29 November 2015

සෙල්ලම් පොලීසිය සහ ඇත්ත හොරු

කෝප් කමිටුවේ සභාපතිත්වය හඳුන්නෙත්තිට ලැබී ඇත . පෞද්ගලිකව නොහඳුනන මුත් , ඔහුගේ දේශපාලන භාවිතය පිළිබඳව මාගේ ඇත්තේ පැහැදීමකි . ඔහු වැඩක් කරන , හොරකම් ගැන කතා කරන , මහන්සි වී වැඩ කරන , අඩුම ගනනේ ප්‍රශ්නයකට විකල්ප විසඳුම් ( එය ගැලපෙනම විසඳුම ද නැද්ද යන්න පැත්තකින් තැබුවත් ) එකක් දෙකක් වත් ඉදිරිපත් කරන්නට තරම් වත් මොලයක් ඇති අයෙක් යයි මම සිතමි . අනෙක් පැත්තෙන් ආර්ථික විද්‍යාව ගැන දැනුම තිබුනත් එය තර්කයකට හරවන්නට ටිකක් අසීරු හර්ෂට වඩා , ටියුෂන් සිලබස් එකේ වචන සෙට් එකෙන් එහාට නොදුවන ආර්ථික තර්ක දමන බන්දුලට වඩා , ආර්ථික තර්ක කරන්නට ගොස් හත් පොලේ අනා ගන්නා රවී ට වඩා හඳුන්ගේ පොළොවේ පිහිටන ආර්ථික තර්ක , පැහැදිලි කිරීම් මම අගය කරමි . ඒත්  ඒවා ඇතැම් විටෙක  සිල්ලර වැඩි ය . නමුත් හඳුන් වැඩක් කල හැකි අයෙකි .

පරණ දන්තාලේප දැන්වීමක් මා මතකයට එයි . එහි , විසිකළ පේර ගෙඩියක් අල්ලා  ගත් අයෙකුගෙන් අසන්නේ "ඇල්ලුවට හපන්න පුලුවන්ද කියාය " . කෝප් කමිටුවද  මා දන්නා පරිද්දෙන් එවැනිය . සෙල්ලම් පොලීසියකි . පරිචයෙන් බොහෝ රාජ්‍ය ආයතන මෙන්ම රටේ ජනතාවට සිඟිති ආතල් සපයන ආයතනයකි. (......මෙන්න දැන් ආ පුවතක්.... , රංජන්  රාමනායක නියෝජ්‍ය ඇමති තුමාත් මේ කොමිටියට පත් කර ඇත . සිඟිති ආතල් ගැන ඉන් එහාට නොලියමි .)

ඒත්  ලංකාවේ සිටින්නේ ඇත්ත හොරුය . උන් අල්ලන්නට ඇත්ත පොලිසියටත් අමාරුය . ඇල්ලුවත් උන් බේරෙති . ලංකාවේ මිනිස්සුන්ට රිමාන්ඩ් එක , හිරේ යාම දෙකේ වෙනසක් නැත . නඩු නිෂ්ප්‍රභා කිරීම හා නිවැරදි කරු වීම අතරද වෙනසක් නැත . විමර්ශනයකට කැඳවීම , සාක්ෂි සටහන් කර ගැනීමට කැඳවීම හා දඬුවම් විඳීම අතරද වෙනසක් නැත . ඒ අපේ නීතිය  ගැන ඇති දැනුමයි .  ලංකාවේ ඉන්න ඇත්ත හොරු ඇත්ත දඬුවම් නොලබති.  

ඒ සාක්කියෙහි ඇති  හිදැස් , නිතීයේ ඇති හිල් හා දේශපාලනික ඩීල් ආනුභාවයෙනි . නමුත් එයම  තම නිර්දෝෂී බව ලෙස හුවා දැක්වීමට ඔවුන් සමත් වන්නේ ජනතාවගේ මැටි කම නිසාය . 

නීතියේ දැලේ හිල්ය . පොඩි හොරු පොඩි හිල් අස්සෙන්ද , ලොකු හොරු ලොකු හිල් අස්සෙන්ද රිංගා යති . මෙය දකින,   වෙන්ඩ හොරුන්ගේ හිතේ ඇති බය නැති වේ . මෙහි ඇති අතිශ්‍ය  භයානකම තත්වය එයය. 

අපි පිළිගන්න අකමැති වුවත් , විටෙක එවැනි කතා දෙස අවඥාවෙන් බැලුවත් , රටක  සිස්ටම් එක ඉතා සුක්ෂම වට්ටා පස්චාත් අරාබි වසන්ත පරිසරයන් ඇති කිරීමේ ව්‍යාපෘති ලොව වටා ක්‍රියාත්මක නොවේ යයි සිතිය නොහැක. නීතීවතී ගේ ( අර ඇස් දෙක වහ ගෙන තරාදියක් අල්ලා ගෙන ඉන්නේ ) සළු උනා, දුෂණය කර දැමීම එහි ඉතා වැදගත් පියවරකි . මේ වෙන්නේ එයදෝ කියාත් සිතේ  .

එසේ බලන කල හොරුන් අල්ලා , උන්ට සිස්ටම් එකේ හිල් අස්සෙන් යාමට ඉඩ සැලැස්වීමට වඩා , නොඅල්ලා සිටීම හොඳ දෝ කියා විටෙක සිතේ . 

27 November 2015

නදී ගේ කතා


නදී ..

