07 November 2015

සනී සහ සනී ( සමාන්තර විශ්වයේ කතා දෙකක් )

ඔන්න මුලින්ම කිව්වා මේවා සමාන්තර විශ්වයේ කතා . සත්‍ය සිදුවීම් වලට සමාන්තර වීම  purely coincidential ය . සිංහලෙන් කියනවානම් "වරදක් කලත් හිතකින් නොවේ " (සභාවෙන් සිනා )

පෙරේරා අංකල් සුපුරුදු පරිදි , සුදු කොට කලිසම හැඳ , ටී ෂර්ට් එක යට කර ගත්තේය . සුපුරුදු පරිදි  ස්පෝර්ට්ස් ශුස් යුගලද පැළඳ ගත්තේය . අද ඉරිදාය . මේ ඔහු ලෑස්ති වෙන්නේ සුපුරුදු පරිදි කඩේට යාමටය . පෙරේරා විශ්‍රාමිකයෙකි . හැබැයි ඔහුගේ වදන් වලින් කියනවානම් ඒ කාලේ මහා ස්පෝර්ට්ස් මන් කෙනෙකි . ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සෙල්ලන් කරන්නට අවස්තාව ඔන්න මෙන්න මග හැරී  ගිය අයෙකි . ක්‍රිකට් හැරුණු කොට පුට්බෝල් ,රගර් , හොකී මෙකි නොකී බොහෝ ක්‍රීඩාවන්හි කෙළ පැමිණියෙකි . නමුත් කොල්ලන් නම් කීවේ ඔහු කෙළ  පැමිණි එකම ක්‍රීඩා  නම් විට හැපීම හා බේගල් අතහැරීම කියාය .

"ආ අංකල් මොකෝ පරක්කු වෙලා අද ?  " . කඩේ මුදලාලි කොලුවා කතාවට මුල පිරුවේය 

ආ කොහොමද පුතා..... ඊයේ රෑ වර්ල්ඩ් කප් බැලුවානේ , නැගිටින්න පරක්කු උනා 

අම්මට සිරි අංකල් රගරුත් බලනවද ?

එහෙනම් ....මම රගර් ගහලත් තියෙනවා . කොහොමද අපේ ඕල් බැලක්ස් ලාගේ වැඩ ?

හෑ හ් ? අපේ ඕල් බැලක්ස් ?  

ඇයි  බැලුවේ නැද්ද ?

නෑ අංකල්  බලන්න කියලා සෙට් වුනා ... ඒත්  ඕල්  බැලක්ස් එන්න කලින් ඕල් රිසව්  ආවා  .. ටිකක් වැඩි වුනා 

අපරාදේ .. 

අන්කල් ඒක  නෙමේ , මැච් එකෙන් පස්සේ අර කව්ද හාදයෙක් මැඩ්ල් එක පොඩි එකෙකුට දුන්නලු නේද ?

ආ ඔව් ඔව් ..ඒ අපේ මේ සනී බිලින් විලියොන් නේ ...

ආ එයාද ?   .... මම හරියටම දන්නේ නම් නෑ ... ඒත් ඇයි ඒ අංකල් ?

ඉස්පෝට් මන් සිප් එකනේ පුතා ... ඒකට අපේ කට්ටිය ... අර අනුහයේ කප්  එක දිනපු වෙලාවේ අර විකට් පොල්ලකට රණ්ඩු වුන හැටි ..

ඒ වුනාට .. ඒ සිද්ධි දෙක සමාන නෑ නේ අංකල් ?

ඒ වුනාට ...  මේ පොර නියම ඉස්පෝට්ස් මන් පුතා 

අංකල් ඔය සනී බිල් .. මුස්ලිම් ලු නේද 

ආ එහෙමද ? එක අතකට පුතා කියන එකත් ඇත්ත ... ඔය සනී බින් හාදයා , කපටි කමට ඕකෙන් ප්‍රසිද්ධියක් ගන්නම හිතලා ඕක කරන්න ඇති ...මොකෝ ඔය තම්බියෝ ඉන්නවා නේද.....

***

විමලේට ඊයේ රාත්‍රියේ හරි හමන් නින්දක් ලැබුනේ නැත . ඒ අදට යෙදී  ඇති විරෝධතාවය ගැන සිතේ ඇති විචිකිච්චාව නිසාය . එහෙත් ඔහු ගේ හිත උද්යෝගීමත් ව තිබුණි . හදවත ගැස්මද ටිකක් වේගවත් බව ඔහුට දැනුනි .

සිරුරු කිස නිමවා , ඉනට ඇඳි තුවාය පිටින්ම අල්මාරිය වෙත ගියේ ඇඳුමක් තෝරා ගැනීමටය . මුලින්ම සුදුසු කමිසයක් ඇඟලා ගත් ඔහු කැඩපතින් හැඩ බැලුවේය. පාට වියැකුණු තුවායේ , "ම" යන්නක් තට්ටම මතටම සමපාත වී තිබුණි .ඊට පසුව තිබු "හි" යන්න දිස් වන්නේ යන්තමටය . එතනින් එහාට අකුරු මැකී ගොසිනි .

ඔහු ගේ අල්මාරිය හරිම පිළිවෙලය . එක එක පාට කමිස එල්ලා ඇත . ලාච්චුවේ සීරුවට ගොඩ ගැසූ පාස්පෝට් මිටියකි . ඔහු පාවහන් යුවලක් තෝරා ගත්තේය . පාස්පෝට් වැරදුනා මෙන් නොව , විරෝධතාවයකට යාමේදී ඊට ගැලපෙන පාවහන් යුවලක් පැළඳීම ඉතා වැදගත් බව ඔහු අත්දැකීමෙන් දත්තේය . පෙළපාලියේ යන්නට  රනින් ශුස් පැළඳ  , විරෝධතාවයේදී අඳින්න සෙරෙප්පු කුට්ටමක් මල්ලක දමා ගත්තේය .

