31 December 2015

ජෝජ් සෝරස් සහ අනෙක් හොරු හෙවත් කෙහෙල් කැන ගහේ ඉදවා කෑම

"කෙහෙල් කැනක් ගහේ ඉදිලා කනවා වගේ නෑ අප්පා ."

"ඒ   වුනාට කොහොමද හරියටම ඉදිලා කියලා දැනගන්නේ ?"

"ඒකට ක්‍රමයක් තියෙනවා "

"ඈ ?"

"ඔව් , කෙහෙල් කැන හරියටම ඉදිච්ච පොයින්ට් එක , ගහෙන් බාන්න ඕනේ පොයින්ට් එක හරියටම දන්නේ ...කෙහෙල් හොරු තමා ."

"ඒ කිව්වේ හොරෙක් ගෙන් අහලා දැන ගන්නවා "

"එහෙම ඇහුවට හොරු කියනවා යෑ "

"ඒකනේ "

කැන කෙහෙල් ගහේ තියලා බලන් ඉන්නවා . හරි දවසට හොරා කපා ගෙන යයි 

ඊට පස්සේ ?

ඊට පස්සේ ඉතින් ළඟ කඩේකින් කෙහෙල් ඇවරියක් අරන් ඇවිත් කන්න තමා වෙන්නේ 


පලි :
පුවතක් : ජනවාරියේ ලංකාවේ ආයෝජන සමුළුවේ ප්‍රධාන ආරාධිතයා , ජෝජ්                   සොරස් .


මිතුරෙකුගේ ප්‍රශ්නයක් : අපේ රටේ ඔච්චර ගන්න වටිනා දෙයක් තියෙනවා නම් ඔය විදේශීය කුමන්ත්‍රණ කරුවෝ
මෙච්චර කාලයක් බලා උන්නේ මොකටද ? 

පපලි : ජෝජ් සොරෝස් කියන්නේ කවුද කියලා පොඩ්ඩක් හොයලා බලන්න . මගේ දැනුමේ හැටියට නම් ඔහු ඇමෙරිකාවේ ආර්ථික කුලී හේවායෙක් (එහෙම අය සිටින බව තරයේ විශ්වාස කරමි ) . හැබැයි ඉතින් අපේ වගේ නිෂ්පාදන වියදම අතින් , යටිතළ  පහසුකම් අතින් , මුල්‍ය අංශයේ දියුණුව අතින් , රාජ්‍ය අනුග්‍රහය අතින් , අඩුම ගන්නේ මිනිස්සු වැඩකරන්න ඇති කැමත්ත ඇතිරටක් හැටියට වත්,  තරඟ කාරිත්වය අඩු  රටවලට , ඔය දොර ඇරලා අත වනලා කතා කරපු ගමන් මුලින්ම එන්නේ නම් හොරු, කළු සල්ලි කාරයෝ , ත්‍රස්තවාදියෝ තමයි  . ඒවායින් යම් දුරකට ප්‍රවේසම් වෙලා , කෙටි කාලීනව ඒ සල්ලි පාවිච්චි කරලා , පස්සේ හෙමින් සැරේ දොර වහන්නයි වෙන්නේ . එහෙම නැත්නම් ලොකු චන්ඩියෙකුට හේත්තු වෙන්න වෙනවා . හැබැයි වැදගත් වෙන්නේ අනාගතේ සල්ලි ආකර වෙන  සම්පත් වලට ලංවෙන්න ඉඩ නොතියන එකයි ( සමහර විට ජලය එහෙමත් නැත්නම් වාතය !!, ).

කෙහෙල් කැනක් වගේ නෙමෙයි , කාලය කියන්නේ . ආයේ නැතිවුනොත් නැතිවුනාම තමයි . ඉතින් ඔන්න 2015ත් ඉවර වෙන අද දවසේ එහෙම පස්සට දාපු සියලු බලාපොරොත්තු ඉටුකරගන්න හැකි වෙන 2016ක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා 

28 December 2015

එළ ද බ්‍රා ලෝ සහ ලංකට් ලෝ

ඔන්න ආයෙත් සමාන්තර විශ්වයේ කතාවක් . ලංකාවේ එහෙම කියලා වරදවා තේරුම් ගන්නවා එහෙම නෙමෙයි .

ආර්යාව සදා දුන් කළු කෝපි  කෝප්පය ඉවර කරන්නවත් ලැබුනේ නැත, ගේට්ටුවේ සිටින ආරක්ෂක භටයින්ට ද සත්තමක් දමා ගෙන කෑගසාගෙන එන අයෙකු දුටු අයිසේ මහත්තයා කැළඹීමට පත්විය .

"අයිසේ මම බැලුවා කව්ද කියලා මේ ලෝකේ පෙරලගෙන එන්නේ ...තව පොඩ්ඩෙන් කෝපි  කෝප්පෙත් හැලෙනවා "

 "සර් සර් මෙහෙ කෝපි බීබී ඉන්නවා අන්න අරහේ , ජනාධිපති තුමා ..."

"ඇයි මොකෝ ?"

" අර එන්රිකේ .."

"ඇයි මිනිහටත් එංගලන්තේ මහකොමසාරිස්කම ගන්න කියලද ?"

" නෑ  නෑ සර් ...ඊයේ කොහෙද ඉස්කෝලෙකට ගිහින් , අපේ හාන්දුරුවනේ කියලා පටන් අරන් , කියලා මීට පස්සේ සෝ වලට බ්‍රෙෂියර් ඇඳන් ගිහින් ගලවන එකියන්ට මඩු වලිගෙන් තලන්න නීතියක් ගේනවා කියලා ..."

