28 January 2017

විහිලු සැපයීම ඊස් අ මල්ටි ප්ලේයර් ගේම්

මුලින්ම  මම විහිලුවක් රූපවාහිනියේ දැක්කේ අසු ගණන් වල . මාසික විවිධ ප්‍රසංගයක් .  සැමුවෙල් ඇනස්ලි බර්ටි ඇවිල්ලා , විනෝද සමයක් කළා . ( ඒ වැඩසටහනේ නම මතකෙට එන්නේ නෑ එකපාරට .. ලියාගෙන යනකොට මතක් වෙයි ) . 
මට මුලින්ම හිතුනේ මේ එක විහිළුවක් කරන්න තුන් දෙනෙක් මොකටද කියලා . එකෙක් ප්‍රශ්න අහනවා , අනිකා උල්පන්දම් දෙනවා , තුන්වෙනි එකා ජෝක් එක කරනවා .  සමහර වෙලාවට ප්‍රේක්ෂකයා මුලින්ම ප්‍රශ්නේ අහනකොටම හිනා වෙනවා , ඒක  ජෝක් එක කියල හිතලා. උල්පන්දම් ලැබෙන කොට සභාවේ සිනා බෝ වෙනවා . පස්සෙන් පහු   ඇත්තටම ජෝක් එක කියපුවහම , හිනා , ඉවර වෙලා (එතකොට හිනා වෙන්නේ අර ප්‍රශ්නේ අහපු එකයි , උල්පන්දම් දුන්නු එකයි විතරයි ) . 

අසූව දශකයේ . තරුණ සේවා සභාව නැගලා යන කාලේ , වොලිබෝල් වසන්තයක් උදා වුනා . රූපවාහිනියේ මුළු දවාලේම වොලිබෝල් මැච් පෙන්නුවා ...නාත්තන්ඩිය ධම්මිස්සර ... ගම්පහ දිලෙන තරු ... මම පිස්සෙක් වගේ ...පිස්සෙක් වගේ .. මේ තරඟ  බැලුවේ ( හික් හික් ). .. අන්න එතකොට තමයි අර විනෝද සමයේ සිද්ධියේ , සිද්ධාන්තය මට තේරුනේ .. එකෙක් උස්සලා දෙනවා , අනෙකා සෙට් කරනවා .. ඩෑෂ්  එකට ..


ලංකාවේ විහිලු කාරයෝ ඔක්කොම මෙහෙමයි කියලයි මට හිතෙන්නේ .. දැන් බලන්න , පොඩි මල්ලිට චූටී මල්ලි ඉන්නවා , ටෙනිට බන්දු ඉන්නවා , සිරිසේනට රනිල් ... 
පස්සේ කාලේක , දේශපාලනය පාර්ලිමේන්තුවෙන් ටීවී එකට ඇවිල්ලා , ජෝක්ස්  ටීවී එකෙන් පාර්ලිමේන්තුවට ගියා . ඒත් අර සිද්ධාන්තය තාම වලංගු බවයි පෙනෙන්නේ .  පොලිටික්ස් වනාහී ඉස්පෙක්ටේටර් ඉස්පෝර්ට්ස් එකකි . විහිලු සැපයීම මල්ටිප්ලේයර් ගේම් එකකි 

උදා 1 
සමලිංගික විවාහයන් ගැන පනතක් කැබිනට් මණ්ඩලේකට ගේන කොට .  ඒකේ දී ඒ පනත හාස්‍යයට ලක්වෙන කොට . විහිලුව සෙට් වෙනවා 

ඊට පස්සේ ජනාධිපති කෙනෙක් , හාමුදුරුවෝ මුල් පුටුවල තියාගෙන  " සමලිංගික පනත මම විසික්කා කළා හිටං "  කියන කොට . ඩෑෂ් එකට බොලේ ඉස්සිලා .

