23 April 2015

සත්‍යයේ ගීතයට විවිධ තනු ඇත // A song may have many tunes

මේ සටහනට නිමිත්ත වන්නේ පසුගිය දිනෙක මා සවන් දුන් සාකච්චාවකි . සාකච්චාව මෙහෙය වූයේ , මේ දිනවල හැම සාකච්චාවක්ම පාහේ මෙහෙයවන සිංහල සර්ය .  මේසයේ අනෙක් පස අසුන් ගෙන සිටියේ රංග දසනායකය . සාකච්චාව මැද  එක නිශ්චිත පැනයක් ඇසෙන්නේය . මයිකල් ජැක්සන් වගේ එමිනෙම් වගේ ලංකාවේ ගායකයින් තම පුද්ගලික ජීවිතයේ විඳි දුක් කම් කටොලු කලා නිර්මාණ තුලින් එලියට නොදාන්නේ , බොබ් ඩිලන් වගේ ජෝන් ලෙනන් වගේ සමාජ අසාධාරණය ගැන තම කම්පනය ගීත තුලින් එලියට ලංකාවේදී නොඑන්නේ ඇයි  ?
රංගට  එයට හරි පිළිතුරක් දීමට නොහැකි වන්නේය . 

සිංහල සර්ට නන්දාලා කපුගේලා අමතක වුනාදෝ මට මුලින් සිතුනි , නන්දාලා කපුගේලා සමාජ විෂමතාවන්ට එරෙහිව කලෙක මොර ගෑහ . නමුත් පවන , සත්‍යයේ ගීතය මෙන්ම කම්පනද විකුණුනු  බව මට පසුව සිහිවිය . එය විවාදාත්මක කාරණයක් බව දනිමි . ඔවුන් අමතක වුවා සේම ඔහුට , පුද්ගලික ජීවිතයේ  අත්දැකීම් ඇසුරෙන් ගී පද පෙළ ගැස්වූ ප්‍රේම් , මෙන්ම ක්ලැරන්ස් ද අමතක වන්නේය.

ක්ලැරන්ස් මා ප්‍රියතම ගායකයෙකි , ගී රචකයෙකි . ඔහු පද වල ඇත්තේ වතුර වගේ රසයකි. සැර නැත , අමුතු රස කාරක නැත , ඔහේ අහගෙන සිටිය හැකිය. එහෙත් උල්පතකින් පටන් ගෙන ගඟක් සේ අවසන් වනතෙක් ගලායන දියේ , දියවුණු අනේක කතන්දර එහි තුළ  දියව ඇත .
ඔහු බොහෝවිට ගැයුවේ සරලවූ පද මාලාවකට , තම හෝ ආසන්නතමයෙකුගේ දිවියේ අත්දැකීම්ය. නමුත් ඔහු තුල සමාජ අකටයුත්තේදී තැවෙන, කම්පා වෙන පරිපුර්ණ කලා කරුවෙක් සිටි බව මට පසක් වෙන්නට, උහත සල්ලාපය මා සිතේ එල්ලී ටික දිනක් ගතවිය . ඒ එක ගීයක් අහම්බෙන් නැවත ඇසුණු නිසාවෙනි .

පළමුව මේ ගියේ වස්තු බීජය හා පාදක වෙන සමය ගැන කෙටි හඳුන්වා දීමක් අවැසි යයි සිතෙන්නේ , ඒ කළ  ගැන අවබෝධයක් නැති පාඨකයන්ද සිටිය හැකි බැවිනි . ප්‍රේමදාස ජනපති සමයේ එල්ෆින්ස්ටන් රඟහල සුද්ද බුද්ද කර  (ඒ කාලේ , බොහෝ දේ සුද්ද වුනි රාලේ ) , රට වටේ සිටි යාචකයන් මග ගයන්නන් , මග රඟන්නන්, විරිදු කියන්නන් ගෙන ගොස් වේදිකාව මත සිටවූ "මාවතේ අපි " නමින් වැඩසටහනක් දියත් විය . එය රූපවාහිනියෙන්ද විකාශනය විය ( එකළ  තෙරුවන් නමදිම , 7ට 8ට 9ට ප්‍රවෘත්ති , ගම්  උදාව සංදර්ශන හැරුණු කොට , රූපවාහිනියේ වෙනත් යමක් විකාශනය කිරීමට ඉතුරු වූයේ  සුළු කාලයකි ). මේ තරඟයෙන් කවුරු දිනුවාද , ලැබූ තෑගි කෙබඳුද කියා මම නොදනිමි . නමුත් එහි ගී යි නෙත් අඳ යුවල නම් තවම නුගේගොඩ සුපර් මාර්කෙට්ටුවේ ගී ගයන බව නම් දනිමි .

