30 May 2015

විත්‍යා නම් වූ ප්‍රශ්න තුන , වාසු නම් වූ පිළිතුර හා මහින්ද නම් වූ විහිලුව

ඊයේ,  මම මේ සතියේ විකාශනය වූ සටන වැඩසටහනක් නැරඹුවෙමි.  (සිරසේ න්‍යායපත්‍රය ගැන ද වෙන වෙන අදහස් මතු වුනත් ) එහිදී කියවූ යමක් ඔස්සේ මා සිතුවිලි  විවිධ දිශාවන් හි දුවන්නට විය . මේ ගැන සටහනක් ලිවීමට සිත බල කළේය . මම එය  සති  අන්තයට කල් තැබීමි . අද වනවිට මේ වැඩසටහනේ කියවූ බොහෝ දේ වයිරල් වී ඇත . නමුත් සිතා ගත් පරිදි සටහන තබමි .


විත්‍යා නම් වූ ප්‍රශ්න තුන 

කයිට්ස් හි විත්‍යා කවුදැයි නොදන්නෝ දැන් අල්පය. ජීවත් වෙද්දී සාමන්‍ය කෙල්ලක් වූ ඇය, ඉතාමත් අවාසනාවත් ලෙස මරා දැමු පසු , දේශපාලනමය වාසියක් , රාජ්‍යයේ අසමත් බවේ ප්‍රතිමුර්තියක් , ත්‍රස්තවාදය නැවත නැගිටීමට නිමිත්තක් වී ඇති බවක් කියවේ . මට හැඟෙන පරිදි නම් විත්‍යා යනුවෙන් ප්‍රශ්නයක් මතුවී ඇත . එකක් නොව පැණ ත්‍රිත්වයක්ම....

විත්‍යා  නිමිත්තක් වී, දැන් සැවොම අවධානය යොමු කරන්නේ ,   ලිංගික අපචාර වැලැක්වීම ගැනය...  අපචාරයක් සිදුවූ වොත්, චුදිතයන්ට දඬුවම් දීම ගැනය .      
එනමුදු දුෂණය හා ලිංගික අපචාරය යනු දෙකකි . දුෂණය තුළ අපචාරයේ ඇති ලිංගික, සාමාජීය ප්‍රශ්නයට , අසහනයට එහා ගිය සංස්කෘතික , සමාජීය ප්‍රශ්ණයක් ඇත . එය බලහත්කාරකමට වඩා භීෂණය  පිලිබඳ ප්‍රශ්නයකි . එය මෝල් කලන්තයට වඩා තග පිලිබඳ ප්‍රශ්නයකි . විත්‍යා  තුලින් පළමුව මතුවන්නේ මේ ගැන ප්‍රශ්නයකි .
දෙවැනි පැනය බලය පිලිබඳවය. ප්‍රභා තම ත්‍රස්ත හමුදාව යොදා ඒ පෙදෙස පාලනය කරද්දී . උතුරටම එක චණ්ඩියෙකි . (ජීවිතයේ  වැඩි කාලයක් යුද්දයක් සමගම ජිවත් වූ මට , අනුරාධපුරයෙන් ඔබ්බට සියල්ල උතුරය . ඒ අපි සිතු සැටිය). ඒ කාලයේ, එක්කෝ කෙල්ලන්ගේ අයිතිය කැමා සූට්  එකක් අන්දා ප්‍රභාට බාර දිය යුතුය, නැතිනම් විත්‍යාගේ අම්මා මෙන් පෙට්ටගමක දමා රැක ගත යුතුය .
(ඒ ද අපි සිතු හැටිය . ) 