"හාමුදුරුවන්ටද කියලා තියෙන්නේ ...?"

"ඔව් සර් .."

"අයිශේ මේ මිනිහත් එක්ක බෑනේ....   කතාවක් කලොත් ඉවරයි ..මට වඩා අන්තයි නේ ...දැන් එතකොට කෙල්ලෝ යටට අඳින්නේ නැතිව එයි ඕයි සංගීතයක් බලන්න , බ්‍රෙෂියර් අතේ අරන් ....කොහොමද ඕයි  මෙහෙම මේ ආර්ථිකේ පළල් කරන්නේ....  " 

"ඔව් සර්  දැන් ඔය එලද බ්‍රා ලෝ එක අනුව ගලවලා විසි කරන එක විතරයි  වැරදි කියලා තියෙන්නේ  ...ඒක  නෙමෙයි සර් අපි මේකට මොනවා හරි කරන්න ඕනේ .. නිකන් ඉන්න බෑ "

"ඒකත්  ඇත්ත අයිසේ .. දැන් අර බජට් එකත් ආයෙත් වෙනස් කළා ..අර හයිබ්‍රිඩ් බද්දත් නැති කළා..දෙන්න ඕනේ තමා රිටන් එකක්  "

" සර් අපි ගේමුද දෝසාබියෝගයක් "

"පිස්සුද ඕයි  ..එහෙම නෙමෙයි ..මමත් ප්‍රකාශයක් කරන්නම් .."

" ඒ කතාවට විරුද්ධත්වය පාලා ?"

" නෑ  අයිසේ ... මමත් යෝජනා කරනවා නීතියක් .. කොල්ලන්ට ලන්කට් ඇඳන් වැව් , ගඟේ , පොකුණේ නාන්න බැරි වෙන්න ... ලංකට්  ඇඳන් නාන්න තහනම් .

එතකොට සර් , කොල්ලොත් අර කෙල්ලෝ වගේම එයිද ?

හෙහ් හෙහ් හෙහ් , තමුසෙටත් යමක් කමක් තේරෙනවා නේද ? ...නව ලිබරල් නේ .. අනික අපි පොරොන්දුත් උනානේ අයිශේ යටි තල පහසුකම් වර්ධනය කරනවා කියලා 

අනේ සර් මට නම් ඔය නව ලිබරල් කුණුහරුප එච්චර තේරෙන්නේ නෑ ... ඒක  නෙමෙයි සර් එතකොට ඔය ලංකට් ලෝ එකෙන් ගොයියන්ට අමුඩ ඇඳන් පාරේ යන එකත් තහනම් වෙනවද ?

ඔය ඔය තමුසෙටත් තේරෙන්නේ 


පලි : මෙය මා පළ කරන විට , පට්ට ගැසූ මාතෘකාවක් වී තිබෙන්නට හැකිය . නමුත් හුදී ජන ආස්වාදය සඳහා පළ කළ යුතුයයි  සිතුවෙමි 

25 December 2015

ඉබාගාතේ යන යුදෙව්වා

මොකක් කිව්වා නම ?

ඒ වගේ නමක මතක 
පෙරදා 
ගොල්ගොත කන්දෙන් ඇහුන 
ආත්මයක් 
සැහැල්ලුවට පාවුන 
සුසුමක එකම එක 

කාගේ කවුරුන් කිව්වා ?

මේ ඇහෙන දේවලට 
පිස්සු නැහැදුනොත් තමා පුදුම 
 ඒත් නරකද ගතොත් බෙහෙත් 
ඊළඟ  ඉස්ට්‍රයික් එකට පෙරාතුව 

මොකක් කියන්න ලංවෙන්න කිව්වා ?

ලංවෙලා ඔහේ 
කෙලින්නද හදන්නේ 
පොකැට් එකට වත් 
ඔය කියන විමුක්තිය 
කන්නද  තම්බලා, 
මලවලා 

සහෝ 
පොඩියක් මගින් 
අයින් වෙනවාකෝ 
 කෝච්චිය මිස්වෙලා 
රතු ඉරට පහු උනොත් 
දවස් බාගෙක පඩිත් 
කැපෙනවා 


පලි : මම දන්නා තරමට , ඉබාගාතේ යන යුදෙව්වා බයිබල් කතාවේ එන චරිතයක් . යේසුස් , මළවුන්ගෙන් නැගිට මග සරන විට  පළමුව හමුවන්නේ ඔහු . ඔහු යේසුස් වහන්සේව වත් , ඔහු ගේ පණිවිඩය වත් බාර ගන්නේ නෑ . ඒ නිසාම සදාකාලිකවම ඉබාගාතේ යන්නට ඔහුට හිමිවූ බවත් මම අසා තිබේ . ආගම විශ්වාසය කුමක් වුවත් , අපිත් එක අතකට ඉබාගාතේ යන යුදෙව්වෝම නොවේදැයි විටෙක සිතේ .

22 December 2015

එන්රිකේ

ලාබ ලාබයි 
නෝනා.. මේ  

 හංස කුමාරිට එකක්  
නීල ජලාසේ රඟනා 
ගැට දොඩම් වගේද නංගි 
හොඳට පැහුණු වට්ටක්කා 

ගොර හඬින් 
කෑ ගහපු  
තිසර පට 
උඩ දදා 
වැටෙන විට 
අල්ලාපු 
වෙළෙන්දෙක්  උන්නා 
ඔරලෝසු කනුව ළඟ 
පේමන්ට් එකේ 
ඉස්ටේසම පෙනෙන මානේ 

සල්ලි සල්ලි නොබලා 
අරන් කෑල්ලක් , දහදාහේ 
ගිහින් වගේ 
මිනිහත් 
බලන්න නියා 
එන්රිකේ 


පලි : එක එක උන්ට , නෙක නෙක චූන් මය 

20 December 2015

ඇස් වලින් ඇසු සිංදුව

ඔහු පරිස්සමට ඇඟිලි තුඩින් ස්වර හඬවන්නේය පියනෝවේ . යතුරු මත ඇඟිලි සක්මනේ , කළු සුදු සුදු කළු සුදු .
මුමුනන්නේය , ගීයේ තාලය රහසින් මෙන් . 

