත් බැස්සත් මම බාර්  එක උඩමය .  එවැනි ගමන් කියක් ගියාදැයි මට හරියටම නිනව්වක් නැත . එහෙත් මුලින්ම එසේ ගිය දවස නම් හොඳටම මතකය . මේ බාර්  එක උඩ  අල්ලා ගන්නට කිසිත් නැතිව හුලන් වැදී  වැදී  මම ගියේ පරාන බයෙනි . එසේ ගොස් අප්පච්චි දවස් කුලිය බේරා  එන තෙක් මම,  වැලි හලා ඉතුරු උන තිරිවාන ගල් ගොඩේ , නැවත ගෙන යාමට ගල් කැට  එකතු කරන්නෙමි. මැණික් වෙන්නේ තිරිවානාමැයි, අත්තම්මා දිනක් කියා තිබුණි . ඒ ගල් ගොඩේ මා සෙවුවේ ඒ වැනි මාණික්‍යයකි.   

දිනක් තනියම අප්පච්චි බයිසිකලයෙන් හන්දියට ගොස් එන විට, වෑන්  එකට ඉඩ දී අයින් කරන්නට ගොස් බයිසිකලය පෙරලි ඇද  වැටි තිබුණි . තමන්ගේ නූතන  විද්‍යාත්මක දර්ශනය අනුව පැනඩෝල් පෙති දෙකක්, අම්මාගේ පෙරැත්තයට තැම්බූ වෙනිවැල්ගැට  වතුර සමගින් බොන ගමන් ඔහු කීවේ  . "තනියම පැදපු  නිසා බැලන්ස් නැති වුනා කියලාය ."

එදා මට ඒ කතාව නොතේරුනි . පහු කලෙක කර දඬු උස්වී බයිසිකල් පදින්න , මෝටර් සයිකල් පදින්න පටන් ගත්තත් මේ කතාව මට නොතේරුනි . නමුත් අද දරුවන් ලැබ , ඉහ නිකට පැහී  ගෙන එද්දී මට මේ කතාව වැටහෙන්නට පටන් ගෙන ඇත . 

ජීවිතේ  බැලන්ස් කරන්නේ දරුවන්මැයි .

පලි  : කොහෙන් ගියත් මැක්කාටම එනවා කියලා හිතන්න එපා .  මේ කතාව ලියන්න පටන් ගත්තේ අර පරණ පීල්  ඇඩ්  එක බලලා ...අර "මෙන්න තුන් දෙනෙක් බයිසිකලේ ඩබල් දාලා යනෝ " කියලා  කෑ ගහන්නේ ... රනිල් , මයිත්‍රී ඩබල් දාලා යන එකේ ලගේජ් එකේ , තව කව්දෝ ඉඳගෙන යනවාදෝ කියලා හිතිච්ච නිසා ...ඒත්  මේ පරණ කතාව මතක් උනා .. ඒ දිගේ හිතන්න ගත්තා ..නමුත් අර මුල් කතාවත් සඳහන් නොකලොත් අඩුවක් කියලා හිතුනා 

03 April 2015

අපි වෙනුවෙන් අපි

(වෙරළ පුරාවට එක දිගට ඇඳුනු පා සටහන් තෙත වැල්ලේ ඈතට විහිදීලා , මුතු මාලයක් වගේ . ගිලි ගෙන යන ඉර, තැඹිලි පාටට සිතිජය මෙපිටින් මූදේ  දිය වෙනවා . )

සේන , මොනවද ඔච්චර හිතන්නේ 

මට ඉස්සර මතක් උනා රේණු 

හ්ම්ම් 

(මා ඈ මුහුණ දෙස බැලීමි . එහෙන් මෙහෙන් ඉදුණු හිසකේ නටනවා හුළඟේ, ඒත් ඉස්සර වගේ දඟකාර කමක් නැතුවා වගේ . වෙනදා වගේ රේණු හැම තිස්සෙම අතින් අල්ලලා කෙහෙරැල්ල මට්ටු කරන්නෙත් නෑ . පුරුදු වෙලා වෙන්ටෑ .මූණෙත්  කළු ගැහුණු පැල්ලම් . කම්මුල දිගේ ගලපු කඳුළුම වේලිලා ..)
_____________________________________________________

මට සමාවෙන්න සේන ...තාත්තත් නැතිව අපේ අම්මා අපිව බලා ගත්තේ .... මට ඔයත් එක්ක එන්න බෑ  .....කිව්වා වගේ එහෙම කලොත් අපේ අම්මා වහ බොයි 

මට තේරෙනවා රේණු .... අම්මා බය ඇති ඔයාටත් කෙහෙල් කොටයක් දාල සීල්  කරපු පෙට්ටියක් බදා ගෙන අඬන්න  වෙයි කියලා රේණු ...

මූසල  කතා කියන්න එපා සේන 

_____________________________________________________


 මම ඒත් බැලුවා පරක්කු මොකෝ කියලා ... නො ඒවිද කියලා හිතුනා 

බස් එක කැඩුනා මගදී .. 

මා දකුණු අතින් කලවා පිරිමැද්දේ ඒ දිගේ ඇදුනු වේදනාව පිරිමැද අඩු කළ  හැකි සෙයිනි . ඈ ඒ දෙස බලා ගෙනම සිටියාය .

කකුල තාම රිදෙනවද 

නෑ දැන් අඩුයි.. තුවාල වේලිලා .. ලබන මාසේ ආවම  කකුළට මෙසමන්ට් අරන් ඕඩර් එක දෙමු කියලා ඩොක්ට කිව්වා .

පුරුදු විදියටම , ඇඩුම්  එනු නොහී  ඈ යටි තොළ විකාගත්තාය .... ඈ අහස දෙස බැලුවේ කඳුළු යළි ඇස්  කෙවෙනි තුළටම ආපසු හරවන්නට මෙනි .

"වහින්න වගේ "

(වසත් කළ අග මෙවැනි සන්ධ්‍යාවක අහස කොහොමත් වලාකුළු බරය )
______________________________________________________

සේන, කාලේ කොච්චර ඉක්මනට ගෙවිලා ගිහින්නද නේද 

හ්ම්ම් , අපි වයසට ගිහින් ....ඔයාට කසාදයක් බඳින්න තිබ්බේ රේණු

ඒ මොකටද 

එතකොට ඔයාටම කියලා කෙනෙක් ඉන්නවා 

හ්ම්ම් , (ඈ පිට කළ  සුසුම වසර ගණනාවක් තිස්සේ ඈ සුසුමින්ම පිරුණු මේ වාතලයට එක්විය . මට යන්තමට උණුහුමක්  දැනුනි . අලුත් සුසුම් කොහොමත් මදක් උණුසුම්ය)  ...එහෙම කෙනෙක් දැනුත් ඉන්නවානේ 

රේණු ....ඔය නැගිට්ටේ යන්නද

ඔව් පරක්කු උනා 

රේණු 

ඕ 

හෙටත් එනවද 

(රළක් විත් වෙරළේ  වදින හඬ එක වරම සද්දයට ඇසුනි  )

ඔව් හෙටත් එනවා 




මේ ලියවිල්ලට නිමිත්ත වූයේ එඩ්වඩ් ගේ මේ ගීතයයි . 




