27 December 2017

හැපී ක්‍රිස්ට්මස් සේල් .. දෙයියෝ ලාබයි

නත්තල් දවස හින්දා මුළු  පල්ලියම පිරිලා . මිසිස් සිරිවර්ධන බොහොම අමාරුවෙන් පිටිපස්සේ බංකුවක අයිනේ ඉඩක් හොයා ගත්තා ඉඳ ගන්න . පාස්ටර්ගේ මුණ පෙන්නේ නැති වුනත් ඔලුව උඩම ස්පීකරේ හින්දා කටහඬ නම් ඇහෙනවා ... ක්රීන් ගාන කොට තමයි ටිකක්  අමාරු 

***
එක දිගට සිතිවිල්ලක හිත පවත්වා ගන්නට දැන් සිරිවර්ධන නෝනාට අමාරුයි . මේ ලෙඩේ හැටි 

නිතරම මුළු ඔලුව පුරාම මකුළු දැල් බැඳිලා වගේ ..ඒත්  හිටපු ගමන් කොහෙන්දෝ මතුවෙන හීන් වේදනාවක් වගේ , මතකයක් ඔලුව පුරාම පැතිරෙන්න ගන්නවා 

***

බිත්ති පොඩ්ඩක් හෝදා ගන්නවත් ඕනේ මැටිල්ඩා ව ගෙන්න ගෙන .. මොනවා වුනත් ක්‍රිස්ට්මස් නේ ... ඉස්සර නම් , මිස්ට සිරිවර්ධන ඉන්න කාලේ , හෝදා හෝදා හිටියේ නෑ , පේන්ට් කෝට් දෙකක්ම ගානවා ... හැබැයි අවුරුද්දට ...  ඒ කාලේ ක්‍රිස්ට්මස් නෑනේ අපිට 

මකුළු දැල්  

****
.. ආයෙත් වේදනාව ...

ආ සිරිවර්ධන නෝනා ....  ඔන්න බඩු ගෙනාවා .....

එහෙමයි .. කීයද හාමුදුරුවනේ ගාන 

රුවන්වැල්ල  හාමුදුරු නමක් තමා  කරන්නේ ... තුන් වරුවක් කියපු පිරිත් පැන් බෝතලේ පන්සීයයි ... එතකොට හත්වරුව කියපු එක තියෙනවා අටසීයයි .. ළමයාගේ විභාගෙට කිව්වා නේද ...හොඳම දේ ළමයින්ට නේ නෝනා ...අටසීයක් දෙන්න ... ඔන්න ඔය ටීපෝ එක උඩින් තියන්න .... හා හා තෙරුවන් සරණයි 

****
මකුළු දැල්  ...මකුළු දැල්  

ඔන්න ආයෙත් වේදනාව  ...

උපත්තියෙන්ම මිනිහෙක්ට ආගමක් බෙල්ලේ එල්ලනවා ... ඊට පස්සේ ඒකට මුලුජීවිත කාලේම ප්‍රාණ ඇප  කාරයෙක් වෙනවා ...

මකුළු දැල්  

****
කල්‍යාණි, මේ අලුත් පාස්ටර් කෙනෙක් ඉන්නවා .. හැන්ඩ්සම් යං පාස්ටර් කෙනෙක් .. අන්ධයන්ගේ ඇස් පාදනවලු , කොරුන් ඇවිද්දවනවලු. හරියට හීලින් එහෙමත් කරනවා .. ගෝඩ් එයට කෙලින්ම කතාකරනවලු . යමුද බලන්න ?

මකුළු දැල්  

 ***

ක්රීන් ... ස්පීකරේ විසිල් පාරක් ගහනවා 

"ඔබට සුබ නත්තලක් වේවා .. දෙවියන් වහන්සේ ගේ ආශීර්වාදය වේවා ...මෙතන ඉන්නවා නම් පිළිකා රෝගීන් , අඟහරුවාදා මගේ කැන්සර් හීලින් සර්විස් එකට එන්න , යනකොට සල්ලි ගෙවලා නොම්බරයක් අරන්  යන්න ."

...ආමෙන් ... මිසිස් සිරිවර්ධනට  කියවුනේ ටිකක් සද්දෙට . එහා පැත්තේ ඉන්න තරුණ කපල් එක හැරිලා බැලුවා
"අද මේ නත්තලේ , අපේ ජේසු සමිදුන් ඉපදුනු දවසේ , දෙවියන් වහන්සේ තමන්ගේ පුත්‍රයා , පව්කාර අපේ ගැලවීමට කැප කල දවසේ ...අපි දෙවියන් වහන්සේ වෙත කැප විය යුතුයි ...මම දෙවියන් ගේ නාමයෙන් ඔබට  අණ කර සිටිනවා අපේ මහා පල්ලිය සැදීමේ අරමුදලට ආධාර කරන ලෙස ... තව මිලියන 4ක් විතර අඩුයි වහලේ ගහන්න ...මතක තියා ගන්න 
මුලින්ම ඔබේ ධනය දෙවියන්ට , ඉන්පසු ඔබට .... දෙවියන්ව ප්‍රශ්න කරන්නේ පව්කාරයෝ ... පවින් මිදෙන්න 

මිසිස් සිරිවර්ධන හිමින් සැරේ , පර්ස් එක ඇරියා .. ත්‍රී වීල් එකට තියෙන පනහ විතරයි ... පෙන්ෂන් හම්බු වුනෙත් නෑනේ 
 .. සුසුමක් පිටවුනේ නොදැනීම . අර ජෝඩුව ආයෙත් හැරිලා බැලුවා
මොනවා කරන්නද , සල්ලි නිසාම ජීවිතේ විතරක් නෙමෙයි ස්වර්ග මාවතත් මිස් වෙයිද මන්දා 

***

පේමන්ට් එක මිනිස්සුන්ගෙන් පිරිලා .. එක එක වෙළෙන්දෝ එක එක දේවල් විකුනනවා .. කකුල ඇද ඇද ඇවිදින එක සෙනග ගොඩේ ලේසි නෑ . දෙතුන් දෙනෙක් ඇඟේත් හැප්පුනා .... ඈ ...ඒ මිනිහා මොනවද මේ කියන්නේ  .  එක්කෝ මට එහෙම ඇහුනා වෙන්න ඇති ... මිසිස් සිරිවර්ධන හිමින් සැරේ වෙළෙන්දාට ලංකලා . වටේට මිනිස්සු පිරිලා මොනවා විකුණනවද කියලා පෙන්නේ නෑ .. හැබැයි  සද්දෙට කියන දේ නම් දැන් ඇහෙනවා 

" හැපී ක්‍රිස්ට්මස් සේල් .. දෙයියෝ ලාබයි ... දෙයියෝ ලාබයි ...ක්‍රිස්ට්මස් සේල් "


පලි :
අසනීපයට උදව් කරන , නිසි කලට වැසි ලබා දෙන, අස්වැන්න ලබා දෙන  බහුදේව ආගම් වලින් , සර්ව බලධාරී ඒකීය  දෙවියන් ගැන විශ්වාසයකට සහ  දෙවියන් රහිත දර්ශන වලට මාරුවෙන කොට,  ඇතිවන හිඩැසට රිංගා ගන්නේ සාන්තුවරු . එතනින් පස්සේ හිමින් සැරේ සාන්තුවරුන් ව එතැනින් අයින්කරලා පූජකයෝ හිටගන්නවා අල්තාර්ය මත  . 


