27 August 2017

හර්ෂගේ දුක

පහුගිය සතියේ හර්ෂ, රූපවාහිනියේ තමන්ගේ දුක කියලාය . ආවේගයෙන්ම කියලාය . මේක මහ හොර රටක් ඕයි කියලාය . මේ රටේ ඔක්කොම , ( අහම් අහම්.. මම ඇරෙන්න ) අමු තක්කඩියෝ ඕයි කියලාය 

අනිත් එවුන් හතර දෙනාත් ,ඔව් ඕයි  අපි ඇරෙන්න ඔක්කොම එවුන් මහා හොරු කියන්නට මෙන්  , ඔලුව වනලාය . 

ඊට පස්සේ හතර දෙනාම සුදේව ගේ මුණ දිහා බලා " හොර ගෙඩියා ..ගෙනියනවා එෆ් සී අයි ඩී " කියලා හිනා වෙන්නත් ඇතිය .

මහින්ද ගේ සමයේ මහින්ද මුලින් කීවේ එක්කෝ යුද්දේ නැත්නම් නීතිය , දෙකම බෑ හාන්දුරුවනේ   කියාය . මම යුද්ධ කරලා නැති නිසා ඒක එහෙම වෙන්න ඇතැයි  සිතුවෙමි. ඊට පස්සේ කිව්වේ එක්කෝ සංවර්ධනේ නැත්තනම් නීතියේ ආධිපත්‍යය , දෙක එකට බෑ ඕයි හාන්දුරුවනේ  කීය . මම රටක් සංවර්ධනය කරලා නැති නිසා , සාපෙ සමාජ අධ්‍යනයත් යාන්තම් ජාමේ බේරා ගත්  නිසා ඒකත්  එහෙම වෙන්න ඇති ඕයි කියා සිතුවෙමි .

යහපාලනය ඇවිත් කීවේ , හොරු අල්ලන්නයි , ආණ්ඩුව ගෙනි යන්නයි දෙකම එකට නිකන් බෑ  වගේ හිටං  කියලාය . . ඊට පස්සේ කිව්වේ ණය  ගෙවන්නයි හිටං යහ පාලනෙයි හිටං දෙකම එකට බෑ  ඕයි  කියලාය . ආණ්ඩු කෙරිල්ල , යහපාලනේ ගැන මා දන්නා තරම ගැන සිතා, ඒවා එහෙම වෙන්න ඇතැයි  සිතුවෙමි . 

අරුන් ඔක්කොම හොරු ඕයි ,  ඒත්  දඬුවම් කරන්න සාක්කි නෑ ඕයි කියනකොටනම්  , එහෙනම් හොරා කියන්නේ කොහොමද මහත්තයෝ  කියන එක මට ප්‍රශ්නයක් විය .
 සාක්කි එළිවෙන කොට ජෙන්ටල් මෑන් කෙනෙක් වගේ විත් ප්‍රයිඩ් අස්වෙන කොට   , දැන් කේස්  ක්ලෝස්ද ආයිබෝං කියා පැනයක් සිත නැගුණි 

හැබැයි මේ හර්ෂ ගේ කතාව මාව අන්දුන් කුන්දුන් කළේය . හර්ෂ කියන්නේ මේ රට මහා හොර රටක් . ඒ නිසා දේශපාලකයන් ගේ හොර කම් වලට ඇඟිලි දික් කරන්න සදාචාරාත්මක අයිතියක් ජනතාවට නෑ  කියා ද ? ලෙඩුන් බලන වෙලාවට පස්සේ වාට්ටුවට යන්න සිකිරුටියාට  නෝට්ටුවක් අත  මිට මොළවන ජේමිස්ට , රවී ගේ පෙන්ට්  හවුස් එක ගැන අහන්න සදාචාරාත්මක අයිතියක් නෑ  කියලද ?