විමලේ කොල්ලුපිටියට යන විට , කට්ටිය පැමිණ සිටියහ . සියල්ලෝ කැසිනෝ ශාලාවක් ඉදිරිපිට රැස්වී සිටියහ . 

"සර් මේ කට්ටිය , දේශීය ලිංගික ශ්‍රමික පර්ෂදයෙන් . අපේ දේශීය රැකියා වෙළඳ පොළ , ඉන්දියානුවන්ට විවෘත වීම නිසා ඇතිවන දුෂ්කරතා නිසා ප්‍රතිපත්තිමය තීරණයක් අරන් අපිට සහය දෙන්න " මුසා , මුහුණ ටිකක් වැඩියෙන් පාට කළ, 
තද රතු තොල් සායම් උලාගත් මැදි  වයසේ කාන්තාවක් හඳුන්වා දුන්නේය . 

"මම ටාආ ආ ආ  නියා, අපි බෝඩ් ඇඳ ගෙනම ආවා  " ඈ  වයසට නොගැලපෙන කෝල බවක් පෑය . "හෙළ ජාතික අභිමානේ " බෝඩ් ලෑල්ලේ ලියා තිබුණි .  විමලේට තම මුහුණ රතුවෙනවා මෙන් දැනින . ඔහු හිමින් සැරේ බැලුවේ, තමාගේ දේශප්‍රේමය අවදි වුවාදැයි සැක සිතුනු බැවිනි . 

විරෝධතාවය නැගලා ම ගියේය . 

"එපා එපා එන්න එපා ...සනී මෙහෙ එන්න එපෝ "
" සීපා දිගේ සනී එනෝ ... අපේ රස්සා කොල්ල කනෝ .... පළල් කරන්  සනී එනෝ .... සංසාරේ දික් වෙනවෝ "
" බෙලාජියෝ , රනිල් , සනී හවුල  භංග වේවා  " //
" බෙලාජියෝ ගෙනියනවා ..සනීගේ (ඉතිරිය හරි හැටි  ඇහුනේ නැත ) ..    මේවා දැකලා අපි කොහොමද නිවන් දකින්නේ ...."

සටන් පාඨ මොර දුන්නෝය . 

අයෙක් පැමිණ පිරිත් පැන් ඉස්සේ, මේ කැසිනෝ ශාලාව ඇතුළේ  ඇති සුරාවෙන් සූදුවෙන් සහ මරඟනන් ගෙන් දේශප්‍රේමීන් ගේ සිත් ආරක්ෂා කර ගැනීමටය 

නැවතත් මුසා පැමිණියේය .  "සර් ඉස්සරහට ඇවිත් කතාවක් කරන්න , ටී වී චැනල් වල කට්ටියට පරක්කු වෙනවා ලු ...වොයිස් කට්  ගන්න " 

විමලේ කතාව පටන් ගත්තේය . අත්පොලසන් , ඔල්වරසන් හඬ මැද වචන ගලා එන්නට විය . ගිරිය පිප්පි , හඬ සැර  විය 

" ... මේ වගේ විදේශීය අත පෙවීම්  ඉදිරියේ දේශප්‍රේමී ජනතාව නිකන් බලන් ඉන්නේ නෑ ... මේ ඩීල් කාරයින් , හොරු , එන්  ජී ඕ  කාරයින්ට  කියන්න කැමතියි ..මතක තියා ගනින් බෙලාජියෝ ..මහත්තයෝ ...ඔය සනී ගේ කෙරුම් , මමත් හොඳට දැකලා ...නෑ  නෑ  සමා වන්න මමත් ඒ ගැන අහලා තියෙනවා ....අද සනී ආවොත් ... අපේ සදාචාරය රැක ගන්න ඉස්සරහට ආපු මේ ජන බලවේගය විසින් සනීව ...."

විමලේ කැසිනෝ හලේ වසා ඇති දොර දෙසට හැරුණි 

"සනීව ගෝල්පේස් එකට ගෙනිහින් ... රෙදි ගලවලා... "

ඔහු ආපසු හැරුනු  විට දුටුවේ පිරිස වේගයෙන් ගාලු පාර දෙසට දිව යන අයුරුය  . මුසාද දිවයන බැව්  දුටු ඔහු වට පිට බැලුවේ  ශ්‍රී ලංකා (ස්වාධීන වූ) පොලිසියෙන් බිස්කට් බෙදන්න වත් ඇවිත්ද කියා ය . එහෙම සේයාවක් වත් පෙනෙන්නට නැත . 

"මුසා මුසා මොකෝ බන් දුවන්නේ ..කොහේද  යන්නේ ?"

" නෑ  සර් කට්ටිය ගෝල්පේස් යනවා ... අර සනී ගේ රෙදි ගලවනවා බලන්න ...ලයිව් දැකලා නෑ  නේ  .. ඒකයි  මාත් ..." මුසා අහිංසක හිනාවක් පෑවේය 

30 October 2015

අවම බලය සහ උපරිම සුදුසුකම (හෙවත් සෝමා ඇන්ටිගේ කෑම කැවීම )

දේශපාල තාත්තාගේ 
චන්ඩි බන්ඩි පොලිස් පුතා 
හදනු නියා බාර කලා 
ස්වාධීන කොමිසමකට 

ඒ වුනාට 
අනේ තාම
ගාලු පාරේ 
බිම පෙරළන් 
බැටන් පොල්ලේ 
අවම බලය 
තැලුම් පාර 
නිල්  වෙනකන් 


***


සෝමා ඇන්ටි , පුරුදු පරිදි කෑම පිඟානක් බෙදා ගෙන තම මුණුපුරා පස්සෙන් දුවන්නේ කෑම ටික කවා ගැනීමටය . පුරුදු පරිදි ආතම්මලා මෙවැනි විටෙක බිල්ලෝ එන කතා , කරෝල වාඩී වලට ගෙන යන කතා කියා පොඩි එවුන් බය කරන්නෝය .  නමුත් සෝමා ඇන්ටි ටිකක් නිර්මාණ ශීලිය . ඇය කියන්නේ වෙනස්ම කතාය .