හ්ම් 

මම කවියක් ලියුවා .
(අටට නැවු කොටුරූල් කොලයක් ඈ වෙත දිගු  වෙන්නේය . කවිය හුළඟට ගහ ගෙන යා නියා , ඇය  එය දිග අරින්නේ හිමිහිටය . )

සුසුමක් 
පිටවී 
පවනැල්ල හා වෙලී 
නැගි රැළි අවකස 
මාරුතයක්ව 
විත් 
ඇඟේ හැපෙන 

බෙංගාල  බොක්කේ අවපීඩන  කලාපයක් හේතුවෙන් , සැන්දෑ කාලයේ අකුණු සහිත වැසි බලාපොරොත්තු වන්න 

වළා හඬවා 
කලතා 
මතක සයුරු තෙම 
පුපුරවා 
ධවල අකුණු 
සිත් කොනක 


මට හුස්ම ගන්න බෑ වගේ . ඔය වීදුරුව පොඩ්ඩක් අරින්න ප්ලීස් .

***


 අදත් අපි එතෙන්ටම ඇවිත් , දන්නෙම නැතිව

ඔව් එතෙන්ටම 

පරණ පුරුදු හුළඟ , පරණ පුරුදු ඇහැළ ගහ කහ පාට ඇහැළ මල් පලස එලාගෙන ඉන්නවා 

ශා අද හරි පොයෙටික් නේ 

(මද සිනහවක් )

ඒක නෙමෙයි නදී අද ටිකක් එහාට යමුද 

අනේ ඇයි?  මම කැමතියි මේ හුරු පුරුද්දට 

 මෙතනින් එහා මීට වඩා ලස්සන වෙන්න  පුළුවන් 

දන්නවද අපිට පෙනේන්නේ තරංග ආයාමය නැනෝ මීටර 700ක් වෙනකන් විතරයි ලු , මම බ්ලොග් එකක කියෙව්වේ 

කවුද ඕක කිව්ව  මැට්ටා   , පාර කෙලින් නම් කිලෝ මීටර් ගානක් පෙනෙනවා හලෝ .

මීට වඩා මට දරා ගන්න බැරි වේවි , අපි මෙතන නවතිමු 

මේක මායාවක් නම් ...මහා පොලවේ සත්‍යය තියෙන්නේ මේ මල් පලසින් එහා නම් 

ඒක  තමයි , අපි මෙතන නවතිමු 

පලි : මේ දවස් වල  කැෆ්කා ගේ ලියවිල්ල මා සිත ආයෙත් කලත්තනවා . ඒ අතරේ  පරණ "මතක පද " වැඩසටහනක් අහන්න ගත්තම පුරුදු කටහඬක් , නදී වාසලමුදලිආරච්චි . 
මේ නදී ඒ නදී නෙමෙයි . 
ඒත් විටෙක ඒ නදී අහනවා  ලේඛකයෙක්ට තියෙන එකම අමුද්‍රව්‍යය වෙන වචන වලින් නැත්නම් වෙන මොනවයින් සෙල්ලම් දාන්නද කියලා . ඒත්  කැෆ්කා?..... වචන අඩුවෙන් පාවිච්චි කරලා , සිත වැඩියෙන් කලත්තනවා . ඒ ඔක්කොම අස්සේ දයාබර මැට්ටා , මේ දවස් වල පිස්සි ගේ පලා මල්ලක් දිග ඇරගෙන දිගට දිගටම  හිතන්න බල කරනවා 
මේ කතා අස්සෙත් ඔබට වචන වලින් ඔබ්බට කතාවක් හමු වේදැයි බලන්න . 

23 November 2015

කුණුහරුප කියන මැකෝ සහ අලි සෙල්ලම්

කාලෙන් කාලෙට නැගලා යන ජෝක්ස් එන්නෝය . ඒවා අතොරක්  නැතිව නන්  දනන් මුව කියවෙන්නේය . ඉන් පසු එය ගොන් ජෝක් බවට පත් වෙන්නෝය .මෙකළ " ...ළමයෙකුට දෙන්න .." කියනවා සේ කලක තිබු එසේ නැගලා ගිය විහිළුවකි .. "මල්වානේ රඹුටන් නම් දෙහිවල මොනවද තියෙන්නේ " කියා ඇසු  කළ  දෙහිවල තියෙන්නේ ඇඹුල් කියා කීම . 

නමුත් ලාබාල මට නම් දෙහිවල ඉතා හොඳින් හුරු පුරුදු ස්ථාන දෙකක් විය . එකක් නම් විලියම් ගේ ඇඹරුම් හලයි . පැකට් කළ  තුනපහ , මිරිස් , හාල් පිටි එතරම් සුලබ නොවූ එකල , අපේ අම්මා ගෙදරට අවශ්‍ය අඩුම කුඩුම සකසා ගන්නට අවුරුද්දකට දෙවරක් ගියේ මෙතැනට ය . මෙතැනට යාම මා එතරම් ප්‍රිය නොකළේ , මෝලේ දී ඇති වන මොළේ  දැවිල්ල නිසාවෙන්ය . නමුත් එන ගමන් මිලදී ගැනෙන චොකලට් කිරි බෝතලය මේ වේදනාව දරා ගැනීමට රුකුලක් සැපයුවේය .

අනෙක් ස්ථානය නම් දෙහිවල සත්තු වත්තය .මම මේ කියන කාලේ දෙහිවල සත්තු වත්ත තරුණය . ළමා සිත් කුල්මත් කළ  ස්ථානයකි . ඇතුලුවෙන තැනම ඇති පොකුණේ , මොටයි පාට ෆ්ලමින්ගෝ පක්ෂීන් රංචුවකි . එතනින් ඔබ්බට මුලින්ම හමු වන්නේ මින් මැදුරය . එතනින් හැදුනු මාළු ඇති කිරීමේ පිස්සුව තවම සුව වී නැත්තේය . අප්පච්චි සත්තු බලන්න ගෙන යන්නේ නොම්බර පිළිවෙලටය .. සිංහයෝ , කොටි , කළු කොටි, ජිරාෆ් ලා  වගේ හොඳ සත්තු බලන්න නොම්බර පිළිවෙලට එනකොට අපේ හොඳ පණ  ගිහින්ය . සත්තු වත්ත ගැන ඇති තවත් මතක දෙකකි . මේ සටහන ඒ ද්විත්වය ගැනය 