කවුරුවත් දන්නේ නැතිව , ඔය පනත සම්මත වෙනකොට . මමත් පත්තරෙන් තමා දැක්කේ කියනකොට . එහෙම නැත්නම් සංස්කෘතියත් ආරක්ෂා කොරගෙන ජාත්‍යන්තර නඩුකාර උන්නාන්සේලා දාමු හිටං කියනකොට  .... අන්න පින්වත්නි ජෝක්ස් එක .


උදා 2 
..බත් ඇට නැත්නම් , කාපන් 
කොස්කොල ,කොස්කොල , ක්‍රෝටන් මලවාලා ...කියලා කෘෂි කර්ම අධ්‍යක්ෂක කියනකොට 

කෘෂිකර්ම ඇමතියා , නිස්සබ්දව ඉද්දී , ඒ කියපු නිලධාරියාගේ , කටේ ඔබනවා ක්‍රෝටන්  කියලා සෞඛ්‍ය ඇමතියෙක් කියද්දී,  මිනිස්සු හිනාවෙලා ඉවරයි .

ඒත් , ඔන්න ජෝක්ස් එක එන්නේ, නියඟේ එනකන් , ආණ්ඩුවත් අපිව හිනා ගස්ස ගස්ස ඉඳලා , අපිත් හිනාවෙවී ඉඳලා අර පළඟැටියට වෙච්ච  එකේ අනික උනාම . කන්න වෙන්නේ අර කෘෂිකර්ම අධ්‍යක්ෂකව තමා මරා ගෙන  . 

උදා 3
පාර්ලිමේන්තුවකදී  සීයා කෙනෙකුගේ  කට අවුස්සා ගන්නකොට  ... ඉන් පසු නියෝජ්‍ය ඇමති කෙනෙක්  " කුණුහරුප කියන එක හරි නෑ  නේද"  කියා අසනකොට... 

ඉන්පසු සීයා 

" ඉතින් **තෝ , මම නෙමෙයිනේ මුලින් $#@ %^&  *&^%$ කිව්වේ , අර ප %$ නේ කිව්වේ " කියන කොට  , මිනිස්සු හිනාවෙලා ඉවරයි ... ඒත් අර විවාදයේ දී , හරකා මස් වුනාට , හරක් හොරෙක් නැත කියන, ජෝක් එකේ පන්ච් ලයින් එක,  ඒ සිනා හඬ නිසා නෑසුනි 


උදා 4

හොරා හොරා කිව්ව එකෙක්ව ගෙන්නා ගෙන ෆැක්ටරියක් දාන කොට . එකේ මුල් ගල තියන්න අගමැති කෙනෙක් යනකොට . 
"අගමැති තුමා බබා ඒක දැනන් හිටියේ නෑ" කැබිනට්‌ ප්‍රකාශක කෙනෙක්  කියනකොට . මිනිස්සු හිනාවෙලා ඉවරයි.

මේ විහිළුවේ නම් පන්ච් ලයින් එක තාම ඇවිත් නෑ  



...ආවා ආවා ...නෑ  නෑ පන්ච් ලයින් එක නෙමෙයි ... අර වැඩසටහනේ නම මතකෙට ආවා .. 


නන් දන වින්දන ...

20 January 2017

සුවාදීන සුවාරිස්

ඔබේ නම 

සුවාදීන සුවාරිස් 


ඔබ කුඩා අවධියේ සිටම සුවාදීනද 

ඔන්න මම පොඩි කාලේ අපේ තාත්තා මාව කඩේ යවනවා බීඩී  ගේන්න . මම ආසයි , මොකද ඉතුරු සල්ලි වලින් මට බුල්ටෝ කන්න පුළුවන් . අම්මා බනිනවා බීඩී ගේන්න ගියොත් බලාගෙනයි කියලා .
මට තාත්තාගේ වැඩේට විරුද්ධ වෙන්නත් බෑ , අම්මට විරුද්ධ වුනොත් බැටේ හම්බුවෙනවා .  මම කල්පනා කරලා සුවාදීන තීරණයක් අරගන්නවා සුවාදීන වෙන්න . තාත්තාගෙන්  සල්ලි අරගන්නවා , කඩේ යනවා . බීඩී  ගේන්නේ නෑ  සල්ලි ටික සාක්කුවේ දා ගන්නවා .

