06 September 2014

සුලෝචනා සහ Joeline


මේක ඒ විදියකට  කාන්තාවන් දෙදෙනෙක් ගැන සටහනක් . මාතෘකාවේ සුලෝචනා හා ජෝලීන්  කිව්වට,  ඒ දෙන්නා ගැනම නෙමෙයි  ඒ දෙන්නට අමතන කතුන් දෙදෙනෙක් ගැන තමයි ඇත්තටම කතාව .


කෙසේ වුවත් සිදුවී ඇති දෙය සමානයි . දෙදෙනෙක් අතරට තුන්වෙනියෙක් ඇවිත් .
මේ ලඟදි , අන්තර්ජාලයේ අහගෙන ඉන්නකොට පරණ ගුවන් විදුලි වැඩසටහනක් , අර බරට වගේ සැහැල්ලු දේ කියන සිංහල සර් , (ඔව් ඔව් එයා තමයි ) , ඔන්න හීන  අහුලන ගමන් කියනවා කණ  වැටුනා මරු කතාවක් . ඔහු කියනවා අග මෙහෙසියට ප්‍රශ්නයක් වෙන්නේ අන්තඃපුරයට අලුතෙන් කෙනෙක් රැගෙන ආවිට  නෙමෙයි , තව කෙනෙක් අග මෙහෙසිය කරගන්න හැදුවොත් කියලා .. ඒත්  ඒ රජවරුන්ටනේ , අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ට ඉතින් ඉන්න එකත් කලමනාකරන්න අමාරුයි සමහර වෙලාවට , කොහෙද තව අන්තඃ පුරයක් තිබුනා නම් .


ඒ වුනාට අදහස පැහැදිලියි නේ ?


හරි නැවතත් කතාවට යොමු වෙනවානම් , ඔබට මතකද දන්නේ නෑ  ඩොලී  පාර්ටන් …. පරණ අයට  නම් මතක ඇති… (ඒ කාලේ නම් කිව්වේ , මොනවා වුනත් හොඳ පපුවක් තිබ්බ ගැහැනියක් කියලා ) එයා තමයි ගයන්නේ පලවෙනි සින්දුව . ඇය කොටින්ම කියන්නේ මෙන්න මේ වගේ දෙයක්


දනින් වැටෙනු ඇත
ඔබ දෙපා අබියස
රජ වරුන්   සිටුවරුන්
රුපුන් යුද දිනු සොඳ
විරුවන්
කළාක්  සේ දඹ රනින්
රුව ඔබේ
කුමරියේ
වසඟයට නොගන්නේ
කවුරුන්


ඒත්  මට සිටින්නේ
මගේ හද සොරා ගත්
එකම එක
එකම එක
කිඳුරෙක්
ඔබ වසඟ රැහැන්  පට
දිය කරනු
නොහී  මට
සප්ත සයුරක් කඳුළු
හෙලුවත්


ඉදින්
මා කිඳුරා ව
දෙන්න  
ඔහු  කිඳුරියට
ඔහු අයිති නොකරගන්
ඔබට හැකි නිසාවට



මෙන්න සින්දුව


හැබැයි සුලෝචනාට , අමරා රණතුංගයන් කියන්නේ එහෙම නෙමෙයි .





"එක කිරුළක් අපිට පළඳින්න බෑ  . එකම සිහසුනේ ඉන්නට බෑ , අප දෙදෙනාටම එක රජ දහනක රජ වෙන්නට බෑ …. " කියා ඈ  කීවත්, ඈ  කියනවා ඊලඟට
."නමුත් මගේ කඳුල ඔබේ සිනහවක් වෙද්දී , ඔබ ලත වෙන්න එපා මේ ගැන , රජ දහනත් කිරුළත් ඔබට පවරා මම ඉවත් වෙන්නම් දුක සිතේ දරා .. "


