27 February 2015

ටොපි කොළ පිරුණු සපත්තු පෙට්ටිය

"මට දැන්ම බෑ සුගත් "

ඇය  එසේ කීවේ බිම බලාන . සුදු ගවුමේ රැළි පිරිමදිමින් . වෙනදාට ටක් ෂොප් එකෙන් අරන් දීපු ස්ටාර් ටොපිය කටේ රුවා ගෙන "ම්ම්ම් " කියා හුරතලේට  හිනාවුනු ,  ඒ දෙතොල් අද මොකක්දෝ කියාගන්න බැරි දුකකින් බරවෙලා 

***************

කමල් කාර් එකේ දොර ඇරලා , මට   මුලින් නගින්න ඉඩ දුන්නේය . කොන්ෆිටි ඉහින , අත  වනන සෙනග අතරේ පිටි පස්සටම වෙන්න සුගත් හිට ගෙන ඉන්නවා මට පෙනුනා .

"දම්මි නගින්න , නැකත පහු වෙයි " කමල් ගේ අත මගේ උරහිස මත බරට දැනුනා 

***************
කණපිට හරවපු පින්තූරේ ආයෙත් අනෙක් පැත්ත හරවලා මම පොඩ්ඩක් වෙලා බලන් හිටියා . 
පුතා මගේ අතේ එල්ලිලා , කමල් පොඩි දුව වඩාගෙන.... හිනා වෙනවා . මම ආයෙත් කමල්ගේ හිනාව සුදු බිත්තියට හේත්තු කරලා , දිග හුස්මක් ඇද්දා  . අල්මාරිය ඇරලා සාරි ගොඩ අදින්න ගත්තේ සුදු සාරිය හොයන්න . කලබලේට සාරි ගොඩ අස්සේ තිබ්බ සපත්තු පෙට්ටිය අත  වැදිලා බිම වැටුනා . එකේ තිබ්බ , ඇඟිලි දෙකෙන් මැදලා ලස්සනට දිග ඇරපු ටොපි කොළ හැම තැනම විසිරුණා . ඇයි  මම මේවා මෙච්චර කල් තියා ගත්තේ ...මම හෙමින් හෙමින් එකින් එක පෙට්ටියට දාන්න පටන් ගත්තා

"අක්කේ ඔය මොකද මෙතන තනියම කරන්නේ , සාරිය පටලවගෙන එන්න ඉස්සරහට , මිනිය ගෙන්න හදන්නේ "


**********************

" දම්මි ,..."  ඈ  වියපත් වෙලා මට එක පාරටම හිතුනා .  එකපාරටම ඈ බිමට නැඹුරුව තිබු දෑස්  ඔසවා මා දෙස බැලුවා . මා හිත ඇවිලුනා . මා දිව ගොලුවෙනු මට දැනුනා .

"දම්මි .. මාව වරදවා තේරුම් ගන්න එපා " එතනින් එහාට මොකුත් කියාගන්න බෑ ...මේ බව වෙන බව දත් නිසාම ලියා ගෙන ආ ලියුම් කෑල්ල ඈ  වෙතට  දිගු කළා . ඈ  එය ගෙන,  දිග හැර,  කිසිම හැඟීමක් නොපෙන්වා , එය කියෙව්වා . ඉන්පසු එය කොළේට  පුරුදු දාර දිගේම  නැවත හතරට නැවුවා . සුසුමක් පිට කලා

"සුගත්   ... මට ළමයි දෙන්නෙක් ඉන්න කනවැන්දුම් ගෑනියක්  . මට සමාවෙන්න "

*********************

තුන් මාසේ දානේ දුන්නා විතරයි ... මෙහෙම ලියුමක් ...මං එහෙම කියලද පේන්නේ ? .... 

ඒත් ඒ  ලියමන විසිකරන්නේ නැතිව පරිස්සමට අරගෙන ආවේ ඇයි  ?  

එය අර ටොපි කොළ පිරිච්ච සපත්තු පෙට්ටියට දමා එහි පියන තද කරන ගමන් මම සිතන්නට වූවෙමි .







පලි 

මගේ හිතේ ඇඳුනු සුගත් වයසට ගොස් පහුගිය දිනෙක මිය ගියේය . ගොළු හදවත පොතද කියවා ඇත්තෙමි , චිත්‍රපටයද නරඹා ඇත්තෙමි ...ඒත් මගේ හිතේ සුගත් වුයේ , ඒ ලයාන්විත හඬින් 
" සුගත් තවමත් ආදරෙයි"  කියූ ඔහුමය . 
සුගත් මිය ගිහින් . මම කැඩපත දෙස බැලීමි 

23 February 2015

වල් ගැලවීම , මින් ඔබ්බට සහ පුරුදු කණපිට හෙවත් මහත්වරුනි please - part 2


වල් ගැලවීම ( අතිගරු සිරිසේන please)
සිරිසේන උන්නැහේ වත්ත ඉල්ලුවේ වල් ගලවා එලි පෙහෙළි කිරීමටය . සුදු සරම බැනියම ඇඳ  , බෙලෙක් පිඟානේ  බත්,  පොල් සම්බෝල සමග අනා කෑ හැටි ගැන මෙනෙහි කරමින් ඔහු වත්තේ කොනක ඇන තියා හිඳ ගත්තේය . 
"බය වෙන්න එපා සිරා , අපි ඕක ශ්‍රමදානයක් දාලා සුද්ද කරලා දාමු සුටුස් ගාලා . උඹ ඉල්ලහන් අයිතිකාරයගෙන් ..උඹ ඉල්ලුවොත් නම් ටකෙටම හම්බුවෙයි .." 