කොහොමද ඔබේ පාසැල්  ජීවීතය 

ඒ දවස් වල ඉන්ටවල් එකට අපි ග්‍රවුන්ඩ් එකේ ක්‍රිකට් ගහනවා . අපි මුලින් බැට්  කලොත් , ෆීල්ඩ් කරන්න එනකොට , මම සුවාදීන වෙනවා , එතකොට බෝල අහුලන්න ඕනේ නෑ .

ආයේ අපේ කණ්ඩායම පැරදුනොත් , මම සුවාදීන වෙනවා . එහෙම වෙලා දිනපු එවුන් එක්ක පැරදිච්ච එවුන්ට නක්කලේ දානවා 


 ඔය සුවාදීන කියන තැන් වල තියෙන්නේ  කිව්වා වගේ සුවාදීන වීමක් ම තමයි කියලයි රට්ටු කියන්නේ 

අනේ උන්ගේ අම් ... නෑ  මං කියන්නේ මෙතන තියෙන්නේ යථාර්ථය  නොතේරීම නේ . දැන් බලන්න සුවාදීන රූපවාහිනිය . කාලෙකට අරහෙම සුවාදීනයි , කාලෙකට මෙහෙම සුවාදීනයි . සමස්ථයක්  හැටියට බලන්න ඕනේ 


දැන් මේ සුවාදීන වෙන එක පොඩ්ඩක් ට්‍රෙන්ඩ් එකක් වෙලා නේද ? අපි දැක්කා ටික දවසකට කලින් රතන හාමුදුරුවොත් සුවාදීන වෙනවා 

 මම හාමුදුරුවන්ට කෝල් කළා . පෝන්  එක එන්ගේජ් . පස්සේ ආයේ කෝල් කළා . ඔන්න "රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ " කියලා රිංගින් ටෝන් එක ඉවර වෙන්නත් ඉස්සෙලා උන්නාන්සේ ආන්සර් කළා  .  කිව්වා " මම මේ වෙලේ ඉඳන් ගොඩට ආවා විතරය , සිවුරෙත් මඩ ගෑවිලා , හෝදා  ගන්න හදන කොටම  රාජිත ඇමතිතුමා කෝල් කළාය  ඒකයි එන්ගේජ් වෙලා තිබ්බේ කියලා 

සුවාදීන වෙන එක ගැන මොකුත් කිව්වේ නැද්ද ?

මේ විය වස්සා එක්ක  බෑ පිංවත කිව්වා , මම හිතුවා අර කුඹුරේ ඉඳන් ආපු නිසා මොකක් හරි හරක් ප්‍රශ්නයක් කියලා , බැලින්නම් වියවස්තාව 


 මොකක්ද ප්‍රශ්නේ කියලා ඇහුවේ නැද්ද 

ඇහුවා . ගොනා නෙමෙයි හරකයි බර අදින්නේ ....කිව්වේ . මට හරියට තේරුනේ නෑ 

දැන් ඔය උන්නාන්සේ සුවාදීන වුනාම , උන්වහන්සේව පත් කරපු යු ඇන් පී කාරයන්ට , එතකොට උන්නාන්සේ විශ්වාස කරපු බහු ජනයාට මොකද වෙන්නේ කියලා ඇහුවේ නැද්ද 

ඇහුවා . උන්නාන්සේ කිව්වේ... බහු ජන සුකාය , බහු ජන සිකේය කියලා 

නෑ  මම හිතන්නේ කියන්න ඇත්තේ බහු ජන හිතාය , බහු ජන සුඛාය කියලා 

එහෙමද ?

15 January 2017

කරුපයියා හෙවත් මුරුගේෂු , සමස්ථ ලංකා අමද්‍යප සංගමේ ආසියා පැසිපික් කලාපීය හොඳම ලේකම්




මේ ඉන්නේ කරුපයියා හෙවත් මුරුගේසු . පොඩ්ඩක් අශිලාචාර ගතියක් තියෙන නිසා මීට පස්සේ අපි කරුපයියා නොකියා මුරුගේසු කියමු .  එක අතකට නමක කොහෙද අශීලාචාර බවක් , අහන එවුන් ගේ මිසක් ...?   හැබැයි ඔන්න මම නෙමෙයි කිව්වේ , කිව්වේ වත්තේ මැනේජර් මහත්තයා , දවසක් .

