29 November 2015

සෙල්ලම් පොලීසිය සහ ඇත්ත හොරු

කෝප් කමිටුවේ සභාපතිත්වය හඳුන්නෙත්තිට ලැබී ඇත . පෞද්ගලිකව නොහඳුනන මුත් , ඔහුගේ දේශපාලන භාවිතය පිළිබඳව මාගේ ඇත්තේ පැහැදීමකි . ඔහු වැඩක් කරන , හොරකම් ගැන කතා කරන , මහන්සි වී වැඩ කරන , අඩුම ගනනේ ප්‍රශ්නයකට විකල්ප විසඳුම් ( එය ගැලපෙනම විසඳුම ද නැද්ද යන්න පැත්තකින් තැබුවත් ) එකක් දෙකක් වත් ඉදිරිපත් කරන්නට තරම් වත් මොලයක් ඇති අයෙක් යයි මම සිතමි . අනෙක් පැත්තෙන් ආර්ථික විද්‍යාව ගැන දැනුම තිබුනත් එය තර්කයකට හරවන්නට ටිකක් අසීරු හර්ෂට වඩා , ටියුෂන් සිලබස් එකේ වචන සෙට් එකෙන් එහාට නොදුවන ආර්ථික තර්ක දමන බන්දුලට වඩා , ආර්ථික තර්ක කරන්නට ගොස් හත් පොලේ අනා ගන්නා රවී ට වඩා හඳුන්ගේ පොළොවේ පිහිටන ආර්ථික තර්ක , පැහැදිලි කිරීම් මම අගය කරමි . ඒත්  ඒවා ඇතැම් විටෙක  සිල්ලර වැඩි ය . නමුත් හඳුන් වැඩක් කල හැකි අයෙකි .

පරණ දන්තාලේප දැන්වීමක් මා මතකයට එයි . එහි , විසිකළ පේර ගෙඩියක් අල්ලා  ගත් අයෙකුගෙන් අසන්නේ "ඇල්ලුවට හපන්න පුලුවන්ද කියාය " . කෝප් කමිටුවද  මා දන්නා පරිද්දෙන් එවැනිය . සෙල්ලම් පොලීසියකි . පරිචයෙන් බොහෝ රාජ්‍ය ආයතන මෙන්ම රටේ ජනතාවට සිඟිති ආතල් සපයන ආයතනයකි. (......මෙන්න දැන් ආ පුවතක්.... , රංජන්  රාමනායක නියෝජ්‍ය ඇමති තුමාත් මේ කොමිටියට පත් කර ඇත . සිඟිති ආතල් ගැන ඉන් එහාට නොලියමි .)

ඒත්  ලංකාවේ සිටින්නේ ඇත්ත හොරුය . උන් අල්ලන්නට ඇත්ත පොලිසියටත් අමාරුය . ඇල්ලුවත් උන් බේරෙති . ලංකාවේ මිනිස්සුන්ට රිමාන්ඩ් එක , හිරේ යාම දෙකේ වෙනසක් නැත . නඩු නිෂ්ප්‍රභා කිරීම හා නිවැරදි කරු වීම අතරද වෙනසක් නැත . විමර්ශනයකට කැඳවීම , සාක්ෂි සටහන් කර ගැනීමට කැඳවීම හා දඬුවම් විඳීම අතරද වෙනසක් නැත . ඒ අපේ නීතිය  ගැන ඇති දැනුමයි .  ලංකාවේ ඉන්න ඇත්ත හොරු ඇත්ත දඬුවම් නොලබති.  

ඒ සාක්කියෙහි ඇති  හිදැස් , නිතීයේ ඇති හිල් හා දේශපාලනික ඩීල් ආනුභාවයෙනි . නමුත් එයම  තම නිර්දෝෂී බව ලෙස හුවා දැක්වීමට ඔවුන් සමත් වන්නේ ජනතාවගේ මැටි කම නිසාය . 

නීතියේ දැලේ හිල්ය . පොඩි හොරු පොඩි හිල් අස්සෙන්ද , ලොකු හොරු ලොකු හිල් අස්සෙන්ද රිංගා යති . මෙය දකින,   වෙන්ඩ හොරුන්ගේ හිතේ ඇති බය නැති වේ . මෙහි ඇති අතිශ්‍ය  භයානකම තත්වය එයය. 

