නිමිත්ත :
පහුගිය දිනයක උදෑසන කෝච්චියේ මට එහා පැත්තේ වයසක යුවලක් අසුන්ගෙන සිටියා . ඒ මහත්තයා කොනේම අසුනක වාඩිවෙලා , ඒ ඉස්සරහින් රෝද පුටුවක නෝනා ව තියා ගෙන . ඇගේ මුහුණේ මහා දිග වේදනාවක් ඇඳිලා . සැර බෙහෙත් පුසුඹක් හතර වටේටටම වහනය වෙනවා . ඈ අංශබාග රෝගයෙන් පෙළෙන්නා වාගේ (එච්චර හරි නැති නිසා, මම වැඩිය බැලුවේ නෑ ) .
ඔහු පුංචි අත් තුවායකින් ඇගේ මුව පිහිදානවා , විටෙන් විට .
මට එක පාරටම හිතුනේ ...මෙන්න සැබෑ ආදරය ..කියලා .
ඊට පස්සේ මගේ හිතේ ලියවෙන්න ගත්තා සිරිගේ සහ සීතා ගේ කතාව
සිරි සහ සීතා දුම්රියේ අසුනක වාඩිවී සිටිති.
දන්නෙම නැතිව අපි ඉඳගෙන තියෙන්නේ පරණ පුරුදු තැනම නේ ....තුනේ පෙට්ටියේ , කොනේ සිට එක ....
සිරීට සිහියට එනවා . සීතා තම හිස සිරී ගේ උරේට තියාගෙන , ඇලවෙලා . ඇගේ මුහුණේ දිගට වේදනාව ඉරක් වගේ ඇඳිලා . බෙහෙත් සැරටද කොහෙද ...සිරිට හිතෙනවා .
මහරගම ඉස්ටේසන් එකෙන් ත්‍රීවිල් එකක් ගන්නවා . ඩ්‍රයිවර් ට කියනවා වැඩිය ගස්සන්නේ නැතිව හෙමින් යමු කියලා . ඔහු සිතිවිලි පෙළ ගසනවා .
“ මහත්තයා සැපට යන්න ඕනේ නම් කාර් එකක් ගන්න “ පහු ගිය වාරයේ කොන්ඩේ බොකුටු රියදුරු ගැටයාගේ වදන් ඔහුට මතක් වෙනවා . නිරායාසයෙන්ම වගේ ඔහුට සුසුමක් පිට වෙනවා .
සීතා ඔලුව ඔසවලා බලනවා .
“සීතා අපි තැඹිලි වතුර ටිකක් බොමුද ?”
"බෑ සිරී, පිරියක් නෑ. මම මෙහෙම ඉන්නම් , “
ඔහු, ඈ හිස යාන්තමට හෙමින් පිරිමදිනවා , ඈ හීනියට හිනා වෙනවා . ඈ නෙත් තෙත් වෙනවා . තුනිවු හිසකේ අතරින් ඈ හිස්කබල සුදුවට ඔහුට පෙනෙනවා .
ශැහ් කලුපාට ස්කාෆ් එක ගේන්න බැරි උනා නේ .... ඔහුට මතක් වෙනවා .
දැන් වටේ ඉන්න එවුන් අමුතු සතෙක් දිහා වගේ බලයි ..
ඒ කියනකොටම ඔවුන්ගේ අසුන අසළ හිටගෙන සිටින තරුණියකගේ විපරම් දෑස ඔහුගේ බැල්මට අහුවෙනවා . ඔහු දකින්නට පෙර ඉවත බලා ගන්නට ඈට නොහැකි වෙනවා . ඈ ඔහු දෙස සානුකම්පිත බැල්මක් හෙළනවා . ඒ බැල්ම ඔහු සිත කොනිති ගහනවා . සිරි කලබල වෙනවා (යථාර්තය මතක් උනා වගේ ) . ඔහු නුරුසින් ඉවත බලා ගන්නවා . සීතාව තුරුළු කර ගන්නවා . අතේ තියෙන ලේන්සුවෙන් ඈ මුව පිහිනවා .
දුම්රිය කවුළුවෙන් ඉවතට ඉගිලී ඔහු සිත අතීතයට පියනගනවා .
වසර ගණනාවකට පෙර තුන්වෙනි පෙට්ටියක කොනේ සීට් එකක සිතයි සිරීයි වාඩිවී සිටිනවා . ඈ අද වගේම ඔහුගේ උරයට හිස තියාගෙන , හොරට නිදි වගේ දෙනෙත පියාගෙන ...
ලා දම් පහ දුහුල් සාරිය පවනේ රඟනු නොහී ඈ අතකින් මිටිකර සිටින්නී . ඒත් ඒ අවසරයෙන් නළලත කෙහෙ රැල්ලක් පවන හා හිතුමතේට රඟන්නී.
සිරී හිමින් සැරේ තම අත ඇගේ අත මත තියනවා . ඈ , ඔහුගේ ඇඟිලි අතරින් තම ඇඟිලි පටලා ගන්නවා . සිරිට ඉබේටම වට පිට බැලෙනවා . දුම්රිය මැදිරිය අතුරු සිදුරු නැතිව පිරීලා . අසුන නුදුරේ හිට ගෙන ඉන්න මැදිවියේ කාන්තාවක් නුරුස්සනා බැල්මක් හෙලා ඉවත බලා ගන්නවා . ඈ නොකී වදන් බැල්මේ ලියවෙනවා ....මළ සමයං ..
සිරි මදක් කලබල වෙනවා , ඉවත බලා ගන්නවා . සීතාට තවත් ලං වෙනවා . ඇගේ විලවුන් සුවඳ නාස් පුඩු දිගේ විත් හදවත කිතිකවනවා . සිත පාවෙන්නට තතනනවා . පෙර දිනයක දෙබසක් ඔහුට මතක් වෙන්න ගන්නවා
“ ඔයාට කියලා ගත්තේ ...වූඩූ ...මම ආසයි මේ සුවඳට “
“ ඔයා කොහොමද ගෑනු කොලෝන් වල සුවඳ දන්නේ ?’ ඈ බොරු තරහක් මවා ගෙන අහනවා . දෙදෙනාම හිනාවෙනවා .
"මොකෝ හිනා වෙන්නේ , පිස්සුද? " ඈ නැවත අහනවා
"පිස්සු හැදීගෙන වගේ එනවා ?"
සිරී දිග හුස්මක් ගන්නවා .
සැර බෙහෙත් පුසුඹ නාස් පුඩු දිගේ විත් මොළයට අනින්න ගන්නවා . මහරගම ඉස්ටේසමේ නාම පුවරුව පහු කරගෙන දුම්රිය වේගය අඩු කරනවා .
පලි : කෝච්චිය නැවතිලා . අර මනුස්සයා නැගිටලා , අර රෝද පුටුවත් තල්ලු කරගෙන කෝච්චියෙන් බහිනවා . හ්ම්ම්