පලි : 
කලක් අපේ රටේ ඉසිරිනු වැලි ඇට වගේ සුලභ වූ රේණුලා , සේනලා  අද එලිපහලියේ එච්චර පේන්නට නැත. උතුරට වෙන්නට එවැනිම නඩරාජලා , තංගමනිලා සිටින්නට ඇත . රේණු හා  සේන කසාද නොබැන්දේ, ජාතිආලයක් නිසා නොව , අපි ඔවුන්ට ඊට ඉඩ නොදුන් නිසාය. ඔවුන්ට නම් දරුවන් නොවුනි. සීල්  පෙට්ටි ගමට නාවත් , ඒ ආ පෙට්ටි දිහා ඇස් ඇර ගෙන හුන් පොඩි එවුන් , අද කරදඬු උස්වූ තරුණයන්ය , තරුණියන්ය .  අපි දකින්නට කතාකරන්නට  අකැමති ප්‍රශ්නයක් එතැන  ඇතැයි මට සිතේ 

19 March 2015

බන්දුගේ විශ්‍රාම ගැනීම හෙවත් සනත් ජයසුරිය සින්ඩ්‍රෝම්

කාලයකට පෙර මා සේවය කල කාර්යාලයේ ප්‍රධාන ලිපිකරු නොහොත් සී සී , බන්දු , තනිකඩයෙක් විය . දිනක් උදේම පැමිණ ඔහු මැනේජර් මහතා හමුවී කියා සිටියේ තව දෙසතියක් ඇවෑමෙන් ඔහු සේවයෙන් විශ්‍රාම ගන්නා බවය. 
" වැඩ කලා ඇති සර් . මම අලුත් කට්ටියට ඉඩ දීලා ගෙදර නවතිනවා . පින් අතේ වැඩ කරනවා " ඔහු කිවේය. 

සාමාන්‍යයෙන් තෙමසක දැනුම් දීමක් කළ  යුතු මුත් . ඔහුගේ මෙතෙක් කල්  කැපවීම සලකා බලා ලොක්කා ඊට අවසර දුන්නේය . ඉන්පසු සති දෙක තුල , අලුත් සී සී කෙනෙක් පත් කිරීම . වැඩ ඉගන ගැනීම මෙන්ම බන්දුගේ සමුගැනීමේ සාදය සංවිධානය කිරීමද කඩිමුඩියේ සිදුවිණි . අපිත් සල්ලි සල්ලි කියා නොබලා සම්මාදම් වී ඔහුට කමිසයක් අරන් දුන්නෙමු . එය එසේ මෙසේ නොව වෑන් හුසේන් විය .

සිකුරාදා වේ සාදය යහමින් පැවතුනි. සමුගැනීමේ කතා අතරේ ගෑනු කට්ටිය කදුළු සැලුහ . මදු  සාදය අතරේ කොල්ලෝ දෙදෙනෙක් බන්දුව බදා ගෙන හැඬු හ .  හරියටම කොහොමද කියා මතක නැතත් , සභා තොමෝ පාන්දර තුනට විතර විසිර ගියහ . ලොක්කා කාර් එකෙන්ම බන්දු  ව ගමේ ගෙදරටම ගොස් බස්සා  තිබුණි


සඳුදා , බන්දුගේ මේසය හිස්ය . මාලිනි මිස් ඒ දෙස බලා සුස්මක් හෙලීය . තේ හදන විමලේට අමතක වී දහයට තේ කෝප්පයක් බන්දුගේ මේසය මත තබා තිබුණි . කෝප්ප නැවත එකතු කිරීමට ආ විට ඔහුට වරද වැටහුණි . " බන්දු  සර් නැතිව ඔපිස් එකේ කිසි ගතියක් නෑ අප්පා " ඔහු කීවේ  කාටත් ඇහෙන්නය .

අඟහරුවාදා උදේ පාන්දරම වැඩට එන විට , මෙන්න බන්දු ආයෙත් වැඩට ඇවිත්ය .
"කම්මැලියි බං  ගෙදර ඉන්න . මම පොඩි බ්‍රේක්  එකක් නේ ගත්තේ , කව්ද කිව්වේ රිටයර් වෙනවා කියලා "  බන්දුවා  ඇඟට නොදැනී  කිවේය .

මගේ ඇස  ගියේ ඔහු හැඳ  හුන් කමිසයටය . මූ අර වෑන්  හුසේන් කමිසයම ඇඳ ගෙන ඇවිත්ය .



පලි : සාමාන්‍යයෙන් ලෙඩකට නමක් දමන්නේ එය වැළඳුනු ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ හෝ එය සොයා ගත්  අයගේ නමිනි . මේ රෝගයට වෙනත් නමක් දමන්නට  වේ දැයි සැකය .

27 February 2015

ටොපි කොළ පිරුණු සපත්තු පෙට්ටිය

"මට දැන්ම බෑ සුගත් "

ඇය  එසේ කීවේ බිම බලාන . සුදු ගවුමේ රැළි පිරිමදිමින් . වෙනදාට ටක් ෂොප් එකෙන් අරන් දීපු ස්ටාර් ටොපිය කටේ රුවා ගෙන "ම්ම්ම් " කියා හුරතලේට  හිනාවුනු ,  ඒ දෙතොල් අද මොකක්දෝ කියාගන්න බැරි දුකකින් බරවෙලා 

***************

කමල් කාර් එකේ දොර ඇරලා , මට   මුලින් නගින්න ඉඩ දුන්නේය . කොන්ෆිටි ඉහින , අත  වනන සෙනග අතරේ පිටි පස්සටම වෙන්න සුගත් හිට ගෙන ඉන්නවා මට පෙනුනා .