හොරුන්ගේ චන්දයෙන් , හොරුන්ගේ නියෝජිතයෙක් ලෙස පත්වෙන කොට හර්ෂගේ මේ ඩිස්ගස්ට් එක තිබුනේ කොහෙද ? මේ කියන්න හදන්නේ හොරුන්ගේ දේශයේ , හොරුන්ගේ නියෝජිතයන්ට , හොරකමට ලයිසොන් ඇති බවද 
නැතිනම්  ධනය , කුලය  , උගත්කම යන හරස්කඩ උඩ පන්ති ක්‍රමය පවත්වාගෙන යමින් ඒ මගින් බලය ගොඩ නගා ගන්නා සිස්ටම් එකේ , දැන් සදාචාරත්මක බව (moral value ) එක මත උඩත්  පන්ති ක්‍රමයක් ස්ථාපිත කරන්නද . අන්ධයන්ගේ ලෝකයේ එකැස් මිනිහා රජෙක් කියන්නද 
නැති නම් උනුත් හොරු , මුනුත් හොරු , අරුනුත් හොරු  තමයි ඕයි  , හැබැයි අල්ලන්න නම්  සුවඳ සබන් ගාලා , කැළණි ගඟෙන් නාලා පේවෙලා, (පොඩ්ඩක් රෑ වෙලා  ) එන්න කියා කියන්නද 

20 August 2017

පොලීසියේ භාවනා පංතිය , හෙළුවෙන් නැටීම සහ හෙළුවට හිනා යාම

මේසයක් ඉස්සරහ පුරුදු කට්ටියක් වාඩි වෙලා ඉන්නවා .  මැද  ඉන්නේ කැබිනට් ප්‍රකාශකයන් . දෙපැත්තේ නිකන් සැරියුත් මුගලන් වගේ ආමි එකෙනුයි පොලිසියෙනුයි . ඉස්සරහ ඉඳගෙන ප්‍රශ්න අහන්නෙත් පුරුදු කට්ටියම තමා . විහිලු ප්‍රශ්න අහනවා විහිලු පිළිතුරු දෙනවා ... උන්ගේ ජෝක්ස් වලට උන්ම හිනා වෙනවා .

පොලීසියේ භාවනා පංති .. කණ  පැලෙන්න දෙකක් දී , සිත ඒකාග්‍ර කිරීම .... නිවන් දැක්කීම ....මජ්ජ පමා දට්ඨානා වේරමණී ...පොලිස් මාජ්ජ ප්‍රකාශක ජෝක්ස්  එක උඩ එක ගොඩ ගහනවා ...කාගේදෝ හෙළුවක් පෙනෙනවා 
උත්තර දෙන අයත්  හිනා වෙනවා , ප්‍රශ්න අහන උනුත් හිනා වෙනවා ...අපි ???  ...අපිත් හිනාවෙනවා 



***
ස්ට්‍රීප් ක්ලබ් එකක ( ඔව් ඔව් අර ගෑනු වේදිකාවක් උඩට නැගලා ඇඳි වත  , සංගීත රිද්මයට ගලවලා හෙළුවෙන් නටන්නේ  ) , වේදිකාව මත  ගැහැනියක්  රෙදි ගලවන කොට , ඉස්සරහ ඉඳ ගෙන ඉන්න පිරිමි ..

පොඩ්ඩක් කතාවෙන් එලියට පනින්න අවසර .. අතුරු කතාවක්  මතක් උනා 

ඉස්සර යතාර්තවාදියෙකුගේ කතා කියලා කතා ලියාපු නිහාල් , මේ වගේ කතාවක් ලියලා තිබ්බා . මේ වගේ තැනකට ගිහිල්ලා ඇවිල්ලා ඇතිවුන පස්චාත්තාපය ගැන . නිහාල් දැන් ලියන්නේ නෑ .. ඒත්  වෙන අවතාරයකින් සැරිසරනවද  කියන්න මම දන්නේ නෑ ..

