"හැපී ඉන් ඩිපෙන්ඩ්ඩන්ස් ?"
ඔන්න ඔහොමයි අපි කතාව පටන් ගත්තේ
"මොකෝ හිතන්නේ මේ දෙමළෙන් නමෝ නමෝ මහතා කියන එක ගැන, අර්ථය එහෙම්මම එන්නේ නෑ නේද ?" .
මේ දවස් වල මාධ්‍ය වල , සමාජ අන්තර්ජාල අඩවි වල, තලුමර මර හපන, සූප්පු කරන මාතෘකාවක් විසිවුනා මා දෙසට . සතර මහා පෙර නිමිත්තෙන් මුල් තුන සලකා බලා , මම පිළිතුරක් දීමෙන් වැලකි සිටියේ " අනේ මන්දා කියමිනි ".
නමුත් ඒ ගැන කියන්නට දෙයක් , දීමට පිළිතුරක් , විටෙන් විට බොහෝ අය සමග සංවාදයෙන් , බොහෝ දෙය කියවීමෙන් සහ ඒ ගැන සිතීමෙන් ම සිත තුළ කැකෑරෙමෙන් තිබේ . එය මෙසේ සටහන් කරන්නේ , වැඩි දුර සංවාදයක් ගැන බලාපොරොත්තුවෙනි . නමුත් පෙරාතුව එක ඉල්ලීමක් කරමි , මෙය කියවා ඇතිවෙන සංවාදය තුළ මම මගේ අදහස් වෙනස් කර ගැනීමට සුදානම්ය . ඔබත් පාට කණ්ණාඩි ගලවා කියවන්න , නැතිනම් සමහර දේ නොපෙනෙවී.
ජාතික ගීය පිලිබඳ මුලින්ම මට ඇත්තේ පැනයකි . ඇයි අපේ ජාතික ගීය ඉමෝෂනල් මදි වගේ දැනෙන්නේ . ඇයි ඒක කියන කොට ඇස් තෙත් නොවෙන්නේ ?
අයෙක් දිනෙක කීවේ " දවසක් පැල නැති හේනේ" කියනකොට , ... "ඒ ජීවිතයට කිරි දී පණ දී" කියනකොට ..... "අම්මා සඳකි " කියන කොට දැනෙන, "හෙළ ජාතික අභිමානේ" කියනකොට, "සසර වසන තුරු" කියන කොට දැනෙන තරමට හැඟීම් .... නමෝ නමෝ මාතා කියනකොට දැනෙන්නේ නෑ " කියාය .. එය තරමකට ඇත්තය .
එහෙම දැනෙන අවස්ථා ඇත . ක්‍රිකට් තරඟයකදී , නැතිනම් ඩයස්පෝරික හමුවකදී එය දැනේ . ඒත් ඒ දැනෙන්නේ ජාතික අභිමානය පිලිබඳ හැඟීමක් ද නැතිනම් .... ගෝත්‍රික වාදී , සටනට සැරසියව් වැනි , නැතිනම් අතීත කාමය මුසුවූ , පාළුව තනිකම , home sick වගේ හැඟුමක්ද කියා මට වෙන් කර ගත නොහැක .
ඒ අතින් ජාතික ගීය , එහි මුඛ්‍ය අවශ්‍යතාවය පුරවා ලන්නට සමත්දැයි මට ප්‍රශ්න සහගතය . ඉමොෂනල් නැතිවූ විට " ඔබ රාගී මන කැල ඹේ දෝ " කියද්දී නිසල ව සිටියද , "බුද්ධං සරණන් ගච්චාමි" කියන විටම මෝලමද ඩෙගා නැටුමද පටන් ගන්නෙමු. එලෙසම ජාතික ගීය ගායනා කරන විටද , එය විඳ ගැනීම වෙනුවට , සාක්කු දෙකේ අත් දෙක දමා ගෙන පොකට් බිලියඩ් ක්‍රීඩාවේ නියුතු වීම ආදී නෙක ක්‍රියාවන්හි නිරත වන්නෙමු . ඒ අපි, තේරෙන සිංහලෙන් ගායනා කරමිනි . නොතේරන බසකින් එය ගයන විට තත්වය ?
භාෂා දෙකකින් වර්ෂන් දෙකක් තිබීම පිලිබඳව මට එතරම් ගැටළුවක් නැත . මා ඉගෙන ගත් ඉස්කෝලේ ( තුන්මුල්ලේ සියඹලා ගස් දෙකේ ඉස්කෝලේ ) බාසා දෙකකින් ගැයුණු පාසැල් ගී දෙකක් තිබුණු . අපි ඒ දෙකම ගැයිමු . අදද ඒ ගීත දෙකම ඇසෙන විට බෙල්ලේ මයිල් කෙලින් වේ . ඒ වෙන කිසිම දෙයකට වඩා ඒ ගී වල සාර්ථකත්වය නිසාය . ඒ ගීත වල ඇති , මට හුරු පුරුදු ජීවන දර්ශන උවදෙස් පාඨ නිසාය. මෙවැනි හැඟීමක් මට හෙළ ජාතික අභිමානේ ගීය අසන විටද ඇතිවේ, ඒ පද මාලාව නිසාය . ගජගා වන්නම අසන විටද ඇතිවේ , ඒ රිද්මය නිසාය .
ජාතික ගීයකට මේ දෙකම අවැසිය .