වටේ හුන් අය කියූ කතා ඔහුට සිහිවිය . අද උන් එකෙක්වත් නැත . 
ඔහු හිමින් සැරේ  නුදුරෙන් වූ කුඩා තුත්තිරි පැලයක්  පසෙන් උදුරා දැමීය .  එය දෑඟිල්ල අතර සුරුට්ටු කරමින් ඕසේට  වැවුණු වල් යාය දෙසට නෙත් යොමු කළේය . වල් ඉදිරීම  එතරම් ලේසි නොවන බව ඔහු දත්තේය . ලොකු වල්  පැල  මෙසේ ඇද්දොත් , වටේ තියන කොස් ගස් අඹ ගස්  පවා මුල් පිටින් ඉදිරි වැටීමට ඉඩ ඇති බව ඔහුට වැටහුණි ... ඔහු ඇන තියා ගෙනම කල්පනා කරමින් සිටි 



මින් ඔබ්බට ( අනුර සහෝ please)
කැරැක්ටර් සෙටිපිකේට් නම් ඉල්ලා අමනාප නොවන්න යයි , අනුර සහෝ  ගෙදර ඉස්සරහා දොරේ බෝඩ් ලෑල්ලක් එල්ලුවේ හැමෝටම කලින්ය . බෝඩ් එක එල්ලා පොඩ්ඩක් පස්සට ගිහින් එහි ඇද බැලූ  ඔහු , අහල පහල හැමෝටම ඇහෙන්නට බැරෑරුම්ව කීවේ  " ඔන්න හැමෝටම ඇහෙන්නයි කියන්නේ අපිත් එක්ක සෙල්ලම් නම් කරන්න හදන්න එපා . අපි කිවුවොත් කිව්වා " කියලාය .

පන්නන්න ඕනෑ  කියූ කෙනා ගියේය . දැන් එකසිය ගානට නඩේ  අල්ලස් දුෂණ චෝදනා ගොනු කරති . ඒවායේ අවසාන ප්‍රතිපලය ඔවුහුද දනිති , අපිද දනිමු ... එතනින් එහාට ?  ඇත්තටම කරන්න දෙයක් ඇත්තේම  නැද්ද ?


 පුරුදු කණපිට  (බයියනි , ටොයියනි , අනෙකුත් සියලුම  "යියනි " please)
දේශපාලකයා මහජනයා නියෝජනය කරනවා වෙනුවට , මහජනයා කල්ලි ගැහි එක එක දේශපාලකයන් නියෝජනය කරන තැනට සිස්ටම් එක කණපිට ගැහුනේ කවදාදැයි කියා සොයා බැලීමෙන් පලක් නැත . වටින්නේ එය සිදුවූ බව දැනීම පමණි  . නමුත් මෙදා ජනාධිපතිවරණයෙන් එය තරම දුරට හරිපොට පෙරලුනේ යයි මම සිතමි  . ව්‍යවස්ථාදායකයටත් විධායකයටත් , සිවිල් ව්‍යාපාරටවලටත් , ආණ්ඩුවටත් , විපක්ෂයටත් එකට වැඩ කරන්නට වෙන තැනට වැඩ කටයුතු (අහම්බෙන් හෝ ) සිදු විය . පක්ෂ දේශපාලනයෙන් ඔබ්බට රාජ්‍ය දේශපාලනයට සැමටම මැදිහත් වන්නට , දායක වන්නට  හැකි , දායක විය යුතු  තැනකට ඔවුහු තල්ලු වුහ.

මෙය ඔවුන්ට නුහුරු නුපුරුදු අපහසු (uncomfortable ) තත්වයකි , සංසිද්ධියකි  (paradigm එකකි) .  පැරදුන අයට , වැරදි කිය කියා සිටිය නොහැකිය , වැදගත් යෝජනා වලට අත එසවීමට සිදුවී ඇත . දිනු අයට යෝජනා සම්මත කර ගැනීමේ බාධාවක් නැති නිසා , මෝඩ හේතු දක්වා කර ඇරිය  නොහැකිය . පෙර කි පරිද්දෙන් ,  මෙය ඔවුන්ට බලවත් අපහසු තත්වයකි . සුවඳ සබන් කෑල්ලක්  උලා හොඳින් නාවා දම්වැල ලෙහු සැණෙකින්  , දිව ගොස් පස් ගොඩේ පෙරලෙන බලු නගුටෙකු මෙන් ඔවුන් පුරුදු තැනටම ආපහු යන්නට දඟලන්නෝය . නමුත් පරහකට හිටියේ ආණ්ඩුවේත් වෙන , ආණ්ඩුවේත් නොවෙන , විරුද්ධ පක්ෂයේත් වෙන එසේත් නොවෙන (අපේ) ශොඩිනගර් ගේ ජනාධිපතිතුමා ය  .


