29 July 2016

සුද්දාගේ රටේ සිංහලෙන් කතා කිරීම // keeping the flag flying

පෙ . ලි 
මේ සටහන කාලයක්  සිතන, එත් ඒ ගැන සිතුවා මදියැයි සිතුනු   නිසාම නොලියු,   තේමාවක් සම්බන්ධවය . 

එය පළ කිරීමට ආසන්නම හේතුව  රසිකොලොජිස්ට් ලියු මේ සටහන විය  (http://rasikalogy.blogspot.hk/2016/07/english-or-singlish.html.) . රසිකගේ අදහසට මම සම්පුර්ණයෙන්  එකඟ නොවෙමි . නමුත්  සත්‍යය සාපෙක්ෂයයිද සැම දෙයකම තුන් පැත්තක් ඇතැයි  මම ඉදුරා විශ්වාස කරමි . මේ සටහන මතයක් ඉදිරිපත් කිරීමේ චේතනාවෙන්ම ලියමි . එමෙන්ම මෙය ඇඟිල්ල දිගු කිරීමකට වඩා , කැඩපතකට එබී බැලීමක් ම වේ. එය වටහා ගැනීමේ හැකියාව රසිකලොජිස්ට ඇති බව දනිමි.  
අනෙක් අතට දිවි නිපුණතාවක් ලෙස බසක් ඉගැනීමේ අදහසට මේ සටහන විරුද්ධ නැත . නමුත් ඒ බස උගන්නේ , ලංකාවේදී අදහස් හුවමාරු කර ගැනීමටද , සිංහල පත පොත කියවීමටද , නැතිනම් ඊට වඩා මහා වූ කාර්යකටද යන්න මම ප්‍රශ්ණ කරමි 


***
ඉකුත් සති දෙකෙහි අපි සංචාරයක යෙදී සිටියෙමු . එක්තරා නගරයකදී , යාචකයෙක් අප ලඟට පැමිණ , දින ගණනාවකින් නොකෑ  බවත් , මාරු සල්ලි තිබේ නම් ඔහුට දෙන ලෙසත් ඉල්ලා සිටියේය .

මද වෙලාවකින් මා දියණිය කීවේ , ඉංග්‍රීසියෙන් කෙනෙක් හිඟමන් ඉල්ලීම ඈ  කම්පනයට පත් කළ  බවයි . ඈ  මෙය කීවේ  "ඒ රටේ හිඟන්නෝ හිඟා කන්නෙත් ඉංග්‍රීසියෙන් " වැනි කියමනකට වඩා වෙනස් අරුතකින් යයි දන්නා බැවින් මම ඊට හේතුව ඇසුවෙමි .

ඈ කීවේ ලංකාවේ හිඟන්නෝ සිංහලෙන් කියන බොහෝ දේ ද , අපි ජීවත් වෙන හොං  කොං  හි හිඟන්නෝ කැන්ටන් බසින් කියන දේද ඇයට නොතේරෙන මුත් , මේ ආයාචනය මුළු මනින්ම ඇයට වැටහුණු නිසා බැවින් කියාය .

***

ඔන්න මීට දශක ගානකට පස්සේ , අඟහරු ග්‍රහයාගේ ජනාවාස ඇතිකරන්න හැකියාවක් ආවාලු  .
. හැම රටකින්ම ජෝඩු දෙකක් තෝරා ගෙන අඟහරු ග්‍රහයාගේ පදිංචි කළා ලු . කාලයාගේ ඇවෑමෙන් , ඒ මිනිස්සු ඒ ජීවිතයට හුරුවුනාලු . වගා කරගෙන , දරු මල්ලෝ හදා ගෙන ජීවත් වුනාලු . ලංකාවෙන් ගිය පවුල් දෙක තම සම්බන්ධතාවය දිගටම පවත්වා ගෙන ගියා ලු.  මින් එක පවුලකට  දරුවන් ලැබෙන්න ටිකක් කල් ගියා ලු . කොහොමෙන් කොහොමෙන් හරි , තම බිරිඳට දරුවෙක් ලැබෙන ආරංචිය කියන්න ඒ සැමියා අනෙක් අයගේ නිවසට ආවා ලු . ඇවිත් අහනවා ලු " අයියේ දැන් පොඩි එකා ඉපදුනාම ගෙදර කතා කරන්න ඕනේ සිංහලෙන් ද ?" 

***

මේ අවකාශයේ ලියන , හැසිරෙන , ඇතැමෙක් එතෙර වෙසෙන්නෝය . එයිනුත් අප කිහිප දෙනෙකුගේම දූ දරුවෝ , එතෙරම ඉපිදී හෝ කුඩා කළ සිට එතෙරම හැදී වැඩෙන්නෝය. බොහෝ විට උගන්නේද විදෙස් බසකින්මය . 


