28 May 2016

කිඹුලෙක් කතා කරයි // Why did the crocodile come ashore


"ආයුබෝවන් ..මෙන්න අතිරස පුවත් . ... කොළඹ ඇතුළු ප්‍රදේශ රාශියකට ගාලු ගංවතුර තත්වය බැස යාම ඉතා සෙමින් සිදුවේ . මහජන සහන වැඩසටහන් ඉතා සාර්ථකව ක්‍රියාත්මක වේ , එම නිසාම රජය තම සහන වැඩසටහන් අත්  හිටුවා ඇත . කැළණි නිම්නයේ සංචාරයේ යෙදෙන අපේ වාර්තාකරුට හමු වූයේ පහුගිය දින ගංවතුරෙන් ඉතාම ප්‍රසිද්ධියට පත්වූ චරිතයක් "





ඔබේ සම්පුර්ණ නම 

ඇලිගේටර් ආරච්චි ගේ කිඹුල් අප්පුහාමි 

ඔබේ ගම 

අපේ මුල් ගම මාතර , ගඟ අසබඩ , දැන් නම් පදිංචිය කැළණි ගඟ අද්දර 


ඔබ ගොඩට ආවේ මොකද 

මුලින්ම ජොලියේ රැල්ලට එහෙ මෙහෙ ගියා . මම අඳුරන මහත්තයෙක් හොයාගෙන තමයි ගොඩට ආවේ . මිනිහා ගෙන් කිසි සද්දයක් නැති නිසා කරදරයක්ද කියලා බලන්න 

ඔබට ගොඩට ආවට පස්සේ ලැබුණු ප්‍රතිචාර කොහොමද ?

ප්‍රතිචාර හොඳයි . 

එහෙම කිව්වට  ඔබව දැකලා  මිනිස්සු බය උනා නේද ?

නෑ පිස්සුද , පොඩි ළමයෙක් ඇවිත් මට කෙහෙල් ගෙඩි දෙකකුත් දුන්නා 

කවුද කෙසෙල් දුන්නේ.... සුජි ...?

ජරා කතා කියන්න එපා මහත්තයෝ, ඒ මනුස්සයෙක් මනුස්ස කමට බෝට්ටුවේ යනකොට කන්න තියාගෙන හිටපු කෙහෙල් ගෙඩිය  ඈත හිටපු ආච්චි කෙනෙකුට බෝට්ටුව ලඟට කතා කරලා දුන්න ම එකේ වැරදි හොයන්න එපා ... 

ඒ උනාට කිඹුලෝ කෙසෙල් කන්නේ නෑ නේ 

කමක් නෑ මහත්තයෝ හිතේ අනුකම්පාවට දෙන දේ නේ . අර සුනාමි දවස් වල ගාල්ල පැත්තේ කඳවුරු වලට ජර්මනියෙන් ආපු ඇඳුම් පාර්සල් වල ටයි පටිත් තිබුනේ
ඔව් අපේ මිනිස්සුන්ගේ ඒ මනුස්ස කමට අපි ගරු කරන්න ඕනේ 

එකෙන්ම . ඒ විතරක්යෑ බත් පාර්සල් අරන් ඇවිත් අමාරුවෙන් වතුරේ බැහැගෙන සෙල්පි ගහන කට්ටිය , මාක් ප්‍රයිස් එකෙන් සත පහක්වත් අඩු නොකර බඩු  රාක්ක හිස් වෙන දිහා අනුකම්පාවෙන් බලාගෙන ඉන්න සුපර් මාර්කට් කාරයෝ , ජනතාව තම තමන්ගේ සුභ සිද්ධිය සලසා ගනිද්දී ඊට කිසිම බාධාවක් නොකර බලාගෙන ඉන්න ජනතා නියෝජිතයෝ අමතක කරන්න එපා .

ඇයි ජනමාධ්‍ය කළ  සේවය

මහත්තයෝ , ඇත්තටම ජන මාධ්‍ය තියෙන්නේ ඕක කොරන්න නේද ?

