06 March 2020

Whales



I feel the tremble
beneath my feet
pulling their hulk
as they gently swim
I hear their breathing
through the hollow of their being
I feel the spray of their sighs
erupting out of the water
on my face
I feel their presence
The whales
That are my memories

20 October 2019

Promises// පොරොන්දු


The day 
She remembers  well
 he said 
“Will love you forever
And a day”
But Some vows 
Start fading
As soon as they are made
All that remains 
Faint Twine of hope
Flickering  memory of 

Half a life time away
Disrobing her , his gaze 
To shriek or flee
She could not resolve
“Resist and I’ll stab
Eighteen no less”
Alas some promises are kept
A naked body lies lifeless
In a puddle of red 
 ***

“ආදරෙයි අනන්තයට “
මතකයක් පමණි අද 
එකින් එක බිඳෙන රැහැන් 
බලාපොරොත්තු 
කඩවෙන්න ම උරුම 
සමහර පොරොන්දු 
හුස්මක පාවෙලා යන 
දිවුරුම්, 
ඉතිරි කර සුසුම් 

වෙනත් භවයක් 
වියරු නෙත් යුගලක් 
ඇඳි වත බලෙන් ලිහන 
බැල්මක් 
වක් පිහියක්

“කොටනවා අම්මපා  
කට වහන්  ඇල වෙයන් “
සමහර පොරොන්දු 
අකුරටම ඉටුවෙන 
ඈ  නග්න සිරුරත 
නිසලව ලේ විලක් මැද  


19 September 2019

ඊයේ රෑ වැස්සා

ඊයේ රෑ වැස්සා
ගිගුම් දී
පිහි තුඩු, වැහි බිඳු
කිඳා බැස්සා පපු කැවුත්තට
කඳුලු ධාරා
හැඟුම් බොර කර ගලා
අමතක මතක බොරලු කැට
පෑදී ගලන වේගෙට
පොලොවත් නොසිට නොහිඬව
ඉකි බිඳි රෑ පිරෙන්නට

ඊයේ රෑ වැස්සා අනෝරා
අද උදේ ඒ වගක් වත් නෑහේ
අරැනැල්ලකුත් පායලා හීනියට

ඒ හැටිය අහසේ

07 September 2019

Brown Eyes// ඒ බළල් ඇස්


Brown eyes 
where smiles bloomed
in the summer-tide
and ran roots 
inmost down reach
in to the wellsprings
of pains
Tender gasps
move sombre clouds 
to bring down long
to wash away 
frond litter 
of many seasons

Fingertip strolls 
drawn steps long
lingering in autumn’s breath
on bare skin 
still damp
Between blinks 
Day 
Night
and  the breath stops 


***
ඒ බළල් ඇස් 
ගිම්හානයක හිනා මල් පීදුන 
මුල් 
හීතල පොලවට කිඳා බැස 
දුක් 
උල්පත් වලටම ඇදුන 
කෙටි සුසුම් 
අඩු පීඩන කලාප 
අහස කුස් පුරවා 
වැහි වළා ඇදී 
සෘතු ගණන් 
මග දෙපස ගොඩ ගැහුණු පත් 
සේදී යන්නට 
අනෝරා වැහි වැටුණු 
හෙමි හෙමි හිට 
ඇඟිලි තුඩු 
සක්මන්  
නග්න සම මත 
තාමත් තෙත 
ඇසි පිය නැගෙන වාරෙට 
හිරු සඳු නැගේ අහසට 
නවතී ඇදී  හුස්ම 
මදකට 

17 August 2019

ගිම්හානය ඇවිදින්


යමින් ගමන් 
ඉබාගාතේ 
ගිම්හානය 
ඇවිදින් 
ඉස්තෝප්පුවටම 
පාදනවා උගුර
ලජ්ජාශීලිව

බැරිම තැන 
තට්ටු කරනවා 
අව පැහැ 
මල් වීදුරැ කොටුවට 
දොර පියන 
"ගෙදර කවුද "
විමසත් 
ආචාරශීලීව  


ඉන්නෝනේ 
ඇහුන් නෑ වගේ 

"විවර කරන්න 
දොර කවුළු 
ඉඩ දෙන්න 
මට එන්න "
මුමුනන්නේ 
අයදින්නක්
තරමට හීනියට 

ඉන්නෝනේ 
ඇහුන් නෑ වගේ 

06 April 2019

සිද්ධාර්ථට ලව් කිරීම හෙවත් බුදුන්ට පොඩ්ඩක් ඉන්න කීම


"කාමේසු මිච්චා චාරා ....."

ක්‍රේල් කොන්ඩේ 
නදළු දෙතොලේ 
සිහින් දෙබැමේ 
අනේ ලස්සන
මේ බුදු පිළිමේ 

නාඹරේ 
ඒ කුමර කාලේ 
සිද්ධාර්ථ ඉන්ටැහැ 
නළුවා වාගේ 

අපේ අබගේ 
එදා නොහිටියේ
ඇහින් දකිනට 
සුපුන් එ රුවේ 


"....වේරමණී සික්ඛාපදන් ..."