බැරිම උනාම තමන්ගේ දුක කියන්න අයෙක් සිටීම සමාජ අවශ්‍යතාවයක් එක අතකින් . අනෙක් අතට දුකම කලත්ත කලත්ත පීඩිත ත්‍රිල් එකක් ගන්නත් ඒ සංස්ථා/ ආයතන මරු . ඒකත් වැරදි  නෑ . ඔබ කැමති දෙවියෙක් ඇදහීමේ අයිතිය සහ ඒ වෙනුවෙන් පෙනී සිටීමේ අයිතිය ඔබ සතුයි 

ඒත් මෙහෙම මිනිස්සුන්ව මානසිකව වට්ටන, මිනිස්සුන්ව තමන්ගේ හිත්  අස්සෙම ලජ්ජා කරවන , බය පාවිච්චි කරලා මිනිස්සුන්ව අඩපන කරවන , මිනිස්සුන්ගේ ජීවිත, සිත්  ප්‍රාණ ඇපයට අරන්  කෝටි  ගණන් හම්බු කරන නයි තෙල් බෙහෙත් කාරයින්  නම් ..

 මිසිස් සිරිවර්ධනලා ,  පව් ඕයි..

21 December 2017

වචන , කෆ්කා සහ මනස්ගාත

ජීවිතය කතාවක් ..කතාවක් කොච්චර දිගද ....කෆ්කා කියවලා තියෙනවද 

එක කතාවක් කෆ්කා ලියනවා මෙහෙම 

For we are like tree trunks in the snow. In appearance, they lie sleekly, and a little push should be enough to set them rolling. No, it can not be done, for they are firmly wedded to the ground. But, see, even that is the only appearance


මුළු ක්තාවම එච්චරයි . වචනය වචනය ගාව නැවතී නැවතී හිතන්න වෙනවා. මේ තරමට කතාවක් හිඳින්න , කොච්චර හිතන්න ඕනේද ?


ස්වේත හිම 
බිම් හිටවූ 
තැනින් තැන
ඉණි 
 වැනි 
අපි 
පිපි මල් , ලූ  දළු 
සේයාවක්වත් 
නැති 
සුසුමකින් 
වුව 
පෙරළෙන 
සේ පෙනෙන 
...ඒත්
මිහි ගැබට  කිඳී 
මහ මුල් 
බදා පස් 
කඳුලින් පෙඟි
මාරුතයකින්වත් 
සසල නොහි ......

සේ 
පෙනෙන 

19 December 2017

මා හා ඔබ

මා
කියා
පටන් ගත්
ඔබ කියා
නිමා කළ
ඔබ
කියා පටන් ගෙන
මා කියා නිමා කළ
වචන අද්ද අද්දා ලියු
හැම කවක් අතරමැද
අපි  කථා කර ඇත්තේ
විසංයුත
ලොවක්  ගැන

Every poem
that started with I
and ended with you
or with You and I
in the middle of staggering
wordsteps.
Sentences.
have ended up
writing about
everything but
us

***


14 December 2017

සීනි නැති සීනි වැඩි ප්ලේන් ටී සහ හකුරු නැතිව , හකුරුයි කහටයි

මෙය කිහිප විටක් අසා ඇති විහිළුවකි . අපිට ගැලපෙන ලෙස වෙනස් කරන්නම් . තේ කඩයකට පැමිණි මිනිසෙක් හා වේටර් අතර කතා බහකි 

අයිසේ සීනි වැඩි ප්ලන්ටි එකක් ගේනවා මට , සීනි නැතිව 

සීනි වැඩි ප්ලෙන් ටී නම් නැහැ....සර් දැක්කේ නැද්ද බෝඩ් එක , හකුරු එක්ක කහට බොමු කියලා තියෙන .. . හකුරු නැතිව ප්ලේන්ටී එකක් ගේන්නද  ?

දැන් මෙතන තියෙන ප්‍රශ්නය සීනි නැති සීනි වැඩි ප්ලේන් ටී එකයි , හකුරු නැති , හකුරු එක්ක කහට එකයි දෙකම එකද කියන එකයි .

සීනි වැඩි ප්ලේන් ටී සහ හකුරුයි කහටයි ටාගට් මාකට් එක වෙනස්ය . ඒ නිසාම ඒ දෙක සඳහා ගෙවිය යුතු මිලද වෙනස්ය .  අවසන කස්ටමයිස් කරන ලද තේ එකට ගෙවන මිලද ඒ නිසාම වෙනස් වේ .

ඒත් සමාජය දියවැඩියා  රෝගයෙන් පෙළෙයි නම් , හැමදා බොන්නට වෙන්නේ කහටය 

07 December 2017

බය නැති අගමැති සහ ගෝතා බය (ඔබට මතක නැති උනාට ..)

සති කිහිපයකට පෙර කොළඹ තාප්ප පුරා ඇලවුණේ බය නැති අගමැති පෝස්ටරයයි .  නවතම පෝස්ටර ව්‍යාපාරයෙන් මිනිස්සුන්ගෙන් අහන්නේ ගෝතා බය මතකද කියාය . මේ දෙකම ඩිසයින්  වෙන්නේ , මුද්‍රණය වෙන්නේ එකම තැනකින් යයි නොකියමි . එසේ නොවේ යයි ද නොකියමි .

ගෝතා  බය මිනිස්සුන්ට මතක තිබුන නිසාවෙනි , ආණ්ඩු මාරුවක් වෙන්නේ . ඒ බව කෙනෙකුට අමතක වී ඇත . ගෝතා  බය නැවත කිසිම දිනයක ඇති නොවෙන ලෙස සිස්ටම් එක මාරු කිරීමටය කෙනෙක් බලය ඉල්ලුවේ . එයද කෙනෙකුට අමතක වී ඇත . ඇමති වරුන්ගේ වාහන පරිපුරකය මෙන්ම පාස් කර ගන්න මෙන්ම, මේ සිස්ටම් එක මාරු කිරීමට අවශ්‍ය පාර්ලිමේන්තු බලයද ආණ්ඩුවට  ඇති බවද කෙනෙකුට අමතක වී ඇත . ටුකුස් ගාලා අහෝසි කරනවා කියා ස්ටේජ් උඩ මොර  ගැහුවද , තවම විධායක ජනති තමන් බවද තවත් අයෙකුට අමතක වී ඇත .  බැඳුම්කර හෙළුව , පුට් නෝට්  ආදී විවිධ උපක්‍රම වලින් වහ ගන්නට ගොස් බැරි වී සරම ඔසවා මුහුණ වහගෙන ඉන්නා අයටද උන් හෙළුවෙන් බව අමතක වී ඇත . ඔහුගේ හෙලුවට හිනා වෙන අනේකාට  අමතක වී ඇත්තේ අරූ රෙද්ද උස්සා ඇත්තේ තමන්ට බවය 

ගෝටා සාර්ථක වුයේ , එක්තරා සිස්ටම් එකක  පසුබිමේය . ඒ කාලේ කොළඹ මල් පෝච්චි , වොකින් පාත් ලස්සනයි සුදු වෑන්  කැතයි කියන්නට පෙර , මල් පෝච්චි හා සුදු වෑන් අතර සම්බන්ධයක් තිබුනේ දැයි සිතා බැලීමට සිදුවේ . අනෙක්  අතට ඒ තිබුන සිස්ටම් එකේ ආණ්ඩුවක් තව කාලෙකට ලංකාවේ බිහි නොවෙනු ඇත . එවන් තත්වයක් යටතේ , අදේශපාලිනික ගෝටා ආවත් කොච්චර දෙයක් කරන්නට හැකිදැයි සිතේ .

