30 August 2016

Mrs Shodienger and her cat // ශොඩින්ගර් මහත්මිය සහ ඇගේ බැළලිය

Mrs Shodinger 
sat 
with her cat 
on her lap 
purring 
sleeping 
pretending

watching a man 
watching a box 

He is
listening through the edges 
of right angles 
coming up with
quontam explainaitions
to dimensional problems 

Dinner's getting cold
She's getting too
old 
for this 

And then the cat
had to 

meow


***

ශොඩින්ගර් මහත්මිය 
සිටියාය හිඳ 
ඈ උකුලේ 
බැළලිය 
පුරු පුරු ගාමින් 
නිදි 
හොරට 

ඔහු 
සොයයි 
ක්වන්ටම් හේතුවක් 
ත්‍රිමාණ ප්‍රශ්නයකට 
සෘජු කෝණි 
බිත්ති වලට 
කණ තියා 

රෑ කෑම 
හීතල වේය

ඈ තාම 
ලත වේය 

ඔහු 
වෙනදා වාගේම 

එතැන 


බැළලිය 
ඥාව් ගෑවාය 

28 August 2016

සරන් බරන් සිට සටන් පටන් දක්වා (ගීත විචාරයක් )




මහා පෙරහැර ගොස් අවසන්ය . කොටින්ම දිය කැපීමේ පෙරහැරත්  නිමාවෙලාය .  මේ කීවේ  නුවර පෙරහැර නොව , නෙලුම් යාය  පුරා ගිය සින්දු පෙරහැර ගැනය .
ප්‍රබුද්ධ ගී විචාර ලියන උන්නැහේ මේ දවස් වල නිවාඩු ගිහින් නිසාවෙන් , ඒ අන්තරයේ , ලූලා නැති වලට කනයා කියා පහුවෙලා වුනත්  සිත් ගත් ගීතයක විචාරයක් ලිවීමට මට සිතක් පහළ  විය .

මුලින්ම ගීය අසන්න / බලන්න

මේ ගීය මා ඇස ගැටුනේ මාරම මාර යාං ලියන ශ්රංග ගේ මුහුණු පොතේ ය .

මේ ගීතය ගැනට වඩා  මේ වර්ෂන් එක ගැන මෙන්ම , මියුසික් වීඩියෝ එක ගැනම ද විචාරයකි .

මෙහි මුල් ගීතය , ගැයූ ගායකයාට වඩා , මේ ගායකයාගේ වර්ෂන් එක , මෙන්ම මේ රූප රචනයම සමකාලීන  සමාජ යථාර්තය මනාව පිළිබිඹු කරන්නේය . ඔහු ගීය පටන්ගන්නේ මිදුල ඇමදීමෙනි ,නමුත් වැඩේ මගදී ඔහු නවතා දමයි . මෙමගින් ලාංකීක ජන සමාජ හැසිරීම මනාව  පිළිබිඹු වේ. මුළු ගීය පුරාම කියවෙන්නේ නන්තාරේ ගිය , නැහැදිච්චි පැටව්  නිසා පස්චාත් තාපයට පත් වෙන පියෙකුගේ අදෝනාවකි . " නැහැච්චි  එවුන් නිසා දරුවෝ  මරන්නද ? " කියා ඔහු අසන්නේය .. අපි කොහොමෙයි තනියම නිවන් දකින්නේ කියා අසන්නේ , තවමත් මේ සංසාරේ වටේ කැරකෙන හේතුව කියා පාමිනි . රජෙක් වුවත් මෙවැනි දුකක් සිතට මහා වදයක් බවනම් කිව යුතුය . ඒ ගැන උදාහරණ මෑත අතීතයේ රාජාවලියේද  අපට හමුවේ .

මේ නළුවා / ගායකයා ඉතාම තාත්වික අයුරින් එය ඉදිරිපත් කරන්නේය . ඔහුගේ අසරණ බව , "මොනවා කරන්නද ? " කියා විනාඩි 1.09 හිදී අසන අයුර ඕනෑම කෙනෙකු හද කම්පා කරවන්නේය . මුවින්  නොකී කතා , හස්ත මුද්‍රාවෙන් කියන්නේය .