මම නම් හරියටම දන්නේ නෑ ....ඔබ කියුවේ නෑ නේ ඔබ ආවේ කාව හොයා ගෙනද කියලා 

මේ අපේ හදිසි ආපදා ඇමති තුමා ... මම මේ ඇඟේ ලේ නැතිව හිටියේ උන්නේ උන්නැහේවත් ගංවතුරට ගහ ගෙන ගිහින් කියලා ....


පලි :

ගංවතුර බැහැලා ගොසිනි . පැරා ලියු ලෙසම පරණ ලංකාවම යලි මතුවිය . සුනාමියට පසුද මෙය මෙලෙසම සිදුවිය .
රටේ මිනිසුන්ගේ මනුස්ස කම ගැන ලියු සටහන් අපමණය . ඒ කල කී දෑ  ගැන විවාදයක් නැත . නමුත් බුදුන් කීවේ චේතනාවම් භික්කවේ   චේතනාහං භික්කවේ කියාය . මිනිස්සුන්ගේ සුභ සිද්ධිය මිනිස්සුන්ම සලසා ගනියි නම් , ඒ රටට ආණ්ඩුවක් පමණක් නොව විපක්ෂයක් ද අවැසි දැයි මා සිතේ පැනයක් නැගී ඇත . එමෙන්ම මිනිස්සුන්ගේ ආධාර එකතු කර තමන්ගේ වගේ බෙදපු මාධ්‍ය ආයතන , අනෙක් අතට ලක්ෂ ගණන් වියදම් කර ධාතු පෙන්වීය . අනෙකුගේ කුස ගින්න ගැන සිත උණු වීම අනුකම්පාව යයි කියමු , බත් පාර්සලයක් බැඳ ගෙන ගොස් ඔවුන්ට දීම සමාජ වගකීම භාර ගැනීම යයි කියමු , නමුත් ඒ සිලි මල්ලේ තම නම ගැසීමට  නම් චින්තන දිළිඳු බව මිස  කීමට වෙන යමක් මා මනසට හසු නොවේ. නමුත් එතනින් එහාට ඇති ප්‍රශ්න ගැන සිත යොමු කර ඊට උදව් කිරීමට ( විශේෂයෙන් සල්ලි වලින් නොව , සල්ලි වලට ගත නොහැකි දේ වලින් උදව් කිරීමට ) ඉදිරිපත් වූ ය ගැන නම් මා සිතේ ඇත්තේ අපමණ ගෞරවයක්මය . ඒ කපුරු හාමි ලා වත් විකුණා ගෙන , තව ටික දවසක් රේටින් මල්ලට පුරවා ගෙන දුවන්නට තතනන ආයතන ගැන නම් ඇත්තේ අපුලකි .


මේ සටහන ලියන්න හිටියේ ගිය සතියේ ය . නමුත් බාගේට ලියලත් , පළ නොකළේ  හිතේ දෙගිඩියාවක් තිබුණු නිසාය . හැම දෙයෙහිම  ඇදයක් නොසොයා යමක් කරන්න යයි බස්සි ලියා තිබු සටහනත් මා ඇස  ගැටුණි . නමුත්  කදුළු අතරින් සිනහව සෙවීම ශ්‍රීලාංකිකත්වයේම අංගයක් නිසාත්  ( මළ ගෙවල් වලට ගිහින් නැද්ද ?) , මේ බ්ලොග් අඩවියේ තේමාව කැලැතුනු දේ අතරින් යථාර්ථය  සෙවීම නිසාත්  (ඇතැම් විට සූම් අවුට් කර සමස්ථය දෙසම බලන අතර ඇතැම් විටෙක සූම්  ඉන් කර යමක් දෙස ඉතා පරිස්සමෙන් බලන නිසාත්)  මේ සටහන පළ  කරන්නට තීරණය කරමි .  චැරිටි , පරෝපකාරය , මෙන්ම සංවේදී බව , අනුකම්පාව යන සංකල්ප වල ඇති වෙනස් කම් ගැන මා ටිකක් දුරට කියවා , සිතා ඇත්තෙමි. ඉදින් ඒ ගැන මට  ආකල්පයක් ඇත .  
සදාචාරය ගැන වෙනම කියවීමක් ඇති මට,  මෙය එතරම් සදාචාරාත්මක නැතැයි අයෙකුට සිතුනොත් නම් කම් නැත .මිනිසුන් කම්පනයට මුහුණ දෙන අයුරු ද වෙනස් ය .