පළමුවැන්න , කුරුළු උයනට පිටතින් සිටි කුණුහරුප කියන වල් මැකෝ කුරුල්ලාය ය. කලක් යන තුරු ,  බ්‍රසීලයෙන් ආ මැකෝ සිංහල කතා කරන්නේ කොහොමද ? කුණුහරුප ඉගන ගත්තේ කොහොමද කියා මට පැනයක් විය . නමුත් මැකෝ දොඩවන්නේ  ඌට ඉගැන්වූ කුණුහරුප බවත්. ඌ  එසේ කරන්නේ එසේ කලවිට කන්න ලැබෙන කෙසෙල් ගෙඩි , රටකජු වැනි දේ නිසා බවත් , උගත්තේ කලක් ගොසිනි . දැන් නම් සිතෙන්නේ මෙය මැකෝට පමණක් අදාළ කාරණයක් නොවන බවය .

සාමාන්‍යයෙන් සත්තු වත්තේ අපේ ගමන නිම වන්නේ අලි නැටුම් නැරඹීමෙන් පසුවය . මේ අලි නැටුම් , අලි සෙල්ලම් මා සිතේ ඇඳි  දෙවන මතකයයි . තමන්ට ඉදිරියෙන් යන අලියාගේ නැට්ට (ඔව් ඔව් වලිගයම තමා ) තම හොඬේන්   අල්ලා ගෙන , අලි වටේට වටේට යති. බංකු වල ඉඳ ගනිති  ( සත්ව හිංසනයේ උපරිම අවස්ථාවකි ) .  හැම අලියාම පාහේ හිතා ඉන්නේ ඌ ඉන්නේ පෝලිමේ මුළ  කියාය . සමහර අලි හිතා ඉන්නේ උන් දිග ගමනක් යනවා කියාය . තවත් අලි අල්ලා ගත් නැට්ට අතහැරිය නොහී , ඒ ගැන සිහියට නොනැගී " මොනවා කරන්නද , දැන් මේක අත අරින්න බෑනේ" කියා රවුමට යති.
උන්ව එසේ දක්වන්නේ ඇත් ගොවුවන්ය . අලි හිතන්නේ ඇත්  ගොවුවා මහා බලාධිපරාක්‍රමයෙන් සපිරි හෙන පොරක් කියාය . ඔහුගේ දුක්ඛිත ජීවිතය ගැන දන්නේ ඔහුය . රුපියල විස්සක ප්‍රවේශපත්‍රයක් මිලදී ගෙන එන අයගේ , රුපියල් විස්සට සරිලන්නට විනෝදය සපයන්න මේ කොරන අලි බැලිල්ල , අර නැටුම අවසන  ලැබෙන අත්පොලසන් වලටම පමණි . ඊළඟ දිනයේත් මෙය නැවත රඟ  දැක්විය යුතුය . 

බජට් එක ගැන , අය වැය  කතාව කියවීම  ගැන , රටේ සංවර්ධන ඉදිරි ගමන ගැන කියවමින් සිටිද්දී , මට එක පාරටම මේවා මතක් වුයේ ඇයි දැයි කියා මට තවමත් හරියටම සිතා ගත නොහැක 

21 November 2015

මතට තිතෙන් ඔබ්බට කුඩ්ඩන්ගේ ආණ්ඩුව හා නොකෙරෙන වෙදකම

පෙරවදන 
පහුගිය සතියේ ඇහැ ගැටුණු පුවතක් නිසා මේ සටහන ලියවිණි . පුවතක් කීවාට මෙය වොයිස් කට්  එකක්ය . මුළු කතාවම නො අසා , වොයිස් කට්  වලින් නිගමන වලට පැමිණීම ගැන මගේ හිතේ මහත් සැකයක් ඇත . වොයිස් කට් වල , ලංකාවේ පුවත් වාර්තාකරනයේ , මාධ්‍යකරණයේ ප්‍රමිතිය,  ඇතැම් විට , දයාවතී , එන්සිනා ගේ මාධ්‍යකරණයේ කොලිටියෙන් ඔබ්බට නොයන බවද දනිමි . ඒත් හිතේ නැගුනු දේ ලිවිය යුතු යයි හිත බල කරන්නේය . මා, වැරදීමට ඉඩක් ඇතැයි සිතා මේ ගැන යමක් නොකියා සිටීම හා වැරදුනොත් අවංකවම වැරැද්ද පිළිගැනීමට සැරසි මේ ගැන යමක් කීම,  අතරින් මම දෙවැන්න තෝරා ගතිමි .

පහුගිය දවසක ජනාධිපති තුමා තමන්ම පත් කළ  කාර්යසාධක බලකායක් විසින් සංවිධානය කරන්නට යෙදුනු මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනකට සහභාගී වීම දුටිමි . එහි තේමාව "මතින් තොර රටක්" ය . පාසැල්  දරුවෝ වේදිකාවට විත් මතේ ආදීනව ගැන ගී ගැයුහ . "මත එපා එපා " කියා කෑ ගැසුවෝය  . ඉනික්බිති ප්‍රධාන ආරධිතයාගේ කතාවට අවස්ථාව උදා විනි . 

