20 April 2015

101 වැනි දින හෙවත් කෝඳුරු තෙල් වෙදකම // day number 101

දින 100 නිමාවිය . කෙරුණු දේ ඇත . කෙරේ යයි සිතු දේ සිදුවී නැත. දින සීය ඇතුලත සිදුවූ දේ ගැන මදකට සිතමු .

පළමුවෙන්ම යහපාලනය අමුම අමු කුනුහරුපයක් තරමට පක්ෂ විපක්ෂ සියල්ලන් විසින් පත් කරන ලදී . අතේ කෝට් හොරු බේරීමට හැදුවෙත් යහපාලන රෙද්ද අස්සේය .. ගොන් රන්ජා වැසිකිලි පෝච්චි ඇර බැලුවේත්  යහපාලනයේ නාමයෙනි . එතරම් වැදගත් සංකල්පයක් තිත්ත කුනුහරුපයක් කළෝ ඔවුන්ය . ඒ අතරේ, එක්කෝ යහපාලනය , එහෙම නැත්තම් මව්බිම, දෙකම එක සැරේ බෑ කියන තරමට මොළ සෝදන්නට කට්ටියක් තැතැනුහ . ඔවුහු තරමක් දුරට සාර්ථක වුහ .

රත්තන් මාලයක් කඩාගෙන යන හොරෙක් , අහුවෙන්නට ඔන්න මෙන්න තියෙද්දී මාලය ගිල්ලේය . හොරා පසුපස හඹා  ආ එවුන් කීවේ "මූ  යකාගේ හොරෙක් මූ  හොරකං  කරලා තියෙන්නේ අහු නොවෙන්න නේ කියාය " . හොරා කීවේ "හොරකං කලානම් බඩුත් එක්ක අල්ලපන්නේ " කියාය . බඩු බඩේ බව හැමෝම දනිති . එහෙත් මෙවැනි විලි ලැජ්ජා නැති කතාම කියති . මේ දින සියයේ හොරුන් නැති හොරකම් අහුවිය .

වෙලේ සුදා දින සියයෙන් වැඩි හරියක්ම සාක්කි දුන්නේය . රජ මැතිදුන් ගැන රාළහාමිලා ගැන ,  නිලියන් ගැන සුරංගනා  කතා කියුවේය . රහස් පොලිසියද ඒවා සටහන් කර ගත්තෝය . පොලිස් සටහන් පිළිවෙලය. වචන දෙකක් අතර ඇඟිල්ලක ඉඩය . වචන රිංගන්නට නොහැකිය . නිලියන් ගැන පරීක්ෂණ පවත්වා ඔවුන් නිවැරදි කලෝය . නිලියන් ගැන කියූ දේ බොරු නම් ප්‍රත්‍යක්ෂ වශයෙන් අනෙක්වා ගැනත් සිතන්නට අපට ඉඩ තියා "මගේ කතාව මින් අවසානයි , අසා සිටි ඔබ සැමට ස්තුතියි " කියා වෙලේ සුදා වේදිකාවෙන් බැස  යන සෙයකි .

අප්පච්චිගේ හා ඔහුගේ නඩයේ කට්ටිය කළ  විගඩම් ගැන කිහිප විටක් ලියා ඇති නිසා වැඩිදුර සටහන් අනවශ්‍යය . නමුත් නිල් බලකායේ ජෙනරාල් වගේ සිටි දඩබ්බර කොලුවා දැන් ධර්මාචාර්ය කෙනෙක් මෙන් වී ඇත . නමුත් ඒ තුළ  කලින් නොපෙනුන යථාර්තය වැඩියෙන් පෙනෙන්නට පටන් ගෙන ඇති බව ඔහුට නොතේරෙනවා වන්නට ඇත .

මේ යහපාලන සමයේ බොහෝ අය  තමන්ගේ අහිංසක චූන්  විඳින්නට වුහ. චම්පික තම ජනපති සිහිනය රැයෙත්  දහවලෙත් දකිද්දී , සෙන්පති ෆොන්සේකා ෆීල්ඩ් මාෂල් යෂ්ටිය අතේ තියාගෙන සිටි ( ඔහුගේ රණ ශූර බව ගැන කිසි සැකයක් නැතත් , මේ ගැන ඔහු හැසුරුණු විදිය නම් ටිකක් නොමේරු යයි මට සිතේ ).