14 May 2016

චාතුස්කෝටික චමින්ද සහ එක යට රත්නේ







මේ ඉන්නේ චමින්ද . මගේ මිත්‍රයෙක් . දහසක් චමින්දලා අතරින් යාළුවො , මාළුවෝ ඔක්කොම ඔහුව හඳුනන්නේ චාතුස්කෝටික චමින්ද කියලා . ඌ නම් කියන්නේ ඌ මැදහත් සිත් ඇත්තෙක්  කියලා  හැබැයි අනෙක් උන් නම් කියන්නේ පතෝලයෙක් මෙන්ම ආඳේක් කියලයි . චමින්ද ඕනෑම සංසිද්දියක් පක්ෂ විපක්ෂ දෙපැත්තටම සාධාරණීකරණය කරනවා . ..එතනින් නවතින්නේ නෑ .

මේ ලඟදි දවසක දී මට චමින්ද ව හමු උනා 

"කොහොමද මචං ජීවිතේ ?"

"හොඳයි මචන් , හැබැයි ඉතින් එහෙම හොඳකුත්  නෑ ... ඇත්ත වශයෙන්ම පොඩ්ඩක් චාටර් මචං  මේ දවස් වල ...හැබැයි ඉතින් අනිත් අතට මිනිස්සුන්ට වෙන දේවල් වල හැටියට එහෙමම චාටරුත් නෑ ."

"ඒක නෙමේ මචන් මොකෝ හිතන්නේ මේ පැනමා පේපර්ස් ගැන ?"

"මෙහෙමනේ සහෝ ...ඔය එක එක රටවල් වල එක එක සංස්කෘති නේ මචන් ... සමහර රටවල උන් වතුරෙන් හෝදනවා , සමහර උන් කොලෙකින් පිහිදානවා "

එහ් ?  යකෝ ටොයිලට් පේපර්ස් නෙමෙයි මම කිව්වේ පැනමා පේපර්ස්

හෙහෙහෙ ., මම කිව්වේත් ඒක ගැන තමා ....එක අතකට ඒක නම් බරපතල තත්වයක් තමා ...හැබැයි ඉතින් එච්චරම බරපතලත් නෑ ... අනික ඕවා සාමාන්‍ය දේවල් නේ ... හැබැයි එච්චරම සාමාන්‍යත් නෑ . 

ඒ කිව්වේ ?

මචං සල්ලි තියෙන එකා , ටැක්ස් වංචා කරනවා කියන එක අපි කොහොමත් සැක කරනවා නේ . අනෙක් අතට උන්නු එවුන් සල්ලි පිටරට හැංගුවා කියලා හැමෝම කිව්වානේ . ඉතින් ඒ දුම නැගෙන්න මොකක් හරි ගින්නක් තියෙන්න ඇති කියලා ටොයියෝ , බයියෝ ඔය ඔක්කොම ගොයියෝ හිතුවනේ . ඉතින් මේකෙන් වෙන්නේ ඒක  සනාථ වීම නේ .

ඔව් දැන් හරි , උන්ව අල්ලලා අච්චු කරතෑකි .

මෙහෙමයි මචං . සරුංගල් දෙකක් මාට්ටුවක පැටලිලා, කඩා ගෙන ගහක පැටලුනාම , නුලේ කොනක් අල්ලාගෙන ඒක කොයි සරුංගලේ ද කියලා හොයන්න බෑනේ . 

