27 June 2015

විස්ස එලියට දැමීම සහ විජ්ජානුකූල // Passing the 20

විස්ස එලියට දැමීම 

පහළ ගෙදර පුංචි එකා , උගේ සීයා හැඹිලියේ පරෙස්සමට තියාගෙන හිටපු සත විස්සේ කාසියක් ගිල්ලේ මීට සති ගණනකට කලින්ය . එදා ඒ දෙමාපියෝ කොලුවා ඔසවා ගෙන ඉස්පිරිතාලයට දිවූහ . 
කොලුගේ බඩට ඇඟිලි දෙකෙන් තට්ටු කර, දොස්තර මහත්තයා කිව්වේ "ඕක ඉබේම එලියට එයි , එතකං ඉතින් මොකුත් කරන්න නම් බැහැ " කියලාය . 
එදා සිට කොල්ලාට මාර සැලකිලිය . ඇඹුල් කෙසෙල් ප්‍රමුඛ පලතුරු කිලෝ ගණන් ලැබෙන්නේය . පලතුරු නිකන්ම කන්න බෑ  කියා මූ  ඒ සමග අයිස් කිරීම් ද කන්නේය .  සමහර දවස් වලට පලතුරු කාලා එපා වෙලා කියා ජූස් ඉල්ලන්නේය . . පාන් පෙති වල බටර්  තලි පිටින් ගා ගෙන කන්නේ , වැඩේ ලේසි වෙන්න ය . මේ යහ පාලන කාලේ අත්‍යාවශ්‍ය භාණ්ඩ දහතුනක මිළ අඩු කළ නිසාම හොඳට ගියේය . 

හැමදාම උදෑසන  කොලුවා වැසිකිලි ගොස් එනවිට මුළු පවුලම ඌ වට කරගන්නේ , පන්සලට ගිය අප්පච්චි  කෙනෙකු වටකරගන්නා සැදැහැවතුන් මෙනි . සියලු දෙනා අසන්නේ , "අදවත් එලියට ආවාද?" කියාය . කොලුවා එවිට දෙන්නේ , අර කවුද දෙන්නා වාගේ උත්තරය . " හරි වේලාවට ඒක  එයි " කියා කියන්නේය. ඒත්  ඒ හෙටට බාලගිරි දොසය . 

හැමෝම බලා සිටීයේ මේ විස්‌ස එලියට එනකන්මය. සමහරු මෙය බලෙන් ගන්නට නෙක් ලය විරේකද යෝජනා කළහ . නමුත් කටෙන් ගිල්ල යමක් වේද එය අධෝ මුඛයෙන් පිටවිය යුතු යයි පඬි වදන් දත් පවුලේ සැම, ඉවසීමෙන් බලා සිටියහ . කොලුවාද උදේට උදේට , සැහෙන්න මේ සඳහා තටමන බවක්ද පෙනුනි .

කොහොමෙන් කොහොම හරි කොලුවාගේ පාඩම් වැඩද මේ නිසා අතපසු විය . ගෙදර වැඩ කරන්න කී ගමන් කොලුවාගේ බඩ  රිදෙන්නට  ගන්නේය .. වාර විභාගය  දවසේ  උදෑසනත් , මේ අවාසනාවන්ත රෝගී තත්වය මතුවූ හෙයින් ඔහුට පාසැල්  යාමටද නොහැකි විය.

ඉන් පසු දිනයේ පුදුම දෙයක් සිදුවිය .

ආතම්මා කොලුවාගේ කලිසම් කොටයක් සෝදන්නට පෙර සාක්කු පරික්ෂා කරද්දී අර සත විස්ස සාක්කුවේ තිබී හමුවිය . 

ලම්බෝගිනියක් සොයාගත් කෙනෙකු මෙන් සතුටකින් ඇය දිව ගෙන වුත් ,  මේ ගැන මාධ්‍ය ප්‍රකාශනය ආරම්භ කලේ "දන්නවද වැඩක් " කියා අසමිනි . 
රූපවාහිනිය  බලමින් සිටි කොලුගේ  පියා ඊට පිළිතුරු දුන්නේ " ඔව් අම්මේ පාර්ලිමේන්තුව විසිරුවලා තමා " කියාය .   ඇයට මේ ගැන නැගුනු සුළු කෝපය ඈ පිටකරේ " ඕක වසුරවලා තමා තිබ්බේ " කියමිනි .  ඉනික්බිති ඈ, මාධ්‍ය ප්‍රකාශනය දියත් කලාය 

ඇගේ මුළු මාධ්‍ය ප්‍රකාශනයම සාවධානව අසා සිටි කොලු , කැබිනට් ප්‍රකාශක මෙන් ඇඟට පතට නොදැනී 
" මට ඒක ගිලින්න අමතක වෙන්න ඇති, කොහේද ඕ ගොල්ලෝ කලබල කලානේ  " කියා පිළිතුරු දුන්නේය 

සත විස්සේ නාටකය එතකින් අවසන් විය 

****
විජ්ජානුකූල

තාත්තේ , මොකක්ද විජ්ජානුකූලව කියන්නේ 

විද්‍යානුකූලව කියන්නේ , පරීක්ෂණ කරලා , තහවුරු වුනු නිගමන වලට අනුව කියන එකනේ .