මේ චන්ඩියා නැතිවූ කළ  රික්තකයක් මතුවේ . ඒ අඩුවට ,2009න් පසු කෙලින්ම ආදේශ වුයේ දකුණේ චන්ඩියා ය . නමුත් ඔහු තම පාලනය කලේ විවිධ පුංචි චණ්ඩි ඒජන්ට් ලා ඔස්සේය . ඔවුහු තම තග ස්ථාපිත කිරීමේ උපක්‍රමයක්  ලෙස හින්දු සමාජයේ මර්මස්ථාන වලටම දැනෙන නිලයක් ඇල්ලීමට ස්ත්‍රී දුෂණය පාවිච්චි කල බව පෙනේ .  හිටපු එකාගේ හැටියට මුන් හූනු  බෙටි සයිස් චන්ඩින්ය. කිඹුලා කනවා උහුලා සිටි උන් , කොහිල කටු ඇනෙන කල ,  "LTTE කාලේ මීට  වඩා හොඳයි" කියා කියන්නේ (අයෙකුට කියවෙන්නේ ) , මේ පීඩනය නිසා වෙන්නට හැකිය . (අනෙක් අතට ඒ මන්ත්‍රීවරිය දේශපාලනය කරන්නියකි , ඈ ජාතිවාදී ටිකට් එකෙන් තම චන්ද ගොඩ සදා ගන්නටද තනන්නී ය . ඒ බව කිසි විටෙක අමතක නොකළ යුතුය . ඈ ද්‍රවිඩ වූ පමණින් ඈගේ හඬ , ජන හද ගැස්ම 100% නියෝජනය කරතැයි සිතීම අමනෝඥ ය . මෙය ඇත්තක්ද , නැත්තක්ද  කියා මම නොදනිමි .නමුත් එකම බොරුව පුනා පුනා කියද්දී එය ඇත්තක්  වේ . මෙය භයානකය . බලයට ලොල් වුවෝ මෙය කිරීමට නොපැකිළෙති ) 

අනෙක් අතට  "යාපනේ නම් එහෙම වුනේ නෑ" ( කොටි ඉන්න කල්හි  කාන්තාවන්ට පාන්දර 2ට 3ටත් බියක් සැකක්  නැතිව මග සරන්නට හැකි වුනි යයි  ඈ  කියන්නීය )  කියන්නේ ඇත්තක් නම් , කයිට්ස් හි එහෙම වෙන්නත් යාපනේ එහෙම නොවෙන්නත් ඇතැයි අපට සිතා ගත හැකිය  . අපට අනුරාධපුරෙන් උඩ ඔක්කොම උතුර උනාට, යාපනේට කිරි දෙද්දී හැමදාම කැකිරි ලැබුණු පෙදෙස්ද (සැමදා ම ) ඇත . 


තෙවැනි ප්‍රශ්නය නීතිය පිලිබඳ වය . නීතියේ ආධිපත්‍ය පවතින්නේ , එය ගැන විශ්වාසය හෝ  එහි බලයට ඇති බය හෝ ඇති කල ය .  පළමුවැන්න ක්ෂය වීම කලෙක සිට ආරම්භ වී ඇත , දෙවැනි හේතුවද ක්ෂය වෙමින් පවතී . තග දමා මේ සිස්ටම් එක පවත්වා ගැනීම අසීරුය , අධික පිරිවැයක් දැරිය යුතුවේ ( හැම අතින්ම ). සමාජය , සංස්කෘතිය , රාජ්‍යය යන කොඩි ලෙල දිය හැක්කේ මේ රැහැන්  පට තදින් බැඳ තිබෙන තෙක් පමණි . එහි පොට එකින් එක ලිහෙමින් පවතී. මෙවර උසාවියට ගල් ගැසුහ. ගල් ගසා සැඟවුනහ . ඊළඟ වර මෙය යාපනේ පමණක් නොව සැම  තැනම වනු ඇත . එවර ඔවුන් සැඟ නොවෙනු ඇත.


වාසු නම් වූ පිළිතුර 

වාසු ගේ සුබස්, දැන් හෝටලයක මස් හොද්දේ රබර් බීෆ් කෑල්ලක් මෙන් , එපා වෙනකන් විකුණු මාතෘකාවකි  . නමුත් රනිල් යනු දස සිල් උපාසක මහතෙකු නොවේ . ප්‍රජාතන්ත්‍රවාදියෙකුට වඩා ඔහු එකාධිපතියෙකි . ඔහුගේ කතා හොඳින් අසන්නෙකුට , ඔහු කතාවල ඇති අවඥා සහගත බව , අනෙකුන් සියල්ල මෝඩයින් ලෙස සැලකීම මනාව නිරීක්ෂණය කර හැක . ඔහු ගේම් කාරයෙකි . හරි දෙයට පාවිච්චි කලොත් එහි වැරැද්දක්  නැතැයි  විටෙක අයෙක් කියන්නට හැක . නමුත් එයට ගැරන්ටියක් දිය හැක්කේ කෙසේද . පාර්ලිමේන්තුවේ විරුද්ධ මතයක් ප්‍රකාශ කරන්නට නැගී සිටින්නෙකුට මෙසේ කතා කරත් නම් ,  රතුපස්වලක් නැවත ඇති වුවහොත් කෙසේ හැසිරෙයිද ( ඒ ගැන ඉඟියක් , ඇතැම් නියෝජ්‍ය ඇමති වරුන් රූපවාහිනී සංවාදයක අමාරූ ප්‍රශ්නයක් අසන නිවේදකයෙකුට පිළිතුරු දෙන අයුරින්ම ලබා ගත හැක ) එවැන්නෙකු "කට වහ ගෙන ඉඳ ගන්නවා " කිව්වොත් .. දිය යුතු උචිතම පිළිතුර , "උඹ කව්ද ප# , මට ඉඳ ගන්න කියන්න " ම නොවන්නේද ? 