ඈ ,  අසා සිටින්නී දෙනෙතින් ,  දෙ ඇස්  දල්වා .

මිමිණුම , කාටත්  හොරා වචන බවට පත් වේ 

"සුදෝ ..... මම ආදරේ ....." 

වචන නිමවී , සංගීතය ස්වර පණගැන්වෙන තෙක් පිරි නිහඬ තාවය , මහගෙදර ආලින්දයේ,  ඔහේ වල්  පල් කතා කරමින් කල් මරණ , තම ආගන්තුක සත්කාරය ඉක්මවා සිටින නෑයෙක් වැන්න .

ඔහු බලන්නේය, දෙඇස් ඔසවා ස්වර ප්‍රස්ථාරයෙන් .

ඇය , අසා හිඳින්නී නිහඬතාවයද, පද සේම. ස්වර සේම . 

ස්වර පෙරහැර නැවත ඇරඹේ , ඈ  විඳින්නී රිද්මය, තට්ටු කරමින් දණ හිසට දැඟිල්ලෙන් . 

"පොඩ්ඩක් ඕෆ් ටියුන් ගියා ..කමක් නෑ එයාට දැනුනේ නෑ " ඔහු දිග හැරුණු සිතුවිලි වසා ස්වර කළාලයක් එළන්නේය . 

අවසන් ස්වරයට පෙර ස්වරය ....
.....අවසන් ස්වරය ...
අන්තිමම අන්තිම ස්වරය .

ඈ අත්පොලසන් දෙන්නී , ළදැරියක්  මෙන් .
සිහින් ඇඟිලි කරකවා , මවන්නී වදනක් හස්ත මුද්‍රාවෙන් .

ඔහු කියවන්නේය එය 

"ලස්සනයි .." 

පලි : මේ කතාවට නිමිත්ත මා  ඇසු කතාවකි . එනම් මරදාන ඉස්ටේසමේ සින්දු කියූ යාචක යුගලක් ගැනය . සැමියා වයලීනය ගැසූ බවද . ඔහුගේ පාදයේ රිද්මයට මියුරු හඬින්  ගී ගැයූ බිරිඳ ශ්‍රවනාබාධිත බවද ඔහු කියූවේය . 

18 December 2015

සැන්ටා ක්ලොස් සහ මුදලාලිගේ නත්තල් කරුණාව

"සේල් " "සේල්"  බෝඩ් , සාප්පුව වටේට එල්ලා ඇත . සාප්පුව ඉදිරිපිට , ලවුස්ස්පීකරයේ සංගීතයට නටන නත්තල් සීයෙකි . බැලුම් තුනක් ගැට  ගැසූ රිටක් එක අතකය . අනෙක් අතෙන් ඔහු මග යන්නවුන්ට අතවනයි , මල්ලෙන් ගෙන නිකන් බෙදා දෙන්න යයි කියූ , සබන් කෑලි බෙදයි , වෙස්මුහුණ පොඩ්ඩක් උඩට ඔසවා මුහුණ පිහිදා ගනියි, කඩේ ඇතුලට එන්න යයි පදිකයන්ට ආරාධනා කරයි  .


" ආ ..කොහොමද වැඩේ හොඳට යනවද ? "  කඩේ මුදලාලි ලඟට එනකන් සැන්ටා දැක්කේ නැත .

" ඔව් සර් ...ඒත් "

" හොඳට නටන්න ඕනේ ...තමුසේ අර සබන් කෑලි , ෂැම්පු පැකට් , බෙදනවා නේද ? " 

" ඔව් සර් ඒවා නම් මල්ලෙන් අරන්  බෙදුවා , මුන්ගෙන් බේරෙන්න බෑ  සර් ඒත් ... මම , සර් කිවුවා වගේ එකාට  එක කෑල්ලයි  දුන්නේ .. මුන් වැඩිපුර ඉල්ලනවා .. ගිය සැරේ දෙක තුන දුන්නලු "

" තමුසේ කියුවද , අපි නිකන් දෙන්නේ නෑ ... ඇතුලේ බඩුවල සෑහෙන ඩිස්කවුන්ට් එකක් දාලා තියෙන්නේ ... ඇවිල්ලා බඩු ගන්න කියලා "

"කිවුවා සර් .. මුන් ඒ සැරේ අහනවා තමුසේ සැන්ටා ක්ලෝස් ද මුදල් ඇමතිද කියලා ."