නමුත් භාෂා දෙකකින් මේ ගීය ගැයීම , ස්ථිර විසඳුම යයි මම කිසි විටක නොසිතමි . එය මේ අවස්ථාවේ හොඳම තාවකාලික විසඳුම දැයි මම නොදනිමි. නමුත් ඊට විරුද්ධව දක්වන සියලු තරකයන්ගේ පුහු බව නම් දකිමි . කිසිම රටක ත්‍රස්තවාදය පරාජය කර නැතැයි කියා නොසිට , එය පරාජය කළ අයම , අපි වෙනස් ජාතියක් කියන අයම , කිසිම රටක ජාතික ගී දෙකක් නැතැයි කියා කෑ මොර දීම , එක අතකින් උත්ප්රාසාත්මකය (එය "මේක සිංහලේ යකෝ , එක්සත් රටක් " කියන්නා සේම ය ( සිංහලේ යනු , වෙන්වූ පාලන ප්‍රදේශයක් ඉල්ලා උඩරට රදලයන් ඩොනමෝර් සාමීට ඉදිරිපත් කළ ඉල්ලීමේ ඒ "සිංහල උඩරට ඊළමට දුන් නම ද විය ) )
ජාතික ගීය , ගැයුම තේරෙන බසකින් කිරීමට අමතරව ( ඇතැම් විට ඊට වඩා) වැදගත් වන්නේ එය තේරෙන සංස්කෘතියකින් ජනනය වීමය , ඇඟට දැනෙන රිද්මයකින් ගලා යාමය . ඉන් කියවෙන අදහස වටා , සන්නාමය (brand ) එක වටා අවැසි සියල්ලන්ටම එක් රොක් විය හැකි වීමය . එමෙන්ම එය මතු කාලාන්තරයකට එම ගුණයන්ම ලබා දීමය (timelessness ).
නමෝ නමෝ මාතා ගීයේ මේ සියලු අංශයන් ගේ හිදැස් ඇතැයි සිතමි .
පළමුව අපි අපේ සංස්කෘතික බල ස්ථාන හඳුනා ගත යුතුය . සිංහල බෞද්ධ වේවා , සිව්හෙල වේවා , හෙළ වේවා , ශ්‍රී ලාංකික වේවා , ඊළාම් වේවා , කුමන නමකින් හැඳින් වුවද , අපේ සංස්කෘතියේ මූලික ගුණාංග , ඉවසා වැදෑරීමය (tolerance ), දරා ගැනීමය (resilient ) , කඳුල අතරින් සිනහ වීමට ඇති හැකියාවය, පරිසරය හා ඇති බැඳීමය . නමෝ නමෝ මාතා හි පොලොව යට ඇති මැණික් ගැන කීවාට , මිනිසුන්ගේ අධ්‍යාත්මය ගැන කිසිවක් නොකියයි . කොටින්ම මාතා යන වදනද අපට නුහුරුය (එපමණක් නොවේ විද්‍යා, සත්‍යා, ශක්ති, භක්තී ගැන මදක් සිතන්න). එය ඉන්දියානු ය . (අයෙක් එය "මහතා" කියා වරද්දා කියත්. වැරදුනු බවක් ඔවුනට නොතේරේ .) . ඒ බසේ දුරස්ථ බව නිසාය . (අපි මේ ගීය සම්පාදනය කරන කළ අපිට දක්නට ලැබුණු ජාතිකත්වයට තිබුනේ එක ෆ්ලෙවර් එකකි . එය ඉන්දියානු විය . අනෙක් අතට වසර ගණනකට පසු අපට අපේ කම කුමක්දැයි සිතන්නට කල් මදි ය . ඉතින් එකළ මෙය සම්මත විය . එනමුදු අද තත්වය වෙනස් ය . අපි ඊට වඩා මුහුකුරා ගොස් සිටිමු )
පද රචනය , බිමේ සරු බව ගැන කියයි . එනමුදු එහි ජීවත් වූ , වෙන මිනිසුන් ගැන කිසිත් නොකියවේ .කෙතරම් ගහ කොළ වැවුනද , සතා සීපාවා සිටියද , මිනිසුන් නැති බිම මුඩුය . මවක ගරුසරු ලබනේ , තම දරුවන්ගේ පැවැත්ම නිසාවෙනි. ජාතික ගීයක පද පෙළේ , ජාතියේ ( ජාතිය යන පුළුල් ම අර්ථයෙනි ) විජයග්‍රහණයන් , දස්කම් , අරටුවේ දැඩි බව / මුදු බව , මෙන්ම අනාගත මග පිලිබඳවද කියැවිය යුතුයයි සිතමි . ජාතියක ඔද තෙද මෙන්ම , ජාතියේ හද ගැස්මද එහි පද අතර දිග හැරිය යුතුය . (
එය ගයන අපිට , පපුවට දැනෙන වදනින් විය යුතුය . ගැයෙන බස , වැඩිමනකට තේරෙන බසකින් විය යුතුය . ෙඓතිහාසිකව අප රටේ , දෙමළ , සිංහල බාසා දෙකම භාවිතා විනි ( කොටින්ම 1815 ගිවිසුම ඇතැම් "සිංහල " රදළයන් අත්සන් කලේ දෙමලිනි ). ඉදින් , ජාතික ගීයේ භාෂා දෙකෙන්ම ගැයෙන අන්තරා තිබිය යුතු යයි සිතමි .
ඒ පද පෙළ , අපේ හද ගැස්ම වේගවත් කරවන . කලින් කීවාක් මෙන් , බෙල්ලේ මයිල් කෙලින් කරවන තනුවකින් ගැයීය යුතුය .