"අයිශේ  මේ කරූ පයියා , තමුශේ ගේ නම හරි ඉන් ඩීසන්ට් නේ ...අයිශේ  තමුසේගේ නම වෙනස් කරමු ...  මීට පශ්ශේ තමුශේගේ නම  මුරුගේශු "

මුරුගේෂු කහට බැඳිච්ච දත් සෙට් එක පෙන්නා හිනා උනා පුරුදු විදියට .

මුරුගේෂු තමයි සමස්ථ ලංකා අමද්‍යප සංගමයේ ඩඩ් ඩ ඩා වතුයායේ ශාඛාවේ ලේකම් . අනෙක් අතට මුළු වතුයායටම  නෑ , කරුපයියා තරම් සුරා සොඩෙක් . හැ හ්  , එහෙම කොහොමද එහෙම උනේ ?, ඔබ අසාවී .
( මට පෙරළා  අසන්නට හිතෙන්නේ , ඔබ මැරිලා ඉපදුනේ අදද කියාය . නමුත් මේ සටහන මුලදීම වැඩේ අල නොකර ගැනීමට , එසේ නොඅසමි . ) ආශ්චර්යවත් සමයේ මෙන්ම ඉන් එපිට මෙපිට කල්හි මෙවැනි දේ නම් කෙතෙක් නම් සිදුවීද ?

මම කතාව මුල සිටම පටන් ගන්නම් .


පරවේණි උරුමයටම, කරදඬු උස්වෙත්ම  , මුරුගේෂු වත්තේ වැඩට ගියා . එදා ඉඳන් මුරුගේෂු වත්තේ වැඩ . දවසක් වැඩ වෙලාවේ , කණ සාක්කුවට වැටෙන ලෙවල් එකට බීලා තේ පඳුරකට හේත්තු වෙලා නිදා ගෙන ඉන්නවා අහුවෙලා වැඩ  තහනම් වුනා .  ඊට පස්සේ ටවුමේ සමුපකාරේ වැඩට ගියා . මුලින් මුලින් උනේ  මුට්ට අදින්න . පස්සේ බඩු කිරපු එකා ගැන මැනේජර් මහත්තයාට කේලමක් කියලා , උගේ රස්සාවට කෙලලා , මුරුගේෂු බඩු කිරන්න පටන් ගත්තා . අම්මපා තරාදිය පිටිපස්සේ ඉන්නකොට නිකන් මාර මෙව්වා එකක් තිබ්බේ , මුරුගේශුගේ .


"ඒ මුරුගේසු මෙතන තමුසේ වැඩ කරන තැන නේ , අස් පස් කරලා පිරිසුදුව තියාගන්නවාකෝ " සමුපකාර මැනේජර් මහත්තයා සතියකට තුන් හතර සැරයක් මතුරනවා . 
මුරුගේෂු සුපුරුදු ලෙසම  "හරි සර් " කියලා කහට දත් සෙට් එක පෙන්නලා හිනා වෙනවා .

කොස්සක් අත  නොගැසුවත් , දුවිල්ලක් නොපිහිදුවත් ,   කාලයාගේ ඇවෑමෙන් මුරුගේෂු රාක්ක සුද්ද කරන්න නම් ටිකෙන් ටික  පටන් ගත්තා . ගෙදර යනකොට හොඳ කරෝල කෑල්ලක් , සීනි පන්සීයක් ඔතා ගෙන ගෙදර ගෙනිච්චා . කිරි ටින් හන්දියේ කඩේට වික්කා . පස්සෙන් පහු කැෂියර් ලාච්චුවටත් බැස්සා . 
 වැඩේ අහුඋනා , ඒ රස්සාවත් නැති උනා . මුරුගේෂු ආයේමත් වත්තේ වැඩට ගියා .

