Showing posts with label මැද කතා. Show all posts
Showing posts with label මැද කතා. Show all posts

11 November 2017

පෘට් ඇන්ඩ් නට් අයිස් ක්රීන්

අදත් සුපුරුදු අඬ හැරුම, සුපුරුදු වෙලාවටම 

" නෝනා , මම නොකිව්වා කියන්න එපා,  තව සතියයි දෙන්නේ , ඇදලා දානවා බඩුත් එක්කම පාරට... මිනිහට කියහන් හිඟ කුලී ඔක්කොම ගෙවන්න කියලා ... ලැජ්ජා නැද්ද අප්පා කලිසම් ඇඳන් රස්සාවට යන්න .. අපිත් ජීවත් වෙන්නේ නැද්ද ?"

***

අද නම් දවසකි 
පුදුමාකාර 
කළුවර ගලන්නත් කලියෙන්
 තාත්තාත් ආව 
දෙඋරෙන් අල්ලා තුරුළුකර 
ඉඹිද්දී, කවදාවත් නැතිව 
කඳුලක්ද මන්දා වැටුනේ 
හිස මතට 
මහා බරට 

ලීක්ස් ගස් දෙක තුන 
සිලිමල්ලේ පාලුවට 
පරණ පත්තරේ එතුන 
සීනි බනිස , පඩි දාට 
නොවේ අද 

බලුබ් නැති වෙසක් වැනි  
අයිස් ක්රීන් පෙට්ටියකි 
නිකන් වැනිලාත් නොවුන
පෘට් ඇන්ඩ්  නට් ය , කජු පිරුණ 

රෑ කෑම මේසේදී 
අම්මාට දෙසැරයක් හිර උනා 
ඒත් වෙනදා වගේ 
" කවුරු හරි බඩගින්නේ "
කියලා නම් කිව්වේ නෑ 
"පැණි රහ මට එපා"
 වෙනදා කියන තාත්තාත් 
බෙදා ගත්තා අයිස් ක්රීන් 
අඬුව නැති කෝප්පෙට
ඒත්  ඇයි, බලා ඒ 
ඇහැ අද්දර කඳුලු
පිසදැම්මේ
අම්මා

***
පුවතක්:
ණය  බර දරන්නට බැරිව , අයිස් ක්‍රීම් එක්ක වස කා පවුලම දිවි නසා ගනිති 

14 May 2017

The old Ballerina's home remedy, අපේ අම්මාගේ මුදූ වැලි සාත්තුව සහ තවත් දහසක් කතා


Despite
the rationale queries
well intent; yet
the scepticism 
hackles 
yet 
the maternal pride 
makes up for it 

her son
a grown man now
..almost

And the doctor's
thirty six seconds’  of 
(she'd learnt to count
one missipi two)
wisdom,
the last of the colloquy 
conventional
but expensive

Hoary ballerina 
with  crooked toes
take the long lurch  
to the shore
for a handful of sand
surf's forgotten
yet
 still tear soaked

First 
heat up the sand 
over a slow flame
pack 
small parcels
of 
memories
(amnesia flickers first )
enfold in frayed silk 
whiffing of moth balls
to  massage her
inflamed joints


..It helps


***



වටකුරු තර්ක
යථාවාදී මුත්
පීඩාකාරීය
කල් ඉකුත් වත්
(පොඩි පුතා , යමක් දත්
මහා මිනිහෙක් නේ දැන් )

චැනල් කඩේ දොස්තර
ලියු තුණ්ඩුවේ
පිටින් ගන්න පෙති ජාතිම තුනක්
(හරියටම විනාඩි දෙකයි බැලුවේ
එක ලෙඩෙක් )

පා අද්ද අද්දා
ඕ  ගාටන්නී
ගන්නට මිටක් වැලි
කදුළු මිරිකා
රළටත් අමතක වූ
වෙරළ  කොනකට

තැටියේ රත්කර
මද ගින්නේ
බැඳ මතක පොට්ටනි
පොඩියට
තවන්නට
හන්දි පත්
දිවියේ බරටම
ඉදිමුණු

(පුංචි වගේ ගුණයක්
තියෙනවා )


පලි
සමහර නිර්මාණ වල , නිමිත්ත,  කතාව තරමටම රසවත්. නිර්මාණය අතින් අත යද්දී, පවතිද්දී, නිමිති කතාව කාලයට දියවෙලා යනවා.

අපේ අම්මා, කාලයක ඉඳන් දණහිසක වේදනාවකින් පෙළෙනවා.  දේශීය බටහිර දෙවෙදකමම මාරුවෙන් මාරුවට වගේ කරනවා. වෛද්‍ය නිගමනය ආතරයිටිස්වල මුල් ලක්ෂණ . ගිලින්න පෙති ගොඩක්, කල් ගතවෙන ප්‍රතිකර්ම .
මාසිකව දොස්ත්ර හමුවීම දැන් චාරිත්‍රයක් වගේ වෙලා .. ඒ ඔක්කොම මැද  ජීවිතේ  ගොඩක් දේ වගේම මේ වේදනාවත් ඈ  උහුලා ගෙන ඉන්නවා.

දවසක් ඈ  සමග කතා කරද්දී, තෙසක් රියක රියදුරෙක් ඇයට රියදුරෙක් ඈට  කියූ ගොඩ වෙදකමක් ගැන මට කියනවා.

"...පරණ වෙද පුස්කොල පොතක තිබිලා වෙද  මහත්තයෙක් කිව්වේ .. මුහුදේ වැලි,  තැටියක රත් කරලා, පොට්ටනි බැඳලා, ඉර අවරට ගියාට පස්සේ  තවන්න නෝනා. මාස තුනෙන් හොඳ වෙනවා. මෙන්න මගේ පෝන්  නොම්බරේ, නෝනට හොඳ උනාම මට කෝල් එකක් දීලා කියන්න ."

ඔහුම රිය පාරේ අයිනේ නවත්තලා ගිහින් වැලි ටිකක් සිලි මල්ලකට ගෙනත් දෙනවා. (අපි හරි වෙනස් !!)

" මම ආමි එකේ හිටියේ නෝනා, ජොනි බට්ටෙක් පෑගුනා " දණෙන්  පහල කෘතීම පාදය පෙන්නලා ඔහු කියනවා

මගේ යථාවාදී විද්‍යාත්මක තර්ක ඈ  නිසොල්මනේ  අහගෙන ඉන්නවා.  දුරකතනයෙන් එහා පැත්තේ, ඈ , මුවඟට නැගෙන (ආඩම්බරය මුසු ) හිනාවක් පහළට  අකුලා ගන්නවා, මට මැවිලා පෙනෙනවා

එදාත් හවසට ගෑස් ලිප උඩ , රොටි තැටියේ, මුහුදු වැලි රත්වෙනවා.

පපලි: මෙහි මාතෘකාවේ දහසක් කතා කියා ලියුවේ ඇයි කියා ඔබට තේරෙනු ඇතැයි  සිතමි

03 May 2017

පස්චාත් මැයි දින කතා

කතාව 1 
හැම දාම තැඹිලි කරත්තයක් හංදියේ තියාගෙන ,  වෙළඳාම් කරන ප්‍රාග්ධන හිමියෙක් ඊයේ මැයි දින පෙළපාලියේ ගියානේ .
ශ්‍රමය විකුනලාම යැපෙන කෝල් සෙන්ටර් කෙල්ලෙක් ෆුඩ් කෝට් එකක , ලම්ප්රයි එකක් දිග අරින ගමන් , ඒක දැක්කේ ටීවී එකේනේ .
ප්‍රාග්ධන හිමියෝ නේ 
කම්කරුවොනේ 
ටීවී නේ 


කතාව 2
හවස් වෙන්න වෙන්න පෙළපාලියේ ගිය එවුන් ගේ හෙවනැල්ල තාර පාර දිගේ දිගට ඇදුනා නේ .
අඩි ඩාස් ජෝගින් සපත්තු දා  ගත්ත නායකයෝ , ඒ හෙවනැල්ලට මුවා වෙලා නේ ගිරිය පුප්පන් කෑ  ගැහුවනේ 
හෙවනැලි නේ 
නායකයෝ නේ 
අඩි ඩාස් නේ 


කතාව 3 
ජේ ආර් මැයි දිනේට , නිතින් මුකේෂ් ගෙනල්ලා බජව් දැම්මනේ 
ඒ එස්පී ලියනගේ , උගේ පැක්ටේරියේ මැයි දිනේ ඌම ඔගනයිස් කරලා 
ඌම ඉස්ටේජ් එකට නැගලා 
ඌම කතාව පැවැත්තුවා නේ 
කැතයිනේ 
ජේ ආර් නේ 
ඒ එස් පී ලියනගේ නේ 
කැත කියනකොටනේ 


කතාව 4
කාගේ කාගේත් අරක්කු වැඩ කරේ  මහපාරෙනේ 
නිකන් හම්බුවුන ප්‍රයිඩ් රයිස් හවස් වෙනකොට ඔක්කාරෙට ආවනේ 
 අනේ සතෙන් සතේ එකතු කරලා ගෙවපු බස් එකේ , කොළඹ ආපු චන්දසේන 
කමිසේත් ඔලුවේ ඔතාගෙන 
පාරේ වැනි වැනි යන ගමන් නේ 
පාක් කරලා තිබ්බ ඇල්ටෝ බට්ටෙක්  අත ගෑ වනේ 
චන්දසේනනේ 
ෆ්‍රී ගල් නේ 
ඇල්ටෝනේ 



05 March 2017

රූපසිංහ අංකල් ගේ ප්‍රොජෙක්ට් එක හෙවත් Project life cycle and life projects

  

රූපසිංහ අංකල්,   අපි පොඩි කාලේ , කලේ වෑල්ඩින් වැඩ . මුලින් නම් ඔහුගේ වැඩපොළට එහෙම කියලා වැඩක් තියෙනවා මට මතකයක් නෑ . ඒත් කවදා  වත් ඉවර නොවෙන ප්රොජෙක්ට් එකක් ,  බාගේට හදපු පන්සලක පහන් වැටක් නම් හැමදාම වැඩපොළේ වත්තේ අයිනක ගහකට හේත්තු කරලා තිබ්බා . 
(අහපු හැම වෙලාවකම කිව්වේ " ඕක ඉවර කරන්න ඕනේ පුතා " කියලා . )

පහු කාලේක රටේ ආර්ථිකේ විවෘත වෙලා, ක්රෝටන්  වැටවල් වෙනුවට තාප්ප බැඳෙද්දි , උණ බම්බු කඩුල්ල වෙනුවට දමාපු ගේට්ටු හැම එකක්ම හැදුවේ මොහු .  ඊට පස්සේ හොරු වැඩි වෙද්දී ජනෙල් වලට ගහපු ග්රිල් හැදුවෙත් රූපසිංහ අංකල් . 

