30 August 2014

ආපසු ගමන. ආපසු ...ගමන .... // The return journey ..

"රංජනී රංජනී "

ඇය විඩාබර දෑස් සෙමින් විවෘත කාලය

"අදත් ආවද? " , සිතේ නැගුන නොරුස්සනකම ඈට  සැඟවීමට නොහැකි විය

"ඔබටත් එසේම වේවා ..අද දවල් වෙනකන්ම නිදා ගෙන වගේ"  . ඔහු වෙනදා වගේම සුපුරුදු ප්‍රබෝධයෙනි

"හ්ම් "

"අදවත් යමුද ?"

"අද බෑ  , අද නම්  ලොකු නංගි එයි . දුවා කිව්වා ඊයේ ෆ්ලයිට් එකට නගින්න කලින් කෝල් කලා කියලා "

"හරි එහෙනම් හෙට බලමු . ඒත්  මේක වැඩිය කල් දාන්න පුළුවන් ගමනක් නෙමෙයි රංජනී . ඔයා දන්නවනේ ඒක "

___________________________________________________

 "සුභ උදෑසනක් වේවා , Good morning"

තවත් උදෑසනක් , පරණ පුරුදු විදියටම

"ඇත්තට ඔහේ පරාජය පිළිගන්නෙම නැත්ද ?"

"පරාජය ? ඇයි  එහෙම කියන්නේ මේක දිනුමක් පරාජයක් ගැන කතාවක් නෙමෙයිනේ . අපි ආපහු යන්න එපා යෑ . මෙහෙ නවතින්න බෑනේ "

"ඒ වුනාට මම ආසයි මෙහෙට  "


" එහෙම කියලා බෑනේ රංජනී . ඉස්සර මිනිස්සු  සිරිපාදේ ගියේ ආපහු නොඑන්න දේපළ දරුවන්ට ලියලා ලු නේ   . ඒත්   ඒ අය ආපහු ගියානේ .. ඒ වුනාට මහා මළුවේ පදිංචි උනේ නෑ නේ රංජනී ....අම්බලම් වල පදිංචි වෙන්න බෑනේ "

"ඒ වුනාට මට බෑ  ඔහෙත් එක්ක ඔය ගමන යන්න .  මට බැහැ . මම ගියාම කවුද සරත්ට කන්න උයලා  දෙන්නේ. ඔය උන්නට එයාට තනියම තේ  එකක් වත් හරියට හදා  ගන්න බෑ ....
ඊළඟ අවුරුද්දේ දුව බඳින කොට මම ඉන්න ඕනේ. අවුරුදු දෙකකින් විතර බබෙක් හම්බු වෙයි . මම ඉන්නම  ඕනේ පොඩි එකා බලාගන්න . දූට බෑ ඕවා තනියම කරගන්න. ...පොඩි එකිත් එක්ක  මම හවසට  යනවා ළඟ  පන්සලට . ඒකිට පොඩි සුදු ගවුම් පොඩ්ඩක් අන්දලා .... අපේ අම්මත් ගෙනිච්චා  වගේ ශේහානිව  ."

"කොච්චර කලත් ඉවර  නොවෙන, වැඩ  ගොඩක්.... ජීවිතේ "

"අනේ  please  මට කරදර කරන්න එපා . මම  වඳින්නම්"

"හ්ම්.. එහෙනම් හෙටවත්  බලමු "

___________________________________________________


"රංජනී , ලෑස්ති වෙන්න . "

"අද ? මේ දැන් ? දුවා ආවා විතරයි .. සුප් එකකුත් ගෙනල්ලා ....උගුරු දෙකක් බොනකන් ඉන්න .

"I am sorry , තව පරක්කු වෙන්න බෑ  ...දුර යන්න තියෙනවා . වැඩිය මොකුත් පොදි  ගහගන්න ඕනේ නෑ "

"අම්මා  අම්මා  , අනේ  ඩොක්ට ඩොක්ට  ඉක්මනට එන්න "

ෂෙහානි, ඇඳ ඉස්මත්තේ වූ  හෘද ස්පන්දනය  සටහන් වුනු යන්ත්‍රයේ ඇදුනු සරළ රේඛාව දෙස බලා ගෙන කෑ ගසන්නට වුවාය

27 August 2014

බේරේ වතුර බකට් චැලේන්ජ් // Ready or not , here it comes , you can't hide

මේ දවස් වල වසංගතයක් වගේ පැතිරෙන බාල්දි ලෙඩේ ගැන ඔබ දන්නවා ඇති . කට්ටිය හෝ ගාගෙන නාන බව පෙනේ . ජනතාවට සේවයක්  කිරීමට පෙරුම් පුරමින් සිටින ජනතා සේවකයෝද , රටේ බාරකාරයෝද,  ජනී ජනයා ගැන හටගත් පතල මහා කරුනාවෙන්ම , ඇද ගෙන , ඉඳගෙන , හිටගෙන නාන්නෝය .

එහෙත් , අපේ කේතුමතී නුවර පංචායුධ පඬිතුමා වරක් කීවාක්  මෙන් ,  පර දේස වලින් එන කිසි දෙයක්  එසේම පිළිගනිම එතරම් සුදුසු නැත . එහෙයින් ඕනෑම දෙයක් පොඩ්ඩක් දේශීයකරණය කළ  යුතුය . දේශීයකරණය කිව්වට එහෙමම ලොකු වෙනසක් කල යුතු නැත . නිකං දේශීය  ආරේට , “පිට කැසුම “ , “තොට කෙලිම “ , “බඩ  රිදුම “ වගේ නමක් පමණක් දමා පොඩි දේශීය  තීන්ත පාරක්  ගෑම පමණක් සෑහේ .

ඉතින් මම අලුත්ම බාල්දි සෙල්ලමක් යෝජනා කරමි .

මෙන්න පිළිගන්න  බේරේ  වතුර චැලේන්ජ්  ( Beire Bucket Challenge ) එක .