පලි : දන්නා තරමට තමන්ව  අත නොහැර නිවන් දැකිය  නොහැකි බව කියාදුන්නේ බුදුන්මය. මාලිගාව, රාහුල පුතු, කන්ථක අසු, යශෝදරාව මෙන්ම සිද්ධාර්තව ද හේ අත්හැරියේය. සිද්ධාර්තව අතහැරියේ මුලින්මද, අන්තිමටද කියා මට තවම නිගමනයකට ආ නොහැක. නමුත් මට හිතෙන්නේ ඒ මුලින්ම කියාය, අන්තිමේදී අත හැරියේ මමත්වයයි. 
ඒත්  බුදුන් වහන්සේට පොඩ්ඩක් ඉන්න කියා, අපි සිද්ධාර්ටථ බදා ගෙන  පට්ට ලව් ය. 

06 March 2019

බජට් ඉස්පීච් එක

ගරැ කතානායක තුමනි

ආරිච්චි බෝරිච්චි
පාට පාට සබන් බෝල
ඒ අතට මේ අතට
සමනළ පාටට
ලාබ හීන

මඩි  තරකරගන්න
බ්‍රෝ
පටි තද කර ගන්න
සහෝ

ටොයි ටොයි ටොයි
බයියා බබා
බයි බයි බයි
ටොයියා බබා

09 February 2019

සේකර දුටු සඳ ...






සේකර දුටු සඳ
ඈ සිටියේ නැත
සෙව්වද හැමතැන
දිගු කබා පොරවා
හැල්මේ දුවන
මිනිසුන් මැද

ටික කලක් ගියාම
වෙනස් වෙනවා මිනිස්සු
ග්‍රීන් කාඩ් ලැබුනාම
ඩොලර් කොළ සුවඳ
නාස් පුඩු දිගේ ඇදුනාම
බැරි වෙනවා අඳුනන්නවත්
 කෙනෙක් කීවේය
සෙව්වද හැමතැන
දිගු කබා පොරවා
හැල්මේ දුවන
මිනිසුන් මැද

ටික කලක් ගියාම
වෙනස් වෙනවා මිනිස්සු
ග්‍රීන් කාඩ් ලැබුනාම
ඩොලර් කොළ සුවඳ
නාස් පුඩු දිගේ ඇදුනාම
බැරි වෙනවා අඳුනන්නවත්
 කෙනෙක් කීවේය

05 February 2019

නිවිච්ච තේ // Lukewarm tea (A poem)


Piping hot
tea had to be 
a must it was 

'fore 
the sun comes around
gently knocking on the window
'fore 
the spent dreams 
flutter away from their night's roost

abhor 
anything but
and the people who devour
tea differently

But seasons do change the tree

As I sit at the edge
of the bed
and find my way through
the labyrinth of memories 
the cup sits 
patiently 
holding the milky tea 
lulling it to lukewarmth
just the way 
I like nowadays

PS: Lukewarm tea is an acquired taste
______________________________


කට පිච්චෙන උණු තේ 
විතරමයි 
මට නම් 
කාලයක් 

ඉර ඇවිත් හිමින් සැරේ 
ජනේලයට තට්ටු කරද්දී 
දෑස  නොඇරම දිවගාපු 
දිගු රැයක රැඟු හීන 
ලැගුමෙන් 
නුබ කරා ඉගිල්ලී 
පියාපත් හඬ 
පමණක් ඇසුණු 

කාලයා ඇවෑමෙන් 
මිනිස්සුත් වෙනස් වේ 

ඇඳපත්තේ  හිඳ 
මග සොයන මතක මංපෙත් දිගේ 
මං 
එනකං 
අඬු ව කැඩුණු කෝප්පය සිටි 
දරා 
කිරි වැඩි තේ
ඇල් මැරී  
තොළ  ගාන 
නිවිහැනහිල්ලේ
මා කැමතිම විදිහ 

දැන් තේ බොන

පලි: නිවිච්ච තේ රහ දැනෙන්න ටිකක් කල් යනවා  

24 December 2018

මේරි සහ Her Story

History කියන වචනය අස්සේ his story  හෙවත් ඔහුගේ කතාව කියන වචන දෙක හැංගිලා තියෙනවා .  ඒ හැම his story එකක් එක්කම සමාන්තරව යන her  story  එකක් කාලයේ වැලි තලාවට යටවෙලා තියෙනවා .

සමහර වෙලාවට මතුපිටට පෙනෙන ඔහුගේ කතාවට සමපාතව ඒ ඇගේ  කතාව  අයිස් පරයක් වගේ . 

යශෝධරා ගේ කතාවත් මෙසේමය. සාරසංක්‍ය කල්ප ලක්ෂයක් ඔහුගේ පාරමිතාවටම පේවී කඳුලක් නොහෙලූ ඈ , කඳුලක් හෙලන්නේ ඒ දිගු ගමන හමාර වූ බව සිහි වීමෙන්ය .