බොහෝ විට හවසට මද පමණ සප්පායම් වෙලා ඇවිල්ලා , අපේ අප්පච්චි එක්ක කතා කර කර ඉන්නවා පැය  ගණන් . අප්පච්චි අමද්යප වෘතයක් පිරු නිසා , දෙන්නා එක්ක හරි හරියට සිගරට් බොන එක තමා කලේ . 

හැම දාම ගෙදර යනකොට  " මම ඇවිල්ල මහත්තයාගේ සිගරට් ටික ඉවර කරනවා , ඔන්න මහත්තයෝ මම හෙට නම් එනකොට මහත්තයාට  බ්රිස්ටල් පැකට් එකක්ම ගේනවා " කියලා තමා යන්නේ 

අප්පච්චි සිගරට් බීලා ලෙඩවුනා . ඉස්පිරිතාල වාට්ටුවක විඳවලා මැරුණා . මළ ගෙදර ඇවිත් රූපසිංහ අංකල් මගේ අත  අල්ල ගෙන ඇඩුවා . "මොනවා කලත් කමක් නෑ  පුතේ සිගරට් නම් බොන්න එපා " කියලා එලියට ගිහින් පැත්තකට වෙලා සිගරට් එකක් පත්තු කරන් සෑහෙන වෙලාවක් කල්පනා කර කර ඉන්නවා මට මතකයි.

පස්සේ කාලේක වැඩපොළ වැහිලා ගියා. ඔහු ජුබිලි කණුවේ හන්දියේ ත්රී වීල් එකක් එලෙව්වා . 

දශක ගාණකට  පස්සේ අහම්බෙන් මට වෙනත් තැනකදී රෑපසිංහ අංකල් හම්බවුනා . " අද නෝනාට  පැන්සන් , බෙහෙත් ටික ගන්න ආවා" කිව්වට .. සිලි මල්ල ඇතුලේ කාලේ බෝතලේ එලියට පෙනුනා.

"මහත්තයා මොකද දැන් කරන්නේ " ඊළඟ ප්රශ්නෙන් නම් මම පොඩ්ඩක් අසරණ උනා .  මුලින්ම පුතාලා , මහත්තයාලා වීම ගැන වූ සිතුවිලි ගොන්නක් වාං ඇරියා සේ ගලා ආවා. ඊට පස්සේ මගේ රස්සාව මේ මනුස්සයාට විස්තර කරන්නේ කොහොමද කියන එක හිතන්න ගත්තා . තටමලා තටමලා , මම ප්රොජෙක්ට්  කරන ව්යාපෘති කළමනාකාරයෙක්  බව කියා ගත්තා .

"දොස්තර කෙනෙක් නෙමෙයි ??...... ..(නිහඬතාවයක්). .හ්ම්ම් තාත්තට නම් ඕනේ උනේ මහත්තයව දොස්තර කෙනෙක් කරන්න ..." ඔහු බිම බලාගෙන හිමින් සැරේ කිලිටු ලේන්සුවක් ඇහැට ලං කළා .


"මුළු ජීවිතේම ප්රොජෙක්ට් එකක් තමා මහත්තයෝ ... මමත් අපේ දුවව දොස්තර කෙනෙක් කරන්න නේ ඉගැන්නුවේ. ඒත්  ඒක ඉවර කර ගන්න මට සල්ලි තිබුනේ නෑ මහත්තයෝ..ඉතින් මම ඒකිව සල්ලි තියෙන බිස්නස් කාරයෙකු ගේ ඇඟේ ගැහුවා . දැන් උන්ට සල්ලි තියෙනවා , මගේ මුණුපුරා ඇඩ්වාන්ස් ලෙවෙල් සයන්ස් කරන්නේ .... දොස්තර කෙනෙක් වෙන්න .."



පලි : ව්යාපෘතියකට නිශ්චිත ඉලක්කයක්  ඇත . එවන් ව්යාපෘති එක්වූ තැන ඇත්තේ වැඩසටහනකි . 

එක අතකට මුළු ජීවිතයම ප්රොජෙක්ට් එකකි . එක් එක්  කඩඉම් ඇත . ඇතැම් ඒවා සාර්ථකව ලඟා කරගනිමු ඇතැම් ඉලක්ක වලට ලඟා වීමට අපට නොහැකි වේ .

වැඩසටහනක ඇත්තේ ඉලක්ක නොව නිශ්චිත ප්රතිලාභයන් ය . එක ව්යාපෘතියක් අසාර්ථක වුවද , වැඩසටහනක ඒ ප්රතිලාභ ලැබෙන තෙක් අලුතින් අලුතින් ව්යාපෘති දියත් කෙරේ . ව්යාපෘති කළමනාකරු වෙනස් වුවද වැඩසටහන දිගටම ක්රියාත්මක වේ .

මා මේ දවස් වල කල්පනා කරන්නේ , වැඩසටහනක් ලෙස පරම්පරා ගණනාවක් ඔස්සේ දිවුණු දේ ගැනය . ඇතැම් දේ මානුෂිකය , තවත් දේ දේශපාලනිකය .

30 November 2016

ගෙදර යාමට පරක්කු වූ එළවුළු මල්ල සහ මේසය මත ලතැවෙන දොඩම් ගෙඩි දෙක (කවිද මන්දා )


පෙර කියවීම :මෙය ගෙදර යාමට පරක්කු වූ එළවුළු මල්ලක් සහ මේසයක් මත ලතැවෙන දොඩම් ගෙඩි දෙකක් පිලිබඳ කතාවකි 

ට්ක්රාස් ගා ගෙන 
වීල් එක ඉගිලුනේ  දුම් දා ගෙන 


මුඩුක්කු අයිනෙන් 
ගලයිද මොන ගංගා 
කුණු ඇලක් මිස 
ගොර ගොර ගා 
මොන සාරි ගප්පිද 
ඉස්ගෙඩි මිස 
කකුල් එනකං ලතැවෙන 

දොර පියන ඇරෙන්නේ 
ක්රීස් ගාගෙන 
ඇතුළට 
වොට් හතළිහේ බලුබ් එකක් 
විරිතන්නේ
එල්ලී වයර් එකක  
කළුවරට 
ලෑම්ප් ශේඩ් මොකටෑ 
මේ වගේ තැන් වලට 

ඇඳි  සළු උනන්නේ 
ඈ 
පිටිපස්ස හැරිලා 
හරියට 
ලැජ්ජාව රකින්නැහේ 
ඩිංගිත්තකට 

ආපු එකා 
සිලි මල්ල තියන්නේ 
ඇඳ ලඟම 
කරල් දෙකෙයි මුරුංගා 
තක්කාලි ගෙඩියෙයි 
වැටකොළු දෙසිය පනහෙයි 
වැඩි පරිස්සමට 

මේසේ  උඩ 
දිලිසෙන්නේ 
දොඩම් ගෙඩි දෙකක් 
 ගෙඩියක් 
පැපොල්
බලෙන් වගේ  ඉදවුණු 
අත ගාන්නේ ආසාවට 
පොඩි එකීත් 
කන්න ආසයි 
දොඩම් නම් 

"තැලෙයි .. පරිස්සමෙන් "  
ගත්තේ  
ඉස්පිරිතාලේට ගෙනියන්න හෙට
ටිකක් අමාරුයි එයාට 
 යන්න නම් උදේ 
ලෙඩ්ඩු  බලන වෙලාවට 
අල්ලන්න ඕනේ 
පහමාරේ බස් එක 

ඉක්මන් කරමු ද 
ඉතින් 

19 November 2016

ඩිංගියාට දෙන දඬුවම

නඩුකාරයා : යුෂ්මතාගේ නම මොකද්ද ?