"දම්මි නගින්න , නැකත පහු වෙයි " කමල් ගේ අත මගේ උරහිස මත බරට දැනුනා 

***************
කණපිට හරවපු පින්තූරේ ආයෙත් අනෙක් පැත්ත හරවලා මම පොඩ්ඩක් වෙලා බලන් හිටියා . 
පුතා මගේ අතේ එල්ලිලා , කමල් පොඩි දුව වඩාගෙන.... හිනා වෙනවා . මම ආයෙත් කමල්ගේ හිනාව සුදු බිත්තියට හේත්තු කරලා , දිග හුස්මක් ඇද්දා  . අල්මාරිය ඇරලා සාරි ගොඩ අදින්න ගත්තේ සුදු සාරිය හොයන්න . කලබලේට සාරි ගොඩ අස්සේ තිබ්බ සපත්තු පෙට්ටිය අත  වැදිලා බිම වැටුනා . එකේ තිබ්බ , ඇඟිලි දෙකෙන් මැදලා ලස්සනට දිග ඇරපු ටොපි කොළ හැම තැනම විසිරුණා . ඇයි  මම මේවා මෙච්චර කල් තියා ගත්තේ ...මම හෙමින් හෙමින් එකින් එක පෙට්ටියට දාන්න පටන් ගත්තා

"අක්කේ ඔය මොකද මෙතන තනියම කරන්නේ , සාරිය පටලවගෙන එන්න ඉස්සරහට , මිනිය ගෙන්න හදන්නේ "


**********************

" දම්මි ,..."  ඈ  වියපත් වෙලා මට එක පාරටම හිතුනා .  එකපාරටම ඈ බිමට නැඹුරුව තිබු දෑස්  ඔසවා මා දෙස බැලුවා . මා හිත ඇවිලුනා . මා දිව ගොලුවෙනු මට දැනුනා .

"දම්මි .. මාව වරදවා තේරුම් ගන්න එපා " එතනින් එහාට මොකුත් කියාගන්න බෑ ...මේ බව වෙන බව දත් නිසාම ලියා ගෙන ආ ලියුම් කෑල්ල ඈ  වෙතට  දිගු කළා . ඈ  එය ගෙන,  දිග හැර,  කිසිම හැඟීමක් නොපෙන්වා , එය කියෙව්වා . ඉන්පසු එය කොළේට  පුරුදු දාර දිගේම  නැවත හතරට නැවුවා . සුසුමක් පිට කලා

"සුගත්   ... මට ළමයි දෙන්නෙක් ඉන්න කනවැන්දුම් ගෑනියක්  . මට සමාවෙන්න "

*********************

තුන් මාසේ දානේ දුන්නා විතරයි ... මෙහෙම ලියුමක් ...මං එහෙම කියලද පේන්නේ ? .... 

ඒත් ඒ  ලියමන විසිකරන්නේ නැතිව පරිස්සමට අරගෙන ආවේ ඇයි  ?  

එය අර ටොපි කොළ පිරිච්ච සපත්තු පෙට්ටියට දමා එහි පියන තද කරන ගමන් මම සිතන්නට වූවෙමි .







පලි 

මගේ හිතේ ඇඳුනු සුගත් වයසට ගොස් පහුගිය දිනෙක මිය ගියේය . ගොළු හදවත පොතද කියවා ඇත්තෙමි , චිත්‍රපටයද නරඹා ඇත්තෙමි ...ඒත් මගේ හිතේ සුගත් වුයේ , ඒ ලයාන්විත හඬින් 
" සුගත් තවමත් ආදරෙයි"  කියූ ඔහුමය . 
සුගත් මිය ගිහින් . මම කැඩපත දෙස බැලීමි 

30 August 2014

ආපසු ගමන. ආපසු ...ගමන .... // The return journey ..

"රංජනී රංජනී "

ඇය විඩාබර දෑස් සෙමින් විවෘත කාලය

"අදත් ආවද? " , සිතේ නැගුන නොරුස්සනකම ඈට  සැඟවීමට නොහැකි විය

"ඔබටත් එසේම වේවා ..අද දවල් වෙනකන්ම නිදා ගෙන වගේ"  . ඔහු වෙනදා වගේම සුපුරුදු ප්‍රබෝධයෙනි

"හ්ම් "

"අදවත් යමුද ?"

"අද බෑ  , අද නම්  ලොකු නංගි එයි . දුවා කිව්වා ඊයේ ෆ්ලයිට් එකට නගින්න කලින් කෝල් කලා කියලා "

"හරි එහෙනම් හෙට බලමු . ඒත්  මේක වැඩිය කල් දාන්න පුළුවන් ගමනක් නෙමෙයි රංජනී . ඔයා දන්නවනේ ඒක "

___________________________________________________

 "සුභ උදෑසනක් වේවා , Good morning"

තවත් උදෑසනක් , පරණ පුරුදු විදියටම

"ඇත්තට ඔහේ පරාජය පිළිගන්නෙම නැත්ද ?"

"පරාජය ? ඇයි  එහෙම කියන්නේ මේක දිනුමක් පරාජයක් ගැන කතාවක් නෙමෙයිනේ . අපි ආපහු යන්න එපා යෑ . මෙහෙ නවතින්න බෑනේ "

"ඒ වුනාට මම ආසයි මෙහෙට  "


" එහෙම කියලා බෑනේ රංජනී . ඉස්සර මිනිස්සු  සිරිපාදේ ගියේ ආපහු නොඑන්න දේපළ දරුවන්ට ලියලා ලු නේ   . ඒත්   ඒ අය ආපහු ගියානේ .. ඒ වුනාට මහා මළුවේ පදිංචි උනේ නෑ නේ රංජනී ....අම්බලම් වල පදිංචි වෙන්න බෑනේ "

"ඒ වුනාට මට බෑ  ඔහෙත් එක්ක ඔය ගමන යන්න .  මට බැහැ . මම ගියාම කවුද සරත්ට කන්න උයලා  දෙන්නේ. ඔය උන්නට එයාට තනියම තේ  එකක් වත් හරියට හදා  ගන්න බෑ ....
ඊළඟ අවුරුද්දේ දුව බඳින කොට මම ඉන්න ඕනේ. අවුරුදු දෙකකින් විතර බබෙක් හම්බු වෙයි . මම ඉන්නම  ඕනේ පොඩි එකා බලාගන්න . දූට බෑ ඕවා තනියම කරගන්න. ...පොඩි එකිත් එක්ක  මම හවසට  යනවා ළඟ  පන්සලට . ඒකිට පොඩි සුදු ගවුම් පොඩ්ඩක් අන්දලා .... අපේ අම්මත් ගෙනිච්චා  වගේ ශේහානිව  ."

"කොච්චර කලත් ඉවර  නොවෙන, වැඩ  ගොඩක්.... ජීවිතේ "

"අනේ  please  මට කරදර කරන්න එපා . මම  වඳින්නම්"

"හ්ම්.. එහෙනම් හෙටවත්  බලමු "

___________________________________________________


"රංජනී , ලෑස්ති වෙන්න . "

"අද ? මේ දැන් ? දුවා ආවා විතරයි .. සුප් එකකුත් ගෙනල්ලා ....උගුරු දෙකක් බොනකන් ඉන්න .