මේරි ගේ කතා වත්  මෙසේමය .  ඔය කියන විදියට ගේබ්‍රියල් මෙරිට කිව්වා නම් වෙන්න තියෙන දේ , ඒ ගින්දර හිතේ දරා ගෙන හැම මොහොතේම ඈ  මාරි මාරි උපදින්න ඇති . තම පුතු කුරුසයක ඇන  ගසා මිය ගිය පසු මළ  කඳ  බදාන සලන්නට කඳුළු ඈට නොතියෙන්න ඇති .

අපේ ආතම්මා  ඉස්සර කියනවා , මැරෙන්න බැරි කමට ජීවත් වෙනවා කියලා .

මේ ඔක්කොම දිගට දිග ඇරුනේ මගේ කැමතිම "නත්තල් ගීතය " අද අහම්බෙන් ඇහුන නිසා .

සින්දුව මේක . ඔව් රොක් වර්ෂන් එකම විතරයි



ඉන්ද්‍රචාපා ගේ සිංහල ගීතයත් අමුතු මානයක් ගෙන් එනවා



09 December 2018

බංකුවේ ඉඩ තියන් හිඳිමි මම තවමත්



අතු අග 
වසත් කළ පිපි 
චෙරි මල් 
පෙන්නන්න 
මම උනිමි බලා 

ගිම්හානයේ අග 
ගොම්මන කාන්දුවට පෙර 
රතු වළා සිතුවම් 
 පෙන්නන්න 
මම උනිමි බලා 

පත් හැලි වියැකෙන 
සරත් සෘතුවත් 
ඇවිදින් 
නොදැනීම 

උයන් කොණ 
බංකුවේ  
ඉඩ තියන් 
හිඳිමි මම 
තවමත් 

පලි :
මේ ඡායාරූපය ගත්තේ සියාන් හි  ටෙරාකොටා සොල්දාදුවන් බලන්න යන මග . මම සාමාන්‍යයෙන් පාවිච්චි කරන කැමරාවේ තතු දාන්නේ නෑ.   නොමිලේ මොකටද ඇඩ්වටයිස් කරන්නේ.  ඒත්  මේක ගත්තේ දුරකතනයක කැමරාවෙන් කියලා විතරක් කියන්නම්. ඡායාරූපයකට කැමරාව අදාළ නෑ. අනෙක් අතට මම post prodcution  ගැන බලන්නේ ඉතාම සුභවාදීව. මට එය නිර්මාණශීලිත්වයේම කොටසක්  


06 December 2018

Concorde dreams

Well 
Concorde was a dream 
interrupted 
beyond the speed of sound is 
silence 
is a place 
where the feelings run ahead 
and wait for the words to join
…..sometimes forever 

A dream’s suspended 
For good reasons 

A vessel I will build
of aluminum and titanium 
the hull
space grade no less
To travel the uncharted
Beyond the realm of reality 
To explore space in between 
not that  of white dwarves 
or red giants
but the gap between tears and sorrow 
meteorite belt of thoughts and ideas 
Black holes of dreams 

them nooks of the universe 
have to be ventured
For you've got only 
the whole samsara to do so

Yet it takes light eons 
to travel some distances 
.. say , between a gaze and a sigh 

May be 

Untravelled 

01 December 2018

කළුම කළු ප්‍රභා , සුදුම සුදු අද්මිරාල් සහ අළුපාට ලෝකය

ලෝකයේ ඉන්නේ අළු පාට මිනිස්සු ගැහැණු . ඒත් අපේ සන්තානයේ , සංකල්ප වල , සංස්කෘතියේ ඉන්නේ කළු සුදු මිනිස්සු . ඒ අප ජාතක කතා වලින් පෝෂණය වෙච්ච , එතනින් එහාට පරිණාමය නොවුණු නිසාද මං දන්නේ නෑ . අළු පාට ජීවිත ගැන ලියවෙන සාහිත්‍ය , සෞන්දර්යය අපි එතරම් පරිශීලනය කරන්නේ නෑ , පරිශීලනය කරත් ඒ කොණ  අපි අල්ලා ගන්නේ නෑ . අපේ හිත්  ඇතුලට උරා ගන්නේ නෑ , අපේ ඔලුව වටේට බැඳිච්ච සංස්කෘතිකමය සිවියක් නිසා . ප්‍රතිවීරයෝ (Anti  heroes ) අපේ  කතා වල නෑ

ගිය සුමානේ දෙක ඇතුලත ළඟ ළඟ සිද්ධි දෙකක් සිදුවුණා . 