චුදිතයා : ඩිංගියා හාන්දුරුවනේ 

 ඔබේ රැකියාව 

හාන්දුරුවනේ , කනත්තේ වලවල් කපන්නේ මම 

ඔබට විරුද්ධව තිබෙන පැමිණිල්ල ඔබට වැටහෙනවාද 

හාන්දුරුවනේ 
නිච්චියක් නෑ හරියටම 
 පොලිසියේ ජීප් එකේ දාං ගියේ 
උඹට හොඳ වැඩක් කොරන්නං 
කිය කියා 
රාළහාමිලා 

පොලිසියේදී 
කූඩුවේ එල්ලලා 
ගැහුවේ 
සාජන්ට් මහත්තයා 
කියාපිය ඇත්ත 
නැත්නම් බලා ගනිපිය 
කිය කියා 

පැමිණිල්ල වෙනුවෙන් පැමිණි පොලිස් නීතිඥ : පොලීසිය පාවිච්චි කලේ අවම බලය ස්වාමීනි 


(නඩු කරු පොලිස් නීතිඥ දෙස බලා )  හරි හරි , .. යුෂ්මතා ට විරුද්ධව තියෙන්නේ මිනීමැරුම් චෝදනාවක් 

අනේ හාන්දුරුවනේ මම කලේ මගේ රස්සාව 

ඔබට මතකද ඒ රෑ වෙච්ච සිදුවීම් 

අමාවක රෑ අහසේ 
තාරුකා නිදහසේ 
දෙගොඩහරි යාමේ 
මං හිටියේ  කාමරේ 

දොරට ගැහුවේ මහත්තෙක්  
පිස්තෝල මිටෙන් 
බෙල්ලෙන් ඇදගෙන මාව 
දා ගෙන ජීප් එකේ 
අරන් ගියේ   කනත්තට .

කපාපිය වලක් . 
මම කැපුවා වලක් 
 කරපිය ඉක්මන්  
 මම කළා ඉක්මන් 

වලට ගෙනත් දැම්මේ මිනියක් 
හතර ගාතයෙන් එල්ලන් 
යන්න කලින් මහත්තුරුන් 
වහපිය වළ දාලා පස්  

ඊට පස්සේ මහත්තුරු ගියා 

ඊට පස්සේ ?

මම පස් දාන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් ලංවෙලා බැලුවා . තාම හුස්ම වැටෙනවා . අර මහත්තුරුන්ට මරලා යන්න අමතක වෙලා . මට පණපිටින් මිනිහෙක් වලලන්න බෑ නේ හාන්දුරුවනේ . ඉතින් මම දුන්නා උදලු මිට තදින් බදලා බෙල්ල හරහා .

ඔබ වරද පිලිගන්නවා ඒ කියන්නේ 


හාන්දුරුවනේ , වරද ?

වලේ හිටපු මිනිහා මැරිලා නෙමෙයි හිටියේ 

නෑ  හාන්දුරුවනේ 

ඔබ උදැල්ලෙන් ගැහුවා

ඔව් හාන්දුරුවනේ    .....

හාන්දුරුවනේ ..

ඔව් 

මම හිරේ යයිද ?

ඒක මම නෙමෙයි තීරණය කරන්නේ .. මොකෝ නීතිය  ස්වාධීනයි නේ ....මේ ජනතා ජූරිය  තමා තීරණය කරන්නේ 



පලි :මෙය පහුගිය කාලයක කතාවක් නොවේ . මෙය අපේ වත්මනයි , අනාගතයයි . බාගෙට මරණ ලද නීතිය , හර  පද්ධති , ආර්ථිකය මෙන්ම , අපේ රටේ අනාගතයද  මහත්තුරු වළ තුළට  ගෙනත් දමති . නමුත් වළලන්න වෙන්නේ බොහෝ විට ඩිංගි යන්ටය . ඩිංගි යන අල්ලා , දෙකක් ඇන ඇත්ත එළිකර ගන්නේ නීතියයි ... නමුත් දඬුවම් දීමේ වගකීම අත  ඇරෙන්නේ ජනතාව කර මතටය  

18 October 2016

දවල් තරු

එතකොට වෙලාව හරියටම හතරයි හතලිස් පහයි . ඩෙල්ෆියස් තරු පන්තියේ පස්දින්නක්  තරු දීප්තිමත්ව පායලා  . .. 

මේ දවල් ?මේ තරු ?

නිකමට වගේ කියමු යමෙක් , ඇඟිල්ලකින් , නිකමට වගේ දබරැඟිල්ල කියමු ..සරල රේඛාවක් ඇන්දොත් එහි පහලින් ඇති තරු දෙක හරහා , දෙවැනි තිතෙන් නොනැවතී දිගටම විශ්වයේ ගමන් කලොත් නිකමට වගේ , හමුවෙන්නේ ඇකියුලා නොහොත් රාජාලියා .  

යමෙක් ඒ දබරැඟිල්ලම සෙමින් ඔසවා , මේ මහා දවල් නිදි ගත්තවුන්ට දැනෙන නොදැනෙන සේ,  ඉහලින් ඇති  තරු දෙක හරහා වැටුණු සරළ  රේඛීය  මගේ දිගටම ගියොත්  හමුවන්නේ පෙගසස් . 

ඒත් ..විශ්මය දනන දේ හමුවන්නේ , කිසිවෙක්  වැඩිපුර නොයන මගක ගියවිටමයි . අතරමං වූ විටයි .

අඳුරු , නිහඬ විශ්වයේ අතරමං වූ ඉබාගාතේ යන්නෙකුට ,  කාලය ඕනෑ තරම් ... වෙන මොනවා කරන්නද ගමන් කරනවා හැරෙන්න .. 

ආ මේ මොකක්ද ?  අලුත් ඉරක් !. 
අලුත් කිව්වට , සමහර විට කල්ප ගණනකට පෙර නිවී ගිහින් ඇති .ඒත් මේ දිග හැරුණු ආලෝක මතකය , උත්තර ද්‍රෑවයට නැවුම් දීප්තියක් ව,   පෙන්වාවි මග,  තව දිගුකලක්,  වන්දනා කරුවන්ට, සංචාරකයන්ට , ඉබාගාතේ යන්නන්ට .

"මොකද කරන්නේ " ඈ ඔහු දෙසට හැරුණාය 

"මම හිතන්නේ , අලුත් උපන් ලපයක් .."

"මොකක් ?"  ඈ හිස පිටුපසට  හරවා උරහිසට උඩින් එය දැක ගන්නට තැනුවාය 

" කලබල වෙන්න එපා , ඒක  ලස්සනයි "

"කොහේද  මේ උපන් ලපය තියෙන්නේ "

"අංශක කීපයක් නැගෙනහිරින්  ඩෙල්ෆියස්ට "

"මොකක් කිව්වා ?"

"උරස් තල දෙක මැදින් , හරියටම පිට මැද  "

"මගේ පිටේ උපන් ලප කීයක් තියෙනවද ?"

"අහසේ තරු කීයක් තියෙනවද ?"


(පිටුව 199 , A Gentleman in Moscow)

පලි

සමහර පොත් කියවන්න ඕනේ හෙමින් හෙමින් . ඉවර වෙයි කියලා හිතට ලෝබයි . ඉඟුරු තේ එකක් හකුරු කෑල්ලක්  එක්ක බොනවා වගේ . මේ පොත ඒ වගේ .


සමහර දිගම දිග කතා ඇතුලේ , ඔබට කෙටි කතා හමුවෙලා තියෙනවද ? 

කතාව , රුසියාවේ විප්ලවයෙන් පස්සේ , ක්‍රෙම්ලිනයේ සුඛෝපභෝගී හෝටලයක නිවාස අඩිස්සියට පත් වෙන ප්‍රභූ වරයෙක් අවුරුදු ගානක් ( 30ක් විතර ) ගත කරන හැටි .

කියවන ගමන් මම කෙටි කතා විය හැකි යයි හිතෙන තැන්  හිතෙන් සලකුණු කර ගත්තා . හැකි විදියට මෙහි පලකරන්නයි අදහස . ඒත්  මේවා කෙටි කතා වලට වඩා මැද  කතා යයි හිතෙනවා 


පොත  කියවලා ඉවරයි , ඒත් පැත්තකින්  තියන්න හිතෙන්නේ නෑ . 

13 February 2016

තවත් එක් වැලන්ටයින් දින කතාවක්


"හම්මේ  උඹ ආවද ?... හැපී වැලන්ටයින් කිව්වා "  රවී  කියවමින් සිටි පත්තරය හැකුලුවේය .

"වැලන්ටයින් තමා මොකෝ බං , උඹ මේ ඉරිදාවත් ටිකක් නිදා ගන්න දෙන්නේ නැතිව දිගට හරහට කෝල් දුන්නේ. මිස් කෝල් එකොළහක්"  . මලිත් චීන දුරකථනයේ තිරය , ඇමෙරිකානු කොඩිය සේ වූ කොට කලිසම් කකුලක පිසදැම්මේය ය ,

එහෙම නෙමේ  . අර පඬියෙකුත් කියලා තියෙන්නේ  අර්ලි බර්ඩ්ස් ලා ගැන කතාවක් 

මොකක්ද බං ඒ කතාව , උන් තෙමි නහී කියලද ?

නෑ යකෝ , ඒ අත්තෙන් අත්තට පනින උන් නේ . ...අද තමයි දවස  . ගානක් කපා ගන්න තියෙන . හැබැයි උදෙන්ම එන්න ඕනේ 

ඒක නෙමේ . උඹ වීල් එක පාක් එකේ ගහ ගන්නේ නැතිව මෙතන ගහපු එක හොඳයි . 

ඔව් ඔව් , ඒකනේ මම උඹට කිව්වේ ... මෙතන නිකන් හැංගිලා වගේ තියෙනකොට කපල්ස් එනවා . ... මේ දැක්කද .... සයිඩ් එකේ ඉස්ටිකර් ටික ... දිගටම හාට් පේළියයි 

ඔව් ඔව් වීල් එකට නගිනවා දැක්කොත් හොඳ නෑ නේ . ලජ්ජාවට බයට හැදිච්ච ... ඔන්න කියනකොටම එනවා ..

කෝ?

අර අර බස් එකෙන් බැස්සේ ...අයියෝ හතලිහ පැනපු නාකි ජෝඩුවක්ද කොහෙද ...