විදෙස් සමාජයක ජීවත් වෙන මුත් , එහි කොටසක් වීමට අපි  මදක් මැලිවෙමු . ඇතැම් විට ඒ සමාජය තුළ අපගේ අනන්‍යතාවය ගැන වූ ගැටළුවක් අපට ඇත  . (අනන්‍යතාවය පිලිබඳ ගැටලුව ඇත්තේ විදෙස් ගතවුන්ට පමණක්ම නොවේ ) . එහෙයින් අපට පුරුදු සංස්කෘතිය දිගටම පවත්වා ගෙන යාම තුලින් ඒ අනන්‍යතා ගැටලුව විසඳා ගැනීමට අපි තතනමු . (එතකොට ලංකාවේ සුද්දෝ වගේ ජීවත් වෙන්න හදන අය? ....ඒ සමාජ පන්ති ප්‍රශ්නයකි )

මිනිසෙකුගේ සංස්කෘතිය තමන් සිතන බස  සහ පය ගසා සිටින පොළව මත රඳා පවතී යයි මම විශ්වාස කරමි . 
ලංකාවේ ඉපිද , සිංහලෙන් හෝ දෙමළින් උගත් වැඩිහිටි අපි බොහෝ දෙනාගේ මව් බස සිංහලය නැතිනම් දෙමළය. අප ලියන්නේ , කියන්නේ , ඊටත් වඩා  අප සිතන්නේ ඒ බසින් ය. 

වෙසක් එකට දන්සැල් දෙමින් , අවුරුද්දට  රෙද්ද හැට්ටය ඇඳ  කොට්ටා පොර ගසමින් , නොස්ටෙල්ජියාව විඳීමට අමතරව ,  අප කරන්නේ මේ සංස්කෘතිය මෙනෙහි කිරීමය. එහි වරදක් නැත . 

නමුත් ඇතැම් විට අප දු දරුවන්ට ඒ සංස්කෘතිය බලෙන් ගිල්ලන්නට තනන්නේ දෝ යි  විටෙක සිතේ .  දිනපතා ඔවුන්ගේ ඇඟේ  නොවැදෙන සංස්කෘතියක් ඉගැන්වීමේ ඵලය කිම ? සංස්කෘතිය යනු , සමාජයක ඇවතුම් පැවතුම් ය , විශ්වාස හා ඇදහිලිය . ඒවා දැනුම පුළුල් කර ගැනීමට, දිවි නිපුණතාවක් ලෙස ඉගනීමේ කිසි වරදක් නැත . නමුත් මේ කරන බොහෝ දේවලින් අපි ඊට වඩා යමක් බලාපොරොත්තු නොවෙමුද ?
දිනපතා ඇඟේ වදින මහා සංස්කෘතියෙන් වියුක්ත , එය හා අනුගත නොවෙන , ජීවත් වෙන භූමිය  හා නොබැඳි උප සංස්කෘතියක් කර පිට පටවා ගැනීමට අප දරුවන්ට පිලිවනිද ? 

 (ඒ කියන්නේ රටක් වෙනස් කරපු තමන්ගේ ජාතිය ආගමත් වෙනස් කරන්න කියලද ?... ජාතිය හෙවත් ජාතකය යනු තමන් අයිති ගෝත්‍රය නොවේද ?.  ගෝත්‍රිකයෙක් , ගෝත්‍රයේ ගමෙන් දුරට ගෙන යන්නට යන්නට , ඔහු නැවත පැමිණීමේ සම්භාවිතාව අඩුවන්නට අඩුවන්නට , ජාතිය යන සංකල්පයේ තේරුම අහෝසි නොවෙන්නේද ? . නමුත් ආගම ඊට වෙනස් ය, සංකීර්ණය . එය ඊට වඩා දුරක් ඇදෙන රැහෙනකි . එය වෙනමම කතා කළ යුතු මාතෘකාවකි )

ආසියාවෙන් ඇලස්කාව ආශ්‍රිත පෙදෙසට සංක්‍රමණය වූ එස්කිමෝ/ ඉනියුට්  වරුන් ගැන සිතන්න . ඔවුන් ගේ සංස්කෘතිය ඔවුන් ජීවත්  වෙන බිම හා තදින් බැඳී තිබේ . ඔවුන් මුල් බිම් වලින් ගෙන ආ  සංස්කෘතිය , බස , විශ්වාස,  අහෝසි වී අලුත් දෑ ඒ වෙනුවට මතු වී ඇත . ඔවුන් පමණක් නොව , සියලුම ආදී වාසී ජන කොටස් වලට මෙය පොදුය . 99% ක්ම මේ ආදී වාසීන්  සංක්‍රමණිකයෝ  වෙති . කාලයාගේ ඇවෑමෙන් ඔවුන් ගේ සංස්කෘතිය, ඔවුන් කර පින්නාගෙන ආ  මුල් සංස්කෘතියෙන් වෙනස් වී , භූමියට උචිත ලෙස විකාශනය වී ඇත . හෝමෝ සේපියන් ලා සංක්‍රමික සත්ව කොටසකි . ඔවුහු අලුත් බිම් සොයා යාමේ සහ ඊට අනුකූලව හැඩ ගැසීමේ රුසියෝය . ඔවුන් යම් තැනක ලැගුම් ගත්  පසු මුලින්ම නිෂ්පාදනය කර ගන්නා දෙයක් වන්නේ , සංස්කෘතියය . එය තමන් ගෙනා දෙයින් තනා , අලුත් බිමේ පැළ කර , කාල අවකාශය තුළ  විකාශනය කර ගනිති . එය ඉතා කෙටි කලකින්ම , මුල් සංස්කෘතියෙන් ඉදුරාම වෙනස් හැඩයක් ගනී . නමුත් දිවයිනක හිරවී සිටි ලාංකික අපට මෙය නුහුරුය , අපහසුය .