"I am sorry , තව පරක්කු වෙන්න බෑ  ...දුර යන්න තියෙනවා . වැඩිය මොකුත් පොදි  ගහගන්න ඕනේ නෑ "

"අම්මා  අම්මා  , අනේ  ඩොක්ට ඩොක්ට  ඉක්මනට එන්න "

ෂෙහානි, ඇඳ ඉස්මත්තේ වූ  හෘද ස්පන්දනය  සටහන් වුනු යන්ත්‍රයේ ඇදුනු සරළ රේඛාව දෙස බලා ගෙන කෑ ගසන්නට වුවාය

23 August 2014

කොනේ සීට් එකේ ආදරේ

නිමිත්ත :
පහුගිය දිනයක උදෑසන  කෝච්චියේ මට එහා පැත්තේ වයසක යුවලක් අසුන්ගෙන සිටියා . ඒ මහත්තයා කොනේම අසුනක වාඩිවෙලා , ඒ ඉස්සරහින් රෝද පුටුවක නෝනා ව තියා ගෙන . 
ඇගේ මුහුණේ මහා දිග වේදනාවක් ඇඳිලා . සැර  බෙහෙත් පුසුඹක්  හතර වටේටටම වහනය වෙනවා . ඈ  අංශබාග රෝගයෙන් පෙළෙන්නා වාගේ (එච්චර හරි නැති නිසා, මම වැඩිය බැලුවේ නෑ ) . 
ඔහු පුංචි අත් තුවායකින් ඇගේ මුව පිහිදානවා , විටෙන් විට . 
මට එක පාරටම හිතුනේ ...මෙන්න සැබෑ  ආදරය ..කියලා . 
ඊට පස්සේ මගේ හිතේ ලියවෙන්න ගත්තා සිරිගේ සහ සීතා  ගේ කතාව


සිරි සහ සීතා දුම්රියේ අසුනක වාඩිවී සිටිති.
දන්නෙම නැතිව අපි ඉඳගෙන තියෙන්නේ පරණ පුරුදු තැනම නේ ....තුනේ පෙට්ටියේ , කොනේ සිට එක ....
සිරීට සිහියට එනවා . සීතා තම හිස සිරී ගේ උරේට තියාගෙන , ඇලවෙලා . ඇගේ  මුහුණේ දිගට වේදනාව ඉරක් වගේ ඇඳිලා . බෙහෙත් සැරටද කොහෙද ...සිරිට හිතෙනවා .


මහරගම ඉස්ටේසන්  එකෙන් ත්‍රීවිල්  එකක් ගන්නවා . ඩ්‍රයිවර් ට කියනවා වැඩිය ගස්සන්නේ නැතිව හෙමින් යමු කියලා . ඔහු සිතිවිලි පෙළ ගසනවා .
මහත්තයා සැපට යන්න ඕනේ නම් කාර් එකක් ගන්න “ පහු ගිය වාරයේ කොන්ඩේ බොකුටු රියදුරු ගැටයාගේ වදන් ඔහුට මතක් වෙනවා . නිරායාසයෙන්ම වගේ ඔහුට සුසුමක් පිට වෙනවා . 
සීතා ඔලුව ඔසවලා බලනවා .


“සීතා  අපි තැඹිලි වතුර ටිකක් බොමුද ?”

"බෑ  සිරී, පිරියක් නෑ. මම මෙහෙම ඉන්නම් , “


ඔහු, ඈ  හිස යාන්තමට හෙමින් පිරිමදිනවා , ඈ  හීනියට හිනා වෙනවා . ඈ  නෙත් තෙත් වෙනවා . තුනිවු හිසකේ අතරින් ඈ  හිස්කබල සුදුවට ඔහුට  පෙනෙනවා .


ශැහ්  කලුපාට ස්කාෆ් එක ගේන්න  බැරි උනා නේ .... ඔහුට මතක් වෙනවා . 
දැන් වටේ ඉන්න එවුන් අමුතු සතෙක් දිහා වගේ බලයි .. 
ඒ කියනකොටම ඔවුන්ගේ අසුන අසළ  හිටගෙන සිටින තරුණියකගේ විපරම් දෑස  ඔහුගේ බැල්මට අහුවෙනවා . ඔහු දකින්නට පෙර ඉවත බලා ගන්නට ඈට  නොහැකි වෙනවා . ඈ  ඔහු දෙස සානුකම්පිත බැල්මක් හෙළනවා . ඒ බැල්ම ඔහු සිත කොනිති ගහනවා . සිරි කලබල වෙනවා (යථාර්තය මතක් උනා වගේ ) . ඔහු නුරුසින් ඉවත බලා ගන්නවා . සීතාව  තුරුළු කර ගන්නවා . අතේ තියෙන ලේන්සුවෙන් ඈ මුව පිහිනවා .


දුම්රිය කවුළුවෙන් ඉවතට ඉගිලී ඔහු සිත අතීතයට පියනගනවා . 
වසර ගණනාවකට පෙර තුන්වෙනි පෙට්ටියක කොනේ සීට්  එකක සිතයි සිරීයි  වාඩිවී සිටිනවා . ඈ  අද වගේම ඔහුගේ උරයට හිස තියාගෙන , හොරට නිදි වගේ දෙනෙත පියාගෙන ... 
ලා දම් පහ දුහුල් සාරිය පවනේ රඟනු  නොහී  ඈ  අතකින් මිටිකර සිටින්නී . ඒත්  ඒ අවසරයෙන් නළලත කෙහෙ රැල්ලක් පවන හා හිතුමතේට රඟන්නී
සිරී හිමින් සැරේ තම අත  ඇගේ  අත මත තියනවා . ඈ  , ඔහුගේ ඇඟිලි අතරින් තම ඇඟිලි පටලා ගන්නවා . සිරිට ඉබේටම වට පිට බැලෙනවා . දුම්රිය මැදිරිය අතුරු සිදුරු නැතිව පිරීලා . අසුන නුදුරේ හිට ගෙන ඉන්න මැදිවියේ කාන්තාවක් නුරුස්සනා බැල්මක් හෙලා ඉවත බලා ගන්නවා . ඈ  නොකී වදන් බැල්මේ ලියවෙනවා ....මළ සමයං ..