හරි හරි උන්ටත් වැලන්ටයින් තියෙනවා බං ...පොඩ්ඩක් හිටහන්  මම මේ සිංදුව මාරු කර ගන්නකන් ... ඔක්කොම කොල්ල අඬන සින්දු ගහලා පෙන් එකක් ගහ ගත්තා ...දුක වැඩි හන්දා , බලා ඉන්නම් ඔක්කොම ..රොමැන්ටික් නේ 

රවී අයියා උඹ මේ වැඩේ හොඳට හිතලා ප්ලෑන් කරලා තියෙනවා වගේ .

එහෙම නැතිව බෑනේ . අර රූම් චමින්දයා , අලුතෙන්ම සුදු ටවල් වගයක් අරගෙන හාට් මාක් මහගෙන ගියා . ඌ මේ සතියේ කාමර දෙකක් බුක් කලොත් තුන්වෙනි එක ප්‍රී දෙනවලු ..කට්ටියට කියන්න කිව්වා 

ඈ එහෙමද ?

අනික මේ ....(ත්‍රී රෝද රථයේ කැන්වස් එකත් රාමුවත් අතර හිර කර තිබු සිලි මල්ලක්  ගෙන , කට පළල කර පෙන්වීය  )
ඊයේ පාමසියේ සුමනයාගෙන් ඉල්ලගත්තා . විසිකරන්න තියෙන ලොට් එකක් කිව්වේ 

ඒ මටත් දීපන් කීපයක් ... මුන් චන්ඩි වගේ දක්කන් ආවට ...කඩේකට ගිහින් ගන්න ලැජ්ජයි ඇඹරෙනවා ... හයර් එකට ගාන කපලා මේක නිකන් දෙන්න ඕනේ 

අඩේ ...ගුඩ් අයිඩියාර් .. වැලන්ටයින් ඉස්පෙෂල් ..අම්මපා මලිතෝ මේ වැලා නම් මල් පහන් තියලා වඳින්න ඕන දෙයියෙක් බං ...දැන් උඹ මොකද කරන්නේ මේ දවසේ ?

හවස ප්‍රියංකා  එක්ක දියත උයනටවත් යනවා බං, මේකෙන් ගානක් සෙට් වුනොත් . කෙල්ල හරි ආසයි අයියේ බිත්තර ආප්ප කන්න 

"මල්ලි හයර් එකක් යන්න පුලුවන්ද ...?" 

(කතාවෙන් කතාවෙන් , යුවළ ලඟට ආ බවක් දෙදෙනාම නුදුටුන ) 

හරි යමු සර්. මේ මල්ලිගේ වීල් එකට නගින්න .. මල්ලී උඹ මුල්ම හයර් එක ගනින් 

ලොකු අයියා, ඒත් මේක උඹේ හයර් එකනේ ...

ඒ පණ්ඩිත කතා නැතිව උඹ ගනින් .. ඉක්මනට හයර් ටිකක් හොයන්, ගෙදර ගිහින් හොඳට නාලා පියන්කා බලන්න පලයන් .

ලොකු අයියේ එහෙනම්  අපි ගියා ....."

 හා හා බුදු සරණයි , මේක අමතක කරන්න එපා 

රවී සිලි බෑගය ගුලි කර, රියදුරු අසුන දෙසට  විසි කළේය . රථය ට්රාට්‍රාට්‍රා හඬ නගමින් ඉගිලුනේය ... 
"   ටින්  ටි ටින් ටින් ....බලා ඉන්නම් , කල්ප ගානක් උනත් මං  ....    "  හඬ පරදා 
" මම දන්න ඩීසන්ට් පොට් එකක් තියෙනවා සර්" යයි මලිත් කියනවා රවීට යාන්තමට ඇසුනි 

ත්‍රී රෝද රථය  කඩුවෙල දෙසට පියාඹන්නට විය .

රථයේ පිටුපස කවුළුවට යටින් ඇලවූ ස්ටිකරයේ " කුමටද කුසලට කම්මැලි වන්නේ " යයි හැඩ අකුරින් ලියා තිබුණි 

20 December 2015

ඇස් වලින් ඇසු සිංදුව

ඔහු පරිස්සමට ඇඟිලි තුඩින් ස්වර හඬවන්නේය පියනෝවේ . යතුරු මත ඇඟිලි සක්මනේ , කළු සුදු සුදු කළු සුදු .
මුමුනන්නේය , ගීයේ තාලය රහසින් මෙන් . 

ඈ ,  අසා සිටින්නී දෙනෙතින් ,  දෙ ඇස්  දල්වා .

මිමිණුම , කාටත්  හොරා වචන බවට පත් වේ 

"සුදෝ ..... මම ආදරේ ....." 

වචන නිමවී , සංගීතය ස්වර පණගැන්වෙන තෙක් පිරි නිහඬ තාවය , මහගෙදර ආලින්දයේ,  ඔහේ වල්  පල් කතා කරමින් කල් මරණ , තම ආගන්තුක සත්කාරය ඉක්මවා සිටින නෑයෙක් වැන්න .

ඔහු බලන්නේය, දෙඇස් ඔසවා ස්වර ප්‍රස්ථාරයෙන් .

ඇය , අසා හිඳින්නී නිහඬතාවයද, පද සේම. ස්වර සේම . 

ස්වර පෙරහැර නැවත ඇරඹේ , ඈ  විඳින්නී රිද්මය, තට්ටු කරමින් දණ හිසට දැඟිල්ලෙන් . 

"පොඩ්ඩක් ඕෆ් ටියුන් ගියා ..කමක් නෑ එයාට දැනුනේ නෑ " ඔහු දිග හැරුණු සිතුවිලි වසා ස්වර කළාලයක් එළන්නේය . 

අවසන් ස්වරයට පෙර ස්වරය ....
.....අවසන් ස්වරය ...
අන්තිමම අන්තිම ස්වරය .

ඈ අත්පොලසන් දෙන්නී , ළදැරියක්  මෙන් .
සිහින් ඇඟිලි කරකවා , මවන්නී වදනක් හස්ත මුද්‍රාවෙන් .

ඔහු කියවන්නේය එය 

"ලස්සනයි .." 

පලි : මේ කතාවට නිමිත්ත මා  ඇසු කතාවකි . එනම් මරදාන ඉස්ටේසමේ සින්දු කියූ යාචක යුගලක් ගැනය . සැමියා වයලීනය ගැසූ බවද . ඔහුගේ පාදයේ රිද්මයට මියුරු හඬින්  ගී ගැයූ බිරිඳ ශ්‍රවනාබාධිත බවද ඔහු කියූවේය . 

27 November 2015

නදී ගේ කතා


නදී ..

හ්ම් 

මම කවියක් ලියුවා .
(අටට නැවු කොටුරූල් කොලයක් ඈ වෙත දිගු  වෙන්නේය . කවිය හුළඟට ගහ ගෙන යා නියා , ඇය  එය දිග අරින්නේ හිමිහිටය . )

සුසුමක් 
පිටවී 
පවනැල්ල හා වෙලී 
නැගි රැළි අවකස 
මාරුතයක්ව 
විත් 
ඇඟේ හැපෙන 

බෙංගාල  බොක්කේ අවපීඩන  කලාපයක් හේතුවෙන් , සැන්දෑ කාලයේ අකුණු සහිත වැසි බලාපොරොත්තු වන්න 

වළා හඬවා 
කලතා 
මතක සයුරු තෙම 
පුපුරවා 
ධවල අකුණු 
සිත් කොනක 


මට හුස්ම ගන්න බෑ වගේ . ඔය වීදුරුව පොඩ්ඩක් අරින්න ප්ලීස් .

***


 අදත් අපි එතෙන්ටම ඇවිත් , දන්නෙම නැතිව

ඔව් එතෙන්ටම 

පරණ පුරුදු හුළඟ , පරණ පුරුදු ඇහැළ ගහ කහ පාට ඇහැළ මල් පලස එලාගෙන ඉන්නවා 

ශා අද හරි පොයෙටික් නේ 

(මද සිනහවක් )

ඒක නෙමෙයි නදී අද ටිකක් එහාට යමුද 

අනේ ඇයි?  මම කැමතියි මේ හුරු පුරුද්දට 

 මෙතනින් එහා මීට වඩා ලස්සන වෙන්න  පුළුවන් 

දන්නවද අපිට පෙනේන්නේ තරංග ආයාමය නැනෝ මීටර 700ක් වෙනකන් විතරයි ලු , මම බ්ලොග් එකක කියෙව්වේ 

කවුද ඕක කිව්ව  මැට්ටා   , පාර කෙලින් නම් කිලෝ මීටර් ගානක් පෙනෙනවා හලෝ .

මීට වඩා මට දරා ගන්න බැරි වේවි , අපි මෙතන නවතිමු 

මේක මායාවක් නම් ...මහා පොලවේ සත්‍යය තියෙන්නේ මේ මල් පලසින් එහා නම් 

ඒක  තමයි , අපි මෙතන නවතිමු 

පලි : මේ දවස් වල  කැෆ්කා ගේ ලියවිල්ල මා සිත ආයෙත් කලත්තනවා . ඒ අතරේ  පරණ "මතක පද " වැඩසටහනක් අහන්න ගත්තම පුරුදු කටහඬක් , නදී වාසලමුදලිආරච්චි . 
මේ නදී ඒ නදී නෙමෙයි . 
ඒත් විටෙක ඒ නදී අහනවා  ලේඛකයෙක්ට තියෙන එකම අමුද්‍රව්‍යය වෙන වචන වලින් නැත්නම් වෙන මොනවයින් සෙල්ලම් දාන්නද කියලා . ඒත්  කැෆ්කා?..... වචන අඩුවෙන් පාවිච්චි කරලා , සිත වැඩියෙන් කලත්තනවා . ඒ ඔක්කොම අස්සේ දයාබර මැට්ටා , මේ දවස් වල පිස්සි ගේ පලා මල්ලක් දිග ඇරගෙන දිගට දිගටම  හිතන්න බල කරනවා 
මේ කතා අස්සෙත් ඔබට වචන වලින් ඔබ්බට කතාවක් හමු වේදැයි බලන්න . 