නමුත් සියලු දෙනා එක්වී මේ උගුලෙන් ගැලවීමට උප්පරවැට්ටියක් යෙදීය . එය ඔපරේෂන් "මැරුණු වීරයාට පණ දීම" නම්විය .. මේ ඔස්සේ කෙරෙන්නේ එකම එක දෙයකි.  එනම් , හරිපිට දේශපාලකයන්ට හුරු කණපිටට නැවත හැරවීමය . විසි ලක්ෂයක් වූ මිනිසුන් බෙදා වෙනකොට එක එක දේශපාලකයන් නියෝජනය කරන තැනට තල්ලු කිරීමය 

21 February 2015

මහත්වරුනි please ..... (පලමු කොටස ) // Gentlemen Please

සතුරෙක් ඕනෑ  කර තිබේ (Mahinda please)

සතුරෙක් නැති තැන වීරයෙක් නැත . වීරයාගේ තරම දුෂ්ටයාගේ තරමටය . දුටු ගැමුනුට එළාරය , ගම්මන්පිලට සාලිය , දෙදහස් නවයේ මහින්ද රාජපක්ෂට ප්‍රභාකරන්ය . 

එළාර දුටුගැමුණු යුද්ධය නාටකය මා කිහිපවරක් රස වින්දෙමි . මම සංවේදී මිනිසෙක්මි . එය මාගේ ජානමය දුර්වලතාවයකි . ජාතියක් හැටියට මගේ ජාතියම අතිශ්‍ය  සංවේදීය . එය අපේ ජාතියේ  archili's heel එකයි . මහින්ද මාමා ප්‍රමුඛ කුරහන් සාටක නඩය ඇල්ලුවේ ඒ නිලයයි . මුලින් මුලින් මහින්ද මහත්තයා , පොඩි උන්ගේ ඔලුව අත ගාද්දී , ආච්චිලාට කිති කවද්දී , මහා පොළව  ඉඹි ද්දී , රෝහලේ හමුදා භටයින් ගේ හිස අත ගාද්දී,  ඒ නිලය තෙරපුනි  . ඊට ම එක්වූ ශ්‍රී ල නී පය ප්‍රමුඛ ඒ පේට්ට්‍රොනික් නඩයට ආවේනික පැකේජින් එක නැවුම් රසයක් එක්  කළේය . ඒ පාපොච්චාරණයක් කරන්නේ නම්,  ඒ ජාත්‍යාතල් එක මට යම්කිසි වින්දනයක් ලබා දුන්නේය .  

දැන් ඒ  මහා රජානෝ , නැවතත් මහින්ද මහත්තයාට  ඇඳ,  රට බේරාගන්නට පෙරට   විත් පෙර පව් සියල්ල අහෝසි කම්ම කරන්නට යයි යෝජනා කරමින් නැවත ඒ නිලය අල්ලන්ට හදන්නේය . කලකට ඉහත කැලණියේ මර්වින් තනතුරෙන් අස්විය , ඉන්පසු දුටුගැමුණු කුමරා අපිට ඕනෑ  යයි කියා ඔහුගේ සපෝටර්ලා උද්ඝෝෂනය  කළහ . ඔහු නැවත තනතුර බාර ගත්තේය . (මහින්ද මහත්තයා තුළ , මර්වින් සිල්වා තුල ඉන්නවාටත් වඩා විශාල,  මර්වින් සිල්වා කෙනෙක් ජීවත්  වෙන්නේ දැයි මට විටෙක සිතේ . )

නමුත් දැන් එළාරට වඩා විශාල සතුරෙක් අවශ්‍ය වී ඇත .කොටින්ගේ ස්වර්ණමය සමයේ සිටියාටත් වඩා තර්ජනයක් දැන් තියෙන්නේ යයි දැන් කියවෙන්නේ ය . මුළු යාපනයේම කොටිය . මහින්ද මහත්තයාට වැරදීමකින් උන්ට චන්ද අයිතිය දුන් නිසා (මම මෙතෙක් කල් සිතා සිටියේ හතලිස් අටට කලින්ම සර්ව ජන චන්ද බලය ලැබුණාය කියාය ) දැන් උන්ට ආණ්ඩු ඇතිකිරීමේ බලයද ලැබී ඇත . කට්ටියක් දැන් හතුරාගේ හැඩ  තල අප හිත තුල අඳිමින් සිටිති . ඒ සතුරා වූ කලි ,  රටෙන් බාගයකට වඩා වැඩි සේනාවක් ඇති,   නමක් නැති , රුවක් නැති , ගඳක් පමණක් ඇති හතුරෙකි  ද . නොබෝ  දිනකින් ඌට නාම රූප  ලැබෙද්දී , ඌ , අවීචි මහා නරකාදියට අධිපති වසවර්ති මාරයා විය හැක . එක්  අයුරකින් එළාර යුද්දයෙන් ඔබ්බට  ඇත්තේ මාර පරාජය  ම පමණකි . නමුත් අනේ අපේ වාසනාවට වීරයා  මැරිලා නැත ( මැරිලා ඉපදී තියෙන්නේ අපිය )


 නමුත් මට නොවැටහෙන්නේ එක දෙයකි . තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක්ද , ත්‍රිවිධ හමුදාවේම සේනාධිනායක බලයද සහිතව විනාශ කිරීමට නොහැකි වූ සතුරා , ඊට වඩා අඩු බලැති  පාර්ලිමේන්තුවක අගමැති පමණක් ලෙස පරදවන්නේ කෙසේද යන්නය . මට මතක හැටියට ( මේ දවස් වල රට පුරා පැතිරී යන අමතක වීමේ වසංගතය නිසා , මගේ මතක ශක්තියද දුර්වල වී ඇත ) පහුගිය පාර්ලිමේන්තුවේ අගමැතිට හිමිවුයේ බුද්ධ සාසන අමාත්‍යංශය පමණකි . එක අතකින් මාර පරාජයට අවැසි වන්නේද ඒ අමාත්‍යංශය ම පමණකි 