" පුතේ ,  මේ කට කෑවේ  නැත්නම් මයේ පුතා ව අල්ලාගෙන ගිහින් කොට දෙනියාවේ ඕ අයි සී කරයි ". පොඩි එකා කට ඇර  බත් පිඬක් කන්නේය .

" මේකත් කන්න පුතේ , නැත්නම් අල්ලාගෙන ගිහින් ජනාධිපති විමර්ශන කොමිසමට ගෙනියයි ". නැවතත් සිඟිති මුව ඇරෙන්නේය .

" පුතේ මේ අන්තිම කට,  මේකත් කන්න , නැත්නම් අල්ලා ගෙන ගිහින් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය කෙනෙක් කරයි .."

"මට බෑ .."

"ඔන්න මම නොකීවා  කියන්න එපා , ඊට පස්සේ පුතාට එකේ ඉන්න නොසන්ඩාල කොල්ලන්ගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න වෙයි "

පොඩි එකා ගේ දිවීම නැවතුණි 

"මොනාද පස්න ?"

"උන් අහයි , උඩ යන්නේ නැතිව හරහට අහස්  ගුණ්ඩු යවන්නේ කොහොමද කියලා . අහයි අහසේ තරු කීයක් තියෙනවද කියලා . අහයි සිංහ කොඩිය ගහලා ඇරපු චන්ද්‍රිකාව කෝ කියලා "

"ඉතින් මන් දල් ලෑ ලේ ."

"ඒක තමයි , එතකොට උන් පුතාට හූ කියයි .... කොළ බෝල වලින් ගහයි ..... "

"ආතම්මේ විච්ච විද්දාලේ කියන්නේ මොකක්ද "

"ඒක  ලොකු ඉස්කෝලයක් "

"මොන්ටිසෝලිය වගේ ?"

"නෑ නෑ , මොන්ටිසෝරි   ගිහින් , ඉස්කෝලේ ගිහින් , ඕලේවල් , ඒ ලෙවල් විභාග පාස් කරලා ඊට පස්සේ තමා  විස්ස විද්‍යාලේ යන්නේ "

"හූ හු ආතම්මාට අමතක උනා , මම විභාග පාස් කලලා නෑ නේ "

ඒ වුනාට දැන් ඒවා බලන්නේ  නෑත් ලු  පුතේ .....දැන් ගොඩක් දේවල් කරන්න ළමයින්ට දීලා නේ තියෙන්නේ ... රටේ දේවල් දෙන්න ළමයි හොය හොයා ඉන්නේ


29 October 2015

තනි රූල් ඉරි අතර , ජීවිතය ලිවීම

සුදු 
හිස් පිටු පුරා 
ඇඳි තහංචි රේඛා 
තනී  රූල් 

ලංවී බලන් 
නොවේද දිස් 
දෙඉවුරක් ගං 
අනන්තයකට විහිදුනු 

නෙක් රහස් සැඟවුණු 
බෙණ යැති  අඳුරු 
කුඹුක් ගහත් 
දියටම නැමුනු 

මතකයක 
පිලිහිඩු  නීල සළු ද 
පෙරී ආ අව්  රැසේ 
වේලෙන්නට වැනු 

වාක්‍ය 
බැමි බිඳ 
වචන 
ගලා යයි ඔහේ 
විටෙක දොළ පාරක්ව 
විටෙක සැඩ  රළ නගා 
දෙගොඩ තලා 
නොගලා 

ඒත් 

පරිස්සමෙන් 
මග හරිමින් 
ප්‍රශ්නාර්ථ , කොමා 
නැවතීමේ තිත් 

මේ රූල් ඉරි 
අතරය එල්ලුවේ 
මා 
තීන්ත වේලෙන්න නියා 
එක එකම වදනක් 

ජීවිතය .

26 October 2015

හිට්ලර් යාම , චැප්ලින් ඒම සහ Back to the future

2015 ඔක්තෝබර් 21 ගැන කතාබහක් ඇතිවුයේ , Back to the future (බැක්  ටු ද ෆියුචර්) චිත්‍රපට මාලාවේ මාර්ටි අනාගතයට යන දවස එය වූ බැවිනි . 

කොටින්ම මේ චිත්‍රපටය ඇත්තක් නම් , එදා කොහේ හෝ තැනක මොඩිෆයි කල ඩිලෝරියන් රථ කාල යන්ත්‍රය, කාලතරණය කර මතුවෙන්නට ඇත . සංවාදයක් ඇතිවී තිබුනේ එදා 1985 දී මේ චිත්‍රපටයෙන් , 2015 දී පවතී යයි අනාවැකි කී කෙතරම් දේ අද සැබෑවී ඇත්දැයි කියාය . වීඩියෝ සම්මන්ත්‍රණ , පාවෙන හුවර් බෝඩ් , ටැබ්ලට් පරිගණක, ෆ්ලැට් ස්ක්‍රීන් රුපවාහිනී  ආදී බොහෝ දේ ඒ අතර වෙති .