ඔහු අත්දෙකම ඔසවා මතට එරෙහිව සටනට සහය දෙන්නට සුදානම් බව කීවේය . මත් කුඩු ව්‍යාපාරිකයන් නැති කළ  යුතු බව කීවේය . අපට අර මැතිවරණ වේදිකාවේ දුන් " මම සියලු නම් ගම් හෙළිකරන්නෙමි " පොරොන්දුව මතක් වෙන්නට ගනී . ඉන්පසු දෙසන් දක්වා සිනහා වී කියන්නේ මෙවැන්නකි "අපේ හාමුදුරුවනේ (ඇහිලා පුරුදු ගතියක් ඔබටත් දැනේද ?) , ඔය කිව්වට ඕවා නවත්වන්න බෑ , නැවත්තුවොත් කුඩ් ඩෝ , කුඩු මුදලාලිලා ආණ්ඩුව පෙරලනවා "

මුලින්ම මට අර ළමයි ගැන දුකක් ඇතිවිය , අපේ ජනාධිපති තුමා ගැනද , අපි ගැනද දුක දැනුනි . ඉන්පසු   දැනුනේ මේ ප්‍රකාශය ගැන කෝපයකි , පිළිකුලකි . ඉන්පසු මෙය මගේ අන්නත්ශ්‍රෝතය  දිගේ ගොස් ජීරණය වෙන්නට ගත්ම  මා මනසට වෙනත් අදහස් ශ්‍රාවය වෙන්නට විය .

කොහොමත් අපි නිවාරණයට වඩා දඬුවමට , ප්‍රතිකාරයට උනන්දු වෙන්නෙමු  . කුඩ්ඩන්ට  සිර දඬුවම් , කුඩු මුදලාලිලාට මරණ දඬුවම් දිය යුතු යයි තරයේ කියන්නෙමු . අර අන්තරාකාර ඖෂධ පාලක මණ්ඩලයේ දොස්තර මහතාගෙන් කුඩු විකුණන එවුන්ගේ නම් ලිස්ට් එක ඉල්ලන්නෙත් නිකමටවත් , මේ උවදුර නිවාරණයට අපි සහභාගී වන්නේ කෙසේදැයි නාසන්නෙත් එබැවිනි .
මා කියවා , අසා ඇති පරිදි මත් ද්‍රව්‍ය ව්‍යාපාරය බොහෝ විට අත්පිට මුදලටය . බැංකු ගිණුම් හරහා යන්නේ නැත , රිසිට් දෙන්නේ නැත . ව්‍යාපාරිකයන් තමන් අහුනොවීමට ඉතා සුක්ෂම මෙන්ම ඉතා සාර්ථක ක්‍රම භාවිත කරති . ඉතින් හාල් මැස්සන් , සාලයන් , ජීලාවන් ගෙන් ඔබ්බට , වැඩිම උනොත් පරා  පැටවෙකුට එහායින් එකෙක් දැලට  අහු වීම නම් සැක  සහිතය .

 කුඩු වලට විරුද්ධ වෙන  අපට  ලයිසන් අරක්කු , සිගරට් ගැන එවැනි ප්‍රශ්නයක් නැත .  අනෙක් අතට ගෙදර කොන්ක්‍රීට් එක දමා ගැනීමට , කුඩ්ඩන් ටිකක් හොයා ගැනීමට පසුබට වෙන්නේ නැත . 

කුඩු වලට බොහෝ අය  විරුද්ධ වන්නේ එහි ආදීනාව ගැන සිතා නොව , එය නීති විරෝධී බැවින්දෝ කියා මට විටෙක සිතේ . නැතිනම් ඒ හා සබැඳී අනෙක් අපරාධ දාමය ගැන සිතාය . ඒ කියන්නේ ඇත්තේ කුඩු වලටත් වඩා අපට ඇත්තේ එහි බිස්නස් මොඩල් එක ගැන ප්‍රශ්නයකි .එසේනම් හෙට හෙරොයින් නීතිගත කලොත් තත්වය කුමක් වේද ? 

මගේ අදහස් නම් මුලින්ම මත්ද්‍රව්‍ය ගැන අපේ සමාජ මතය පැහැදිලිව ස්ථාපිත කර ගත යුතු බවය.  ඉඳ හිට , කෝපි  කෝප්පයක් බොන (කැෆීන් ද ඇබ්බැහි ශීලිය , එයද මොලයට සිරුරට අස්වාභාවික උත්තේජයන් සපයයි ) මීවිත තොල ගාන , එනමුදු දුම්වැටි මෙන්ම අන් මත්ද්‍රව්‍ය  පාවිච්චි නොකරන මා එසේ කරන්නේ , යමකට ඇබ්බැහි වීම මා සිතට වදයක් බැවිනි . නමුත් නිදහස් තේරීම (free choice ) යයි අප සිතන බොහෝ දේ තුල ඉතා සුක්ෂම බලපෑම් කිරීමක් (manupilation ) ඇති බවද මම දනිමි . අනෙක් අතට තම දිවි පුරුදු වලට (habits ) , සන්නාම වලට ඇති කැමැත්ත තුල ඇති ඇබ්බැහි වීම ද නොසලකා සිටිය නොහැක . ඒත් මේ මා කියූ සමතුලිත ලක්ෂය මගේ ඉවසීමේ සීමාවයි (Tolerance  level ). එමෙන්ම සමාජයක් හැටියටද අපි  අපේ ඉවසීමේ සීමාව අපි තීරණය කල යුත්තෙමු . එය (අර සිරිසේන ගේ කතාවේ කියවෙන පරිදි)  කළ හැක්කේ කුමක්ද යන්න මත  නොව කළ  යුත්තේ කුමක්ද යන්න මත තීරණය විය යුතුය .

නමුත් මම මෙ සටහන මෙතනින් නොනවත්වමි . අතිගරු ජනාධිපති තුමාටත් මෙසේ ලියමි. 

