19 March 2017

බල්ලාගේ එක්ස්කියුස් එක සහ කීර්තිනාම ඉස්කෝලේ මහත්තයාගේ නඩු නිමිත්ත

ඕං 
හිටියා උදාර කොල්ලෙක් 
ඌට හිටියා හොඳ තඩි බල්ලෙක් 
පළාතේම නෑ එහෙම හොර ගෙඩියෙක්  
උගේ කනේ හිටියා තඩි මැක්කෙක්

දවසක් දා මූ  දික් කරගෙන කළු හොම්බත් . කුස්සියට පැනලා , වලඳක තිබිච්ච මාළු කූරියෙක් උස්සන්න හොම්බ දැම්මා විතරයි කුස්සි අම්මාට අහුවුනේය . ඕ  තොමෝ , ටොමියාව බෙල්ලෙන්ම අල්ලාගත්තෝය .

මෙච්චර දවසක් මම බලන් උන්නේ අතටම අල්ල ගන්න , හොර  බල්ලෝ  , අද නම් අතටම අහුඋනා . තොට අදනම් ගහේ  බැඳලා දෙන්නේ .... කුස්සි අම්මා බී වාර්තාව ඉදිරි පත් කලේ , ඇසින් දුටු සාක්කිත් අමුණලාය    

හා හා ඔබතුමි  කලබල වෙන්න එපා , දුටු සියල්ල සත්ය නොවේ ...බුහ්  බුහ්  ...හොරු අල්ලන්න නේ මහත්තයා මාව ගෙනාවේ ගෙදරට ..   

එහෙව් එකේ උඹ  කුස්සියට පැනලා ලිප්බෝක්කේ තියන ඒවා හොරෙන් කාපුවහම හරියනවද ?

  නෝනා, මෙතන තියෙන්නේ වරදවා තේරුම් ගැනීමක් . 

මොකක්ද බොල මෙතන තියෙන වරදවා තේරුම් ගැනීම 

 මේ මගේ කනේ ඉන්න මැක්කා  පේනවද ? ඕකා අර අල්ලපු ගෙදර හොර කිටියාගේ කණේ  හිටියේ කාලයක් තිස්සේ .ඔන්න ඔය  මැක්කා තමා ඔය වළඳට හොම්බ දැම්මේ. ඒ සිද්ධිය තමයි ඔබ තුමිය  මම හොම්බ දානවා වගේ දැක්කේ ... හොරකමට 
දෙන දඬුවමක් දෙන්න මේ මැක්කට  ඕං .

බල්ලා  පස්චාත් ගාතය  ඔසවා උගේ කණ  කැසුවේය

***

කීර්තිනාම  ලොකු ඉස්කෝලේ මහත්තයා 55විය තෙක්ම   ගමේ ඉස්කෝලේ ඉගැන්නුවේය . ඉන්පසු තවත් අවුරුදු හතරක් පිනට ඒ දුප්පත් දරුවන්ට  ඉගැන්නුවේය . දැනට ඔහු හිඳින්නේ ගෙදරට වී විවේක සුවයෙන් බණ පොතක් කියවා ගෙනය . එක පාරටම ගිය සතියේ දවසක පත්තරේ කියවමින් සිටි ඔහු , කෝපාවිෂ්ට වී පුටුවෙන් නැගිට්ටේය . ඉන්පසු තනියම කෝපයෙන් කියවමින් ගෙතුළ සක්මන් කරන්නට විය .. එදින සවස  ඔහු වේගවත් ගමනින් හන්දියේ මුදලාලි හම්බු වෙන්න ගියේ ගෙදර ඔප්පුවත් කිහිලි ගහගෙනය .