මහින්ද නම් වූ විහිලුව 

ජෝක්ස්  ඇත . ගොන් ජෝක්ස් ද ඇත. පට්ට ගැසූ පරණ ජෝක්ස් ද ඇත . මීට අමතරව භයානක විහිලුද  ඇත... 

27 May 2015

සුභාවිත ගීයේ නිම්හිම් සෙවීම සහ ඔන් ලයිව් කුණුහරුප කීම

(රුපවාහිනි තිරය ඒකාලෝක වේ . කලාත්මක පසු තලයක් ඉදිරිපස සිව් දෙනෙක් අසුන් ගෙන සිටිති . පාට පාට සරමක් හැඳ  සිටින නිවේදකයා වෙත සමීප දසුනක් යොමුවේ .)

"ආයුබෝවන් , මේ  සඳ මෝදු වන රාත්‍රියේ  සුභාවිත ගීතයේ නව නිම් හිම් සොයා යන ශාස්ත්‍රීය සංගීතමය භාව රස උල්පත , සුභාවිත ගීත සන්ධ්‍යා වැඩසටහන සමගයි අදත් අපි ඔබ හමුවට එන්නේ . වෙනදා මෙන්ම අදත් ඔබේ රස පවස  සංසිඳු වන්නට සුභාවිත ගීතයේ කෙල පැමිණි , සම්භාව්‍ය  ගායකයින් සහ ප්‍රවීණ  විචාරකයන් කිහිප පොලක් අපිත් සමග  එක්  වී සිටිනවා .

අපේ මුල්ම ගීතය ගයන්නේ , සුභාවිත සංගීතයේ පරතෙරටම ගිය පණ්ඩිත් වා. සුදේවයන් . ඔබ තුමා ගීතය ගැයීමට පෙර කෙටි විස්තරයක් කරන්නේ නම් මැනවි ."

මේ ගීය වමන්  රාගය  ඇසුරෙන් ලියවුන්නක් . මුලින් ගීය අහලා බලමු .

වන් ටූ ත්‍රී .... ඩෙන්න ඩෙනා නා ඩෙන ඩෙන ..ඩෙන්න ඩෙනෝ ..ඩෙන්න ඩෙනා නා ඩෙන ඩෙන ..ඩෙන්න ඩෙනෝ 
හු .. 

(එවිටම තිරයේ ඔරලෝසුවක් දිස්වේ , ඉන්පසු සිමෙන්ති , මෝල්ටඩ් මිල්ක් , බිස්කට් , මදුරු කොයිල්  පිළිබඳව දැන්වීම් කිහිපයක්  විකාශනය වේ ...නැවත වැඩසටහනට යොමු වෙන විට ගීතය අවසානය .. සුදෙවයන් අවසාන ස්වරය ගයමින් සිටින්නේය )

......   ක වැඩිමල් කියන්නේ ඒ ඒ ඒ ඒ .....

සැබැවින්ම සමාධියකට සමවැදුනා වගේ ...අපිත් සමග  සිටිනවා  අපුරු විද්වතෙක් මේ ගීය ගැන අදහස් දක්වන්නට.. මහැදුරු දුන්බල වණගුන්දරයන් 

