ඇත්තටම ඉස්සර කිව්වට දැන් නම් දැනෙන්නේ ආත්ම ගණනාවකට පෙර වගේ , අපි සිංහල අවුරුද්දට ගමේ යන්නෙමු .
කොටුවේ බස් ස්ටෑන්ඩ් එකෙන් නුවර බස් එකක නැගලා , එතනින් අලකොලංග (ද කොහෙද ) බස් එකක නැගලා , තිස්මඩ හන්දියෙන් බැහැලා , විනාඩි 15ක් විතර පයින් යන්න ඕනේ නුවර ආතම්මලාගේ ගෙදරට (මරු නුවර!! ).
ඔය අලකොලංග බස් එක , එක දොරක් තියෙන බාග සයිස් ලංගම බසයක් . මට බොහෝ විට යන්න ලැබෙන්නේ , රියදුරු අසුනට පිටිපසින් ඇති
මම මේ කියන කාලේ ඉන්ද්‍රසිරි බසුත් නැත්තේය ..කොටින්ම පෞද්ගලික බසුත් නැත්තේය ... සියලු දන සරණ , සිලෝන් ටකරන් බස්ම පමණි . ..
පෝලිමේ ඉඳලා නැගලා එක ළඟ සීට් තුනක් අල්ලලා, අම්මාවයි , අපිවයි ඉන්දන අප්පච්චි , බැහැලා යන්නේ ළඟ කඩේකින් දුම් කුරක් අරන් උරන්න, අම්මගේ නොරුස්සුම් බැල්ම දැක්ක නැති ගානට . (ප්‍රසිද්ධියේ දුම් බීම එකල අසම්මතයක් නොවුනත් , ඔහු කවදාවත් අප ඉදිරියේ දුම් නොබිව් බැව් එකපාරටම සිහිවිය ..අනෙක් අතට ඔහු දුම් බීමේ ආදීනව කියා දුන්නත් , එය නොකරන ලෙස නොකී බව තුල , තවත් දිගට ලියවෙන කතාවක් ඇතිබැව් සිතේ ).
ඉතින් ඔය බසයට නැගලා ඉඳ ගත්ත ගමන් තෙල් බෙහෙත් කාරයෝ , කැලැන්ඩර්/ ලිත් කාරයෝ , සුවීප් කාරයෝ , යාචකයෝ මෙන්ම ටොපි සිකරේට් චුයින්ගම් කාරයෝ ද බසයට නගින්නේ තම වෙළඳාම කරගැනීමටය (ඇතැම්හු කන බොන දේ විකුණන අතර , අනෙකෙක් විකුනන්නේ මිත්යාදෘෂ්ටියයි , යාචකයෝ ස්වීප් කාරයෝ විත් අපේ හිත් වල ඇති අනුකම්පාවේ සහ බලාපොරොත්තුවේ වණ කසා , කීයක් හරි කඩා ගෙන යන්නෝය . මෙකී නොකී කාරයන් ගෙන් මගේ ප්රියතමයා , ටොපි චෝකලේට් කාරයාය . ඔහු ළඟ ඇති චුවින්ගම් කෑමට මම ඉතා රුචි විමි .
ඔය චුයින්ගම් අපුරු සංකල්පයකි . ඉතා කෙටි කලකට රසයක් තියෙන , නැවුම් බවක් ලබා දෙන , ටික වෙලාවකින් කොහැල්ලා ගුලියක් වෙන ...එවිට අලුත් චුයින්ගම් පෙත්තක් පැකට්ටුවෙන් ගෙන කටේ දමා ගත යුතුය .... එවිට කටේ තිබෙන චුයින්ගම් ගුලියේ තරම දෙවරක් වේ ..හැබැයි මෙය දිගින් දිගටම කරගෙන යාමේදී හපන්නට බැරි තරමට ගුලිය විසල් වේ . .. ඔක්කාරයට එයි..(එවිටනම් ලංගම බසයක නුවර යන සත් හැවිරිදි කොලුවෙකුගේ තත්වය ඉතා සෝචනීය වේ ... චන්ඩි ගති ක්ෂණිකව වාෂ්ප වී , මවගේ ඇඟට හේත්තු වෙන්නට සිතේ ..)