මා සිතන්නේ සංක්‍රමික අපගේ සංස්කෘතිය සංක්‍රමික එකක් විය යුතු බවය. එහි හැඩ තල හරියටම මම  නොදනිමි . නමුත් එහි අපි ගෙන ආ දැනුම මෙන්ම , නව බිමට අනුගත වීමට අවැසි නිපුනතා ද අඩංගු විය යුතුයයි සිතමි  .  නව බිමේදී අපට අත්දකින්නට වෙන අනාගත අභියෝග වලට මුහුණ දීමේ ක්‍රමෝපායද  එහි අඩංගු විය යුතුය . උදාහරණ ලෙස අපගේ කතාන්දර,  දිවයිනක හිරවුවන්ගේ කතා වෙනුවට , නව දේශයන් සොයා යන්නවුන්ගේ කතා වලින් සමන්විත විය යුතුය . සිංහලෙන් හිම ගැන කතා ලියැවිය  යුතුය.  අමුතු රටක තනිවූ ගලිවරයන් ගේ වැනිවූ කතා අප සංස්කෘතිය තුළ  මැවිය යුතුය . අප විශ්වාස ...හ්ම් ...එය ටිකක් සංකීර්ණ ය , නමුත් වෙනස් විය යුතුය . 

අප දරුවන් හිතන්නේ ඉංග්‍රීසියෙන් නම් , රුසියන් බසින් නම් , චීන බසින් නම් , ඉතාලි බසින් නම්  අප කළ  යුත්තේ , උන්ට සිංහල උගන්වා , සිංහලෙන් සංස්කෘතිය කියාදෙන්නට යාම නොව ,  අපි කර පින්නා ගෙන ආ සංස්කෘතිය ගෙඩි පිටින්ම ප්‍රති නිර්මාණය කර  , අපගේ නොස්ටල්ජික ෆැන්ටසියන් සංසිඳුවා ගැනීම නොව , උන් සිතන බසකින් උන්ට අවැසි සංස්කෘතියක පාඩම් කියා දීමයයි මම සිතමි .

ඔබට හිතෙන දේ මේ සංවාදයට එක්  කරන ලෙස ඉල්ලමි  




27 comments:

  1. යමක් එකතු කරන්න තරම් තාම මෝරලා නෑ.. ඒත් ගතයුත්තක් තියෙන බව මොනවට පැහැදිලිය. අත්දැකීම් ඇති අය කියන දේවල් කියවන්න ආසාවෙන් ඉන්නවා

    ReplyDelete
    Replies
    1. මෙය ලියුවේ එවැනි අදහස් දැන ගන්නමයි

      Delete
  2. අප දරුවන් හිතන්නේ ඉංග්‍රීසියෙන් නම් , රුසියන් බසින් නම් , චීන බසින් නම් , ඉතාලි බසින් නම් අප කළ යුත්තේ , උන්ට සිංහල උගන්වා , සිංහලෙන් සංස්කෘතිය කියාදෙන්නට යාම නොව , අපි කර පින්නා ගෙන ආ සංස්කෘතිය ගෙඩි පිටින්ම ප්‍රති නිර්මාණය කර , අපගේ නොස්ටල්ජික ෆැන්ටසියන් සංසිඳුවා ගැනීම නොව , උන් සිතන බසකින් උන්ට අවැසි සංස්කෘතියක පාඩම් කියා දීමයයි මම සිතමි
    agree with u.

    ReplyDelete
    Replies
    1. ඔබේ අත්දැකීම් මදක් දන්නා නිසා ඔබේ අදහස් වැදගත් වේ

      Delete
    2. රංගිගෙන් අහන්න තිේ‍රන එක ප්‍රශ්නයක්. මට ඔබ කී පරිදි කුඩා කාලයේ දී ලංකාවෙන් පිටව ගිය ඔබට පසුව සිංහලෙන් ලියන්න සැබෑ උවමනාවක් ඇති වුණා නේද? ඒ ඇයි?

      ඇත්තටම පසුගිය වසර හත අට තුල ඔබේ සිංහල ලිවීමේ පුදුමාකාර දියුණුවක් අපට පේනවා!