එකක් යාපනේ ප්‍රභාකරන්ව සැමරුවා .  ප්‍රභාකරන්ව විතරක නෙමෙයි මැරිච්ච දාස් ගානක් ගෑණු,  මිනිස්සු . ඒ මියගිය උන්  නිකරුනේ මියගිය බව වත් , ත්‍රස්තවාදී වැඩ කරන්න ගිහින් මිය ගිය බව වත් ඒ පවුල් වල අම්මලා අප්පලා , ගෑණු ,  ළමයි ඔළුවල ලියා ගන්න කතාව නෙවෙයි . ඒ මරණ වලට හේතුවක් හොයාවී . ඔවුන් ගේ හිත්වල ඔවුන් වීරයන් වේවි . ඒ හේතුව අරගලයක් වේවි . අරගලයේ සන්නාමය සංකේතයේ හැටියට තමයි ප්‍රභාකරන්ව සැමරෙන්නේ . අපි ඒක  තේරුම් ගත යුතුයි . ඒත් මේ වගේ වැඩ වලින් වෙන්නේ අපි අමතක කරන්න හදන යාපනේ දෙමළු අපිට මතක් වෙනවා . එතකොට අපිට සිහි වෙනවා යාපනේ තාම එහෙමමයි .  ප්‍රශ්නේ එහෙමමයි . මතක් වෙනවා කලුම කළු ප්‍රභා ව . අපිට බය හිතෙනවා   . 

අනෙක් සිද්ධිය අද්මිරාල් විජේගුනවර්ධන රිමාන්ඩ් කරනවා . අද්මිරාල් රණවිරුවෙක් . යකෙකුටවත් බය නැති මිනිහෙක් . එහෙමයි කට්ටිය කියන්නේ . ඒ කියන්නේ සුදුම සුදු . හැබැයි රිමාන්ඩ් කරන්නේ අපරාද කරුවෙක්ට උදව් කිරීම කියන චෝදනාවට දැන් අපේ ඔලුව අවුල් වෙනවා . උණු නිසා බොන්නත් බෑ , කිරි නිසා .... අනික ඔක්කොම කුණු අතාරින්න රනිල්ගේ ආණ්ඩු බේරුවල බොක්කත් නෑ . 

යුද්ධය අවසන් වී සාමය උදා වන්නේ  සතුරන් සියල්ල මරා දැමු පසුව නොව , විරුවන් සියල්ල මිය ගිය පසුවයි .  කොහේදෝ කියවපු දෙයක් එක පාරටම මගේ ඔලුවට එනවා 

10 November 2018

පාලසේන මෙතඩ්

ලංකාවේ බහුතරය  දිනවල දේශපාලනය පිලිබඳ හා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා පිලිබඳ විශේෂඥයන්ය. ඒ අතුරිනුත් අති  විසේසඥයන් වන්නේ බුකී වාසින් හා තෙසක් රියදුරන්ය .  

අප , තෙසක් රියකට නැග , මහද නමැති වන බඹරා,  මලට ලංවූ සේ , රියදුරු තෙම වෙත ලංවී ඇසුවේ ... මොකක් වෙයිද කියාය ... 
"මොනවා වෙන්නද , අපිට  හි .." ( වාරණය කරන ලදී ) ලද පිළිතුරෙන් අපි  ලයින් එක වෙනස් කළෙමු ...

මොකද හිතන්නේ ජනාධිපති තුමාගේ හැසිරීම ගැන  

මහත්තයෝ , එතුමා දකින කොට මට මතක් වෙන්නෙම අපේ ගමේ හිටියා පාලසේන කියලා ගොයියෙක් .. 
උන්දැ ගේ අප්පා ටොයියාපාල , මව් බයියා වතී . අප්පාට 
 ඕනේ උනා මූට  සේන කියලා නම තියන්න , මව්ට ඕනා උනේ මූට පාල කියලා නම තියන්න. පස්සේ මූ  පාලසේන උනා .

මේකා අමු ඇට්ටරයා . හිමිච්චා වගේ ඉන්නේ . ඕකා මොකක් හරී නසරානි වැඩක් කරපුවහම බයියාවතී , හඬ උස් කරලා බනින්නේ ටොයියට . " කොල්ලා හදපු විදිය තමයි ඔය කියලා " . හැබැයි ඕකා මොකක් හරි හොඳ වැඩක් කරපුවහම , අයිතිය බයියාවති තනි බුදලේට ලියා ගන්නවා " මයේ කොල්ලා " කියලා 

 අම්මලා එහෙම තමයි 

ටොයියාපාලයත්  ඔහොමයි.. 
මොකක් හරි දස වැඩක් කරපුවහම, ගෙදර ඇවිත් කෑගහන්නේ "අන්න තමුසෙගෙ පුතණ්ඩියා .." කියලා . 
හැබැයි අවුරුදු උත්සවේ විරිදු කියලා දිනපු  දවසේ නම් ටොයියා කීවේ " කොල්ලා දස්සයා අප්පා වගේම"  කියලා ... බයියාවති පැත්තක ඉඳන් කිව්වේ "අප්පා කවුද කියලා දන්නේ මං නේ" කියලා .