මුලදී ඉතා සංවරව සුදු සරමක් හැඳ , කමිසයක් හැඳ ගීය ආරම්භ කරනා ගායකයා . මගදී කමිසය ගලවා මොටෝ සයිකලයක් උඩට විසි කරන්නේය . මෙහිදී මොටෝ සයිකලය තාරුණ්‍යයේ බලාපොරොත්තු සහ භංග වූ දේශපාලන පොරොන්දු සංකේතාත්මකව නිරුපනය කරනවා දෝයි  සිතේ .

ගීය මගදී , සුදු සරම කැහ පට ගැසේ , සංයමය ආවේගයකට හැරේ ."සරන් බරන් " ඉබේම "සටන් පටන් " බවට හැරේ  .
ලාංකීක දේශපාලන යථාර්තයක් පොල්ලෙන් ගහනවා සේ පැහැදිලිවේ .

23 August 2016

අතුරුදහන් වූ වන් සෙවීමේ කොමිටල්

මෙන්න බොලේ උදේ පාන්දරම , කේතුමතියේ  එක්තරා ගොඩනැගිල්ලක් ඉදිරිපිට දිගට දිග ඇරුනු  පෝලිමකි . . .. මොකක් උනත් පෝලිමක් නම් නිව්ස් එකක් බව රූපවාහිනී  ප්‍රවෘත්ති බලාම උගැන ඇති බැවින්   මම ඒ දෙසට ගියෙමි.

 මේ පෝලිම මොකක්ද කියා නිරවුල් කර ගැනීමට සිතා මම පෝලිමේ මුලින් ඉන්න අයෙක් දෙසට ලං වුනෙමි .  පෝලිමේ පිටිපසින් බර බාරයක් නැගෙන්නට විය  "ආණ්ඩුවට එකතු වෙනවා වගේ බෑ   . එකතු වෙනවානම් පස්සෙන්" කියා කට්ටිය කීවත්,  එකතු වෙන්නට නොව කරුණු දැන ගැනීමට පමණක් තතනන බව ඔවුන්ට කියූ පසු ඔවුන්ගේ බර බරය  නැති විය. නමුත් " පත්තරෙන් වෙන්න ඇති ... ටීවී එකෙන් ....සංජන් මහත්තයාගේ තොත්තු සේවෙන් ..." වැනි මිමිනීම් නම් ඇසෙන්නට විය . ඒවා ගණන් නොගෙන මම පෝලිමේ මුළට  වෙන්න ඉන්න වයසක අයෙකට ලං වීමි .

මාමේ මොකෝ මෙතන වෙන්නේ ?

ඇයි  මහත්තයෝ , මෙතැනලු නේ අර අතුරුදහන් වුවන් හොයන කොමිසම දාන්නේ ..

ඒක  තාම පාර්ලිමේන්තුවේ පාස් වෙලාත්  නෑනේ ..මාමාට ෂුවර්ද

අනේ මේ මහත්තයෝ.. පාස් වෙලා නෑ  කියලා මහත්තයට ෂුවර්ද ?

හැහ් ... ඉතින් මාමාගේ කවුරු හරි අතුරුදහන් උනාද , යුද්දේදීද

නැති වෙච්ච කාලේ නම් නිනව්වක් නෑ  මහත්තයෝ, හැබැයි  නැති වෙච්ච කට්ටියක්ම ඉන්නවා 

ඒ කියන්නේ අසු නවයේ වෙන්නැති 

හරියටම නිනව්වක් නෑ  මහත්තයෝ ... හැබැයි මේ රටේ  නීතිය  අතුරුදහන් වෙලා .. රට බලා ගත්ත මුර දේවතාවුන්  ඒ කට්ටියත් ආ ගිය අතක් නෑ .

නීතිය නම් නැති වෙලා නෙමෙයි දිය වෙලා මාමේ .. හැබැයි අර මුර දේවතාවුන් බැරිම තැන නම් බෝට්ටුවක නැගලා ඔස්ට්‍රේලියාවට වත් ගියාද දන්නේ නෑ  


මම තවත් අයෙක් ලඟට ලං වුනෙමි

 අපේ රටේ සරළ  ජනාධිපති තුමාගේ අර ජනවාරි අටවෙනිදා අත්සන් කරපු ඇට්ලස්  චූටි  පෑන  නැතිවෙලා මහත්තයෝ .. ඒ නිසා එතුමාට අර සරළ  ජීවන පැවැත්ම ගෙනියන්න හරි අමාරු වෙලා තියෙනවා..