27 September 2015

රොක් හඩ්සන්



හඩ්ඩා  අහස දෙස බලා ගෙන සිටින්නේය . කොමලසිරි විදානේගේ හඩ්සන් , ඒ උප්පැන්නේ නම . එය හඩ්ඩා යයි ලඝු වූයේ කවදාදැයි හරියටම නිච්චියක් ඌට වත් නැත . ඒ හැත්තෑ ගණන් වල මැද  භාගයේ යයි යාන්තමට මතකයක් ඇත . පන්ති පහට ගිය හ ඩ් ඩා, ඉන් පැන ආවේ ඉංග්‍රීසි සින්දු කියන්න නොදුන් නිසාය . 

"මචං මල්ලි මේ සයිඩ් බර්න්ස් තියෙනවා නේද ?  " 

ඒ ඔහුගේ සුපුරුදු ඇමතීමයි . මේ සයිඩ් බර්න්ස් කතාවද පරණ කතාවකි . ඒ ප්‍රශ්නය එතනින් එහාට විකාශනය නොවේ ,  හැමදා මෙන්ම හිස්ය . කන්පෙත්තේ සිට අඟලක් පමණ පහලට දික්වුනු , අංශක 45ක ඇලයට කැපුණු පැති  රැවුල ඔහු අභිමානයෙන් පිරිමදින්නේය .

***
ගෝල්පේස් පිට්ටනියට ඔබ්බෙන් ඉන්දියානු සාගරය අටවක සඳ තුරුළු කරගෙන , පැද්දී පැද්දී නලවනවා . පොඩි එකීට ගුඩුස් ගිහින් බිව් සඳ රැස්  උගුරක් සාගරය පුරාවටම ඉහිරිලා 

***

එකදහස් නවසිය අසු දෙකේ, ජූනි මස හැන්දෑවක , ගිටාරයක් තුරුළු කරන්, ඉගිපොප් ගේ , බෝවීගේ සිංදු , උන්ට වැරදුනු තැන් නිවැරදි කරනවා. සින්දු දෙකක් මද රොක්ලන්ඩ් රතු රම් වඩියක් සෝඩා වල දියකරනවා . හිමින් සැරේ තත් පිරිමදිමින්, මතු යම් දිනෙක ලියවෙන , කියවෙන ගීයක ඉන්ටලූඩ් එක ස්වර පේලියෙන් පේලිය අමුණනවා .

" අඩෝ රොක්ලන්ඩ් හඩ්සන් , අන්නාසි කාරයෝ බය කරන්න එපා ...." 
ඇත ඉඳන් කෑගහගෙන කවුදෝ එනවා , පිට්ටනියේ දිගට ඇඳුනු ලයිට් කණුවේ හෙවනැල්ල දිගේ .

***
අටවක රෑ අහසේ තරු ලස්සනට ඉහිරිලා . පිස්සු ජැක්සන් පොලොක්ට බාර දීලා වගේ අද රෑ අහසේ සිතුවම අඳින්න . උල්කාවක් අහස දිගේ ඉරක් ඇඳගෙන කොහේදෝ ඈතක , නමක් නැති වැවකට වැටෙනවා . පත ගෙම්බෙක් නෙලුම් කොලයක් අස්සේ සැඟවෙනවා .

***
ප්ලාස්ටික් කෝප්පයක රොක්ලන්ඩ් රම් , කොකා කොලා හා මුසු වෙනවා .

"අපි මාර බඩු  තමා මචං  මල්ලි දවල්ට පං තොප්පි දා ගෙන , බතික් ෂර්ට් ඇඳන් කැලිප්සෝ ටියුන් ගහ ගහා ක්ලැරන්ස් ව විකුණන් කනවා, මුණ හංගගෙන ....රෑට් රොක් වෙනවා . "

දුම් වළලු, පුළුන් වලාකුළු දිහා බලා ගෙන පාවෙලා උඩට උඩට යනවා . ... හිතත් එක්කගෙන 

***

ආයෙත් මගේ හිත වත්මනට දුවලා එනවා . . 

මේ ඉහේ ඉඳන් පිට දිගේ දාඩිය බිඳු බේරෙන කොළඹ ගිම්හාන රැයක ,හඩ්ඩා පරණ පුරුදු විදියටම ලෙදර් ජැකට් එකක් ඇඳන් ඉන්නවා ...

"මචං මල්ලි ඇයි උඹ සයිඩ් බර්න් දෙක කැපුවේ "  කැස්සක් එනවා . එය දිගට අල්ලනවා ...කැහැළා ඉවර වෙලා හඩ්ඩා පපුව පිරිමැද ගන්නවා . 

"අපරාදේ " ඔහු වාක්‍යය අවසන් කරනවා .

"...සයිඩ් බර්න් තියෙනකන් බොක්කේ රොක් ජීවත් වෙනවා බං  " ඔහු සිතිජයට එහා ලක්ෂයක් දෙස බලාගෙනම දොඩවනවා .
පැති රැවුල පැහිලා , කහපාට හැලජන් ලාම්පුවේ එලියට හොඳට පෙනෙනවා . නමුත් මම මොකුත් කියන්න යන්නේ නෑ .


පලි :
ඇතැම් වස්තු බීජ මම හරිම පරිස්සමට ලෝබ කමට තියන් ඉන්නවා ... හරියට මොකක් හරි නිර්මාණයක් කෙරෙනකන් . සමහර වෙලාවට එක නිර්මාණයක් කරලා මදි .. ඒ නිමිත්ත පට්ට ගහනවා ...ඒත්  හරි නෑ  කියලා හිතෙනවා .. මේ ඒ වගේ එකක් . මෙයින් ම ලියවුනු දෙවැන්න මින් පසු පළ කරන්නම් .... ඒත් තාම හිතට හරි මදි .

මෙවැනි චරිත අපේ සමාජයේ කාලයක හිටිය බව මතක තියෙන්නට ඔබ ඇතැමෙකුට වයස ඇති . තවමත් කොළඹ ජරා ජීර්ණ වූ තැබෑරුම් තුළ මොවුන් හැංගිලා ඉන්නවා .

19 September 2015

කෙස්

මට එකපාරටම මතක් උනේ රාස්සිගේ ඇල්ල .

ඈ ඇවිත් හිටිය කොන්ඩේ  කඩා දාලා .

" නාලා ආවේ , කොන්ඩේ  තාම තෙතයි " මගේ සිතුවිලි කියවලා ඈ  බැන්දා  උත්තර .
"මම ආසයි ..දිග කොන්ඩේට " මම දිග හුස්මක් ඉහලට ඇදලා , හීනියට දැනුනු අරලිය මල් සුවඳ නාස් පුඩු දිගේ අරන් හිතේ කොනක හිර කර ගත්තා .

"එහෙනම් කපලා දෙන්නද ලඟින් තියා ගන්න ?"

"අර දෙවනියට කිව්ව එකනම් එච්චර නරක අදහසක් නෙවෙයි "

"ආ ඇත්තද ?"

***

දවල් හිතේ නැගුනු තරහ බොහොම පරිස්සෙමට හිතේ තද කරන ගෙදර ආපු මම , රණ්ඩුවට මුල පුරන්න , කෑම  පෙට්ටිය සද්දෙට මේසේ උඩින් තැබුවෙමි . පුරුද්දට ඈ එය අතට ගත්තේ " ආ මොකෝ මේ අද කෑම  කන්නේ නැතිව ආපහු ගෙනල්ලා " කියා අසමිනි .

"කොහොමද මනුස්සයෙක් කන්නේ , බත් එක පුරාම කෙස් "
බත් පතේ වූ එක්  කෙස් ගස මගේ කතාවේදී පැටව් ගැහැව්වා . 

"අනේ අද උදේ නාලා මන  බත් බෙදුවේ . අපරාදේ ඒක අයින් කරලා කන්න තිබ්බේ .. මාළු කෑලිත් දෙකක්ම බෙදුවා "

"රෙද්ද මාළු ...මම හැම තිස්සෙම කියනවානේ ඕක මෝහිනී වගේ කඩා දාලා ඉන්නේ නැතිව බැඳ ගන්න කියලා පිළිවෙලකට .."

පැතිරුණු නිහඬතාවය මාසිත අවුල් කළේය . ඒ , රණ්ඩුව මා පැතු  අයුරින් දිග නොහැරුණු නිසාවටත් වඩා , ඈ  මෙසේ නිහඬ වූ පසු , ඉන්පසු දින කිහිපයක ඉරණම මා අත්දැකීමෙන් දන්නා බැවිනි .

"හෙට කැන්ටිමෙන් කන්න වෙයි උඹට"  මාසිත උළුක්කුවට මෙන් සිහි ගැන්වීය 

***

"ඉතින් කෝ දෙන්න ඔය කන්නාඩිය "

"ඕනේ නෑ ඕක බලන්න දැන්ම , හිත ගැස්සෙන එක හොඳ නෑ "

"දෙන්න !"

ඒ සියුම් විධානයට යටත් වෙනවා හැරෙන්නට මට කළහැකි වෙන යමක් නොවිණි . මම වෙව්ලන අතින් කැඩපත ආ වෙත දිගු කලෙමි . 