ඇත්තෙන්ම මම මේ විෂය පිලිබඳ ප්‍රාමාණික උගතෙක් . උගුරේ ලේ රහ වෙනකන් , මේස් බැනියම දාඩියෙන් පෙඟෙනකන් රෑ තිස්සේ සින්දු අහන එකමයි කලේ . දැන් මේ ගීය බලන්න . ඒකෙන් කියවෙන්නේ එක නැකතේ උපන් සහෝදරයන් දෙදෙනෙක් ගැන , ඔවුන් ගේ සහෝදර ප්‍රේමය මනාව විග්‍රහ වෙනවා .. අනෙක බලන්න භාවිතා කර ඇති වදන් කෙලින්ම දම්පිය අටුවා ගැට පදයේ තියෙන සුභාවිත යෙදුම් ඇසුරෙන් ම ලියවුනු ඒවා.. කෙතරම් කන්කළුද ?  අපේ පාසැල්  යන දු පුතුන් මෙවැනි පද රචනා වලින් සාරය මනාව උකහා ගනී යයි මම විශ්වාස කරනවා 

සැබෑව සැබෑව . මීළඟට , මේ සුන්දර රාත්‍රියේ ගැයෙන දෙවැනි මනරම් ගීතය .. මේ ගීතය ජන ගීයක් ඇසුරෙන් තැනුණු ගීයක් ,  ගයන්නට විශාරද විකුම්සිහයන් සැදී පැහැදී සිටිනවා 

(රබන් හඬක් සමග  සංගීතයක් ආරම්භ වේ )

" උඩ පල ගත්තත් වට්ටක්කා ......"


"කට් කට් කට් !!!!  , මොනවද මාස්ටර්  ඔන් ලයිව්  කුණුහරුප කියන්නේ මේ වගේ වැඩසටහන් වලට ඇවිල්ලා.........පොඩි ළමයිනුත් බලනවානේ මේවා "....

(තිරය අඳුරුවේ.  නැවතත් අර සිමෙන්ති , මෝල්ටඩ් මිල්ක් , බිස්කට් , මදුරු කොයිල්  පිළිබඳව දැන්වීම් කිහිපය විකාශනය වේ)


පලි : මෙහි පුර්ණ රසය විඳීමට නම් බිග් මැච් වල නිතර කියවුණු එක්තරා කුප්‍රකට ගීයක පද මාලාවක් පිලිබඳ යම් දැනුමක් තිබිය යුතුය . එතැනින් එහාට නොලියමි 

22 May 2015

ස්වාධීන වූ නීතිය සහ තොරතුරු දැන ගැනීමේ නිදහස // Be careful what you ask for

මේ දවස් වල ට්රෙන්ඩින් (trending) වදන් වැල් කීපයක් තමා , නීතියේ ස්වාධිපත්ය , ස්වාධීන  අධිකරණය සහ තොරතුරැ දැන ගැනීමේ නිදහස 

ස්වාධිපත්ය 

අහෝ මා හට වුනු 
වියෝවා 
රාජ උණුහුමට 
තුරුළු කරන් 
ඇකයේ හිඳුවා 
ඔවා දුන් 
තේජෝ බලැති
විධායකය 
නැති මෙකල් 
මට 
කොල්ලෝද 
බල්ලෝද 
අනෙක් උන්ද 
පාති 
කොචෝක් 
පෙන්නති 
කොකා 

***

ස්වාධීන 

නඩුත් බඩුත් 
තවමත් 
හාමුදුරුවන්ගේමය 
නඩු අහන බඩු දැන් 
අමාරුවේ 

***

තොරතුරු දැනගැනීමේ නිදහස #1

දුන් පසු  ඇයට 
තොරතුරු දැනගැනීමේ නිදහස
කණපිට හරවා කලිසම් සාක්කු 
කියවා ඇස් එම් ඇස් 
තුන්ඩු කෑලි පසුම්බියේ 
එකින් එක  
..... හේ 
මකයි 
කෙටි පණිවිඩ 
ඉවතලයි තුන්ඩු කෑලි 
ගෙදරට එන්නට 
කලියෙන් 

***

තොරතුරු දැනගැනීමේ නිදහස #2

බොහෝ අය 
බොහෝ දේ 
දන්නවා 
ඒත් 
නොදන්නවා සේ 
ඉන්නවා 

20 May 2015

නන්දිකුදාල් සිට අවුරුදු හයක් දුරින් සහ වෙනත් කවි

නන්දිකුදාල් සිට අවුරුදු හයක් දුරින්

සය වසකට පෙර 
එක් හිමිදිරියක 
ඇන තියා ගත්  මිනිහෙක් 
තවමත් 
කලපුවක් දෙස බලාගෙන 
කිවුල් දියේ පාවුනු 
මිනී නම් සුද්ද කරලා 
ඒත් පුළුටු දුගඳ  
තාම වටපිට 
සුසුම් මාරුත 
අඹරවයි 
තල් කරටි 