විද්‍යානුකූලව නෙමෙයි තාත්තේ විජ්ජානුකුලව 

කොහේද දැක්කේ ඕක 

නෑ මේ ඊළඟ ඇමති මණ්ඩලය පත් කරන්නේ විජ්ජානුකුලව  කියලා කියන්නේ 

ඒකනම්  විජ්ජනුකූලවම  තමා හැමදාම කරන්නේ .

ඒ කිව්වේ 

විජ්ජා කියන්නේ පුතේ ඉතින් මැජික් පෙන්නවා කියන එකනේ 

හරි ශෝක් 



21 June 2015

මල්ටි පල් චොයිස් හෙවත් MCQ // Some questions have many answers


පෙර කියවීම :
මට ඇති එක නරක පුරුද්දක් වන්නේ , අතට අහුවෙන හැම දෙයම කියවීමය . පහුගිය දවසක මට කරෝල කඩයෙන් කට්ට කරෝල ඔත දෙන ලද පත්තර කොලය  දිග හැර ගෙන කියවන්නට වූ කළ එය  ප්‍රශ්න පත්‍රයක් බව පසක් විය. ඒත් එහි ඇති ප්‍රශ්න ටිකක් අමුතු තාළේ විය   . මෙය එක්තරා අයෙදුම් කරුවෙකුගේ පිළිතුරු පත්‍රයක් බව පැහැදිලි වූ අතර  . තැනින් තැන ඔහු ගේ පිළිතුරුද අඩංගු විය .

ඇතැම් ප්‍රශ්න වලට පිළිතුරු එකකට වඩා ඇති බවද . ඉන් එකක් නිවැරදි වන බවද . සැම ප්‍රශ්නයකටම පිළිතුරක් ඇති මුත්, ප්‍රශ්ණ තවමත් මතු නොවුණු පිලිතුරද ඇති බැව්,  කාලයකට ඉහත දිනෙක කෙනෙක් මට කීවේය .... ඒ කීවාට පසු බොහෝ දේ සිදුවිය ... මුලින්ම  සෝඩා ඉවරවිය , අයිස් ද දිය වී තිබුණි . ඉන්පසු මුරුක්කුද ඉවරවී , ඩෙවල්  එකේ ළුණු පමණක් ඉතිරිවිය ... ඉන්පසු තවත් අතිශ්‍ය ශෝචනීය දේද සිදුවිය .

පහුගිය සතියේ GTF (Global Tamil Forum) එකේ ,  ඩයස් පොරක් සිව් වැදෑරුම් වැඩපිළිවෙලක් ඉදිරිපත් කර ඇත්තේ දෙමළ ජනයාට ඇති ප්‍රශ්නයට විසඳුම් සෙවීමටය .ඉන් කරුණු තුනක් ම බැලු බැල්මට ඉතා සාධනීය සේ පෙනෙන අතර , ඒ අස්සෙන් බලලෙකුද  මල්ලෙන් එබී කම් කරනවා දෝ යයි සිතුනි . ඊට ටික දිනකට කලින් සින්දුවක පදයක් අල්ලා ගෙන කට්ටියක්  නැවතත් යුද්ධ කරන්නට සැරසුණහ  .  කෙසේ වෙතත් මේ සටහන ඒ ගැන (ම) නොවේය . මෙය අර කරෝල ඔතා දුන් ප්‍රශ්න පත්‍රය ගැන ය  . 

***

විෂය : යත් කාලීන සමාජීය අධ්‍යනය හා නිරවුල්ව සිතීම 

සියලුම ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න . නිවැරදි පිළිතුර යටින් පැහැදිලිව ඉරක් අඳින්න . ඇතැම් පිළිතුරු වැඩිදුර පැහැදිලි කිරීමට සිදුවෙනු ඇත 

මාතෘකාව : පස්චාත් යහපාලන සමාජ අධ්‍යනය 

ප්‍රශ්න  1
පහත සඳහන් පියවර  යහපාලන ක්‍රමය පිළිඹිබු වන සේ  අනුපිලිවෙලට පෙළ ගසන්න 
1. පොඩි හොරු ඇල්ලීම 
2. ඇපල්  නොබා රිමාන්ඩ් ගත කිරීම  
3.ලොකු හොරු ඇල්ලීම 
4 හොරෙන්ම ඇපල් බා දීම 

5 සියල්ල අමතක වීම

පිළිතුර : 1,3,2,4,5


ප්‍රශ්න  2

පහත ලැයිස්තුවෙන් නොගැලපෙන දේ තෝරන්න 

1. ගොපල්ලා 2. එඬේරා 3.මහින්ද රාජපක්ෂ 

පිළිතුර :3

ඔබේ පිළිතුරට හේතූ දක්වන්න : ගොපල්ලා හා එඬේරා කෙවිටක් ගෙන ගොන් රැල  හා එළු රැල  බලෙන්  දක්කා ගෙන යයි 


ප්‍රශ්න  3

රණ බිම මැරුණේ සිංහලයෙකු නම් ඉන්පසු සිදුවන්නේ කුමක්ද ?

1.   මිනිය වැළලීම 2. පිට පැත්තේ වෙඩි සලකුණු ඇත්දැයි බැලීම 3. "මේකද යහ පාලනේ ?" කියා ඇසීම 4. මහින්ද මහතා අගමැති අපේක්ෂක ලෙස නම්කරන්නට බල කිරීම  5. සිංහලයෝ රණ බිම මැරෙන්නේ නැත , මැරෙන්නේ රණ විරුවෝය .