"  හැහ් ... ඉතින් , තමුසේ මොකද කිව්වේ "

"මම කිව්වා සර් .. එහෙම බිස්නස් කරන්න බෑ .. නිකන් බඩු දීලා දෙසැම්බර් වල,   ජනවාරියේ ඉඳන් ගණන් වැඩි කරන්න වෙනවා .. එහෙමයි උච්චාවචන , ආර්ථික විජ්ජාව කියලා "

"තමුසේ මොකටද ඔය පණ්ඩිත කතා කියන්න ගියේ , තමුසෙට තියෙන්නේ ඔය සූට් එක දා ගෙන , පොඩ්ඩක් ඩාන්ස් එකක් දාලා , මම දුන්න ටික ඔය මල්ලට දාගෙන , තමුසේගේ වගේ බෙදන්න නේ "

" නෑ  සර් මේ දවස් වල දේශපාලන ෂෝ බලලම ටීවී එකේ , අපේ බන්දු සර්ගේ කෑලි ටිකක් අල්ල ගත්තා " 

"  ඔය බන්දුගේ ටෙනිගේ ජෝක්ස් වලට දැන් හිනා යන්නෙත් නෑ  ඕයි ...  ඒවා ඕනේ නෑ  , දැන් මොකද මිනිස්සු කියන්නේ ... මේවා මදි කියනවද "

" එහෙම තමා කියන්නේ , ඒත්  මම තදින්ම කිව්වා සර් .. එහෙම නත්තල් සේල් කොරන්න බෑ කියලා , කඩේ බංකොලොත් වෙයි කියලා ... එදා සර් කිව්වේ "

" එක්කෝ , ඔන්න ඔය දෙක දෙක දෙනවා ... මම කියුවා කියලා "

" ඒත් සර් ..එතකොට ..."

" දෙනවා අයිසේ ... තමුසේ නත්තල් පප්පා වුනාට  කඩේ මගේ නේ ..."

12 December 2015

නිවනට ගඩොල්

"හම්මේ බස් වල ඇවිල්ලා , මගේ හොඳ පන ගියා . ඒ මදිවට මේ ගඩොල් දෙකේ බරට උරහිස්ස කකියනවා "

ආතම්මා , හෙමින් උඩු තොල පහතට හරවා , පපුවට හුලන් පිම්බේය . ඉන්පසු ඔසරි පොට ගෙන පවන් සලන්නට විය . තවම රෙදි මල්ල කරේය . 

"අම්මේ ඔය මල්ල පැත්තකින්  තියලා ඉන්න ඉතින් . "  මා සිතිවිලි,  වචන බවට හැරවුයේ අම්මාය . 

"ඔන්න උඹලා දන්න බුද්දාගමේ තරම ...ඒක , බිම තියන්න පව් .... බුදු පිළිමේ ගාවින්ම තියනවා එක පාරම "

"මොනාද ආතම්මේ මල්ලේ , නයෙක්ද ?".....පවුලේ පුංචි ඕපා දූප සොයන්නී හෙවත්  නංගි,   ආතම්මාට ලංවිය .

"මේකේ තියෙන්නේ බොහොම වටින දෙයක් දුවේ ..." ආත්තම්මා බොහොම පරිස්සමෙන් මල්ලට අත දැම්මාය 

"ආතම්මේ සීනි බනිසක් ද ..."

"සීනි බනිස් නෙමේ ආත්ම ගණනාවකට වටිනා දෙයක් "

"නාග මානික්‍යයක්ද ?"

ආතම්මා අත දමා , මහගු වස්තුව එලියට ගත්තාය 

"අයියෝ ගඩොලක් .."

"උඹ ලෑ  මහා එවුන්ට වගේම , උඹලාටත් ...."

"සෙනඟ හිටියද අම්මේ පන්සලේ  ?..."   ඒ  කතාව දුරදිග යා නොදී අම්මා වෙනතකට හැරවුවාය 

'"මං  කලින් ගිය හින්දා හොඳට ගියා , සුටුස් ගාලා ගිහින් පැන්සොන් එක අර ගෙන , දුවලා ගියා පන්සලට . ... හොඳ වෙලාවට යහපාලන ආණ්ඩුවෙන් පෙන්සෝන් වැඩිකොලේ ....රුපියල් තුන්සිය පනහක්ම වැඩියෙන් හම්බුවුනා ....එක්කෙනුකුට එක ගඩොලයි කියලා බෝඩ් එකක් ගහලා තිබ්බා ...   සල්ලි සල්ලි කියලා බලන්නේ නැතිව  ...මම එතන කොල්ලට කියලා ,      මුන්ගේ සීයටයි මටයි ගඩොල් දෙකකටම සල්ලි බැන්ඳා ... අවුරුදු පනහක්  එකට පවුල් කාපු මනුස්සයා නැතිව තනිවම කොහොමෙයි නිවන් දකින්නේ ?.."

***
"ග්ර්ර් , ෆුෆුෆු "පත්තරේ පපුව උඩ තබා ගෙන හාන්සි පුටුවේ නිදා සිටි ආතා , එක වරම ගෙරෙව්වේය 

***

"ආතම්මේ මොනවද මේ ගඩොල් ...."  පුංචි ඕපාදුප කාරී ගඩොල අතට ගෙන ඒ මේ අත කරකවමින් බලන්නීය 

"හා හා පරිස්සමෙන් ... අපේ රජමහවිහාරේ දාගැබ හදනවනේ දුවේ ... මේ ඒක හදන්න ගඩොල් .... අපේ ඇමතිතුමා , යහපාලන ආණ්ඩුවෙනුත් ලස්ස ගානක් වෙන්කරගෙනලු මේ වැඩේට .."


"හි හි ඉතින් ආතම්මා ගඩොල් ගෙදර ගෙනාපුවහම , දාගැබ හදන්නේ කොහොමද ?"

ආතම්මා වදනින් නොකීවත් , දහසක් දේ බැල්මේ ලියවුනි 

"නෑ දුවේ ආතම්මා මේ ගඩොල් ගෙදර ගෙනාවේ , හැමෝටම අත  ගස්සලා , ආපහු ගෙනියන්න ..." ආතම්මා ගේ වතේ පිළිඹි කුසල් සිතුවිලි සම්මා වාචා බවට පෙරලීමට කලින් අම්මා උත්තර බැන්දාය .