චුයින්ගම් , වෙළෙන්දන් විකුනන්නේ , "බබාට චොකලට් , නෝනාට ලොලිපොප් , බේබිට චුවින්ගම් ... ගමන් වෙහෙස නිවෙන්න , හප හපා යන්න " වැනි යමක් කියමින් බව මට මතකය . දැන් හිතනකොට එය මොන කුනුහරුපයක් දැයි කියා සිතේ . අනෙක් අතට හැම වෙලෙන්දෙක්ම කියන්නේ කුනුහරුපමය . ඒත් මිලදී ගන්නන් නොඅඩුය . විකුනන්නේ භාන්දම පමණක් නොවේ , අදහස් ආකල්පද නිදහස් ආර්ථිකය තුළ අලෙවි කෙරේ . ඇතැම් ඒවාට රාජ්‍ය සහනාධාර ලැබේ , ඇතැම් ඒවා වලට වෙළෙඳ ඒකාධිකාරියක් ඇත .
දැන්නම් බස් වල චුයින්ගම් කාරයෝ හිඟය . ඔවුන් දැන් මාධ්ය්ය අංශයේ ප්‍රවුර්ති විකුණන සෙයකි .
පලි
ලිත් කාරයෝ , සාත්තර කාරයෝ රූපවාහිනී චැනල්වලය , සංවර්ධනයේ ලොතරැයි අපිට විකුණා උන් සංවර්ධනය වන ස්වීප් කාරයෝ පළාත් සභාවේය , පාර්ලිමේන්තුවේය .... මුළුරටම යාචකයෝය .
පලි යට පලි
ඇත්තටම ලංකාවේ උග්‍ර නිව්ස් හිඟයක් පවතින බව , නිව්ස් බලන අයෙකුට පෙනේ . මේ එට්කා එක යටතේ හෝ ඉන්දියාවේ නිව්ස් මෙහෙ චැනල් වල හඬ කවා ප්‍රචාරයට ඉඩ ලබා ගන්නේ නම් එය මහඟු සේවයකි . එතකොට සිංහලෙන් ඇඩ් එකක් දෙකක් පමණි
එන්ජිම නෙමෙ බෙටරි පෙට්ටිය. මම පොඩි කාලෙ අම්මට ලෙබෙන train warrant එකෙන් නුවර පුන්චි අම්මලාගෙ ගෙදර ගිය එක මතක් උනා.
ReplyDeleteනිවැරදි කලා . ගියර් බොක්ස් එක උඩ කොහේ වාඩිවෙලා යන්නද ?
Deleteහප හපා ඉන්න නොස්ටල්ජික් මතකයක් එක් කලාද මන්දා ...හැබැයි නොස්ටල්ජියාව නම් චුවින්ගම් එකක් නෙමෙයි , හොඳ විටක් කියලයි මට හිතෙන්නේ
ඉස්සර බස් වල කෝච්චි වල කෑම ජාති විකුණන උන්ගෙන් බය නැතුව අරන් කන්න පුළුවන් කම තිබුණා. සමහරවිට අපි එහෙම හිතා ගෙන හිටියා වෙන්න ඇති. නමුත් දැන්නම් වතුර බෝතලයක්වත් අරන් බොන්න බෑ. තනිකරම කරන්නේ වංචාව.
ReplyDeleteඔය බාග බස්වල ඩ්‍රයිවර් සිට් එකට විරුද්ද පැත්තේ තිබුනා බැටරි පෙට්ටිය කියලා එකක්.. එතන ඉතුරු ඉඩ ලගේජ් එක. බැටරි පෙට්ටිය ලෑලි වලින් ගහලා තියෙන්නේ ඉතුරු ඉඩට යකඩ පටි විතරයි උඩින් ඇරලා. ගොඩක් වෙලාවට ඔය බැටරි පෙට්ටිය උඩ යන්නේ ඩ්‍රයිවර් ගේ හිතවතෙක් ඒ ඩිපෝ එකේම නැත්නම් ස්ටෑන්ඩ් එකේ වැඩකරන කෙනෙක් හෝ ගමේ 'පොරක්' .. කලාතුරකින් දවසක එහෙම කෙනෙක් නැති උනාම බැටරි පෙට්ටිය උඩ යන්න අපිත් කැමතියි. නැත්නම් අර ලගේජ් එක අස්සට පැනලා දහදෙනෙක් විතර කිටි කිටියේ හිර වෙලා ඩ්‍රයිවර් ගෙයි අර 'පොර' ගෙයි පොර ටෝක් අහගෙන යන්නත් කැමතියි. 'රිය පදවන විට රියදුරු සමඟ කතා කිරීම අනතුරු දායකයි' කියලා ගහලා තිබ්බට අපි හිතුවේ ඒ අපිට විතරයි කියලා.. තව තියෙනවා නියම සලකුණු ටිකක් බස් වලටම ආවේණික වෙලා තිබ්බ. 'අළුත් එන්ජිම- කෙටි ධාවනය' 'පය නොතබනු' පා පුවරුවේ යාම තහනම්' වගේ.. බස් ගැන කතා බස් වලට මම කවදත් ප්‍රියයි. නුවර ගිහින් අවුරදු කාපු විදියත් ලියන්න.