එහෙම බෑනේ . මොනවා හරි දඬුවමක් දෙන්නම වෙනවා 

ඔව් ඔව් , බදු නොගෙවුවට .. දඩ මුදලකුත් එක්ක බදු ගහයි .

එතකොට ?

ඒක ගෙවයි 

එතකොට වැරදි කාරයෝ ?

මොන ?

ඇයි බං වැරදි තියෙනකොට වැරදි කාරයෝ නැද්ද ?

එහෙම ඉන්නම ඕනේද ?  සමහර වැරදි වලට වැරදි කාරයෝ නෑ , සමහර වැරදි කාරයෝ හිටියට උන් කරපු වැරදි නෑ 


***


මේ මගේ තවත් මිතුරෙක් . නම "එක යට රත්නේ" . උප්පැන්නේ වාසගම තියෙන්නේ ඒකරත්න කියා වුවත් , මොහුගේ චින්තනය , දර්ශනය නිසාම හැමෝම මූට "එක යට රත්නේ" කියන්න ගත්තේ ඈත දවසක . අපේ කතාව පටන් ගත්තේ චිත්‍රපට ගැන. එක පාරටම හඳගම ගේ අලුත් ෆිල්ම් එක ගැන සබ්ජෙක්ට් එකට බැස්සෙමු . හඳයා හීලෑ වෙලාද කියලා පටන් ගත් කතාව දිගට  ඇදිලා ගියා .

"ස්වර්ණා කාලෙකට පස්සේ රඟපානවලු නේද ?"

"ස්වර්ණා මම කැමතිම නිලියක් මචං ... අර පුපුරන හිනාව ... එක පාරටම පිරිමින්ව බිරන්ත්‍රාන්ත කරනවා .. ඒ ශොක් එකට මම කැමතියි ... රේස් කාර් එකක් වගේ .. බිංදුවේ සිට සීයට , තත්පර විස්සෙන් තිහෙන් .."

"ඒක තමයි හඳයා ආයෙත් එයාව සිනමාවට ගෙනාපු එක නම් මරු වැඩක් "

"මම නම් හිතන්නේ ඕකේ අනෙක් පැත්ත ..ඒ ගෑණි අවුරුදු විසි තුනකින් රඟපාලා නෑ ... අපේ හිත්වල ඉන්න ස්වර්ණා ... හන්තානේ කතාවේ , දුහුල් මලේ , කැඩපතේ, සුද්දිලාගේ කතාවේ උන්නු ගෑණි .... වැඩි කාලයක් අපේ හිතේ ඉඳලා තියෙන්නේ ඒ ෆැන්ටසිය ....මේ &*තා ඒක කුඩුපට්ටම් කරලා දානවා ..... "

පලි . මේ කතා දෙක ලාම්පු තෙලුයි පරිප්පුයි, වගේ එකිනෙකට නොපෑහෙනවායයි ඔබට හිතෙන්නට පුළුවන . ඊට වඩා නොපෑහෙන දේද හොඳින් පෑහී තිබෙනවා දැකිය හැකිය .

02 May 2016

කැප් කරුවන්ගේ දිනය

                       (කාටුනය අවන්ත ආටිගල ගේය )


පොඩි එකා කලිසම් කොටය එක අතකින් අල්ලා ගෙන නිදි ගැට කඩමින් ආලින්දයට එන විට ඔහුගේ සීයා සිටියේ වේවැල් පුටුවේ  ඉරිදා පත්තරේ බලමිනි .

"තීයේ තීයේ " පොඩි එකා ට හදිසියේ යමක් මතක් වූ සෙයකි .

" පුතේ මොකෝ "

" තීයේ තීයේ , දන්නවද වැඩක් ...අහස කඩා වැටිලා .. "

" මොකක් කිව්වා " සීයාට ඉබේම අහස දෙස බැලුනේය .

" හූ  හූ තීයා ලැවටුනා .. ඔන්න තීයා තමා එක ". පොඩි එකා කුස්සිය දෙසට දිව ගියේය .