ලඟදි කවුද ඇවිත් 
පොරවලා ගිහින් 
කොඩියක් 
සිංහලේ 
ඔලුවේ ඉඳන් වැහෙන්න 

එහා ඉවුරේ 
සුදු රැවුල දිග 
අයෙක් 
පහනක් පා කර 
දිය මත 
ගියා ආපහු 
කුණුහරුපයක් කියාගෙන 
දෙමළෙන් 

***

සත්‍යය සාපේක්ෂයි 

මා මගේ සත්‍යය 
තුරුළු කරන් 
දිව යද්දී ඈතට 
ඈතට 
ඔබ දුවන්නේය 
අනෙක් අතට 
තුරුළු කරන් 
ඔබේ පොට්ටනිය 
වේගයෙන් ඒ සාම .

සාපේක්ෂ චලිතය .

සබඳ 
ඒවිද දිනක් 
සත්‍යයේ තිමිර 
පට තිර ඉරාගෙන 
ඔබේ සත්‍යය 
මා මනස් කුහරයට
කාන්දු වෙන 

***

සරළ සංකීර්ණ  සමීකරණ

මම - සමානකම්  = අනෙකා 
අනෙකා + බලවත් බව   = හතුරා 

එකතු වෙන , අඩුවෙන නියතය නැතිවුනත්, දෙපැත්ත වෙන් කරන්නේ සමාන ලකුණක් බව බොහෝ වෙලාවට අමතක වෙනවා 


***

17 May 2015

ඉංග්‍රීසි බැරිනම් පොලිසී යන්න හෙවත් ව්‍යාජ සිප්හල් වැටලීමේ විශේෂ පොලිස් ඒකකය


සිල්වා  උදේ පත්තරය කියවීමට හිඳ  ගත්තා පමණි . ගේට්ටුව දෙසින් මහා කලබගෑනියකි . සාමාන්‍යයෙන් ඔය අයදුම් පතකට අත්සන් කර ගන්නට , පින්තුරයක් සහතික කර ගන්නට එන කෙනෙක් හැරෙන්නට එහෙමට කියා කෙනෙක් එන්නෙම නැත . ඔහු වහා ගේට්ටුව දෙසට පිය මැන්නේය . ගේට්ටුව ඉදිරිපිට සූ  ගා හය හත් දෙනෙකුගේ ජනකායකි .


" මේ සාමදාන විනිශ්‍යකාර ..."


"ඔව් ඔව් මම තමා ..මොකෝ ඇප්ලිකේෂන් එකක් සහතික කර ගන්නද ?"


" නෑ නෑ පොඩ්ඩක් ඇඳුමක් ඇඳ  ගෙන යමුද "


"කොහේ යන්නද ?"


" උසාවී ..."


"අනේ සර් මම මේ අහිංසක විදියට , අත්සනක් දෙකක් ගහලා ඉන්න මනුස්සයා ..පවුල රකින්න මේ වැඩේ කරන්නේ ..කූට ලේඛන හදනවා නෙමෙයි "


"නෑ නෑ  ඕයි ..තමුසේව  උසාවි ගෙනියන්නේ ඇප සල්ලි බඳින්න "


"මට තේරුනේ නෑ "



" නෑ ලොක්කා අපේ පාලයන් ව පොලෝසියෙන්  අල්ලන් ගිහින්'"

" කව්ද පලයන් කිව්වේ "

"නෑ නෑ  පලයන් නෙමෙයි ලොක්කා , පාල සර් , අර පන්සලේ ඉස්පෝක් ඉංගිලිස් පන්ති කරන්නේ ..දැන් ඉතින් ගෞරවේ ට, ට්‍රෙන්ඩ් එකට නමේ අගට "යන් " කියලා දානවනේ ..සිරිසේනයන් , ගලයන්, විමලයන් වගේ "

" ඔව් ඔව් , ඉතින් මොකෝ මේ පොලෝසි ගෙනිහින් තියෙන්නේ ..අනේ මට නම් ඔය කිරිමිනේල් වැඩ වලට සම්මාදම් වෙන්න නම් බැහැ "