 මිනික්බිති ලියන්නේ  ඕපපාතිකව ඇතිවී නැතිවෙන සිතුවිලි කිහිපයක් ඔස්සේ ලියවුනු එකිනෙකට සම්බන්ධයක් නැති වාක්‍ය කිහිපයකි .

මහින්ද , රනිල් අඹ යාළුකම ගොයින් ස්ට්‍රොන්ග් වගේය . සිරිකොත ඉස්සරහ පාරේ තාර දමා , ගල්රෝලක් නවත්තා රනිල් ගේ අනාගතය රැක ගත්තාද මතකය . රනිල් කියන්නේ මොනවා උනත් කළගුණ දන්නා මනුස්සයෙකි .

නෝන්ඩි  වෙන්න ඉස්සරහට එන අය  අතර  බය නැති එවුන් විතරක් නොව ලජ්ජා නැති එවුන්ද සිටිති.  
සෝඩා විතරක් නොව , දෙකන් රත්වෙන ජින්ජර් බියර් පවා  කල් ගිය විට රැස් යයි . රැස් ගිය විට ඉතිරි වන්නේ , ලාවට රසය දැනෙන , පැණි බීමකි 

මිනිසුන් වර්ග දෙකකි . දෙවියන් විසින් මිනිසා මැවුවා යයි විශ්වාස්කරනවුන් හා මිනිසා විසින් දෙවියන් මැවුවා යයි විශ්වාස කරන උන් සිටින්නාක් මෙන්ම වෙනස් දේශපාලකයන් තෝරා ගැනීමෙන් සිස්ටම් එක වෙනස් වේ යයි සිතන්නොද    , සිස්ටම් එක වෙනස් කිරීමෙන් වෙනස් දේශපාලකයන් බිහිවෙයි යයි සිතන්නොද  වෙති .

පෝස්ටර් දෙක නැවත මතක් වේ . කියන්නට බොහෝ සිතට නැගේ . ඒත් සමහර වෙලාවට කට පරිස්සම් කරගෙන " කිව්වා කියලා හිතා ගනින් " කීම අදහස මනාව සන්නිවේදනය කරන්නේය 

19 November 2017

ජනාධිපතිගේ මුලික රාජකාරිය

ශ්‍රී ලාංකික සමාජවාදී ප්‍රජාතාන්තර වාදී ජනරජයේ නායකයා ජනාධිපතිය . ජනාධිපති ධූරයේ මූලික  රාජකාරි මොනවාද ? අපි මේ ගැන විමසීමක් කළෙමු 

***
ජනාධිපති කියන්නේ කවුද 

"ජනාධිපතිය කියන්නේ අගමැතිගේ ඩෙපියුටි නේද ? "

"ශ්‍රී ලංකා එකේ සභාපති "

***

ලංකාවේ වත්මන් ජනාධිපති කවුද 

රනිල් වික්‍රමසිංහ  ?

මහින්ද නේද ?

ඇත්තටම මමද ?

වත්මන් කවුරු උනත් විස්සයි විස්සේ නම්  අපේ ආණ්ඩුවක් හොඳේ 

ජනාධිපතිනම් මයිත්‍රීපාල සිරිසේන ඒ වුනාට එය  උපදෙස් ගන්නේ  චතුර සේනාරත්න ගෙන්

චන්ද්‍රිකා නේ 

习近平 !!!

***


ජනාධිපතිගේ මුලික රාජකාරි වන්නේ මොනවාද 

අපේ තාත්තා නම්,  ටොයිලට් එකට යන එකට කියන්නේ රාජකාරියට යනවා කියලා ය .  දැන් ඒ කියමන අපිට පුරුද්දට ගිහින්...කවුරු හරි තාත්තව සොයා ගෙන ආපුවහම තාත්තා රාජකාරියක් කරනවා කියලා තමයි අම්මා උනත් කියන්නේ
.... තාත්තාට අධෝ වාතය සද්දේට පිටවෙනවා . අම්මා චික් විතරක් කියන කොට  , තාත්තා කියන්නේ " නෝනේ ඒ මගේ සරල කමනේ " කියලා

රටේ කට්ටියක්  හිතන් ඉන්නේ ෂෙඩ් වල පෙට්රෝල් ගහන එකේ ඉඳන් රටේ ඉන්ධන  සප්ලයි එක ගැන තීරණ ගැනීම දක්වා  ඔක්කොම කරන්නේ ජනාධිපති කියලා .. එහෙම කාලෙකුත් තිබ්බා ... දැන් ඒවා කරන්නේ වෙන කට්ටිය 

විනය කඩන එවුන්ට , ගස් කැප එවුන්ට නම මෙන්සන් කරලා තදින් කියා සිටීම ?

අනුන්ගේ සීනි කිරීම සොරි , මම අදහස් කලේ කෑම  බීම වල සීනි මැනීම 

බයිසිකල් රේස් යාම නම් ඉතින් හිටපු ජනාධිපතිලා නේ 

කොමිසම් පත් කිරීම?
රටේ සංවර්ධන ව්‍යාපෘතිවලට මුල්ගල් තැබීම  සහ විවෘත කිරීම 


අයියෝ මාමේ ඕකවත් දන්නේ නැද්ද ... ඔන්න මට නම් හොලේ තේලුනා ...දැන් හිතන්න,  ඉස්සල මයිලෝ එකක් අතේ තියන් ලට වටේ ඉටියේ කවුද ... මැතිව්ස් නේද.. ඒ කියන්නේ කිකට් කැප්ටන් .... දැන් අපේ ටීම් එක යටටම වැටිලා ඉන්න වෙලාවේ ... අතුරුසින්හත් ඇවිල්ලා ...  මය්ත්‍රී  මාමා කැප් එකකුත් දාගෙන මයිලෝ එකක් අලං  ලට වටේ යනවා කියන්නේ .... එයා ටීම් එකේ කැප්ටන් වෙලා වල්ඩ් කප්  එක ගේනවා කියන එකනේ .... මාමේ ඒම අය ජාතික වීරයෝ නේද 

11 November 2017

පෘට් ඇන්ඩ් නට් අයිස් ක්රීන්

අදත් සුපුරුදු අඬ හැරුම, සුපුරුදු වෙලාවටම 

" නෝනා , මම නොකිව්වා කියන්න එපා,  තව සතියයි දෙන්නේ , ඇදලා දානවා බඩුත් එක්කම පාරට... මිනිහට කියහන් හිඟ කුලී ඔක්කොම ගෙවන්න කියලා ... ලැජ්ජා නැද්ද අප්පා කලිසම් ඇඳන් රස්සාවට යන්න .. අපිත් ජීවත් වෙන්නේ නැද්ද ?"