යමෙක් රටේ නායකයා  හැටියට පත්වෙන්නේ කුඩු මුදලාලිලාගේ ගේ ප්‍රජාතන්තරවාදී අයිතීන් රකින්නට නොවේය  . කුඩ්ඩන් ආණ්ඩුව පෙරලාවී යයි බයේ ආණ්ඩු කරන්නට නොවේය . වැටුනත් හරි දේ කරන්නය . වැටි වැටී හරිදේ කරන්නය . ඔබ කන්නේ මොනවද , ඉංග්‍රීසි කතා කරන්න පුලුවන්ද , මුණේ  රැවුල තියෙනවද . උදේට ඩිප්ස් කීයක් ගහන්න පුලුවන්ද කියන එකට වඩා රටේ නායකයා , ජනතාවගේ නායකයා, හැම විට ජනතාව වෙනුවෙන් හරි තීරණයම ගත යුතුය. ඔබ හරි දේ කළ  යුතුය . ඔබ අසාර්ථක විය හැක . ඒ උපකල්පනය , ඔබට නිවැරදි දේ කිරීමට බාධාවක් , නොකිරීමට නිදහසට කරුණක් නොවේය.  ඔබ හරි දේ කර ආණ්ඩුව පෙරලුනොත් , ඔබ දිවි නැසුනොත්   ඒ ලේ සමාජය අතේය (shame  on  us ය ). නමුත් ඔබ ගැන සිතා , ආණ්ඩුව ගැන සිතා නිවැරදිම තීරණයට අඩුවෙන් යමක් ගත්තොත් , කීවොත් , මහතුනි ඒ ලේ ඔබ අතේමය ( shame on  you ය )

15 November 2015

යහපාලන ෆිල්ම්ස් , නොසන්ඩාල විහිලුව සහ පීස් ෆෝ පැරිස්

යහපාලන ෆිල්ම්ස් සාඩම්බරයෙන්  ඉදිරිපත් කරයි .....

මුලින් ගියේ 
ට්‍රේලරේ ලු 
 පිචැර් එක 
පටන් අරන් තියෙන්නේ 
දැන් ලු 

වාඩිවෙන්  
සීට් එකක් 
අල්ලන් 
ඉස්සරහින්ම 


ඉල ඇදෙන කොමිට් 
කිලි පොලා යන පයිට්
අති විසිස්ට රඟ පෑම් 
හද මෝදුවෙන ලව් 
ඇස් නිලංකාර වෙන මැජික් 
කේතුමතී නුවර
පුල් ඩිජිටල් 
අතිශ්‍ය දුලබ දෙපත් නයි 
දැක ගන්
පියවි දෑසින් 

සිනා සාගරයක් 
රස ආකාරයක් 
ගුටි කෙප්පරක් 
බොරු කෝටියක් 

ආතල් ගොඩයි . 
එක අවුලයි . 
කටවුට් එකේ 
බැබලි බැබලි 
උන්නත් 
නැත  ප්‍රධාන නළුවට 
ඩයලොග්


***
නොසන්ඩාල විහිලුව 

ආන් බලන් 
කියා 
ගගන දෙස ඇඟිලි දිගුවා 
ආකාස වස්තුව 
පෙන්නන නියා 
ඔලු ගෙඩි 
උඩට හරවා 
හිඳින  අතරේ 
සියල්ලෝ 

උන් 
කණ කර අතගාන් 
ටොක්කකුත් ඇනං 
සරමත් කඩන් 
ගිහින් 
කවුද නොසන්ඩාලයෙක් 


***
පීස් ෆෝ පැරිස් 

ඕවා මොන බෝම්බද 
බ්‍රෝ 
ලංකාවේ නේ 
තිබ්බේ 
බෝම්බ 
බ්‍රෝ 

උන් මොන ටෙරාලද 
බ්‍රෝ
ලංකාවේ නේ හිටියේ ටෙරාලා 
බ්‍රෝ 

තව කොහේ කිව්වා ?
බීරුට් ?
ඒ උනාට 
අල වගේද ගෝවා 
බ්‍රෝ 

ඔන්න අපි නම් 
ඉටු කරා යුතුකම් 
(අපි යුතුකම් දන්න  මිනිස්සු බ්‍රෝ )
මාරු කලා ප්‍රොපයිලය 

පීස් ෆෝ පැරිස් ..බ්‍රෝ 

දැන් හරි  .


09 November 2015

සුජ්ජාගේ හැඳින්වීමේ කතාව, සිරාගේ කතාව , අගමැති තුමාගේ අයවැය හඳුන්වා දීමේ කතාව සහ මාරෆන් ගේ ඇවන්ගාඩ් කතාව

"අයිසේ, අපිත් පටන් ගන්න ඕනේ  පන්තියේ සමිතියක් "

ඔන්න ඔහොමයි වැඩේට මුලින්ම අණ ලැබුනේ. 

පිරිසක් ඉදිරියේ කතා කිරීම පුරුදු කරන්න, සබකෝලය නැති කරන්න , අපේ පන්ති භාර ගුරුතුමා ගත් එක් උත්සාහයක් විය මෙය .
නමුත් අටවෙනි ශ්‍රේණියේ සිටි ගැටවර අපිට නම් මෙය පෙනුනේ හෙනම ඇනයක් ලෙසටමය.

"කවුද කැමති සමිතියේ සභාපති වෙන්න ? "  ආයෙත් ප්‍රශ්නයක් .. ඉහළට එසවී ඇත්තේ එකම එක අතකි . ඒ සුජ්ජාගේය . සුජ්ජා ද පහේ ශිෂ්‍යත්වයෙන් සමත් වී , ආ අපේ පන්තියේ ම,  පන්ති සගයෙකි . බොහෝ අතින් අන් අයට සමාන වුවද , ඔහුගේ ඇති එක් දුර්වලතාවයක් වන්නේ කතා පැවැත්වීමට ඇති අධික ආසාවයි . 