ඔන්න ඔය කාලේ තමයි , වත්ත අයිති කොම්පැනියෙන් වතු සේවකයන්ගේ සුභසාධන කටයුත්තක් ලෙස සලකා හැම වත්තකම අමධ්‍යප සංගමයේ ශාඛාවක් පිහිටෙව්වේ  ...සෙල්ලම් නෑ  සමස්ථ ලංකා ... එහෙමයි  මැනේජර් මහත්තයා උදේ පෝල් ඉන් එකේදී කිව්වේ .

සංගමයේ සභාපති මැනේජර් මහත්තයා ..දැන්  ලේකම්  කෙනෙක් තමයි අඩු ..මැනේජර් මහත්තයා ඒ තනතුරට මුරුගේෂුව පත් කලා . මොනවා කරන්නද , රස්සාව බේරගන්නත් එපා යෑ . මුරුගේශුත් කැමති උනා ,  . .. පස්සේ තමයි වැඩේ බර පතල තේරුනේ . කථා පවත්වන්නත් ඕනේ . පෝස්ටර් අලවන්නත් ඕනේ ...

සතියයි ගියේ ,  වැඩේ එපා උනා . දැන් මුරුගේසු ගේ උත්සාහය කොහොම හරි මේකෙන් ගැලවෙන්න .. වැඩ මග ඇරියා .. කොටින්ම මනුස්සයා අමධ්‍යප සංගමයේ රැස්වීමට යන්නෙත් බඹරා වගේ . 

 මුලින් මැනේජර් නොදැක්කා වගේ හිටියා .  පස්සේ රැස්වීමේදීම  ඔක්කොම ඉස්සරහ බැන්නා . ඒත් මුරුගේශුගේ ලජ්ජා නහර උපතින්ම පිහිටලා තිබ්බේ නෑ  .


පහුගිය නොවැම්බරේ  ලියුමක් ආවා. ශාඛා ලේකම්ට හරියට අකුරු බැරි නිසා ඒක කියෙව්වේ සභාපතිම තමා . දීපව්‍යාප්ත ශාඛා සංවිධාන වලින් හොඳම  ශාඛා  තෝරලා තෑගී දෙනවලු . උත්සවේ තියෙන්නේ දෙසැම්බරේ ,  කොළඹ . සභාපතිටයි  ලේකම්ටයි දෙන්නටම ආරාධනා කරලා තිබ්බා .

උත්සවේ දවසේ පාන්දරම  මුරුගේෂු කොළඹ ගියේ මැනේජර් මහත්තයාගේ ජිප් එකෙන්.

"මේ මුරුගේෂු හරියට දෙකට එනවා මෙතන්ට . අපි දෙන්නා එකට යමු හෝල් එකට .. බොන්නේ එහෙම නෑ අද " මැනේජර් මහත්තය කිව්වේ තර්ජනාත්මකව .

කිහිප සැරයක් ආසාව ආවත් , බය විසින් එය යටපත් කළා .  වෙලාව ලං වෙනකොට පපුවේ දඩි බිඩිය වැඩිවුනා . ඕ පු කියලා හිතට  දහිරිය එන්න , උගුරට වීදුරුවක් හලා ගත්තා මුරුගේෂු, මජ්ජ පමාවට.

 පහන් පත්තු කරලා , සින්දු කියලා වැඩේ පටන් ගත්තා . තෑගී ප්‍රධානෝත්සවය පටන්ගත්තා . ශාලාව ඇතුලේ මුරුගේෂු ඉඳ ගත්තේ මැනේජර් මහත්තයා ලඟම .

එක පාරටම හෙණ ගහන්නාහේ , " ...සමස්ථ ලංකා අමද්‍යප සංගමයේ ආසියා පැසිපික් කලාපයේ  හොඳම ශාඛා ලේකම් ,  ඩඩ් ඩ ඩා වතු යාය  ශාඛාවේ කරුපයියා " ලවුස්පීකරේ කෑ ගැහුවා . නමේ පුරුදු බවක් තිබුනත් එක පාරටම ඒ තමා බව මුරුගේසුටත් අමතක උනා .