      Delete
    3. රංගිගෙන් අහන්න තියෙන දෙවෙනි ප්‍රශ්නය.

      ලංකාවෙන් පිටව ගොස් ඉතාලියේ වෙසෙන යුවලක් තම දරුවන්ට ඉතාලි භාෂාවෙන් කතා කිරීම මගින් දෙමව්පියන්ට ඉතාලි භාෂාව ඉගෙන ගැනීමට ලැබීම මිස, දරුවන්ට වෙන අයහපතක් (එනම් වැරදි උච්ඡාරණ පුරුදු වීම) මිසි කිසි යහපතක් නෑ නේද?

      Delete
    4. රංගිගෙන් අහන්න තියෙන දෙවෙනි ප්‍රශ්නය.

      ලංකාවෙන් පිටව ගොස් ඉතාලියේ වෙසෙන යුවලක් තම දරුවන්ට ඉතාලි භාෂාවෙන් කතා කිරීම මගින් දෙමව්පියන්ට ඉතාලි භාෂාව ඉගෙන ගැනීමට ලැබීම මිස, දරුවන්ට වෙන අයහපතක් (එනම් වැරදි උච්ඡාරණ පුරුදු වීම) මිසි කිසි යහපතක් නෑ නේද?

      Delete
    5. රසිකගේ ප්‍රශ්නයට උත්තර දෙන එක හරිම පහසුයි.
      මම ලංකාවෙන් ඈත් වුනා කියලා මම මගේ ගෙදරින් ඈත් වුනේ නෑ. මම සිංහලෙන් ඉගෙන නොගත්තයි කියන එක මට මගේ පවුල් සම්බන්දතා වලට බලපෑවේ නෑ.
      කල්චර් එකේ ඉසූස් එදා වගේම ඒ විදියටම අදටත් තියෙනවා. කොටින්ම ලංකාවේ මිනිස්සු එක්ක හැසිරෙද්දි මට ලොකු අපහසුතාවයක් අදටත් දැනෙනවා. ඒත් ඒක මගේ ගෙදරදි මගේ හිතවතුන් අස්සේදි අඩුයි. ඒ ඒ අය හා මා අතර තියෙන තේරුම් ගැනීම හින්දා. නැතිව මම පිට රටකදි හැදුන විදිය හින්දා කියලා මම මගේ දකින වරදක් නෑ. ( මගේ වැරදි ගැන නෙමෙයි )
      මම කාලයක් ගිහින් සිංහල ඉගෙන ගන්න ලංකාවේ කල්චර් එක ඉගෙන ගන්න ඕන කියලා දැනුනේ ලංකාවට ආවම දැනෙන අසරණකම හින්දා හා ඒ ඒ කාලවලදි හඳුනාගත් යාළුවන් හින්දා. (විසේසයෙන්ම සුනාමි ව්‍යසනයේදි ඒක ටිකක් තදට දැනුනා.) ඒත් එහෙම ඒ කල්චර් එකට ලංවුනයි කියලා අදටත් මට ලංකාවේ සමාජය හෝ වෙනස් ක්‍රමයකින් තේරෙනවා කියලා මට දැනෙන්නේ නෑ.
      ඇත්ත ඉස්සරට වඩා මගේ සිංහල බොහෝ දියුණුයි. ඒක ගැන මටත් සතුටුයි.

      Delete
    6. දෙවෙනි ප්‍රශ්නේ නම් කියන්න තරම් ශෝචනීයයි.
      මෙහේ අවුරුදු පහලොවක් විස්සක් ඉන්න ලංකාවේ මනුස්සයෙක්වත් ඉතාලි භාශාව කතා කරන්නේ නෑ. කතා කරත් කතා කරන්නේ නිවැරදි භාශාව නෙමෙයි. (මේකේ අසුබ පැත්ත මේක ආසියාතික රට වලට විතරක් වීම ) ඉතින් ඒක ගැන ඔබ කියපු බ්‍රෝකන් ඉන්ග්ලිස් කතාවයි එකයි. ඒත් අපි දන්න ක්‍රමයෙන් හරි පොඩි කාලේ ඉඳලා ළමෙකුට නිවැරදිව භාශාවන් උගැන්වීම වැදගත්. අනික ඒ ළමයි ඔය ටික කාලයක් අම්මලා තාත්තලා පස්සේ ගිහින් ලංකාවේ කල්චර් අස්සේ ගියාට ලොකු වුනාම එයාලට ඒකෙන් වැඩක් නෑ. මොකද ඔවුන් මික්ස් වෙන්නේ ඔවුන්ගේම ජෙනරේසන් එකක් එක්ක හින්දා. ඔවුන් ලොකු උනාමත් ඔවුන් ලංකාවට යනවා කියලා එකක් වෙන්නේ නෑ.
      අනික මෙහේ බොරු බිස්නස් මිසක් නියම විදියට සිංහල උගන්වන ආයතණ තියෙනවා කියලා මම හිතන්නේ නෑ. ඉතින් මම නම් හැMඅවෙලේම ට්‍රයි කරන්නේ රජයේ පිළිගත් ආයතණ වලට ළමයින්ව ඇතුලත් කරවන්න. ඒවයේ ඉගැන්වීම ගැන සැහෙන ලොකු ගරුත්වයක් මට තියෙනවා. විවිධ භාශාවන් වුනත් එහෙමයි. මෙහේ අධ්‍යාපන ක්‍රමය හරිම පහසුයි වෙහෙසකර නෑ. ඉතින් ඕන කෙනෙකුට ඒකට ඇඩප්ට් වෙන්න පුළුවන්.
      මගේ පොඩි එවුන්ට මම පොඩි කාලේ ඉඳන් ඉටලියන් වලින් කතා කලේ. ඒ වගේම ඉන්ග්ලිස් වලින්. එයාලාගේ අම්මලා තාත්තලා සිංහලෙන්. එයාලා කිසිම ප්‍රශ්නයක් නැතිව පොඩි කාලේ ඉඳන්ම ඒ ඒ භාශාවන් වලට හුරු වුනා. හැබැයි අදටත් මට සිංහලෙන් කතා කරන්නේ නෑ. දැන් එයාල ලොකු හින්දා දන්නවා මාත් සිංහල දන්නවා කියලා. ඒත් ඔවුන්ට පහසු මම මුලින් කතා කරපු විදියමයි.