හැබැයි ඕක නම් පොලිස් ඇන්ට්‍රියක්  දාන්න ඕනේ කේස් එකක්

ඒකත් හැබෑව මහත්තයෝ , අපේ පොලිස් පති තුමා , නීතිය  ඒ පැත්තට මේ පැත්තට නවලා ඕක හොයා ගනියි නේ  

මේ අංකල් තමුසේලට  පිස්සුද ඔය වගේ සිල්ලර කේස් මෙතැන්ට  ගේන්නේ ,(පෝලිමේ පිටිපසින් තරුණයෙක් කතාවට එක්විය ) ...

හරි මල්ලි මොකක්ද හොයන්නේ

මට මේ හම්බුවෙච්ච පොරොන්දු මිටියක් තිබ්බා , යහපාලනේ කියලා ගහපු ෆයිල් එකක්  ඇතුලේ .... ෆයිල් කවරේ එහෙම්ම තියෙනවා , ඇතුලේ තිබ්බ ඒවා  අතුරුදහන්  වෙලානේ 

ඔය මොනවද අයියේ , අර තව කොහෙද කොමිසමක ෆයිල් කන්දක්ම තිබ්බද නැත්ද නැතිවෙලා තියෙන්නේ ..
(පිටිපසින් උන් තරුණියක් කතාවට එක්වූවාය )

හැබැයි කොල්ලෝ පරණ පයිල් වගයක් නම් තියෙන තැනක් ගැන අපේ ජනාධිපති තුමා කිව්වා ..පොඩ්ඩක් අහලා බැලුවානම් නරකද ? ( වයසක කාන්තාවක්ද තම මතය ප්‍රකාශ කළාය )

ඇය  ඉන්පසුව ඇගේ  පැමිණිල්ල ද ඉදිරිපත් කරන්නට විය 

පුතේ අපේ ගෙදර උන්න බළල්  තඩියා ... ලිප ලඟට වෙලා ඉඳලා .. මම තාච්චියේ බැද බැද හිටපු බැඳුම්කර ඔක්කොම ගිලලා ....දැන් ඌත් අතුරුදහන්  

මම නම් හොයන්නේ අර සිවිල් සංවිධාන .. උන් අන්ත්‍රස්ධාන වෙලානේ 

නී මී ..මං  නම් හොයන්නේ ඔය ඔක්කොටම වඩා වැදගත් දෙයක් අනී ..

ඒ මොකක්ද

අපේ රටේ මිනිස්සුන්ගේ මතකය අතුරුදහන් වෙලා වගේ මෙයා ...ජනවාරි අටවෙනිදට වැඩ කලින් දේවල් කට්ටියකට මතක නෑ ... ජනවාරි අටවෙනිදා ඉඳන් අගෝස්තු වෙනකං කිව්ව දේ තව කට්ටියකට මතක නෑ

මේ කට්ටිය මේ අහන්න මම හිතන්නේ ඔය ගොල්ලන්ට මේ කොමිසම ගැන හරි වැටහීමක් නෑ  ..මෙතැන  පැමිණිලි බාර ගන්න යන්නේ අතුරුදහන් වුවන් ගැන

මම පුළුවන් තරමින් තේරුම් කරදීමට සැර සුනෙමි . එහෙත් කිසිවෙක් මා කියූ දෙය පිළිගන්නා බවක් නොපෙනුණි . එහෙත්  පෝලිමේ මැද  හුන් යුවලක් , එතැනින්  ඉවත් ව යනු දුටිමි . 