දැන් මේ දවස් වල ලංකාවේ කතාවෙන චිත්‍රපටය දෙසට හැරෙමු . චිත්‍රපටය "ඇඩ්රස් නෑ" ය . එයට කියවීම් බොහොමයක් ඇත . අබා සිට මේ දක්වා,  ජැකා ආ ගමන යයි අයෙක් කියුවේය . හිතේ ඇතුවූ කනස්සල්ල නිසා කෙරූ නිර්මාණයක් යයි තවත් අයෙක් කියූහ . ඒත් මාස අටක් ඇතුලත චිත්‍රපටයක් නිර්මාණය කළ  හැකිද යන්න සැක  සහිතය . නමුත් සංස්කරණයෙන් , ලබාගත් දර්ශන ඇමිණීම වෙනස් කොට කතාව උඩු යටි කලද හැක . කෙසේ වුවත් සැකයේ වාසිය අධ්‍යක්ෂකට  දෙමු . නමුත් ජැකා අබා විකුණු ලෙසින්ම , ඇඩ්රස් නැති කතාවත් විකුනන්නේය . එය නම් වෙනම කතාවකි .

චිත්‍රපටය තවම තිරගත වී නැත . මා මේ සැරසෙන්නේ පුර්ව  ප්‍රචාරක පට කිහිපයක් පමණක් නරඹා  යම් කියවීමක් කිරීමටය . මුළු චිත්‍රපටයම නොබලා , ඒ ගැන ගැඹුරින් නොසිතා,  විචාරය , කිසිම චිත්‍රපට විචාරකයෙකුට නොහොබි . එහෙත් මම චිත්‍රපට විචාරකයෙක් නොවෙමි. ඇතැම් විට දැන දැනම නොහොබී දේ ද කරමි .

මුලින්ම මෙහි කියවෙන පරිදිම නාසි වත්තේ හිට්ලර් , ඒ අයිඩෙන්ටිය විසික්කා කොට වෙනස් වන්නේය . එකෝමත් එක රටක වූ මේ වැනි කතාවක් යන්තමට මෙන්  මතකය . 

"හිට්ලර් ගියා චැප්ලින් ආවා යයි" , ගැඹුරු හඬින් පළමු ප්‍රොමෝ එකේද , දෙවැනි එකේ විහිලු හඬකින්ද කවුදෝ කියන්නේය.. ( අනේ මන්දා )

 මෙහි සිටින චැප්ලින් ගොළුය . මිනිසුන් වට කරගෙන චැප්ලින් , හිට්ලර් උපහාසයට ලක් කරන්නේය . මිනිස්සු ඉන් ප්‍රීතී ප්‍රමෝදයට පත්වී සල්ලි විසි කරති.
හිට්ලර් විකුණා චැප්ලින් ජීවත් වෙයි . එහෙත් හිට්ලර් ගේ දරුවා හදා වඩා ගන්නේ චැප්ලින්ය . (?)

තව දර්ශනයක පරණ සුදු වෑන් එකක් , තල්ලු ස්ටාට් කර දුම් දමා ගෙන ඉදිරියට ඇදේ . එහි පැත්තක බාගේට  ඉරා දැමු පෝස්ටරයක් ඇත එහි " මන්ත්‍ර , මැජික් , කඩු සටන් ......අලුත් පිටපත"  කියා සටහන් වී ඇත . (!)

මේවා ගැන මොකක්දෝ හරියටම ඝනීභවනය නොවූ කියවීමක් මා සිතේ ලියවේ . 

එක් කට් එකක , "මට බඩගිනියි " කියා ගෙන තම දොර පාමුලට එන හිට්ලර් ගේ මුහුණට, දොර, පින්සාර වහන්නේ "විශ්වාසා පරමා ඥාති " කියමිනි ..... (හ්ම්ම්ම්) 

පුර්ව  ප්‍රචාරණ පටය අවසානයේ හිට්ලර් පොලිස් ජීප් එකකට නංවා ගන්නා දර්ශනයක් ඇත . නමුත් හිට්ලර් නගින්නේ ඉස්සරහ සීට් එකටය . එවිට පොලීසියේ  OIC ඉබේම ඩ්‍රයිවර් කෙනෙක් මෙන් දිස්වේ. එහි කවුළුවෙන් අපි දෙස බලන හිට්ලර් "ඇඩ්රස් නෑ "  කියා කියන්නේය . ඔහු එය කියා (ඔලොක්කුවට මෙන් ) සිනාසුනු බවක් මට දැන් සිහිවේ .

මේ චිත්‍රපටය රූ  ගත කර තිබෙන්නේ 2013, 2014 කාලයේය . ඒ කියන්නේ මේ වසරේ සිදුවූ අලකලංචි ගැන කිසි පෙර නිමිත්තක් නැතුවය . එසේ නම් back to  the future  මෙන්ම , "ඇඩ්රස් නෑ" ත් අනාගතය පෙර දැක්කාද ? 
මෙය මනෝවිකාරයකි . නමුත් අර back to the future හි doc කියන්නාක් මෙන් " if you do not consider time , it makes perfect sense" (කාලය මේ සමීකරණයෙන් ඉවත් කළ  හොත් එය තේරුම් ගත හැක .)


පලි :මෙය කලාකෘතියක් , කලාකාරයෙක් , චිත්‍රපටයක් , සමාජ සංසිද්ධියක් ගැන කියවීමක් නොවේය . මේ ගැන විවිධ අය   විවිධ  දේ ලියා ඇත . මේ චිත්‍රපටය , පුර්ව පට වලින් ඔබ්බට ලෙලි ගසා බැලුවිට , ගත යුත්තක් නැති නිර්මාණයක් වීමටද ඉඩ ඇත . ඒත් මගේ ඔලුවේ විසිරුණු යම් සිතිවිලි කීපයක් සටහන් කර තැබීමට සිත් විය 

24 October 2015

ආච්චි මළ බව පමණක් කීම හෙවත් What to say when you don't have anything to say

" මේ උ*තෝ  ,  නානපාල ..... මේ ආපන්  ...." 

නල්ලතම්බි මහතා තමන් දන්නා සිංහලෙන් නානපාල ඇමතුවේය (නල්ලතම්බි මහතාට "හ" යන්න කියවෙන්නේ නැත . එක්කෝ ඔහු ඊට අ යන්න  හෝ උ යන්න ආදේශ කරන්නේය නැතිනම් අමතකම කර දමන්නේය ).