දිගු බැල්මක් . ඊටත් වඩා දිගු සුසුමක් .

"මම දැන් මෙහෙණින් වහන්සේ කෙනෙක් වගේ "

"කේශී , ඩොක්ට කිව්වා වගේ , මෙහෙම කරපුවම  බේත් සැරට  කොන්ඩේ  යනවා පේන්නේ  නෑනේ ."

"හ්ම්ම්ම් ..දේවා ,.. ඔයා ඉස්සෙල්ලාම  කැමති උනේ මගේ දිග කොණ්ඩෙට නේද ?..."

මම දෙඅතින්ම ඈ  මුඩු හිස අල්ලා ගතිමි . සිපගතිමි . එහි උණුසුම මා තොල් වලට දැනුනි .

"කොල්ලා කාලේ හිතුන දේවල් නේ කේශී ..ඔය නර කෙස් වල නැත්නම් මොන ලස්සනක්ද ?"

ඈ හෙලු මද සිනහවේ ගැබ්වුණු මහා අනුකම්පාවක බර මට හොඳින් දැනෙන්නට විය .


පලි : මේ කතාවට නිමිත්ත මා කියවූ කවියක් . කවියාගේ නම දැන් නම් හරියට මතක නැතත් , මතක් විදියට ඩෝසන් ප්‍රීති ද කොහෙද. 


මෙය කෙටි කතාවකටත් වඩා , දිගම දිග කතාවක , කෙටිම කෙටි කොටසක් .

01 May 2015

මැයි දිනයක කතා

කතාව 1

රණේ වේදිකාවේ ඉදිරිපෙළ අසුනකින් වාඩිවි, සුදු සරමේ රැලි සකසා ගත්තේය. සුදු ලේන්සුව ගෙන මුහුණේ නැගුනු දා බිඳු පිස ගත්තේය . ඔහු බොහෝ අමාරුවෙන් ගෙල හරවා පසුතලය දෙස බැලීය . 

"දුන්න ගානට හොඳට කරලා තියෙනවා" ඔහු තමාටම කියා ගත්තේය .

 " වැඩ කරන ජනතාවගේ මැයි  දිනය " පොල් අකුරෙන් පසුතලය පුරා ලියවී ඇත . 

ඇත්තටම මොනවද මම ජිවිතේ වැඩක් කියලා කරලා තියෙන්නේ ... මහජන දිනය , පාර්ලිමේන්තු යන එක , ආසනේ කැම්පේනින් ... මේවත් ඉතින් වැඩනේ ....
සිතුවිලි සයුරක නිගම්න වී සිටි ඔහු පියවි ලොවට ආවේ , උරට කවුදෝ දැමු තට්ටුවකිනි ...

"වැඩකරන ජනතාවගේ නායකයා ...පිළිගන්න රණතිලක මැතිතුමා ".... ඒ වනවිටත් නිවේදකයා හැඳින්වීම හමාර කර තිබුණි .



කතාව 2

පුතේ නැගිටහන් , දැන් එකොළහත් පහු වෙලා  


හරි මහන්සියි අම්මේ , ඊයේ මේ බෑග් එක උස්සගෙන රෑ  වෙනකන්  ඇවිද්දා ටාගට් කවර් කරන්න 

අද මැයි දිනේ , වැඩ කරන මිනිස්සුන්ගේ දවසනේ . ඉස්සර උඹේ අප්පච්චි මැයි දිනේට රතු කමිසයක් ඇඳ ගෙන උදේම ගියාම එන්නේ රෑ  වෙලා 

ඒ වුනාට සේල්ස් රේප් ලා වැඩ කරන මිනිස්සු කැටගරියට වැටෙන්නේ නෑ අම්මේ 


 කතාව 3

වේලාව සවස 5ට විතරය . ආපණ ශාලාවක අඳුරු කෙලවරක මේසයක් වටේ හිඳී  තිදෙනෙකි . මේසය මත කාලක් ඉතුරුවූ අරක්කු බෝතලයකි. එක අයෙක් මුහුණ පුරා වැවුණු සුදු රැවුලින් යුතුය , අනෙකා නැෂනල් එකකින් සැරසි සිටින්නේය , තෙවැන්නා ඔවුන් දෙදෙනාට වඩා තරුණය. කට වට කර පරෙස්සමට වැවූ   ලෙනින් කට් එකක්ය . 

නැෂනල් කාරයා නිහඬතාවය බින්දේය  "මම මෙතන ඉන්නවා කවුරු හරි දැක්කොත් තමා වැඩේ "
"එතකොට අපි ?" සුදු රැවුලා  ඇසුවේය 

"සහෝදරයා ඉතින් වාමන්ශිකයෝනේ "

ලෙනින් කට් කාරයා බැදපු මිරිස් කරලක් හැපුවේය " මම අරූටත් එන්න කිව්වා ..කොහේද  පස්වෙනි සිල් පදේ බිඳෙනවා කිව්වේ "

තිදෙනාම මහා හඬින් සිනා සුනහ 

ඒක නෙමෙයි සහෝදරයා මෙහෙම යනකොට අපිට ආසාවට වත් කෑ  ගහලා කතාවක් පවත්වන්න චාන්ස් එකක් නැතිවෙයිද 

සහෝදරයා එහෙනම් අපි දොළ දුක සංසිඳෙන්නත් එක්ක සින්දුවක් කියමුද 

"සා දුකින් පෙලෙන උන් , දැන් ඉතින් නැගිටියව් .."

හා හා කැරකිලා දෙකට නැමිලා 



11 April 2015

ලෝකය වෙනස් විදියට දැකීම ( කතාවක් මැද ) // A different perceptive (a very short story)





These two Islands sit in the shallow waters like two old lovers . Peacefully. They are connected by a thin strip of sandbank, which get's submerged during high tide . I could close my eyes dream of a man living in one island, in a small house. An old man , with a scruffy beard, in a dirty pair of shorts . He get's up early and rushes to the shore to walk down the sand bank to the other island . To sit in his favorite place . To gaze at the sea and watch the seagulls. Then before the high tide he rushes back . Everyday.

But can't you see the gulls from your island

I can

Then can't you see the sea from there

I can the sea too

Then why do you go to the other side 

everybody needs a different perceptive I guess

                                                         * * *

මේ දුපත් ද්විත්වය , හිඳී නොගැඹුරු දියේ , වියපත් වූ ප්‍රේමවන්තයන් දෙදෙනෙක් මෙන්. දුපත් දෙක සම්බන්ධිත වැලි ඉවුර වඩදියට නොපෙනී යයි . බා දියට මතුවේ , මදකට පමණක් දෑත් අල්වා ගන්නා සේ වියපත් ප්‍රේමවන්තයන් . මම දෑස   පියා ගනිමි . මට මැවී  පෙනේ එක දුපතක කුඩා නිවසක දිවි ගෙවන වයසක මනුස්සයෙක් . මුහුණ පුරා තැනින් තැන වැවුණු රැවුල , දුර්වර්ණ වූ කොට කලිසම. 

අරුණැල්ලේ ම ඔහු පැමිණේ වෙරළට , වැලි ඉවුර දිගේ අනෙක් දිවයිනට යාමට .  ඔහුගේ ප්‍රියතම තැන හිඳ  මුළු දවසම සයුර දෙස බලා සිටීමට . ලිහිණියන් සුළගේ පාවෙන අයුරු , දියේ කිමිදෙන අයුරු බලන්නට .

වඩ දිය එන්නට කලින් ඔහු පැමිණේ නැවතත් . හැමදාම .


ඒත්  ඇයි  ? ඔබේ දූපතට පෙනෙන්නේ නැද්ද මුහුද 

පෙනෙනවා 

එහෙනම් ලිහිණියෝ ?

උනුත් පෙනෙනවා 

එහෙනම් ඇයි හැමදාම යන්නේ අනෙක් පැත්තට ?

මම, වෙනස් විදියට ලෝකය දකින්න  කැමති  මිනිහෙක් 

15 February 2015

අපේ තාත්තා දැන් බොන්නේ නෑ

අපේ තාත්තා ඉස්සර වගේ දැන් බීලා ගෙදර කරදර කරන්නේ නෑනේ මිස් 

ආ ඒක හොඳයි පුතා . ඔය සුරාව කොහොමත් මිනිස්සුන්ගේ ජීවිත  වලට මහා හෙණයක් තමා . 

නෑ  මිස් සුරාව නෙමෙයි ...ඒ වගේ රට බීම බොන්න අපේ තාත්තට කොහොමත් සල්ලි නෑ  . කලුගුණේ  මාමාගේ  පොට්  එකෙන් කසිප්පු තමා බොන්නේ . අනික තාත්තා බොන එක නවත්තලා නෑ .

එහෙනම් ..පුතා කිව්වේ ?

නෑ  මිස් . අපේ තාත්තා වැඩ කරන්නේ නගර සභාවෙනේ . ඉතින් කුණු ටැට්ටරේ එල්ලිලා දවස පුරාම , හැමෝගෙන්ම බැනුම් අහගෙන දවස පුරාම .. ලොකු ගෙවල් වල කුණු ගොඩයිනෙ මිස් .... කුණු ගෙනියන්න පොඩ්ඩක් පරක්කු උනොත් බැනුම් කෝටියයි .... නෝනාට ජිම් යන්න පරක්කු වෙනවා කියලා ඩ්‍රයිවර් මහත්තයා බනිනවා .... බේබිලා මොන්ටිසෝරියෙන් ගන්න යන්න පරක්කු වෙනවා කියලා කුස්සි අම්මා බනිනවා ....