***

අද නම් දවසකි 
පුදුමාකාර 
කළුවර ගලන්නත් කලියෙන්
 තාත්තාත් ආව 
දෙඋරෙන් අල්ලා තුරුළුකර 
ඉඹිද්දී, කවදාවත් නැතිව 
කඳුලක්ද මන්දා වැටුනේ 
හිස මතට 
මහා බරට 

ලීක්ස් ගස් දෙක තුන 
සිලිමල්ලේ පාලුවට 
පරණ පත්තරේ එතුන 
සීනි බනිස , පඩි දාට 
නොවේ අද 

බලුබ් නැති වෙසක් වැනි  
අයිස් ක්රීන් පෙට්ටියකි 
නිකන් වැනිලාත් නොවුන
පෘට් ඇන්ඩ්  නට් ය , කජු පිරුණ 

රෑ කෑම මේසේදී 
අම්මාට දෙසැරයක් හිර උනා 
ඒත් වෙනදා වගේ 
" කවුරු හරි බඩගින්නේ "
කියලා නම් කිව්වේ නෑ 
"පැණි රහ මට එපා"
 වෙනදා කියන තාත්තාත් 
බෙදා ගත්තා අයිස් ක්රීන් 
අඬුව නැති කෝප්පෙට
ඒත්  ඇයි, බලා ඒ 
ඇහැ අද්දර කඳුලු
පිසදැම්මේ
අම්මා

***
පුවතක්:
ණය  බර දරන්නට බැරිව , අයිස් ක්‍රීම් එක්ක වස කා පවුලම දිවි නසා ගනිති 

21 October 2017

සන්තෝසයි නිකරුනේ , ආඩම්බරයි කිසිම හේතුවක් නැතිව

ඊයේ අපේ කන්තෝරුවේ පොඩි ජය සැමරුමක් ... සති දෙක තුනක් තිස්සේ කණ්ඩායමම විසඳන්න හදපු ප්‍රශ්නයක් , විසඳා ගත්තා . " මට අද හරි සතුටුයි " එකෙක් කියනවා ... " හුරේ " තව එකෙක් ජයඝෝෂා නගනවා 

මේ විසඳුමෙන් අපි කාටවත් පුද්ගලික වාසියක් නෑ .. අනෙක් අතට ලෝකෙට  ලැබෙන එහෙම කියලා සෙතකුත් නෑ  ... ඇත්නම් ඇත්තේ ආයතනයට ලැබෙන ලාබය වැඩිවීමේ සම්භාවිතාවක් විතරයි .... සඳුදා උදේට අපිට අලුත් ප්‍රශ්න තිබේවී විසඳන්න .. ගෙදර ගියාම අපේ ජීවිත වල ප්‍රශ්න පොදිය එහෙම්මම තියෙනවා . 

අපි,  මිනිස්සු , සංවේදනා වලට ඇබ්බැහි වෙලා . සතුට , දුක , විස්මය , තිගැස්ම ට ඇබ්බැහි වෙලා . ඉතින් ඒ හයි එක ලබන්න අපි කතන්දර ගොතා ගන්නවා .. සමහර ඒවා හැපී එන්ඩින් , සමහර ඒවා ට්‍රැඩජි .

"සුනීතට බිමින් තියන්න කියූ අසුචී කඳ මොකක්ද?" ඔය අස්සේ එකෙක් , දෙකක් දා ගෙනද කොහෙද , බුකියේ ප්‍රශ්නයක් අහනවා 
"මොකෝ මේ ?"
" උත්තරේ කියහන්කෝ "
"උත්තරේ මම  හිතන විදියට .."
"හරියට හරි "
"මම උත්තරේ කිව්වේ නෑ නේ .."
"කිව්වා"

සිත ගමන් වෘත්තය සම්පුර්ණ කරනවා. සිතුවිලි වළල්ල වැහෙනවා 

***

" මගේ කණ්ඩායම  ගැන මට මාර ආඩම්බරයි " බොසෙක් ඇවිත් පහක් දෙනවා ...අයිනක කෙල්ලෙක් ඇඹරෙනවා  

 මගේ සිතුවිලි , බුකියේ පැතිරෙන අලුත් වසංගතයකට සහ ඒ ගැන දැක්වෙන අර්ථදැක්වීම් වලට සමපාත වෙනවා . 
"ප්‍රවුඩ් ටු බී ..." 
ගෝත්‍රිකත්වයෙන් මිදිලා එලියට ආපු මිනිස්සු ආපහු මුණේ ගා ගන්න ගෝත්‍රයට අදාළ වර්ණය හොයනවා .

" මචන් මේ ප්‍රවුඩ් ටු බී ශ්‍රී ඥානවිමලයින් ( ඔහු ගිය දහම් පාසැල ) වගේ විහිලු දාන්නේ නැතිව , ප්‍රවුඩ් ටූ බී ශ්‍රී ලන්කන් වගේ දාන්න එකෙක් වත් නෑනේ "

" ඇයි එහෙම දාන්නේ "
" අපි ලෝකේ කොහේ ගියත් , කොහේ PR තිබ්බත් , හදවතින් අපි ලාංකිකයි නේ "
" ඒ දෙකම එකයි නෙවෙයිද " (මම නොඇසුවෙමි , සිතුවා පමණි )

14 October 2017

ෆ්ලෝ ෂයින් සහ ගුටි කන ගුණේ


168 බස් එකේ අයිනේ සීට් එකේ ලාවට නින්දක් දාගෙන ගිහින් , කොන්දොස්තර තෙමේ " සෙන්ට්‍රල් බෑන්ක් බහින්න " කියනකොට අවදිවෙලා , ඊළඟ නැවතුමෙන් බැහැලා උදේ පාන්දර වැඩට ගිය කාලයක් මටත් තිබුනා . විදේශීය බැංකුවක දේශීය ශාඛාවක වැඩ කරපු මට ඇත්තටම එහෙම උදේම යන්න නියමිත වැඩක් නොතිබුනත් , ඉස්කෝලෙන් ගේට්ටුවෙන් එලියට බැහැලා , රස්සාවේ පිළිකන්නට ගොඩ වෙච්ච මට උදේ නැගිටින එක පුරුද්දක් ඇබ්බැහියක් වෙලා තිබිච්ච නිසාත් , උදේ පාන්දර දවස සැලසුම් කරගන්න තියෙන නිස්කලංකය නිසාත් , උදේ කැන්ටිමේ සංගමයට මා ලොල් වී සිටි නිසාත් උදේ පාන්දරම වැඩට ආවා .

පොත අත්සන් කරලා , ඊළඟට මුහුණ අත පය  පොඩ්ඩක් සෝදා ගන්න, මුත්‍රාශය හිස් කර ගන්න වැසිකිලියට යන කොටම, හැමදාම ගුඩ් මෝනින් සර් කියලා දෙසවන් දක්වා හිනා වෙච්ච කෙනෙක් උන්නා . අපේ කන්තෝරුවේ සනීපාරක්ෂක කටයුතු ඒ වෙනකොටත් පුද්ගලික ආයතනයකට බාර දීලා තිබ්බේ . ඔහුගේ නම කිහිප විටක්ම අසා ඇති බව මතක තිබ්බත් , නම මතක නෑ . ඒත් කවුරුත් ඔහුව ඇමතුවේ "ෆ්ලෝ ෂයින් " කියලා , ඔහු සේවය කළ  ආයතනයේ නමින් .  

දවසක් මම මොකක්දෝ වැඩකට මහා බැංකුවට ගියා . මහා ප්‍රතාපවත් කුළුණු අතරින් විදුලි සෝපානය දෙසට යන කොට , මෙන්න පුරුදු මුහුණක් .