ඒවුනාට වික්‍රමසිංහ  (Ranil please)

මිස්ටර් වික්‍රමසිංහ නුවණැත්තෙක් යයි ආකල්පයක් පැතිරී තිබේ .බොහෝ අය මෙන්ම , ඒ intellectual නඩයට හේත්තු වීමට කැමති මිනිසෙක්ද මා තුළ  සිටින්නේය. ලංකාවේම උගත් , කොළඹ විශ්ව විදුහලකින් උපාධිය ගත්  එහෙත් මිස්ටර් වූ වික්‍රමසිංහ හැමදාම ගැසුවේ "ඒ වුනාට ..." කාඩ් එකයි . ඒ කියන්නේ අරක බැරි උනාට මේක පුළුවන්ය .  සරම නොඇන්දාට දේශප්‍රේමිය , කතා කරන්න බැරි උනාට රාජ්‍ය පාලනය පුළුවන්ය , රඟ  පාන්න බැරි උනාට කළමනාකරණය පුළුවන්ය , ගොන් ජෝක් දැම්මට මහවූ දැක්මක් ඇත . 

ආදරේ , ජාතිආලය , එඩිතර කම වගේම , නුවණැති බවත් මැනිය නොහැකි මිම්මකි . ඉදින් ආසියාවේ හොඳම මොලයක් ද නැද්ද යන්න , එයින් ලබා දුන් ප්‍රතිලාභ නැති කලෙක හුදක්ම (ඔප්පු කළ නොහැකි වුවද ප්‍රතික්ෂේප කලද නොහැකි )   උපකල්පනයක් , විශ්වාසයක් පමණකි .

ඒ වුනාට මිස්ටර් වික්‍රමසිංහට  වැඩ කරන්න කාලයක් ලැබීම නැත ...(නැවතත් ඒ වුනාට )... ලැබී ඇත්තේ එක්කෝ නයිට් වොච්මන් චාන්ස් එකකි , නැත්නම් අනුන්ගේ මගුල් ගෙදරක කෑම අල්ලන්නය . නමුත් මෙවර වෙනස්ය . ඉදිරිපත් කලේ දින සියයකට වැඩසටහනකි . ඒ සඳහා දින සියයක් නියතවම ඔහුට ලැබෙනු ඇත . දැන් මේ දින සියය තුළ ලබාදීමට පොරොන්දු වූ වැදගත්  බොහෝ දේ නොලැබෙන බවක් පෙනෙන්නට තිබේ . ලබා දුන් දේ ද ඇත . ඒත්  ඒ ගැන නම් කෙනෙකුට හිතෙන්නේ මේවා දුන්නේ කෙසේද කියා නොව  , කලින් මේවා නුදුන්නේ ඇයි  කියාය .මිස්ටර් වික්‍රමසිංහ  මගදී මේ (ජෝන් වැල්  ජෝන්  නොව වැලේ වැල්  නැති ) ජෝන් කේස්  එකක් ඇද  ගෙන ගහන්නට හදන්නේ නැවතත් ඒ පරණ කාඩ් එකම දෝ යි මට සිතේ . 



පලි : මම සර්ව අසුබවාදියෙක් නොවෙමි . නමුත් අසුබ වාදී සිතිවිලි දිගේම බලෙන් හෝ ගමන් කරද්දී , සාමාන්‍යයෙන් නොඇල්ලෙන සියුම් තැන ඇතැම් විට අසු වේ .  එක අතකින් මගේ හිත සැහැල්ලු කර ගැනීමට ලියුවකි . මේ සටහන දිග වැඩි වෙන නිසා අදට මෙතනින් නවත්වමි . තව දින කීපයකින් දෙවැනි සටහන පළ  කරන්නෙමි 

18 February 2015

පීච් මල් පිපේවි , අද නෙවෙයි හෙට





කෝටු  කෑලී අතු අග 
දළු ලා පිපෙන්න 
තෙරපෙන ආසාව 
හිතේ බිත්ති වලට 
හිර කරගෙන 
ලජ්ජාවෙන් ගල් ගැහුණු 
චෙරි පීච්  මල් පොහොට්ටු 
පෙති දිග හැර පිපෙන්න 
ඒත් අද නොව 
හෙට





කවරයක දමා 
වැසූ වාසනාව 
ඇරලා බලන්නට නොව 
ඔබලා බලන්නට විතරක් 
ඔට්ටු 



පලි : හෙට චීන දින දර්ශකයට අනුව අලුත් අවුරුද්ද . 
පුලු පුළුවන් විදියට මේ මිනිස්සු , චෙරි පීච් මල් අත්තක් ගෙනෙනවා ගෙදර තියන්න . මුලින් වේලිලා වගේ තියෙන අත්ත , ටික දවසක් තියනකොට පුංචි පුංචි පත්‍ර ඇවිත් , මල් පොහොට්ටු මතු වෙනවා . හෙට වෙනකොට  මල් පිපේවි අතු පිරෙන්න . ඒවායේ එල්ලාවී "වාසනාව"  චීන අකුරෙන් ලියාපු පුංචි කවර , හරියට නත්තල් ගහක වගේ 

පපලි 

ප්‍රතිචාර වල මිතුරෙක් හරි ගස්සා  තිබුනා මේ පීච්  මල් බව . ඇත්තටම අවුරුදු ගණනක් තිස්සේ ස්වදේශිකයන් කියන විදියට මේවා චෙරි මල් යයි සිත සිටියට මේ ගැන සොයා බැලීමක් නොකලෙමි . සමහර විට මෙය  a case of lost in translation වෙන්න ඇති . කොහොම හරි ඔන්න නිවැරදි කළා 

15 February 2015

අපේ තාත්තා දැන් බොන්නේ නෑ

අපේ තාත්තා ඉස්සර වගේ දැන් බීලා ගෙදර කරදර කරන්නේ නෑනේ මිස් 

ආ ඒක හොඳයි පුතා . ඔය සුරාව කොහොමත් මිනිස්සුන්ගේ ජීවිත  වලට මහා හෙණයක් තමා . 