අන්න දැක්කද අර කට්ටියට තේරුනා

සියල්ලෝම ඔවුන් දෙස බැලුවෝය . කෙසඟ මැදි වියත් පසු කළ  පුරුෂය සමග සිටියේ , හැදිදැඩි ගැහැනියකි . ඔහු ලජ්ජාවෙන් මෙන් බිම බලා ගත්තේය , ඈ  කතාවට මුළ  පිරිය 

... නෑ  මං හිතන්නේ අපි මේ ගැන වරදවා තේරුම් ගත්තේ ....මම මේ මිනිහා ඇදන්  ආවේ මෙතෙන්ට, පත්තරේ ඇඩ්  එක දැකලා ..මමත් යෝජනාවකට කැමති වෙලා මූව බැඳ ගත්තා ..ශික් විතරක් නමට පිරිමි ... ඉතින් පත්තරේ දැන්වීම දැකලා මම ඇදන් ආවා .. හැබැයි දැන්වීම තිබිලා තියෙන්නේ අතුරුදහන් වුවන් සෙවීමේ කොමිසම කියලා , ඒ වුනාට අපේ පත්තරේ මොනවද ගැවිලා නිකන් "වූ" යන්න නිකන් "චූ"  යන්න වගේ පෙනුනේ ... මම හිතුවේ ඒ වගේ ලෙඩවලට බෙහෙත් කරන තැනක් කියලා

20 August 2016

චන්දරේ ගේ තුන් කාලක් ක්‍රියාව හෙවත් නො බිව් සෝඩා බිල

ඔන්න දවසක් එක යට රත්නේ  යාලුවෙක් (මතකනේ යාළුවාව  https://pinchpoints.blogspot.hk/2016/06/blog-post_12.html ) එක්ක සෙට් වෙලා පොඩි  අල්ලාප සල්ලාපයක් ය .  ඒ පෙරදිනයේ රාත්‍රියේ මිතුරු හමුවක් හෙවත් සැට් වීමක් පිළිබඳවයි 

ඒ අඩේ  .චන්දරේ ...ඊයේ වැඩේ නැගලා ගියාලු නේද 

ඔව් ඔව් .. වැඩේ මරුවටම ගියා .. දෙකක්ම   ඉවර කළා කට්ටිය .

 ඔව්   ආරංචියි ...

හැබැයි මේ කොල්ලෝ කියලා ඉන්නවා කිසිම වැඩක් නෑ ... ඒකෙන් තුන්කාලක්ම බිව්වේ මම තනියම ... මුන් කොල්ලොද අප්පා ?

 එතකොට උඹයි තුන් කාලක් ක්‍රියා කළේ ?

එහෙනං 

 මේ සුද්දා තැන තැන කියන්නේ  සෝඩා බිලක් ගෙවන්න තියෙනවාය  ...ඔක්කොම එවුන් මාරු වුනාය .... දැන් මුදලාලි ඒක ගෙවන්න  කවුරු හරි  එකෙක්ව හොයනවාය කියලා ... 

හඃ ... ඒ ඒ ඒවට  නම් මම නෑ ..බිව්ව එවුන්ට උත්තර බඳින්න කියහන් සුද්දාටයි උගේ මුදලාලිටයි 

ඒ කියන්නේ උඹ නීට් අරක්කු විතරද බිව්වේ 

පිස්සුද බං , අපි එහෙම බේබද්දෝයෑ ? ..  අපි  සිස්ට සම්පන්න විදියට ජෙන්ටල් මෑන්ස් ලා වගේ සෝඩා අඟලක් දා ගෙන , අයිස් කැට දෙකක් දා ගෙන පිළිවෙලකට බිව්වේ .

 සෝඩා විතරක් බිව්ව එවුන් හිටියද ?

පි පි පිස්සුද මලේ , ඒ වගේ අපරාධ කාරයෝ අපි සැට්  කර ගන්නවද   මේ වගේ මානුෂික මෙහෙයුම් වලට 

එතකොට සමානුපාතිකව බලපුවහම ,  උඹ  අරක්කු වලින් තුන් කාලකට වග කිව්වානම් , සෝඩා වලින් වැඩි හරිය බීලා තියෙන්නෙත් උඹ නේ 

හැහ් ... එ එ  එහෙම කොහොමද ...ඒ අර ඈත කවුද බං  එන්නේ 

කෝ , කවුරුවත් ....ඒ උඹ කොහේද  ඔය ශේප් වෙලා යන්නේ ?