හ්ම් 

ඉතින් අපේ තාත්තා .. මොනවා උනත් පිරිමියෙක්නේ ... මුළු දවසම ඔලුව නමා ගෙන ඉඳලා ගෙදර ආපුවම තමයි මිස් , ලොක්කා වගේ හැසිරෙන්නේ . මුලින්ම දොරට පයින් ගහනවා . ඊට පස්සේ කුස්සියට ගිහින් ප්ලාස්ටික් පිගන් ටික පොලවේ ගහනවා .. ඊට පස්සේ අම්මට දෙකක් ගහනවා .. 

ඒක  පිරිමිකම නෙමෙයිනේ  පුතා 



ඔව් මිස්.. ඒ වුනාට , අම්මත් තාත්ත අත උස්සන කොටම හයියෙන් කෑ  ගහන්න දැන් පුරුදු වෙලා ... ඉතින් ගොඩක් වෙලාවට ගහන්නෙත් නෑ ...මුළු ජීවිතේම කුණු අදින අපේ තාත්තටත් , කාට හරි පාට්  එකක් දාන්න අහිංසක ආසාවක් ඇතිනේ ..පොඩි ත්‍රිල් එකක් ගන්න .

හ්ම්ම් ඉතින් පුතා දැන් මොකක්ද වෙනසක් වෙලා කිව්වේ 



ඔව් මිස් පහුගිය කාලේ , බීලා ඇවිත් මහා හයියෙන් දුසන වංචා ගැන කෑ  ගැහුවා  ..යහපාලනයක් ගෙනත් ඔක්කොටම පාඩමක් උගන්නවා කියලා බෙරිහන් දුන්නා  . චන්දෙන් පස්සේ ...ඇවිත් කියවන්න ගත්තා , එයාලාගේ වැඩ ගැන ...ඕනෑම බලයක් කම්කරුවන්ගේ බලේට යටයි කියලා ..  ඔන්න වැඩියට  ආවොත් ඕන රජෙක් පෙරලලා දානවා කියලා ... 
දවසක් මගේ ඔලුව අතගාලා කිව්වා "පුතේ උඹේ තාත්තා දැන් මහජනයෙක් , කුණු කාරයෙක් නෙමෙයි කියලා" . මට දුක හිතුනා මිස් .....

ඊට පස්සේ මේ ලඟකදී දවසක මහින්ද මහත්තයට කෝල් එකක් දීලා ..මහින්ද මහත්තයා කතා කරලා අපේ තාත්තට ...එදා හවස ඇවිත් ඔහේ බලාගෙන කල්පනා කර කර හිටියා ..මුණේ  හරි ආඩම්බර හිනාවක් ඇඳිලා තිබුනා .....දැන් , සතියට සැරයක් විතර , සිගරට් බොන එක අඩු කරලා හෑන් ෆෝන් එකට රීලෝඩ් එකක් දා ගෙන මහින්ද මහත්තයට කෝල් එකක් දෙනවා උදේට ..ඊට පස්සේ හවසට ඇවිත් මහින්ද මහත්තයාගේ ගාම්භීර කටහඬ ගැන , එයා අපිත් එක්ක හැමදාම ඉන්නවා කිවුව එක ගැන , ලඟදීම බලන්න එනවා කිවූ එක ගැන  මනස්ගාත කියවනවා .....  මගේ ඔලුව අතගාලා අද උදේත්  කිව්වා " පුතේ , උඹේ තාත්තා මෙහෙම හිටියට " කියලා 


පලි : වත් පොතේ චාමි දැමු සටහනක් මා සිත තදින් කම්පනය කළේය . චාමි දැන් බ්ලොග් සටහන් ලියන්නේ නැත . අපරාදේ . ඒත් ඒ ඔස්සේ තව දුරටත් හිතන්න , ලියන්න මගේ හිත බල කළා . දේශපාලන චරිත ගැන නොව , දේශපාලන සමාජ ප්‍රතිරූප  ගැන , ඒ ප්‍රතිරූප අහිංසක මිනිසුන්ගේ සිත්වල,  ඒවායේ සාරය උරාබොමින් , පිළිලයන් සේ වැඩෙන අයුරු ගැන හිතන්න යයි මම ඔබට ආරාධනා කරමි 

09 November 2014

නිශාවේ අග මුරය // The graveyard shift


"උඹ දන්නවද අපේ අප්පච්චි ..මට නම තියලා තියෙන්නේ ..."

ඔහු වාක්‍යය අවසන් නොකර ම  කහට කෝප්පයට සීනි  හැන්දක් දිය කළේය . 

අමල් වේලාව  බැලීය  . අව පහ ගැහුණු ඔරලෝසුවේ වීදුරුව , 02:30 ඇඳි  ඉරි ඉල්ලක්කම්  , නිවී නිවී දැල්වෙන මැද  තිත් දෙක . පාන්දර දෙක හමාරයි ..ලොග් පොත දිග හැර  , බෝල් පොයින්ට් පෑන  දෙසැරයක් ගැසුවේ අවශ්‍යතාවයට වඩා පුරුද්දටය . 

"මට නම තියලා තියෙන්නේ නිශාවේ අන්තය කියන තේරුමෙන් . .. උඹ දන්නවද නිශාව කියන්නේ රෑ  "
හැඳි පහරෙ නැගුනු සුළියේ , සීනි කැට රවුමට රවුමට කැරකේ ...සෙමින් දියවේ  

"හ්ම්ම් "  අමල් ගේ පුර්ණ අවධානය ලොග් සටහනටය .

"රෑ අග , කළුවර ඉරාගෙන පැතිරෙන එළිය  කියන තේරුමෙන් තමා , මට නම තියලා තියෙන්නේ ..... 
චටාස්...තව කොයිල් එකක් පත්තු කරන්න වෙයි බං  , හරියට මදුරුවෝ , "
හේ  තොප්පියෙන් මදුරුවන් එලවන්නට විය .

"උඹ දන්නවද අපේ අප්පච්චි සිංහල ගුරුවරයෙක් ,"

"උඹ කිව්වේ එදත් ... නිසාන්ත අයියේ මම පොඩ්ඩක් ඇහැ පියා ගන්නම්,  උඹ පාන්දර වෙනකං  මේ සිෆ්ට් එක කරපන් ඈ " 

උඹ දන්නවද , අපේ අප්පච්චි මළා බං,  මම මේ රස්සාවට ආපු දවසේ , පපුවේ අමාරුව හැදිලා ...

31 July 2014

"මුදු හුලං (කතාවක් මැද ) // Sea Breeze (the story of)



මෙතැන ස්ථිරවම කතාවක් ඇත . "මුදූ  හුලන් " , ඒ නිවසේ නම . පඩි පෙළ උඩ   හදිසියෙන් මෙන් ගලවා  තැබූ පාවහන් යුගලක් . අඩවන් කළ  දොර පලුව . වැඩිය ඈතට නොවිහිදිනු , ඉර පැල්ලම , ඕපා දුප සොයන සිතකට නොදෙන්නේය කිසිත් තොරතුරක් .සුළඟ එනු පිණිස (ෆිල්ම් එකක් නේද ) යාන්තම් ඇරුණු ජනේලය . ... කවුරුත් කතා නොකරන එළියේ බිත්තියට කළ  බයිසිකලේ . 
සෙමින් ඇසේ "වේලාව  මධ්‍යන දොළහයි , මෙන්න දිවා පුවත් ."


There's definitely a story here. a house named "Sea breeze" . Footwear of a stranger on the footsteps left in a haste. The half opened door to the hall, even the sunbeam shies away from venturing deep . And the elephant in the room,  that no body speaks about , the bicycle with a basket , parked outside.

30 June 2014

In transit ( a story in transit)

Another flight, and here I am engaged in my favourite pastime for these times. People watching. Today's project capture some random people and write their story. So here goes...


තවත් ගුවන් ගමනක් . මම ආයෙත් මගේ පරන නරක පුරුද්දේ යෙදිලා. ඔන්න මම හිතා ගත්තා මේ සැරේ , ගන්න පින්තූර, ලියන්න පොඩි කතාවක් ඒවා වටේ. ඔන්න මගේ සැකිල්ල. වැඩිය සිරියස් ගන්න එපා. නිකන් පාලුවට වගේ ලියපු එකක් නේ. බාසාව  ප්‍රශ්නයක් කර ගන්න එපා.




Captain James T sits patiently. It is a long journey that awaits him. But he won't feel the time. He will be put to astro sleep. For years he will sleep. 

"You wont feel a thing " the olive skinned flight attendant with the nasal voice said , he remembered.
"But wont my mind be alive? won't I feel?"
"Guess so." Her answer was more profound than she intended it to be.

But when he arrives at his distant destination, a large moon slightly smaller than the planet it has bound itself by gravity, he would have his work cut out
                 ***



 Will anybody recognize me? 
He wonders. 
As far as the world or the government records are concerned "Black death" is officially dead. yet another rebel and an activist succumbed to his cause , before any real impact could be made. But this was the only way.
" A ride to another galaxy. Escape in to the dark eh?"
she asked as she lay her head heavy on his chest.
"Something like that ."

He could see the man seated in the front row. May be military. He makes a mental note. Definitely travelling in first class. Astro sleep and all. Unlike the cattle class, where , apart from your food queues and toilet queues , you just grow old.

                ***


 She sits composed .As always. She is trained for this. She takes another glance at the photo in her phone. Before he gets on the shuttle. A single kill shot . She goes through the instructions. Again.
              ***



Mr Bank's lights up a cigar. Cuban. Nice. The essence of scotland and essence of Hawana meets in his head. This is going to end fine afterall. From him seat in the VIP lounge He can see "agent O " seated. One of these moments, she would get up and do what she does best. So swiftly even before her victim realises that he is dead, he will be.
By the time Mr Bank's can finish his drink it will be all over. What a pity. Another drink would be nice.