අපේ පපුවට දැනෙන නාද, පන්සලේ හේවිසියයි , කෝවිලේ නාදාස්වාරම් නාදයයි , කපිරිඥ්ඥ වයලීනයේ දිගු සුසුමයි,
ගජගා වන්නමේ රිද්මයයි (ජාතික ගීයකට නුසුදුසු උනත් පපර බෑන්ඩ් එකක , කාවඩි නැටුමක ට්‍රම්පට් වාදනයයි ).
ඒත් කෝ මුස්ලිම් හඬක්, ඔබ බලාවි . අපිට වැරදුනේ එතනය, මෙය ඔක්කොම කුළුබඩු දමා හදන තැම්බුම් හොද්දක් නොව , සියලු පහේ යුතු පමණින් පමණක් දැමු, පමණට හැඳි ගෑ, කිරි හොද්දක් විය යුතුය . ආගම් , ජාති කන්නාඩි ගලවා , ඉන් ඔබ්බට ගොස් , ජාතික සංස්කෘතිය පෙනෙන මට්ටමට ඉහලට පියා සලා , මේ ගැන බැලිය යුතුය .
අපේ ජාතික ගීය මේ අදහස් , පද, නාද සංකලනයෙන් සැදුනානම් එය කෙසේ වේවිද ?
පලි
මම ගීත රචකයෙක් හෝ සංගීතඥයෙක් නොවෙමි , ඒත් මේ සතියක සිතුවිලි තුලින් මම එහි පදනම "හෙළ ජාතික අභිමානේ " සහ "සසර වසන තුරු" පද රචනා තුළ ඇති සිතමි . නමුත් එහි ඇති බෞද්ධ ආගමික දර්ශනය ( හොඳින් වටහා ගන්න , සිංහල බෞද්ධ හෝ දෙමළ සංස්කෘතිය ගැන නොවේ . ඒ සංස්කෘතියේ ශිරා, ධමනි වටා, තම අදහන ආගම කුමක් වුවද පේදුරු තුඩුවේ සිට , දෙවුන්දරට සියල්ලන්ටම රොක් විය හැකියයි මම සිතමි ) ගැන අදහස් ඉවත් කළ යුතුය . ඒ එය පොදු තැනකට ගෙන ඒමටය . තාලය , ගජගා වන්නමේ , මගුල් බෙර වාදනයේ , කෝවිලේ වාදනය ඇසුරෙන් සකස් කර ගත හැකිය .
මේ ගැන දිගු සංවාදයක් කිරීමේ දොළ දුකෙන් පෙලෙමි , එහෙයින් ඔබ අදහස් මට වටී .
අපේ මිනිස්සු වෙනස්කම් වලට මාර බයයි.. පේන්නේ නැද්ද දන්නෝ බුදුන්ගේ එකට වෙච්ච දේ... එතකොට හන්තාන අඩවියේ එකට වෙච්ච දේ... වෙන දෙයක් ඕන නෑ ව්‍යවස්ථාවෙන් ආගම අයින් කරන්න බය උන් ඕක වෙනස් කරන්නේ නෑ සංසාරෙදි... වෙනස් කරන්න පුළුවන් කොන්දක් තියෙන බුද්ධිමත් නායකයෙක් ආවා නම්.. එහෙම නායකයෙක් පේන තෙක් මානයක නෑ...
ReplyDeleteවෙනස් කම් වලට බයයි කියලා මාත් පිලිගන්නවා
Deleteහැබැයි හත්තා නේ සින්දුව නම් වෙනස්කම ඉස් පොල් ලේ ගියා කියලයි මම හිතන් නේ
අලුත් ජාතික ගීයක් ගැන අදහස කුමක්ද
Nice thoughts ! I agree with you 100%. The main problem is our National anthem is not much impressive to all of us. I prefer "Rathnadeepa Janmabhoomi" song also much better than this current bullshit.
ReplyDeleteOnly issue with that song is that it does not say any thing about the culture or the future
Deleteෙගාඩක් රට වල ජාතික ගීය විදිහට අරන් තියෙන්නේ ජනාදරය දිනාගත් ගීත චුට්ටක් වෙනස් කරලලු,අපිට ඒහම ඒකකට තියෙන්නේ සුරංගනීට මාළු ෙගනාවා තමයි.
ReplyDeleteහම්ම්
Deleteඔය ජේපී කියපුසිංද දෙකටම වඩා ගතියක් තියෙයි හෙනං රණබිම මැරුණේ සිංහලයෙකු නං
ReplyDeleteකියන සිංදුව ඒත් ඕකෙ විදියට සිංහල කෑල්ල අවුල් කියල හිතන අය ඉන්න හිංද ඒ කික් එකක් බහිනව
ඔය සින්දුව පිරිමදින් නේ හ දේ එක තතක් විතරයි නේද
Deleteජාතියක් හැටියට අපි වලි යට බරද
නැතිනම් මේ සින්දුව අප ජාතිකත්වය පූර්ණ වශ යෙන් පිලිබිඹු කරනවද
ඔබ සමඟ එකඟයි. භාෂා දෙකෙන්ම එක ගීතයක් හෝ භාෂා දෙකෙන් ගීත දෙකක් (එකම අරුත, එකම තනුව ).
ReplyDeleteඑදා 1956 දී කොල්වින් හෝ ඇන්ඇම් කියූ "භාෂා දෙකක් එක රටක්, එක භාෂාවක් රටවල් දෙකක්" කතාව සිහිවිය.
