10 June 2012

හැම රෙද්දටම , රෙද්ද කඩන ..............

"ඉර බහින වෙලාවට ඔය ගෑනිව මුලිච්චි උනොත්, බලන්න එපා , උඹලගේ ඇස් අන්ධ වෙයි " ඒ අපේ අත්තම්මා ඇසිලින් ගැන කියූ හැටිය .


ඇසිලින් ඒ වන විට අවුරුදු හතළිහක් හතලිස් පහක් වෙන්නට ඇති, කළු මිටි ගැහැනියකි . අපේ ගෙවල් වලට ටිකක් එහාහින් තිබු "කොරියාවේ " ජීවත්වූ ඇය, මම දන්නා තරමින්, දවසේ වේල පිරිමසා ගත්තේ  නිවෙස් වල කුස්සියේ වැඩ , දාන ගෙවල් වල ඉවීමේ සිට මේසන් බාස්ලාට අත් උදව් ඇල්ලීම දක්වා මෙකි නොකී සුළු සුළු රැකියා කිරීමෙනි.  


දවල් ආහාරයෙන් පසු බීඩි කොටයක් දල්වා ගන්නා ඇය , සවස අතට ලැබෙන සොච්චමින් රේස් බයි රේස් කඩයට රිංගා  පිට රට දුවන අස්සයෙකුට තුන්ඩුවක් දමා  , පෙට්ටි කඩයෙන් පාන් බාගයක්, පරිප්පු 250g  ගෙන , කමලක්කගේ ගෙදරින් ගිනිවතුර වීදුරු දෙකක්ද උගුරට හලා ගෙන ගෙදර ගිය අහිංසක ගැහැනියකි.  


නමුත් ඇයට එක් නරක පුරුද්දක් තිබුණි. ඒ කෝපවූ විට , සතුටු වූ විට , ඔට්ටුවට ,  තැනක් නොතැනක් නොසලකා , ඇය ඉන ඇඳි  සේල ඔසවා  පෙන්වීමය. මෙය දන්නා කොල්ලෝ කුරුට්ටෝ ඇයට හූ කිව්වේ ,  මේ මනස්කාන්ත දර්ශනය නැරඹීමටය .  අපේ අත්තම්මා මැය මුණ නොගැසෙන්න යයි කීවේ මෙවැනි වෙලාවටය . 
එවැනි විටක හමුඋනොත් , සති දෙකට පෙර හෝ කවුරුන් හරි කී හූවක් මතක් වී , ඇය දත් සම්භාව්‍ය වදනින් හමුවූ අයගේ මව් පාර්ශවයේ  ගුණ වනා,  ඈ තිරය ඔසවා  සත්‍යයේ  නිරුවත පෙන්වන්නිය. 

 වරක් ඇය පළාත් සභා චන්දයේදී , ඇල්මන් පීරිස් දිනන බවට ලීලානන්ද මුදලාලි සමග ඔට්ටුවක් ඇල්ලිය . ඇය ඔට්ටු අල්ලන්නේ  මොනවාදැයි මුදලාලි ඇසු විට ඈ " අපිට කොහෙද  මුදලාලි සල්ලි, පුරුදු විදියට රෙද්ද උස්සන්නම් " කිවේ , අවටින් මහා හිනා හඬක්ද ලාවට හූ හඬක්ද නංවමිනි. මුදලාලි හාමිනේ ගස්සාගෙන ඇතුලට ගියාය . ඔට්ටුව අහෝසි විය.

කසිප්පු බුලි අයිති කරුවෙක් , පොකට් කාරයෙක් , හෝ වෙනත් පින් වතෙක් සොයා කොරියාවට ඉඳ හිට පොලිසියෙන් පැන්න විටද , බොහෝ විට පිහිටට ආවේ ඇසිලින්ය. රෙද්ද කැඩූ ගැහැනියක් ඉදිරියේ ශ්‍රී ලංකා පොලිසියද අසරණය .

තවත් වරක අප පන්සලේ මල්වට්ටි වෙන්දේසියක් සංවිධානය වුයේ දහම් පාසලට ආ අලුත් විදුහල් පතිවරයාගේ උනන්දුවෙනි , සාමාන්‍යයෙන් මල් වට්ටියකට රුපියල් 70, 80  වෙනකොට ඈවරයි, දෑවරයි තුන් ඈවරයි කියවුනද , ඇසිලින් ගේ මල් වට්ටිය රුපියල් දෙසීයකට අලෙවි විය . පසුව හෙළි වුයේ දෙසිය පැන්නුවොත් මල් වට්ටියට අමතරව   සුපුරුදු නාට්‍ය දර්ශනයද  ඇය පොරොන්දු වූ බවකි . 