***

"...විදුලිය සම්ප්‍රේෂණය වෙන්න සන්නායකයක් අවශ්‍යයි . නිමල් විදුලි පේනුවට ඇඟිල්ල දැම්මහම , ඔහු ගේ ශරීරය විද්‍යුත් සන්නායකයක් ලෙස ක්‍රියා කරලා ..."
සිරිසේන සර් , පන්ති බාර ගුරුතුමා , 

***
කොල්ලෝ මේ පත්තරේ එලාපන් , ගඩොල් දෙක වේලෙන්න තියන්න 

ආතම්මා දිය පිරි පනිට්ටුවෙන් ගඩොල  ගත්තේ පරිස්සමටය . මා අත දිගු කලද , ඈ එය නොදැක්කා සේ ගඩොල ඈ විසින්ම ගෙන ගොස් පත්තර පිටුව මත තැබුවාය .

"අම්මේ මේ රෙද්ද හොඳද ගඩොල ඔතන්න ?.." අම්මා පැමිණ සුදු රෙදි කඩක් දිග හැරියාය . උදැහැනැක්කේ සිට ආතම්මා පිං ගඩොල් රාජයන් ඔතන්නට සුදු රෙදි කඩක් හොයන්නේ , අද අද මරු  එන බවක් කියමිනි 

අපෝ ඕක එපා , ඕක ගිය චන්දෙට දුන්න සිල් රෙද්ද . අර යටින් සුභ අනාගතයක් කියලා ගහලත් තියෙනවා. මේ යහපාලන ආණ්ඩුවේ දාගැබට ඕක හරියන්නේ නෑ ... ආතම්මා කුසළ කර්ම ගැන ගැඹුරු ධර්ම කරුණක් අපට කියා දුන්නාය 

***
"සබ්බ දානං ධම්ම දානං ජිනාති "
බුදු හාමුදුරුවෝ උපුටා දක්වමින් , රජමහා විහාරයේ නායක ලොකු හාමුදුරුවන් වහන්සේ 

***
කවුරුත් පෙනෙන්නට නැත . මම හෙමින් සැරේ ගඩොලට ලංවීමි . ගඩොල දෙඅතට ගතිමි . දිය පෙඟුණු ගඩොලේ , කර්කශ පොළොවට , මුල් වැස්ස වැටෙන විට නැගෙන සුවඳ නැගේ . මම දිගු හුස්මක් ඇද්දෙමි . ඒත් මේ පිං ගඩොලත් ඉස්සරහ තාප්පය හදන්න ගෙන ගඩොල් වැනිමය . මම එය මුවට ලංකර දිව ගෑවේ , රසයේ වත් වෙනසක් ඇත්දැයි බැලීමටය ... එකෙනෙහිම 

" මොකක්ද ඒ කරපු  අලගේත්තෙරු වැඩේ ?..."   

ඒ මොර ගෑම ආතම්මා ය . ඉන්පසු වූ සිද්ධීන් මට හරියටම මතකයක් නැතත් , මා බිය වෙන්නට ඇති බවත් , ගඩොල අත හැරෙන්නට ඇති බවත් , එය බිම වැටි කුඩු වී ඇති බවත් මට අනුමාන කළ  හැකි විය 

***
"මාත්‍රාව වැරදියට අනපුවහම , ගඩොල් වතුරට දිය වෙනවා පුංචි මහත්තයෝ . කුඩු වෙනවා . මෝඩ ගඩොල් "
- ඉස්සරහ තාප්පය බැඳී සීමන් බාස් 

***
"පව් කාර කම , පව් කාර කම ... දැන් එක ගඩොලක් කුඩු ... කොහොමෙයි දෙන්නම නිවන් දකින්නේ ?.. හ්ම්ම්ම් මොනවා කරන්නද ? උන්දැගේ පෙන්සෝන් එකෙන් උන්දැට නිවන් දකින්න කියනවා ...."


පලි : නිමිත්ත :චාමි මුහුණු පොතේ ලියු කෙටිම කෙටි ඕපා දූපයක්  ඇසුරෙන් මෙය ලියවුනි .

09 December 2015

ලේසියටත් පහසුවටත් කරන දේ , සිතකින් නොවේ කරන දේ සහ ගුටි කන්න බැරි කමට කරන දේ // Of being wrong

ලේසියටත් පහසුවටත්  දැන  දැන වැරදි කරන බව කිව්වේ , සුනිල් පෙරේරාය . නමුත් කැතරින් ශුල්ස් "වැරදි වීම" (Katharin Shulz - Being Wrong ) පොතේ කියන පරිදි , දැන  දැන  වැරදි කරන්නට  නොහැකිය . ඒ කියන්නේ තමන් වැරදි බව වටහා ගත වහාම එක්කෝ එය අපි නිවැරදි කර ගනිමු . නැතිනම් ඒ ක්‍රියාවට නිදහසට කරුණක් සදා ගන්නෙමු . එවිටත් අපි නිවැරදිය . 

අපි වැරදි කළ  බව දැන  ගැනීමට , ඇසීමට , වටහා ගැනීමට අකමැත්තෙමු . එය අපට පීඩාවක් ගෙන දෙයි . නමුත් අපි වැරදි හොයන්න ඉතා කැමතිය . ඒ අනුන්ගේ වැරදිය . ඇතැම් විට හඳ  පෙන්නන විට , ඇඟිල්ලේ ඇදය සොයන්නේ එබැවිනි . අර උක්ත පොතේම (කවුදෝ දාර්ශනිකයෙක් උපුටා ) දක්වන පරිදි , අනුන්ගේ වැරදි පෙන්වීමේදී තමන්ගේ නිවැරදි බව පෙනීම , ඒත්තු ගැන්වීම වැලකිය නොහැක . නමුත් වැරැද්ද නිවැරැද්ද සාපේක්ෂමය .