නීතී :
ඔබව මේ තරඟය සදහා යෝජනා විය හැක්කේ එස් එම්  එස් මගිනි .  එස් එම්  එස්  යනු අද දවසේ , මේ රටේ ප්‍රචලිතම පණිවිඩ හුවමාරු මාධ්‍යයයි . කොටින්ම කේතුමතී රාජ්‍යයේ ජනාධිපති තුමා අවුරුදු  පැතුම් එවන්නේද එස් එම්  එස් මගිනි .

ඔබ යෝජනා කරන අයගේ නම හා ඔහුගේ දුරකථන අංකය  හිස්තැනක් “ #naapiyakunuwatura” හිස්තැනක් “BWAAHAAHAA” හිස්තැනක් යොදා 81234ට එස් එම්  එස් කරන්න .
ක්ෂණිකව ඔබ යෝජනා කළ  අයගේ දුරකතනයට,  ඒ බව දන්වා කෙටි පණිවිඩයක් ලැබේ . එය “DANNAMNANNAWENAWA  (දැන් නම් නාන්න වෙනවා ) “ යනුවෙන් දැක්වෙනු ඇත .
මේ පණිවිඩය ලැබී පැය  විසි හතරක් ඇතුළත  ඔබ බේරේ  වැවේ වතුර බාල්දි දෙකක් ස්නානය කළ  යුතුය . එහි චායාරුපයක් ගෙන “#ONNA ITHIN MAMA NAAWA HAI HAI “ කියා 81235ට එස් එම් එස් කළ  යුතුය .

ඉන්පසු මාසේ වියදමට රුපියල් 2500ක් පමණක් තබා ගෙන මාසේ පඩියෙන් ඉතිරිය බදු ලෙස , කේතුමතී නුවර භාණ්ඩාගාරයේ නියමිත ගිණුමට බැර  කළ යුතුය. (කේතුමතී රාජ්‍යයේ , රජයේ භාණ්ඩාගාරය තරම් ප්‍රස්තානුකූල චැරිටියක් (charity ) මේ තුන් ලෝකෙම නැත. දස අතටම වාගේ ණය  වී , ගිනි පොළීය වත් ගෙවා ගන්නට නොහැකිව සියලු වත්කම් සින්නවන තත්වයටම වාගේ ඇවිදින්ය .)

හදිසියේවත් නාන්නට බැරි වුනොතින් , මුළු පඩියම බැර  කිරීමට සිදුවේ . බොහෝ ඇමති , මැති වරු කියන්නා සේ , කේතුමතී රාජ්‍යයේ කිසිවෙක් බඩගින්නේ මිය නොයන නිසා, එහෙම කලාට  කිසි ප්‍රශ්නයක් නැත .

“මම සී බාත් එකක් දාන්නම් “ , “ ගෙදර ලිඳෙන් නාන්නම් “ වගේ වැල්  බයිලා කියා බේරෙන්නට නොහැකිය . එහෙම අයගේ ගෙවල් වලට එවන්නේ වාරියපොළ WSTF බලකායෙන්ය . ඔන්න,  පෙර අනතුරු ඇඟවීම් කලෙමි .

නමුත් ලොජිස්ටිකල් ප්‍රශ්නයක් නිසා ඌව  පළාත ඇතුළු පළාත් කීපයක වැසියන්ට  මේ තරඟයට සහභාගී විය නොහැක .

ලඟදීම බලාපොරොත්තු වන්න
කුණු වතුර නෑම , මඩ නෑම හොඳට හුරු , දේශපාලනයේ 
යෙදී සිටින ජනතා සේවකයන් සඳහාම “ # අසුචී බකට් චැලේන්ජ් “ නම් තරඟයක් ළඟදීම දියත් වේ . වැඩි විස්තර පසුවට.

පළමුවෙන්ම තරඟයට ආරම්භයක් ලෙස මම කේතුමතී නුවර සියලු වැසියන් ටැග්  කරමි . ඔබේ දුරකථනයට  තව නොබෝ වේලාවකින් “DANNAMNANNAWENAWA” යනුවෙන් කෙටි පණිවුඩයක් ලැබෙනු ඇත

23 August 2014

කොනේ සීට් එකේ ආදරේ

නිමිත්ත :
පහුගිය දිනයක උදෑසන  කෝච්චියේ මට එහා පැත්තේ වයසක යුවලක් අසුන්ගෙන සිටියා . ඒ මහත්තයා කොනේම අසුනක වාඩිවෙලා , ඒ ඉස්සරහින් රෝද පුටුවක නෝනා ව තියා ගෙන . 
ඇගේ මුහුණේ මහා දිග වේදනාවක් ඇඳිලා . සැර  බෙහෙත් පුසුඹක්  හතර වටේටටම වහනය වෙනවා . ඈ  අංශබාග රෝගයෙන් පෙළෙන්නා වාගේ (එච්චර හරි නැති නිසා, මම වැඩිය බැලුවේ නෑ ) . 
ඔහු පුංචි අත් තුවායකින් ඇගේ මුව පිහිදානවා , විටෙන් විට . 
මට එක පාරටම හිතුනේ ...මෙන්න සැබෑ  ආදරය ..කියලා . 
ඊට පස්සේ මගේ හිතේ ලියවෙන්න ගත්තා සිරිගේ සහ සීතා  ගේ කතාව


සිරි සහ සීතා දුම්රියේ අසුනක වාඩිවී සිටිති.
දන්නෙම නැතිව අපි ඉඳගෙන තියෙන්නේ පරණ පුරුදු තැනම නේ ....තුනේ පෙට්ටියේ , කොනේ සිට එක ....
සිරීට සිහියට එනවා . සීතා තම හිස සිරී ගේ උරේට තියාගෙන , ඇලවෙලා . ඇගේ  මුහුණේ දිගට වේදනාව ඉරක් වගේ ඇඳිලා . බෙහෙත් සැරටද කොහෙද ...සිරිට හිතෙනවා .