නෑ නෑ එහෙම දෙයක් නෙමේ ...දන්නේ නැද්ද මේ දවස් වල වෙන දේවල් , ඔය පත්තර වල තියෙන්නේ 

ආ සමුපකාරෙන් ණයට බඩු අරන්ද 

රෙද්දක් කතා කරනවා .. නෑ ඕයි එනවා යන්න මගදී කියන්නම් 

ඉතින් ඕන කෙනෙකුට ඇප සල්ලි බඳින්න පුළුවන් නේ මොකෝ ඔහේලා පස්ස ගහන්නේ 

මෙහෙමයි අපිටත් පොඩි පොඩි වොරන්ට්ස් කෑලී තියෙනවනේ , ඉතින් පොඩ්ඩක් උසාවි ඇලජික්. එනවා අයිසේ ඉක්මනට 

****
උසාවි වත්තේ සියල්ලෝ රැස්වී සිටිති. විත්ති කරු උසාවියට ඉදිරිපත් කරන තෙක් සිල්වා පිරිසේ සිටින තරුණයෙක් සමග කතාවට වැටුනේය .

මල්ලි මොකෝ මේ කේස් එක හැබෑවට ?

මේ ටියුෂන් කේස් එකක් නේ ලොක්කා ..

ඒ කිව්වේ ?

පාල අයියා අටේ පන්තියත් පේල් ..පස්සේ සුද්දෙක්ගේ ගෙදරක වැඩට ගියා .... එතනින් ඉංගිලිස් ටිකක් කටේ ගාගෙන ඇවිත් ටියුසන් පටන් ගත්තා .. 

මිනිහට ඉතින් ඉංග්‍රීසි බැරිද 

පොඩ්ඩක් ඉතින් "යා"  "නෝ" කියා ගන්නවා .. ඉංගිලිස් ෆිල්ම් බලලා වාක්‍ය ලියා ගන්නවා .. ඒ ටික පන්තියේ උගන්නනවා 

ඉතින් මොකෝ උනේ 

උනේ තමා ..මේ අලුත් පොලිස් ඒකකයක් පිහිටෙව්වනේ , අයතා ලෙස ඉංග්‍රීසි බාසාව පරිහරණය කරන අය , උගන්නවන අය ... කෙලින්ම අගමැති තුමාලු කොම්ප්ලේන් කරන්නේ ..

ඈ ?

ඔව් මහත්තයෝ මම හිතන්නේ අගමැති තුමාට ඉංග්‍රීස් බැරුව ඇති එකයි මේ 

පිස්සුද ඕයි එයා රෝයල් එකේ නේ ඉගෙනගත්තේ 

ෂුවර්ද ? එක නෙමෙයි මහත්තයා නිකන් ඉන්න එකේ වනමුද කොඩියක් ?

අපෝ මටනම් බෑ , වහ කුප්පියක් දෙන්න, කොඩි නම් දෙන්න එපා ..අනික මොකක්ද මේ ඔලුව නැති සිංහයෙක් ගේ කොඩිය 

මේක සුද්ද සිංහල කොඩිය නේ ...

තමුසෙම වනනවා ..

පරක්කු වෙයිද දන්නේ නෑ ලොක්කා මට පන්තියක් තියෙනවා තව පැයකින් 

මොනවද ඉගෙන ගන්නේ 

නෑ නෑ මම මේ ටියුසන් දෙනවා , ගණන් 

ඈ ?

ඔව් මම ටියුසන් සර් කෙනෙක් ළඟ ටික කාලයක් කාඩ් මාක් කළා, ටියුට් බෙදුවා . ඊට පස්සේ ටියුට් ටිකක් උස්සලා  මගේම කියලා වැඩක් පටන් ගත්තා 

ආ ඒකයි මේ සහයෝගේ , දී කිරට බළලුත් ..

මොකක්ද කිව්වේ ?