කමි , මෙය බස් කතා බහක්ම වුනා නේ... හාහාහා ... ඔය පෙට්ටිය උඩ තමා මම යන්නේ .. මොකෝ කොළඹින් එන කට්ටියනේ ... අවුරුදු කෑම නම් ඔය හැමෝම කියන විදියේ අවුරුදු කෑමක් නොවුනි .. මම කියන සමය අසුව දසකය . ..නිදහස් ආර්ථිකය කොළඹින් ඈතට යන කාලේ ... ඉතින් අර කියන ලන්දේ , නියරේ ඇලේ දොලේ කතා නම් නැත්තේය . හැබැයි කතා ඇත . ලියන්නම් වෙලා අරන් .. ඔය ලියලා තිබු වැකි වල තිබ්බා නේද " රියදුරු අසුනට අත නොතබන්න " කියලා වැකියක්. ඒකෙත් හැටි සාක්ෂරතාව 70%-80% ඉඳන් 90% පන්නනකොට ඒ වැකි "පොල්ල අල්ලන් පස්සට යන්න " දක්වා විකාශනය වෙලා
Deleteනුවර ගිහින් අවුරුදු කාපු හැටි කියන්නය කිව්වා... ඔන්න කිව්වොත් බලාගෙනයි හරිද.. අපි අවුරුද්දට යනකල් නිකන් ලේ පුච්චන්නේ නැතුව ඉන්නවද?
Deleteකතාව නම ඇත්ත..
ReplyDeleteඑත් අර පලි යට පලි කෑල්ල තමයි සුපිරි..
//ඇත්තටම ලංකාවේ උග්‍ර නිව්ස් හිඟයක් පවතින බව , නිව්ස් බලන අයෙකුට පෙනේ . මේ එට්කා එක යටතේ හෝ ඉන්දියාවේ නිව්ස් මෙහෙ චැනල් වල හඬ කවා ප්‍රචාරයට ඉඩ ලබා ගන්නේ නම් එය මහඟු සේවයකි //
ස්තුතියි
Deleteඔය මාධ්‍ය දවසක නැති වෙන්නෙත් ඇඩ් හින්දාමයි.... මිනිස්සු දැන් ඕවා බලන්නේ නෑ... සල්ලි දීලා බලෙන් පෙන්වන්නේ ඒකයි....
ReplyDeleteඔය ඇඩ් ගැනත් ලියන්න ඕනේ
Deleteබැටරි පෙට්ටිය උඩ ගමන... ඉ
ReplyDeleteතිරි වෙච්චි ටිකට් රෝලත් ගහන්න ඔතන උඩ තියන කවුලුවේ...
දැන් බස්වල බැටරි කොහෙද තියෙන්නෙ? ;-)
තිස්ස අයිය ටිකට් රෝල් ගැන මතක් කරලා ..හිත ඈතට ගෙනිච්චා . එක කාලේක අපිට මහඟු වස්තුවක් ඔය ටිකට් රෝල
Delete//ඇතැම්හු කන බොන දේ...//
ReplyDeleteerr...
error හුයන්න නිවැරදි තැනට දමන්න.
Deletehahaha
Deleteටොපියා, සිකරට්ටියා, පෙපරමින්ටියා, බුලත්විටියා, කියලා කෑගහන වෙළෙන්දෙක් හිටියා කෑගල්ලේ බස් ස්ටෑන්ඩ් එකේ 1960 ගණන්වල. ඒ යකා ළඟ තියන හඩු ගඳ තමයි උහුලන්න බැරි.
ReplyDeleteඑකසිය තිස් අටේ රූට් එකේ කෑ ගැහුවේම "හෝමා හෝමා හෝමා නගින්න" කියලා
Delete