අපි පිළිගන්න අකමැති වුවත් , විටෙක එවැනි කතා දෙස අවඥාවෙන් බැලුවත් , රටක  සිස්ටම් එක ඉතා සුක්ෂම වට්ටා පස්චාත් අරාබි වසන්ත පරිසරයන් ඇති කිරීමේ ව්‍යාපෘති ලොව වටා ක්‍රියාත්මක නොවේ යයි සිතිය නොහැක. නීතීවතී ගේ ( අර ඇස් දෙක වහ ගෙන තරාදියක් අල්ලා ගෙන ඉන්නේ ) සළු උනා, දුෂණය කර දැමීම එහි ඉතා වැදගත් පියවරකි . මේ වෙන්නේ එයදෝ කියාත් සිතේ  .

එසේ බලන කල හොරුන් අල්ලා , උන්ට සිස්ටම් එකේ හිල් අස්සෙන් යාමට ඉඩ සැලැස්වීමට වඩා , නොඅල්ලා සිටීම හොඳ දෝ කියා විටෙක සිතේ . 

17 comments:

  1. පේර ගෙඩි නෙවෙයි මෙහෙ තියෙන්නේ ගල් ගෙඩි.. ඒවා හපන්න හඳුන් ගේ දත් කොච්චර හයිය වුනත් බෑ.. උන්දැටත් වෙන්නේ නිකං දත් හලන් පැත්තකට වෙන්න.. රන්ජා ආවා කියන්නේ පාර්ලිමන්ට් ජෝක්ස් ඊළඟ කෑල්ල කෝප් කොමඩි ටිකක් බලා ගන්න නම් පුළුවන් වෙයි..

    ReplyDelete
    Replies
    1. මටත් හිතෙන්නේ එහෙමම තමා . කෝප් එකත් විහිළුවක්ම කරලා දාන උපක්‍රමයක්ද කියලත් හිතෙනවා

      Delete
  2. මෙතෙක් කල් හිටපු නායකයින් කළේ පොලිසියට තමන්ගේ හිතවතකු පත් කරගන්න එක. එතකොට තමන්ගේ වැරදි වහන්නත් ( හෙජින් ඩීල්) පොලිසිය ලවා අනුන්ට හිරිහැර කරන්නත් (බැඳුම්කර ඉන්ස්ටන්ට් වාර්ථාව ) පුළුවන්. ඒ අතින් කෝප් සභාපතිකම විරුද්ධ පක්ශයට දීම එයිනුත් හොරකම් ගැන අවධානයෙක් ඉන්න පක්ශයට දීම ආණ්ඩු කරන පක්ශයේ නායකයින්ගේ පාරදෘශ්‍ය භාවය දක්වන ප්‍රමුඛතාව ගැන අදහසක් ඇතිවන බව නොලියවීම පොඩි අඩුවක්.

    ReplyDelete
    Replies
    1. ඉයන් මම හිතන්නේ වෙනත් විදියකට . යමක් නැත , එය නැති බව දැනීම හා යමක් නැත , එහෙත් ඒ බව නොදනී වගේ වෙනසක් කියලයි මම හිතන්නේ . රනිල් ඔය වගේ උප්පර වැට්ටි වලට හරිම ප්‍රසිද්ධයි නේද ? මතක නැද්ද සජිත් රැල්ල හැන්ඩ්ල් කරපු හැටි .

      විප්ලවාදීන් නැති කරන්නේ එය මර්ධනයෙන් නොව එය විහිළුවක් බවට පත් කිරීමෙන් යයි කිසිවෙක් කියා ඇති බව මතකයි . ජවිපේ යනු දැන් විප්ලව වාදීන් නොවුනත් මිනිසුන්ට තියෙන විකල්පයක් නේ . විකල්පයක් නැති කිරීම සහ විකල්පයක් නැති මිනිසුන් ගේ මනසේ තැන්පත් කිරීම ශ්‍රී ලාංකික දේශපාලනයේ පරණම උපක්‍රමයක්

      Delete
    2. ඔව් ඔව් රනිල් හොඳ දෙයක් කළොත් කට්ට කමට. මහින්ඳ හොරකම් කලත් දේශප්‍රේමයට. දේශපාලනයේ හොඳම මිනිසුන් නොසිටින්න පුළුවන්. තරමක් හෝ හොඳ අය ගැන විවේචනය කරන විට ආවැඩෙන්නේ නරක අයටයි.