      Delete
  3. ජාලිය මේ වගේ ලිපියක් ලියලා තියෙනවා දැක්ක මතකයක් මට නෑ. මේ ගැන මමත් දරන්නෙ වෙනත් මතයක් නිසා මම මොනවත් කියන්න ගියේ නෑ.

    ඔය සම්බන්ධව අපිටත් මතයක් තියෙනවා. ඒ වගේම අපි අනුගමනය කරපු ක්‍රියාමාර්ගයකුත් තියෙනවා. ඒ වගේම වැදගත්ම දේ, අනිත් උන් මොන මත දැරුවත්, මොන දේ කිව්වත් අපි කවදත් කරන විදියට අපිට ඕනෙ දේ කලා, නමුත් ඒ තීරණය හරි බව අපිට ඇස් පනාපිට සාක්කි ඇතුව ඔප්පු වෙලා තියෙන නිසා අපි ජීවිතය නැවත අන්ඩූ කරලා මුල ඉඳන් නැවත ජීවත් වුනත් ගන්නෙ අපි කලින් ගත්ත තීරණයමයි. වෙනස මේ පාර දෙපාරක් හිතන්නෙත් නැතිවීම විතරයි.



    ReplyDelete
    Replies
    1. ඩුඩ් දැනගන්න කැමතියි කියන්න කැමතිනම්. මෙතැන හෝ පුද්ගලික පනිවිඩයක් ලෙස හෝ

      Delete
  4. ජාලිය,

    මේ ලිපියට ඉතා ස්තුතියි. මා ලියූ ඒ ලිපිය සෑහෙන්න කතා බව වුණු එකක්. ෆේස්බුකියෙනුත් සෑහෙන්න පිරිසක් කියවා ෂෙයා කර තිබුණා.

    ඔබේ මෙහි දක්වා ඇති අදහස් සහ මගේ අදහස් අතර ඇති නොගැලපීම් (හෙවත් ඔබේ අදහස්වල ඇති හිල්!) මෙන්න.

    1. මගේ කතාවේ තිබුණු මූලික අදහස වුනේ ඒ මිතුරු යුවලගේ පුතා ඉංග්ලිෂ් තමන් වෙසෙන පරිසරයෙන්, පාසලෙන් ඉඝෙන ගනීවි, අපේ කැඩිච්ච ඉංග්ලිෂ් උගන්වන්න යන්න එපාය කියන එකයි.

    2. අප වෙසෙන මේ අලුත් පරිසරය ඔබේ අඟහරු ලෝකයේ උදාහරණය වගේ එකක් නොව එහි අනෙත් අන්තයේ තියෙන එකක්. අද ලෝකය සෑහෙන්න මිශ්‍ර එකක්. ඒ නිසා බහු භාෂා නිපුනත්වය සෑහෙන්න වටිනවා.

    3. පරම්පරා ගණනකින් පසුව සිදුවෙන වෙනස්කම් අපට වලක්වන්න බෑ. ඒ වෙනස ස්වභාවිකයි. නමුත් ඒ ගැන සිතා, ඒ වෙනසට අද සිටම කෙලින් ම දායකවීම නම් කෘතිමයි නේද? මං කියන්නේ වෙනස කාලයත් එක්ක සිදු වේවි. අපි ඒ වෙනස ඉක්මන් කිරීම අස්වාභාවික දෙයක් කියන එකයි.