නෑ  මිස් සුරාව නෙමෙයි ...ඒ වගේ රට බීම බොන්න අපේ තාත්තට කොහොමත් සල්ලි නෑ  . කලුගුණේ  මාමාගේ  පොට්  එකෙන් කසිප්පු තමා බොන්නේ . අනික තාත්තා බොන එක නවත්තලා නෑ .

එහෙනම් ..පුතා කිව්වේ ?

නෑ  මිස් . අපේ තාත්තා වැඩ කරන්නේ නගර සභාවෙනේ . ඉතින් කුණු ටැට්ටරේ එල්ලිලා දවස පුරාම , හැමෝගෙන්ම බැනුම් අහගෙන දවස පුරාම .. ලොකු ගෙවල් වල කුණු ගොඩයිනෙ මිස් .... කුණු ගෙනියන්න පොඩ්ඩක් පරක්කු උනොත් බැනුම් කෝටියයි .... නෝනාට ජිම් යන්න පරක්කු වෙනවා කියලා ඩ්‍රයිවර් මහත්තයා බනිනවා .... බේබිලා මොන්ටිසෝරියෙන් ගන්න යන්න පරක්කු වෙනවා කියලා කුස්සි අම්මා බනිනවා ....

හ්ම් 

ඉතින් අපේ තාත්තා .. මොනවා උනත් පිරිමියෙක්නේ ... මුළු දවසම ඔලුව නමා ගෙන ඉඳලා ගෙදර ආපුවම තමයි මිස් , ලොක්කා වගේ හැසිරෙන්නේ . මුලින්ම දොරට පයින් ගහනවා . ඊට පස්සේ කුස්සියට ගිහින් ප්ලාස්ටික් පිගන් ටික පොලවේ ගහනවා .. ඊට පස්සේ අම්මට දෙකක් ගහනවා .. 

ඒක  පිරිමිකම නෙමෙයිනේ  පුතා 



ඔව් මිස්.. ඒ වුනාට , අම්මත් තාත්ත අත උස්සන කොටම හයියෙන් කෑ  ගහන්න දැන් පුරුදු වෙලා ... ඉතින් ගොඩක් වෙලාවට ගහන්නෙත් නෑ ...මුළු ජීවිතේම කුණු අදින අපේ තාත්තටත් , කාට හරි පාට්  එකක් දාන්න අහිංසක ආසාවක් ඇතිනේ ..පොඩි ත්‍රිල් එකක් ගන්න .

හ්ම්ම් ඉතින් පුතා දැන් මොකක්ද වෙනසක් වෙලා කිව්වේ 



ඔව් මිස් පහුගිය කාලේ , බීලා ඇවිත් මහා හයියෙන් දුසන වංචා ගැන කෑ  ගැහුවා  ..යහපාලනයක් ගෙනත් ඔක්කොටම පාඩමක් උගන්නවා කියලා බෙරිහන් දුන්නා  . චන්දෙන් පස්සේ ...ඇවිත් කියවන්න ගත්තා , එයාලාගේ වැඩ ගැන ...ඕනෑම බලයක් කම්කරුවන්ගේ බලේට යටයි කියලා ..  ඔන්න වැඩියට  ආවොත් ඕන රජෙක් පෙරලලා දානවා කියලා ... 
දවසක් මගේ ඔලුව අතගාලා කිව්වා "පුතේ උඹේ තාත්තා දැන් මහජනයෙක් , කුණු කාරයෙක් නෙමෙයි කියලා" . මට දුක හිතුනා මිස් .....

ඊට පස්සේ මේ ලඟකදී දවසක මහින්ද මහත්තයට කෝල් එකක් දීලා ..මහින්ද මහත්තයා කතා කරලා අපේ තාත්තට ...එදා හවස ඇවිත් ඔහේ බලාගෙන කල්පනා කර කර හිටියා ..මුණේ  හරි ආඩම්බර හිනාවක් ඇඳිලා තිබුනා .....දැන් , සතියට සැරයක් විතර , සිගරට් බොන එක අඩු කරලා හෑන් ෆෝන් එකට රීලෝඩ් එකක් දා ගෙන මහින්ද මහත්තයට කෝල් එකක් දෙනවා උදේට ..ඊට පස්සේ හවසට ඇවිත් මහින්ද මහත්තයාගේ ගාම්භීර කටහඬ ගැන , එයා අපිත් එක්ක හැමදාම ඉන්නවා කිවුව එක ගැන , ලඟදීම බලන්න එනවා කිවූ එක ගැන  මනස්ගාත කියවනවා .....  මගේ ඔලුව අතගාලා අද උදේත්  කිව්වා " පුතේ , උඹේ තාත්තා මෙහෙම හිටියට " කියලා 