Deleteඅපේ සිංහල ජාතික ගීයේ පදවැල ගැන ඔබ හා එකඟයි.මා හිතන්නේ ඔබ කියවා ඇති මහගම සේකරයන් ඔහුගේ නොපළ කෘති කියන ග්‍රන්ථයේ අපේ ජාතික ගීයේ පදවැල ගැන දරුණු විවේචනයක යෙදෙනවා.ඔබේ ගී කීපයට රත්නදීප ජන්මභූමි ගීතයත් එකතුකරන්නට කැමතියි.ඇත්තටම කිව්වොත් අපේ ජාතික ගීයේ පදවැල කිසිම ගැම්මකට නැති පද රචනයක් කියායි මා සිතන්නේ.ඉන්දීය ජාතික ගීය ගැන මොහොතකට සිතන්න කොපමණ සරලද කොපමණ කෙටිද කොපමණ සිත්ගන්නා සුළුද.
ReplyDeleteහැල පේ නැවතත් ඒ පොත කියවිය යුතුයි
Deleteඅ පේ ජාතික ගීය නිවහල් නැත
ඔබ වගේ හිතන අය ඉතා අඩුයි JP.
ReplyDeleteඑය ප්‍රශංසාවක් ලෙස සලකමි
Deleteඑ බව දැනී
Deleteදැනී දැ නෙනවා
අපේ ජාතික ගීය ගැන විකිපීඩියා කියවන්න... එය රවීන්ද්‍රනාත් තාගෝර් බෙන්ගාලි බසින් ලියා ආනන්ද සමරකෝන් සිංහලට පෙරලූ බවට පිළිගැනීමක් තියනවා...
ReplyDeleteඒක නෙමෙයි, ජාතික ගීය වැඩියෙන් ඇඟට දැනෙන්නේ සිම්බල්, සයිඩ් ඩ්‍රම්, බේස් ඩ්‍රම් එක්ක බටහිර සංගීතයට ගායනා කරනකොට කියලා දැනිලා නැද්ද?
මුලින්ම නිවැරදි කිරීමක් කරන්න ඕනෙ. අපේ ජාතික ගීය නමෝ නමෝ මාතා නෙමේ ශ්‍රී ලංකා මාතා. නමෝ නමෝ මාතා කියන්නෙ ආනන්ද සමරකෝන් මහත්මය ලියපු මුල් පද වැල. ඒක ශ්‍රී ලංකා මාතා කියල වෙනස් කරලයි ජාතික ගීය හැටියට ගත්තෙ (ඒ ගැන ආනන්ද සමරකෝන් මහත්මය දැඩි කණස්සල්ලෙන් හිටිය කියල තමයි කියවෙන්නෙ).
ReplyDeleteහරි දැං මාතෘකාවට එමු. ජාලිය මෙතන ප්‍රශ්ණ දෙකක් කතා කරනව. එකක් ශ්‍රී "ලංකා මාතා" පද වැලේ කිසි 'කික්' එකක් නැති කම. ඒක ඇත්තටම මෙතන මූලික ප්‍රශ්ණය වුණු භාෂා දෙකකින් ජාතික ගී තිබිය යුතුද කියන එකට සාපේෂව අවශේෂ ප්‍රශ්ණයක්. මගෙ නම් ඔය ගැන තියෙන මතය මේකයි. අපිට ශ්‍රී ලංකා මාතා 'නැගල යන්නෙ' නැත්තෙ ඒකෙ තියෙන නුහුරු බව නිසා. ඒකෙ තියෙන්නෙ සකුව (සංස්කෘත) මුසු වුණු වචන. අනිත් අතට "ලංකා ලංකා පෙම්බර ලංකා", "හෙළ ජාතික අභිමානේ" වගේ ඒවයෙ තියෙන්නෙ හෙළ වචන (තුම්මුල්ල සෙන්ට්‍රල් එකේ "පුන් සඳේ සිරි දිනූ, රන් පුතු බිහිකෙරූ, රාජකීය විදුහල් සිරි නංවමූ" ගීතයෙත් වචනයක් දෙකක් හැර ඉතුරු ටික තියෙන්නෙ අමු හෙළුවෙන් හෙවත් ශුද්ධ සිංහළෙන් කියන එකත් කියන්න ඕනෙ). අපිට ඒව නැගල යන්නෙ ඒකයි. අනිත් අතට ආනන්ද සමරකෝන් මහත්මය යොදා ගත් වචනවලත් තියෙන්නෙ කතෝලික නැඹුරුවක් (ඒ සමහරවිට ඒ මහත්මයගෙ තිබුණු කතෝලික පසුබිම නිසා වෙන්න ඇති). ජය භූමිය කරා යන එක, සත්‍යා, භක්තී, ශක්තී, හද ආලෝකේ වගේ ඒව නිතැතින්ම කතෝලික සංකල්ප. අපිට ලොකුවට නැතුවට සමහරවිට කතෝලිකයන්ට ඒකෙ තමුන්ගෙ බවක් දැනෙනව ඇති (අනේ ඒක අවුල් කියල එහෙම කියනව නම් නෙමේ).
