26 October 2014

යටට ඇඳලා ඉන්නේ මොකක්ද ?// camouflage prints , a fashion trend in Sri Lanka

යුද්ධය කාලේ කැමා (camouflage) ඇඳුම් ඇඳීම තහනම් විය , ඒ ආරක්ෂක හේතුන් නිසාය . යුද්ධය නිමාවී කිරිබත් කෑ අපි , කැමා  ඇඳගෙන සිටි අය  ඒවා උනා දමා සුදු ඇඳුම් අඳිද්දී , හවුසොප් පැසන්  එකෙන් ගෙන කැමා  ෂෝට්  ඇන්දේ , අර හිතේ තිබුණු පරණ ආසාව සංසිඳුවා ගැනීමටය .

හැබැයි බලා ගෙන ගියාම ගොඩක් දෙනා උඩින් පෙනෙන්නට 
නොඇන්දාට , යට කලිසම හැටියට අඳින්නේ කැමා  ෂෝට්  එකක් බව හොඳින් පැහැදිලිය .

අලුත්ගම පැත්තේ රට දැය සමය රැකගන්නට දෙස් දුන්නවුන් ගේ සුදු ඇඳුම් , කසාවන් චීවර  යටින් ද , රටේ වැදගත්ම අය සහභාගී වූ ඇමරිකාවේ සාදයක බාල් නැටුම් නැටු අයගේ කෝට් සුට් යටින්ද හැඳ  සිටියේ කැමා යට කලිසම්මය . ඔබ මා විශ්වාස නොකරනවා නම් මම මේ නුදුරේ උදාහරණ කීපයක් දෙන්නම් . 

ගිය සතියේ කුරුණෑගල පැත්තේ වැදගත් ඇමති වරයෙක් රූපවාහිනි වැඩසටහනක  වැදගත් කතාවක් කළේය .  ඉතා සංවර ස්වරයෙන් ඒ කතාව අවසන් කල ඔහු අත් දෙක ඔසවනවිට කකුල් දෙකටම ඇඳ  සිටි කලිසම මදක් පහතට වැටුණි . ආන්න එවිට අර කැමා ෂෝට ඉන හරියෙන් පෙනුනි . ඔබ එය නුදුටුවේද ?

මේ සතියේ මඩකලපුව පැත්තේ හාමුදුරු කෙනෙක් ඉතා දැමුණු වදනින් , මහාර්ඝ දෙසුමක් කලෝය . අවසානයේ ඉතා දීර්ඝ වේලාවක් අසා සිටි අයගේ මව් පියන්ට පුණ්‍යානුමෝධනා කිරීමෙන් පසු උන් වහන්සේ  
" සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා , සුවපත් වෙත්වා " කියා මෙත් වඩා , එහා මෙහා වූ චීවරය  සකස් කර ගත්තෝය . අන්න එවීට සිවුරට යටින් ඇඳ  සිටි කොළ කාකි පැල්ලම්  සහිත කැමා ෂෝට  හැමෝටම දිස් විය . ඔබ එය නුදුටුවේද ?

ඒ කිසිවක් නොදුටුවෙනම් .. මේ පහුගිය සතියේ අප ජනාධිපති තුමා බජව් එක බජට් එක ඉදිරිපත් කළේය . ඉතා ගරු ගාම්භීරව , ඉතා ගැඹුරු යෝජනාවලියක් ඉදිරිපත් කල ඔහු කතාව අවසන් කළේ  "තෙරුවන් සරණයි" කියාය . ඉන් පසු ඔහු සුදු සරමේ ගැටය ලෙහා පට පට ගා ගසා , නැවතත් ගැට ගසා ගත්තේය ....එවිට මුළු රටටම ඔහු සරම යටින් ඇඳ සිටින කැමා සෝටේ හැඩ  පෙනුනි .

19 October 2014

මං නම් පොලිටික්ස් වලට නෑ // But politics needs you

පෙලි :සමහර වෙලාවට සමහරෙක් කියන කතාවක් තමයි, අපි නම් පොලිටික්ස් වලට නෑ කියන එක. ඒත්...

ඔන්න මං නම් 
පොලිටික්ස් වලට නෑ
ඒ උනාට
එහෙම බෑ
පොලිටික්ස් වලට 
මා 
ඕනෑ

බේගල් තර්ක ගුලි ගිලින්න
සිල් රෙදි, උදලු තල ,ටකරන් 
සහන හිරිපොද වරුසාවට 
තෙමෙන්න
මහා බල ජනතා පරමාධිපත්‍ය
දන්සල් දොරෙහි 
පෙළ ගැහෙන්න
එ මහතුන් හිත් පිරෙන්න
මහජන කැමෑත්ත මලු පිරෙන්න