පහුගිය සටහනේ මට වැරදීමක් විය . ඉන් පසු මට ඒ ගැන ගත හැකි චොයිස් කිහිපයක් තිබුණි . එක්කෝ වැරැද්ද නොවුනා සේ සිටීමය , එක්කෝ සමාව අයැදීමය , එක්කෝ නිදහසට කරුණු කියා මා නිවැරදි බව ඔප්පු කිරීමය , එක්කෝ සමාව  අයැද  නිදහසට කාරණා  කීමය . 

මරණයට කැපවුණු අර නම් නැති ගැහැණියගේ ඉරණම මා සිත කම්පනයට පත් කළේය . ඉතින ඒ කව ලියවුනි . ඇනෝ  මිත්‍රයෙක් ඊට ප්‍රතිචාර ලෙස කියා තිබුනේ , ඒ ගැහැණිය තවම මරා නැති බවත් මට වැරදුනු බවකුත්ය . නමුත් මා දත්ත නැවත පරීකෂා කලෙමි .

සීමිත දත්ත උඩ ,  ඒ වනවිට ඇගේ දිවි තොර වී ඇතැයි මාගේ සිතුවිල්ල තවම නිවැරදිය . නමුත් මට වරදක් වී ඇත . 
වැඩේ මට ෂුවර් වුනත් , සීමා සහිත දත්ත උඩ  මෙවැනි සටහනක් වැරදීමේ සම්භාවිතාවක් ද ඇත . ඒ අනුව මේ සටහන කියවීමෙන් , ඇතැමෙක් තුළ ඇති වන නිගමනය වැරදි වීමේ අනුමානයක් ඇත. ඒ නිසා ඈ වෙනුවෙන් කරන්නට තිබු යමක් සිදු නොවීමට  ඉඩක් ඇත ( ඉතා සුළු සම්භාවිතාවයක් වුව , සම්භාවිතාවයක් ඇත ) . ඒ අනුව මා වරදක් කර ඇත . ඉන්පසු මා ඉනික්බිති පියවර තෝරා ගත යුතුය .
මෙවැනි අවස්ථා වලදී මා උතුරු තරුව ලෙස යොදා ගන්නේ , "මාගේ දරුවා පැමිණ ඔහු/ඈ අතින්  මෙවැනි දෙයක් වුනා , දැන් මක් කොරන්න ද " කියා ඇසුවොත් මගේ උපදෙස කුමක් දැයි කියා සිතීමය . පැත්ත ගියත් වරද පිළිගැනීම හැම විටම මා උපදෙසයි ( ඉන්,  මා පරහට ඔවා  දෙන්නේ , හැම  විට සම්මතයේ පිහිටා යයි, වරදවා තේරුම් නොගන්න ) . නමුත් මා  නිදහසට කරුණු නොකියන්නේ  , සමාව නො අයැදින්නේ මා නිවැරදි නිසා නොව ඉන් පලක් නැති බැවිනි 

 මා මේ ටික ලියුවේ , ඇනෝ ප්‍රතිචාරයෙන් මා අධික කම්පනයට පත් වුන නිසා නොව , එයින් මා තව ටිකක් හිතන්නට යොමු වූ බැවිනි . ඒ සිතුනු දේත් පහතින් සඳහන් කරමි . පහත දක්වන්නේ සංසිද්ධි කිහිපයකි ..පුද්ගලත්වය පොඩ්ඩක් පැත්තකින් තියා සංසිද්ධිය ගැන පමණක් මොහොතකට හිතන්න .. මට සිතුන දේ වරහන් අතරය . 


  • "මට දැන් හිතෙනවා , අපේ කාලේ වැරදි කලා , වැරදි වුනා කියලා , ඒත් ඒ කාලේ අපි ඒවා දැනන් හිටියේ නෑ
    (
    මෙහිදී සිදුවී ඇත්තේ , වරද ට්‍රාන්ස්ෆර් කිරීමකි . "හරකෙක් නෑනේ මා ළඟ , කඹයනේ  අල්ලන් ඉන්නේ" කියා සුනිල් කීවේ මෙවැනි දේකට දෝ )
  • " පොලීසියෙන් ගුටි කන්න බැරි කමට මම වරද පිලි ගත්තා "
    (
    මෙවැනි විටෙක වරද ඉතුරු වී , වරද කරුවෙක් නැතිවේ . දැන් හිතන්න , අපිට වැරදි කරුවෙක් නැතිව , වරදක් තිබුනාට වැඩක් නැත . ඒ අපේ ප්‍රමුඛතාවය වැරදි නිවැරදි කර ගැනීමට වඩා වරදට දඬුවම වෙන නිසාද , නැතිනම් වරද කරුවෙක් නැතිව , වරදට හේතුවක් , වරදක් , වරද නිවැරදි කිරීමක් , වරද නිවැරදි කිරීමේ මගක් නැති නිසාදෝ කියා විටෙක සිතේ . එහෙමත් නැතිනම් මෙය අර සාපේක්ෂතාවය පිලිබඳ ප්‍රශ්නයක්දෝ ( අයෙක් නැති තැන සාපේක්ෂතාවය සදා ගත නොහැකිය ) කියා සිතේ.)
  • "දැන් ඇමති තුමා කියන්නේ ,  රජයේ සේවකයෙක්  මේ පඩි පත අරන් රජයේ බැංකුවකට හෙට ගියොත් , මේ මුලික වැටුප විතරක් නෙවේ මේ අයවැයෙන් එල්ලපු දීමනාත් සලකලා බලලා ණයක් දෙනවා කියලාද ?"