මට හිතෙනවා මෙතන කියවෙන කතාව සාම්ප්‍රදායික ආසියාතික ගැහැණිය හා නුතන ගැහැණිය අතර කතාව දෝ  කියා  . තමන්ට අයිති දේ වෙනුවෙන් සටන් වදින, සම තැන (නිසි තැන නොව ) ඉල්ලන  නුතන කාන්තාවට වඩා වෙනස්  සාම්ප්‍රදායික ගැහැණිය දුක කන්දක් තරමට ඉහිලුවාය .  ආසියාතික දර්ශනයෙන් නැමුණු සිතෙහි නැගුනු ඒ දුක්, කරුණාවෙන් , උපේක්ෂාවෙන් ම දිය කර  හැරියාය  . බත් හැළිය  ස්වාමියාට හා දරුවන්ට කැමැත්තෙන්ම බෙදා  දී ඈ  දන්කුඩ කෑවාය.  මහමෙරක් තරමටම දුකක් උහුලන්න ධාරිතාවක් , ඒ ගිනි නිවා ගන්නට කරුණාවක් ඈ  හිත තුළ  තිබුනේය  .
අම්මලා මතු බුදු වෙන්නේ ඒ නිසා වෙන්නට ඇති . අම්මලා පමණක් නොව ඒ ඌරුව ළඳකට ටිකෙන් ටික , ලපටි අවදියේ සිටම කාන්දු වෙන්නට ඇත . ප්‍රේමයේ විරහව වුව බාර ගන්නට ඈ  සිත හයිය එලෙස ආවාදෝ මට සිතේ


පලි
වරදවා තේරුම් ගන්න එපාමය  , ගැහැනුන් දුක් විඳිය  යුතු යයි කියන එක නෙමෙයි මා කියන්න හැදුවේ  . මටත් ඉන්නේ දුවෙක් නිසාවට , මමත්  අකැමතියි ඇයට විඳවන්නට  වෙනවාට . නමුත් මා ලියන්නට සැදුවේ , සමහර විට අපි පහත් කොට සලකන දේ තුල එතනින් එහාට ගිය ජීවන දර්ශනයක්  ඇතැම් විට ඇතැයි  කියාය .

14 comments:

  1. මම ඇහුවා අහම්බෙන් වගේ... ළඟදි ඔය සින්දුව ආර්ට් එකේ ගිය වෙලාවක... මං හිතන්නෙ ළඟදි කරපු මියුසික් විඩියෝ එකක්.. වෙන ගායිකාවක් කිව්වෙ.. ඒ උනාට මාර විදිහට වැදුන...

    අනේ මන්ද අප්ප.. අම්මලගෙ දුක් විඳීම ගැන පුදුම විදියට කල්පනා කරන කාලයක් මේක... ඒ විඳවීම නිසාම අපේ අම්ම මේ දවස්වල කායිකවත් මානසිකවත් අසනීපෙන්... ඒක උරුමයක්ද මන්ද... හැම ගැහැනියම අසීමිත විදියට ජීවිතය විඳවනවද මන්ද...

    ReplyDelete
    Replies
    1. මව් පදවිය කියන්නේ පාරමිතාවක්ද මන්දා

      Delete
  2. ඩොලි පර්ට්න්ගේ සින්දු බොහොම් සරළ ළොකු කතාවක් කියන ඒවා.. ගොඩාක් සින්දු එයාම ලියපුවා.. ඇත්ත හොඳ පපුවක් තියෙන මාත් ආදරය කරණ ගැහැණියක්..

    ඒත් ඉතින් අම්මලාට සමානවම පියවරුත් දුක් විඳිනවා, විඳවනවා නේද...?

    ReplyDelete
    Replies
    1. ලන්කාවේ පිරිමියි ගෑනුයි දුකට ප්‍රතිචාර දක්වන්නේ වෙනස් විදියට කියලයි මට හිතන්නේ.
      ආසියානු හා බටහිර සමාජ වල ඊට වෙනස්. පුද්ගලිකව මම කැමතියි පෙරදිග ආගමික චින්තනයෙන් මොලොක් උනු ජීවන ක්‍රමයට

      Delete
    2. JP සබඳ ඔබේ හද අංජලිකරණීයයි........!

      Delete
    3. නිරතුරු ගාතාව මිමිනුවත් ,වචනයේ තේරුම ගොස් සොයා ගන්නට සිදුවූවා.:)

      Delete
  3. අනේ මංද ජේපී...
    මේ වගේ සරල විදියට පේන සංකී"ර්ණ කතාවලට අමුණන්න වචන අපි දන්නෙ නෑ අය්යෝ...
    ඉංගිරිස් එක අහල නෑ...
    සිංහල එක අහල තියේ

    ReplyDelete
    Replies
    1. එහෙනම් අමුනන්නේ නැතිව අමුවෙන්ම අත අරින්න ගොඩ පිටින්, එතකොටනේ මේ ලියන වැඩෙ සම්පූර්ණ වෙන්නේ

      Delete
  4. Replies
    1. දීපිකා කියනවා....