"ෆ්ලෝ ෂයින් ??!!"

"ආ සර් .."

"උඹ මොකද මෙහෙ කරන්නේ ? "

" සර් ලෝකල් බැංකු , පොරින් බැංකු , පොඩි බැංකු , මහා බැංකු කියලා නෑ  .. අපි ඔක්කොම සුද්ධ කරනවා ..."

මේ සතියේ ප්‍රවෘත්ති කියවා ගෙන යන කොට එක පාරටම මට ෆ්ලෝ ෂයින්  මතක් උනා 

පලි : සුද්ද කිරීම වනාහි ශිල්පයකි . එය එක තැනක ප්‍රගුණ කර ගත් කල ඕනෑම තැනකදී පාවිච්චි කළ  හැක 

***

"මචෝ , අරු දුවලා ගියේ , උගේ කට්ටිය ගේන්න ...දැන් වලියක් ෂුවර් එකටම සෙට් වෙනවා , දුවලා ගිහින් ගුටි  කන ගුණේට  එන්න කියපං "

මා පාසැල් සමයේ , කාලගුනේ , තඩි ගුනේ , ගුඩු බණේ ආදී ගුණේ ලා රාශියක් සිටියහ . 

ගුටි කන ගුණේ හෙවත් වන්- ෆෝ -ද -ටීම්- ගුණේට කොල්ලෝ මුහුණට කිව්වේ හිත හොඳ ගුනේ කියලාය . ඒත්  යථාර්ථය , ගුටි කන ගුනේ බව , අපිත් , ගුනේත් , ගුනේ දන්නා බව අපිත් , ගුනේ දන්නා බව අපි දන්නා බව ගුනේත් , දැන සිටියා . 

ගුනේ කලේ එක අතකට සමාජ සේවයක් . හැබැයි හැම සේවා සපයන්නෙක් වගේම ඔහු ඊට අය කිරීමක් කළා . සුළු සීරීම් සඳහා සිගරට් පැකට් එකක සිට , හන්දි විසන්ධියක් සඳහා රුපියල් දාහක්  (ඒ කාලේ ලොකු ගානක් ) දක්වා මිළ දර්ශකයක් ඔහු ගාව තිබුනා .  

හොඳට ඇඟ පත තිබුණු ඔහු ඕනෑම වලියකට ඉදිරිපත් වී , සතුරාගේ අවධානය තමන් වෙත යොමු කරගෙන , ඉන්පසු ප්‍රහාරය සඳහා තනිවම මුහුණ දෙන්නේ , ඉදිරියට පැන වන් ෆෝ ද ටීම් ඉල්ලන් කන්නේ,  අනෙක් එවුන් ගේ ඇඟ පත බේරා දෙමිනි , ඔවුන්ට බේරී පලායාමට ඉඩ සලසමිනි . ගුටි නොකන වලි පවා , ගුටි කන මට්ටටමට ගෙන ඒමට ඔහු උත්සුක වන්නේ , වාසිය එවිට බැවිනි .


පලි : රස්සාවට ගුටි කන එකාට , ගහන තරමට වාසිය ඌටමය. 

ගුණේ  වේවා , බැසිල් වේවා , රවී වේවා , ඉරාජ් වේවා , නාන සාර වේවා , රාජිත වේවා , තිලංග වේවා , ගුනේ වේවා, ජයම්පති වේවා  කොටින්ම රනිල් වේවා (මෙකී නොකී අනෙකුන් වේවා ) මෙය පොදුය 


05 October 2017

රාමු




ලංකාවට යන්නේ නෑ ?

ජූලියේ ගියා , අවුරුද්දට දෙපාරක් යන්න ආසා උනත් ආර්ථිකෙට දරන්න බෑ  

එහෙම නෙමෙයි මම කියන්නේ .. ආයේ එහෙ ජීවත් වෙන්නම ...

හ්ම්ම් , ඒක ටිකක් සංකීර්ණයි 

අපි නම් යනවා ඊළඟ අවුරුද්දේ 

හොඳයි ..ඒත් ඇයි  මේ හදිස්සියේම  ?

මට ඉන්නේ කෙල්ලෝ දෙන්නෙක් , උන් දෙන්නත් ලොකුවෙනවා 

ඉතින් ?

නිකන් හරි චීන කොල්ලෙක් හරි , ඉන්දියන් කොල්ලෙක් හරි සෙට් උනොත් වහ කන්න නේ වෙන්නේ 

ඒ ඇයි 

ඇයි ? යකෝ ..!! අපි දරුවන් වෙනුවෙන් දුක් විඳලා සල්ලි හම්බු කරා ... ලංකාවේ අපිට දරන්න තියා හිතන්නවත් බැරි 
බැරි අධ්‍යාපනයක් උන්ට දුන්නා ... සුදු හම දැක්කම අපි වගේ ඇඹරෙන්නේ නැතිව හරි හරියට කතා කරන්න උන්ව ලොකු මහත් කළා .  අපේ දූපත් මානසිකත්වයෙන් උන්ව මිදෙව්වා .. හොඳ ලංකාවේ කොල්ලෙක් සෙට් වෙන තැනට වැඩ කරන එකත් අපේ යුතුකමක් ... උඹට එහෙම හිතෙන්නේ නැද්ද ?

පලි 

ඇතැම් විට අපි රාමු තුළ හිරවී සිටිමු . ඒ රාමු කඩාගෙන එලියට පැන්න  උන් ආයෙත් රාමු ඇතුලට නොඑන්නට හිත හදාගෙන රාමුවෙන් එළියේ හිරවී සිටිති .  ඇතැම් විට රාමු පිට රාමුය . පන්ති රාමු , ජාතික රාමු. ප්‍රාදේශීය රාමු , කුල රාමු 
 මෙන්ම ලිංගිකත්වය පිලිබඳ රාමු අපිට පෙනුනද , බොහෝවිට අනන්‍යතාවය පිලිබඳ රාමුව පාරදෘශ්‍ය වේ . 

ඇත්තටම , මට එහෙම හිතෙන්නේ නැත . අනේ මන්දා ... 

29 September 2017

සහෝදරත්වයේ අත දික් කිරීම

....සිංහල භාෂාව සඳහා අංක දෙක ඔබන්න 

ටීක් 


ආයුබෝවන් , අපගේ නියෝජිතයන් කාර්යබහුල බැවින් මදක් රැඳී සිටින්න 


(පසුබිම් සංගීතය )


..සෙකය නිසා ... මේ .. දුරුවෙයි සා...මේ .. ලොව ගිනි දැල්.. වී .ම්ම්මනු ලොව අපායක්ම...වෙ .. ජින්ජිටි  ජින්ජිටි ....ම්ම්මිනිසාමයි ලොව දෙවියන් වන්නේ ඒ ඒ ඒ ... මිනිස්සාමයි ලොව තිරිසන්...


හෙලෝ ගූඩ් මොර්නින්ග් ..යු එන් එච් සී ආර් .. සැමි  හියර් , හු ඊස් දෙයාර් ?


අම්මට සිරි ඉංග්‍රීසි චැනල් එකනේ අහුවෙලා තියෙන්නේ ..වැරදුනා වත්ද ... මිස් මම දෙක එබුවේ 


ඕකේ  ඕකේ .. සැමි මෙතන,  කවුද ඔතන ?