පිළිතුර : 4


මාතෘකාව : ජාතිකත්ව ප්‍රශ්නය 


ප්‍රශ්න 1

සිංහලයන් යනු කවුද 


1. මහා ජාතියක් 2. ලංකාවේ ජීවත් වන සියලු දෙනා ට යෙදෙන පදයක් හෙවත් දේශිකත්වයක්  3. බෞද්ධ යන්නට සමාන පදයක් 4. සංස්කෘතියක් 

පිළිතුර : 2 & 4 


ප්‍රශ්න 2

සිංහලයන් ජීවත් වන්නේ කොහේද 

1. ලංකාවේ   2. දකුණේ 3. මැද මුලන 4. සිංහලයන්ගේ හිත් වල 5. සිංහල නොවන අයගේ හිත් වල 

පිළිතුර : 


ප්‍රශ්න  3

කෙනෙකු ගේ ජාතිය රඳා පවතින්නේ කුමක් මතද ?

1. උපන් පළාත  2.  පියාගේ ජන්මය  3 අදහන ආගම 4. ජීවත් වන පළාත 
5. 08ජන15 දින තමන් චන්දය දුන් අපේක්ෂකයා මත 

පිළිතුර :



ප්‍රශ්න  4


දෙමළුන් සිටින්නේ කොහේද 

1. එංගලන්තයේ 2. වැල්ලවත්තේ 3.සිංහලයින්ගේ හිතේ 4.යාපනේ 
5. දැන් දෙමළුන් නැත 

පිළිතුර : 5


ප්‍රශ්න  5

ද්‍රවිඩ ජනයාට ඇති ප්‍රශ්න මොනවාද 
1. සිංහල නොතේරීම 2. යාපනේ කුඩු 3. හරියටම නොදනී 4. යාපනේට හයි වේ එකක් නැති වීම 

පිළිතුර :


ප්‍රශ්න  6

පහත දැක්වෙන්නේ ක්‍රියාවන්ගෙන්  ජාතිකත්ව ප්‍රශ්නයට විසඳුමක් ලබා ගැනීමට යෝජිත සිව්වැදෑරුම් වැඩ පිළිවෙලට අනුචිත නොවන්නේ කුමක්ද  
1 ජාතික නියෝජිතයන් සමග විසඳුමක් එකඟ වීම 
2.සිවිල් සමාජය සමග එය සාකච්චා කිරීම 
3.දකුණේ සමාජයට එම විසඳුම ගැන අවබෝධ කරවීම 
4 GTF  සංවිධානයේ තහනම ඉවත් කිරීම 
5. අන්තර්ජාතික ප්‍රජාව දැනුවත් කිරීම 

පිළිතුර :

මෙහි ඇතුලත් නොවන පියවර කුමක්ද 
දෙමල ජනයාගේ අදහස් ලබා ගැනීම 

***

පලි : මේක ලේසි පාසු විභාගයක් නෙමෙයි වගේ 

19 June 2015

සිරිසේන නම් වූ විරුධාර්ථ // Sirisena Contradictions

පහුගිය දිනෙක මම, මොහාන් රාජ් ගේ වික්ටෝරියා ගැන ,  අනුර කුමාර කල කතාව ඇසුවෙමි .  ඔහු පොතේ අවසානය උපුටාගෙන   කියවීය. ඉන් කියවෙන්නේ අස්වයෙකුට දාව බැල්ලියෙකුගේ  කුසින් බිහිවන අමුතු විකෘති සත්වයෙක් ගැනය . අශ්වයෙක්  මෙන් කෙසර තිබුනද ,  ඌ බල්ලෙකු මෙන් නගුට වනන්නේය . කතුවරයා මෙය උපමා කරන්නේ අපේ රටේ උපත්ති දෝසයටය ...  මෙහි දිගුවක්  ඔස්සේ  යනවිට , බාගෙට තැම්බුණු නිවහල් චින්තනයකට නිදහස ලැබුණු කළ සිදු වන දෙය , ලිපේ තිබ්බ ගමන් බාන්නට වූ ජාතිකත්වයේ හොද්ද කෑ විට වෙන දෙය හමුවේ 

ජනවාරි අට වෙනිදා ඉපදුනු යහ පාලද විකෘති සත්වයෙකි . නාගරික , ලිබරල් , බටහිර සාංකල්පික පියෙකුට දාව , ග්රාමීය ජාතිකත්ව ගැබකින් මොහු උපන්නේය . මේ සතුන් දෙදෙනා ස්වභාවිකව සංසර්ගයේ  නොයෙදෙති . (ඇත්තටම සිතුවොත් ලංකාවේ නගර තිබේ දැයි විටෙක සිතේ . ඇත්තේ ගම් මය. ඒත්  කොළඹට පොලොන්නරුව ගමකි , නමුත් පොළොන්නරුවට පොලොන්නරුව නගරයකි . කොළඹ ට පොළොන්නරුවෙන් එහා ගම්  ගැන සිතෙන්නේ නැත . එහෙත් එවැනි ගම් ඇති බව පොළොන්නරුවේ එකා දන්නේය . නමුත් පොළොන්නරුවේ එකා කොළඹට ආ විට ගමෙත් නොවේය , නගරෙයෙත් නොවේය . (මෙය කොළඹ එකා නිව් යෝක් , ටෝකියෝ , ලංඩන් ගිය විට ද සිදුවේ). කෙසේ වෙතත් මෙවැනි දෙවර්ගයක් ඇතැයි අපි සිතමු . ඒවායේ දෙවිධියකට හිතන , දෙවර්ගයක මිනිසුන් සිටී  යයි අපි සිතමු .).