      "අවසානේ සිද්ද උනේ.........
      මල් පොකුරක මලක් වෙන්න."

      Delete
    2. ඉවාන්- හොයාගෙන ඇසුවෙමි. එකම තේමාව
      මාතලන්-මේකනම් අන්තපුරයක් ගැන වගේ

      Delete
  5. හැබැ‍යි ජේපී, තමන්ගේ පෙම්වතිය වෙනෙකෙකු සමග යන එක උපේක්ෂාවෙන් දරාගන්න ගීත වැඩිපුරම තියෙන්නේ නම් පිරිමි පාර්ශවේ පැත්තෙන්.

    තමන්ගේ ස්වාමියා, දරුපවුල වෙනුවෙන් ඕනෑම දුකක් උහුලන්න ආසියාතික කන්තාව සූදානම් බව ඇත්ත. නමුත් එහි මූලික කොන්දේසි වලට ඒ කියන්නේ තමන්ගේ ස්වාමියා සහ දරුවන් වෙනුවෙන් ආසියානු කාන්තාව එහෙම උපේක්ෂාසහගත වෙන්නේ නැහැ කියන එකයි මට හිතෙන්නේ. අර සිංහල සර් කිව්ව කතාවෙත් ඇත්තක් තියනවා. තමන්ගේ තැන සහ පවුල රැකෙනවා නම්, සැමියාගේ තව සම්බන්ධයක් ගැන උපේක්ෂාසහගත වීමක් දකින්න පුළුවන්. හැබැ‍යි ඒ අර පවුල කියන එක පැත්තෙන් හිතලා මිසක් අනිත් කාන්තාවගේ පැත්තෙන් හිතලා කියලා කියන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. ඔව් සහ නෑ නේද . කෙස් වලු පටලා ගත්තත් මුලින් , කඩු පොරෝ ගෙන ගොස් අනෙකා කපා කොටා දැමු ගැහැනුන් නම් අල්පයක් නොවේද

      Delete
    2. මම නම් හිතන්නේ ඔය සිංහල සර් කිව්ව විදියට චින්තනයක් තියෙන්නේ සාමාන්‍ය ආසියාතික ගැහැනුන්ට වඩා බල අරගලයක යෙදෙන දේශපාලනික ගැහැනුන් කියල. තමුන්ගේ තැන රැකෙනවා නම් අනික් මොනවා උනත් සද්ද නැතුව ඉන්න ගැහැණු අපි ගොඩක් වෙලාවට දකින්නේ නරකින්මයි. ඒ කියන්නේ අනුලා බිසව වගේ. එක්කෝ දෝනකතරිනා වගේ.

      ආසියාතික ගැහැණු තමුන්ගේ සියල්ල ගොඩනගන්නේ සැමියා වටේ සහ දරුවන් වටේ. ඒ තමයි අපි කවුරු මොන තර්ක ඉදිරිපත් කලත් දැනට තියෙන ඇත්ත. සමතැන, නිසිතැන ගැන මොනතරම් බෙරිහන් දුන්නත් ආසියාතික ගැහැණු තාමත් ගෙදර මුදුන් ලීය වගේ ශක්තිමත්.

      සුලෝචනා ගීතය නම් මට හිතෙන්නේ ප්‍රේම හබයක් මිසක් පවුල් හබයක් නෙවෙයි. ඒ හින්ද ' විවාහක බිරිය' සුලොචනාට කියනවා වෙන්න බැහැ කොහොමත්ම, මොකද තාම අපි සම්ප්‍රදායික රාමුවේ ඉන්නේ. ' ඔහේගෙනම් ඔහේ ගන්න ' කියල තමුන්ගේ සැමියා වෙන කෙනෙක්ට පුදන්න සුදානම් නැහැ ආසියාතික සම්ප්‍රදායික ගැහැනියක් උනත්.. ඒ හින්ද පොඩ්ඩක් විතර සංසන්දනයේ අවුලක් ඇතිය කියල මට හිතෙනවා...

      මම කාන්තා පරපුරේ දෝංකාරය වෙයිද දන්නේ නෑ මෙව්වා කියල.. හි.. හි..

      Delete

Have commented