      Delete
    3. ඉයන් යනු මෙතරම් මෝඩ පුද්ගලයෙක් බව මම හිතුවේ නැහැ

      Delete
    4. මහින්ද අයින් කලේ මහින්දලයිට් උදෙසා නොවන බවත්
      යහපාලනය තෝරා ගත්තේ යහපාලනය වගේ වගේ එකක් උදෙසා නොවන බවත් මගේ හැඟීමයි

      Delete
    5. මෙය අපේ මෝඩ කම පිලිබඳ ප්‍රශ්නයක් නොව තමන්ගේ මතය ප්‍රකාශ කිරීමකි

      Delete
  3. මේ කෝප් එකෙන් ප්‍රයෝජනයක් තියෙන්නෙ මම හිතන්නෙ ලෝ බ්ලඩ් ප්‍රෙෂර් තියන මිනිස්සුන්ට විතරයි. බෙහෙත් වලට යන සල්ලි ඉතුරුවෙනව බෙහෙත් බොනව වෙනුවට කෝප් වාර්තාව කියෙව්වම.

    ඊගාවට ආයම සල්ලි ඉතුරුවෙනව ඒකෙන් වැරදි කාරයො කියල නම් කරපු තක්කඩි ඉහෙං බහින ලෙඩක් නැතුව ෂෝක් එකට වෙනද වගේම වැජඹෙනව දකිනකොට.

    ReplyDelete
  4. කිසිම වෙනසක් වෙන්නේ නෑ... පුද්ගල වෙනසක් පමණයි සිඳු උනේ.. රාජපක්ෂට එහා හොර යුගයකට යනවා හිටං මහත්තයා රනිල්ලා එලවලා.. මේ සිද්ද වෙන්නේ එයයි..

    ReplyDelete
    Replies
    1. අපේ රට රාජය පාලකයන්ට තවම සුදානම් නැත
      තවම ඉල්ලුම තිබෙන්නේ රජුන්ට හා දේශපාලකයන්ටමය

      Delete
  5. /* නීතියේ දැලේ හිල්ය . පොඩි හොරු පොඩි හිල් අස්සෙන්ද , ලොකු හොරු ලොකු හිල් අස්සෙන්ද රිංගා යති .*/

    මා උසස් පෙළ සමයේ දී ලියූ කවියක්.

    නීතිය සහ අවකලනය

    නිලයට බලයට ධනයට යටවුනු
    යුක්තිය අද අතවැසියෙක් ගානයි
    අසාධාරණය රජවුණු ලෝකයෙ
    නීතිය අද අවකලනය වාගෙයි

    දුප්පත් එකාට එක සැලකිල්ලකි
    පෝසත් එකාට තව සැලකිල්ලකි
    යුක්තිය නැත නිසි ලෙස පසැඳෙන්නේ
    අවලකනය මෙනි තීන්දු එන්නේ

    eX සහ k ශ්‍රිතයන් ඇත්තේ
    මේවා අවකලනය කළ යුත්තේ
    k අවකලනය කළ විට බින්දුව
    eX එයමය හරිද තීන්දුව?

    අසරණ k ලා නීතිය හමුවේ
    දඬුවම් ලැබිලා වැනසෙන්නේ
    බලගතු eX ල ට නැත දඬුවම්
    යහතින් සැමදා වැජඹෙන්නේ

    නීතිය සවි නැති මකුළු දැලක් වේ
    මැසි මදුරුවෝ ය පැටලෙන්නේ
    තෝරුන්, මෝරුන් සහ මහ වවුලන්
    දැල බිඳගෙන ඉගිලී යන්නේ

    (http://rasikalogy.blogspot.com/2015/04/maths-and-law-not-good-mix.html)

    ReplyDelete
    Replies
    1. මරැ
      අනුකලනයට කවි ලිව්වේ නැද්ද

      Delete
  6. හඳුනේත්තිට විතරක් ඕක කරන්න බහ. සහයෝගය අවශ්‍යයි.

    ReplyDelete
  7. හොඳම කන්ඩායමක් හිටියත් ඔය කමිටුවට යා හැකි උපරිම දුර වාර්තාවක් දක්වා පමනයි නේද
    ජනතාව අලුතින් පත්කර ගන්නම වෙනවා

    ReplyDelete

Have commented