04 June 2016

බන්දු බාස් කී දේ ජෝන් බාස් කීම

පාසැල් යන අවධියේ මටත් තිබ්බා හීනයක්,  දොස්තර කෙනෙක් වෙන්න . ඇත්තටම ඒක මගේ හිතට හිමින් සැරේ කාන්දු කෙරු මගේ අප්පච්චිගේ හීනයක් .. ඒක ඔහුට ළඟා කර නොහැකි වූ ඔහුගේ හීනයක් .. එහෙම බලන කොට මිනිස්සු ඉපදෙනවා , ජීවත් වෙනවා , මැරෙනවා ඒත් හීන අමරණීයයි ... 
කොහොමෙන් කොහොම හරි අප්පච්චි ලෙඩවෙලා මියැදුනා  මම දොස්තර කෙනෙක් උනේ නෑ . 

ඒ හීනේ පැත්තකින් තියලා,  ඔප්ෂන් බී එක පස්සේ දුවලා, ඒකත්  අසාර්ථක උනාම , හීන රෝල් කරලා පැත්තකින් තියලා  ( දන්නා සම්බන්ධතා , වාසනාව, දන්නා ඔක්කොම සෙල්ලම් එකට ගුලි කරලා පාවිච්චි කරලා ) මම ජීවත්වෙන්න රස්සාවක් හොයා ගත්තා . ටික දවසක් යනකොට ඔන්න ටිකෙන් ටික අලුත් හීන හිතේ මෝදු වෙන්න පටන් ගත්තා .  එයින් එකක් තමයි වාහනයක් ගන්න  එක . සේවය කලේ බැංකුවක නිසා නියමිත සේවා කාලය සම්පුර්ණ වුනාම වාහන ණයක්  ගන්න හැකියාවක් තිබුනා .  මෝටර් බයිසිකලයකට රුපියල් පනස් දාහක් , රෝද හතරේ වාහනේකට රුපියල් එක ලක්ෂ විසි දාහක් . ... "ගන්නවානම් රෝද හතරක්ම ගනින් " එහෙම තමා හැමෝම කිව්වේ ...හිනා වෙන්න එපා .. මේ දෙදාහේ මුළ ... හොඳ වාහනයක් තියා හොඳ ඇලොයි වීල් සෙට් එකකුයි ටයර් හතරකුයි දා ගන්නවත් බෑ .  මේ වෙනකොට මම විවාහ වෙලා , පොඩි උසස් වීමකුත් ලැබිලා. සම මට්ටමේ හැමෝම වාහන ගන්නවා . අර පරිස්සමට පස්සේ සලකා බලන්න  පැත්තකින් තිබ්බ හීනේ , විටෙන් විටෙ ඉඟි මරනවා .  ඉතින් අප තීරණය කළා , වාහනයක් ගන්න .

ඒත් පලවෙනි ප්‍රශ්නය, වාහන ගැන මගේ  දැනුම . 
අපේ ගෙදර පොඩි කාලේ තිබ්බේ මෝටර් සයිකලයක් පමණයි .  ඉදින් මාගේ වාහන ගැන දැනුම ඉතාම අල්පයි . අපේ රැහේ එවුන් සමග වාහන බලන්න ගිහින් . බොඩියට තට්ටු කර කොරෝෂන් ගැන පේන බැලීම , දුම් බටයෙන් වතුර වැක්  කෙරේදැයි බැලීම,  වැනි සුළු සුළු ශාස්ත්‍රයන් දැන සිටියද හොඳ වාහනයක් ද , ලඩිය ක් දැයි තීරණය කිරීමට එය ප්‍රමාණවත් නොවීය .  මා ask a friend ඔප්ෂන් එකද ඉවත ලෑවේ , උන්ගේ වාහන ගැන දැනුමද මා දන්නා නිසාය .  