අනේ ඒත්  සෝභිත හිමි ගේ රොටිය නම් කර විය . දැන් වැඩේ දෙල්ය . මොකෝ නායක හාමුදුරුවෝ පන්සලේ රොටි පුච්චනවා යයි වරදවා සිත් ගත්  දායක තෙමේ දානය දීමෙන් වැලකි සිටීමටද  ඉඩ ඇත.

 මේ දින සියය පටන් ගත තැනම  ලොකු හිල් කීපයක් විය . මේ සිදුවූ දෙයට ඒවා බල පෑ  බව මාගේ අදහසයි . පළමුව රනිල් වික්‍රමසිංහට ආණ්ඩුව පිහිටුවන්නට වන්නේ වෘත්තීය වශයෙන් දුරක් ගිය එහෙත් දේශපාලන සුහුඹුලන් සමගය . එය හොඳ ප්‍රවණතාවයකි . ඔහුගේ අදහස වන්නට ඇත්තේ එවිට වෙන වෙන 
ඇජෙන්ඩාවන්ට වැඩ කරනවා වෙනුවට ඔවුන් අතේ ඇති වැඩයට තම ශක්තිය යොදවා වී යයි කියා විය හැක (get on with the task at hand). එහෙත් සිදුවුයේ ඔවුන් දේශපාලක ඔස්තාර්ලා වීමට යාමය . ( ජනවාරි මස මුල සිටි හර්ෂලා , සුජීවලා , විජේදාසලා සහ දැන් ඔවුන් ගැන සිතන්න . )

 දෙවැන්න  සිරිසේන මහතා ඈතට විසි කරන්නට හදන විධායක ජනාධිපති අසිපතයි . ඔහුට එය ඈත විසි කිරීමට සැබෑ උවමනාවක් ඇති සෙයකි . එහෙත් එය කවුරුන් අහුලා ගනී දැයි හිතේ සංකාවකි (ඔහු තරඟයට ඉදිරිපත් වුයේ දින්නන්ට නොව හොඳ සටනක් දෙන්නට යයි මට විටෙක සිතේ .)

තෙවැන්න දින සියයමය. ඒ කීවේ මුට්ටියක බත්, පිඟානකට බෙදන්නට යාමය . එයට සැලැස්මක්ද විය . හැන්දක්  ගත්තා -මුට්ට්යෙන් බත් අරන්- පිඟානට  බෙදුවා , ඒ සිම්පල් ප්ලෑන් එකය (ඔබට මා කියන දේ වැටහේ යයි සිතමි) 

අවසාන එක , ජනතාව යහපාලන නඩය ගැන  හා ඔවුන් ජනතාව ගැන සිතු අයුරුය . වටවෙලා ඔවුන් එක්ක සෙල්ෆි ගන්නකොට , මුහුණු පොතේ ස්ටේටස් ලියන කොට දේශපාලකයන් හිතුවේ මේ වැඩේ කරගන්න මුන් අපිත් එක්ක දිගටම චියර් කර කර ඉඳීවි කියලාය . හු හු උන්ට වැරදුනි .අපි එහෙම නොවේය රට උන්ට බාරදී අපි නින්දට යනවාය .

අපි හිතුවේ මේ ගොඩේ  ඉන්න හොරු බයට හොරකන් නොකරයි කියාය . අපටද වැරදුනි .

අපි දැන් මෙතැනය . ආපසු යා නොයුතුය . රියැදුරා නිදි කිරන්නේනම් එක්කෝ ටොක්කක් ඇන ඔහු අවදි කළ  යුතුය , නැතිනම් සුක්කානම අතට ගත යුතුය .

පලි : කෝඳුරු තෙල් වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටයකුත් ටිකක් ඕනෑය . හත්පට්ටයක් සොයා ගත්තද අර අවසන් "ටික" සොයා ගැනීම ඉතා අපහසුය

13 comments:

  1. http://nelumyaya.com/?p=1737

    ReplyDelete
  2. මුන් කවදාවත් හොරු අල්ලන්නේ නෑ.. උන් අල්ලන්නෙත් නෑ, මුන් අල්ලන්නෙත් නෑ.. මේවා පට්ට ජෝක්ස්.. මම හිතන්නේ මිනිස්සු ඡන්දේ දුන්නේ හොරු අල්ලන්න නම් නෙමෙයි. මහා පරිමාණයෙන් හොරකම් කරන එක නවත්වන්න. ඒත් මුන් පටන් ගත්තේ අරුන්ටත් ඉහළින්. මහ බැංකුවේ හොර අධිපතියා අත කිසි වරදක් නෑලූ. අලි පොත් මේන්ටේන් කරපු ක්ලාක් නෝනා අත් අඩංගුවට අරගෙන. ඇත්තටම මුන් රටට විහිළු සපයන්නෝ..