    ReplyDelete
    Replies
    1. රසික , අපි ඉදිරිපත් කරන හැම තර්කයක්ම සර්ව සම්පුර්ණ නැති නිසා , ඒවායේ හිල් තිබීම අරුමයක් නොවේ . නමුත් ඔබ මාගේ අදහස හරි හැටි වටහා ගෙන නැති බවද , මා මතු කළ මුලික කරුණ අතහැර ඇති බවද පෙනේ . සිංහල , භාෂා නිපුණතාවක් ලෙස ඉගනීමේ වරදක් නැති බව මම දක්වා ඇත්තෙමි .

      මම මතු කරන්නේ
      "අපේ කම " බලෙන් ඉගැන්වීම පිලිබඳ වයි.
      ඒ පිටුපස ඇත්තේ ගෙන ආ පොට්ටනිය තව පරම්පරා ගණනාවක් එලෙසම ගෙනයාමේ ( අලස බව, නොහැකියාව , වෙනස් වීමට අකමැත්ත නිසා වෙන් දෝ ) වුවමනාව නිසාදෝ යන පැනයයි .
      බස හුදෙක් අදහස් හුවමාරු කර ගැනීමට පමණක් නොව , එය සංස්කෘතියේ පදනමේ කොටසක් යයි මම සිතන බවය . මිනිසෙක් සිතන්නේ තම මව් බස ඔස්සේය යන්නයි ( මෙය දැන් දැන් ඉගැන්වීමේදීත් සලකා බලනවා ) .
      සිංහල ඉගැන්වූ පමණින් මේ දරුවන්ගේ "මව් බස " සිංහල නොවන බවය .
      ඔවුන්ගේ සංස්කෘතිය ලාංකිකද නොවන , අලුත් බිමේ සංස්කෘතියද නොවන , සංක්‍රමික සංස්කෘතියක් වන බවයි .

      මෙය ලාංකිකයන්ට පමණක් නොව තම උපන් රටෙන් විත් වෙන රටක දිවි ගෙවන ඕනෑම ජන කොටසකට පොදුයි. ලාංකිකයන්ව උදාහරණයට ගත්තේ මට වඩා පහසු වෙන් විස්තර කල හැකි නිසායි

      Delete
    2. ෆාස්ට් ෆොර්වර්ඩ් කිරීම මෙන්ම , වෙනස් වීමේ වේගය අඩුකරන්නට පිටි අතට හබල් ගෑම ද කෘතීම යි නේද ?
      මා සිතන්නේ සංස්කෘතියක් තුළ ඉබේ පරිනාමයෙන් ඇතිවන මෙන්ම වුවමනාවෙන් ඉන්දන ගුණාංග ද ඇති බවය ( කෘෂි කාරිමික සමාජයක , සත්ව කරුණාව මෙන්ම දඩයම් සංස්කෘතියක නෑ යකුන් පිදීම )

      Delete
  5. ඔය අඟහරු ලෝකේ උදාහරණය මට සිහි කළේ ආතර් සී ක්ලාක් ගේ රාමා-II නවකතාවයි!

    ReplyDelete
  6. ජාලිය,

    මේ ලිපියට ඉතා ස්තුතියි. මා ලියූ ඒ ලිපිය සෑහෙන්න කතා බව වුණු එකක්. ෆේස්බුකියෙනුත් සෑහෙන්න පිරිසක් කියවා ෂෙයා කර තිබුණා.

    ඔබේ මෙහි දක්වා ඇති අදහස් සහ මගේ අදහස් අතර ඇති නොගැලපීම් (හෙවත් ඔබේ අදහස්වල ඇති හිල්!) මෙන්න.

    1. මගේ කතාවේ තිබුණු මූලික අදහස වුනේ ඒ මිතුරු යුවලගේ පුතා ඉංග්ලිෂ් තමන් වෙසෙන පරිසරයෙන්, පාසලෙන් ඉඝෙන ගනීවි, අපේ කැඩිච්ච ඉංග්ලිෂ් උගන්වන්න යන්න එපාය කියන එකයි.

    2. අප වෙසෙන මේ අලුත් පරිසරය ඔබේ අඟහරු ලෝකයේ උදාහරණය වගේ එකක් නොව එහි අනෙත් අන්තයේ තියෙන එකක්. අද ලෝකය සෑහෙන්න මිශ්‍ර එකක්. ඒ නිසා බහු භාෂා නිපුනත්වය සෑහෙන්න වටිනවා.

    3. පරම්පරා ගණනකින් පසුව සිදුවෙන වෙනස්කම් අපට වලක්වන්න බෑ. ඒ වෙනස ස්වභාවිකයි. නමුත් ඒ ගැන සිතා, ඒ වෙනසට අද සිටම කෙලින් ම දායකවීම නම් කෘතිමයි නේද? මං කියන්නේ වෙනස කාලයත් එක්ක සිදු වේවි. අපි ඒ වෙනස ඉක්මන් කිරීම අස්වාභාවික දෙයක් කියන එකයි.