කතාව අවසන් කිරීමට ලැබුනේ නැත , උසාවිය දෙසින් කලබලයක් ඇසුනි . අර පිරිසේ සිටි නායකයා පැමිණ " ලොක්කා වැඩේ හරියන්නේ නෑ ,  පන්සලේනේ පන්ති කලේ ..සාංඝික දේපල අයතා ලෙස පරිහරණය කළා කියලා ඇප දෙන්න බෑ කිව්වේ " කියත්ම ජේලර් මහතුන් දෙදෙනෙකු මැදි කොට පාලයන් පැමිණියේය 

මාංචු ලු දෑත ඔසවා, කැමරා ෆෝන් අමෝරා සිටින පිරිස වෙත මද සිනහවකින් සංග්‍රහ කල ඔහු ,"කොහොමද යහපාලනේ " කියා අසමින්  බන්ධනාගාර බසයට ගොඩ වුනේය 


10 May 2015

මව්වරුන්ගේ දිනය හෙවත් අම්මා සිහි කිරීම

දස මසක් කුසේ දරා 
දුක් විඳ මා හදා වඩා 
අම්මේ
මා 
ඔබ සිහිකර 
දැම්මා ඉස්ටේටස් එකක් 
මුහුණු පොතේ 
මතක ඇතුව බලන් 
හොඳේ 

***


අම්මේ 
අද 
මව්වරුන්ගේ දිනයලු 
බංගලාවේ 
බේබිලා උදේ නෝනාට 
දුන්නා හාදු 
බෙල්ලේ එල්ලී 
කෑමට ලුණු පොඩිත්තක් වැඩිවෙලා 
ලොකු සරූත් 
මතක් කළා 
අම්මව 

09 May 2015

අහම්බෙන් හමුවූ චායාව සහ කාවැදුණු සෙවනැලි // Accidentally peering in to the mirror and in grown shadows


Accidentally peering in to the mirror //අහම්බෙන් කැඩපත දෙස බැලීම 

Sorry
I am not good with names
But your face does  seem
familiar
may be
long time ago
when you were thinner
when I was younger
when the days were simpler
we've met
we've spoken
perhaps
we sat in a corner cafe
and sipped coffee
endlessly
in chipped cups 
But 
I am sorry
I am not good with names

සමාවෙන්න 
මට මතක හිටින්නෙම නෑ නම් 
හැබැයි මුහුණු ..
ඇතැම්විට 
පෙරදිනෙක 
අපි හමුවී 
සල්ලාපයේ යෙදෙන්නට ඇති 
වීදී කොණේ අවන්හලක 
අන්ඩ කැඩුණු කෝප්ප පුරවා  
බොන්න ඇති 
කෝපි 
අනන්තයක්  
පෙර දිනෙක
ජීවිතය මෙතරම් ගැට ගැසෙන්නට පෙර 
ඇතැම්විට 
නමුත් සමාවෙන්න 
මට 
මතක හිටින්නෙම නෑ 
මූණු 



Ingrown shadow // කාවැදුණු සෙවනැලි 

Where is that familiar 
void of light 
that grows
like the grey beard
runing along the jaw line 
like the philosophical mumbles
that outpours
and crumples
like the wesak lanterns
caught in the candle flame
and runs in many ways
impishly
is away
instead 
exists a pain
ingrown 
deep in to my skin

ගොම්මනට 
යෝධයෙක් වෙලා 
තනි රැකපු 
මද්දහනේ 
ගිනි ගත්ත 
සව් කොළ සේ 
හැකිලුනු 
සෙ ව නැ ල් ල 
අද නැතුවා 
සම තුලට කාවැදුණු 
පුපුරු ගහන 
වේදනාවක් 
පමණි 
ඇතුවා 

03 May 2015

ප්‍රීති ප්‍රීති අද වෙසක්

ප්‍රීති ප්‍රීති 
අද වෙසක් 
දවල්ට උයන්න ඕනේ නෑ ප්‍රීති 
කමු ටවුමේ දන්සලෙන් 
මොණර කඩදාසි දෙකක්ම 
දුන් එකේ ලිස්ට් එකට 
පෝලිමේ නොඉඳ 
යමු පෑල දොරෙන් 
වෙනම මේසයක් තියෙනවා 
පිටිපස්සේ 
නැත්නම් දාඩිය ගඳත් එක්ක 
කන්න බෑ 
බත් 
දන් වුනත් 

එන ගමන් 
කූඩු අරගෙන එමු 
හවසට පත්තු කරන්න 
අස්ප ගණන් කියාවි 
හෙට්ටු කරන්න ඕනේ 
තදින් 
කොහෙද වෙසක් 
වැව අයිනේ පෝලිමට 
කූඩු විකුණන උන්ට 
කුඩු පත්තු නොකරන 
උන්ගේ පොඩි උන්ට 
නේද 