1996 ලෝක කුසලානය අවසාන තරඟයට පෙර රට වටා බෝධි පුජා පැවැත්වෙද්දී, ඇතැමුන් දෙවියන්ට බාර හාර වෙද්දී , ඇසිලින් සුපුරුදු ඔට්ටුව ඇල්ලුයේ . "අපේ කොල්ලන්ට කඩන්නේ නැති රෙද්ද , වෙන කාට කඩන්නද " කියා අසමිනි.
පන්සලේ හාමුදුරුවන්ගේ ද , දහම් පාසලේ විදුහල්පතිතුමාගේද මැදිහත් වීමෙන් හා කරුණු පැහැදිලි කිරීමෙන් පසු ඇය නාට්‍ය දර්ශනය අවලංගු කලේ " ඒ වුනාට මගේ හිතට හරි නෑ මහත්තයෝ , මම ජීවිතේට පොරොන්දුවක් කඩලා නෑ " කියමිනි. 

ප ලි 
පූනම් පාන්ඩේ භාරත නිළියකි , නිරුපිකාවකි .
ඇය රග පෑ චිත්‍රපටි මා නොදත්තත් , ඇය පහුගිය ලෝක කුසලාන තරඟාවලියේදී ඉන්දියාව දිනුවොත් , නිරුවත් වීමට පොරොන්දු විය . 
ඉන්දියාව ජය ගත් අතර ශ්‍රී ලංකාව පරාද විය .
එතැන් පටන් ඈ දැන් දැන් හැම රෙද්දකටම , රෙද්ද කඩන්නට පොරොන්දු වන්නා සේය .

9 comments:

  1. සහතික ඇත්ත. අර අහිංසක ගෑණි ඒක කලේ ප්‍රතිපත්තියක් ඇතුව. මෙයා......?????

    ReplyDelete
    Replies
    1. එකත් ඇත්ත . බලාගෙන ගියාම රෙද්ද උස්සන එකෙත් ප්‍රතිපත්ති තියෙනවා

      Delete
  2. JP මේක නියම ලියවිල්ලක්නෙ. මම නිකමට මේකෙ Blog Archive එක චෙක් කරලා හිට් කවුන්ටර් එකට ඇහැ යැව්වාම මට පුදුම හිතුනා. දැන් කියන්න එපා මට හිට් වැඩක් නෑ නැත්නම් මම ලියන්නෙ මගෙ තෘප්තිය සඳහා කියලා. නමුත් මේවගෙ බ්ලොග් පෝස්ට් අනිත් අයට බලන්න නොලැබෙන එක අනිත් අයට අසාධාරණයක්. අපි මොකක් හරි මේ ගැන කරමුකො.
    ඇයි තව සින්ඩි කීපයකට දායක නොවෙන්නෙ? මමත් බලන්නම් මට කරන්න පුලුවන් දේ මොකක්ද කියලා.


    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. හෙන්රි. බොහොම ස්තුතියි. හිට්ස් ඕනේ නෑ කිව්වොත් බොරු නේ. ඒ උනාට මම self promotion අතින් ටිකක් දුර්වලයි.
      මොන වගේ සින්ඩි ද ඔබ යොජනා කරන්නේ

      Delete
    2. JP අර මගෙ සිංහල සයිට් එකට ගිහින් බලන්න දකුණු පැත්තෙ යටම එල්ලලා තියෙන සින්ඩි ටික. කොයිකද වැඩියෙන්ම ඉෆෙක්ටිව් කියලා ප්‍රසිද්ධියේ කිව්වොත් ඒක අසාධාරනයක් නිසා ඔයාම බලන්නකො. පාර අමතක නම් පහල henryblogwalker උඩ කොටන්න.
      henryblogwalker the Dude

      Delete
  3. මරු......! ඇසිලින් අක්කා දැක්කනම්..සන්තෝසෙට මොනවා කරයිද මන්දා....!!!!

    ReplyDelete
    Replies
    1. ඇසිලින් ඉතින් පරණ පුරුදු විදියට රෙද්ද ඔසවා ආචාර කරයි

      Delete
  4. Niyama post eka!Ammapa pankaduyi

    ReplyDelete

Have commented