මේ සිද්ධිය මා සේවය කළ  මුල්ම ආයතනයේ , ඊට  ගිය අලුත  සිදූවූ වකි . 

ඥානපාල නොහොත් නානපාල එහි සේවයට අලුතින් එක්වූ තරුණ ගැටයෙකි . ඔහු පුහුණු ලිපිකරුවෙකි .  ආයතනයේ කොල්ලන්ගේ බසින්ම කියතොත් , උනන්දුවෙකි . (යාන්තමට මුහුණ කට හෝදා  ගන්නට කිව්වොත් , බාල්දියක් ගෙන නාන තරමටම උනන්දුවෙකි .)

නල්ලතම්බි මහතා මානව සම්පත් අංශයේ පලමු ශ්‍රේණියේ නිලධාරියෙකි . වසර දහයක පමණ සේවා අත්දැකීම් ඇති ඔහු , නිවුනු ගති ඇත්තෙකි . කිසිවෙකින් කලබල නොවන්නෙකි .  ඔහු අපේ බොස්ය . දරුවන් නොසිටි ඔහු , තම බිරිඳ සමග පදිංචි වී සිටියේ වැල්ලවත්ත පැත්තේ කුලී ගෙයකය. ඔහු රාජකාරිය දේව කාරිය සේ සැලකුවේය . උදේ සිට සවස් වෙන තෙක් තම යටතේ සිටින සේවකයන්ට පරාල  ඇනයක් වෙන ඔහු , හවසට ඔවුන්ව කැඳවා ගෙන වයිට් හෝස් එකට ගොස් 
කිහිපයක් ළඟ නවා ගෙන , ඉන් පසු සරස්වතී එකෙන් තොසේද අරන් දෙන්නේ තමන්ට ලැබෙන  සොච්චමිනි . ඕනෑම දුකකදී ඔහු මුල් තැන ගත්තේය . ඔහුගේ බොක්ක රත්තරන් බව සියල්ලෝම දත්තෙමු. එහෙයින් , කෙතෙක් කටුක වුවද , පෙරලා හොම්බට එකක් අනින්නට සිතිවිලි ජනනය වුවද , ඔහු ඇනුම් බැනුම් ඉවසා සිටියෙමු .

මේ සිද්ධිය සිදු වෙන දිනයට සතියකට පමණ පෙර ,  head office එකෙන් (ප්‍රධාන කාර්යාලයෙන් ) විගනණාධිකාරීන් හෙවත් ඔඩිටරයෝ අප ශාඛාවට පැමිණියහ . දැන් ලෙජර් , ෆයිල් දිග හැර ගෙන මහා audit එකකි.  අප ආයතනය අන්තර්ජාතික ආයතනයකි , එහි විගණනය කරන කාණ්ඩයම පැමිණෙන්නේ විදේශයකිනි .ඔවුන්ට සිංහල නොතේරේ . ඔවුන් ඉන්නා විට පොතේ හැටියටම වැඩ කරන ලෙසත් , සුපුරුදු නීති අස්සෙන් රිංගීම, කෙටි වෙට්ටු දැමීම ආදිය නොකරන ලෙසත් මොනවා හරි හොරෙන් කියන්න ඕනේ නම් සිංහලෙන් කතා කරන ලෙසත් අපේ බොසා අපට මුලින්ම උපදෙස් දී තිබුණි .
දිනක්, එක ඔඩිටරයෙක් , අපේ නානාව අල්ලා ගෙන  වවුචර් පෝස්ටින්  හෙවත් බැරවීම්,  ලෙජරයේ  සටහන් කිරීමේ ක්‍රියා පටිපාටිය විස්තර කරන ලෙස ඉල්ලා සිටියේය .

අපිට නල්ලතම්බි කට පාඩම් කෙරවූ පරිද්දෙම්ම,  නානා , කට පාඩමින් ඒ ටු ඉසෙඩ් කීවේ, කිසිදු අපහසුවක් නැතුවය .

"Very  good , anything else ? " (බොහොම හොඳයි , වෙන මොකුත් කියන්න තියෙනවද ....) ඔහු ඇසුවේ කට්ට කමටද , මනුස්ස කමටද කියා මම නොදනිමි

"Yes sir , although the process is like that , practically ...." (ඔව් සර් ... ඔය ප්‍රොසෙස් එක ඔහොම තිබ්බට , ප්‍රැක්ටිකලි කරන්න ගියාම .....)
නානා සැරසෙන්නේ වැඩේ කන්න ය . මූ  දැන් පොතේ තියෙන විදිය කියා අවසන් කර, ඇත්තටම  අපි වැඩේ කරන විදියත් කියන්න සැරසෙන්නේය .

නල්ලතම්බි ඉස්සර වූයේ  මෙවිටය

දන්නා සිංහලෙන්, අර උක්ත කී අයුරෙන්,  නානා ඇමතු ඔහු..

"...උඹේ ආච්චි මැරුණා කිව්වම ඇති . මැරිච්ච විදිය කියන්න ඕනේ නෑ,  ...." කියා තම ප්‍රකාශය අවසන් කළේය

එදා හවස තෝසේ අඹරන වෙලාවේ මේ කතාව නැවතත් ඇදී  ආවේය .

 "නෑ බොස්  මම , අපේ මුළු ප්‍රොසෙස් එකම කියන්න හැදුවේ ..." නානා උත්තර බඳින්න තතනත්ම , නල්ලතම්බි ඔහුව නැවත්තුවේය

"අයිශේ නානපාල  , මේක ඔඳට ඉතට ගන්න  ... මේක ගෝල්ඩන් ඇඩ්වයිස් එකක් පුතා , ඔයා කැරියර් එකේ උඩට යනකොටත් මේක අමතක කරන්න එපා ...උඹට නිකන් කට තියන් ඉන්න බැරිනම් , බුල්ටෝ එකක් කටේ දා ගන්න .... කියන්න ඉම්පෝටන් දෙයක් නැත්තන්  මොකුත් කියන්නේ නැතුව කට වාන් ඉටපන් ...."