අපේ යහපාල ද මුලින්ම හිරවුයේ මේ විරුද්ධාර්ථ යේය . ඒ ඔහු ගැමි ද නාගරිකද යන අනන්යතා ප්රශ්නයේය . අර ඉහත කී බලුස්සයා මෙන් මූ ද විටෙක අභිමානවත් අස්ස සෙයියාවෙන් හිට ගන්නේය , ඉන් පසු නගුට වනන්නේය . (නමුත් අට වෙනිදා ඵලගැන්වූ බලාපොරොත්තුව මේ දෙකම නොවන්නේය)


සිරිසේන මහතාගේ සිතේ තිබුනේ  රාජතාන්ත්රිකයෙකු වීමටය .. බ්රෑන්ඩ් එක සිම්ප්ලිසිටි විය. නමුත් සභාපති තොප්පිය දා ගත් පසු , වැඩේ කොම්ප්ලිකෙටඩ් විය . අද ඔහු හිරවී ඉන්නේ දේශපාලනය හා රාජ්ය පාලනය අතරේය . ජාතිකත්වය හා යහපාලනය අතරේය . දේශිකත්වය හා සංවර්ධනය හා ප්රජාතන්ත්රවාදය අතරේය . (ප්රමුඛතා අනුව එක එකෙහි මාත්රාව කාලානුරූපීව වෙනස් විය යුතු වුවද ) මේවා විරුද්ධාර්ථ වන්නේ , ඒවා විරුද්ධාර්ථ යයි සිතන්නන්ටමය . මේ සියලු මාන කලමනාකරණය කළ නොහැක්කන් ( මහින්ද හා රනිල් යන දෙදෙනාම ඇතුළුව බොහෝ දෙනා මේ ගොඩට වැටෙන්නෝ යයි මට සිතේ ) කරන්නේ මෙහි කෑලී ගලවා , විකුනන්න පුළුවන් කෑලි පමණක් අලෙවි කිරීමය . 

මේ යතාර්ථය පිළිබදව සිරිසේන මහතාට හරි අවබෝධයක් තිබුනේ නැතැයිදෝ  විටෙක සිතේ. ඔහු නිදහස් චතුරශ්රයේ ඇවිදිමින් , සෙල්ෆි ගනිමින් සිම්ප්ලිසිටි බ්රෑන්ඩ් එක වික්කේය . එය ඔහුට පුරුදු දෙයම විය .  කොළඹට මෙය මැජික් විය ... කොළඹට මෙය මැජික් වීමම , අනෙක් පෙදෙස් වලටත් මැජික් ම විය .

නමුත් කාලයාගේ ඇවෑමෙන් අර කවුරුත් මුලින් නො ඇසු කුණුහරුප පැණ    කෙනෙක් ඇසුවේය . " මේක සිංහල රටක් ද නැද්ද ? ඒකීය ද එක්සත්ද ?" . හේ  මීට කෙලින් උත්තරයක් දුන්නේ නැතැයි මම සිතමි ( එක්කෝ  "පාස් " කිව්වේය , නැතිනම් කෝල් අ ෆ්රෙන්ඩ් අවස්තාව ගත්තේය , නැතිනම් " පස්සේ හිතලා කියන්නම් " කීවේය )

මේවා  පිළිතුරු දීමට අමාරු ප්රශ්න යයි මම නොසිතමි . මේ ප්රශ්න දෙකටම උත්තර දෙක බැගින් ඇත . ඉන් එකක් නිවැරදිය (පිළිතුරු මෙතන නොලියන්නේ ඒ ගැන වෙනම සටහනක් ලියන්නට සිත් ඇති බැවිනි. එහෙත්. සිංහල යනු ජාතියක් නොවන බවත්  , එය ආගම මතද රඳා නොපවතීන බවත්, එය දේශිකත්වයක්  බවත්. ලාංකික යන්න ඊට සමාන පදයක් බවත්  . සිංහල / ලාංකිකයන් නොවන ලංකාවේ වෙසෙන අනෙකුන් විදේශිකයන් බවත් මම සිතමි . එමෙන්ම  ජාති වාදය ප්රශ්නයක් නොව ලෙඩක් බවත්  . ඒකීය / එක්සත් යනු ඒ ලෙඩේට බෙහෙත් නොවන බවත් සිතමි . ) . අමාරු පිළිතුර තේරීම නොව , ඉන් පසු ප්රතිපලයට මුහුණ දීමය . අර බිම්බරක් පර සේනා ,  බියෙන් වෙව්ලවූ යයි කියන අප්පච්චිත් මේ ප්රශ්නයට උත්තර නොදී කල් ඇරියේ බයටමය . 

ජනාධිපති වරණයට පෙර දුන් ඒ සංස්කෘතික වෙනස් කිරීමට නම් , දේශපාලනයෙන් ඔබ්බෙන් , රාජ්ය තාන්ත්රික තීරණ ගත යුතුය .  යහපාලනය යහම පාලනය වී , කිරි බඳුනට ගොම රිටි එක් වුයේ , චන්ද දිනන්නට අවැසි ක්රමෝපාය එක එකා ඇඹරු බැවිනි.
මේවාට මුහුණ දිය හැක්කේ දේශපාලඥයෙකුට නොව රාජ්ය පාලකයෙකුටය . මයිත්රීපාල සිරිසේනට එවැන්නෙක් විය හැක. ඔහු එය වටහා ගත යුතුය 

17 June 2015

සිටියා නම් මට දියණියක්....