    "නෑ හෙට ඉරිදානේ බැංකු වහලා "

    (
    වරද + වරද = නිවැරැද්ද )
  • "අපේ දහමේ ප්‍රශ්නයක්  නෙමෙයි මේක . මොකද අපේ ආගමේ තියෙන්නේ මේ වගේ වරදකදී , අයෙක් දඬුවම් ලැබීම අවම කරන්න . මොකද හතර සැරයක් වරද පිළිගන්න ඕනේ . ..."
    (
    කරද්දී වරදක් බව නොසිතුනු,  දඬුවමද මරණය බව දත් , වරදක්,  අයෙක් පිළිගන්නේ අදෘශ්‍යමාන දෙවියෙක් පිලිබඳ ඇති මාරාන්තික බය නිසාම නොවේද ?.
    මිනිසා බය වෙන්නට මිනිසාම සදා ගත් , බය නිසාම පැවතෙන කිසිම දෙයක් මිනිසාට අවශ්‍යද ?)

07 December 2015

උන්න හැටියට මලා මදැයි

නිහඬ අඳෝනාවේ , 
තුනී පට ඉරා 
වැස්සා , 
මුරුගසන් ගල් වරුසා 
ගිය සිකුරාදා 

උඹේ සුසුමේ වේදනාව 
සප්ත සයුර පසුකර විත් 
හීරුවා 
පපු කැනත්තත් 
ගැඹුරට 

ඒත් 
තුවාල වේලෙනවා 
කැළැල් තිබුනත් 
මූණු අමතක වෙනවා 


උපන්දා සිට විඳි  දුක් 
නිමා කරන නියා 
කබලෙන් ලිපට පැන්න 
නමක් නැත්ති 
නුඹ 
සැතපෙන් සමාදානෙන් 
දැන් 
උන්න හැටියට 
මලා මදැයි 
සිතා 

03 December 2015

සහෝදරී

සහෝදරී 

මම මේක උඹට වගේ ලියෙව්වට , උඹට මේක කියවන්න නොලැබෙන බව දන්නවා . ඒත් එහෙම ලියන්නේ මගේ හිතේ ඇති කම්පනය පොඩ්ඩක් තුනී කර ගන්න හිතාගෙන .

හෙට දවල්ට ඔහේට ගල් වරුසාවක් වහින්න නියමිතයි ලු . ඒත්  අහසින් නෙමෙයි.  අන්  ලඳක් දිහා හොරෙන්වත් නොබලපු , අන්සතු ලඳක් අතින් වත් නොඅල්ලපු , අන් සතු ලඳක් හා සිතින් වත්  රමණය නොකළ , කොටින්ම රහසින් වත් පව් නොකළ ශුද්ධවන්තයන්ගේ අත් වලින් ගන්න ගල් අහුරු ,  ඉණට උසට වැල්ලෙන් හිර කල උඹ දෙසට යොමු වේවි . ඒ ගල් වැදී   උඹේ හිස් කබල පුපුරාවී . ඉන් ගලන රුහුරු ගිනියම් කතර වැල්ල පොඟවාවී . 

උන් නීතී පොතේ උඹ පව් කාරියක් . මිනිමරලා , හොරකම් කරලා , කුඩු විකුනනලා නෙමෙයි .... හිතේ හැඟීමට ඉඩ දුන් පවට .. එහෙත් මෙහෙ වගේම , නිතීය සැමට සමානයි , ඇතමෙකුට එය වඩාත් සමානයි . මොනවා කරන්නද .

මම නිකන් බොරුවට ලියන්නේ නෑ උඹේ ජීවිත කතාව මට තේරෙනවා කියා , උඹේ දුක මට තේරෙනවා කියලා . හැබැයි මට ටිකක් දුරට හිතා ගන්න පුළුවන්. උඹ අරාබියට ගියේ ජොලියට නොවන බව නම් මට හොඳටම විශ්වාසයි . උඹේ පවුලේ විස්තර මම දන්නෙත් නෑ . ඒත් උඹේ මේ ඉරණම ගැන දුක් වෙන කඳුළු බොන කවුරු හරි ඇති. උන්ගේ වේදනාව තරම් නොවුනත් මගේ හිතෙත් මොකක්දෝ ලොකු බරක් එල්ලිලා .

හයිවේ වල ඇරලා යන්න වාහන වලට තෙල් ගන්න , සුපර් මාර්කට් වල කාට් පිරෙන්න දා ගන්න පිටරටින් බඩු ගෙන්න , කොටින්ම කන්න බොන්න මේ ඔක්කොටම වියදම් කරන්නේ උඹලා වහල්  සේවය කරලා එවන කඳුළු ඩොලර් තමයි වැඩි හරියක් . ගොඩක් නෝනලාට මහත්තයාලට ඒක  අමතක වෙනවා සහෝදරී .(උඹේ ජීවිතේ මම ගෙවලා නැති උනත් , මම ඒ බව දන්නවා .) කොණ්ඩයා එල්ලන්න දහසක් මොර ගාපු , ප්‍රංශ කොඩිය මුහුණු පුරා එල්ල ගත්ත දේශයක , උඹ ගැන සිහින් කෙඳිරිල්ලක් වත් නැත්තේ ඒ නිසා වෙන්නැති . 