නල්ලතම්බි , පසු කලෙක විශ්‍රාම ගත්තේය . එවිට ඔහු නිලධාරී 2වෙනි ශ්‍රේණියට උසස් වීමක් ලබා තිබුණි . 
නානා , අද එතෙරය . ලොකු තැනකය . නානා විතරක් නොව එදා ඒ මේසයේ තෝසේ හා සාම්බාරු එකට ඇඹරු බොහෝ දෙනෙක් අද වෘත්තීමය ලෙස බොහෝ දුර ගොස් ඇත .

නල්ලතම්බි ගේ ඒ උපදෙස බොහෝ දෙනෙකුට තවම මතක ඇත. එහි වටිනාකම මගේ වෘත්තිමය දිවියේ බොහෝ තැන්  වලදී අත්දැක ඇත්තෙමි, පිළිපැද ඇත්තෙමි  .  නිසි තැනදී කිව යුත්ත කීමෙන් මෙන්ම , කට වසා ගෙන සිටීමෙන්ද බොහෝ ප්‍රථිපල  ලබා ගෙන ඇත්තෙමි .

මෙය අපි වැන්නවුන්ට පමණක් නොව , රජෙකුට, ජනාධිපති කෙනෙකුට වුව මනා උවදෙසක් යයි සිතුනේ, පහුගිය දාක දුටු පුවත් සිරස්තලයකිනි .

" රණ විරුවන් අධිකරණයට කැඳවීම වැරදියි , ඒ ගැන මම කනගාටු වෙනවා , මේ ගැන මම දන්නෙවත් නෑ: සේනාධිනායක" කියා එහි සටහන් වී තිබුණි.

22 October 2015

අවුරුදු අටයි මාස අටයි දවස් කීපයක් // Looking in to the rear view mirror




2007 මුල දවසක, ඊ මේල් කරපු කවියක් කියවපු අයෙක් මට "ඇයි ඔබ බ්ලොග් එකක්  පටන් ගන්නේ නැත්තේ කියලා" කිව්වේ , මේ ඊ මේල් කරදරෙන් බේරෙන්නද කියලා මම අදටත් දන්නේ නෑ  . 

ඒ වෙනකොට බ්ලොග් කියන්නේ මොනවද කියලා මම දැන ගෙන හිටියා . උපන් රටෙන් ඇවිත් , පිටරටක පවුලත් එක්ක තනිවෙච්ච මම, ඒ සාංකාව නැති කර ගන්න ලංකාව ගැන කියවන්න පටන් ගත්තම , අහම්බෙන් කොත්තු සින්ඩිය හමු උනා . ඒ  වෙනකොට සිංහලෙන් ලියවෙච්ච බ්ලොග් තිබ්බද කියලා මම දන්නේ නෑ  . එදා ඉඳන් කියවපු  සමහර බ්ලොග් (london lanka and  drums , indi .ca  ) තාමත් ලියවෙනවා ........ හැබැයි මේ බ්ලොග් සමග  පොඩි දුරස් බවක් නම් මට දැනුනා කියලා දැන් හිතෙනවා  .

ඔන්න ඉතින් මමත් (වැඩිය හිතන්න යන්නේ නැතිව ) බ්ලොග් එකක් පටන් ගත්තා . මුලින්ම පළ කලේ චායාරූප  සහ ඒවාටම ගැලපෙන්න වාක්‍යයක් හෝ දෙකක් . පොඩියට පටන් ගත්ත පුරුද්දට මා ඇබ්බැහි උනා . වැඩේ හීනියට ඇදිලා  ගියා.  මුළු 2007 අවුරුද්දටම කොමෙන්ට්ස් 30යි . සමහර පෝස්ට්ස් බලල තියෙන්නෙත් 5 දෙනයි .
ඔහොම කාලේ ගතවෙනකොට , මා ,  හිතන බාසාව ගැන  ටිකක් දුරට හිතන්න ගත්තා . මම නිගමනයකට ආවා  මිනිස්සු හිතන බාසාවක් තියෙන බව ට හා  මම  ඉංග්‍රීසියෙන් ලිව්වත් හිතන්නේ සිංහලෙන් බවට . ටිකෙන් ටික කවි , කතා බ්ලොග් එකේ  පිරවුනා . මේ වෙනකොට මම අන්තිම පේලියත් කියවන්න අරන්  .  අන්තිම පේලියේ ප්‍රතිචාර රැහැන්  දිගේ ගිහින් ඒ හා සබැඳුනු බ්ලොග් කියවන්න පටන් ගත්තා. සමහර බ්ලොග්  කියවලා කොමෙන්ට් කළා , සමහර බ්ලොග් කියෙව්වා විතරයි . 
යුද්දේ ඉවර වෙලා රටක් කිරිබත් කාපු සතියේ , මගේ හිතේ කතාවක් හිරවෙලා බරවෙන්න  ගත්තා . මේක කියා ගන්න විදියක් මම හෙව්වා , සිංහලෙන් ෆොන්ට් එකක් බා ගෙන මම මේක ලිවුවා . පලවෙනි සිංහල සටහන .