21 June 2014

කැළෑ ගිනි තැබීම , ඇස් වසා ටොකු ඇනීම , අල්ලේ මැද ඇඳපු ලංකා සිතියම හා වෙනත් කතා // The week in review

නොකළ නොහොඳ හා කළ  හොඳ 

මා මේ සටහන පටන් ගත්තේ ඉහත චායාරූපය ගැන ලියන්න  හිතා ගෙන . කළ  හොඳ හා නොකළ නොහොඳ ගැන ලියන්න . ඒ දෙකේ ඇති වෙනස ගැන ලියන්න මා කටු සටහන ගහල තිබ්බේ . ඒත් පහුගිය සතියේ ඇති උන සිද්ධිනුත් එක්ක වෙන වෙන කතා මේ සටහනට එකතු උනා .  

කතා අංක 1
හේන් ගිනි තියන්නේ , කැලෑවෙන්  කොටසක් එලි කර ගන්න . මොනවා උනත් ගස් කීපයක් විනාස වෙනවා . ලොකු ගස් නම් ආයේ වැවේවි , එත් දළු දාපු රිකිලි විනාස වෙන්නේ සදහටම . කොච්චර පරිස්සමට කළත්  , හුළඟට ඇල්ලුවොත් ලැව්  ගින්නක් වෙලයි නවතින්නේ .


කතා අංක 2
පුංචි කාලේ දඟ කමට කරපු සෙල්ලමක් තමයි, පස්සෙන් ගිහිල්ලා  කාගේ හරි ඇස්  වහන  එක . අයෙක් ඇස්  දෙක වහල තදින් අල්ලාගෙන ඉන්නකොට වටේ ඉන්න අනෙක් අය ටොකු අනිනවා . වයසින් මුහුකුරා යත්ම ටොකු ඇනීම  වෙනුවට , වෙනත් ස්ථාන තෙරපීමත්  විටෙක වුනා (පිරිමි ඉස්කෝල  වල විතරක්ද මන්දා ) . ඊට පස්සේ ප්‍රහාරයට ලක්වූ අයව වටයක දෙකක් කරකවලා අනෙක් අය  දුවලා ගියා . අර අහිංසකයා ඇස ඇරලා , අඳුරෙන් එළියට  ඇස්  හුරු කරගෙන බලපුවහම , ටොකු ඇනපු  කෙනෙක් නෑ .



කතා අංක 3
උගුරට හොරා බෙහෙත් බොන්න පුලුවන්ද ලංකාවේ 

ඒක තමයි මාත් මේ කල්පනා කලේ 


කතා අංක 4
මචං , මේ රටේ මිනිස්සු වයසක මනුස්සයෙක් , ගැබිනියක් දැක්කත් කෝච්චියේ සීට්  එකවත් දෙන්නේ නෑනේ 

ඔව් එක නම් ඇත්ත 

ඔන්න මම නම් දැන් සීට් තිබ්බත් ඉඳ ගන්නේ නෑ 

ඒ ඇයි ?

එතකොට , නැගිටින්න ඕනේ නෑ  නේ .

ඔබ ඉඳ ගෙන හිටියොත් නැගිටලා සීට්  එක දෙනවා . 

ඔව් 

ඒත්  නැගිටින්න වෙන නිසා හිට ගෙන යනවා 

ඔව් 

ඒ දෙකම එකක් නෙමෙයිනේ 

ඒ වුනාට , ඉඳ ගෙන ඉඳලා නැගිටිනවට වඩා හිටගෙන යන එක ලේසියිනේ 


කතා අංක 5
අපි ජාතිවාදය පිටු දකින්න ඕනේ .
එතකොට දැන් තියෙන්නේ ජාති වාදයක්ද ආගම් වාදයක්ද 

ඒ කිව්වේ 

ඒ කිව්වේ සිංහලබෞද්ධ කියන්නේ ජාතියක් , මුස්ලිම් කියන්නේ ජාතියක්?

ඔව් 

ඔව් ? එහෙනම් හරි,  ඉතින් අපි මොකද කරන්නේ 

දැක්කේ නැත්ද මගේ ෆේස් බුක් එක , අර අල්ලේ ලංකාව ගහලා ජාතිවාදය එපා කියලා දැම්ම පින්තුරේ 

හි හි හි 

 (තව දිගට සම්බන්දයි )

පලි : 
ප්‍රස්තාව පිරුළු කීපයක් සිහියට එන්නෝය  
 "ඌරන් කැකුණ තලනවිට හබන් කුකුලන්ට මගුල් "
" වැටත්  නියරත් ගොයම් කා නම් ..."
" දී කිරට බළලුත් සාක්කි ..."

"ලුලා නැති වළට ...."
"අනුන්ගේ මගුල් ගෙදර තමන්ගේ කරුණාව පෙන්වීම "


07 June 2014

තන්ඩලේ දෙන්නා දෙපොලේ දක්කනවා

පියෙකු දෙ  උර නැග   ගත්  සිඟිත්තෙකි . පුර පසට හැරුණු අඩ  සඳ , අහසේ කොනක , දුහුල් සේලයකට මුවාවූ නව යෞවනියක සේ , ලජ්ජාවෙන් වලා කුලකට මුවාවී සිටින්නීය . නුවර අත්තා ගෙනවිත් දුන් ඔලිඳ ඇට මල්ල , මැද  සාලයේ ඉහිරුන විටෙක් මෙන් , අහස පුරා ඉහිරුන තරුය . දෙසවන් පිරෙන්නට රැහැයියෝ ගයති . 

බොරළු මතු වූ මාවත දිගේ ඔවුහු ඇවිද යන්නාහ . පියාගේ ඇවිදීමේ වේගයටම , ඔහුගේ බිරිඳද පසුපසින් වැටිලාය  . ඈ , තම වෙහෙස , නැගෙන හතිය සඟවා ගන්නීය . ඈ නෙත් යොමුවී ඇත්තේ , පුතු දෙසය .

"ලජ්ජුලුවෝ උද යි , උදයි ...." සුරතල් බසින් කොලුවා කෑ ගසන්නේය 

" පුතා කියන්නකෝ අර කවිය " අප්පච්චි පෙරැත්ත කරන්නේ , කෙතරම් ඇහුවත් , ඇති නොවෙන ඒ කවිය නැවත ගායනා කර ගැනීමටය .

කොලුවා කවිය පටන් ගන්නේය .
"තන්ඩලේ දෙන්න දෙපොලේ දක්කනවා ආ ආ ..කතු කැලේ  ඒ ඒ ඒ ඒ ...". රැහැයි  ගීය  මදකට නතරවූ සෙයකි 

අප්පච්චිගේ මුහුණේ මද සිනාවක් ඇඳෙයි . ඔහු මව දෙස බලන්නේය . ඈ සිනහවෙමින් කොලුවා ගේ පිට පිරිමදින්නිය 
" හා හා පුතු වැනෙන්න එපා , අප්පච්චිට අමාරුයි ...දැන් ඔයා වැටෙයි ..". මව් සෙනෙහස පිය සෙනෙහසට වඩා වෙනස්ය . එය වැඩියෙන් පරිස්සම්දායකය .

"හරි හරි පුතු කියන්න ..."

" කතු කැලේ , ගාලේ නොලිහා වද  දෙනවා ". 
කොලුවාට ඊළඟ පදය අමතක වූ සෙයකි .
"හපුතලේ ...." පියා ඔහුට එය මතක් කර දෙයි 

"අපුතලේ , කන්ද දැකලා බද දානවා ආ ආ ආ  . පවු කල ගොනෝ ඕ  ඕ  ඇදපන් න් න්  . අපුතල් ල්  ල්  යනවා ආ ආ ආ .."

"අප්පත්ති ..."

"ඔව් පුතු ?"

"පව් ගොනා ...."

"හ්ම්ම් "

මවකගේ ලයින් පිටවූ සුසුමක් රෑ කළුවරේම  පරිසරයට එක් වුයේ හොරෙන් ය . ඒත් සඳවතියට එය දැනුනි .



පලි 

කාලය එක්දාස් නවසිය හැත්තෑව දසකයේ අගය . මේ යුවල රජයේ ආයතනයක සාමන්‍ය  රැකියා කරන , කුලී නිවෙසක තම ජීවිතය පටන් ගත් දෙපළකි . දහසක් බලාපොරොත්තු සිත්හි ගුලිවුණු ඔවුන්ගේ ජිවිතයේ , කිරුළ  තම කුළුදුල්  පුත්‍රයාය . ඔහුට අවුරුදු තුනකි . සතියේ බොහෝ දිනවල මෙන් , රාත්‍රී ආහාරයට තම සහෝදරයාගේ නිවෙසට ගොස් , අල්ලප සල්ලාපයෙන් පසුව , කොළඹ තන්තිරි මාවත දිගේ නැවත තම නිවෙසට පැමිණෙන ගමනකි මේ . 
මොවුන්ගේ ජීවිතය පඩි දිනයෙන්  පඩි දිනයට  , හපුතල් කන්ද නගින දෙබානගේ ජිවිතයට එතරම් වෙනස් නැත . එහෙත් වෙහෙස නොබලා ඔවුන් දිවි ගැල  අදිති .

පොඩ්ඩෙන් කියන්න අමතක වෙනවා , ඒ කොලුවා මමය . මේ කරත්ත කවිය මා කුඩා දිනවල නිතරම කියූ දැනටත් හිතේ ගැඹුරකටම  දැනෙන එකකි