මහරගම ඉස්ටේසන්  එකෙන් ත්‍රීවිල්  එකක් ගන්නවා . ඩ්‍රයිවර් ට කියනවා වැඩිය ගස්සන්නේ නැතිව හෙමින් යමු කියලා . ඔහු සිතිවිලි පෙළ ගසනවා .
මහත්තයා සැපට යන්න ඕනේ නම් කාර් එකක් ගන්න “ පහු ගිය වාරයේ කොන්ඩේ බොකුටු රියදුරු ගැටයාගේ වදන් ඔහුට මතක් වෙනවා . නිරායාසයෙන්ම වගේ ඔහුට සුසුමක් පිට වෙනවා . 
සීතා ඔලුව ඔසවලා බලනවා .


“සීතා  අපි තැඹිලි වතුර ටිකක් බොමුද ?”

"බෑ  සිරී, පිරියක් නෑ. මම මෙහෙම ඉන්නම් , “


ඔහු, ඈ  හිස යාන්තමට හෙමින් පිරිමදිනවා , ඈ  හීනියට හිනා වෙනවා . ඈ  නෙත් තෙත් වෙනවා . තුනිවු හිසකේ අතරින් ඈ  හිස්කබල සුදුවට ඔහුට  පෙනෙනවා .


ශැහ්  කලුපාට ස්කාෆ් එක ගේන්න  බැරි උනා නේ .... ඔහුට මතක් වෙනවා . 
දැන් වටේ ඉන්න එවුන් අමුතු සතෙක් දිහා වගේ බලයි .. 
ඒ කියනකොටම ඔවුන්ගේ අසුන අසළ  හිටගෙන සිටින තරුණියකගේ විපරම් දෑස  ඔහුගේ බැල්මට අහුවෙනවා . ඔහු දකින්නට පෙර ඉවත බලා ගන්නට ඈට  නොහැකි වෙනවා . ඈ  ඔහු දෙස සානුකම්පිත බැල්මක් හෙළනවා . ඒ බැල්ම ඔහු සිත කොනිති ගහනවා . සිරි කලබල වෙනවා (යථාර්තය මතක් උනා වගේ ) . ඔහු නුරුසින් ඉවත බලා ගන්නවා . සීතාව  තුරුළු කර ගන්නවා . අතේ තියෙන ලේන්සුවෙන් ඈ මුව පිහිනවා .


දුම්රිය කවුළුවෙන් ඉවතට ඉගිලී ඔහු සිත අතීතයට පියනගනවා . 
වසර ගණනාවකට පෙර තුන්වෙනි පෙට්ටියක කොනේ සීට්  එකක සිතයි සිරීයි  වාඩිවී සිටිනවා . ඈ  අද වගේම ඔහුගේ උරයට හිස තියාගෙන , හොරට නිදි වගේ දෙනෙත පියාගෙන ... 
ලා දම් පහ දුහුල් සාරිය පවනේ රඟනු  නොහී  ඈ  අතකින් මිටිකර සිටින්නී . ඒත්  ඒ අවසරයෙන් නළලත කෙහෙ රැල්ලක් පවන හා හිතුමතේට රඟන්නී
සිරී හිමින් සැරේ තම අත  ඇගේ  අත මත තියනවා . ඈ  , ඔහුගේ ඇඟිලි අතරින් තම ඇඟිලි පටලා ගන්නවා . සිරිට ඉබේටම වට පිට බැලෙනවා . දුම්රිය මැදිරිය අතුරු සිදුරු නැතිව පිරීලා . අසුන නුදුරේ හිට ගෙන ඉන්න මැදිවියේ කාන්තාවක් නුරුස්සනා බැල්මක් හෙලා ඉවත බලා ගන්නවා . ඈ  නොකී වදන් බැල්මේ ලියවෙනවා ....මළ සමයං ..

සිරි මදක් කලබල වෙනවා , ඉවත බලා ගන්නවා . සීතාට තවත් ලං වෙනවා . ඇගේ  විලවුන් සුවඳ නාස් පුඩු දිගේ විත් හදවත කිතිකවනවා . සිත පාවෙන්නට තතනනවා . පෙර දිනයක දෙබසක් ඔහුට මතක් වෙන්න ගන්නවා

“ ඔයාට කියලා ගත්තේ ...වූඩූ ...මම ආසයි මේ සුවඳට “
“ ඔයා කොහොමද ගෑනු කොලෝන් වල සුවඳ දන්නේ ?’ ඈ  බොරු තරහක් මවා ගෙන අහනවා . දෙදෙනාම හිනාවෙනවා .
"මොකෝ හිනා වෙන්නේ , පිස්සුද? " ඈ  නැවත අහනවා
"පිස්සු හැදීගෙන වගේ එනවා ?"


සිරී  දිග හුස්මක් ගන්නවා . 
සැර  බෙහෙත් පුසුඹ නාස් පුඩු දිගේ විත් මොළයට අනින්න ගන්නවා . මහරගම ඉස්ටේසමේ නාම පුවරුව පහු කරගෙන දුම්රිය වේගය අඩු කරනවා .


පලි : කෝච්චිය නැවතිලා . අර මනුස්සයා නැගිටලා , අර රෝද පුටුවත් තල්ලු කරගෙන කෝච්චියෙන් බහිනවා . හ්ම්ම්

21 August 2014

කවුරුද ආවේ ඌවට ,කවුරුද ආවේ

කාලය වර්තමානයයි . ස්ථානය ඌවේ පිටිසර බද ගමකි . වැසි දිය නැතිව පීඩා  විඳින ගැමියෙකුගේ නිවසට එක දවසක් තුළ  ආගිය අමුත්තන් රැසකි . මේ ඒ පිලිබඳ විස්තරයයි.

ආයුබෝවන් ලොකු උන්නැහේ 

ආයුබෝවන්ඩ ..මහත්තයා කවුද ?

මාව දන්නේ නැත්ද ?