සිරි මදක් කලබල වෙනවා , ඉවත බලා ගන්නවා . සීතාට තවත් ලං වෙනවා . ඇගේ  විලවුන් සුවඳ නාස් පුඩු දිගේ විත් හදවත කිතිකවනවා . සිත පාවෙන්නට තතනනවා . පෙර දිනයක දෙබසක් ඔහුට මතක් වෙන්න ගන්නවා

“ ඔයාට කියලා ගත්තේ ...වූඩූ ...මම ආසයි මේ සුවඳට “
“ ඔයා කොහොමද ගෑනු කොලෝන් වල සුවඳ දන්නේ ?’ ඈ  බොරු තරහක් මවා ගෙන අහනවා . දෙදෙනාම හිනාවෙනවා .
"මොකෝ හිනා වෙන්නේ , පිස්සුද? " ඈ  නැවත අහනවා
"පිස්සු හැදීගෙන වගේ එනවා ?"


සිරී  දිග හුස්මක් ගන්නවා . 
සැර  බෙහෙත් පුසුඹ නාස් පුඩු දිගේ විත් මොළයට අනින්න ගන්නවා . මහරගම ඉස්ටේසමේ නාම පුවරුව පහු කරගෙන දුම්රිය වේගය අඩු කරනවා .


පලි : කෝච්චිය නැවතිලා . අර මනුස්සයා නැගිටලා , අර රෝද පුටුවත් තල්ලු කරගෙන කෝච්චියෙන් බහිනවා . හ්ම්ම්

10 August 2014

පිස්සු බෝවෙනවා ඕයි

අහස විලි රුදාවෙන් කෙඳිරි ගාන්නීය . ඈ  සියොළඟ පුරා පැතිරෙන වේදනාව , අහස පුරා අකුණු ගසන්නීය . මා පය ඉක්මන් කලේ කුමන හෝ සෙවිල්ලක් යටට වීමටය . රංජනී  කෙතරම් කීවත් , මට බොහෝ විට කුඩය අමතක වේ . හතරමං  හන්දියෙන් නුගේගොඩ පැත්තට හැරුණු විට ඇති මේ බස් නැවතුම් පොළ කිසිවෙක් පාවිච්චි කරනවා මා දැක නැත්තෙමි . බස් රථයක් වුව නැවත්වුවේ ඊට ටිකක් ඈතට වන්නටය .

මා ඇතුළු වී ටික මොහොතකින්ම එහි කොනකට වූ කළු ගුලිය ම නෙත ගැටිණි . අව පහ ගැනුණු වැරහිලි , දිගට වැවුණු කැරලි ගැසුණු හිසකේ , වත තැනින් තැන දිගට වැවුණු රැවුළ . "පිස්සෙක්ද කොහෙද " මා සිත නිගමනයකට ඉක්මන් විය . 

කුමක්දෝ හේතුවකට මා සිත තුලට සියුම් චකිතයක් බියක් කාන්දු වෙනවාද මට දැනුනි . " වැඩි වෙලාවකට නෙමෙයිනේ . දැන් බස් එකක් එයි . මෙහාට වෙලා ඉන්නවා , හැබැයි සුදානම් සරීරෙන් . " මම අත්  තදින් මොලවා ගතිමි .

"මහත්තයා ඕයි  මහත්තයා " ගොරෝසු හඬක් මා ඇමතීය

ඇහෙන්නේ නෑ  වගේ ඉන්න ඕනෑ .

"වැස්සකට හරි මේක ප්‍රයෝජන උනානේ නේද"

"මොකක්ද"

"බස් ඉස්‌ටෑන්ඩ් එක . ....කොල්ලා  යුද්දෙට ගියා . ඌ බෝම්බෙකට අහුවෙලා මලා . ....සීල්  පෙට්ටියක කෙහෙල් කොටන් දෙකක් ගමට ආවා . ගමම අඬලා පුච්චලා දැම්මා . .....කෙහෙල් පට්ටා , පට පට ගාලා ඇවිලුනා ඕයි . ..........ඊට පස්සේ මිනිස්සු සල්ලි එකතු කරලා මේ බස් ඉස්‌ටෑන්ඩ් එක හැදුවා . .....උගේ නම ලියුවා උඩින්ම . .....
බොරු නෙමෙයි ඕයි . "

මම හිස පිටතට දමා බැලීමි . ලියු වැකිය තැනින් තැන වියැකි ගොසිනි . "රණවිරු " යන වදන යාන්තමට දිස්වේ . ඉන් පසුව ඇති නම වියැකී  ගොසිනි .

"කොල්ලගේ නම මැකිලා ගිහින් . රණවිරු කෑල්ලත්  දැන් මැකීගෙන  යනවා . ....මේකත් කඩලා දායි  ළඟදීම මහත්තයෝ ....කාටවත් වැඩක් නෑ කියලා "

ඔහු එක්වරම, ලඟට එන ලෙස සන් කළේය . මා පොඩ්ඩක් අදිමදි කලෙමි .

"මහත්තයෝ මට පිස්සු ..... වෙන ලෙඩක් නෑ  ඕයි  . පිස්සු බෝවෙන්නේ නෑ  ...බොරු නෙමෙයි ඕයි  "

වෙන කළහැක්කක් නොමැත . මා අඩියක් දෙකක් ඒ දෙසට ගතිමි .

"අර ගෙදර මහත්තයගේ පදනමක් තියෙනවා . චන්ද කාලෙට උදළු තල , බාල්දි , ගෑස්  සිලින්ඩර් බෙදන .. මේ ඉස්‌ටෑන්ඩ් එක නිසා ඒ මහත්තයාගේ මුණ තියෙන අර බෝඩ් එක පෙනෙන්නේ නෑලු ඈතට ."

මා නෙත් , ඔහු දික් කල ඇඟිල්ල දිගේ ඒ දෙසට යොමු කලෙමි . සුදෝ සුදු වතින් සැරසුණු , කොන්ඩේ  ජෙල් ගා පීරපු  මහතෙක් මදහසක් පාන්නේය .

"එහෙම කඩන්න පුලුවන්ද ?" මා ඇසුවේ දැනගැනීමේ උවමනාවට වඩා නිහඬතාවයට ඇති අකමැත්ත නිසාය .