උඹ ඕවා හිතට ගන්න එපා . දුක හිතෙනවා විතරයි . අම්මපා මට නම් ලැජ්ජයි මම ගැනම . විලි ලැජ්ජයි අපේ දුප්පත් කම ගැන , අපේ අසරණ කම  ගැන . මොකටද බන් ආණ්ඩුවක් , සමාජයක් , ඩයස්පෝරාවක් , ජාතිකත්වයක් , රටක් අසාධාරණ අමනුෂ්‍ය නීතියක් නිසා මරන්න යන එක ගෑණියෙක් වත් බේර ගන්න බැරි 

හෙට දවල් , උඹ දිගු සුසුමක් අරන් ඇස් දෙක වහගනින් තදට . ප්‍රාර්ථනා කරපන් ආයේ දුප්පත් වෙලා , ගෑනියෙක් වෙලා,  ලංකාවේ නම් ඉපදෙන්න එපා කියලා . 

සහෝදරී උඹට හෙටින් මතු දුක් නැති වේවායි පතමි . 


පලි : සාමාන්‍යයෙන් මෙවැනි දේ ගැන සටහන් නොලියන මුත් , මේ සිද්ධිය මා සිත තදින්ම කම්පනය කරලා . ඉතින් මොනවා හරි ලියන්නම වුනා 

02 December 2015

පොලිස් තේ සහ නොබෙල් සාම තෑග්ග

ඇස්වාට්ටුවට  නුදුරු සුප්‍රකට මුස්ලිම් හෝටලයකි . පාන්දර යාමයේ මිරිස් හොදි සමග පරාටා ඩයට් එකකට හෝ ලයිම් ජූස් වීදුරුවකට මෙතන වාහන නවත්වන්නෝ බොහෝය . එනමුදු එය තරමක් අවදානම් සහිත වන්නේ මේ අවට ගැවසෙන පොලිස් නිලධාරීන්ට අසු වුව හොත් බැලුම් පිම්බීමට සිදුවන බැවිනි. 

මීට අමතරව  මේ ස්ථානය රෑ පාරේ හිටගෙන නිදි මරන ට්‍රැෆික් පොලිස් නිලධාරීන්ගේද  , අර හතරයි තුනයි තුනයි ....... තුනයි කාර් වල රවුම් යන පොලිස් නිලධාරීන් ගේද මහන්සිය නිවාලන , තේ පවස  නිවාලන සුප්‍රකට නැවතුම් පොළකි  . පොලිස් ආඥා පනතේ ලියා ඇති අයුරින්ම දෝ , ඔවුන් ඒ සඳහා මුදල් නොගෙවීමට වග බලා ගනිති .
පොලිස් නිලධාරින් , තොප්පි අතට ගෙන "හෝටලේ දොරෙන් ඇතුල් වෙත්ම වේටර් වරයෙක් ඉතා ගරුසරු ඇතිව " ආ එන්න සර් වාඩිවෙන්න " කියා සුදුසු අසුනක් පනවයි . ඉන්පසු "සර්  මොනවද බොන්නේ , තේ කක් ? "  කියා අසයි . ඉන්පසු මුළුතැන්ගෙයට උස් හඬින්  විධානය දෙන්නේ "පොලිස් ටී එකයි " කියාය . පාරිභෝගිකයා සිතන්නේ , ඒ ඇනවුම , තම වැදගත් කම දත් ආයතනය , තමන් වෙනුවෙන්ම සැදු , වැඩි සීනි , වැඩි කිරි , ඉස් ස්පෙසල්  ටී එකක් උදෙසා කියාය.

එක් දිනක් , මේ හෝටලය කුඩු පට්ටම් කර තිබුණු . වටින් ගොඩින් කට කතා පැතිරුනේ ,  මෙය පොලිසියෙන්  කළ  බවකි . ඒ මේ පොලිස් ටී එකේ රහස ආරංචි වූ  නිසාවෙන් යයි කියැවුනි 

සාමාන්‍යයෙන් , ප්ලේන්ටී කෝප්පයක අඩියේ ඉතුරු වෙන අඟල් කාල , කිරි තේ කෝප්පයක අඩියේ ඉතුරු වෙන "මැනර්ස් " ටික , පරිස්සමෙන් ජෝග්ගුවකට දමා තබා ගෙන  පොලිස් තේ හැටියට යළි පිලිගැන්නු බව,  ඒ රහසයි .

පහුගිය දිනෙක මා ඇස  ගැටුණු පුවතක තිබුනේ , ඇමති වරයෙක් පාර්ලිමේන්තුවේ දී "ජනාධිපති තුමාට , ප්‍රධාන පක්ෂ දෙක එකතු කිරීමේ වික්‍රමය වෙනුවෙන් නොබෙල් සාම ත්‍යාගය සඳහා නිර්දේශයක් ලැබෙන්නට යන බව"   පැවසු බවකි .

මට එක්වරම සිතට නැගුනේ  "ව"යන්න "ද"යන්න හල්"ෆ"යන්න යන ඉංග්‍රීසි වදනය . වාසු පමණක් නොව , දැන් අනිත් උන් ද පාර්ලිමේන්තුවේ තිත්ත කුණුහරුප කියන්නට පටන් ගෙන ඇත . ඉන් පසු මට එක වරම ඉහත කී පොලිස් තේ කතාව සිහි විය .

පලි : කොහොමත් ඔය නොබෙල් සාම තෑග්ග , පොලිස් තේ එකක්ම තමා කියායි  මගේ නම් අදහස . .. අර බැරැක්  කාරයට , උදේ පාන්දරම ඕක දීමෙන් ඒ අදහස මට නම් ස්ථිර වුනා .