දැං එමු ඇත්තම මාතෘකාවට. භාෂා දෙකකින් ජාතික ගී තිබිය යුතුද? ජාතික සංහිඳියාව වෙනුවෙන් එය එසේ විය යුතුය කියන අවර තර්කය මුලින්ම අයින් කර ගෙන ඉමුකො. ඒ ගැන අහන්න තියෙන්නෙ ඇයි වැද්දො, තම්බි කලුද උන් එක්ක සංහිඳියාවක් ඕනෙ නැද්ද කියන එක තමයි. ඊලඟට මේකෙ ඉතිහාසය (සමහරුන්ට ඕක ආසාත්මික (අලර්ජික්) උනාට ඉතිං කොරන්න දෙයක් නැහැ). ජාතික ගීය දෙමළෙන් තිබිය යුතුද කියන එක 1985 තිම්පු ඉල්ලීම් අමතක කරල කතා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ ඉල්ලිම්වල පදනමේම තිබුණෙ දෙමළ කියන්නෙ ලංකාවේ ඓතිහාසිකව ජීවත් වුණු ස්වාධීන ජාතියක්ය (ජන වර්ගයක් නොවේ) කියන එක සහ අවශ්‍ය නම් ඔවුන්ට නැවත එසේ ජීවත් වීමට (හෙවත් වෙන්වී යාමට) ඉඩ තිබිය යුතුයි කියන කොන්දේසිය (ජාලිය ඒ කොන්දේසි පිළිගන්නව නම් මේක කියවන එක මෙතනින් නවත්වන්න. මම මේ ටික ලියන්නෙ ඒ කොන්දේසි පිළිනොගන්න තැන ඉඳං). ජාතික ගීය භාෂා දෙකකින් ගැයීමෙන් සැපිරෙන්නෙ 1985 සිට දෙමළ දේශපාලනය විසින් නැවත නැවතත් තහවුරු කෙරෙමින් පවතින ඒ ඉලක්කය. ගැටළුව තියෙන්නෙ එතන. ඒක අමතක කලා කියල හරි අපි ඒක නොදැක්ක වගේ හිටිය හරි කියල ඒ ඉලක්කය වෙනස් වුණා වෙන්නෙ නැහැ. විග්නේශ්වරන් මහත්තය නාග දීපෙට ගියා කියලත් ඒක වෙනස් වුණා වෙන්නෙ නැහැ. විය යුතුව තිබෙන්නේ දෙමළ දේශපාලනය විසින් ඔවුන් තවදුරටත් දෙමළ ජනතාව බෙදුම්වාදයක් කරා දක්ක ගෙන නොයන බවට ස්ථිරසාර සහතිකයක් ලබා දෙන එක. ඒත් අපේ නායකයො ගන්න මේ වගේ අවස්ථාවාදී තීරණ වලින් ඒ ගොල්ලන්ට තාවකාළිකව දෙමළ ඡන්ද වැටීමට අමතරව වෙන්නෙ දෙමළ ජනතාවට කාලාන්තරයක් තිස්සේ බෙදා හැරෙන බෙදුම්වාදී බේගල් ඔවුන් විසින්ම සිරාවට ගැනීම. ඒකෙ ප්‍රතිපලය තමයි හැත්තෑව දශකයේ වුණාක් මෙන් නැවත ආයුධ අතට ගැනීම. ඇත්ත ප්‍රශ්ණය තියෙන්නෙ එතන.
ජාතික ගීය සම්බන්ධයෙන් නම් මෙතනදී සිදු විය යුතුව තියෙන්නෙ එක ජාතික ගීයක් අභිමානයෙන් ගැයිය හැකි තැනකට අපි ඔක්කොම එන එක. ඒක සිංහළ විය යුත්තේ මෙරට බහුතරය සහ මූලික සංස්කෘතිය සිංහළ නිසාම පමණක් නෙමෙයි, ඉංග්‍රීසීන්ට විරුද්ධව කෙරුණු නිදහස් අරගලය මෙහෙයවුණේ සිංහළයන් අතින් නිසා (ඉන්දියාවෙ ජාතික ගීය බෙංගාලි වෙන්නෙත් මේ තේරුමින්මයි).
ගෙදරකට තියෙන්න ඕනෙ එක යතුරු සෙට් එකයි. කෙරෙන්න ඕනෙ ඒ යතුරු සෙට් එකේ පිටපත් කොපි ගෙදර ඉන්න අයට ලබල දෙන එක. එහෙම නැතුව ගෙදර එක එක කෑළි එක එක අයට ඇරල දීල ඒ ඒ කොටස් වල යතුරු ඒ ඒ අයට දෙනව නම් ඒක ගෙයක් නෙමේ, බෝඩිමක්.
(මංචි).
This comment has been removed by the author.
Deleteමම මේ ගීය නමෝ නමෝ මාතා ලෙස හඳුන්වා දුන්නේ . ගීත රචකයාට කරන ගෞරවයක් ලෙසින් . අයෙක් ගේ නිර්මාණයක් අර ගෙන කපා කොටා විකෘති කොට , ඊට ඔහුගේ නම යෙදීම සදාචාරාත්මක නැතැයි මට සිතේ . ඒත් මම නිවැරදි කිරීම භාර ගනිමි . කිමද අපේ රටේ ජාතික ගීය ශ්‍රී ලංකා මාතා වෙන බැවිනි . පුන් සඳේ සිරි දිනු ගීය ගැන ඔබේ අදහසට 100% එකඟ වෙමි .
Deleteනමුත් එතනින් එහාට ඔබ අදහස් සමග මට පොඩි පරස් පරයන් ඇත . ඒ ඔබ , ඔබ නිසා හා මම , මම නිසා වෙන්න ඇති . ඒ වගේම අපිට එකම මේසයක ඉඳ ගෙන පැය ගණන් මේ ගැන තර්ක කොට , එකිනෙකා කෙරෙහි අතිශය ගෞරවයෙන් විසිර යා හැකි බවද දනිමි . මේ ගැන දිගට ලියන්නේ ඒ නිසාමය .