"මිනිස්සු ආවේගෙට හැදුවට . මන්ත්‍රී තුමා ඇවිල්ල කතාවක් පවත්තලා විවෘත කලාට අනවසර ඉදිකිරීමක් ලු මහත්තයෝ "

අර මදහස පාන බෝඩ් එක යටින් , පිඩලි , රතු පැහැ  ,හැඩයට කැපු ගල් කැට  රටාවකට ඇල්ලු  පදික මාවතක් දිගේ  හවසට මහත්තුරු ජොගින් යනවා මට මැවී  පෙනිණි . නිහඬතාවය පුංචි තිතකින් ඇරඹි වතුර වීදුරුවකට වැටුණු තීන්ත බිඳුවක්  මෙන් කෙමෙන් කෙමෙන් මුළු ලෝකයම වසා ගන්නට විය . ඒ මුසල නිහඬතාවය මා සිත කැලඹිය .  මොහොතකට පෙර මා අප්‍රිය කල ඔහු ඔහු කතාව දැන් මා සිත ඉල්ලා සිටින්නේය . කෙතරම් වෙලාවක් ඒ නිහඬතාවය රජකලා දැයි මට නිනව්වක් නැත . නිහඬතාවය අප හුස්ම ගන්නා වාතය උරාගන්නා සෙයකි . හුස්ම හිරවී , ආශ්වාශ ප්‍රශ්වසයද අපහසු සෙයකි

ඈතින් පුංචි තිතක් සේ පටන් ගෙන එන්න එන්ටම ලොකු වෙන බස්රථය දැක මා පිටතට ආවේ,  වැඩිමනක්ම ඒ පරිසරයෙන් මිදීමටය . බසය සෙමින් සෙමින් විත්  නැවතුම පසු කර මදක් ගොස් නතර විය . මම ඒ දෙසට දිව යන්නට වීමි

"මහත්තයා මහත්තයා . මේ... "

මම නැවතුනෙමි

"මම බොරු කිව්වේ ඕයි  . පිස්සු බෝවෙනවා  ඕයි  .. "ඔහු මහා හඬින්  සිනා සෙන්නට විය 

28 June 2014

ගිණි අවි සහ හරි කෙළි // Side (arm) Effects

"රාලහාමි අයියේ "

උදේ පාන්දරම ගේට්ටුව අසළ  කවුරුදෝ කෑ ගසන්නේය .

"පුඥ්ඥසෝම කඩේ ගියෝ " කියාගෙනම සෝමා කුස්සියේ සිට වටෙන්ම ගියේ ඒ කවුදැයි කියා බැලීමටය 

රඹ ප්‍රමාණයේ කෙසෙල් ඇවරි දෙකකුත් අතේ තබාගෙන ගේට්ටුවෙන් එපිට සිරිල් සිටගෙන සිටින්නේය . වම් කණේ  සිට දකුණු කණට පැතිරුණු සිනහව මුළු මුහුණටම  එළියක් ගෙනවිත් ඇත.

"ආ  මල්ලි මොකද මේ උදේම ? එන්න ඇතුලට . අයියා පාන් ගේන්න ගියා . " 
සෝමා හඬ බාලකර කිවේ පුෂ්ටිමත් කෝලිකුට්ටු දෙස හොරෙන් බලමිනි 

"නෑ  අක්කේ මේ අපේ වත්තේ කෝලිය කැනක්  ඉදුනා , අයියාට  ගෙනාව අයියා කන්න කැමතියි නේ ."

"අයියා නම් ඕන ජරාවක් කනවා . වැඩිය කැමති ඉතින් ඇති කෙහෙල් තමයි . ඒත්  මොකද මේ කවදාවත් නැතිව ?"

"නෑ  ඉතින් අපිටත් ආරංචි උනා . අයියටත් හම්බු වෙන්න ඇතිනේ . පොඩි පහේ දෙයක්ද අක්කේ . අපිටත් ආඩම්බරයිනේ . එත් මට ෂුවර් තිබ්බේ නෑ  අයියා ගෙදර ඉඳියිද කියලා "

"අද නිවාඩුවක් දැම්මා කිව්වේ , කාකි  කලිසම හෝදන්න තියෙනවා කියලා "

එවිටම රාලහාමි ගේට්ටුවෙන් ඇතුළුවිය 

"මේ සිරිල් මල්ලි තෑගිත් අරන් ඇවිල්ලා " සෝමා ඉක්මන් විය 

මොකෝ මල්ලි ලෙඩක්ද , හෙල්මට් නැතුව ගිහින් අහු උනා ද , දඩ කොලයක්ද , හොරු පැන්නද ?

නෑ  නෑ  එහෙම එකක් නෑ ...රාලහාමි අයියේ උඹ ඇක්සයිස් වත් කරනවද ..පපුවත් ඉස්සරහට ඇවිල්ලා  , උසත් ගිහින්ද මන්දා 

විකාර මල්ලි , දැන් ටික දවසක ඉඳන් අමුතු විදියකට තමයි ඇවිදින්නේ , මනස්ගාත 

අනේ මේ ගොල්ලන්ගේ හැඳි මිටේ මොලේ ...මල්ලි මෙහම තමයි මමයි රජ එකේ විජේ ඇවිදින්නේ ...

අයියේ අපිටත් ආරංචි උනා ...හම්බුනා කියලා 

මොනවද ඕයි  මේ හම්බුනා කියන්නේ , ප්‍රොමෝසන්  එකක්වත් හම්බු උනාද ?

සෝමාගේ පැනයට පුඟ්ඟසෝම පිළිතුරු දීමට ගියේ නැත . පැනය  නෑහුන ගානට සිටියේ . ඔහුට මාජ්ජ ප්රෝකාසක ඇස්  ඇස්  පී සර්ව සිහිවිය 

වෙනදා වගේ නෙමෙයි මල්ලි උඹට කියන්න දැන් ටිකක් කඩ පිලට ගියාමත් මිනිස්සු ටිකක් රැස්පොට් එකක් දීලයි කතා කලේ . ඉස්සර වගේ නෙමෙයි බං 

උඹේ වටිනාකම ගමේ උන්ට තේරෙන්නේ නෑ  බං . 
අයියේ එක සැරයක් ගෙදරට හොරු පැනලා කැප්  තොප්පියත් අරන් ගියානේද 

කැප්  එක විතරක්නම් මදැයි , බැටන් පොල්ලත් අරන් ගියානේ . ඊට  පස්සෙනේ වැඩේ උනේ 

මොකෝ උනේ 

ඒ අසමජ්ජාතියා තොප්පිය අර මඩ  ලියද්දේ පඹයාට දාලා  ගිහින්නේ 

නෑ මාර නෝන්ඩියනේ 

ඔව් බං  ට්‍රැෆික් ඉන්නකොට හෙල්මට් දාලා  ටොකු ඇනලා  යනවා. කොල්ලෝ කෑගහනවා පොන්න  සෝම කියලා ...අපි විඳින දුකක් 

හිහිහි 

හිහිහි? හැබැයි පුතෝ දැන් ඒ සෙල්ලම් බෑ . වැඩිය ආවොත් ගත්තා මේ පැත්තෙන් ඩි ෂුම්  ගාලා අවම බලය පාවිච්චි කරලා දානවා 