 පලි :

පසු  ගිය දිනෙක , අයෙක් යුද්ධය නිමා කිරීමේ ගෞරවය තුන්කාලක්ම තම පිඟානට බෙදා ගත්තෝය . මෙහෙම ගියොත් ප්‍රභාකරනුත් ඊට ගෞරවය ඉල්ලා සිටිනු ඇත . දුක යනු මෙවැනි කට මැත දොඩවන්නන් දෙඩ වීම නොව , ඒ දෙඩ වීම් ප්‍රචාරය කිරීමය 

13 August 2016

කුමාර රචනය

පෙරවදන :
ගිය සතියේ මනමේ කුමාරයා විහිලු කාරයෙක් වෙච්ච සංසිද්ධිය ඒ පැත්තෙන් මේ පැත්තෙන් බලලා කට්ටිය ලියලා තිබ්බා . ඒ අස්සේ හිතන්න වස්තු බීජත් තිබුනා .. මේක වලලපු මිනියක් ආයේ ගොඩ ගන්නවා වගේ පෙනෙන්න පුළුවන් ඒත් , මට මේක කලින් ලියා ගන්න වෙලාවක් තිබුනේ නෑ . ඕං එහෙනං ...

මහාචාර්ය තුමා උදේ ගමනක් යනකොට මුනිච්චි උනේ හදිසියේ හදිසියේ කොහේදෝ යන යෝදයා ව (ඔබේ මතකය මිහිර පත්තරේ තරම් ඈතට දිව යනවා නම් ... ඒ චිත්‍ර මතක් වේවි ) .

යෝදයා :  ආ මා චාරිය තුමා ...ගු මෝනින් 

ම.තු : ගුඩ් මෝනින් .. කොහේද මේ යන්නේ ?...

මම මේ මනමේ කුමාරයාට සුභ ගමන් කියන්න යනවා 

හැබැයි යෝදයෝ , ගොඩක් අය  මනමේ කුමාරයා බලන්න  ගියාට පෙනිලා තියෙන්නේ මිස්ට ප්‍රේමචන්ද්‍රව 

මා චරියතුමා , ඒ වුනාට මනමේ කුමාරයා  පස්සේ නිකන් ම ජෝකර් කෙනෙක් වෙච්ච එක වැරදියි නේ ? කුමාරයෙක් උනාට පස්සේ ඒ රෙස්පෙට් එක තියාගන්න ඕනේ නේ ?

දෙකම ඇක්ටිං නේ ... අනික කුමාරයාට ඇඳලා ඒ මනුස්සයා අතට ගත්ත සොච්චමින් කරගත්ත දේ ට වඩා සිය දහස් ගුණයක් , ඒ මනුස්සයා ජීවිතේ කර ගන්න ඇති ජෝකර් ට ඇඳලා අතට හම්බුවෙච්ච ගාණෙන් 

ඒ වුනාට කුමාරයාට අඳින එක වගකීමක් නේ ... අනෙක මීට සති කීපයකට කලින් දුටු ගැමුණු කුමාරයත් ඕකම කළා 

හැ හ් ..දුටුගැමුණු ??!!

ඔව් අර උද්දික ප්‍රේමරත්න , ලෙදර් ජැකට් එකක් ඇඳන් ඇවිල්ලා සින්දු කිව්වේ ...

ඔව් ඔව් මම බැලුවා ..හරි ලක්සනට කිව්වා නේ ... 

සින්දු ලස්සන තමයි...ඒත්  වැඩේ කැතයි නේ ... 

අනේ මන්දා .. ඉතින් දුටු ගැමුණු චරිතෙත් ඇක්ටිං  නේ ...එතනින් පස්සේ ඒ මිනිහා දුටු ගැමුණු වෙන්නේ නෑ  නේ 

ඒ වුනාට ..වැඩේ කැතයි 

යෝදයෝ ..එහෙනම් ..අර කාලයක් ඔටුන්න හිමි කුමාරයට ඇන්ද ගැටයෙක් පහුගිය දවසක , පාරේ බයිලා නට නටා ගිහින් තිබ්බ නේද 

ආ ආ .ඔ ඔ ඔ ..ඒ ඒ  ඒත් ..ඇ ඇ ඇ ට්ටින් ..වෙන්න ඇති නේ 

පසුවදන : රාක්ක වල තියෙන දෙයින් නිරූපණය වන්නේ , මුදලාලිගේ තේරීමට වඩා , පාරිභෝගිකයන්ගේ රුචිකත්වයයයි  සිතමි . 