දසන් පෙන්වා සවන් දක්වා
ඇලවුනු මුහුනු පවුරු පුරා
සිහි කරත් මට
මේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්ජේ
මගේ කැමැත්තට ඉඩක් නෑ
මං පොලිටික්ස් වලට නැති උනාට
එහෙම බෑ

17 October 2014

My favorite moment //මා කැමතිම මොහොත


My favorite moment
Is the 
silence before the
Music begins
non taste before the
Palate gets confused
The moment of 
Vulnerable nakedness 
Before the plunge
Emptiness 
before the memories
Rush and fill my head


මා කැමතිම 
 විනාඩි කිහිපය
නිහඬය..වෘන්දය වෙණ වැයීමට පෙර
නීරසය..කලින්, මුව ලූ රස කාන්දු වීමට
නිරාවර්ණය..නග්න ගත දිය තුල කිමිදෙන්නට පෙර
හිස්ය..මතකයන් විත් හිස් කුහරේ පිරෙන්නට පෙර

ඒවගේම සහන තෑගී වැහි වහින චන්දේට පෙර මොහොත...

14 October 2014

ලොක්කාගේ ටිකිරි මොළේ

ඔන්න එකමත් එක රටක බොස් කෙනෙක් හිටියාලු.( සත්තයි අපේ කන්තෝරුවේ නම් නෙමෙයි). ඉතින් එයා යටතේ වැඩ කරන ව්‍යාපෘති කලමනා කරුවන්ට පොඩි ( කිව්වට ටිකක් විතර ලොකු) ප්‍රශ්නයක් තිබුනා. කොහෙත් වගේ චුටි එලකිරිස් ගෑනු ලමයෙක් ලොක්කව අන්දගෙන , අනික් කට්ටියටත් ගෑස් පෙන්නගෙන, වැඩෙත් නාගෙන .. දැන් ඔබට තේරෙනවා ඇතිනේ. ඔන්න මේ කට්ටියත් අපේ කන්තෝරුවේ නෙමෙයි.

ඉතින් මේ පලපුරුදු කලමනාකරුවෝ ආයතනයට තියෙන ලැදි කම නිසාම ලොක්කට ගිහින් වටින් ගොඩින් ප්‍රශ්නේ කිව්වා. ඒත් කිසිම ප්‍රතිචාරයක් නෑ. දෙවෙනි සැරේ කතාකරන්න ගියාම ඔන්න ලොක්කා , මග ඇරලා වැසිකිලියට ගියා.
කට්ටියේ රතු කට්ට පැන්නා. මොවුන් රැස්වීමක් සංවිධානය කලා. ලොක්කටත් ආරාධනා කලා,රැස්වීම කල් ගියා කිහිප සැරයක් reschedule උනා. කොහොම හරි එක් ඉරණම්කාරී දවසක
ලොක්කා ආරාධනාව පිලිගත්තා. දැන් කට්ටිය ඉන්නවා දත මැදගෙන ලොක්කට කණ පිරෙන්න දෙන්න. ලොක්කා ආවා, කට්ටිය පටන් ගත්තා විවේචනය. ලොක්කා කිව්වා

"අයිසේ මේවා මෙහෙම කතා කරන්න බෑ .යමු උඩ mess එකට මොනවා හරි බීලා කතාකරන්න"

කට්ටිය ගියා . ලොක්කා බීම කෑම ඇනවුම් කලා.කට්ටිය ආයේත් පටන් ගන්න කොටම ලොක්කා කියුවා." 

"කන බොන වෙලාවටවත් වැඩ ගැන කතා කරන්න එපා අයිසේ" 

කට්ටිය ඉතින් වෙන දේවල් ගැන කතා කලා.ඊට පස්සේ විසිර ගියා.

ඊලග දවසේ උදේ ලොක්කා අහනවා කට්ටියගෙන්
" දැන් ඔක්කොම ප්‍රශ්න හරි නේ"

මොකෝ දැන් කට්ටිය නෑ කියන්න යෑ?

පලි: මැදමුලානට සබඳතා ඇති සුද්දොද සිටිති

12 October 2014

එක එක්කෙනාගේ බර සහ තුන්වරක් බැරි කාටද

ඔන්න අද පලවෙනි කතාව හැටියට තේරවිලි කවියක් 

ගැල් පිට බර දන්නේ කවුරුන්දො
දරුවන් බර දන්නේ කවුරුන්දො
රාලගේ බර දන්නේ කවුරුන්දො
රජුන්ගේ බර දන්නේ කවුරුන්දො

ගැල්පිට බර ගොනුන් විනා කවුරුන් දන්නේ
දරුවන් බර මවක් විනා කවුරුන් දන්නේ
රාල ගේ බර
(රාල ගේ බර නේද ?)
රාලගේ බර බට්ටි විනා කවුරුන් දන්නේ
රජුන්ගේ බර දනා විනා කවුරුන් දන්නේ

මෙන්න බෝනස් ප්‍රශ්නය 
චී ණයේ බර දන්නේ කවුරුන්දෝ
--------------------------------------


ලොක්කට තුන් සැරයක් බෑ කියලා හැම තැනම පෝස්ටර් ගහලා. අර අප්පගේම පුතාලා කියලා හොඳටම පෙනෙන පුතණ්ඩියෝ තුන් දෙනෙක් ඉඳිද්දි ..