පෙර කියවීම : කවි රසවිඳින කිහිප විදියක් තියෙනවා . මෙය අහන් ඉන්න කවියක් ... හරියට අපේ ජනකවි වගේ . .. ඒ අනුසාරයෙන් , මමත් කළා අනුවර්තනයක් .















සිටියා නම් මට 
දියණියක්
සිත්තම් කරමි 
හිරු 
සඳු 
තරු
ඈ පිටි අල්ලේ
එවිට කියන්නට පෙර 

දනී යයි 
අතැඹුලක් සේ 

උගත මනා වේ 
මුළු විශ්වයම

මද නළ දුන් 
ඔත්තුවක් දිගේ 
ඉව අල්ලා 
හැන්දෑවක 
සරත් සමයේ
ඈ  සොයන 
...ගිනිගන්නා ගෙයක 
ගිනි දළු මැද  හිඳින,
එමැද දැවෙන ,
..ඔහු 
(සුවපත් කිරීමට 
ඈ  සිත සොයන )
හඳුනමි හොඳින් 
...නැතිනම් 
ඒ ගිනි ඇවිලූ ඔහුම ...
(වරදින් මුදන්නැහේ 
   ඈ  සොයන )
ඔහුත් හඳුනමි.
කියම් 
ඇයට 
දෙදෙනාම නොවටී යයි 
විඳිනට ඈ 
සැදී පැහැදෙන 
දුක් 
කන්දරාවට 

ඒත් ....
උගනීවී ඈ 
ඇද වැටෙන්නට
දැමු විට ජීවිතය  
කකුල් මාට්ටු
පස් රස රුහිරු 
රස 
දැනෙද්දී දෙතොළට 
උගනීවී ඈ 
නැවත නැගිටින්න
නැවත
වැටෙන්නට
උගනීවී විඳින්නට 
රසය  
ප්‍රාණ වායුවේ
පිරෙද්දී 
වෙහෙසැති පෙනහලු 
ලොකු හුස්මකින් 

චොකලට් වලට 
විසඳිය නොහේ 
ප්‍රශ්න නැතැයි 
කිසිත් 
මිහිපිට 
කීවේ ඇයමය 
දිනක් 
....ඒත් 
දොර මෙපිට තබමි 
වැහි බුට් පාවහන් යුගලක් 
කෝකටත් 
(මෝසම් වැස්සට 
සෝදා හැරිය  නොහැකි 
වේදනාවන් කිසිත් නැති )

බිඳුණු පැතුම් 
පිරෙද්දී 
වැහි බුට් වල 
දණිස්  උසට 
කියාදෙම් 
ස්තුතියි කියන්නට 
ජීවිතයට 

ඔවුන් 
ඇය සොයාවිත් 
වීදි කොනේ සැඟව සිට 
අඳුර වැටෙන තෙක් 
තබද්දී ඈ අත 
හද බිඳුම් හි 
සිතාසි 
..සිනාසේවි 
ඈ 
කියාවී 
"පරිස්සමෙන් ....
අහුවෙන්න එපා 
අප්පච්චිට නම්  ...."



13 June 2015

බැරි වෙලාවත් සහ See no evil , hear no evil , speak no evil

මේ 

ඕ 

දැක්කද  මාතර ගඟ

මොන ? නිල්වලා ?

නෑ නෑ  ජන ගඟ 


ආ ඒකද , ඒත් මේ සැරෙත් ඇවිත් නෑ නේද 


නෑ නෑ ආවා වගේ,  නෑ වගේ 


මම මේ හිතුවේ , මේ වැඩේ ඔක්කොටම  වඩා ලේසියි නේ . .. පොරොන්දු දෙන්න ඕනේ නෑ , ආවට පස්සේ පොරොන්දු ඉටු කරන්න ඕනෙත් නෑ 

ඔව් ඒකත් එහෙම තමා 

අනික බැරිවෙලාවත් ආවොත් , කාටවත් වග කියන්න ඕනෙත් නෑ , වග වෙන්නෙත් නෑ ... මොකෝ ඉල්ලලා නෙමෙයි , කන් කරච්චලෙන් බේරෙන්නනේ එන්නේ 

මට හරියට වෙනස තේරුනේ නෑ 

ඒක තමා 

***


මේ ඇහුනද ? කෝ මේ රාක්කෙ තියලා තිබුන වඳුරෝ තුන් දෙනා 

මොන වඳුරෝ ද 

අර කට වහ ගෙන , ඇස් වහගෙන , කන් වහගෙන හිටපු see no evil, hear no evil, speak no evil උන් තුන් දෙනා  

මම මේකාව මේ උඩින් තියලා , අනිත් එවුන් දෙන්නා අර පැත්තෙන් තිබ්බා 

එහෙම හරියන්නේ නෑ උන් තුන් දෙනාම එකට තියන්න ඕනේ , ඔයා මේ අස් කරන්න ගියාම ඔක්කොම අවුල් කරනවා 

එහෙමද 

ඒක නෙමෙයි , අපේ පරණ අගමැති තුමන්ලාටත් ජනාධිපති උපදේසක තනතුරු දීලා ලු නේ , මේ පත්තරේ තියෙන්නේ 

එහෙමද 

පලි :

වරමක්  වගේ නෙමෙයි , කන්නලව් කරලා බාර දුන්නොත්  වැඩේ වෙනස් ය . වරම නම් දුන්න විදියටම ආපහු ගන්න පුළුවන්ය .. නමුත් අනෙක ඊට වෙනස්ය. කෙනෙක් මට කීවේ යහ පාලනය , ලෙඩා මලත් බද සුද්දයි වගේ එකක් කියලාය. . එතකොට අප්පච්චිට කරන කන්නලව්ව , ලෙඩෙන් නම් මැරෙන්න දෙන්නේ නෑ  කියා , ඔහුව ගෙනවින් ගඟේ දැමීමක් වැනිය .