" යනවා යනවා  අයිශේ ස්ටේජ් එකට "...   මැනේජර් මහත්තයා තල්ලු කළා . 
"තෑග්ග අරන් , කෙටියෙන්  ස්තුති කරලා එනවා ..මෙන්න මේක කියවනවා උඩට නැගලා" . මැනේජර් මහත්තයා හතරට නවපු කොලයක් අතේ තිබ්බා.

මුරුගේශුට හිනාවක් ගියා . හැමදාම කණ පැලෙන්න බොන . වැනි  වැනී  අමද්‍යප රැස්වීම් වලට යන,  මුරුගේෂු,  සමස්ථ ලංකාවේම ආසියා පැසිපික් කලාපයේ 
හොඳම ලේකම් වෙලා  ....

මුරුගේශු දන්නෙම නැතිව වේදිකාව උඩටම ඇවිල්ලා. මුළු ශාලාවම බලාගෙන ඉන්නවා . 

"අපරාදේ තව එකක් දා ගෙන එන්න තිබුනේ" මුරුගේශුට එකපාරටම හිතුනා . ආයෙත් මුරුගේශුට හිකිස් ගාලා හිනා ගියා .  තමාගේ ප්‍රයෝග වලට අහුවෙන මැනේජර් මහත්තයා , දෙවැනි මහත්තයා , වත්තේ උන් මතක් වෙලා .... මුන් ඔක්කොටම පයිත්තියන් , මුරුගේෂු තමාටම කියා ගත්තා .

සභාවේ සිනා එන්න එන්නම වැඩි උනා.  මුරුගේශුගේ මුහුණ වෙනස් වුනා .   හැමෝම හිනා වෙන , තමා ට නොකියූ , විහිලුවක පන්ච් ලයින් එක  තමා දෝ කියා
එවෙලේ  මුරුගේශුට හිතුනා.


08 January 2017

පොඩ්ඩා නුදුටු පොස්සගන්

පෙර කියවීම 
මේ කතාවේ කතානායක පොඩි එකාට වයස  අවුරුදු පහක් හයක් විතර. පොඩි  එකාට තිබ්බේ නැව් පිස්සුවක් . ඌ බාටා පෙට්ටි වලින් නැව් හදා ගෙන සාලේ එහෙ මෙහෙ යනවා . සීයාට කියලා කොළ බෝට්ටු හදා ගෙන ලිඳට ගිහින් දානවා . චිත්‍රයක් අඳින්න කියලා කිව්වත් අඳින්නේ නැවක් 

"අම්මපා මූ ලොකු වුනාම නැවක කැප්ටන් කෙනෙක් වෙයි "  සීයා ඔලුව අතගාලා කියනවා 

"නෑ මං තෝමාලියාවට ගීන් මුදූ ඔල්ලකාලයෙක් වෙනෝ "කියාගෙන පොඩි එකා දුවනවා 

අල්ලපු ගෙදර අයියා යන ගමන් කියාගෙන ගියේ , "ධීවර ඇමති කෙනෙක් වෙන්නත් බැරි නෑ මාමේ" කියලාය . පොඩි එකාට තියා සීයාටවත් මේ හරුපේ නම් තේරුනේ නැත .

ඒත් පොඩ්ඩා තවම   ඇත්තටම නැවක් දැකලා නැත . මේ කියන දවසේ  කට්ටියම කොළඹ එන්න ලෑස්ති උනේ පොඩි එකාට වරාය පෙන්වන මූලික පරමාර්ථයෙනි .  

ආ තව පොඩ්ඩෙන් කියන්න අමතක වෙනවාය  හැම කොල්ලෙක් වාගේ ම මේ පොඩි එකාත් නැව්  වලට අමතරව කැමැත්ත තිබුනේ කාර් වලටය . දවසක් ගම්පහ මාමාලා පොඩි එකාගේ ගෙදර ආවේ ඔවුන්ගේ කාර් එකෙනි. ඒක නිකන් ඉබ්බෙක් වගේය . 