පලි : වත් පොතේ චාමි දැමු සටහනක් මා සිත තදින් කම්පනය කළේය . චාමි දැන් බ්ලොග් සටහන් ලියන්නේ නැත . අපරාදේ . ඒත් ඒ ඔස්සේ තව දුරටත් හිතන්න , ලියන්න මගේ හිත බල කළා . දේශපාලන චරිත ගැන නොව , දේශපාලන සමාජ ප්‍රතිරූප  ගැන , ඒ ප්‍රතිරූප අහිංසක මිනිසුන්ගේ සිත්වල,  ඒවායේ සාරය උරාබොමින් , පිළිලයන් සේ වැඩෙන අයුරු ගැන හිතන්න යයි මම ඔබට ආරාධනා කරමි 

14 February 2015

I pray on Saturdays// මම යදිමි ශනිදා ම

I pray on Saturdays
Always
After the Fridays
of confusion 
Of  hopelessly trying
to soak life in 
Guitar rifts
..I need it

I pray on Saturdays
For  Sunday’s are
too crowded for me
with ego's invading 
personal space
too crowded even for GOD
to open his hands

Wide  


මම යදිමි ශනිදා ම 
හැමවිට 
නන්නත්තාර වූ 
සිකුරාදා රැයකට පසු 
අවුල් 
සත්සර රැහැනින් 
ගැට ගසන්නට 
දුක 
මීවිතින් 
දියකරන්නට 
තතනා 

මම යදිමි හැමවිට 
ශනිදාම 
ඉරිදා ට 
දෙවොල 
තදබදය 
ඉරිදා පොළ මෙන් 
දෙල්කඳ 
මමත්වය 
තෙරපෙන හැරෙන හැරෙන අත 
දෙවියන්ට වත් 
නොහැකි 
දිගු කරන්නට 
දෑත 

08 February 2015

යහපාලනයිස්ඩ් , මිතුරු ප්‍රතිවිරෝධතා සහ වෙනත් දේ (කවිද මන්දා )

මේ සති අන්තයේ ලියා ගන්නට බොහෝ දේ තිබුනත් ඒවා නොලියවෙන කම්මැලි කමකින් පෙලෙමි . ඉතින් කෙටියෙන් කව් පද පෙළ ගසමි

යහපාලනයිස්ඩ් 
හා හා දැන් වාඩිවෙන්න 
එන්න එපා ඕනාවට වැඩියෙන්
ජනාධිපති තුමාට 
නැත්නම් ඔබේ නායකයට 
කියලා 
අන්නනවා ටොක්කක් 
ඔලුව හිල් වෙන්න
හික් හික් හික් 


මිතුරු ප්‍රතිවිරෝධතා  හෙවත් යහපාලන සමයේ විරුද්ධ පක්ෂය
වෙළෙන්දෝ
පොළේ,  ගෝනි එළාගෙන
විකිණීමට දෙයක් නැතුව 
වේලෙන


සන්ජන් සමග 
යාලුවනේ 
ගිය සතියේ 
අපි පෙන්නුවේ 
මගේ දුප්පත් නිවස
මේ සතියේ කියාදෙන්නේ 
ඇඟ හදා ගන්නා හැටි 
බතුයි , පරිප්පුයි , මාළුයි කා



ජාතිවාදයේ මුළ
පාට තුනෙන් පාට නොකර
සිංහයාගේ ඇඟ 
කොටුවට එළියෙන් 
පාට තීරු දෙකක් 
ඇඳීමයි



Rehabilitating terrorists
is to 
teach them to shoot
at your command 
and below the knee 
if they must 



එසේ උනත්,  එසේ නොවුන 
බාගෙට වගේ ඉටු වුන  ඒත් බාගෙට වගේ ඉටු නොවුණ 
පොරොන්දු 
අහෝසිත් වෙන ඒත් අහෝසිත් නොවෙන 
විධායකය
හොරකම් කළ ඒත් හොරකම් නොකළ 
හොරු
අමතකත් නැති , ඒත් මතකත් නැති
අපි

04 February 2015

නිදහස සහ Independence


කළු ටේල් කෝට්  හැඳි 
තලෙළු මිනිසුන් 
ටොප් හැට් ගලවා අතට ගෙන 
හිස නවා ආචාර කොට 
නියම ජැන්ටල්මෑන්ස්ලා සේ 
ඉල්ලුහ 
"මාස්ටර් සර් 
අනේ අපිටත් දෙන්න ඉන්ඩිපෙන්ඩන්ස් "

සුද්දා 
ඇසුවේය 
ෂුවර් දැයි 
පුලුවන්ද උහුලන්න 
එහි බර 
ඔල්ලුකු ස්වරයෙන්ම 
අධිරාජ්‍යවාදයේ සුපුරුදු 

"එහෙම නෙමෙයි කොල්ලෝ 
දැනට 
ගනින් මේ නිදහස 
හරිම සැහැල්ලුයි 
හිතේ විතරයි 
තියෙනවාද කියලා දැනෙන්නේ නෑ 
මේ බලන් 
මෙන්න මේ ධජයත් 
නග්ගන්න උජාරුවෙන් 
හුස්මක් ඇද , පපු කුහරේ පිරෙන්නට 
ඒ දිගට කියන්නට 
මේ ගීය "

තැන්ක්යූ වෙරි මච් ය සර් 
ඉන්ඩිපෙන්ඩස්ම  නොවුනත් 
ඒ වගේ වගේය  දැන් 
හුටා 
එතකොට මේ විලංගු 
වළලුකර බැඳ තබන 
බර යකඩ දම්වැලින් 
සුද්දාට  අමතක වෙලා 
එක ගලවලා යන්න 
කමක් නෑ පහුවෙලා 
ගලවන්නහැ ඔහේ 