"මූට ගෙදර කතා කරන්න දෙන්නේ නැතිව ඇති " ඒ අපේ නිගමනයයි . 
දැන් කාලේ නම් මේ දරුවා දේශපාලඥයෙක් වෙයි යයි කියනු ඇත . ඒත් මේ අසූවේ දශකයේ මැද යි . ළඟ ළඟ මැතිවරණ නැත , රූපවාහිනියේ වොයිස් කට් නැත .

මේ ගති ලක්ෂණය ගැන , සිසුන් මෙන්ම ගුරුවරුද දැන සිටියහ. විටෙක මෙය  ඉතා ප්‍රයෝජනවත් වුවද ( ස්තුති කතාවකට , පිලි ගැනීමේ කතාවකට හදිසියේ සිසුවෙක් සොයා ගැනීමට ඇති විටක වැනි අවස්ථාවන්හිදී ) බැලන්ස් නොකලොත් ඉතා අනර්ථකාරී බව අප ගුරුතුමා හොඳින් දැන සිටියේය .
"වෙන කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැද්ද ? " කියා ඔහු කිහිප විටක් ඇසුවේ එහෙයිනි . වෙන කවුරුත් ඉදිරිපත් නොවුනෙන් සුජ්ජා නිතරඟයෙන් සභාපති විය .

සභාපති ගේ කාර්යභාරය වුයේ සමිතියේ කතා කරන්නට සිසුන් සොයා ගැනීම හා ඔවුන් හඳුන්වා දීමය . පිරිමි ඉස්කෝලයක, ගැටවර වියේ සිසුන් අතර  මෙවැනි දෙයකට ස්වේච්චාවෙන් ඉදිරිපත් වෙන්නන් අල්පය. පළමු සභා වාරයේ ඔහු කෙසේ හෝ ගුත්තිලයෙන් කවි කිහිපයක් කීමට එක්  අයෙක් සොයා ගත්තේය . ඉතිරි විනාඩි 55 ම සුජ්ජා කතාවක් පැවැත්තුවේය . දෙවැනි සභා වාරයේ ගුරුතුමා විසින් විනාඩි 5හේ කතා දෙකක් පැවැත්වීම සිසුන් දෙදෙනෙක් ට පවරන ලදී  . එදාත් ඉතුරු විනාඩි හතලිස් පහම ආවරණය වන පරිදි , සුජ්ජා න්‍යාය  පත්‍රයට, තමාගේ කතාවක් ඇතුලත් කර තිබුණි .

තුන්වන සභා වාරයේදී , ගුරුතුමා කලින්ම සුජ්ජා ගෙන් න්‍යාය පත්‍රය ගෙන පරික්ෂා කර සිටියේය . කතා කිහිපයක්  ළමුන් කිහිප දෙනෙකුට බලෙන්ම පැවරුවේය . සුජ්ජා ගෙන් මේ වාරයේ කතාවක් නොකරන ලෙසද ඉල්ලා සිටියේය .

ඒ දිනය උදා විය . කතා දෙකක් අවසන් විය . දැන් ඇත්තේ "කොට සිරා " ගේ අවස්ථාවයි . සුජ්ජා ඔහුව හඳුන්වා දෙන්නට පටන් ගත්තේය 
(ඇත්තටම මට ඒ කතාවේ මාතෘකාව මතක නැත . නමුත් ඉන් පසු වූ සිද්ධිය විස්තර කිරීමට කතාවේ මාතෘකාව " මගේ රට " යයි සලකන්න  )

" මීලගට තියෙන්නේ සිරා ගේ  කතාව . ඔහු ගේ මාතෘකාව අපේ රට . . ඔහු ගේ කතාවෙන් ඔබට , ඉන්දීය සාගරයේ පිහිටි මුතුඇටය යයි විරුදාවලිය ලත් අපේ රට ගැන බොහෝ කරුණු ඉගෙන ගන්න පුළුවන්. අපේ රටේ වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර් 65610ක් බවත් ....  ප්‍රධාන ගංගාව මහවැලි බවත් මීට අමතරව කැලණි කළු වලවේ ආදී ගංගා ද සමනොළ කන්දෙන් පටන් ගෙන සිව් අතින් මහා මුහුදට වැටෙන බවත් ඔබට දැන  ගන්න පුළුවන් .. අපේ රටේ ප්‍රධාන ආර්ථික භෝග තේ රබර් පොල් ......" මෙලෙස සුජ්ජා විනාඩි 15ක් විතර ඔහුගේ හැඳින්වීමට වැය  කළේය . ඇත්තටම සිරාගේ මුළු කතාවම සුජ්ජා  කළේය .

සිරා ඉස්සරහට ආවේ මුළු සභාවේම සිනහ හඬ මැද ය . සුජ්ජා ගේ හඳුන්වාදීමෙන් පසුව , කරන්න කතාවක් සිරාට ඉදිරිපත් වෙලා තිබ්බේ නැත .

"පුතා,දැන් සුජිත් කියපු නැති කරුණු ත් ඇතුලත් කරලා හොඳ කතාවක් කරන්න " අපේ සර්, ඔහුගේ  මොරාල් එකට පොඩි තල්ලුවක් දුන්නේය .

සිරා පටන් ගත්තේය 
 "සභාවෙන් අවසරයි .......මා මෙතනට පැමිණියේ අපේ රට ගැන කතාවක් කිරීමටයි . ......අපේ රට ශ්‍රී ලංකාවයි .......අසා සිටි ඔබ සැමට ස්තුතියි"  ඔහු කතාව අවසන් කර ගොස් ඉඳ ගත්තේය .

