14 April 2013

සිරි මහත්තයාගේ බයිසිකල් රේස් දොළ දුක සහ තවත් කතා


(උගුර පාදා)
"
ළමයි වටවෙලා  ඔය පැදුරේ ඉඳ ගන්න . මම දැන් ඔය ළමයින්ට කතා හතරක් කියන්නම් අද අවුරුදු දවසේ , හිතට යන්නත් එක්ක "


 කතා අංක 1- සිරි මහත්තයාගේ බයිසිකල් රේස් දොළ දුක 

සිරි මහත්තයා රස්සාවක් හැටියට කලේ කුමක්දැයි කිසිවෙකුට හරි හමන් දැනීමක් නැත .
එනමුදු මල ගෙයකදී , පින්කමකදී,  ගමේ පොදු වැඩකදී ඔහු මුල් තැන ගත්තේය . මැදි  වයසේ සිටියද ඔහු ගමේ යොවුන් සමිතියේ කාරක සමිතියට පත්වුයේ , නිතරඟයෙන්ය .
ඔහු වැඩ වලට මුල් තැන ගත්තද , වැඩේ පටන් ගෙන හෝරාවක් ගිය තැන ඔහුව හොයා ගන්නට වත්  නොහැක . ඔහු කිහිප දෙනෙක් වට කර ගෙන බෝක්කුවක් උඩ , බීඩියක් උරමින් කතා සාගරයක් දිග හරිමින් සිටිනු සුලබ දසුනකි .  පැයක් වැඩ , පැය හයක් විඩා නිවීමය .

" කාලෙකින් බයිසිකල් රේස් එකක් දැක්කේ නෑ බන්   " , මේ අවුරුදු සමයේ සිරි මහත්තයාට දොළක් උපදිනි .  අවුරුදු  උත්සවයක් නැතුව , බයිසිකල් රේස් වැඩක් නැතිය . 
"මල්ලි අපි සංවිදානය කරමුද බක් මහා උළෙලක් ?"  ඔහු යෝජනා කළේය 
යෝජනාව සම්මත විය .යොවුන් සමාජය ගජරාමෙට වැඩ පටන් ගත්තේය . සිරි මහත්තයා , විටින් විට හමුවී ප්‍රගති සමාලෝචන විමසන්නේය .

දිනය උදාවිය . කොල්ලෝ බනිස් කෑහ. කෙල්ලෝ තරඟෙට සිනහ වුහ . සීයලා  රබන් ගැසුවෝය . ආච්චිලා ඔන්චිලි වාරම් කීහ .  බයිසිකල් රේස් එක පටන් ගන්නත් දැන් වෙලාව ළඟය . එහෙත් සිරි සොයා ගන්නට බැරිය. 
ඔහු ලයිසාගේ පොට් එකේ වැඩ අල්ලලාය . බෝතල් බාගයක් පමණ හිස් වී දැන් සිරි , අම්මට සිරි ය . 
"සිරි මහත්තයා  මොකද මෙහෙ කරන්නේ , අන්න බයිසිකල් රේස් එක පටන් ගන්න ලෑස්තිය .." 
 කාරක සභිකයන් දෙදෙනෙක් ගේ නොසැලෙන  සහයෝගයෙන් ඔහු අමාරුවෙන් එතනට ආවේය . 
"මල්ලිලා , මට අද අවුරුදු සිරිය ටිකක් වැඩියෙන් දැනෙනවා . ඒ නිසා මම ගෙදර යනවා නිදා ගන්න . ලවුඩ් ඉස්පිකරෙන් හඬින්  එනවුන්ස් කරගෙන යන්න මට ඇහෙන්න "

කොල්ලෝ මාසයක් විතර මහන්සිවී , සිරි අයියගේ දොළ සන්සිඳිය . සිරි මහත්තයා ට හොඳින් නින්ද ගියේය .

 


කතා අංක 2- මසුරු සිටාණන්ගේ කැවුම් කෑම 

පෙර දවස එක සිටු කෙනෙකුට කැවුම් කෑමට දොළක් උපදුනි . ඔහුට අවශ්‍ය වුයේ කැවුමක් දෙකක් කෑමටය . නමුත් සිටු කෙනෙකුට තනියම කැවුම් කන්න නොහැක . මුළු සිටු මැදුරටම සෑහෙන්න කැවුම් ඉවිය යුතුය . සිටු මැදුරේ කැවුම් බදින  පුසුඹ දැනුනු කල , අවට වැසියෝ කෙල ගිලති . උන්ටද  බෙදන්නට කැවුම් ඉවිය යුතුය . 

කැවුමක් කෑමේ ආසාව ඉබේම මහා කැවුම් දාන ව්‍යාපාරයක් වෙන්නේය .කැවුම් පාටියකි .  
කැවුම් එසේ කන්නට නොහැකි නිසා , කෙසෙල් කොකිස් අනෙක් කැවිලි ඊට එක් විය යුතුය .