කාලයාගේ ඇවෑමෙන්   අලුත් අලුත් බ්ලොග් මම හොයාගත්තා.  බ්ලොග් කියෙව්වා , බ්ලොග් චරිත අඳුනා ගත්තා , ඒ පිටි පස්සේ ඉන්න මිනිස්සුත් කියවන්න ගත්තා . 
අවුරුදු අටක් තිස්සේ මම කියවන (පුළුල් අර්ථයෙන්ම ) පරාසය පළල්  වෙලා , ඒ දවස් වල කියවපු ටැබූ , වෙදනා , මාරයා , චාමි වගේම ඔබා ගේ ලියවිල්ල හිත තවම ඉල්ලුවත් , මේ අවකාශයත් මුහුකුරා ගිහින් කියලා මම හිතනවා . වෙන් වෙන්ව නම් වශයෙන් සඳහන් නොකළත්  බොහෝ ලියවුනු,  ලියවෙන බ්ලොග් මම කියවනවා. දිගටම ලියා ගෙන ආපු අය  අලුතෙන් එකතු වෙච්ච අය කියවලා මම රස විඳිනවා . කළ  , නොකළ යුතු දේ පිලිබඳ ඉගෙනගන්නවා . අලුත් කොල්ලෝ කෙල්ලෝ හිතන විදිය ඉගෙන ගන්නවා .  කොච්චර වෙනස් වුනත් , අපේ ජීවිත අඩි 20000ක් උඩට ගිහින් බලපුවහම කොච්චර සමානද කියලා තහවුරු කර ගන්නවා.

කොටින්ම දවසකට විනාඩි 15ක් විස්සක් ලංකාවට ගිහින් "සෙට් " වෙනවා  (සෙට් වෙනවා කියන එකට වඩා ශාස්ත්‍රීය වචනයක් මට හිතට එන්නේ නෑ. එතන සියලු රස කැලතුන  බව , හර්දයාංගම බව තියෙනවා කියලා හිතෙනවා   )

බොරු කියන්න ඕනේ නෑ  , බොහෝ ලේඛකයන් වගේම , ප්‍රතිචාර , මා වත් උනන්දු කරවනවා . ඒත් බොහෝ විට කිසිම ප්‍රතිචාර නැතිවත් දිගටම ලියුවේ ඇයි  කියලා 
කියන ප්‍රශ්නෙත් හිතට නැගෙනවා. (පහුගිය දවසක මම හෝටලයක ලොබියක , ගයන ගායකයෙක් දිහා බලා ගෙන උන්නා . ලොබියේ තුන් දෙනයි . උනුත් සින්දු අහන්නේ නෑ  . ඒත්  රස්සාව නිසා අර මනුස්සයා සින්දු කියනවා ...මමත් ඒ වගේද (රස්සාව වෙනුවට පුරුද්ද ) කියලා එවෙලේ මට හිතුනා )

අර ඉස්සර කකා ගේ බ්ලොග් එකේ තිබ්බා වගේ  " කියන්න කතාන්දර ගොඩක් තියෙන කතන්දර කාරයෙක් " ද මං  , කියලත් හිතෙනවා ...
හැබැයි මේ  pinchpoints ... ඒ කියන්නේ නාභි ලක්ෂය , නැත්නම් කෙනෙත්තුම් පාර ,.. හිටපු ගමන් පොල්ලෙන් ගැහුවා වගේ ඔලුවට එන දේ පාක් කරන තැනක් ... ඒකයි  විහිදුනු යථාර්තය මදකට පෑදී පෙනෙන කියලා ටැග්  ලයින් එක දැමුවේත්. 

මගේ පරණ දින පොතක මම ලියලා තියෙනවා , "මම මතක තියාගන්න චායාරූප ගනිමි, අමතක කරන්න ලියමි" කියලා . ඇත්ත. ලියලා මම හිත සැහැල්ලු කර ගන්නවා . 

මම මේ සටහන කිහිප විටක් මේ අවුරුද්දේ පෙබරවාරියේ සිට ලිය ලිය , පැත්තකින් තැබුවේ ... අවුරුදු අටක ලියවිල්ල ගැන උදම් ඇනීම නොහොබි යයි හිතුනු නිසා . දැනුදු මට එලෙසම සිතුනත්  මෙය අද පලකරන්නේ එක හේතුවකට . 


ඔබේ සුභ පැතුම් නොව , මගේ සටහන් ගැන වෙනස් විය යුතු, වැඩි දියුණු කර ගත යුතු ( කොටින්ම feedback ) යයි ඔබ හිතන දේ ගැන ප්‍රතිචාර දක්වන්නේ නම් මම ඉතා කැමැත්තෙමි .... 

අර කවුදෝ කෙනෙක් කිව්වා වගේම  ගල් නම් වඩා හොඳය, සෝඩා එපාය.


19 October 2015

ෆෘට් සැලඩ් මතක සහ විවිධත්වය හා අනුගත වීම පිලිබඳ ෆෘට් සැලඩ් න්‍යාය// fruit salad memories and fruit salad theory of diversity and inclusion



ඒ දවස් වල බොහෝ විට ෆෘට්  සැලඩ් එකක් අපේ ගෙදර හැදුනේ දානේකටය. බොහෝ විට මේ පලතුරු ගෙනාවේ නුගේගොඩ පොලෙන්ය . "ෆෘට් සැලඩ් එකකට " කියා කිව්වහම අඹ විකුනපු මුදලාලි , ගොඩේ යටින් හොඳ ගෙඩි තෝරා දුන් හැටිද මතක් වේ . මෙහි කිසි තාර්කික පදනමක් නැතත් , ඒ දවස් වල ෆ්රුට් සැලඩ් හා දානේ ගෙවල් අතර තිබු සම්බන්ධය නිසාම එය කළා යයි දැන් හැඟේ . ෆෘට්  සැලඩ් එකක හැදීම මහා ව්‍යාපෘතියකි . පලතුරු හේදීම , ලෙලි ගැසීම , කෑලි කැපීමෙන් පසු එය බේසමක මිශ්‍ර වන්නේය . එය දුටු විට නම් මට දැනුනේ මහා අප්පිරියාවක්මය . නමුත් එය ඉවසා ගෙන ඒ අසල ගැවසුණේ , ඉතුරු අඹ ඇට ටික ලැබෙන නිසාය . නමුත් පසුව බෙලෙක් හෝ ප්ලාස්ටික් කෝප්පයකට , අයිස් ක්‍රීම්  හැන්දක් යට හංගා දුන් විට කිසිම සිඟිත්තෙක්  එය එපා කියන්නේ නම් නැත .