 මීළඟට ලියන්නට සිතා සිටියේ අගමැති තුමා පහුගිය සතියේ , මුදල් ඇමති තුමා ඉදිරිපත් කරන්න නියමිත අයවැය ගැන කළ "පොඩි" හැඳින්වීම ගැනය . තවද මාරෆන් ගේ  ෆන් ම ෆන්  ඇවන්ගාඩ් කතාව ගැන ය. නමුත් සුජ්ජාගේ කතාව ගැන පෙර කතාව පොඩ්ඩක්  වැඩියෙන් දික් විය  . අනෙක් අතට ඉතුරු කතා ලිවීමද  දැන් අනැවැසියි යයි සිතමි .
ඉහත කී කතා පමණක් නොව , බොහෝ කතා ගැන   හඳුන්වාදීමෙන් පස්සේ ඇහෙන්නේ "අසා සිටි ඔබ සැමට ස්තුතියි " යන්න පමණක් නේදෝ යයි ද මට  සිතුනි.

මතකනේ , කියන්නා කෙසේ කීවත් .......

07 November 2015

සනී සහ සනී ( සමාන්තර විශ්වයේ කතා දෙකක් )

ඔන්න මුලින්ම කිව්වා මේවා සමාන්තර විශ්වයේ කතා . සත්‍ය සිදුවීම් වලට සමාන්තර වීම  purely coincidential ය . සිංහලෙන් කියනවානම් "වරදක් කලත් හිතකින් නොවේ " (සභාවෙන් සිනා )

පෙරේරා අංකල් සුපුරුදු පරිදි , සුදු කොට කලිසම හැඳ , ටී ෂර්ට් එක යට කර ගත්තේය . සුපුරුදු පරිදි  ස්පෝර්ට්ස් ශුස් යුගලද පැළඳ ගත්තේය . අද ඉරිදාය . මේ ඔහු ලෑස්ති වෙන්නේ සුපුරුදු පරිදි කඩේට යාමටය . පෙරේරා විශ්‍රාමිකයෙකි . හැබැයි ඔහුගේ වදන් වලින් කියනවානම් ඒ කාලේ මහා ස්පෝර්ට්ස් මන් කෙනෙකි . ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සෙල්ලන් කරන්නට අවස්තාව ඔන්න මෙන්න මග හැරී  ගිය අයෙකි . ක්‍රිකට් හැරුණු කොට පුට්බෝල් ,රගර් , හොකී මෙකි නොකී බොහෝ ක්‍රීඩාවන්හි කෙළ පැමිණියෙකි . නමුත් කොල්ලන් නම් කීවේ ඔහු කෙළ  පැමිණි එකම ක්‍රීඩා  නම් විට හැපීම හා බේගල් අතහැරීම කියාය .

"ආ අංකල් මොකෝ පරක්කු වෙලා අද ?  " . කඩේ මුදලාලි කොලුවා කතාවට මුල පිරුවේය 

ආ කොහොමද පුතා..... ඊයේ රෑ වර්ල්ඩ් කප් බැලුවානේ , නැගිටින්න පරක්කු උනා 

අම්මට සිරි අංකල් රගරුත් බලනවද ?

එහෙනම් ....මම රගර් ගහලත් තියෙනවා . කොහොමද අපේ ඕල් බැලක්ස් ලාගේ වැඩ ?

හෑ හ් ? අපේ ඕල් බැලක්ස් ?  

ඇයි  බැලුවේ නැද්ද ?

නෑ අංකල්  බලන්න කියලා සෙට් වුනා ... ඒත්  ඕල්  බැලක්ස් එන්න කලින් ඕල් රිසව්  ආවා  .. ටිකක් වැඩි වුනා 

අපරාදේ .. 

අන්කල් ඒක  නෙමේ , මැච් එකෙන් පස්සේ අර කව්ද හාදයෙක් මැඩ්ල් එක පොඩි එකෙකුට දුන්නලු නේද ?

ආ ඔව් ඔව් ..ඒ අපේ මේ සනී බිලින් විලියොන් නේ ...

ආ එයාද ?   .... මම හරියටම දන්නේ නම් නෑ ... ඒත් ඇයි ඒ අංකල් ?

ඉස්පෝට් මන් සිප් එකනේ පුතා ... ඒකට අපේ කට්ටිය ... අර අනුහයේ කප්  එක දිනපු වෙලාවේ අර විකට් පොල්ලකට රණ්ඩු වුන හැටි ..

ඒ වුනාට .. ඒ සිද්ධි දෙක සමාන නෑ නේ අංකල් ?

ඒ වුනාට ...  මේ පොර නියම ඉස්පෝට්ස් මන් පුතා 

අංකල් ඔය සනී බිල් .. මුස්ලිම් ලු නේද 

ආ එහෙමද ? එක අතකට පුතා කියන එකත් ඇත්ත ... ඔය සනී බින් හාදයා , කපටි කමට ඕකෙන් ප්‍රසිද්ධියක් ගන්නම හිතලා ඕක කරන්න ඇති ...මොකෝ ඔය තම්බියෝ ඉන්නවා නේද.....

***

විමලේට ඊයේ රාත්‍රියේ හරි හමන් නින්දක් ලැබුනේ නැත . ඒ අදට යෙදී  ඇති විරෝධතාවය ගැන සිතේ ඇති විචිකිච්චාව නිසාය . එහෙත් ඔහු ගේ හිත උද්යෝගීමත් ව තිබුණි . හදවත ගැස්මද ටිකක් වේගවත් බව ඔහුට දැනුනි .

සිරුරු කිස නිමවා , ඉනට ඇඳි තුවාය පිටින්ම අල්මාරිය වෙත ගියේ ඇඳුමක් තෝරා ගැනීමටය . මුලින්ම සුදුසු කමිසයක් ඇඟලා ගත් ඔහු කැඩපතින් හැඩ බැලුවේය. පාට වියැකුණු තුවායේ , "ම" යන්නක් තට්ටම මතටම සමපාත වී තිබුණි .ඊට පසුව තිබු "හි" යන්න දිස් වන්නේ යන්තමටය . එතනින් එහාට අකුරු මැකී ගොසිනි .