නෑ දැකලා නම් නෑ  මේ පලාතේ 

මේ පැත්තේ වතුර නෑලු නේද 

අනේ ඔව් මහත්තයෝ , මහත්තයා වතුර දෙන්නද ? යෝදියේ ඔය බූලිය  අරන් වරෙන් 

නෑ  නෑ  බූලිය  ගෙන්න ඕනේ නෑ . මෙන්න වතුර බෝතලයක් මා ගානේ 

බෝතලයක් ? ආ මේ මහත්තයාගේ මූණත් ගහලා ලේබලේ 

මෙහෙමයි ලොකු උන්නැහේ , මේ වතුර නැති එකට වග කියන්න ඕනේ වැස්ස . එක වෙලාවට ආවේ නෑනේ 

හා හා ..ඉතින් මහත්තයා මොනවද කරන්න හදන්නේ 

ලොකු උන්නැහේ එදාට උදෙන්ම ගිහිල්ලා මට කතිරේ ගහන්න කෝ . ඉතිරිය ඊට පස්සේ බලමු 

මහත්තයෝ එතකොට වහීවිද ?

වහියි වහියි , මම බාප්පාට  කියලා තියෙන්නේ . බඩු ෂුවර් 

ඈ  මහත්තයෝ , මහත්තයාගේ බාප්පා දෙයියෙක්ද 

(නිහඬ සිනා )
***********************************
කවුද ගෙදර 

මොකෝ මහත්තයලා ?

නෑ  අපි මේ නිකන් ආවා අංකල් 

ඒ කිව්වේ ?

අපි මුලින් ගියා සත්තු වත්තට , ඊට පස්සේ පින්නවල ,  ඊට  පස්සේ හම්බන්තොට වරායට . දැන් ..

ආ ඒ කියන්නේ මහත්තයලා මේ ටිරිප් එකක් යන ගමන්ද විනෝදෙට ?

ට්‍රිප් එකක්ම නෙමෙයි අංකල්  , අපි නිකන් බලලා යන්න ආවා 

මට තාම තේරුනේ නෑ මහත්තයෝ 

මේ අපි ආවා නිරීක්ෂණ චාරිකාවක් 

මහත්තයෝ ඔය නිරික්සන එකෙන් අපිට තියෙන වාසිය මොකක්ද ?

එහෙමම කියලා මොකුත් වාසියක් නෑ  අංකල් 

එතකොට මහත්තැන්ලට වත් තියෙන වාසිය ?

අපිටත් එහෙම මොකුත් වාසියක් නෑ  අංකල් 

එහෙනම් මොකෝ මහත්තයෝ ?

නිකම්ම ගෙදර ඉන්නත් කම්මැලියි නේ අංකල් 

මේ මහත්තයෝ ....
(මෙය පවුලේ සැවොම කියවන බ්ලොග් එකක් බැවින් ඉතිරිය වාරණය කිරීමට සිදුවිය )
**********************************************

ආයුබෝවන්ඩ ලොකු උන්නැහේ 

ආයුබෝවන් මහත්තයා . මොකෝ ඔයගොල්ලොත් ආධාර බෙදනවද 

නෑ අපි ප්‍රතිපත්තියක් හැටියට ඒවා නෑ  නේ 

හ්ම්ම් 

මේ ප්‍රශ්නෙට හේතුව මේ ක්‍රමේ නේ . එක මුලින්ම වෙනස් කරන්න ඕනේ 

හරි හරි . මුළු පළාතේම ගොඩකට ඔය මහතැන් ලා කියන කරමේ අල්ලලා ගිහින් . ඉතින් මහත්තයෝ මේ සැරේ වත් වෙනසක් වෙයිද 

මම හිතන්නේ නෑ  ලොකු උන්නැහේ . මේ සැරෙත් හට්ටි මුට්ටි , සීට් ටික අරන් උන්ටම බැනලා , උන්ටම තමයි දෙන්නේ ඔන්න බලන්න 

ඉතින් මහත්තයෝ මහත්තයලත් මොනවා හරි දුන්නනම් හරි නේ 

එහෙනම්  මාමේ මේක තියාගන්නකෝ 

මොකෝ මේ ආයෙත් චිට්  එකක් ....?

නෑ  නෑ  ඕකේ  තියෙන ලියලා  තියෙන දේ බලන්නකෝ 

බලාපොරොත්තුව !

ඔව් ඔන්න මම බලාපොරොත්තුව දුන්නා 

ඒත්  මහත්තයෝ මේක තම්බලා කන්නත් බෑ , දියකරලා බොන්නත් බෑ , අඩුම ගානේ අර බව්සරෙන් බෙදන වතුර ටිකක් පුරවා ගන්න වත් බෑනේ 

පලි 
කට්ටිය ඒවා මේවා කිව්වට ලොක්කගේ සංකල්පයක් අනුව වැස්ස පටන් අරන්ලු . ඉතින් බාප්පා දෙයියෙක් නෙමෙයිද අප්පා ?

17 August 2014

මෙන්න ගාසාවේ වෙඩි තියනවෝ , බෝම්බ ගහනවෝ , මිනී මරණ වෝ // May I divert your attention please

ගාසාවේ  වෙඩි කාපු , පොඩි එවුන් ගේ මළ  මිනී 
බුකියේ එල්ලා ගෙන , මාස  ගනන් වෙන්න එනවා 
ඔන්න ඔහේ තිබිච්චාවේ 

පැය  විසි හතරෙන් වලලනවා ලු 
ඒ පැත්තේ මැරුණාම 
ඒත්  පිංවත  
ඒවා කොහේද අපිත් එක්ක 

හිස් කබල පසාරු උනු  පින්තුරේ එල්ලලා 
ගොක් කොළ ඉටි කොළ නෙමෙයි 
ලයික් කොඩි වැල්  ඇදලා 
සිවුර කැහැපොට ගහන් 
බෝඩ් එක උස්සගෙන 
අපි පාමු විරෝධය 
මහ කොළඹ,  මහා දවල් 

මෙහෙම නෙමෙයි මචං 
යමුද අපි ජිනීවා වත් ?
කියන්න මේ අවනඩුව 
මේ බෝඩ් ටිකත් අරං 

එහෙම කරන්නේ කොහොම ?
දැක්කම උන් අපිව 
අහයි එකපාරටම 
කොහොමද අර වැඩේ ප්‍රගතිය ?