***

"ගෑණු ප්‍රතිශතය හරි ... දැන් අබ්බගාත පොරකුයි , අන්දයෙකුයි , සමලිංගිකයෙකුයි දෙපාර්තුමේන්තුවට ගත්තා නම් මගේ විවිධත්ව (diversity ) ටාගට් එක හරි "

ඒ අපේ ආයතනයේ සංස්කෘතික විවිධත්වය ,  සැමට සම තැන ගැන ලියවුනු මහා සිද්ධාන්ත,  ප්‍රායෝගිකව ක්‍රියාවේ යෙදවෙන හැටිය .  මෙය අපේ ආයතනයේ පමණක් නොව ලොව වටා බොහෝ ආයතන වල තත්වය යයි මම විශ්වාස කරමි .

විවිධත්වය මුලින්ම පිළිගත යුතුය (accept) , ඉන්පසු එය වැළඳ ගත යුතුය (embrace). නමුත් බොහෝ විට Diversity කතාන්දරය එතනින් නවතී 

 මෙය පලතුරු වට්ටියක ඇති විවිධ පලතුරු , අතගා , සුවඳ බැලීමට සමාන කර සිතන්න . අඹ ගෙඩි අඹ ගෙඩි ලෙසද , අන්නාසි අන්නාසි ලෙසද , කෙසෙල් ගෙඩි කෙසෙල් ගෙඩි ලෙසද හඳුනා ගනිමු . නමුත් වැදගත්ම පියවර එන්නේ මින් පසුව ය. එනම් අනුගත කර ගැනීමය (inclusion). 

මෙය, එක විදියකට පලතුරු ලෙලි ගසා , ඉඩ ඇති බඳුනකට දමා පලතුරු සලාදයක් සැදීම වැන්න . ෆෘට්  සැලඩ් එකක දැනෙන්නේ මිශ්‍ර පලතුරු රසය මිස , වෙන් වෙන් පලතුරු රසය නොවේය . වෙන් වෙන් පළතුරැ සියල්ල වෙන් වෙන්ව කෑවත් (බඩේ දී ෆෘට්  සැලඩ් වෙන්න ) , ෆෘට්  සැලඩ් අත්දැකීම හා සම නොවන්නේය . පලතුරු සලාදයකට පලතුරු සම සම ගන්නේ නැත . වැඩි ඇඹුල් දේ මද වශයෙන්ද , බහුල දේ වැඩි වශයෙන්ද ගනිමු . එහෙත් ඇඹුලේ  ඇඹුල , අන් සියල්ල අභිබවා මතුවෙන අවස්ථාද . සංස්කෘතියන් ද මෙසේමය . සැර  සංස්කෘතික ලක්ෂණ අනුගත වීම තුලද මතුවේ . රහස තියෙන්නේ හරි මාත්‍රාව සොයා ගැනීමෙහි මය . කෙසෙල් ගෙඩි ඇවරියක්  පෙති ගසා , අන්නාසි පෙත්තක් දමා පලතුරු සලාදයක් වෙන්නේ නැත . එමෙන්ම එය අන්නාසි දැමු පමණින් අන්නාසි සලාදයක් වෙන්නේද නැත 

ෆෘට්  සැලඩ් එකේ පලතුරු වෙනම රස නොදැනුනද , සුමිශ්‍ර රසයක්ම දැනුනද , හදිසියේවත්  එක්  පළතුරක් දමන්නට බැරි වුව හොත් නම් එම පලතුර නොමැති බව තේරෙන්නට ගනී .

විවිධත්වය හා අනුගත කර ගැනීමද මෙසේමය . නිවැරදි අමුද්‍රව්‍ය තෝරා ගත යුතුය  (ඇඹුල් කෙහෙල් වෙනුවට රත් කෙහෙල් ගෙඩියක් කපා දැමීමෙන් වැඩේ ගොඩ දා ගන්න බැරිය . කාන්තාවන් නියෝජනයට රෝසි සැලකීමේදී වේවා , දෙමළුන් නියෝජනයට සම්බන්ධන් සැලකීමෙදී වේවා මෙය පොදුය .). සියලු අමුද්‍රව්‍ය නියමිත මාත්‍රාවට බඳුනට දැමීය යුතුය ( අඹ පැත්තකින් තියා සැලඩ් එක ඇනීමෙන් වැඩේ ජෝන් බාස් වේ) . හොඳට ඇනිය යුතුය (හොඳින් ම ඇනිය  යුතුය . නමුත් වැඩියෙන් ඇනුවොත්  වැඩේ චොර  වේ ) .

විවිධත්වයන් හඳුනා ගැනීමේ අවසාන ඉලක්කය අනුගතවීමම විය යුතු  යැයි. අනුගත වීමේ අවසාන ඉලක්කය , ලේබල් හැලීම දක්වාම විය යුතු යැයි , සිතමි . ආයතනයක විවිධත්ව ඉලක්ක , සමතැන දීම වේවා , රටක ජාතික ඒකාග්‍ර තාවය වේවා, මෙය පොදු යයි සිතමි .

මතක තබා ගන්න "අන්නාසිත්  තියෙන නිසා සැලඩ් ඒක ජාති" කියා මිස , "අන්නාසි තිබුනත් සැලඩ් එක රසයි " කියා අපි කිසිදින නොකියමු.

එසේ නම් ....?