ඔහු ගේ අල්මාරිය හරිම පිළිවෙලය . එක එක පාට කමිස එල්ලා ඇත . ලාච්චුවේ සීරුවට ගොඩ ගැසූ පාස්පෝට් මිටියකි . ඔහු පාවහන් යුවලක් තෝරා ගත්තේය . පාස්පෝට් වැරදුනා මෙන් නොව , විරෝධතාවයකට යාමේදී ඊට ගැලපෙන පාවහන් යුවලක් පැළඳීම ඉතා වැදගත් බව ඔහු අත්දැකීමෙන් දත්තේය . පෙළපාලියේ යන්නට  රනින් ශුස් පැළඳ  , විරෝධතාවයේදී අඳින්න සෙරෙප්පු කුට්ටමක් මල්ලක දමා ගත්තේය .

විමලේ කොල්ලුපිටියට යන විට , කට්ටිය පැමිණ සිටියහ . සියල්ලෝ කැසිනෝ ශාලාවක් ඉදිරිපිට රැස්වී සිටියහ . 

"සර් මේ කට්ටිය , දේශීය ලිංගික ශ්‍රමික පර්ෂදයෙන් . අපේ දේශීය රැකියා වෙළඳ පොළ , ඉන්දියානුවන්ට විවෘත වීම නිසා ඇතිවන දුෂ්කරතා නිසා ප්‍රතිපත්තිමය තීරණයක් අරන් අපිට සහය දෙන්න " මුසා , මුහුණ ටිකක් වැඩියෙන් පාට කළ, 
තද රතු තොල් සායම් උලාගත් මැදි  වයසේ කාන්තාවක් හඳුන්වා දුන්නේය . 

"මම ටාආ ආ ආ  නියා, අපි බෝඩ් ඇඳ ගෙනම ආවා  " ඈ  වයසට නොගැලපෙන කෝල බවක් පෑය . "හෙළ ජාතික අභිමානේ " බෝඩ් ලෑල්ලේ ලියා තිබුණි .  විමලේට තම මුහුණ රතුවෙනවා මෙන් දැනින . ඔහු හිමින් සැරේ බැලුවේ, තමාගේ දේශප්‍රේමය අවදි වුවාදැයි සැක සිතුනු බැවිනි . 

විරෝධතාවය නැගලා ම ගියේය . 

"එපා එපා එන්න එපා ...සනී මෙහෙ එන්න එපෝ "
" සීපා දිගේ සනී එනෝ ... අපේ රස්සා කොල්ල කනෝ .... පළල් කරන්  සනී එනෝ .... සංසාරේ දික් වෙනවෝ "
" බෙලාජියෝ , රනිල් , සනී හවුල  භංග වේවා  " //
" බෙලාජියෝ ගෙනියනවා ..සනීගේ (ඉතිරිය හරි හැටි  ඇහුනේ නැත ) ..    මේවා දැකලා අපි කොහොමද නිවන් දකින්නේ ...."

සටන් පාඨ මොර දුන්නෝය . 

අයෙක් පැමිණ පිරිත් පැන් ඉස්සේ, මේ කැසිනෝ ශාලාව ඇතුළේ  ඇති සුරාවෙන් සූදුවෙන් සහ මරඟනන් ගෙන් දේශප්‍රේමීන් ගේ සිත් ආරක්ෂා කර ගැනීමටය 

නැවතත් මුසා පැමිණියේය .  "සර් ඉස්සරහට ඇවිත් කතාවක් කරන්න , ටී වී චැනල් වල කට්ටියට පරක්කු වෙනවා ලු ...වොයිස් කට්  ගන්න " 

විමලේ කතාව පටන් ගත්තේය . අත්පොලසන් , ඔල්වරසන් හඬ මැද වචන ගලා එන්නට විය . ගිරිය පිප්පි , හඬ සැර  විය 

" ... මේ වගේ විදේශීය අත පෙවීම්  ඉදිරියේ දේශප්‍රේමී ජනතාව නිකන් බලන් ඉන්නේ නෑ ... මේ ඩීල් කාරයින් , හොරු , එන්  ජී ඕ  කාරයින්ට  කියන්න කැමතියි ..මතක තියා ගනින් බෙලාජියෝ ..මහත්තයෝ ...ඔය සනී ගේ කෙරුම් , මමත් හොඳට දැකලා ...නෑ  නෑ  සමා වන්න මමත් ඒ ගැන අහලා තියෙනවා ....අද සනී ආවොත් ... අපේ සදාචාරය රැක ගන්න ඉස්සරහට ආපු මේ ජන බලවේගය විසින් සනීව ...."

විමලේ කැසිනෝ හලේ වසා ඇති දොර දෙසට හැරුණි 

"සනීව ගෝල්පේස් එකට ගෙනිහින් ... රෙදි ගලවලා... "

ඔහු ආපසු හැරුනු  විට දුටුවේ පිරිස වේගයෙන් ගාලු පාර දෙසට දිව යන අයුරුය  . මුසාද දිවයන බැව්  දුටු ඔහු වට පිට බැලුවේ  ශ්‍රී ලංකා (ස්වාධීන වූ) පොලිසියෙන් බිස්කට් බෙදන්න වත් ඇවිත්ද කියා ය . එහෙම සේයාවක් වත් පෙනෙන්නට නැත . 

"මුසා මුසා මොකෝ බන් දුවන්නේ ..කොහේද  යන්නේ ?"

" නෑ  සර් කට්ටිය ගෝල්පේස් යනවා ... අර සනී ගේ රෙදි ගලවනවා බලන්න ...ලයිව් දැකලා නෑ  නේ  .. ඒකයි  මාත් ..." මුසා අහිංසක හිනාවක් පෑවේය