ඒ නිසා සුපින්වත 
පණ්ඩිත කම් නොකර 
උස්සහන් බෝඩ් එක 
අර පැත්ත නොපෙනෙන්න 

පලි 
යුද්ධයට මම  ඉදුරාම විරුද්ධය  . පොඩි  එවුන් මැරීමටද විරුද්ධය .එමෙන්ම  ඊශ්‍රායලය සැදීමේ  ක්‍රියාවේ චන්ඩි පාට්  එකටද විරුද්ධය .
නමුත්  මේ ලංකාවේ  විරෝධතා ව්‍යාපාර  වල නිකන්  , හෝටලයක  සපත්තු විකුනනවා  වගේ ගතියක්  පෙනේ . එක  අතකින් එහෙමත්  පුළුවන් ය

14 August 2014

වෙද හාමිනේ සහ දොස්තර නෝනා

ජයන්ත චන්ද්‍රසිරි ගේ වේදිකා නාට්‍ය නරඹා  ඒ ගැම්මට ලොල් වී සිටි සමයක ඔහු හදනවා ටෙලි නාට්‍යයක් . නම වෙද හාමිනේ . තේමා  සංගීතයේ සිටම අමුතු වෙනසක් තියෙනවා එය තුළ . වෙනසට ගැටවර සිත පෙම් බැඳී කාලයක් ඒ . ටිකක් වගේ විකාර රූපී  ආරේකට  නිර්මාණය වුනු එහි මා ආදරයම කළ  නළුවන් දෙදෙනෙක් රඟ පෑහ . දැන් හිතනකොටනම් කමල් ගේ රංගනය ගොඩක් වෙලාවට අධි රංගනයක් .. ඒත් කෙලින්ම රුපවාහිනියටම ආපු නළු නිලියෝ නොසිටි සමයක , වේදිකාවේ සිනමාවේ අතපය දිග හැර රඟපාපු නළුවෝ , පුංචි තිරයේ සීමා මායිම් වටහා ගනිමින් හිටපු කාලයක් ඒ .

මෙහි ප්‍රධාන චරිතය රඟ පෑවේ  අලුත් නිලියක් . කතාවේ හැටියට පෙනහළු පිළිකාවකින් පෙලෙන රෝගියකු ගෙදර නවත්වාගෙන සුවපත් කරලා , ඔහු ගෙන් දරුවෙකුත් කුසට විත් අතරමං  වෙන කෙල්ලෙක් . අගේ රඟ  පෑමේ හෝ රුප ස්වභාවයේ කිසිම විශේෂත්වයක් නුදුටුවත් අවසාන දර්ශනය 
ඔහු නැවත එන විට ඈ  ගේ තුලට හැරී දරුවෙකුට " පුතේ නෑයෝ  එනවා " කියූ අයුරු , කුමක්දෝ හේතුවක් නිසා මා හිතේ රැඳී හිටලා 

එදා ඉඳන් අද වෙනකොට අපි වගේම වෙද  හාමිනේත් වයසට ගියා . අද ......ඒ වෙද  හාමිනේ මිය ගිහින් . .....දයිවයේ සරදමකට වගේ පිලිකාවකටම ගොදුරු වෙලා . නිකරුනේ මිය යන කෙනෙකුට වඩා ලෙඩක් නිසා මිය යන කෙනෙක් ගැන අප සිත වැඩියෙන් තැවෙන්නේ ඇයි  ? ඒ ඔවුන් වඩා දුක් වින්දා යයි සිතන නිසාද ? 

කෙසේ වෙතත් පිළිකාව අතිශය පීඩාකාරී රෝගයකි . ඉන් මිදීමට ලැබෙන ප්‍රතිකාර ඊටත් වඩා පීඩා  කාරිය . ඔන්න ඔහේ මැරිලා යනවා කියා කොච්චර චන්ඩි කම් කියෙව්වත් , ඒ මංසංදියට ආ සඳ , ජීවත්  වීමට අපි හැමෝගෙම ඇති පෙරේත කම නිසා , අවසාන තෘණ පිඩැල්ලේත් අපි එල්ලෙන්නෙමු . ඒ බව අත්දැකීමෙන් දනිමි .

රෙබෙකා ගේ වෘත්තීය රඟ  පෑමයි . නිළියකට තම රුව තරම වටිනා තවත් දෙයක් නැතිවා ය . පිළිකා ප්‍රතිකාර නිසා මා දන්නා තරමින්,  ගත වැහැරී , රුව විරූපී වේ . ඒ වේදනාව මැදින් ඈ  කෙතරම් වරක් සිනා මවා ගෙන රඟ  පාන්නට ඇත්ද ?  

ඒ අපි ඇගෙන් බලාපොරෝත්තු වූ දෙයයි 

හොඳින් ඉගෙන ගෙන විභාග පාස් කළ දොස්තර නෝනා කෙනෙක් , මුණේ  රැලි නැති කරන්න ගිහින් , බෙහෙත් වැරදිලා මිය ගිහින් ලු. රුපලාවන්‍ය අනාදිමත් කාලයක සිට මිනිසා නොයෙක් අමනොඥ ක්‍රියාවන් කිරීමට පෙළඹවුවා . රූපයේ නිස්සාර බව ගැනම බණ  කියන රටක මෙච්චරම බියුටි සැලෝන් ඇරෙන්නේ ඇයි කියලත් මට හිතෙනවා වෙලාවකට . 