එහෙමත් සීන් එකක්ද 

ඕකා ඉස්සර දාන් අදින්න යනවා ඔට්ටුවට . මිනිස්සු වටේ ඉඳන් ඔට්ටු අල්ලනවා . සමහරු කැට තියනවා පාලසේන දිනයි කියලා , සමහරු  මූ  පරදියි කියලා .  මූ  ටිකක් ඉත්තෝ එහෙ මෙහෙ කර කර ඉන්නවා . ඉත්තෝ කැපුනහම , "අයියෝ දැක්කේ නැහැනේ" කියනවා . ඔහොම ඉඳලා ලෑල්ලට පයින් ගහලා පෙරලනවා . 
ඔට්ටු අල්ලපු ඔක්කොම පරාදයි .  කඩේ මුදලාලිට ගාන පියවලා , ඉතුරුටික ඌ සාක්කුවේ දා ගන්නවා 

මාර පුත්රයෙක්නේ .. දැන් කොහෙද ඉන්නේ 

හරියටම දන්නේ නෑ ..මව් නම් අද උදෙත් හම්බවුනා .. ගෑණිට නොනවත්වා කිම්බුහුන් යනවා 

03 November 2018

උන්ගේ සබන් ගා අපි නා ගැනීම ....පිස්සු ලාබයි සීසන් 2


පප් පප් ටින්කිරි කිරි කිරි පප් පප් 

ආයුබෝවන් ,  දිගු කාලයක විරාමයකට පස්සේ අපි හමු වෙන්නේ ඔබේ හදේ  රැඳුනු කාලීන  ව්‍යාපාරික වැඩසටහනත් සමග .. පිස්සු ලාබයි ...සීසන් 2 ...වොයිස් කට්ස් ..

ඉතින් අපේ බලාපොරොත්තුව එදා මෙන්ම , අලුත් අලුත් නිෂ්පාදන වෙළඳ පොලට ගෙන එන ව්‍යාපාරිකයන් ඔබ වෙතට ගෙන එන්නයි.  අපි ගියා කොළඹ වටේ , ඇහුවා ප්‍රශ්නයක් ... කොහොමද පිස්සුව .. සමාවෙන්න බිස්නස් 

(පදික වේදිකාවක , බෑග් එකක් කරේ එල්ලාගෙන සිටින සේල්ස් රෙප්  මහතෙක් තිරයේ දිස්වේ)

කියන්න මොනවද මේ දවස් වල විකුනන්නේ ?

අපි කරන්නේ සබන් බිස්නස් තමයි 

ඇයි  සබන් ම  තෝර ගත්තේ ?

මොකද අපේ ලංකාවේ කට්ටිය නාන්න හරි කැමතියිනේ 

බලමු මොනවද තියෙන්නේ කියලා 


මේ තියෙන්නේ අපේ ඕල් ටයිම් බෙස්ට් සෙලර් ප්‍රොඩක්ට් එකක් ...දෙසා ප්‍රේමි කාබෝලික් සබන් ... ගාලා නා ගත්තම මාර ගැම්මක් එන්නේ 

කෝ බලන්න .. හප්පා සැර කෙලින්ම කුඩා මොලේටම වදින්නේ .. වෙන මොනවද තියෙන්නේ 

මෙන්න මේ සිනිඳු සමට , යහ පාලි බේබි සොප් 

හරිම ප්‍රබෝධාත්මක රිෆ්රෙෂින් පුසුඹක් ... වෙන වෙන 

මේක අපේ අලුත්ම ප්‍රොඩක්ට් එක .. රෝස වසන්තේ ප්‍රජාතන්ත්රිකා ....

දැන් මේවා ඔක්කොම දේශීය නිෂ්පාදන ද ?

ඔව් ඔව් සීයට සීයක්ම 

කෝ බලන්න ... මේඩ් ඉන් ඉන්ඩි ..?

කෝ කෝ ඕක දෙන්න මෙහාට .. ඕක ප්‍රින්ටින් මිස්ටේක් එකක් ..මෙන්න මේක බලන්නකෝ 

මේඩ් ඉන් චයි ..?

කෝ කෝ ඕකත් දෙන්න මෙහාට ... මේ මාද්‍යටත්  ඕනේ නැති දෙයක් නෑනේ    (ඔහු පෑනක් ගෙන මොනවදෝ ලේබලයේ කුරුටු ගායි )... ඔන්න දැන් හරි ..  ශ්‍රී ලංකා කියලා ලිව්වා 

ඒ වුනාට මේවා දේශීය  නෙමෙයි නේද 

මෙහෙමයි මහත්තයෝ සබන් වෙන රටවල වුනාට  නාන වතුර අපේ නේ 


(නැවතත් මැදිරියට ... )

අපට අද ලැබී ඇති කාලය එපමණයි .... නැවතත් හමුවෙන තෙක් මතක තියා ගන්න ... හැමදේම බිස්නස් එකක් 
.... හැමෝටම තියෙනවා මිලක් .... ඒ වුනාට පිස්සු ලාබයි....


පප් පප් ටින්කිරි කිරි කිරි පප් පප් //

01 November 2018

ලංකාදාසගේ මෙව්වා එක

ලංකාදාස වැඩ කරේ සුද්දෙක් ගාව.. 