අනෙක් අතට දුන් වරම නම් , වෙනස් දෙයක් වෙනස් විදියට කිරීමට මිස , පරණ විදියටම වෙනස් දෙයක් කරන්නට සැදීමට හෝ වෙනස් විදියකට පරණ දෙයම කිරීමට නොවේ 

09 June 2015

හඳුනාගන්න , මැය මාර්ටීන් (එක ජීවිතයකින් කෙතරම් දේ කළ හැකිද ) // Martine Rothblatt Story

හඳුනාගන්න , මැය මාර්ටීන් .. 

ඔව් ඒක  පිරිමි නමක් තමා . මැයත්  මීට  අවුරුදු ගණනකට පෙර පිරිමියෙක් . මෙහෙම අයට  අපි කිව්වේ බිලිං කජ්ජෝ කියලා (කැප්ටන් එල්මෝ ජයවර්ධන ගේ සෑම් ගේ කතාව පොතෙත් තියෙන්නේ ..) . මැය මාර්ටින් කාලේ , ඔහුට බීනා ව හමු වෙනවා . ඔවුන් ප්‍රේමයෙන් වෙලෙනවා . අවසන විවාහ වෙනවා.  මේ කල ඔහු sirius xm ( නෑ නෑ , අර තනි නොතනියට ඉන්න සිරස fm නෙමෙයි ) නමින් කොම්පැණියක් ආරම්භ කරනවා . එමගින් චන්ද්‍රිකා තාක්ෂණය  ඔස්සේ ගුවන් විදුලි වැඩසටහන් විකාශනය කරනවා .

ඉන් පසු ඔවුන් දරුවන් ලබනවා . ඊටත් පස්සේ ඔහු ගැහැණියෙක් වෙන්න තීරණය කරනවා . ඔහුගේ පවුල විවිධ අයුරින් මේ තීරණය , දිරවා ගන්නවා .. පොඩි ම දුව කියනවා " මම මගේ තාත්තට ආදරෙයි.. ඇයත්  මට ආදරෙයි " කියලා .
මාර්ටීන්  සහ බීනා  තාම විවාහකයි , අවුරුදු තිහක් ... (ඒත්  සමහරු නම් කියන්නේ විවාහයක් සාර්ථක වෙන්න , අරකම ඕනෑ  කියලා ..... ) . මේක අසාමාන්‍ය  ලිංගික ගති පැවතුම් ගැන සටහනක් නෙමෙයි . මේක මිනිහෙක් ගැන කතාවක් ..මේක  මට නම් මගේ සිතිවිලි වට කර ගෙන තියෙන පවුරු පිලිබඳ ව මතක් කිරීමක් ..අපි අපිටම කියාගන්න සීමාවන් ගැන .... හරි  ආයෙත් කතාවට යොමු වෙමු .

මාර්ටීන් පොතක් ලියනවා ( apartheid of sex ). එහි ඔහු කියනවා ලිංගිකත්වය යනු  තමන්ට පිහිටි ලිංගික අවයව වලින් ඔබ්බට ගිය දෙයක් කියලා . ඔහු කියන්නේ ජාතිය , ආගම නම්වූ ප්‍රබන්ධ වගේම , ලිංගිකත්වයත් ප්‍රබන්ධයක් කියලා . ඔහු කියන්නේ ලිංගිකත්වය යනු නිතර වෙනස් වෙන , ස්ත්‍රී පුරුෂ වගේම තවත් අහු නොවුණු බොහෝ ලක්ෂ ඇති රේඛා වක් කියලා . ( මේක ටිකක් විකාරයක් කියලා මට හිතෙන්න ගන්නවා ..ඒත්  එක්කම මතක් වෙනවා ඉයන් බැන්ක්ස් ගේ  විද්‍යා ප්‍රබන්ධයක එක ලෝකෙක ඉන්නවා ලිංගිකත්ව තුනක් , ස්ත්‍රී පුර්ෂ සංසේචනයෙන් පස්සේ , නියුට්‍රල් කෙනෙක්ගේ ගර්භාෂයේ තැන්පත් කරනවා ... ඉන් පස්සේ ස්ත්‍රීය හා නියුට්‍රල් තමා එකට ජීවත් වෙන්නේ ).