කලින් උයලා තියලා 
මැගී  අම්මා ලෑස්ති වෙන්න 
අද වෙසක් හින්දා 
රෑට අපි වෙජිටේරියන් 
ගිහින් බස්සන්නම් 
පන්සල ගාවට 
හැබැයි පාර්කින් නැති නිසා 
නවත්තන්නේ 
ටිකක් ඈතින් 
හොඳේ

01 May 2015

මැයි දිනයක කතා

කතාව 1

රණේ වේදිකාවේ ඉදිරිපෙළ අසුනකින් වාඩිවි, සුදු සරමේ රැලි සකසා ගත්තේය. සුදු ලේන්සුව ගෙන මුහුණේ නැගුනු දා බිඳු පිස ගත්තේය . ඔහු බොහෝ අමාරුවෙන් ගෙල හරවා පසුතලය දෙස බැලීය . 

"දුන්න ගානට හොඳට කරලා තියෙනවා" ඔහු තමාටම කියා ගත්තේය .

 " වැඩ කරන ජනතාවගේ මැයි  දිනය " පොල් අකුරෙන් පසුතලය පුරා ලියවී ඇත . 

ඇත්තටම මොනවද මම ජිවිතේ වැඩක් කියලා කරලා තියෙන්නේ ... මහජන දිනය , පාර්ලිමේන්තු යන එක , ආසනේ කැම්පේනින් ... මේවත් ඉතින් වැඩනේ ....
සිතුවිලි සයුරක නිගම්න වී සිටි ඔහු පියවි ලොවට ආවේ , උරට කවුදෝ දැමු තට්ටුවකිනි ...

"වැඩකරන ජනතාවගේ නායකයා ...පිළිගන්න රණතිලක මැතිතුමා ".... ඒ වනවිටත් නිවේදකයා හැඳින්වීම හමාර කර තිබුණි .



කතාව 2

පුතේ නැගිටහන් , දැන් එකොළහත් පහු වෙලා  


හරි මහන්සියි අම්මේ , ඊයේ මේ බෑග් එක උස්සගෙන රෑ  වෙනකන්  ඇවිද්දා ටාගට් කවර් කරන්න 

අද මැයි දිනේ , වැඩ කරන මිනිස්සුන්ගේ දවසනේ . ඉස්සර උඹේ අප්පච්චි මැයි දිනේට රතු කමිසයක් ඇඳ ගෙන උදේම ගියාම එන්නේ රෑ  වෙලා 

ඒ වුනාට සේල්ස් රේප් ලා වැඩ කරන මිනිස්සු කැටගරියට වැටෙන්නේ නෑ අම්මේ 


 කතාව 3

වේලාව සවස 5ට විතරය . ආපණ ශාලාවක අඳුරු කෙලවරක මේසයක් වටේ හිඳී  තිදෙනෙකි . මේසය මත කාලක් ඉතුරුවූ අරක්කු බෝතලයකි. එක අයෙක් මුහුණ පුරා වැවුණු සුදු රැවුලින් යුතුය , අනෙකා නැෂනල් එකකින් සැරසි සිටින්නේය , තෙවැන්නා ඔවුන් දෙදෙනාට වඩා තරුණය. කට වට කර පරෙස්සමට වැවූ   ලෙනින් කට් එකක්ය . 

නැෂනල් කාරයා නිහඬතාවය බින්දේය  "මම මෙතන ඉන්නවා කවුරු හරි දැක්කොත් තමා වැඩේ "
"එතකොට අපි ?" සුදු රැවුලා  ඇසුවේය 

"සහෝදරයා ඉතින් වාමන්ශිකයෝනේ "

ලෙනින් කට් කාරයා බැදපු මිරිස් කරලක් හැපුවේය " මම අරූටත් එන්න කිව්වා ..කොහේද  පස්වෙනි සිල් පදේ බිඳෙනවා කිව්වේ "

තිදෙනාම මහා හඬින් සිනා සුනහ 

ඒක නෙමෙයි සහෝදරයා මෙහෙම යනකොට අපිට ආසාවට වත් කෑ  ගහලා කතාවක් පවත්වන්න චාන්ස් එකක් නැතිවෙයිද 

සහෝදරයා එහෙනම් අපි දොළ දුක සංසිඳෙන්නත් එක්ක සින්දුවක් කියමුද 

"සා දුකින් පෙලෙන උන් , දැන් ඉතින් නැගිටියව් .."

හා හා කැරකිලා දෙකට නැමිලා