මා සිතන්නේ ලංකාවේ සිටින්නේ එකම එක ජාතියක් පමණි කියාය . එයට ඕනෑම නමක් කිව හැක . අතීතයේ සිංහල කීවේ එයටයි මම විශ්වාස කරමි . ශ්‍රී ලාංකික , හෙළ , සිව්හෙල ආදී ඕනෑ නමක් කිව හැක . දෙමළ කීවේ මම දන්නා තරමින් පර දේසින්ටය . ඉතිහාස කතාවේ සෑහෙන කොටසක් ප්‍රබන්ධ වේ . එහෙයින් ඒ කතාව ඔස්සේ සුද්ද සිංහල ජාතිය හා බිමේ ශුද්ධ ලේ උරුමය සොයන්නට යාම , මිරිඟුවක් පසු පස යාමක් යයි මම සිතමි. නමුත් කතාකරන බස , අදහන ආගම පාදක කරගෙන උරුමය දීම/ නොදීම මට නිවැරදි යයි නොපෙනේ . එහෙයින් බහු ජනවර්ග ද බහු ජාතීන්ද යන ප්‍රශ්නයට , මා හිතන පිළිතුර බහු ජනවර්ග යන්නයි. ඉතින් දැන් අපිට එතනින් එහාට කතාව ගෙන යන්නට හැක .
ඇත්තෙන්ම මා මේ සටහන ලියුවේ , දෙමළින් ජාතික ගීය කීම ගැන මා අදහස කීමට නොවේ . මා සටහන් කළ පරිදිම ඒ ගැන පිහිටි මතයක් මට තවම නැත. ඔබ මා මෙහි නගන එක පැනයක් එය යයි කීවද , මම එය ඉලක්ක නොකලෙමි. ලියවිල්ලේ එය මතුවෙනවා නම් , ඔබ කියන දේ පිළිගන්නම් . නමුත් මෙය මේ ගැටලුවට උත්තරයක් නොවන්නේ වාසු ගේ සාමයට සරුංගල් යැවීම සේමය ( ඒවා රටේ ජනතාවගේ බුද්ධියට කරන සමච්චලයකි . විගා ගේ පන්සල් යාමද එවැන්නකි ) . නමුත් අන්තිම විසඳුම සැවෝම ලය මත අත තබා ගෙන ගයන එක ගීයක් විය යුතු යයි දැනට මම සිතමි .
නමුත් මට මේ ගැන එක ප්‍රශ්නයක් ඇත , නොතේරෙන බසකින් ගයන ගීයක සංවේදී බව කෙසේ දැනෙන්න ද ?
උත්තරයක් ලෙස හැමෝටම සිංහල ඉගෙන ගන්න කියන්න හැකිය . නමුත් දෙමළ යනු මේ බිමේ එතිහාසිකව භාවිතා වුනු බසකි . අඩුම ගන්නේ ඉංග්‍රීසියට පෙර සිට . (වැදී බස ගැන ඇති තර්කයට මා පිළිතුරු නොදෙන්නේ , බසද ඇතිලුව වැදී සංස්කෘතියම වත්මන කෘතිමව පවත්වා ගෙන යන, සේල්ස් ගිමික් එකක් යයි මම සිතන බැවිනි .). එබැවින් බස නොතේරෙන නිසාම, දේශප්‍රේමය අහෝසි කිරීම හරි යයි නොසිතේ .
මා තැනුවේ , ජාතික ගීයේ පැනය එතනින් , දුරට දිග හැර, ඇත්තටම මෙය අපේ ජාතියේ ගීතය දැයි ප්‍රශ්න කිරීමටය . ජනවාර්ගික සහෝයිගතාව පලුදු වීමේ පැනයට එය විසඳුමක් නම් නොවනු ඇත . ඒත් අපිට උත්තර දීමට අමාරු ප්‍රශ්න ඇත . ඒවාට උත්තර දීමට , නායකයින්ට (ඔබ කියූ පරිදිම ) , චන්ද වලින් , බලයෙන් ඔබ්බට සිතිය යුතුය .
ජාතියක් ගොඩ නැගීමේදී , frame එක හරියට ඇඳ ගත යුතු යයි, ජාතික ගීයකින් එය හඬ ගා කිව හැකි, නැවත නැවතත් සිහි කර හැකි යයි සිතමි . ඒ frame එක රටේ අන්නයතාවයයි , අපේ සංස්කෘතික හර පද්ධතියයි, කොටින්ම ශ්‍රී ලාංකික කම යනු කුමක් ද යන්නයි. මම නම් හිතන්නේ එය තවම අපි සොයා ගෙන නැති බවයි . විජයගේ කතාවෙන් ඔබ්බට ඉතිහාසයෙන් ඊට රැහැන් ඇද ගත යුතු සේම , වත්මන් තත්වය මෙන්ම අනාගත සැලසුම්ද ඊට එක කර ගත යුතුය .
මට සංවාද කිරීමට වුවමනා වුයේ ඒ ගැනය . ඒ පදනම මත රාජ්‍ය ගොඩනැගිය යුතු බව මගේ අදහසයි . ඒ රාමුව සෑම ජනවර්ගයකටම සාධාරන නම් , එය යුක්ති සහගත නම් , එය ශක්තිමත් නම් , පිලි ගනී නම් ඉන් පසු ඊට විරුද්ධ වන්නන්ට රාජ්‍යයට විරුද්ධ වන්නන් ලෙස නො සැලකීමේ කිසිම හේතුවක් මම නොදකිමි . ඒත් frame එක හරියට නැතිව , ඉන් එළියේ ඉන්න වුන් තෝරා ගැනීම නොහැකිය . ඔබ මීට විරුද්ධ නොවනු ඇත
යතුරු නිදසුන තුලින් ඔබ මතු කරන ඒකීය ද එක්සත්ද යන කතිකාව මෙහි කිරීමට බලාපොරොත්තු නොවන්නේ මේ සටහන ඒ ගැන නොවුණු නිසා හා ඒ ගැන කල්පනා කර , කිරා බලා , අදහස් නිරවුල්ව පෙළ ගැසිය යුතු නිසාය . ඒ සටහන ලියවුනු දින , මචං අපි ආයෙත් කතා කරමු , තර්ක කරමු .