කොහොම හරි ටික කාලෙකට පස්සේ ඇයගේ දියණියට , දුලබ රෝගයක් හැදෙනවා . බෙහෙත් නෑ . දොස්තරලා මරණ සහතිකය කලින්ම ලියනවා . . මාර්ටීන් බලාපොරොත්තු අතාරින්නේ නෑ . ඇය මේ ගැන කියවනවා . ඇයට  දැන ගන්න ලැබෙනවා , Glaxo Wellcome සමාගම මේ රෝගයට බෙහෙතක් හොයාගෙන තියෙනවා ඒත් මේ රෝගයේ දුලබ බව නිසා , ලාභ ලැබිය නොහැකි නිසා ඔවුන් එය නිෂ්පාදනය කරන්නේ නෑ කියලා . ඇය ඔවුන්ට කරදරයක් වෙනවා මේ බෙහෙත විකුනන්න කියලා .. අන්තිමේදී ලැබෙන ලාභ වලින් 10% දෙන පොරොන්දුවට ( හැම තැනම ටෙන් පසන්ට් ලා ) ඇයට  ලැබෙන්නේ , මූලික පර්යේෂණ මට්ටමේ , අවසාන බෙහෙතට ගොඩක් ඈත , සුදු කුඩු වගයක් . ඇය කොම්පැනියක් පිහිටුවලා , විශේෂඥයන් යොදා ගෙන පර්යේෂණ කරලා බෙහෙත නිපදවනවා . දුව ජෙනෙසිස් අද , තිස් වියැති කාන්තාවක් . මේ රෝගය ට විසඳුම් සොයන ඔවුන්ගේ පර්යේෂණ ආයතනයේම ඇය  සේවය කරනවා .

මේ දවස්වල මාර්ටීන් , රොබෝවෙක් හදනවා . බීනා ගේ මොලය ආශ්‍රය කරගෙන . ඇයගේ ගති පැවතුම්, මතක , හැඟුම් , විශ්වාස ,  පරිඝනක ප්‍රෝග්‍රෑම් වල සටහන්  වෙනවා . ඇය කියනවා , අපි දෙන්නම මේක කරනවා , එතකොට කවදා හරි අපි නැති දවසක අනිත් එක්කෙනාට තනි කමක් නොදැනේවී කියලා . ඇය කියනවා , අපි අපේ ගතින් ඔබ්බට ජීවත් වෙනවා කියලා ..

කතාව එතනින් ඉවර වෙනවා . මම ඇස් දෙක වහගෙන හිතන්න ගන්නවා . අපේ ජීවිත , අපේ හිත් දක්කාගෙන යනවා . හිත්  වලින්ම හදන පවුරු වළලු තුළ  ගාල් කරවනවා .. එක ජීවිතයකින් කොච්චරක් නම් දේවල් කරන්න පුලුවන්ද ?

පලි : පුලුවන්නම් වෙලාව ගන්න මේ වීඩියෝව බලන්න . 


06 June 2015

සදා කාලික නොවූ ලෝකෙක , සදා කාලික ප්‍රේමයක් ?

මෙය සිදුවිය හැකිද ? " 

(ශ්‍රී, පරිඝනක තිරයට නැවත එබී බැලුවේය . )

"දත්ත අනුව  නම් එහෙම තමයි . ඔව් මේ ඩේටා ෆයිල් අතර සිදුවෙන මේ සම්බන්දතා ,  ඔව් මේ තියෙන්නේ .. "

"මේ හැඟීම් sub programms වලින් memory file එකට දත්ත එකතු වෙනවා . ඒ කියන්නේ  අලුතින් අලුතින් මතක හැදෙනවා . ඒ මතක ආපහු අලුතින් හැඟීම් sub  programms ලියනවා .

(ඔහු නැවතත් දත්ත පරික්ෂා කළේය . )

"මේකේ වැරැද්දක් නෑ .. අවුරුදු පහළොවක උත්සාහයේ ප්‍රතිපලය ...හ්ම්ම් ......

(දිගු සුසුමක් පිටවිය .....පරණ සින්දුවක් ඔහුට එක්වරම සිහිවිය. )

"හිත හීලෑ නෑ .....හරිම මුරණ්ඩුයි"

***

"....ශත වර්ෂයේ වැදගත්ම සොයාගැනීම් වලින් එකක් .... මහාචාර්‍ය ශ්‍රී මම ඔබට ආරාධනා කරනවා මේ විද්වත් සභාව අමතන්නට ...."

(අත්පොලසන් නාදය විනාඩි කිහිපයක් පැවතිනි ... )

"ආයුබෝවන් මිත්‍රවරුනි .. මෙය අවුරුදු පහළොවක උත්සාහයක ප්‍රතිපලයක් . කෘතීම මොලයක් artificial inteligence, බොහෝ කාලයක සිට මිනිස්සු හදන්නට උත්සාහ  කළා .. නමුත් මම හැදුවේ මොලයක් හදන්න නෙමෙයි , හිතක් හදන්න an atrificial mind ... මගේ හිත backup  කරන්න ... මම උපතින්ම බෞද්ධයෙක් ඉතින් , මම ඉගෙන ගත්ත හිත ගැන සංකල්පය නම් . එය ඉපදී මැරෙන දෙයක් .. එවන් කලෙක සදා කාලික වූ හිතක් යනු මිත්‍යා වක් .. නමුත් "

***
"මොකක් කිව්වා , හිත backup  කරන්න ?, ලංකා ඈ  කුරුටු ගාමින් සිටි සිතුවමින් දෙනත ඔසවා ශ්‍රී දෙස බැලීය . 
ශ්‍රී පොඩ්ඩක් ඔය ඔලුවට විවේකයක් ගන්නත් එක්ක අපි යමුද නිවාඩුවක් ... ඔයා ඔහොම වැඩ කරලා අසනීප වෙයි "

"නෑ නෑ , මේක අහන්න මේක කරන්න පුළුවන් . මගේ ගණනය කිරීම්  වලට අනුව coding  lines , ට්‍රිලියනයක් විතර ලියන්න තියෙනවා .."