ඒ වුනාට තුන් සැරයක් බැරි කට්ටියකුත් ඉන්නවා.
වේල් තුනක් කන්න බැරි.. තුන්වෙනි එකෙක් බඩට ආවොත් වහ බොන්න වෙන.. තුනේ පන්තියෙන් ඉහලට ලොකු කෙළී ව ඉස්කෝලේ යවන්න බැරි.. තුන්වෙනි සිල් පදේ කඩලා ජීවත් වෙන්න හම්බු කරන්න වෙච්චි..
ඉන්න යකා වෙනුවට මාරු කරන්න ඉන්නේ හිටපු යකා විතරක්ම වෙච්ච..තුන්වෙනි ඔප්ශන් එකක් නැති
උන්ට බෑ කියලා තමා ඔය පෝස්ටරේ ගහලා තියෙන්නෙ මට හිතෙන්නේ

11 October 2014

Her// ඈ



On a corner
Of every street
You'll find her
She is not
A mother
Nor a sister
Nor a daughter 
Nor a wife
Nor a lover

At the corner of
Every eye 
She is 
A dream
A vision
A thought
A shadow
You see for a blink
Of an eyelid 


She is the one
Who was there
Before eve
Even Adam

සිත් මාවත අද්දර
නෙතු පියෙන පමාවක
සිටින 
මවක් සොයුරියක් නොවන
දියනියක් පෙම්බරියක්ද නොවන



04 October 2014

බැලුම් දෙකක් ගෙන දුම්රියට නැගි තරුනයා

තවත් නගරයක තනියෙම ආයෙමත් සැරයක්.තනිකමට මම වයස වැඩිද මන්දා.සතිය නම් ගතවෙනවා ,ඒත් සති අන්තය වෙනම කතාවක්.කාලය කියන්නේ එකාකාරව ගලන දෙයක් නෙවෙයි දෝ මන්දා.නදියක් වගේ. විටෙක හෙමින් , විටෙක වේගයෙන්.හෝටල් කාමරයක ගොඩාක් හිතන්න වෙලා තියෙනවා.
නුහුරු නගරයක මිනිස්සු දිහා බලන්න හිතෙනවා. උන්ගේ ජීවිත ගැන, කොහේ සිට එනවද,කොහේ යනවද..

ඊයේ කෝච්චියට නැග්ගා තරුනයෙක්.තායි හරි , වියට්නාම් හරි, බුරුම හරි. අතේ බැලුම් දෙකක් .දැන් දුම්රිය ඇතුලේ ඔහු දුරකතන ඇමතුමක. ඔහුගේ බාසාවෙන්. ඒත් අතරින් පතර ඉංග්රීසී නිසා,මම කන් දුන්නා.ඔහු මගදී හැපි බර්ත් ඩේ සින්දුව කියන්න ගත්තා.ඔහු කියනවා මෙහෙම

"අපි දෙන්නා ප්ලැන් කලා වගේ ඔයාගේ උපන් දිනේට මම ගියා .... සතුටු උයනට. මේ ටිකට් එක..මේ බැලුම් දෙක එතනින් ගත්තේ.. ඒත් ඔයාට එන්න බැරි උනානේ...කමක් නෑ ...සල්ලි ටිකක් ඉතුරු කරන් අපි යමු දවසක.."

මේ සිද්ධිය හිතේ කොහෙදෝ ස්පර්ශ කලා.. මට හිතිච්ච දේ පසුව කොමෙන්ට්ස් වල ලියන්නම්.මුලින් ඔබට හිතිච්ච දේ ලියන්න


පලි.සුපුරුදු පරිගණකය මා ලග නැති නිසාවෙන් දිගු ලිපියක් ලියන්නට අපහසු බැවින් ටික දවසක් කෙටි කෙටි සටහන් ..පොඩ්ඩක් ඉවසා වදාරනු මැනව.:)

01 October 2014

කුඩ විප්ලවය

කුඩ ඉහලන්
තාර පාරේ
කොල්ලෝ කෙල්ලෝ
බිම ඉඳගෙන
විසිල් හඬින් ෆෝම් වෙලා
මර්දනයෙන් කෙනිත්තිලා
සාධාරන යහපත් සමාජයක්
ගැන දකිත් හීන
ප්රජාතාන්තරවාදය
සැම ප්රශ්න විසදන දිව ඔසුව
ඒ ගැන නම් ඉතින්
අහන්න වෙන්නේ 
මාමාගෙන් තමයි