මේ සිරසේ Automobile නමින් වැඩසටහනක් පටන් ගත් කාලයයි . වාසගමට  අගින් "ය " යන්නක් හා  හල් නයන්නක් (න් ) දා ගෙන අලවත්ත බණ කියන්නට පටන් ගත්  සමයයි . . ඉතින් හිතවතෙකු ගේ මාර්ගයෙන් ඉරිදා උදේ ඔබ්සවර් පත්තරේ ඇති වාහන බැලීමට යාමට මමද (අලවත්ත ගේ වදන් අනුවම )  පළපුරුදු කාර්මිකයෙකු සොයා ගතිමි . ඒත්  බන්දු බාස් , අලවත්තයන් මෙන් නොව , කතාබහ ඉතාම අල්පය, කල්පනාව වැඩිය . අප යන්නේ ඔහුගේ මෝටර් සයිකලයේය, පෙට්‍රල් මා ගානේය .  හවස තුනට විතර වැඩේ නිමවේ . ඉන්පසු අපි ගොස් ෆ්‍රයිඩ් රයිස් එකක් කා , බොහෝ දින වල ඇඟට පෙට්‍රල් ද ගහගෙන විසිර යන්නෙමු . 

අතේ තියෙන ගානට අහුවෙන්නේ අවුරුදු පහළොවක් විතර පරණ වාහනය . පත්තරේ තියෙන "trad sunny" , "corolla පෙට්ටි මොඩල්  (e80) ",  "Lancer ඒස්පී මොඩල්"  වාහන පිටුපස අපි හඹා ගියෙමු . ඒත් බොහෝ විට හොඳ වාහනයකට අතේ තියෙන ගාන හරස් වේ , අතේ තියන ගානට හරියන වාහනය අබලන්ය . මම හදිස්සි වී ලඩයකට කර තියන්න හැදුවොත් බන්දු මට ලංවේ 

"සර් , මේ වාහනේ සර්ට ගැලපෙන්නේ නෑ " ..... ඒ බන්දුගේ හැටිය 

මේ වෙනකොට මගේ හිතේ හීනියට තව පොඩි ආසාවක්  දළු ලමින් තිබුණි . දොස්තර කෙනෙක් වෙන්න බැරිවුණ එකේ ඩොක්ට සනියක්වත් ගැනීමය . මම එක ඉරිදාවක් ඩොක්ට සනියක දැන්වීමක් සලකුණු කර ගතිමි . අපි වාහනය බලන්නට ගියෙමු . අපි වාහනය බැලුවෙමු . වාහනය කොටින්ම කියනවා නම් එලය .

මම බන්දු දෙසට හැරුනෙමි . 

"බන්දු මොකෝ කියන්නේ ?"

" වාහනේ හොඳයි "

" ඔෆර් එකක් දෙන්නද ?"

" සල්ලි තියෙනවද?"

" ඔව් හදිසියකට ඉතුරු කරපු ගාණක් තියෙනවා "

(ඔහු පසුව මට කී පරිදි , ඔහු අමතර කොටස් වල මිළ  ගණන් , මෙන්ම හදිසියකට ඇති මුදල වාහනයකට යට කිරීම ගැනද සිතුවෙලු ) 

" සර්,  මේ වාහනේට සර් ගැලපෙන්නේ නෑ  " 

පලි :

ගිය සතියේ ජෝන් බාස් කියූවේ , සුදුසු එකයි නුසුදුසු එකයි ඔක්කොම වාහන ගන්නවා කියලාය . මොහු ගේ කීම පිටිපස්සේ බන්දුගේ කියමන පිටු පස්සේ තිබු සිතුවිලි තිබුනේද නැද්ද නොදනිමි . පොඩි කාලයේ මා  අසා තිබුනේ කොමියුනිස්ට් රටවල වාහන දෙන්නේ ඕනේ එකාට විතරයි කියාය . අරුමය ධනවාදයේ ධජය ඔසවා ගෙන යන යූ ඇන් පී ය  , සමාජ වාදය ඔස්සේ ධනවාදී ඉලක්ක කරා යාමය . ඊටත් වඩා අරුමය සමාජ වාදී පක්ෂ ඊට විරුද්ධ වීමය. 

නමුත් ඒ කියමන නිසාම , මේ ගැන බොහෝ කතාබහක් ඇතිවිය . මිනිස්සුන්ගේ හීන ගැන අයෙක් කතා කලෝය . මට අපේ අප්පච්චි, ඔහුගේ සිහින සිහිවිය. මට මගේ හීන සිහි  විය . ඒවා ඉටු වෙන විට හිතට ලැබුණු ආශ්වාදය මෙනෙහි කලෙමි . එයම ආශ්වාදයක් විය . අප බොහෝ විට හීන පස්සේ යන්නේ ඒ ආශ්වාදයට ඇති ලොලටම නොවේදැයි සිතුවෙමි. ඉන්පසු බන්දු මතක් විය . (වසර කිහිපයකට පසු ඔහු දිවිය අවාසනාවන්ත ඉරණම් කිහිපයකට මුහුණ දුන්නේය . ඇසට කඳුලක් නැගුණි .) 