"අනේ මන්දා ශ්‍රී ඔයාගේ මේ මනස්ගාත ප්‍රොජෙක්ට්ස් .. මොකක්ද ඕකේ ප්‍රයෝජනේ"

"මම මගේ හිත යි , ඔයාගේ හිතයි bakup කරනවා ...එතකොට අපි දෙන්නගෙන් කාගේ හුස්ම මුලින් ගියත් .... අපිට     දිගටම , අපි ආදරය කරන කෙනා එක්ක ඉන්න පුළුවන් .

අනේ මන්දා ශ්‍රී මට නම් ඕවා තේරෙන්නේ නෑ 

***


(ශ්‍රී ගේ නිහඬ තාවය මොහොතක් පැවතුනේය .. සභාව එම නිහඬතාවය ද සාවධානව අසා සිටියහ .)

" සමාවෙන්න , මම මගේ සිතුවිලි තුළ අතරමන් වුනා ..." (සභාවේ සිනා )...මම හිතන්නේ අසාර්ථක උනේ එය මොලයක් හදන්න උත්සහ කරපු නිසා ..එහි අභිමතාර්ථ වෙනස් වුන නිසා ..දැන් මගේ හිත backup  කරලා ඉවරයි ... එය සම්පුර්ණයෙන්ම ක්‍රියාන්විතයි .... සතුට , තරහ , දුක වගේම ආදරය වගේ හැඟීමුත් එහි ඇති වෙනවා අපි නිරීක්ෂණය කරලා තියෙනවා ...

"මහාචාර්ය තුමනි , ඔබ හිතනවද මෙවන් කෘතීම හිතක් සමග මිනිසෙකුට ප්‍රේමයෙන් වෙලිය හැකියි කියා ..."

(නැවතත් මතක සුලඟ , මාරුතයක් වී ඔහු වට කොට  බමන්නේය. ලංකා දෙනෙතින් සිනහා  වන්නීය ... ඈ නැඹුරු වී ශ්‍රී ගේ පිටි අල්ල මත තම සුරත තබන්නීය... රැලි වැටුණු මුත් ඈ අත , ස්පර්ශය තවමත් මුදුය .....)

හොඳ  ප්‍රශ්නයක් ... එසේ නොහැකි වීමට කිසිම හේතුවක් නෑ.

***

ප්‍රොෆෙසර් ප්‍රොෆෙසර් ... මේ බලන්න 

මොකද මනුස්සයෝ කෑ ගහන්නේ 

මේ බලන්න මේ ඩේටා ...මේ මේ 

ඇයි මොකද වෙලා තියෙන්නේ ?

අර backup කරපු මයින්ඩ් (mind ) ඒ , මයින්ඩ් බී  එක්ක කතා කරන්න පටන් අරන් .

ඔව් ඉතින් ඒක බලාපොරොත්තු වුනා නේ 

ඔව් සර් ඒත් .. එහෙම කතා කරන කොට හැඟීම් sub  programs activate  වෙලා .... ඒවයේ trend  එක ආදරය pattern එකමයි 

ඒ කියන්නේ they have fallen in  love ......

ඒත් ඒක logical නෑ නේ 

හ්ම්ම් ... 
(මතක මාරුතයේ හෝ හඬ දෙසවන් පුරා ඇසේ , පැරණි ගී හඬක් තුලින් මතුවේ )

සදාකාලික නොවූ ලෝකෙක , සදා කාලික ප්‍රේමයක් .

පලි 
මේ  විෂය පිලිබඳ මගේ තාක්ෂණික දැනුම අල්පය. නමුත් මා ඒ ගැන ඉතා උනන්දුය . ලිවිම අතිනුත් තව වෙලා අරන් තව ටිකක් ඔප දැමුවා නම් හොඳයි කියාද සිතේ . 
ඔබ "her " නම් චිත්‍රපටය බැලුවාද කියා නොදනිමි . එය ද මෙවැනි තේමාවක් ඔස්සේ ලියවුන්නකි .. අපේ යථාර්තය නිරතුරුව වෙනස් වේ ... මීට ශතවර්ෂ ගණනකට පෙර පෞද්ගලික ඉඩම් හිමිකම විහිළුවක් වෙන්නට ඇත , අද එය යථාර්තයකි .  කෘතීම හිතක් සමග ආදරයෙන් බැඳීම මෙන්ම කෘතීම   දෙහිතක් එකිනෙකා හා ආදරයෙන් බැඳීම ද සිදුවිය නොහැක්කක් නොවේ . එවන් කලෙක , ගතේ පැවැත්ම මත , ආදරයේ පැවැත්ම නො යැපේ .. එවන් කලෙක ... භෞතික ලොවේ පැවැත්ම .... ධනවාදයේ පැවැත්ම කෙසේ වෙනස් වෙයිද ... ආගම් කෙසේ විකාශනය වෙයිද ?  ..එවන් කලෙක සදා කාලික නොවූ ලෝකෙක , සදා කාලික ප්‍රේමයක් ?

මේ කතාවට ප්‍රස්තුතය  මීට වඩා රසවත්ය පිරිපුන්ය . ඒ ගැන සටහනක් මීලඟට ලියමි .. ඒ තෙක් මේ කතාව කියවන්න . . ඔබට හිතෙන දේ  ලියන්න