අපි දැක්කා අර වීඩියෝ එකේ කට්ටියගේ වැඩ 

අන්න දැක්කද ..නිකන් කෙලින් හිටගෙන කව්බෝයි වගේ ..අර කිලින්ට් ඊස්  වුඩ් වගේ , ඩිශුම් ඩිශුම්
 (දකුණත  ඉණ  අසල තබාගෙන , ඇඟිලි දෙකක් දික් කර ඔහු රඟ  පා පෙන්වීය )

අම්මේ බයෙත් බෑ 

හැබැයි මල්ලි එක පොඩි ප්‍රශ්නයක් තියෙනවා 

මොකෝ අයියේ 

මේ හුචක්කුව ඉනේ එල්ල ගත්තම , කලිසම බහිනවා බං 



පලි  :  මම ඉස්සර හිතන් හිටියේ අහිංසක පොලිස් යනු හුදු මනෝ කල්පිතයක් පමණක් කියාය . එය එසේ නොවන බව මම දැන් දනිමි 

08 March 2014

කොහා පැටියා

බස් රථයෙන් බැස  ගත්  ආනන්ද,  ගුරු පාර දිගේ ඔහේ ඇවිදින්නට පටන් ගත්තේය. 
දහවල් ගෙදරින් ලැබුණු දුරකථන ඇමතුම ඔහු මනස අවුල් කර ඇත්තේය . නොදැනම ඔහු  ගේට්ටුව අසලටම පැමිණ ඇති බව දුටුවේ හිස ඔසවූ පසුවය .

බයිසිකලයේ නැගී පිම්මේ ආ සමරේ මදකට වේගය අඩාල  කර ඔහු වෙත පෑ සරදම් සිනහවද . වට්ටියේ ඉතිරිවූ අන්තිම කතුරුමුරුංගා මිටිය විකුණා ගැනීමට තැනු  කීර  අම්මගේ කරච්චලයද , සේයාවක් මෙන් ඔහු මනසේ රැඳී ඇත .


ගේට්ටුව අගුල ඇර  ගෙන ඇතුළුවත්ම , ඉස්තෝප්පුවේ කුලුනකට බර දී මග බලාන  සිටින නන්දා  ඔහු නෙත ගැටිණි . මළහිරු රැස් , ඈ  චායාව,  දිගට,  ඉස්තෝප්පුවේ සිත්තම් කර ඇත . විවාහ වූ අලුත් ඈ,  මේ ලෙසම , ඔහු සවස එනතුරු මග බලාන හුන්නාය . ඔහු කන්තෝරුව අසල වඩේ  කරත්තයෙන් ගෙන එන පරිප්පු වඩේ දෙක සහිත කඩදාසි උරය  මහා සම්පතක් ලෙස උදුරා ගත්තාය .

නන්දාත් වයසට ගිහිල්ලා ... අමුතු සිතුවිල්ලක් සිත  මුල්ලක ඉපදී , සිත පුරාම මහා කාන්සාවක් සේ පැතිරිණි 

"කෝ ආවද පුතණ්ඩියා ? " ඔහු ඇසුවේ , තම අත  තිබු මල්ල ඈ  වෙත යොමු කරන ගමන් ය 

" ඔන්න වෙනදා වගේම කාමරේට රිංගා  ගෙන දොර වහ ගත්තේ " ඇය  දිගු සුසුමක් හෙළුවාය 

"අනේ තාත්තී ...ඇයි  අපිට මෙහෙම වෙන්නේ ?" ඈ  ඇසුවේ පිළිතුරකට වඩා පිළිසරණක් බලාපොරොත්තුවෙන් යැයි  ඔහුට දැනුනි . . ඈ  කලකින් ඔහුට "තාත්ති " කියා අමතා නැත . 

ඇයට  ඉකි ගැසිනි .

ආනන්ද ඉදිරියට විත් ඈ  සුරත අල්ලා  ගත්තේය . ඈ හිස ඔහු ලැමට  තුරුළුකර ගත්තේය . නන්දා සිතේ සිරකර  හුන් කඳුළු , ඔහේ දෝරේ  ගලා යන්නට ඉඩ හැරියාය .

ඔහු කලකින් ඇයව  මෙසේ තුරුළු කරගෙන නැත . හේ , ඈ  හිස තවත් පපුවට ලං කර ගත්තේය .

______________________________________________________

සුගත් රෑ කෑම  මේසයේ හිඳ ගෙන පිඟානටම මාළු කෑලි  දෙකක්ම බෙදා ගත්තේය . නන්දා  ඔහු පිඟානේ  පාන් පෙති දෙකක් තබද්දී පිටි අල්ලෙන්  කඳුළු පිසිනවා වත් , ආනන්ද  තම හිස් පිඟාන දෙස ඔහේ බලා සිටිනවාවත්  ඔහුට නොපෙනුණි .

"අද හෙන්රි වීරසිංහ කියලා මහත්තයෙක් ගෙදර ඇවිත් තියෙන්නේ "ආනන්ද බැරෑරුම් හඬක් මවා ගෙන මුල් පිරීය .

"අර මොකටද එයා මෙහෙ ආවේ ?" 

"ඇවිත් තියෙන්නේ උඹේ වීර කම ගැන කියලා යන්න , උඹ කරලා තියෙන්නේ ලොකු වීරකමක් ...!!!!" අසීරුවෙන් මැඩ  ගෙන හුන් හැඟීම් ආනන්ද ගේ හඬට  මුසු වන අයුරු නන්දාට  හොඳින් දැනුනි .

"ආ ඒකද  " සුගත් මාළු හොදි වල  පොඟවා පාන් කෑල්ලක් කටේ හුවා ගත්තේය 

"ආ ඒකද  ....!!!? "

" අපි දෙන්නම වැඩිහිටියෝ . ඉතින් එක අපි දෙන්නගේ තීරණයක් . අනික මම ශානිව බඳිනවා නේ කොහොමත් "

"පුතේ !!!...." නන්දාගේ  හඬේ  මහා වේදනාවක් රැඳී තිබිණි . .. එය වැටහුනා දෝ  , මුළු පරිසරයම හූවට පිම්බාක් මෙන් නිසල විය . අමාවක රැයේ  වැයූ  රැහැයි  ගීයද  නතර වූ සෙයකි .

" පුතේ ... අපි මහන්සිවෙලා උඹව හැදුවේ මේකටද ?!... මාත්  ගෑණියෙක් ..ගෑණුන්ගේ  ජිවිතත් එක්ක සෙල්ලම් කරන්න එපා පුතේ ..."