හරි , ඉතින් අපේ දොස්තර නෝනා ... ඇයට  අපි හිනා වෙන්නෙමු . දොස්තර කෙනෙකුට තමන්ගේ වෘත්තීය කරන්න ලස්සන ඕනේ නෑනේ ... 
ඒ අපි ඇගෙන් බලාපොරොත්තු වන දෙය .
 ඒත්  රස්සාවෙන් එහාට ඇයත් , අපි වගේම පොඩි පොඩි අඩුපාඩු තියෙන , අපිට වගේම පුංචි පුංචි මේනියා තියෙන  තවත් ගැහැණියක්  නේ

පලි  
කිසිම අරමුණක් ඇතිව නෙමෙයි , ඔහේ හිතේ පිරිච්ච දේ එලියට දාලා හිත සැහැල්ලු කර ගන්න ලීවෙමි 

10 August 2014

පිස්සු බෝවෙනවා ඕයි

අහස විලි රුදාවෙන් කෙඳිරි ගාන්නීය . ඈ  සියොළඟ පුරා පැතිරෙන වේදනාව , අහස පුරා අකුණු ගසන්නීය . මා පය ඉක්මන් කලේ කුමන හෝ සෙවිල්ලක් යටට වීමටය . රංජනී  කෙතරම් කීවත් , මට බොහෝ විට කුඩය අමතක වේ . හතරමං  හන්දියෙන් නුගේගොඩ පැත්තට හැරුණු විට ඇති මේ බස් නැවතුම් පොළ කිසිවෙක් පාවිච්චි කරනවා මා දැක නැත්තෙමි . බස් රථයක් වුව නැවත්වුවේ ඊට ටිකක් ඈතට වන්නටය .

මා ඇතුළු වී ටික මොහොතකින්ම එහි කොනකට වූ කළු ගුලිය ම නෙත ගැටිණි . අව පහ ගැනුණු වැරහිලි , දිගට වැවුණු කැරලි ගැසුණු හිසකේ , වත තැනින් තැන දිගට වැවුණු රැවුළ . "පිස්සෙක්ද කොහෙද " මා සිත නිගමනයකට ඉක්මන් විය . 

කුමක්දෝ හේතුවකට මා සිත තුලට සියුම් චකිතයක් බියක් කාන්දු වෙනවාද මට දැනුනි . " වැඩි වෙලාවකට නෙමෙයිනේ . දැන් බස් එකක් එයි . මෙහාට වෙලා ඉන්නවා , හැබැයි සුදානම් සරීරෙන් . " මම අත්  තදින් මොලවා ගතිමි .

"මහත්තයා ඕයි  මහත්තයා " ගොරෝසු හඬක් මා ඇමතීය

ඇහෙන්නේ නෑ  වගේ ඉන්න ඕනෑ .

"වැස්සකට හරි මේක ප්‍රයෝජන උනානේ නේද"

"මොකක්ද"

"බස් ඉස්‌ටෑන්ඩ් එක . ....කොල්ලා  යුද්දෙට ගියා . ඌ බෝම්බෙකට අහුවෙලා මලා . ....සීල්  පෙට්ටියක කෙහෙල් කොටන් දෙකක් ගමට ආවා . ගමම අඬලා පුච්චලා දැම්මා . .....කෙහෙල් පට්ටා , පට පට ගාලා ඇවිලුනා ඕයි . ..........ඊට පස්සේ මිනිස්සු සල්ලි එකතු කරලා මේ බස් ඉස්‌ටෑන්ඩ් එක හැදුවා . .....උගේ නම ලියුවා උඩින්ම . .....
බොරු නෙමෙයි ඕයි . "

මම හිස පිටතට දමා බැලීමි . ලියු වැකිය තැනින් තැන වියැකි ගොසිනි . "රණවිරු " යන වදන යාන්තමට දිස්වේ . ඉන් පසුව ඇති නම වියැකී  ගොසිනි .

"කොල්ලගේ නම මැකිලා ගිහින් . රණවිරු කෑල්ලත්  දැන් මැකීගෙන  යනවා . ....මේකත් කඩලා දායි  ළඟදීම මහත්තයෝ ....කාටවත් වැඩක් නෑ කියලා "

ඔහු එක්වරම, ලඟට එන ලෙස සන් කළේය . මා පොඩ්ඩක් අදිමදි කලෙමි .

"මහත්තයෝ මට පිස්සු ..... වෙන ලෙඩක් නෑ  ඕයි  . පිස්සු බෝවෙන්නේ නෑ  ...බොරු නෙමෙයි ඕයි  "

වෙන කළහැක්කක් නොමැත . මා අඩියක් දෙකක් ඒ දෙසට ගතිමි .

"අර ගෙදර මහත්තයගේ පදනමක් තියෙනවා . චන්ද කාලෙට උදළු තල , බාල්දි , ගෑස්  සිලින්ඩර් බෙදන .. මේ ඉස්‌ටෑන්ඩ් එක නිසා ඒ මහත්තයාගේ මුණ තියෙන අර බෝඩ් එක පෙනෙන්නේ නෑලු ඈතට ."

මා නෙත් , ඔහු දික් කල ඇඟිල්ල දිගේ ඒ දෙසට යොමු කලෙමි . සුදෝ සුදු වතින් සැරසුණු , කොන්ඩේ  ජෙල් ගා පීරපු  මහතෙක් මදහසක් පාන්නේය .

"එහෙම කඩන්න පුලුවන්ද ?" මා ඇසුවේ දැනගැනීමේ උවමනාවට වඩා නිහඬතාවයට ඇති අකමැත්ත නිසාය .

"මිනිස්සු ආවේගෙට හැදුවට . මන්ත්‍රී තුමා ඇවිල්ල කතාවක් පවත්තලා විවෘත කලාට අනවසර ඉදිකිරීමක් ලු මහත්තයෝ "

අර මදහස පාන බෝඩ් එක යටින් , පිඩලි , රතු පැහැ  ,හැඩයට කැපු ගල් කැට  රටාවකට ඇල්ලු  පදික මාවතක් දිගේ  හවසට මහත්තුරු ජොගින් යනවා මට මැවී  පෙනිණි . නිහඬතාවය පුංචි තිතකින් ඇරඹි වතුර වීදුරුවකට වැටුණු තීන්ත බිඳුවක්  මෙන් කෙමෙන් කෙමෙන් මුළු ලෝකයම වසා ගන්නට විය . ඒ මුසල නිහඬතාවය මා සිත කැලඹිය .  මොහොතකට පෙර මා අප්‍රිය කල ඔහු ඔහු කතාව දැන් මා සිත ඉල්ලා සිටින්නේය . කෙතරම් වෙලාවක් ඒ නිහඬතාවය රජකලා දැයි මට නිනව්වක් නැත . නිහඬතාවය අප හුස්ම ගන්නා වාතය උරාගන්නා සෙයකි . හුස්ම හිරවී , ආශ්වාශ ප්‍රශ්වසයද අපහසු සෙයකි