"මුදලාලි මේක තියාගෙන මට ලස්ස 20ක් දෙන්න " ඔහු කෙලින්ම කාරනාවට බැස්සේය 

මොකෝ ඉස්කෝලේ මහත්තයා ලෙඩක් දුකක් වත්ද ? ඔප්පු ඕනේ නෑ..  දැනට ඕනේ ගාන  කියන්න 

එහෙම බෑ මුදලාලි මේ නඩුවක් කතා කොරන්න , අබ්බගාත් මහත්තුරු අල්ලන්න සල්ලි ඕනේ 

මොකක්ද අප්පේ නඩුව ?  ඉඩම් ප්රශ්නයක්ද 

නෑ  මුදලාලි , මේක මහා අපහාස නඩුවක් . මම දානවා නඩුවක් ඕකුන්ට ලස්ස පන්සීයක් වන්දි ඉල්ලලා 

මොකක් කිව්වා ?....අපහාස  කවුද මේ ගමේ, අපේ ඉස්කෝලේ මහත්තයාට  අපහාස කලේ ?. .. අනික් අතට ඔන්න ඕවා අල්ලලා දාන්න ඉස්කෝලේ මහත්තයෝ , දැන් කාලේ හැදෙන උන් කියන ඒවා ..

නෑ  ගමේ එකෙක් නෙමෙයි .. ඕකුන් දන්නේ නෑ මගේ හැටි.

කවුරු උනත් කමක් නෑ  ඉස්කෝලේ මහත්තයෝ , ඔය අපහාස නඩු එහෙම දිනන ඒවා නෙමෙයි .

අනේ යන්න මුදලාලි , එහෙනම් ඔය මැති ඇමති වරු දාන්නේ ලස්ස සීයේ හමාරේ අපහාස නඩු තමන්ගේ කීර්ති නාමයට මදි පුංචි කමක් උනාය කියලා .. ඉතින් මගේ නමම කීර්තිනාම වෙච්චි 

දැන් මොකක්ද ඔය ඉස්කෝලේ මහත්තයාට  වෙච්ච අපහාසේ , මොකක්ද නඩු නිමිත්ත 

මේං බලන්න 

කීර්ති රත්න ඉස්කෝලේ මහත්තයා හතරට නැවු පත්තරයක මුල් පිටුවක් පයිල්  කවරයෙන් එලියට ගත්තේය . එහි එක සිරස්තලයක් රතු පෑනකින් රවුම් කර ඇත 

" මේ සියල්ලට වග කිව යුත්තේ , මහා බැංකුවේ නියෝජ්ය අධිකාරි තුමා ...."

මුං කෙලින්ම අපහාස කරන්නේ අපේ බුද්ධියට මුදලාලි මහත්තයෝ, 

(දැන් නැවතත් බල්ලාගේ කතාව කියවන්න )

9 comments:

  1. කිරි අප්පට බල්ලෝ පනාපි

    ReplyDelete
    Replies
    1. මහ බැංකුවට මැක්කෝ ගහපි

      Delete
  2. අපට බල්ලාගෙන් ගැලවීමක් නැත, බල්ලාට මැක්කාගෙන් ගැලවීමක් ද නැත!!

    ReplyDelete
  3. අපිට වෙලා තියන්නෙ බල්ලටයි මැක්කටයි දෙන්නටම බයේ ඉන්න.

    ReplyDelete
  4. මේකේ වැරැද්ද බල්ලාගෙවත්, මැක්කාගෙවත් නොවේ, මාළු හට්ටියේය. ඒ නිසා මාළු හට්ටිය අහෝසි කල යුතුය. මේ ඉන්නා සයිස් එකේ හැටියට මාළු හට්ටිය පොලවේ ගැසුවා කියා ඇතිවෙන පාඩුවක් නැති බව කීර්තිනාම මහතා වටහා ගත යුතුය.

    මගේ පිඟානේ ඉන්නා මාළු කූරියෝ ලමා ගීතය හරි ශෝක්.

    ReplyDelete
  5. මුන් කෙලින්ම අපහස කරන්නේ අපේ බුද්ධියට!!! :)

    (එක තැනක කීර්තිරත්න කියල තියෙනවා.. ඒක ගැන නොවෙයි කොමෙන්ට් එක :)

    ReplyDelete

Have commented