දවසක් බස් ස්ටෑන්ඩ් එකේ පාළුවේ ඉන්නකොට .
කොල්ලෙක් කීවයි කෙල්ලෙක්ට කට කැඩෙන කතාවක්
එහෙම ගෑනුන්ට එක එක ඒවා කියන එක වැරදියි නේ
අපි කෙල්ලට කිව්වා බැනපන් ඌට
ඉතින් ?
කෙල්ල ගත් කටටම බෑ කිව්වා
අපි කිව්වා එහෙම හරියන්නේ නෑ නංගි
ස්ත්රී වර්ගයා ගැන හිතලා මේක නිකන් අරින්න එපා
ඊට පස්සේ , ඔන්න කෙල්ල බැන්නා යන්තං
ඉතින් ?
අපි විසිල් ගැහුවා . ගැහුවා අත්පුඩි
අපි කියුවා “නංගි ගහන් කණ පුපුරන්ට එකක්
කෙල්ල ආයෙත් අදිමදි කලෙන්
කීවෙමු දැන් ඉතින් බැනපු එකේ , ඔන්න ඔහේ එකක් ගහන්
ඉතින් ?
කෙල්ල පැනලා ගැහුවා උගේ කණට එකක්
අපි ගැහුවා විසිල් , ගහපන් තවත් එකක්
කෙල්ල තව එකක් ගැහුවානේ ඉතින්
ඇනපන් ඔලුව බිත්තියේ මොළේ හෙල්ලෙන්න
ඉතින්, කෙල්ල කලාද
නැත්නම්
ඊට පස්සේ ?
අපි ඇහුවා කොල්ලගේ නෝනාගෙන්
ලජ්ජා නැත්ද මේ වගේ එකෙක් එක්කලා කන්නට දීගේ
රට්ටු මොනවා නොකියාවිද උඹටත්
ඕකාව අත ඇරලා දාලා සදහටම
පලයන් කෙල්ලේ ගමේ පොඩි එකත් අරං
ගියාද ?
ගෑනි අදිමදි කළා, පස්සේ ගියා
ඊට පස්සේ ?
අපි ඌට හූ කිව්වා , හිනා උනා . ඊට පස්සේ අපි කිව්වා කොල්ලට .
හැදිච්ච කෙල්ලෝ යනවද ඔහොම ඇඳන් .
මොනවා උනත් තමුසේත් මිනිහෙක් නේ
තමුසේට වෙච්ච දේ වැරදියි නේ මල්ලි
කොල්ලෙක් හැටියට තමුසේ පව් ඕයි .
ඉතින් ?
කොල්ලත් කිව්වා , "ඔව් ඕයි" කියලා .
ඊට පස්සේ
අපි කිව්වා
ඔහේගේ කනත් පොඩ්ඩක් රිදෙනවා වගේ නේද
පස්සට කරදරයි කල් ඇරියෝතින්
ඉස්පිරිතාලෙට ගොහින් ආණ්ඩුවේ
පොඩ්ඩක් පෙන්න ගන්නවා හොඳයි මලේ
ඉතින් ?
කොල්ලා ඉස්පිරිතාලේ ගියා
ඊට පස්සේ ?
අපි කීවා
පව් ඔයි අර කොල්ලා , ඌට උනු වියෝවා
ගෑනිත් ගියා , කණ ඇහෙන්නෙත් නැතේයා
රාලහාමි නීතිය රකිනට ඉන්නා
අර රන්ඩු කෙක්ක අල්ලන් අත් දෙකටම මාංචු දා
ඊට පස්සේ ?
අත්අඩංගුවට ගත්තම , අපි කිව්වා
අනේ කෙල්ල අහිංසකයි රටක් වටී
කාකී සූට් ඇඳගෙන කරන්නේම ඔය වගේ ගොන් වැඩමයි
ඒ කෙල්ලට වූ කරදර කවුරු බලන්
තිස් තුන් කෝටියක් දෙවි හාමුදුරුවනේ
ඊට පස්සේ ?
ඔන්න එතකොටම අලුත් නිවුස් එකක් ආවා ….උන්ගේ ප්රශ්න උන් බේරාගත්තදෙන් අපි යනවෝ ජනාධිපතිවරණේ බලන්න
පලි : මෙය ඔද්දල් වුනු ප්රවෘත්තියක් බව දනිමි . මා කතාවට සෙල්වා හා දිලිණි පාදක කොට ගත්තේ එය ලඟම උදාහරණයක් බැවිනි . වලියක් අවුස්සන , ඊට චියර් කරන උන් එකවිටම නැතිවී යන බව ලෝක ධර්මතාවයකි . ඒ බව සැවොම මතක තබා ගත යුතුය . දුප්පත් සෙල්වාට තිලිණිට මෙන්ම රජුන්ට කුමරුන්ට ද මෙය පොදුය