ඈතින් පුංචි තිතක් සේ පටන් ගෙන එන්න එන්ටම ලොකු වෙන බස්රථය දැක මා පිටතට ආවේ,  වැඩිමනක්ම ඒ පරිසරයෙන් මිදීමටය . බසය සෙමින් සෙමින් විත්  නැවතුම පසු කර මදක් ගොස් නතර විය . මම ඒ දෙසට දිව යන්නට වීමි

"මහත්තයා මහත්තයා . මේ... "

මම නැවතුනෙමි

"මම බොරු කිව්වේ ඕයි  . පිස්සු බෝවෙනවා  ඕයි  .. "ඔහු මහා හඬින්  සිනා සෙන්නට විය 

08 August 2014

පොදු අපේක්ෂකයා සහ කුචි කර්මාන්තය // In search of a savior

ඒ 

ඕ 

මේ අර පොදු අපේක්ෂකයා තාම එලියට ඇවිත් නැද්ද 

නෑනේ . යන විදියට නම් පොදු අපේක්ෂකයෝ ගොඩක් වෙයි වගේ 

එකත් එහෙමද 

මේ 

ඕ 

මරුපොරක් ඉන්නවා පොදු අපේක්ෂකයා කරනවානම් 

 කවුද? හැබැයි අලුත් මුණක් වෙන්න ඕනේ 

හරි හරි අලුත් මුණක් තමයි . දොස්තර කෙනෙක් 

දත් දත් දොස්තර කෙනෙක්ද ? 

චිහ් නෑ  නෑ  ඔරිජිනල් දොස්තර කෙනෙක් , මෙය ඉස්පෙෂලිස්ට් කෙනෙක් . වකුගඩු රෝග සම්බන්ධ විශේෂඥ 

ශාහ්  මරුනේ වෘත්තිකයෙක් ...ඒක  හොඳයි . දැනට ගම පළාතේ සමාජ සේවා වැඩ එහෙම කරනවද ?

පලාත්බදව පොඩි පොඩි වැඩ කීපයක් කරලා තියෙනවා 

මොනවද 

අර අනුරාධපුරේ ආසනික් නිසා හැදෙන වකුගඩු රෝග ගැන පරීක්ෂණය ලීඩ් කලේ මෙයා . අනික මේ දවස්වල ඉස්කෝලවල කැඳ  ව්‍යාපාරයක් කරනවා . පොඩි රුපියල් ගණනකට කැඳ  අසෝක වීදුරුවක් කට කපලා දෙනවා .

හරි හරි මම දන්නවා කවුද කියලා , ඉතින් මේ කැඳ හැලිය හදන්නේ මෙතුමාද ?

නෑ  නෑ  හදන්නේ නෑ . රෙසිපිය මෙයාගෙන් 

චරිතේ නම් ගැලපෙනවා . ඒත්  දිනන්න චාන්ස් එකක් තියෙයිද ?

මෙහෙමයි . අනිත් දෙයියෝ ටික රැස්වීම්වලට ඉස්ටේජ්  එකට නග්ගලා . පංච සිඛට  කියලා සිංදු  කියවලා . දිව්‍යාංගනාවන්ගේ ඩාන්සින් අයිටම් එකක් දාලා වැඩේ ගොඩ දා ගත්තැකි 

හැබැයි එක්කෙනෙක් නම් එන්නේ නෑ  සපෝර්ට් එකට 

කවුද 

අර කතරගම එක්කෙනා . එයා  සසින්දර මහත්තයටනේ වැඩ 

ඇත්තටම එහෙමද ?

එහෙනම් . සසින්දර මහත්තයාට  තමයිලු පුජා වට්ටිය මුලින්ම යන්නේ  ඔං 

හරි එයා නැති උනාට කමක් නා අපි වැඩේ කරමු . මුල්ම පෝස්ටරේ ගහමු " දෙවියනි ඔබ කොහෙද ?" කියලා . කැම්පේන් ස්ලෝගන් එක ලියමු "නාවොත් නාථ . අපි අනාථ  " කියලා 

අදහස් නම් හොඳයි තමා , හැබැයි පුතෝ කුචිකර්මාන්තය ගැන සැලකුවේ නැත්නම් සක්කරයා ආවත් දිනුම් බොරු 

කුචිකර්මාන්තය ?

_______________________________________________________________________________

ලංකාව වූ කලි කුචිකාර්මික රටකි . එහෙයින් ලංකාවේ බලයට පත්වීමට උත්සහ කරන ඕනෑම කෙනෙක් කුචිකර්මාන්තය දැන  සිටීම අනිවාර්යය වේ . මෙය වගා කිරීමයයි  වරදවා තේරුම් නොගත යුතුය .

අපේ මහින්ද මාමා මේ ශාස්ත්‍රය හොඳින්ම දනී . ඔහු බඩට  ඇන  ආච්චිලා කුචි කවන්නේය . වඩාගෙන උඩ  දමා පොඩි බබාලා කුචි කවන්නේය ( එවිට උන්ගේ අම්මලා ......................................................සහ තාත්තලා ද ඉබේ කුචි කැවේ ). පිරිත් කියවා දැහැමි සිත කුචි කවන්නේය .කතා කියා ජාති ආල නිලය කුචි කවන්නේය . අලිද කුචි කවා කුලප්පු කරන්නේය . රතු කුඹී ද කුචි කවන්නේය . . ලොකු මාමා එක්ස්පර්ට් ය .