හතලිස් අටේ නවසිය 
බිනර මහේ දිනෙක 
තලෙළු මහත්මයෙක් 
හිටගෙන සීරුවට 
ඔසවුයේය කොඩිය
කුඹ ගස මුදුනටම 
බෝ කොළ හතර මැද
සිංහයා   ඉන්න 
පොපිලින් 
ඉම්පොර්ටඩ් රෙද්දේ  
කළු කලිසමට යටින් 
කකුල් දෙකටම ඇන්ද 
දැනුනි ඔහුට බර 
දෙපා විලංගුවේ 
හුටා 
සුද්දාට  අමතක වෙලා 
එක ගලවලා යන්න 
කමක් නෑ 
පහුවෙලා 
ගලවන්නහැ ඔහේ 


හැට පැන්න නිදහසට 
හූමිටි  තියන්නට 
ලය පුරා  සිත් පුරා 
ඒ ගීය  ගයන්නට 
හිටගද්දී සීරුවට 
මටද  දැනේ  යමක් 
වළලුකර තදකරන  
සුදු සරම පරිස්සමට 
බැලු කළ උස්සා 
හුටා විලංගුව 
සුද්දාට අමතක වූ 
ගලවලා යන්න 
කමක් නෑ ඔන්නොහෙ 
තිබුනාවේ 
පහුවෙලා 
ගලවන්නහැ ඔහේ 



02 February 2015

මහ රජ ගැමුණු සහ මැක්කා // (Review of a film I did not watch)-

මේ දුරුත්තේ නැවතත් මහා රජ ගැමුණු මළවුන්ගෙන් පුබුදුවා , යළි  පණ දෙන්නට  සැලසුම් යෙදුනේ පහුගිය වසරේය  ....නමුත් එහි දළ  සැලසුම් ඇඳුනේ ඊට බොහෝ පෙර සිටයයි  මට සිතේ .... කලකට ඉහත රාවණා  පුබුදන්නට ද තැතනුවද , ජයසේකර අපොන්සු නමැති දේශද්‍රෝහීයා කළ  අසික්කිත විහිළුවක් නිසා ඒ වෑයම  අතරමග නවතන්නට විය .  නමුත් ගැමුණු මෙහෙයුම සීරුවට මාරුවට සුදානම් කෙරුණි . ... සිද්ධ වීමට පෙළ ගැස්සු සිදුවීම් සමග එය මනාව පෑහුනි . මුලින් ජනවරම දිනා , ඉන්පසු පාප් වහන්සේ ගෙන්වා , සුළු ජාතික ක්‍රිස්තියානි ජනයාගේ කම්මුල ටිකක් මිරිකා , බඩේ පැත්තෙන් ඇඟිල්ලෙන් ඇන කිතිකවා ... ඉන්පසු දුටු ගැමුණු කතාව මතක් කර , මහා ජාතියට ජාතිමාමක චුන් එකක් දී නැවතත් වරක් රජ නාඩගම රඟා  , රටේ ඉන්නේ රජෙක් බව  රටටම නැවත මතක් කර දෙන්නට ඒ සැලසුම් මනාව පෙළ ගැසී තිබුණි ...විකාර ! ඔබට සිතෙන්නට පුළුවනි ..ඇතැම් විට එසේ වන්නට පුළුවනි ...එහෙත් මම කොරහේ කිඹුලන් දකිමි . ඒ , ඇතැම්විට මේ කොරහේ කිඹුලන් ඇත්තටම  හිඳ  ඇති බැවිනි .  අනෙක එසේ හිස්ටෙරිකල් වූ කළ , සිදුවෙන දෙයින් හිත ගැස්සීම අඩුය .

මේ සටහන  මා නොබැලු මහා රජ ගැමුණු තිර සිතුවම ගැනය  ....පුර්ව  ප්‍රචාරක පටයෙන්ද  බොහෝ දේ සිතා ගත හැක ...නමුත් මෙය හුදෙක්ම චිත්‍රපටයක්ම නොව, එය හා බැඳුනු සිද්ධි , සමාජ ප්‍රවණතා හා සැඟවුණු ප්‍රොපගැන්ඩාවන්  හා තදින් බැඳුනු සංසිද්ධියක් බවත් , ඒවායෙන් තොරව මේ ගැමුණු ගැන කතා කළ  නොහැකි බවත් සිතමි . තිබු පරිසරය යටතේ කලාව නිදහසේ ගලා යන ගංගාවක් නොවු අතර , ඉතා සුක්ෂමව ඇල  වේලි , අමුණු බැඳ  අවැසි අතට නවා හරවා ගැලු  ගඟක් බව බොහෝ අය කිවුහ 

 මහාවංශයේ කතානායකයා දුටු ගැමුණුය .....ඔහු කරන්නේ එළාර මරා රට එක්සේසත් කිරීමය . මාගේ  දැනුමේ හැටියට , ඔහුගෙන් මැරුම් කන එළාර ගෙන් වූ  එහෙමට වරදක් , දුටු ගැමුණු වීර කාව්‍ය  ලියු මහානාම හිමියන්ටවත් නිච්චියටම කියන්නට  නොහැකි වී ඇත . ඇතැම් විට  එකම වරද රට එක්සේසත් කර මුළු රටම පාලනය කිරීමේ  රුහුණු රට රජුගේ අභිප්‍රායට බාධාවක් වීම වෙන්නට ඇත  ....ඇතැම් විට එහෙම නොවෙන්නට ඇත ...වැරදි තිබුනත් ඒවා නොලියවෙන්නට ඩීල් එකක් දා ගත්තා දැයි නොදනිමි . ... ඇතැම්විට මෙය මගේ ඉතිහාස දැනුමේ හිඩැසක් වන්නට ඇත .