ස්තුතියි වෙලා අරන් , දිගු සටහනක් ලියුවට .
//නමුත් මට මේ ගැන එක ප්‍රශ්නයක් ඇත , නොතේරෙන බසකින් ගයන ගීයක සංවේදී බව කෙසේ දැනෙන්න ද ?//
Deleteතමුන් දන්න බසකින් ගැයෙන ගීයකින් ඇතිවෙන සංවේදී බව තමුන් නොදන්න (හෝ එතරම් නොදන්න) බසකින් ගැයෙන ගීයකින් ඇති වෙන සංවේදී බවට වඩා අඩු තමයි. ඒක එහෙමය කියල මොනව කියල නම් කරන්නද? ලංකාවෙ ඉන්න කාපිරි හෝ මැලේ ජන වර්ගවල මිනිසුන්ට ඔය ප්‍රශ්ණෙ අදාළ නැද්ද? ඒ මිනිස්සුන්ටත් ජාතික ගීය සංවේදී විය යුතුය කියන පදනමින් අපේ ජාතික ගීය ඒ භාෂාවලිනුත් ගැයිය යුතුද? එහෙම කරන එක ප්‍රායෝගිකද? මේ ලෝකෙ වෙන කාටවත් නැති ප්‍රශ්ණ 'දෙමළ මිනිස්සුන්ටම' තියෙන්නෙ ඇයි කියන එක විචාරල බලන්න අප මෙපමණ පැකිලිය යුත්තේ ඇයි? අපි ජාතිවාදී හෝ ගෝත්‍රවාදී කියල කාර්ඩ් වැදෙයි කියන බයටද.
තවත් දෙයක්, දැං ඔය තුම්මුල්ලෙ ඉස්කෝලෙ ඉංග්‍රීසියෙන් සහ සිංහළෙන් පාසැල් ගී තිබුණට දෙමළෙන් එහෙම එකක් තිබුණෙ නැහැනෙ. එහෙමය කියල අපේ ඉස්කෝලෙ හිටපු දෙමළ ළමයින්ගෙ ඉස්කෝලෙ ගැන තිබුණු හැඟීමෙ යම් අඩුවක් ඔබට නිරීක්ෂණය වෙලා තිබුණද? මට නම් එහෙම එකක් අවංකවම පෙනිල තිබුණෙ නැහැ.
(මංචි).
ජාතිආලයේ කොනක ජාතිවාදයත් . ජාතිවාදයේ කොනක ගෝත්රවාදයේ හෙවනැලි ඇති බවත් සිතමි . cosmopolitant නගරයක , එවැනි නගර වලින් යුතු රටක ජාතිකත්වය වලංගු වේද යන පැනයද සිත නැගේ . එසේ නම් , ජාතිකත්වය අහෝසි වන්නට නියමිත සංකල්පයක් ද ? නමුත් දැනට ලාංකික ජාතිකත්වය රාමුව අපිට ගැලපේ යයි සිතමි . නමුත් එය 1818 සිංහලේ ජාතිකත්වයේ රාමුවෙන් මදක් පිටතට යා යුතු යයි සිතමි . එයට වත්මන් යතාර්ථය මදක් සැලකිය යුතුයයි සිතමි . සිංහල ජාතිකත්වය පෝෂණය කරන්නේ දෙමළ ජාතිවාදයයි. ඒ ගැටුමෙන් ප්‍රතිශක්තිකරණය හීන වූ සමාජයකට අනෙක් විෂබීජ රිංගයි .
Deleteචෙල්වනායගම් , ප්‍රභාකරන් හා විගා කියන ප්‍රශ්න සියල්ලම දෙමළ ජනයාට පොදු නොවේ , එමෙන්ම එය දෙමළ වූ පමණින්ම ඇති වූවාද නොවේ . නමුත් ඔවුන්ට අඩු වැඩි වශයෙන් ජීවත් වන භුමිය නිසා , කතා කරන බස නිසා , සංස්කෘතිය නිසා පොදු වූ ප්‍රශ්න ඇත, ඒ ප්‍රශ්න වලට විසඳුම් , වෙනම පාලනයකින් නොලැබෙනු ඇතැයි මමද සිතමි . .
අවසන් විසඳුම එක ජාතිකත්වයක් බව ඔබද එකඟ වනු ඇතැයි සිතමි . නමුත් වසර 30ක් තිස්සේ කළ මොළ හේදීම ( වෙන්වූ රාජ්‍යයක කේතුමතී නුවර පහල වෙන බව සහ උන් ට ඇති එක ප්‍රශ්නය වෙනම පාලන ප්‍රදේශයක අයිතිය බව ) නිසා ඒ තැනට ගොස් ප්රශ්න විසඳිම වෙනුවට ප්‍රශ්න විසඳමින් එතැනට යා යුතු යයි මම සිතමි . ඒ විසඳුම් හේතුවෙන් කිසිම ජනවර්ගයකට ස්වයංපාලනය ප්‍රශ්න විසදීමේ මගක් ලෙස විකිණීමේ මග අහුරා දැමිය යුතුය .