මේ ශිල්පය හරි හැටි කරන්නට රනිල් මාමා අසමත්ය . ඔහු ගේ කුචි කැවීම  දැනෙන්නේ සිනිදු සමක් ඇති නාගරිකයන්ට පමණි . ලොකු මාමා එහෙම නොවේ ය . ඔහු තදින් බඩේ පැත්තකට ඇඟිල්ලෙන් ඇන  කුචි කවන්නේය . එවිට එක්වරම ඉල ඇට  දිගේ විදුලිය බඳු වේදනාවක් ජනිත වේ . එවිට කුණුහරුප පවා කියවේ . දැන් බොහෝ අය  එවැනි විට පරුස වචන වෙනුවට වෙනත් වචන කීපයක් කීමට පුරුදු වී සිටිති . ඇතැමෙක් එවිට "ආස්තරිය ආස්තරිය " කියා කියන්නාහ .( සමහරුන්ට නම් එකවිට " අම්මගේ අස්තාරිය  " කියා කියවෙන්නේ පරණ පුරුද්දටය . ) සමහරුන් එවිට "හෙළ ජාතික අභිමානේ වැනි ගීත ඛණ්ඩයක් කීමට පුරුදු වී සිටිති .

03 August 2014

ඉරිදා රෑ සංගීතේ , රිටිගල මහසෝනාස් සමග

"මේ ( මේ  මේ ඒ ඒ ඒ  දෝංකාරය නැගේ ) මනරම් සංගීත රාත්‍රියේ (ඒ ඒ ඒ ) ,  ඔබ සවන් පිනවන්නට (ට ට ට)  දැන් ( දැන් දැන් දැන් ....  ) වේදිකාවට කැඳවන්නේ ( ඒ ඒ ඒ ඒ ඒ) ඔබේ (ඒ ඒ ඒ ඒ) ප්‍රියතම (ම ම අ අ) සංගීත කණ්ඩායමක් 

පිළිගන්න .....රිටිගල ( ල ල ල අ අ ) මහසෝනාස් (ස් ස් ස් ) "

(අත්පොලසන් නද, විසිල්  හඬ හා හූ හඬ නැගේ ..)

"නංගිලා මල්ලිලා විනෝදෙන් දෝ ?"

(මහා හූ  හඬක් නැගේ )

"හරි ...අපි දැන් ගයන්න යන්නේ අපේම ගීතයක් . අපේම කිව්වට පරණ  නුර්ති ගීතයක් ආශ්‍රයෙන් තමයි මේක අපි නිර්මාණය කලේ . ඔන්න පටන් ගමු .අප්පුඩියක් ගහලා සහයෝගයක් දෙන්න ..

දන්න  වංහුං අප පනාපුත්‍ර රාජ දුරයේ 
ආයෙමත් ආයෙමත් රාජ දුරයේ 
දන්න වංහුං  අප ඉතිහාසය  විකුණගෙන කයි 
ආයෙමත් ආයෙමත් විකුණා ගෙන කයි 

කැරකිලා , කැරකිලා , දෙකට (ඉතිරිය නො ඇසේ )


යලිත් ලියන මහා වංශ බලාන හිටිය ලෙසේ 
කෙනෙකුට රෙදි පෙන්නුවාම මහගෙනම අඳි 
රෙදි සොයා , 
ගානට කපා , 
මහගෙනම අඳි 

දන්න  වංහුං අප පනාපුත්‍ර රාජ දුරයේ 
ආයෙමත් ආයෙමත් රාජ දුරයේ 

හා...හා "

(ඩ්‍රම්ස් නැවතී , සර්පිනාවක හඬ විදුලි ඔර්ගනය අනුකරණය කරන්නට තතනයි )

"අනේ ( ඒ ඒ ) කුඹින් නේ ඒ ඒ   , තොපටනම් රජෙක් ඉන්නේ 
මෙහෙනම්  නම් අනේ 
ජැකා  තමයි 
ඕන රජෙ කුට අඳින්නේ "

"රින්ගිටි රින්ගිටි ඩුම්  ඩුම්  ඩුම්"  (නැවතත් ඩ්‍රම්ස් වාදනය පටන් ගනී )

"ආසියාවේ ආශ්චර්ය , 

 හා හා 

ආසියාවේ ආශ්චර්ය , 
දොර ළඟටම විත් නිසා  
රජ කතා , හද හදා , ප්‍රීතියෙන් බලන් 
හද හදා , හද හදා , හද හදා බලන් 
ඇස්  වසා ඉඳින් 

දන්න වංහුං "

(නැවතත් ඩ්‍රම්ස් නවතී )

"රජෙක් ලැබුනෝ තින් 
නැටුමුත්  නටන්නම්  
සිංදුත් කියන්නම් 
ෆයිටුත් දා ෆිල්ම් එකක් හදන්නම් 

දන්න වං  හුං ....."

ඩන්  ඩිරි ගා  චික බුං..... චින්  

(අත්පුඩි , විසිල් , හූ හඬ )

පලි :
රජ සෙල්ලම් චිත්‍රපට සාදර නිෂ්පාදනයක්, ලබන සතියේ සිට  දිවයින පුරා සිනමා  හල් තිස්  පහක හතලිස්  පහක " ඇහැලේපොළගේ  කුමාරිහාමි " 

01 August 2014

ආදරයේ පාළම


කාලයක් තිබුනා 
නුඹ දාන්ගලේට 
පොල් කොටන් පාලම දිගේ 
එක පිම්මට මේ ඉවුරට දිව ආපු 
මම හිටියේ මේ ඉවුරේ 
පැත්තකට වෙලා 
උඹේ විසේට ඉඩ දී 

කාලයක් තිබුනා 
නුඹ බිම බලාන, 
හෙමින් හෙමින් 
සුදු ගවුමේ රැලි 
සුළගේ නොයන් 
අතකින් අල්ලන් 
පිය නගාපු 

යකඩ පාලම දිගේ 
මාත් ගියා  විටෙක 
වැරදිලා වගේ 
මුණට  මුලිච්චි වෙන්න 
එකම එක මොහොතකටවත් 

කාලයක් ඇවිත් දැන් 
කොන්ක්‍රීට් පාලම උඩින් 
තාර  කාපට් දිග හැරුණු 
සංවර්ධනේ ඇවිත් හිනාවේගෙන 
ගමට.

අනේ 
ඒත්  
දැන් 
පදිකයන් ගමන දකුණු පසින් 
රිය පෙළ ගමන පාර මැදින් 
පාර දෙපැත්තේ 
අපි