ගරාජ් එකේ බන්දු බාස්  සහ පාර්ලිමේන්තුවේ  ජෝන් බාස් කී දේ අතර ඇති සම්බන්ධතාවය මෙන්ම වෙනසද දැනුනි .. 
එහි මොකක්දෝ ලොකු අවුලක් ඇති බවක්  දැනේ 

13 comments:

  1. ජොන් බාස් කිව්වේ ඇත්තද බොරුද කියලා බෑන්ක්ස් වලින් ෆිනෑන්ස් කොම්පැනි වලින් ලීසින් කොම්පැනි වලින් ඇහුවා නම් කියයි... ඔය ආයතනවල වාහන යාඩ් වල වාහන කොයි තරම් තියෙනවද....?

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.
      ඒත් තමන් වෙනුවෙන් හැම දෙයක්ම තීරනය කරපු ඒකාධිපතියෙක් පන්නලා ඒකාධිපතියෝ ගොඩක් ඇවිල්ලද කියලා හිතෙනවා.

      වාහනයක් ගන්නේ මිනිස්සු ශෝ එකටම නෙමෙයි. ගමනක් යන්න හරිහමන් විදියක් නැති නිසා නේ . විය යුත්තේ පිලිගත හැකි විකල්පයක් පිහිටුවා ඒ සමගම මෙය කිරීම නොවෙද

      Delete
  2. Toyota AE 100 එකෙන් එහා වාහනයක් මිලදීගැනීමට තරම් මා තවම සුදුස්සෙකු නොවෙමි. ඒ නිසා පාඩුවේ තියෙන එක පැදගෙන හිඳිමි. ඒක නැවත මතක් කර දීම ගැන ජෝන්බාස්ට ස්තුති වන්ත වෙමි.

    ReplyDelete
    Replies
    1. මම කැමතිම වාහනයක්. කාලයක් හිතේ තිබුනු පසුව සැබෑ වු දැනටත් මෙනෙහි කර කර ආශ්වාදයක් ලබන හීනයක්

      Delete
  3. Replies
    1. ස්තුතියි ඔත්තුවට

      Delete
  4. Replies

    1. අරු , මෙන්න ඊට ලැබී තිබු පිළිතුර :

      ඔබේ නමට ශ්‍රී අකුරක් අන්තර්ගතව ඇති බැවින් ඔබේ උපත ලියාපදිංචි වී ඇත්තේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නොව මෝටර් රථවාහන ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේය.එම නිසා ඔබට සමාන්ය පුරවැසියෙකුට හිමි වරප්‍රසාද හිමි නොවේ.. තවද ඔබ වසරකට වරක් දුම් පරීක්ශාවකට ලක් විය යුතු අතර වලංගු බලපත්‍රයක් හා රක්ෂණ ආවරණයක් නොමැතිව මහා මාර්ගයේ ඇවිද යාම දඬුවම් ලැබිය හැකි වරදකි.

      Delete
  5. මගෙත් හීනයක් ඕක.මේ යන විදියට නං සදාකල් හීනයක් තමයි

    ReplyDelete
    Replies
    1. සමහර හීන , වඩා රස හීන විදියට තියෙනකන්

      .... අදාළ නෑනේ නේද :)

      Delete
  6. කාර් කතා ජොලි කතා.

    මට නම් 2000 ඔක්තෝබරයේ සිට කාර් වාසනාව තියෙනවා.

    ReplyDelete
    Replies
    1. අනේ වාසනාවන්

      Delete
  7. දොස්තර කෙනෙක් වෙන්න බැරි වෙච්ච එකේ දොස්තර සනියක්වත් ගන්න නේද?

    ඔය ජාලිය කියපු ෂෝ එකට, එතකොට ගමන් බිමන් යන්න වගේ කාරනා ඇරුණාම තවත් ප්‍රභල කාරණා තියෙනවා. එකක් pure driving pleasure.

    ReplyDelete

Have commented