නළුවන් , නළුවන්යයි වටහා නොගැනීම ප්‍රේක්ෂකාගාරයේ දොසකි 

07 August 2016

සංගීත කාරයෝ බොහොමයි

මේක නිකන් දිනපොත් සටහනක් වගේ , අන්තර්ජාලයේ සටහන් කරන . ..( ආ බ්ලොග් සටහන් කියන්නේ ඒවට නේද ? )

සංචාරයේ අවසන් සති අන්තයේ ඔහේ ඇවිදගෙන යනකොට ,   මුහුද ඉව කර කර , ඔන්න අපි ආවා වෙරලක් අද්දරට . මහා කාස්ටක අව්ව . ඒත් අව්වෙන් මෑත්  වෙච්ච ගමන් හිරිගඩු පුප්පන හීතල .එක පාරටම කණේ  වැටුනේ පියානෝ වාදනයක් . පවුරේ කොනටම වෙන්න තියපු , පාට  පාට පියානෝවක් ඉස්සරහ ඉඳගෙන ඉන්නවා කොන්ඩේ  දිග හාදයෙක් .
ඔහු වාදනය කරනවා ඉතා මිහිරට . ඔහු ඇස් වහගෙන  වාදනය කරනවා . 

මට මතක් උනා ගුවන් යානයේ සඟරාවක කියවපු මේ පියානෝ ගැන කතාව (http://www.streetpianos.com/
 . පාට පාට පියානෝ , ප්‍රසිද්ධ තැන්  වල තියපු කලා කාරයෙක් ගැන (මෙන්න ලින්ක් එක ). කලාව උපදින්නේ මිනිස්සුන්ගේ ඇතුලෙන් . ඇතැම්විට කලා කාරයා ඊට බාධාවක් . මේ වැඩෙන් රසිකයා හා කෘතිය අතර දුර අඩුවෙනවා නේද කියලා හිතෙනවා .

ඔහුගේ ඉස්සරහ වයසක කාන්තාවන් දෙදෙනෙක් තාලය අල්ලනවා . පොඩි එකෙක් ඔහු ළඟටම වී බලා ඉන්නවා . ඔහු අවසාන ස්වරයත් වාතයට මුසු වෙලා , මුහුදු හුළඟට පාවෙලා යනවා .

ඔහු නැගිටිනවා . පොඩි එකාට හිසෙන් සන් කරනවා අසුනෙන් ඉඳ ගන්න . පොඩි එකා ඉඳ ගෙන ඔහු දන්න තාලයක් (හැපී බර්ත් ඩේ ටු යූ ..) වාදනය කරනවා . ආච්චි ලා දෙන්නා යන්න නැගිටිනවා . ඔවුන් මාව පහු කරගෙන යන ගමන් , මද හිනාවකින් සංග්‍රහ කරනවා . අර මුල් වාදකයා පරණ වෙච්ච මල්ලක් කරේ දා ගෙන , බයිසිකලයකුත් තල්ලු කරගෙන එනවා .

"ඔබ එය රසවින්දද ?"

"ඔව් ඉතා රසවත් "

" ඔබ කැමතිද මගේ සී ඩී තැටියකට ?"

"අතේ සල්ලිත් නෑ ..කීයද ?" ( මගේ ශ්‍රී ලාංකිකකමද මන්දා ඉස්සර වෙනවා )"

" නෑ   සල්ලි එපා , ඔබ අරන් ගිහින් රස විඳින්න "



ඔබත් රසවිඳින්න

මට එක පාරටම , අවුරුදු ගානකට පෙර , කොළඹ , ඉන්ධන පිරවුම් හලක , තමන්ගේ වියදමින්ම මුද්‍රණය කළ නවකතා පොත් කීපයක් මල්ලක දා ගෙන, හුලං  පොම්පේ ට දික් ගැහුණු පෝලිමේ,  වාහන ගානේ ගිහින්, විකුණන්න  හදපු කතුවරයෙක් මතක් වෙනවා