ක්ලැරන්ස් ගැයුවේ මේ සංසිද්ධිය ගැනය . මේ දිළින්දන් වේදිකාව මතට නැංවූවාට පසුව ඔවුන්ගේ ජීවිකාවට වූ බලපෑම , ගැන ඔහු ගයන්නේය . යාචකයන් යනු වෘත්තිකයන් පිරිසක් බවට පත්ව ඇති අද මේ අදහස කෙතරම් අදාලද , වලංගුද යන්න වෙනම විවාදයකි . (නමුත් අනෙක් අතට අපි  සැවොම අඩු වැඩි වශයෙන් සිඟන්නන්ම වන්නෙමු ).  ඔහුගේ සාමාන්‍ය ගායනයට වඩා මෙහි ඇති වෙනසක්. පද අතර හිරවී ස්වර තුළ ගැයෙන වේදනාවක්. රිද්මය තල්ලු කර ගෙන මෙන් යන ආවේගයක් මට අහු වේ .

මෙන්න ගීය , සවන් දී බලන් . 


11 comments:

  1. ඇයි ඒ කාලෙ ලොක්කට සෙත් පතා සිල් මෑනියන්ගෙ බෝධි පූජා හැමදාම පෙන්නුවා නේද

    ReplyDelete
    Replies
    1. හරියටම ඒ ගැන නම් මතකයක් නෑ

      Delete
  2. මේ රටේ පොරවල් වෙන්නේ ඇත්තටම රටට සේවයක් කරණ උන් නෙමෙයි. ආන්ඩුවලට කඩේ යන උන්.

    ReplyDelete
    Replies
    1. අපි ඔක්කොම හිඟන්නෝ නේද

      Delete
    2. මාතලන් ගෙ කතාව ඇත්ත...

      Delete
    3. මේ සටහන කියවගෙන යද්දි මට මතක් වුණේ ජයතිලක බණ්ඩාරයන් ව..

      Delete
    4. ජයතිලක බණ්ඩාරගේ සාකච්චාවක් ඇහුවා ලඟදි .. ඔහු ගේ ප්‍රකාශන වල තිබුණු හික්මීම , මා සිත කා වැදුනා

      Delete
  3. සත්‍යයේ ගීතයට ඇති එකම නොවෙනස් ප්‍රතිචාරය මර්ධනයයි.. එය රටරටවල් හෝ ආණ්ඩු අනුව වෙනස් වන්නේ නෑ.

    ක්ලැරන්ස් ගේ මේ ගීය අසා තිබුණේ නෑ.. පුදුමයි. ක්ලැරන්ස් මා දැක සිටි නිහතමානීම ගායකයෙක්.

    ReplyDelete
    Replies
    1. සින්දුව මටත් අහුවුනේ අහම්බෙන් . පිරුණු කලේ ගැන කතාවක් කියනවනේ .. අනික කන බොන මිනිස්සුන්ගේ බොක්ක හොඳයි

      Delete
  4. " නන්දාලා කපුගේලා සමාජ විෂමතාවන්ට එරෙහිව කලෙක මොර ගෑහ.."

    ඇත්තම නම් කම්පනයන්ට සංවේදී වන්නේ ගීත රචකයන්ය...
    ගීය අසනවිටදී රචකයා අපට අමතක වන තරමටම ගයන්නා දක්ෂ වෙයි

    ReplyDelete
    Replies
    1. ඔබ හරි , මම මෙහි නන්දා , කපුගේ ගත්තේ සංකේත හැටියට . ඒ පද පේලි ලියපු අයත් ඒ ගණයට අයිතියි . හැබැයි ක්ලැරන්ස් ඔහූගේ ගීත ලියුවා නේද

      Delete

Have commented