සිටු කෙනෙක් උනත් , එහෙම වස්තුව නාස්ති කිරීම අනුමත කල නොහැක . එනමුදු ඔහුට කැවුම් කෑමට අවැසි නම් අපි සවොමට කැවුම් කැවිය යුතුය , එය ලෝක සම්මතයයි .

ඔහු හොරෙන්ම කුටියකට වී කැවුමක්  පිස , කෑමට සැරසෙත්ම රහතන් වහන්සේ කෙනෙක් විත් ඔහුගේ රහස ලොවට හෙළි කළහ .

ඔහු අපකීර්තියට පත්විය . වැසියෝ ඔහුට සිනහ වුහ . මසුරු සිටානෝ යයි අපි පොත පතෙහි ලියුවෙමු .


 කතා අංක 3- ගුනේ අයියගේ  කාමරේ 

ගුනේ අයියා ගේ  බජව් දාන කාමරය ගැන ඔබ අසා ඇති මම සිතමි. සත් සර නද එහි පිරි ඇත . රජවරු මැතිවරු , ආසහාය ගායකයෝ එහි එති , යති , ලැගුම් ගති . එපමණක් නොව අවශ්‍ය අනිත් හැම දෙයක්ම එහි ඇත .මස්කට් පැණි බූන්දි ඇති බව ඔහු කියන්නේ එහි ඇති තවත් දේවල් ගැන ඉඟි සපයමිනි . එනමුදු ඔහු එහි කාටවත්  එන්නට කියන්නේ නැත . දොර අගුල දමා නැති බව පමණක් පවසා සිනහ සෙන්නේය . 

ඔහුගේ බජව්ව අපිට කරදරයක් නොවේ . අපිට අවශ්‍ය නම් සහබාගි විය හැක . ඔහුගේ සොමිය ඔහුටය , අපේ සොමිය අපිට අවැසි නම් අපි සාදා ගත යුතුය .


කතා අංක 4

කෝ සිව් වෙනි කතාව ? ඔබ දැන් අසනු ඇත . එනමුදු එය මට සටහන් කල නොහැක . 
සිතන්න  ඔබේ සිහින සැබෑ කර ගැනීමට ඔබ දුවාදරුවන් දක්කන හැටි . 
සිතන්න පුද්ගලයන් වශයෙන් , කණ්ඩායම් වශයෙන් එතනින්  ගියහම  නෙක බල මණ්ඩල , රාජ්‍ය, එක්සත් කට්ටියගේ සංවිදාන වශයෙන් තමන්නේ මතයන්, ආකල්ප,  විශ්වාස වෙනුවෙන් අනෙකුන් පෙළ ගැසිය යුතුයයි හිතන . ඒ සදහා  ධනය , බලය කාලය හා අනෙකුත් දේ වැය  කරමින් වෙහෙසෙන . සිතන්න එසේ නොවුණු විට චිත්ත සන්තාපයෙන් පෙලෙන අපි ගැන . 
දැන් අර හැම දාම කියන විදියට , තම තම නැණ , දැන පමණින් ,ඒ කතාව ඔබම  ලිවිය යුතුය 

පලි 
ඔබට සුභ අලුත් අවුරුද්දකට ආසිරි පතමි ඉත සිතින් 

4 comments:

  1. සිටානන්ට මසුරු ලේබලේ ඇලෙව්වේ කවුද? හාමුදුරුවෝම නේද? මිනිහෙක්ගේ පෞද්ගලිකත්වයට බාධා වෙන්න හාමුදුරුවෝ හොරෙන් බලන් හිටියේ ඇයි? එතකොට හාමුදුරුවන්ට ලේබලයක් නොඇලවුනේ ඇයි?
    හිතන්න හිතන්න කතා ගොඩයි!
    ඔබටත් සුභ අලුත් අවුරුද්දක්!

    ReplyDelete
  2. අන්න ඔබට තේරුනා . මම හිතන්නේ අද වගේම එදත් , නඩු හාමුදුරුවන්ගේ :)

    ReplyDelete
  3. JP සමාවෙන්න ඕනෙ එන්න පරක්කු වුනාට. මට බැරි වුනා JP පවුලට සුබ අලුත් අවුරුද්දක් පතන්න.
    දුකින් තොර සැපෙන් බර වාසනාවන්ත නව වසරක් වේවා.

    හතරවෙනි කතාව නම් මම ලියන්න යන්නේ නෑ. නමුත් ඒකට ගැලපෙන කතා මට සිය ගානක් මතක් වෙනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි . මතක් වෙනවා කියන්නේ හිතේ ලියවෙනවා කියන එකනේ එක විදියකට බලපුවහම

      Delete

Have commented