    සිරිසේන කියන්නේ පට්ට ෆේල් නායකයෙක්..

    ReplyDelete
    Replies
    1. මාතලන් ඔබ සමග එකගයි මිනිස්සුන්ට ඕනෑ වුනේ වෙමින් තිබු ට්රෙන්ඩ් එක නවත්තන්න.
      ඒක ෆේල්. ඒ වගේම යහපාලනය,ජාතිකත්වය සංවර්ධනය ට විරුද්ධාර්ත නෙමෙයි කියලා පෙන්නන්නත් අසමත් වෙලා. හැබැයි ෆේල් වෙලා තියෙන්නේ රනිල් නේද?

      Delete
  3. වසර දහයකට වඩා ඉවසා බලා උන් ඇත්තන්ට...
    දින සියය පැයක් හා සමානය..

    ReplyDelete
    Replies
    1. හැබැයි ගොනා හැරෙන්නේ තැඹිලි පැලේට කියලා දැන් අපිට කියන්න පුලුවන් නේද

      Delete
  4. ලඟදී කියවූ හොඳම විශ්ලේශනය. ස්තුතියි.

    //දෙවැන්න සිරිසේන මහතා ඈතට විසි කරන්නට හදන විධායක ජනාධිපති අසිපතයි . ඔහුට එය ඈත විසි කිරීමට සැබෑ උවමනාවක් ඇති සෙයකි . එහෙත් එය කවුරුන් අහුලා ගනී දැයි හිතේ සංකාවකි//

    ඔව් . අපිටත් බයයි..දැනට ලංකාවේ ප්‍රමුඛ දේශපාලන චරිත අතරින් අනෙකුන්ට වඩා හොඳ හා නරක අඩු සිරිසේනය.

    //අප්පච්චිගේ හා ඔහුගේ නඩයේ කට්ටිය කළ විගඩම්//
    ඇත්තෙන්ම මේ දැන් ඉන්න විකාරකාරයින් තවමත් හොඳයි කියා සිතෙන්නේ සහ රජ පාලනය අවසන් වූ එක ගැන තාමත් ඉතා සතුටුබව මතක් වෙන්නේ ඔය හේතුව නිසයි. කොමිෂන් ටිකත් ලැබුනොත් බෝනස් සතුටුයි.

    දැනට බලයේ ඉන්න එවුන්ගේ ගොන් තකතිරුබව ගැන බය හිතෙන්නේ මුන්ගේ අමනකම් නිසා එපාවුන අපේ අධි බුද්ධිමත් ජනතාව ඉස්සරටත් වඩා නරක වෙන්න පුලුවන් රාජාණ්ඩුව ආයිත් ගෙනෙයි කියල


    ReplyDelete
    Replies
    1. නරක අඩු සිරිසේනමය. ඔහුට දැලි පිහියෙන් කිරි කෑමේ කලාව ප්‍රගුණ කිරීමට වනු ඇත.
      රාජන්ඩුවට විකල්පයක් වන්නේ ෆීල්ඩ් මාශල් කෙනෙක් යටතේ හමුදා පාලනයකි.. විය හැකි නරකම දෙයක් වන්නේ එයය

      Delete
  5. මට සමහර වෙලාවට හිතෙනවා අපේ අපේක්ෂාවන් අහසත් උසට තිබුණා කියල.. යහපත් වෙනසක් ගැන.. ඒ නිසාම මේ සිද්දවෙන දේවල් හිත අවුලෙන් අවුලට ඇදල දානවා....

    මේ කතාව හරි........ ‘‘අපි දැන් මෙතැනය . ආපසු යා නොයුතුය . රියැදුරා නිදි කිරන්නේනම් එක්කෝ ටොක්කක් ඇන ඔහු අවදි කළ යුතුය , නැතිනම් සුක්කානම අතට ගත යුතුය .‘‘

    ReplyDelete
    Replies
    1. සීත කළ කිරි ඇත සොරි සිත කලකිරී ඇත

      Delete
  6. we are where we are JP..! :-)

    ReplyDelete
  7. ඒ යන විධිහ යන්නේ තව ඉස්සරහට මිසක් පස්සට නොවෙයි. කතා කරන්න බය නැති කට්ටියක් නැවත බිහි වෙලා ඉවරයි.

    ReplyDelete
    Replies
    1. රටේ බොහෝ දේ මෙන් සයිඩ් ස්ටෙප් නොවේවා

      Delete

Have commented