"අම්.....මේ.....අම් .....මේ .....මගේ ටූටී ඇඟිල්ල පීයට කැපුනා " 

"මම කොච්චර කියලා තියෙනවද ඔය පිහිය අල්ලන්න එපා කියලා ..කොහෙද කියන දෙයක් අහන එකක් යෑ .." 
අම්මා දර්ශන පථයට සේන්දු වීමට පෙර ,  ඈ දෙබස් ඇසෙන්නට විය ..

"හූ  හූ  අම්මත් ලැවටුනා .... දෙකයි දෙකයි ....." පොඩි එකා මිදුලට දිවුවේය 

"තාත්තේ ...."

"ඕ ..මොකෝ පුතු ? "  යතුරුපැදියට ඇල්ලු දිය දහර , හෝස්‌ බටය නවා නවත්වා පියා ඒ දෙසට නෙත් යොමු කළේය .

" තාත්තේ ...ආස කඩන් වැටෙනවා ..."

"හා හා කමක් නෑ "

" ඒ නම්... මගේ ....මේ ටූටී ඇඟිල්ල කැපුනා "

" මම ඔක්කොම අහගෙන හිටියේ .. පුතු මොකෝ මේ උදේ පාන්දර බොරු කියා කියා යන්නේ "

" ඇයි  අද පලවෙනිදා නේ "

" ඉතින් ?"

" අයියෝ තාත්ති ඒක දන්නෙත් නෑ ...අද  බොරු කියලා මිනිස්සු වට්ටන දවසනේ"

" කවුද කිව්වේ ?"

"අයියා  කිව්වේ අද බොරු කියලා මිනිත්තු අන්දන දවස කියලා ..."

" ඔයාට වැරදිලා පුතු ...ඒ අප්‍රේල් පළවෙනිදා . අද මැයි පළවෙනිදා ..පුතු දන්නවද අද මොන දිනයද කියලා? "

" ආ ආ මං  දන්නවා ....ලෝක කැප් කරුවන්ගේ දිනය ..."

" ඇයි පුතු එහෙම කිව්වේ ?"

" අයියෝ... තාත්ති දැකලා නැද්ද ...අර අංකල්ලා , ඇන්ටිලා පාට පාට කැප් දා ගෙන පෙරහැලේ  යන්නේ ..... ඇඩ්  එකකුත් ගියේ කැප්කරුවන් ගේ මැයි දිනයට එන්න කියලා ...

හාහාහා.. නෑ පුතු මැයි පළවෙනිදා තමා ලෝකයා  කම්කරුවන්ගේ දිනය සමරන්නේ  .. 

" ඒක තමා ...තාත්ති මං දන්නවා ... ලෝකයෝ ඉස්ටේජ්  එක උඩ ....කැප් කරුවෝ පිට්ටනියේ .....මං ටීවී එකේ දැක්කා .

"තාත්ති ......?"

"ඕ ..?"

"ඇත්තටම අද බොලු කියලා මිනිත්තු ලවට්ටන දවස නෙමෙයිද ?"

පලි :

පොඩි එකාට වැරදි නැත . මම හිතන්නේ ඇත්තටම රැවටෙන්නන්ගේ දිනය මැයි  පලවෙනිදාය . කවුදෝ එය අප්‍රේල් 1 වෙනිදා යයි කියා බොරුවක් කියා ඇත . කැප කරන්න එන්න , පැක්  කරන්න , රජ කරන්න එන්න , සරමන්න එන්න , චූ  කරන්න එන්න කියා එක එක අය කතා කරති . සමහරු යති . මැයි  පලවෙනිදා වැඩ කරන දනගේ දිනයයි කියවේ . එක් අතකින් හෝ අනෙක් අතින් අපි බහුතරයක් මේ කුලකයට අයත් වෙමු . වැඩ නොකරන්නන් සිටින්නේ මා දන්නා තරමින් දෙකොටසකි . ඒ හොරුන් සහ දේශපාලකයන්ය .