දුටුගැමුණු ,   පොඩි පොඩි ප්‍රාදේශීය චන්ඩි පාට්  වලින් ලොකු චන්ඩි පාට්  එකකට වර්ධනය විය  ... තම පියා සැදු  හමුදාව , මුලින්ම පුද්ගලික කෝන්තර පිරිමහන්නට යොදා ගත්තේය ..  ඉන්පසු , හමුදාවට පෙළ ගැසිය හැකි නායකයෙක් ලෙස ස්ථාපනය වූ පසු දකුණේ සමාජ බලවේග විසින් ඔහුව යුද්ධය සදහා තල්ලු කරන ලදී . යුධ සේනා සංවිධානයට එතරම්ම කල් ගිය බැවින් , කාවන් තිස්ස රජුට යුධ සේනා මෙහෙයවීමේ ශක්තියක් ඒ වනවිට නොතිබෙන්නට ඇත . 

ඔහු කෙසේ හෝ එළාර හා යුධ වදින්නේය . ඒ සටනේ ඉදිරියෙන්ම සිටින්නේය . (එය ඒ දවස රාජ සම්මතයයි , විශේෂ කරුණක් නොවේ . ) ඔහු සටන දිනන්නේය . නමුත් වැදගත් වන්නේ ඉන්පසු ඔහු කළේ කුමක්ද යන්නයි . ඔහු සෑදු වැව් අමුණක් ගැන සටහනක් නැත , රටේ කෘෂිකාර්මික සංවර්ධනය තම මලණුවන්ට  පැවරුවේ යයි කියා මහානාම හිමි ඇඟ බේරා ගන්නේය . ඔහු සැදුවේ නුබ කුස සිසාරා නැගෙන රුවන්වැලි සෑයයි  . . එය මහාවිහාරය මෙන් දැනුමේ කේන්ද්‍රයක් නොවේ ..  අශෝක ස්ථම්බයකි ... ශෝ  එකකි .ඒ මහානාම හිමිගේ දුටු ගැමුණුය .

දැන් අපි ජයන්ත චන්ද්‍රසිරිගේ ගැමුණු දිහාවට හැරෙමු .... වේදිකාවෙන් මෝරා , සිනමාවෙන් සාගරයක් මැද අග්නි දාහය   , රූපවාහිනියෙන් දඬුබස්නාමානය ඔස්සේ නංවා ගත් සන්නාමයේ , reputation එකේ රැල්ලෙන් ඔසවා තබන ...විදේශික රාජ තාන්ත්‍රික ත්‍රස්තවාදයෙන් පෙලෙන ජනයාගේ විමුක්තියට ඉදිරිපත් වෙන ...මුරණ්ඩු ගැමුණු .. ලංකා සිනමා ඉතිහාසයේ වැඩිම මුදලක් වියදම් කර ... රජ මාලිගා හදා , අලි ඇතුන් යොදා ගෙන සැදු  තිර සිතුවමේ ගැමුණු ...මහා තේජස් ඇති මුහුණ පුරා බුරුසු රැවුල ඇති අප්පාගේ පුතා ...
මෙන්න පිළිගන්න ...ගැ ගැ ගැ මු මු මු ණු  ණු  ණු .....

ඈ .... ඒත් .... මේ ..... මෙයා ...පොඩි කොල්ලෙක් නේ ...කොලුකමට චන්ඩිකම් කරන ....හිත හොඳ චන්ඩි ... ඒත් තව අවුරුදු දහයකින් විතර දවසක මුණ පුරා ගොරෝසු රැවුලක් වවා ලජ්ජා නැතුව මහා රජ කියා කියන්නට හැකියාවක් ලැබෙන  .... කොටින්ම  පොටෙන්ෂල් එක තියෙන ..අනාගතයේ රජ වීමට පුහුණු කෙරෙන නූතන  ගැමුණු කුමරාට , ප්‍රොපගැන්ඩාමය බකප් එකක්  සපයන .....

තේරුනාද මන්දා වැඩේ .... 

මුළින් ලියු දෙය නැවත ලියමි ...සිදුවීම් පෙළ මනාව අනුපිළිවෙළට  පෙළ ගස්වා තිබුණි . ...එහෙත් ......චිත්‍රපටයේ කාවන්තිස්ස රජු කියන පරිද්දෙන්ම ... සතුරා සුළඟක් සේ පැමිණිය හොත් ඔබ එයට කෙසේ නම් මුහුණ දෙන්නද  ? සතුරා සිහිනයක් ලෙස පැමිණිය හොත් ඔබ ඊට කෙසේ නම් මුහුණ දෙන්නද  ?




ප.ලි  : 
මෙය ඉතාම අසාධාරණ , හුදෙක්ම මනෝ විකාරයක්ම ලෙස නිෂ්ප්‍රභා කිරීමට අයිතියක් කියවන්නාට ඇත ...ඒත් එහෙමත් වෙන්න බැරිද ? 
දැන් වැදගත් දෙවෙනි ප්‍රශ්නය ..කෝ මැක්කා ? .. ඇයි දැක්කේ නැද්ද ?  

ප.ලි.ට ප.ලි : 
poly යනු බහු යන අර්ථය සපයන්නේය , ticks යනු මැක්කන්ය ......