හි හි .. මම චමින්ද 


ඔව් කියන්න මිස්ට චමින්ද

ගුඩ් මෝනින් මිස් , මේ යූ එන් එච් සී ආර් ද 

ඔව් 


මම මේ පොඩි දෙයක් දැන ගන්න කතා කලේ 


ඔයා කොහෙන්ද කතා කරන්නේ 


ඇයි මිස් සිංහලෙන් කතා කරන වෙන රටවල් තියනවද ... මම නම් ලංකාවෙන් 


සොරි මට එක මිස් අන්ඩර්ස්ටෑන්ඩ් වුනා .. ඉචින් කියානකෝ මොකක්ද කෙරෙන්න ඕනේ කීලා 


මිස් කතාකරන විදියට එකත් අමතක වෙනවා .. මෙහෙමයි ..මුලින්ම අපි කැමතියි අර රෝහින්නා සරණාගතයන්ට අපේ රටේ කට්ටිය සලකපු විදිය ගැන කනගාටුව  පලකරන්න .. මම එක පේස් බුක් එකෙත් රෝස පාට බැක්ග්‍රවුන්ඩ් එකේ කලුපාට අකුරෙන් දැම්මා . කොමෙන්ට්ස් ම එකසිය තිස් පහක් තිබ්බා ,ලයික් හාරසීයක් , හිනා වෙන මුණු විසිතුනයි , ඇහෙන කඳුළු වැටෙන මුණු හැටයි  


ඔයා රජයේ වගකිව යුත්තෙක්ද 

පිස්සුද මිස්.. අපේ ආණ්ඩුවේ ඉන්නවද එහෙම උන් 


ආ ඕකේ ..වෙන මුකුත් තියෙනවද ?


ඔව් .. දෙවනුව මම කතා කරේ සරණාගතයන්ට සහෝදරත්වයේ දෑත් දිගු කරන්න ....මම නම් ලෑස්තියි කියලා කියන්න සරණාගතයන් කීපදෙනෙක් අපේ ගෙදරට බාර ගන්න ..


මොකක්ද කිව්වේ ?


නෑ  මම කිව්වේ ඔය සරණාගතයන් කීපදෙනෙක් අපේ ගෙදර එවන්න කියලා .. ඇඩ්රස් එක දෙන්නද ?


පො පො පොඩ්ඩක් ඉන්න ..මම මගේ මැනේජර්ට ට්‍රාන්සර් කරන්නම් කෝල් එක 


(නැවතත් පසුබිම් සංගීතයක්... තිරිසන් වන්...නේ .. ජින්ජිටි  ජින්ජිටි .. මිනිසාමයි ලොව දෙවියන් වන්...නේ ...මිනිසාමයි ..)


හෙලෝ චමින්ද මහත්මයා , සමන්තිකා මට ඔබේ කරුණාවන්ත යෝජනාව ගැන කිව්වා .. මුලින්ම ලෙට් මී ටෙල් යු , ඔයා වගේ මිනිස්සු තමයි ඇත්තටම ලෝකේ ලස්සන කරන්නේ 


ටැංකු , මහත්තයෝ මට මේ සිද්ධිය අහපුවහම හිත වාවන්නේ නැති උනා 


මට තේරෙනේවා හර්ද සාක්ෂියක් තියෙන මිනිස්සුන්ට මේවා ඉවසන් ඉන්න බෑ  මට තේරෙනේවා. දැනටනම් ලංකාවේ ඉන්නේ රෝහින්‍යා වලින් ආපු සරණාගතයෝ තමයි , ඉතින් ඔයාටත් පුළුවන් නේ  ඒ ගොල්ලන්ට උදව් කරන්න පුළුවන් 


අපෝ එහෙම නෙමෙයි , මම මේ කතා කලේ ..මහත්තයෝ මේ දැන් ඔය සරණාගතයෝ අපිට ඕන රටකින් ගෙන්න ගන්න පුලුවන්ද ....මහත්තයෝ වරදවා තේරුම් ගන්න එපා .. කාගේ උනත් දරුවොනේ 


නෑ  නෑ කියන්න 


අර හියු හෙෆ්නර් මහත්තයා මැරිලානේ , මම ඉතින් රෑ දාවල් කල්පනා කලේ  ඒ උත්තමයා රැක  බලා ගත්ත ගෑනු ළමයි ටිකට යන කළ දවස .. ඒ කට්ටිය දැන් අනාත වෙනවනේ .. ඔහොම ගිහින් කෙල්ලෝ වැරදි මාර්ගෙට උනත් යොමුවෙන්න පුළුවන් .. ඒ නිසා ඒ සරණාගත ළමයි දෙන්නෙක් .., තුන් දෙනෙක් උනත් කමක් නෑ අපේ ගෙදර නවත්ත ගන්න පුළුවන් ....එවන්න 


ටීක් ටීක් ටීක් ටීක් 


 හෙලෝ හෙලෝ ?.. හෙලෝ ...යූ  එන් එච් සී ආර් ? ..චැහ්  කට් උනානේ 

24 September 2017

ලෝකේ දිගම ඔසරි පොට

ආ ලියන මහත්තයා , දැක්කද ලෝකේ ලොකුම ඇන්දීම 

අනේ උඹලාත් ... උන් දැන් අර ආයා කටු කිලෝ තුන හතරත් ගලවලා , ඔසරියත් උනාදාලා , ඉතුරු පසු  කටයුතුත් අහවර කරලා , හනිමුනුත් ගිහින් ඇති .. උඹලා තාම ඔසරි පොට අල්ලාගෙන ඉන්නවා තාර  පාරේ 

ලියන මහත්තයා කුණු හබ්බයක් කතා කරනවා .. මම කිව්වේ වෙන ඇන්දීමක් 

මොන ?

අර විස්සේ කතාව 

ඒ මොකක්ද බන් 

අනේ ලියන මහත්තයා මේ රටේද ඉන්නේ ? විසි වෙන සන්සෝදනේ 

ඈ  එහෙම එකක් තිබුනද ? පත්තරේකවත් තිබුනේ නෑ  නේ 

ඒක තමයි 

අනික ඒක  විසිවෙන නෙමෙයි , විසිවන .. දැන් මොකද වෙලා තියෙන්නේ ? ඒක සම්මත වෙලාද ?

සම්මත වෙලා නෑ 

එහෙනම් පරාදයි ?

පරාදත් නෑ 

ඒ කියන්නේ ?

දැන් මෙහෙමනේ , උන්ම කිව්වා මේක තමයි මහාමේරුව වගේ අපේ රටේ සංවර්ධනයට , ප්‍රජාතන්තරවාදයට , සසර කෙටි කර ගැනීමට , අජරාමර නිවනට තියෙන මහා බාධකය කියලා , විස්ස ගෙනත් මහමෙර පුපුරවා අරිනවා කිව්වා , ඔන්න ගේනවා කිව්ව එක ගෙනාවා .. ඒක අලියට වාසියි කියලා , බුලතා විරුද්ධයි .. බුලතා විරුද්ධ වෙන එකට අලියා විරුද්ධයි ... අලියයි බුලතයි  විරුද්ධ වෙනවට රත්තෝ විරුද්ධයි ...

මේ තුන් දෙනවා සමගි කරන්නට මැරිච්ච මිනිහෙක් එයි ?