    ReplyDelete
  7. ළිං මැඩි ගතිය ළිදෙන් අරගෙන වෙන රටකට පැටෙව්වා කියලා එක පාරට අරින්න බෑ... විශේෂයෙන් ආහාර සංස්කෘතිය... මම නම් හිතන්නේ ඕක මානසික ලෙඩක්.. ඉන්නේ ඔස්ට්‍රේලියාවේ.. ඔස්ට්‍රේලියන් සිටිසන්ලා.. ඒත් ලංකාවයි ඔස්ට්‍රේලියවයි ක්‍රිකට් ගහන කොට සිංහ කොඩියක් උස්සගෙන සිරි ලංකා ක්‍රිකට් ටී එකක් ගහගෙන ඇර ඕකට ඇරෝ කියනවා.. මට හිතාගන්න බෑ මොකාටද අරින්න කියන්නේ කියලා..

    එක රටකට නෙමෙයි රටවල් දෙකකටම ද්‍රෝහී මිනිස්සු...

    ReplyDelete
    Replies
    1. මාතා

      මම හිතන්නේ මීට ටිකක් වෙනස් විදියට , අපි සංක්‍රමිකයන් වූ ගමන්ම අපේ රට , ජාතිය පිලිබඳ සංකල්ප වෙනස් විය යුතුයි . ලිහිල් විය යුතුයි . ගෝත්‍ර වාදිත්වයෙන් වෙනස් විය යුතුයි . ක්‍රීඩාව යනු ගෝත්‍ර වාදයේ තවත් එක අවුට් ලට් එකක් ද කියා මම කල්පනා කරමි . කණ්ඩායමකට පාක්ෂිකත්වයක් නැති , ක්‍රීඩා ලෝලිත්වයක් නැත . ලෝලීන් නැති තැන ක්‍රීඩාව නැත . අපේ ක්‍රීඩාවත් , ලිහිල් විය යුතුය . අශ්ව රේස් වගේ , සපෝට් එක ජාතිය , ආගම , රට යන සංකල්ප වලින් වියුක්ත වුනොත් ? ( මොකෝ ඔට්ටු අල්ලන අශ්වයා දිනවන්න චියර් කරන කොට උගේ ජාතිය , උපන් රට බලන්නේ නෑ නේ )

      Delete
    2. මම නම් ක්‍රීඩාවෙදි ගරු කරන්නේ ක්‍රීඩාවට.. ඒ නිසා මට කුසල් මෙන්ඩිස් වගේම විරාට් කෝලිත් විඳින්න පුළුවන්.. තවත් සංගක්කාර කෙනෙක් සෝබර්ස් කෙනෙක් තෙන්ඩුල්කාර් කෙනෙක් වගේම කෝලි කෙනෙකුත් බිහි වෙන එක මම ආසාවෙන් බලාගෙන ඉන්නේ.. ඒ වගේම බංගලිදේශ් ටීම් එකම.. අපි පුරුදු වෙන්න ඕන ඒ දේට මිසක් ගෝත්‍රික වෙන්න නෙමෙයි..

      Delete
    3. අස්ස රේස් වගේ. :)

      Delete
  8. මේ ගැන අත්දැකීම් තිබෙන කෙනෙක් හැටියට මේ දෙපැත්තම හරි කියන එක තමයි මගේ අදහස. ඕනම දේකදී වගේම අන්තවාදී වීම තමයි මම දකින එකම නොගැලපීම. කථා කරන භාෂාව ගැන නැතුව විදේශ රටවලින් සංක්‍රමණය වන අය රටේ සංස්කෘතියට අනුගත නොවී වෙන් වී සිටීම බොහෝ විට දකිනවා. ඔවුන් බොහෝ විට ඇසුරු කරන්නේ තමන්ගේ රටේ අය. තමන්ගේ රටේ ආහාරම තමයි පාවිච්චියට ගන්නේ. ඒ වුනාට එක එක පරම්පරාවකින් වෙනස් වෙනවා. ඊලඟ පරම්පරාව එම රටේ සංස්කෘතියට අනුගත වෙනවා. කාලයක් මෙරට ජීවත් වී සිටි අයට තමන්ට හුරු පුරුදු දේවල් වැඩි පුර කිරීමටත් කුඩා කල සිට එහි හැදී වැඩෙන අය එම සංස්කෘතියට අනුගත වීමත් සිදුවනවා. අපි බලෙන් මොනවා කරත් එය වලක්වන්න බැහැ.

    භාෂාවක් යනු අදහස් හුවමාරු කරගැනීමට භාවිතා කරන මෙවලමකට එහා දෙයක්, සංස්කෘතියක් යනු පරිණාමය විය නොයුතු එක තැන තිබිය යුතු දෙයක් ලෙස දැකීම මේ අර්බුධයට හේතු ලෙස දකිමි.