"මාමේ මේ මොකක්ද මේ කාල් එක ? "

"මේක වොක්ස්වැගන් බීට්ල් "

"පොස්සගන් ??!!"

එදා සිට පොඩි එකාට හැම කාර් එකක්ම පොස්සගන්  එකක් විය . හදිසියෙවත් පාරේ පොස්සගන් කාරයක් දැක්කොත් , පොඩි එකාට හරිම සතුටුය . 



ප්‍රධාන කතාව 

ස්ථානය : කොළඹ වරාය 
වෙලාව : හොඳටම හවස් වෙලාය 

පොඩි එකාගේ පවුලේ අය කොළඹ ආවේ , පොඩි එකාට නැව් පෙන්නන්නය . මූ දැන් වරායෙන් යන්න බෑ  කියලා අඬන්නේ ය . 

"පුතේ ආයේ දවසක එමු" ...ඒ කොලුගෙ මවය .

"පුතේ අපි එලියට ගිහින් අයිස් ක්‍රීම් කමු" ... ඒ පියාය 

"මට බෑ "... කොලුවා සැලෙන්නේ නැත. වරායෙන් දෑස ඉවතට ගන්නෙම නැත 
 එන්න එන්නම හවස් වෙනවාය . ගෙදර යන්නට දැනටම පරක්කුය 

පුතේ අර එළියේ නවත්තලා තියෙන කාර් එකේ ජාතිය මොකක්ද ...පිය තෙම  ඇමක් දමන්නේ කොලුවෙ අවධානය වරාය වෙතින් වෙනතකට හරවන්නය .

කෝ ?.... ඇම පොඩ්ඩක් වැඩ කරන්නේය 

අර අර එළියේ තියෙන්නේ ..පොස්සගන්  එකක්ද ?

පොස්සගන් ? කෝ 

අර අර ඈත තියෙන්නේ 

පෙන්නේ නෑ නේ 

ඒකනේ මෙතනට පෙන්නේ නෑ තමා . යමු කෝ එලියට 

පොඩ්ඩා ඇම ගිලියි . පවුල පිටින් එලියට එන්නේය ..

කෝ තාත්තේ පොස්සගන් ?

ඒකනේ ,  මම හිතන්නේ , අපි පරක්කු උන නිසා ඩ්‍රයිවර් එලවාගෙන යන්න ඇති . ඔහොම ඉන්නකෝ අපි ත්‍රී විල් එකක් නවත්තගෙන පස්සෙන් යං . 

ඈත සිට එන වීල් එකක් පෙනේ . අත දැමු සැනින් නවතින ත්‍රිරෝද රථයට කට්ටියම ගොඩ වෙති .  මාපියන් මැදින් ඉඳගත් පොඩ්ඩාගේ ඇස් පාර දෙසමය .  කොල්ලුපිටිය හරියට එනවිට , කොල්ලා කටහඬ අවදි කරන්නේය 

කෝ තාත්තේ පොස්සගන් එක ?

ආ අර තියෙන්නේ ...තාත්තා පාරේ යන වෙන මොකක්දෝ කාර් එකක් පෙන්නන්නේ ය 

ඊයා තාත්තේ ඒ පොස්සගන් නෙමෙයි නේ 

නෑ නෑ  ඒ පොස්සගන් තමයි . හොඳට බලන්න 

ඒ පොස්සගන්ද ? 

නෑ පුතේ පිස්සුද ඒ පොස්සගන් නෙමෙයි 


පසු කියවීම 

කලින් සටහනක කීවාක් මෙන් , දේශපාලනය යනු වෙන්වූ සිද්ධීන් නොව,  ඒවා එකිනෙක අතර ඇති සම්බන්ධතාවයයි 


පලි:
"යකෝ රස්සා දෙන එක වැරදිද " කියා අසන්නට කලින්ම මම කියන්නේ "ඉට් ඩිපෙන්ඩ්ස්" කියලාය . මම ආර්ථික විද්‍යාව පිලිබඳ ප්‍රාමාණික බුද්ධිමතෙකු නොවෙමි . එනිසාම මසිතේ මතුවී ඇති ගැටළු කිහිපයකි . දන්නා අයගෙන් අසා දන ගන්නට උත්සහ කලත් ඒවා හරියටම ලිහා ගන්නට හැකි වී නැත.