ආයෙත් ලියන මහත්තයා කුණුහබ්බ කියනවා .. මැරිච්ච මිනිස්සු එන්න මේක සොම්බි ෆිල්ම් එකක් යෑ ? ඉන්න එවුනුත් මැරිලා යනවා මිසක් ... අන්තිමේදී මුන් ඔක්කොම එකතු වෙලා කියයි අපිට " ඔන්න අපි ගෙනාවා හිටං , ඔහෙලා විරුද්ධ වුනානේ , දැන් ඉතින් කොරන්න දෙයක් නෑ , පරණ විදිය හොඳම විදිහ .. මොන රටක්ද අප්පා මේක ..හා ද ??"

ඊට පස්සේ ?

ඊට පස්සේ විස්සයි විස්සේ , ආයෙත් අලියත් ඉල්ලයි විස්ස කරන්න ආයේ අපට දෙන්න ඉඩක් කියලා .. බුලතත් කියයි ඕක කරන්න සැබෑ උවමනාව තියෙන්නේ අපේ ජනාධිපති තුමාට විතරයි හිටං දෙන්න අපිට ආණ්ඩුවක් කියලා , රත්තෝ කියයි , කෝ ගිය සැරේ දෙගොල්ලොම කලාද ? නෑනේ ? දෙන්න අපිට? මොන රටක්ද අප්පා මේක කියලා ... අර ඔසරි පොට අල්ලාගෙන අපි ආයෙත් තාර පාරේ 

හ්ම්ම් .. මේ .. තමුසේ හරි ඕයි ... විසිවන නෙමෙයි විසිවෙන තමා 

02 September 2017

වාසනා අනාත නිවාසයේ පාටියක්

තුනට විතර හැන්දෑවේ 
විලවුන් සේල මග හලන් 
සිලි සිලි මලුවලට 
මසවුළු පුරවන් 
මිසීලා ඇවිදින් 
කලින්ම නිවාසේ බුක්කරන් 


නෙක පාට බැලුම් බෝල 
පිරෙන්නම පුම්බන් 
..හුලං 
රාමුව පිරෙන්නම 
විරිත්තන් 
නිවහනේ පොඩි එවුන් 
මිසීලව වට කරන් 
ගහත් සෙල්පි 
නැතිව නිතොරක් 

නොසෙල්ලී ,  ඇදී හුස්ම  අල්ලං 
වත පුරා සිනා රැළි ගල් වෙං 
පොඩි උන්ට මේවා  පුරුදුයි දැන්

වල් නෙලපු 
කාස්ටක අව්වේ
තරඟයක් 
ඉස්ස‍රහ මිදුලේ 
බැට් කරත් 
බෝයි ප්රෙන්ඩ් මහතැන් 
පොඩි එවුන් පිට්ටනියේ 
ෆීල්ඩින් 

පොඩි උන්ට  මේවා පුරුදුයි දැන්

බේත් ඩේ කේක් එක 
කපන්නට පළමු කොට 
සෙල්ලමක් , 
සිංදුවක් , 
නැටුමකට
වටවෙන්න

රැයක සඳත් නොනැගුණු  
කඳුළු අඳුරේ දිලුනු 
සුමනේ මාමා මුණ ඉඹලා 
බඩට ළමයෙක් දීපු 
..රේණු 
(ඊයේ පහළොව ලබාපු )

අඳිනවා මනාලිට 
ඉස්ටේපල් කටු මැහුම
පරණ පත්තර ගවුම 
දික් කරන් තොල්
ගාන්න ලිප්ස්ටික්

27 August 2017

හර්ෂගේ දුක

පහුගිය සතියේ හර්ෂ, රූපවාහිනියේ තමන්ගේ දුක කියලාය . ආවේගයෙන්ම කියලාය . මේක මහ හොර රටක් ඕයි කියලාය . මේ රටේ ඔක්කොම , ( අහම් අහම්.. මම ඇරෙන්න ) අමු තක්කඩියෝ ඕයි කියලාය 

අනිත් එවුන් හතර දෙනාත් ,ඔව් ඕයි  අපි ඇරෙන්න ඔක්කොම එවුන් මහා හොරු කියන්නට මෙන්  , ඔලුව වනලාය . 

ඊට පස්සේ හතර දෙනාම සුදේව ගේ මුණ දිහා බලා " හොර ගෙඩියා ..ගෙනියනවා එෆ් සී අයි ඩී " කියලා හිනා වෙන්නත් ඇතිය .

මහින්ද ගේ සමයේ මහින්ද මුලින් කීවේ එක්කෝ යුද්දේ නැත්නම් නීතිය , දෙකම බෑ හාන්දුරුවනේ   කියාය . මම යුද්ධ කරලා නැති නිසා ඒක එහෙම වෙන්න ඇතැයි  සිතුවෙමි. ඊට පස්සේ කිව්වේ එක්කෝ සංවර්ධනේ නැත්තනම් නීතියේ ආධිපත්‍යය , දෙක එකට බෑ ඕයි හාන්දුරුවනේ  කීය . මම රටක් සංවර්ධනය කරලා නැති නිසා , සාපෙ සමාජ අධ්‍යනයත් යාන්තම් ජාමේ බේරා ගත්  නිසා ඒකත්  එහෙම වෙන්න ඇති ඕයි කියා සිතුවෙමි .

යහපාලනය ඇවිත් කීවේ , හොරු අල්ලන්නයි , ආණ්ඩුව ගෙනි යන්නයි දෙකම එකට නිකන් බෑ  වගේ හිටං  කියලාය . . ඊට පස්සේ කිව්වේ ණය  ගෙවන්නයි හිටං යහ පාලනෙයි හිටං දෙකම එකට බෑ  ඕයි  කියලාය . ආණ්ඩු කෙරිල්ල , යහපාලනේ ගැන මා දන්නා තරම ගැන සිතා, ඒවා එහෙම වෙන්න ඇතැයි  සිතුවෙමි . 

අරුන් ඔක්කොම හොරු ඕයි ,  ඒත්  දඬුවම් කරන්න සාක්කි නෑ ඕයි කියනකොටනම්  , එහෙනම් හොරා කියන්නේ කොහොමද මහත්තයෝ  කියන එක මට ප්‍රශ්නයක් විය .
 සාක්කි එළිවෙන කොට ජෙන්ටල් මෑන් කෙනෙක් වගේ විත් ප්‍රයිඩ් අස්වෙන කොට   , දැන් කේස්  ක්ලෝස්ද ආයිබෝං කියා පැනයක් සිත නැගුණි 

හැබැයි මේ හර්ෂ ගේ කතාව මාව අන්දුන් කුන්දුන් කළේය . හර්ෂ කියන්නේ මේ රට මහා හොර රටක් . ඒ නිසා දේශපාලකයන් ගේ හොර කම් වලට ඇඟිලි දික් කරන්න සදාචාරාත්මක අයිතියක් ජනතාවට නෑ  කියා ද ? ලෙඩුන් බලන වෙලාවට පස්සේ වාට්ටුවට යන්න සිකිරුටියාට  නෝට්ටුවක් අත  මිට මොළවන ජේමිස්ට , රවී ගේ පෙන්ට්  හවුස් එක ගැන අහන්න සදාචාරාත්මක අයිතියක් නෑ  කියලද ?