"සෙල්ලමක් නෙමෙයි අම්මේ , මම ශානිව බඳිනවා , බැඳලා ගෙදර ගේනවා , එතකොට ඔක්කොම ඉවරයිනේ

"මිනිහෝ !! උඹට කිසි ලැජ්ජාවක් නැත්ද .." ඉවසීමේ වාන් දොරටු පිටාර  ගැලුවේය .
" උඹ මේ කරපු වැඩේ .. අපේ මූණෙත් දැලි ගාලා .. "ඒ දැරිවි , ඒකිගේ දෙමාපියෝ , අපි ..කොහොමද ලෝකෙට මුණ දෙන්නේ .."
ඒ වචන පිට කරත්ම , කුමක්දෝ මහා ගින්නක් තම ආත්මය දවාලනවා මෙන් ආනන්දට දැනුනි 


"අර මනුස්සයා  ඇඩුවා ...එකම දුවලූ  , බඩේ දරුවෙක් එක්ක කොහොමද පෝරුවට නගන්නේ කියලා ඇහුවා "

"තාත්තේ මේ නිකන් බුදු ටෝක් දෙන්න එපා , බොක්කේ දඩ මස් තියාගෙන . අර සමරේ මාමා කිව්වේ ...අප්පා වගේමයි පුතාගේත් වැඩ කියලා ... තාත්තලා බඳිනකොටත් මම මාස තුනක් බඩේ ලූ නේද ? "

ආනන්දගේ මුළු ලොවම බමනය වන්නට විය .

මංගල රාත්‍රියේ , පුස්සැල්ල තානායමේ කාමරයක , මගුල් සාරිය පිටින්ම නන්දා  ඔහු දෙපා මුල වැඳී වැටෙනවා ඔහුට මැවී  පෙනුනි .
" මම ජාති ජාතිත් නයයි ඔයාට , මේ අවලංගු වෙච්චි මාවයි , මේ අහිංසකයගේ අනාගතේටයි  කර ගැහුවාට " 

"නැගිටින්න නැගිටින්න .." ඔහු නැඹුරු වී ඈ දෙවුරින් අල්වා සිටවුවේය . ඈ  කොපුලේ රැඳුනු කඳුළු උණුහුම , නැවතත් ඔහු ඇඟිලි තුඩට දැනෙන්නට මෙන් විය.

"ඔයාට අනුන්ගේ පවකට කර ගහන්න උනානේ ..මං  වගේ පව් කාරියක් ..."

"චටාස්  ..."  රෑ  නිහැඬියාව පුපුරු ගස්වන අකුණු වන හඬින්  ආනන්ද නැවත වත්මනට ඇද  ගත්තේය ..සුගත් තම කම්මුල අල්ලාගෙන සිටින්නේය . ඔහු දෑසේ ඇත්තේ වික්ෂිප්ත බැල්මකි .

" වහපන් කට ..උඹ මේ මනුස්සයට ඔහොම කතා කරලා තව පව් පුරවා ගන්න එපා " නන්දාගේ  හඬ වෙවුලුම් දුන්නාය 

හේ සියොලඟම හිරි වැටි ගොසිනි
"නන්දා .."
යයි කෑගැසීමට තැතනුවත්  , ඒ වචන උගුරේ සිරවෙනවා ආනන්දට දැනුනි 


06 March 2014

වෙජිටේරියන් මර්සි ගේ , මස් හොදි තියරිය // Leaving the pieces in the dish

මර්සි , මම කොල්ලා කාලේ වැඩ කරපු කන්තෝරුවේ වැඩ කල , ටිකක් තල්තැනි කතක් . කතුරක් වගේ කටක් හිමි ඇය  උම්බල කඩ වත් නොකන්නිය.  පුර්ණ ශාක භක්ෂිකාවක් . ෆුල්ම ෆුල් වෙජිටේරියන් .  

අපේ කැන්ටිම කරපු ඇනස්ලි , හැම කැන්ටිම්  කරුවෙක් වගේම , බැනුම් අහන්නම උපන් කෙනෙක් . අපේ පුරුවේ ණයකට ඔහුගෙන් කන්නත් , ඔහුගේ පුරුවේ පවකට අපෙන් බැනුම් අහන්නත් මෙලෙස හමුවූ බව එදා අපේ හැඟීම විය .

ඇනස්ලිගේ කැන්ටිමේ තිබ්බේ හරිම සිම්පල් ප්ලැන්  එකක් . උදේට පාන් ගෙඩිය හතරට කපලා , පාන් කාලේ කෑලි . පුංචි දීසි  වලට වෙන වෙනම දාපු පරිප්පු , මාළු කෑල්ලක් , මස් කෑලි පහක් . ප්ලාස්ටික් බාල්දියක , වෙනම උයපු ගොරක වැඩි හොදි , පිටිපස්ස කුස්සියේ  . මස් කරි , මාළු කරි ඕන එකකට අර හොද්ද දාලා දෙනවා . හැබැයි ඇහුවොත් අම්මා තාත්තා පල්ලා දිවුරනවා නෑ වෙන වෙනම මස් හොදි මාළු හොදි උයනවා කියලා .

ඔන්න මර්සි එනවා උදේට කන්න 

"ආ මර්සි මිස් ගුඩ් මොර්නින්ග් "

"ඇනස්ලි , මට දෙන්නකෝ පාන් කාලකුයි මස් හොදි එකකුයි , හොඳ කෑලි දාන්න "

පෝලිමේ සිටි මම   "මර්සි අක්කේ , ඔය වෙජිටෙරියන් නේද "

"ඔව් . ..මම හොදි විතරයි කන්නේ "

"ඉතින් එහෙනම් කෑ ලි දාන්න කිව්වේ "

"මෙහෙමයි මල්ලි කෑලි නැත්නම් හොද්දේ රහක් නෑනේ . මම කෑලි  ඉතිරි කරනවා "

"අඩේ මාරයි නේ "

"මාර නෑ . ගොඩක් දේවල් එහෙම තමයි . ඔය ඩිමොක්‍රසි , මීඩියා  ෆ්‍රීඩම් , එතකොට ෆ්‍රී ස්පීච් , එතකොට සමානාත්මතාවය ඔය ඔක්කොම එහෙමයි . ඒවා තියෙන්න ඕනේ හොද්දට වටිනාකමක් එන්න . මස් හොද්දක් , මස් හොද්දක් වෙන්න .හැබැයි ගොඩක් වෙලාවට අපි ඒවා කන්නේ නෑ , කන්න බෑ"


පලි :
ඇගේ  තියරියේ ගැලපුම අද මට වැඩියෙන් දැනේ . අපි සංකල්ප මය වශයෙන් අවැසි යයි සිතන බොහෝ දේ , අවසන අපි දීසියේ  ඉතුරු කර , ගොරක වැඩි හොද්ද සමග පාන් ගිලිනවා නේද යයි විටෙක මට සිතේ . එය අපිට පුරුදු වී ඇත , ඇතැම් විට මස් කෑලි  කෑවොත් අජීර්ණ  ද  විය හැක .