සංක්ෂිප්තව කියනවා නම් 


1. මේ ආයෝජනයෙන් , රටේ තිරසාර සංවර්ධනයට දායක වන , රටට විදේශ  ප්‍රාග්ධනය ලෙස , කාර්මික ඥානය / පුහුණුව ලෙස , රටේ සන්නාම කීර්තිය වැඩීමට ලැබෙන්නේ මොනවාද .

2.  එකලස් කර දේශීය වෙළඳ පොලේ විකුණන වාහන ව්‍යාපාරයක් දිගු කල් දුවන්න තරම් වෙළඳ පොලක් අපේ රටේ තිබේද ?

විදෙස් රටවලට විකුනනවා කියා කියුවත් , ඉන්ධන වාහන පාවිච්චිය හැම රටකම අඩුවෙමින් පවතී . කොටින්ම දැනටම මේ ප්‍රවනතාව ආසියානු රටවලටත් පැතිරිලාය . දැනට එසේ නොවන විශාල වෙළඳපොළ වන්නේ චීනය හා අප්‍රිකාව පමණි . මේ වෙළඳ පොළ දෙකෙහිම වාහන නිපදවීම ඉතා ලාබෙට සිදුවේ 

ලැබෙන එකම ප්‍රතිලාභය ලෙස මට පෙනෙන මේ රැකියා වල පැවැත්ම රඳා පවතින්නේ නිෂ්පාදනයේ වර්ධනය මතය .   ඒඅනුව දෙන රස්සා තිරසාර ද ? නැත්නම් ගිය ආණ්ඩුව හම්බන්තොට වරායේ දුන් රස්සා වාගෙද  

මේ රැකියා වල පැවැත්ම රඳා පවතින්නේ නිෂ්පාදනයේ වර්ධනය මතය .   ඒඅනුව දෙන රස්සා තිරසාර ද ? නැත්නම් ගිය ආණ්ඩුව හම්බන්තොට වරායේ දුන් රස්සා වාගෙද 

3. රුපියල් වලින් ආදායම එකතු කර සේවකයන්ට පඩි ගෙවන ව්‍යාපාරයක් රටේ තිබෙන (මට තේරෙන තරමට )  අපේ රටේ ඇති විදේශ සංචිත පිලිබඳ , ණය ගෙවීමට ඩොලර් හිඟයක් පිලිබඳ ප්‍රශ්නය විසඳෙන්නේ කෙසේද ?

4. පොසිල    ඉන්ධන මත යැපෙන වාහන මත රටේ ප්‍රවාහන ගැටලුවට පිළිතුර තව තව ස්ථාපිත කිරීමෙන් , රටේ ඉන්ධන වියදමට , පරිසරයට ඇති බලපෑම කුමක් වේද ?
අපේ රටේ විය යුත්තේ වැඩි වැඩියෙන් මිනිසුන්ට වාහන විකිනිමද , පොදු ප්‍රවාහන තත්වය දියුණු කිරීමද ?


මේ ගැන අපි සංවාදයට පිවිසෙමු . ඔබේ අදහස් මම ඉතා අගේ කර සලකමි .
එහෙත් "අනේ ගොනෝ ඒකවත් තේරුනේ නැද්ද ?"  නැතිනම් "නිකන් කොරහේ කිඹුල්ලු දකින්න එපා ".. එහෙමත් නැතිනම් "එතකොට මහින්දගේ කාලේ"  ..වගේ ප්‍රතිචාර වලින් නම් අපගේ සංවාදයට කිසිම ඵලක් නොවේවි . .. මෙය අපේ පාට කන්නාඩි ගලවා , අනාගතය දෙස බලා සංවාද කිරීමට උත්සාහ කරමු .