එසේ නොවේ නම් වෙනත් විකල්පද ඇත ( සමූල ඝාතනය , දෙමළුන් සියල්ල රටෙන් පිටමන් කිරීම ආදී ). නමුත් අපි සියල්ලෝම එකඟ වෙන පරිදි , සිංහල බෞද්ධ ( මෙය ජාතියක් වෙනුවෙන් බෙදා ගත් ඉර නොව , රටේ සංස්කෘතිය යන අර්ථයෙනි ) හරය එය නොවේ . එය, ඔබත් ඉන්න , මමත් ඉන්නවා වැන්නක් යයි මම විශ්වාස කරමි. අනෙක් අතට ලංකාව තව දුරටත් ස්වයංපෝෂිත රාජ්‍යයක් නොවේ , එබැවින් පවතින පුළුල් ලෝක දේශපාලනය නොසලකා සිටිය නොහැක ( කිසියම් රාජයක රූකඩයක් වීම හෝ නොබැඳි රාජ්‍යයක් යන මිත්‍යාව මින් අදහස් නොවේ ) .
පාසැල් ගී දෙකේ ප්‍රශ්නය හා දෙමළ සිසුන්ට එය තේරීම, දැනීම ගැන , අපිට පෙනුන නොපෙනුන තරමින් තීරණය කිරීම 100% සාධාරණ නැතැයි සිතමි . නමුත් මගේ හැඟීම නම් ,ඒ දැනීම , නොයෙක් සාධක මත එකළ වෙනස්ව දැනුනු බවත් , පාසලෙන් පිටවූ පසු වෙනත් හේතුන් නිසා එය අඩු වැඩිවූ බවත්ය . :)
උඩරට ගිවිසුම ගැන මෙහෙම දෙයක් අසා තිබෙනවා.
ReplyDeleteඋඩරට ගිවිසුමේදී කැප්පෙටිපොල නිලමේ තුමා අත්සන්කලේ දෙමළෙන් ඉන්පසු ඊට පහල අත්සන්කල අයත් දෙමළෙන් අත්සන්කර තියෙනවා. එසේ කර ඇත්තේ මෙයට විරෝධය දැක්වීමට යැයි මතයක් තියෙනවා.
මම ඒ ගැන නම් දන්නේ නෑ . 1815 ගිවිසුමේ පිටපත් දැකීමෙන් එසේ කර ඇති බව පමණක් දනිමි . දේශපාලකයෝ , ඇමති ඇමැතින් ඕනෑම වරදකට නිදහසට කරුණු කියන බවත් දනිමි . එදත් අදත්
Deleteලංතාවේ ඉන්නෙ එක ජාතියක්ද ජාති දෙකක් ද තුන හතරක්ද කියල පටන්ගන්නෙ නැතුව, ලංකාවෙ ඉන්නෙ මිනිස්සු කියන තැනින් පටන් ගන්න පුළුවන්නම් හරි. ඒ මිනිස්සුන්ට ජාතික ගීයක් ඕනැ වෙනවනෙ. (ඒ මොකටද කියල අහන්න එපා.) ඉතින් ඒකට හොඳම ගීතය මොකක්ද කියල කට්ටියම එකතු වෙලා කතා බහ කරල තෝරගන්න එකයි කරන්න තියෙන්නෙ. ඕකට හතර පස් දෙනකුගෙ කමිටුවක් පත් කරල කරපු තෝරාගැනීමනෙ දැන් වැරදිලා තියෙන්නෙ.
ReplyDeleteජාතික ගීතය ඇහෙනකොට කික් එකක් දැනෙන්න ඕනැ. ඇස් දෙකට කඳුළු එන්න ඕනැ. ඇඟේ මයිල් කෙළින් වෙන්න ඕනැ. ඉඳගෙන ඉන්න අය නිකම්ම නැගිට්ටවෙන්න ඕනැ (තනියම කාටවත් නොපෙනෙන තැනක හිටියත්). අහගන ඉන්න අයට තේරුමක් දැනෙන්න ඕනැ.
ඔබ වේ අප සත්‍යා කියන්නෙ මොකක්ද?
ඒ වගේම, රට ගැන ආදරයක් ඇති වෙන්නත් ඕනැ. රටේ ඉන්න මිනිස්සු ගැන අභිමානයක් ඇති වෙන්නත් ඕනැ. එතකොට සත්තු? උන්ටත් ආදරේ හිතෙන්න ඕනැ. පරිසරය, ගහ කොළ ගැන ආදරයක් ඇල්මක් ඇති වෙන්නත් ඕනැ.
දැන් තියන ජාතික ගීය සිංහලෙන්ද දෙමළෙන්ද කියන්නෙ කියන කාරණාවට ඉස්සෙල්ල හරි හමන් ජාතික ගීයක් රචනා කරගත්තනම් හොඳයි. වෙන වැඩකට රචනා කරපු ගීයක් ජාතික ගීය හැටියට තෝරගන්නෙ නැතුව.
ඊ ළඟට බලමු ජාතික ගීයෙන් කෙරෙන්නෙ මොකක්ද කියල. ජාතික ගීය කියල අපි ජාතියට නමස්කාර කරනව. හදවතින්ම නමස්කාර කරන්නනම් තමන්ට තේරෙන බාසාවකින් ඒක ගායනා කරන්නම වෙනව.
මේ රටේ මිනිස්සු තනිකර කෙළින්නෙ පිස්සු කිව්ව වගේ රටේ නැති සත්තු දෙන්නෙක් කොඩි දෙකකට දාගෙන දෙගොල්ල කෙළගන්න එක හරියන මගුලක් නෙවෙයි.
තේරෙන බාසාවකින් මෙන්ම , දැනෙන බසකින්ද විය යුතුයි කියා යි මම හිතන්නේ
Deletegood one... will add more comments as time permits
ReplyDeletePlease do
Delete