    ReplyDelete
    Replies
    1. ඉයන මමත් දැකලා තියෙනවා . ඒත් මට දැන් හිතෙනවා (කලින් කීවා මෙන්) ඊට පූර්ණව අනුගත වීම නොවෙයි විය යුත්තේ , සංක්‍රමික සංස්කෘතියක් බිහි වීමයි කියලා . වැඩියෙන් දේවල් කලවන් වෙන තරමට අපි හැමෝගෙම දුර අඩුවේවි නේද

      Delete
    2. AnonymousJuly 31, 2016

      Well said Ian. Even the Sri Lankans who speak good English hardly make the effort to integrate with the local society. If they go out for a meal, they mostly go for Sri Lankan or Indian food. It is a good thing that at least the younger generation is able to break these patterns. If they want to learn Sinhala fine, but what's the point of doing it so that the parents are able to say that children are fluent in English.

      Delete
  9. AnonymousJuly 31, 2016

    දරුවන්ට සිංහල උගන්නන එක හොඳයි. නමුත් මගේ අදහස නම් ඔවුන්ට සමාජයේ සුහදව අනිත් අයට කරදරයක් නොවී ජීවත් වෙන විදිහ කියා දීමයි වැඩ වැදගත්. මොකද ලංකාවේ දෙමව්පියෝ වැඩි දෙනෙකුත් manners දන්නේ නැති නිසා. උදේට park එකේ ඇවිදින්න ගියොත් සුද්දෝ බොහෝ වෙලාවට ප්‍රසන්නව හිනා වෙලා good morning කියනවා. අපේ අය මුණ රකුසු කරගෙන අහක බලා ගන්නවා. පොදු ස්ථාන, සිංහල කඩ ඔය හැමතැනකම හැසිරීම ඒ වගේ. "අපේ ලමයිනම් හොඳට සිංහල කතා කරනවා" කියන දෙමව්පියෝ shopping centre එකක් වගේ තැනක ලංකාවේ කෙනෙක් දැක්ක ගමන් ඉක්මනට ළමයින්ට english වලින් කතා කරනවා සිංහල කියල දැන ගනියි කියල. මාස කීපයකට විතර උඩදී මම ගියා melbourne වල harmoney day එකට. ඒ උත්සවය අතර මිනිත්තු කීපයක් දුන්නා audience එකට එකිනෙකා කතාකරල අඳුරගන්න (තමන්ගේ පිටි පස්සේ row එකේ හා side එකෙන් හිටපු අයට). ඒ වෙලාවේදී burgher අය හා වෙන ජාතින් (chinese) වගේ අය විතරයි එකිනෙකා සමඟ කතා කරේ. ලංකාවේ (සිංහල) වැඩි දෙනෙක් බුම්ම ගෙන හිටිය අහක බලා ගෙන. ගෙදරක තියෙන උත්සවයකට aussie හෝ වෙන ජාතියක අමුත්තන්ට invite කරලා තිබුනොත් අපේ අය පැත්තකට වෙලා කියව කියව ඉන්නවා මිසක් අර අනිත් ජාතින් වල අය එක්ක කතා කරන්න effort එකක් වත් ගන්නේ නැහැ. ඉතින් ඔය වගේ ගති තමන්ගේ දරුවන්ටත් දෙනවට වඩා හොඳයි මටනම් ඒ දරුවෝ english නෙවෙයි ඕනේ බාසාවකින් හරි කතා කරලා මිනිස්සු එක්ක ජීවත් වෙන විදිහ ඉගෙන ගන්න එක. සිංහල පිස්සුව අපේ අයගේ බොරු සෝබනේ කොටසක් විතරයි

    ReplyDelete
    Replies
    1. ඔබ කියන මේ අත්දැකීම් කීයක් මටත් පොදුද , ඒවායෙන් කීයක් නොදැනීම වගේ ඇතැම් විට මා අතිනුන්සිදුවී ඇත්ද කියා සිතුනා . මේ සටහන කැඩපතකට එබී බැලීමක් කීවේ ඒ නිසාමයි .වැරදි නිවැරදි කර ගත යුතුයි . ඊයේට වඩා යහපත් අදක් , එහෙම නේද ?

      නමුත් ලාංකික සංස්කෘතියේ ඉදිරියට ගෙන යා යුතු දේ බොහෝයි . නමුත් පොට්ටනිය පිටින් කරේ තබා ගෙන යාමට වඩා , එය ලිහා , අවැසි දේ පමණක් ගෙන ඉදිරියට යාම වැදගත් බවයි මට හිතෙන්නේ .

      Delete
    2. AnonymousJuly 31, 2016

      නමුත් පොට්ටනිය පිටින් කරේ තබා ගෙන යාමට වඩා , එය ලිහා , අවැසි දේ පමණක් ගෙන ඉදිරියට යාම වැදගත් බවයි මට හිතෙන්නේ .+++++++
      Sorry there's a typo in my post. Should be 'harmony' not 'harmoney'.

      Delete

Have commented