සුද්දා ආපහු ගමේ යන කොට ගෙදර බඩු එක එක අයට බෙදලා දුන්නා . ගෙදර තිබ්බ  රූප පෙට්ටිය හෙවත් ටී වී එක දුන්නේ ලංකාදාසට . 

ලංකා දාසත් චන්ඩියා වගේ මෙව්වා එක  කරේ තියාගෙන ගමේ  අරන් ගියා . සාලේ ඉස්සරහම පේන්න තිබ්බා . හාමිනේ  ඇවිත් ආසාවෙන් අත ගෑවා . ගමේම උන් ආවා මෙව්වා එක  එක බලල යන්නම . හැබැයි ගමේ ගෙදරට විදුලිය නෑ . සිග්නල් අහුවෙන්නෙත් නෑ .  "නිකන් හම්බුවෙච්ච එකනේ , ඔන්න ඔහේ පරෙස්සමට තිබිච්චාවේ , කවදා හරි ගම දියුණු වෙයි , එදාට පාවිච්චි කරනවා ".. ලංකාදාස  හිතුවේ එහෙම 

ටික කාලෙකට පස්සේ ලංකාදාස ගේ හාමිනේ මෙව්වා එක  වැහෙන්න ලස්සනට මල් මල් කවර එකක් මහලා දූවිලි  නොවැදෙන්න  , උඩින් මල් පෝච්චියක් තිබ්බා පාලුවට . 

පහු පහු වෙනකොට , මෙව්වා එක  උඩ , පොඩි එකාගේ සෙල්ලම් බඩු , ගෙදර යතුරු කැරලි , උදේ පත්තර වගේ නා නා ප්‍රකාර දේවල් තියන්න පාවිච්චි කරන්න ගත්තා . 

පිටි පස්සේ කවරේ ඇන ටික ගලවලා , ලංකාදාස පඩි දවසට ගන්න කාල බෝතලේ ආරක්ෂා සහගතව තියා ගන්න පාවිච්චි කළා . පොඩ්ඩක් අනුමත වෙන කොට බයිට් එකට ගන්න උම්බලකඩ කෑල්ල තිබ්බෙත් මෙව්වා එක උඩ .

මුලින් බදාගෙන බාරගත්ත ලංකා දාසගේ හාමිනේ ,  පහු පහු වෙනකොට ආඬි පාලි කියන්න ගත්තේ " මහා ලොකුවට සුද්දා විසිකරලා ගිය හුචක්කුව උස්සාගෙන ආවා " කියලා .



ප්‍රජාතන්ත්‍රවාදයත් ....

01 October 2018

බුද්... (සමාවෙන්න , එහෙම මොකුත් නැති , නිකම්ම ) වෙට්ටුව

සිල්ලර 
ටුකු  ටුකු
සුන්දරී 
ඇති වැඩකුත් - හෙමින් ගමනකුත් 
නැති 
නලා පිඹගෙන 
වෙට්ටු දාගෙන 
එන්නී 

පස්සෙන් විත් 
හෙමි හිට එබී 
දකුණෙන් හෙට්ටු 
වමෙන් වෙට්ටු 
යන ගමන් කියාගෙන 
මියුරු ස්වරයෙන් 
මව් ගුණත්

පුළුල් රියබඳ 
යටට වෙන්නට 
කෙටු 
ටැටූ 

මේ අපේ බුදුන්ගේ දේශයයි , යකෝ 



23 September 2018

තුන් තේරවිලි


තුන් තේරවිලි නම් තුන් වටක් නවා හෝ තුන් වරක් නැවුම් හැර විසඳා ගත යුත්තේය .

පහසු  උදාහරණ දෙක තුනකින් පටන් ගනිමු 

"මහත්තයා වහලේ "
නෑ නෑ ඒ මහත්තයා නෙමෙයි, ජනෙලේත් නෙමෙයි . මහත්තයා නම් සර් , වහලේ නම් පලය . සර් පල ය ...ඔන්න ආයිත් වරදදා ගත්තා .. මේ ජනවාරි අටවෙනිදා කතාවක් නෙමෙයි . සර් පලය , පාර්සලය .

"පවතින පුත්‍රයා "
ඔය ඉතින් . නෑ  වැරදුනේ නෑ  "ගම කන"  නෙමෙයි .. අනික ඒ පුත්තරයාත්  නෙමෙයි ආයුබෝං . 
පවතින නම් පවත් . පුත්‍රයා නම් පුත. පවත් පුත. පුවත් පත .