නැවැත්තුවේ වේදිකාව ඉස්සරහ ඉන්න පිරිමි ගැන කියලනේ .. ඉතින් පිරිමි , මනසින් අනේකවිද දේවල් කරන ගමන් , හිතන්නේ අර ගෑනි තමයි   හෙළුවෙන් කියලා ... ඒත්  ඒ වේදිකාව උඩ  රෙදි ගලවන ගැහැණිය දන්නවා , හෙළුවෙන් ඉන්නේ වේදිකාව යටට වෙලා බලන් ඉන්න එවුන් කියලා 

***

අනුන්ගේ හෙලුවට හිනා වෙන අපි, හිනාවෙන්නේ උගේ හෙලුවට නෙමෙයි , 
එක්කෝ අපි හෙළුවෙන් ඉන්න බව අමතක කරන්න,  නැත්නම් අපි හෙළුවෙන් ඉන්නවා මතක් කරලා ... අපි හෙළුවෙන් ඉන්නකොට කොච්චර විහිලු සහගතද කියලා හිතිලා 

13 August 2017

ගෑනු පිරිමි , සිංහල දෙමළ සහ විජේදාස රාජපක්ෂ (එකයට රත්නේ සමග සල්ලාපයක්)

මචං  මේ 

ඕ 

අනාගතේ මිනිස්සුන්ගේ ආයුශ  අවුරුදු එකසිය පනහ දෙසිය වෙනවා කියන්නේ 

ඔව් ඔව් පන්සලේ හාමුදුරුවොත් කිව්වා 

ඒ විකාර නෙමෙයි , දැන් කෘතීම ඉන්ද්‍රියන් , අවයව වවන්න ගත්තම , ඒවා බද්ධ කරන්න ගත්තම , දිගටම අලුත් වෙවි ජීවත් වෙන්න පුළුවන් වෙයි . එතකොට  මරණය කියන්නේ චොයිස් එකක් වෙනවා 

අනේ උඹේ එක යට කතා 

මචන් එතකොට සෙක්ස් මොනවගේ වෙයිද 

ඒ කිව්වේ 

නෑ මං කිව්වේ දැන් මේ අවුරුදු තිහ හතළිහේ කසාද වල ඇතුලෙත් ඩිස් ඩි ඩි  ඩින් බෝරින් වෙන එකේ ..අවුරුදු දෙසීයක් තිස්සේඕක කොහොම කරන්නද ..

මම හිතන්නේ මිනිස්සු බහු විවාහ සංස්කෘතියකට මාරු වෙයි 

එහෙමත් වෙයි ... නැත්නම් එකම විවාහය ඇතුලේ  ලිංග විපර්යාස වෙයි 

ඒ කිව්වේ 

ඒ කිව්වේ මුලින් අම්මා ළමයි දෙන්නෙකුට පස්සේ , තාත්තා වෙලා ...තාත්තා අම්මා වෙයි 

හිහි ... අර ගමේ ඉස්කෝලේ මනමේ ප්‍රොඩක්ෂන් එකේ තුනයි තිහේ වැදිරජා හයයි තිහේ ෂෝ එකට මනමේ කුමාරිට ඇන්දා වගේ 

එහෙම වුනාම ඔය ස්ත්‍රීවාදය , පුරුෂාධිපත්‍ය ඔක්කොම අහෝසි වෙනවා 

හිහි 

මචං  ඇත්තටම ලංකාවේ ඕක කරන්න ඕනේ ජාතිකත්වයට ... හැම පුරවැසියෙක්ම මුල් අවුරුදු දහයක් සිංහල  ඊට පස්සේ අවුරුදු දහයක් දෙමළ  ආයේ අවුරුදු දහයක් මුස්ලිම් ...ජාතික ප්‍රශ්නය අහෝසියි 

පිස්සු කතා .. එතකොට ජාතික අනන්‍යතාවය අච්චාරුවක් වෙනවානේ ...

ඉතින් හොඳයි නේ 

අනේ පලයන් .. දැන් ඔය වගේ ඒවා කොහේද වෙන්නේ
... ඒක නෙමෙයි උඹ හිතන්නේ විජේදාස රාජපක්ෂ මොකාටද එන්න හදන්නේ