දැන් ප්‍රක්ටිස් ඇතිනේ . ඔන්න වැඩේ පටන් ගමු 

***
ඩොලර් ප්‍රහේලිකාව 

ඔන්න ප්‍රවෘත්ති සාකච්චාවකදී මහින්ද මහත්තයගෙන් කවුදෝ එකෙක් ඉංග්‍රීසියෙන් අහනවා මේ ඩොලර් එකට සාපේක්ෂව රුපියල බාල්දු වීම ගැන . මහින්ද මහත්තයා තුෂ්නිම්භූත වෙනවා (ඒක ගැන දන්නේ නැද්ද . නැත්නම් වැදගත් නැද්ද . එහෙමත් නැත්නම් ප්‍රශ්නේ අමාරු වැඩිද මන්දා )
එතුමා ගන්නවා "ආස්ක් අ ෆ්‍රෙන්ඩ් " චාන්ස් එක . අහන්නේ නිවාඩ් කබ්රාල් ගෙන් (ඔව් ඒ මෑන්ස් තමයි ..ඔන්න ආර්ථික විසේසඥයෝ .

මිනිහා මොකක්දෝ උත්තරයක් දෙනවා . 

මහින්ද මහත්තයා හිනාවෙලා උත්තරේ දෙනවා ... " අපි ආපුවම කරලා පෙන්නන්නම් දැන්ම ක්‍රමේ කියන්න බෑ "

මෙතුන් පදේ විසඳා ලා කියන්  සකි


***

සංස්කෘතික ගැටය 

දිනකට හෝ දෙකකට පෙර චාමි මුහුණු පොතේ සටහන් කරනවා ඔහු මුහුණ දුන් (හෝ නොදුන්) අත්දැකීමක් 
දුප්පත් වැන්දබුවක් තුන් මාසේ දානෙට ආරාධනා කරන්න පන්සලට ගියහම , දායක සභාවේ අවුරුදු ගානක හිඟ මෙම්බර්ෂිප් ෆීස් සහ හත්දවසේ දානේට ආරාධනා නොකරපු එකට පැනල්ටි ෆීස් එක කරලා දඩයක් ගහපු කතාවක් .

සටහනට , උත්ප්‍රාසයටම උපන් , ඕනෑම  කෙනෙක්ව වළලු නැතිව ගස් ඇරීමේ සහ ගොනාට ඇන්දවීමේ උපන් හැකියාවක් ඇති , අයෙක් තියනවා ප්‍රතිචාරයක් " ඔච්චර වෙලත් ගෑනිට තාම ඇර ගන්න බැරි උන එක සහ හැකියාව ගැන ප්‍රශ්න කරලා "

විස්සකට ආසන්න පිරිසක් ඒ ප්‍රතිචාරයට , තම්බිස් අප්  මුද්‍රාවෙන් කැමැත්ත පළ කරලා .  

මෙතුන් පදේ විසඳා ලා කියන්  සකි


පලි : වී රිපෝර්ට් යූ ඩිසයිඩ් ය .

30 August 2018

මිසිස් පෙරේරා ගේ 2020 සිහිනය

මේ ඒ ඒ ඒ 

(තම බිරින්දාගේ සුමධුර ආමන්ත්‍රණයෙන් පෙරේරා මහතා කිරමින් සිටි කුකුල් නින්දෙන් අවදි වුයේය . මේ ආමන්ත්‍රණය මොකක් හරි ලෙඩකට , නැත ලෙඩ පෙරහැරකට පෙර එන කස කාරයෙක් බව ඔහු අත්දැකීමෙන් දන්නේය )

මොකෝ ? ( ඒ වුනාට සැමියන් බිය පෙන්වන්නේ නැත )

අපි පොඩි වැඩක් කරමුද 

පිස්සුද ඕවා කරන්න කොහේ තියෙන සල්ලියක්ද බොහොම අමාරුවෙන් මාසේ ගෙවා ගන්නේ 

ඒක  තමයි මම කියන්නේ 

අනික මේ ආණ්ඩුවෙන් අරකටයි මේකටයි ඔක්කෝටම බදු ගහනවා , මගේ පොකැට්  එකටමයි වදින්නේ 

ඒක තමයි අනේ 

 .. හෝව් හෝව් ... දැන් මේ  මොකක්ද දැන් මේ කියන්නේ 

මගේ පොඩි යෝජනාවක් තියෙනවා , හැබැයි ඔන්න තරහ ගන්න බෑ  (ඇය කොමළ ගතිය පෑවාය . පානා කොමලයෙන් මෙය හත් අට දාහක බිලක් වෙන්න ඉඩ ඇති බව දැනී පෙරේරා ට හීන් දහඩියක්ද නැගෙන්නට විය )

හරි හරි කියනවකෝ 

ඔයා  2020 ජනාධිපති කමට ඉල්ලන්න 

භෝක් භෝක් , (ඉහලට ගත් හුස්ම ඉස්පොල්ලේ ගියේය )

ඔව් අනේ හැමෝම ඉල්ලනවා . දැන් බලන්න ගෝටාභය මහත්තයත් ඉල්ලනවා , මහින්ද මහත්තයත් ඉල්ලනවා , මෛත්‍රී මහත්තයත් ඉල්ලනවා , 

ඉතින් ඒ අය දේශපාලනය කරන අයනේ 

එහෙනම් අර සුදු උස මහත කාර් සේල් එකක්ද මොකක්ද තියෙන මහත්තයා 

කාර් සේල්  නෙමෙයි ඒ මනුස්සයා කෝටිපති ව්‍යාපාරිකයෙක් ගෑනියේ... මිනිහෙකුට ගරු නම්බු ඇතිව කතා කරහන් 

ඔන්න ඒවා මේවා කියලා බා මේ සැරේ ඔය ඉල්ලන්න්ම ඕනේ . අර ට්‍රික්සිගේ හස්බන්ඩු ත් ඉල්ලනවා ලු. මට බෑ  සෙකන්ඩ් වෙන්ඩ

ආ එකයි මේ ....හරි නිකමට ඉල්ලනවා කියමුකෝ ..දැන් මම මොකක් කියලද ඉල්ලන්නේ 

ඔයා කියන්න ඔයා පරණ රජ කෙනෙක් කියලා . දැනටම පරාක්‍රම බාහු රජ තුමයි දුටු ගැමුණු රජතුමයි එන්ටර් වෙලා ඉන්නේ , වෙන රජෙක් හොයා ගන්න වෙනවා 

පිස්සුද නෝනේ මට එහෙම රජ පෙනුමක් නෑනේ .. ඔන්න කුස රජ්ජුරුවෝ කියලා තමයි කියන්න වෙන්නේ 

එකනේ .. ඔයාට රජ පෙනුමකුත් නෑ . 

අනික කවුරුවත් මාව දන්නෙත් නෑ . කොටින්ම මරණාධාර සමිතියේ නිලයකටවත් මාව නොමිනේට් වෙලා නෑනේ .

ආ එහෙමනම් ... බැරිවෙයිද ඔයාට පොදු අපේක්ෂකයෙක් වෙන්න 

මේ ඇත්තටම ඔහේට අමු කැවිලද 

අනේ මන්දා . නාගසේනලා , මුචලින්දලා , මධු රොක්ස් ලා ඔක්කොම ඉල්ලනවා . මගේ මිනිහට තමයි බැරි .
අපි නේ ඉතින් ලජ්ජා වෙන්න ඕනේ 

තේරුම් ගන්නවකො,  මට ඉල්ලනවානම් ඉතින් පෙර  භවයේ නාලාගිරියා කියලා තමයි ඉල්ලන්න වෙන්නේ  

ආ ඒක හොඳයි , යූ ඇ න් පී එකෙන් කවුරුත් නම් කරලත් නෑ නේ . රනිල් මහත්තයා සතුටු වෙයි 

ඔව් ඔව් එයා මග බල බල  ඇත්තේ ඉදිරිපත් කරන්න කෙනෙක් එනකන්   

16 July 2018

බෝ මුල සත්‍යය දැකීම

ඈ නම ශ්‍රියා ය 
නුගේගොඩ ය 
බෝ ගහ යටය 
බෝ පතුත් ලෙලවා 
සායත් උස්සන්න හදන 
සල්ලාල සුළඟක් ය 
කාර් එකේ දොර ඇරුනේය 
ටොයෝටා ය 
ප්රියස් ය 
බායි කිව්වේ කොල්ලෙක්ය 
කොල්ලෙක් කීවාට ...
ඒ කතා අනවශ්‍යය 
දික්වුනේ නොට්ටුය 
දාහේ කොළ හතරක්ය 
ඉතුරු දුර ටැක්සියේ යන්නය 

හමුවුනේ බුකියේය 
චැට් කලේ රෑට රෑටය 
ඉන්නේ ඉතාලි කීවාට 
ඈතින් ඇහුනු කුණුහබ්බ 
සිංහලය 

සති හයක් ඇවෑමෙන් 
“නම්කි 
මම ශාන් 
ලංකාවේ වැකේෂන් 
කතාකරන් පොඩ්ඩක් 
යමු අපි ට්‍රීප් ?”

කෑවේ චයිනීස් ය 
බීවේ ඔරේන්ජ් ජූස් ය 
ඇහැකොනින් බැලුවේ වේටර්ය 
කටකොනින් අවඥා හිනාය 
සිවිලිමේ තඩි හූනේක්ය 
බෙඩ් සීට් වල රැලිය 
නොකළේ කතා පමණක්ය 

වෙලාව හය හමාරය 
ඉන්නේ බස් එකක් එනකංය
එකසිය තිස් අටය
බෝගහේ මා වවුලෙක් ය 
ටීන් ගෑවේ එස් එම් එස්ය 
නම්කි මම ශාන්ය 
වෙරි සොරිය 
අද එන්න වෙන්නේ නෑය 

එතකොට 
සුදු ප්රියස් 
ෆ්‍රයිඩ් රයිස් 
රැළි නැගුන 
බෙඩ් සීට් ?

දහසක් බුදුන් උපදින්නේ
අළුයමය  
සත්‍යය වැටහෙන්නේ 
ගොම්මන බෝගස් යටය

මාතලන්ගේ ජෝක්ස් එකක් ඇසුරෙනි