හොරුන්ගේ චන්දයෙන් , හොරුන්ගේ නියෝජිතයෙක් ලෙස පත්වෙන කොට හර්ෂගේ මේ ඩිස්ගස්ට් එක තිබුනේ කොහෙද ? මේ කියන්න හදන්නේ හොරුන්ගේ දේශයේ , හොරුන්ගේ නියෝජිතයන්ට , හොරකමට ලයිසොන් ඇති බවද 
නැතිනම්  ධනය , කුලය  , උගත්කම යන හරස්කඩ උඩ පන්ති ක්‍රමය පවත්වාගෙන යමින් ඒ මගින් බලය ගොඩ නගා ගන්නා සිස්ටම් එකේ , දැන් සදාචාරත්මක බව (moral value ) එක මත උඩත්  පන්ති ක්‍රමයක් ස්ථාපිත කරන්නද . අන්ධයන්ගේ ලෝකයේ එකැස් මිනිහා රජෙක් කියන්නද 
නැති නම් උනුත් හොරු , මුනුත් හොරු , අරුනුත් හොරු  තමයි ඕයි  , හැබැයි අල්ලන්න නම්  සුවඳ සබන් ගාලා , කැළණි ගඟෙන් නාලා පේවෙලා, (පොඩ්ඩක් රෑ වෙලා  ) එන්න කියා කියන්නද 

20 August 2017

පොලීසියේ භාවනා පංතිය , හෙළුවෙන් නැටීම සහ හෙළුවට හිනා යාම

මේසයක් ඉස්සරහ පුරුදු කට්ටියක් වාඩි වෙලා ඉන්නවා .  මැද  ඉන්නේ කැබිනට් ප්‍රකාශකයන් . දෙපැත්තේ නිකන් සැරියුත් මුගලන් වගේ ආමි එකෙනුයි පොලිසියෙනුයි . ඉස්සරහ ඉඳගෙන ප්‍රශ්න අහන්නෙත් පුරුදු කට්ටියම තමා . විහිලු ප්‍රශ්න අහනවා විහිලු පිළිතුරු දෙනවා ... උන්ගේ ජෝක්ස් වලට උන්ම හිනා වෙනවා .

පොලීසියේ භාවනා පංති .. කණ  පැලෙන්න දෙකක් දී , සිත ඒකාග්‍ර කිරීම .... නිවන් දැක්කීම ....මජ්ජ පමා දට්ඨානා වේරමණී ...පොලිස් මාජ්ජ ප්‍රකාශක ජෝක්ස්  එක උඩ එක ගොඩ ගහනවා ...කාගේදෝ හෙළුවක් පෙනෙනවා 
උත්තර දෙන අයත්  හිනා වෙනවා , ප්‍රශ්න අහන උනුත් හිනා වෙනවා ...අපි ???  ...අපිත් හිනාවෙනවා 



***
ස්ට්‍රීප් ක්ලබ් එකක ( ඔව් ඔව් අර ගෑනු වේදිකාවක් උඩට නැගලා ඇඳි වත  , සංගීත රිද්මයට ගලවලා හෙළුවෙන් නටන්නේ  ) , වේදිකාව මත  ගැහැනියක්  රෙදි ගලවන කොට , ඉස්සරහ ඉඳ ගෙන ඉන්න පිරිමි ..

පොඩ්ඩක් කතාවෙන් එලියට පනින්න අවසර .. අතුරු කතාවක්  මතක් උනා 

ඉස්සර යතාර්තවාදියෙකුගේ කතා කියලා කතා ලියාපු නිහාල් , මේ වගේ කතාවක් ලියලා තිබ්බා . මේ වගේ තැනකට ගිහිල්ලා ඇවිල්ලා ඇතිවුන පස්චාත්තාපය ගැන . නිහාල් දැන් ලියන්නේ නෑ .. ඒත්  වෙන අවතාරයකින් සැරිසරනවද  කියන්න මම දන්නේ නෑ ..

නැවැත්තුවේ වේදිකාව ඉස්සරහ ඉන්න පිරිමි ගැන කියලනේ .. ඉතින් පිරිමි , මනසින් අනේකවිද දේවල් කරන ගමන් , හිතන්නේ අර ගෑනි තමයි   හෙළුවෙන් කියලා ... ඒත්  ඒ වේදිකාව උඩ  රෙදි ගලවන ගැහැණිය දන්නවා , හෙළුවෙන් ඉන්නේ වේදිකාව යටට වෙලා බලන් ඉන්න එවුන් කියලා 

***

අනුන්ගේ හෙලුවට හිනා වෙන අපි, හිනාවෙන්නේ උගේ හෙලුවට නෙමෙයි , 
එක්කෝ අපි හෙළුවෙන් ඉන්න බව අමතක කරන්න,  නැත්නම් අපි හෙළුවෙන් ඉන්නවා මතක් කරලා ... අපි හෙළුවෙන් ඉන්නකොට කොච්චර විහිලු සහගතද කියලා හිතිලා 

13 August 2017

ගෑනු පිරිමි , සිංහල දෙමළ සහ විජේදාස රාජපක්ෂ (එකයට රත්නේ සමග සල්ලාපයක්)

මචං  මේ 

ඕ 

අනාගතේ මිනිස්සුන්ගේ ආයුශ  අවුරුදු එකසිය පනහ දෙසිය වෙනවා කියන්නේ 

ඔව් ඔව් පන්සලේ හාමුදුරුවොත් කිව්වා 

ඒ විකාර නෙමෙයි , දැන් කෘතීම ඉන්ද්‍රියන් , අවයව වවන්න ගත්තම , ඒවා බද්ධ කරන්න ගත්තම , දිගටම අලුත් වෙවි ජීවත් වෙන්න පුළුවන් වෙයි . එතකොට  මරණය කියන්නේ චොයිස් එකක් වෙනවා 

අනේ උඹේ එක යට කතා 

මචන් එතකොට සෙක්ස් මොනවගේ වෙයිද 

ඒ කිව්වේ 

නෑ මං කිව්වේ දැන් මේ අවුරුදු තිහ හතළිහේ කසාද වල ඇතුලෙත් ඩිස් ඩි ඩි  ඩින් බෝරින් වෙන එකේ ..අවුරුදු දෙසීයක් තිස්සේඕක කොහොම කරන්නද ..

මම හිතන්නේ මිනිස්සු බහු විවාහ සංස්කෘතියකට මාරු වෙයි 

එහෙමත් වෙයි ... නැත්නම් එකම විවාහය ඇතුලේ  ලිංග විපර්යාස වෙයි 

ඒ කිව්වේ 

ඒ කිව්වේ මුලින් අම්මා ළමයි දෙන්නෙකුට පස්සේ , තාත්තා වෙලා ...තාත්තා අම්මා වෙයි 

හිහි ... අර ගමේ ඉස්කෝලේ මනමේ ප්‍රොඩක්ෂන් එකේ තුනයි තිහේ වැදිරජා හයයි තිහේ ෂෝ එකට මනමේ කුමාරිට ඇන්දා වගේ 

එහෙම වුනාම ඔය ස්ත්‍රීවාදය , පුරුෂාධිපත්‍ය ඔක්කොම අහෝසි වෙනවා 

හිහි 

මචං  ඇත්තටම ලංකාවේ ඕක කරන්න ඕනේ ජාතිකත්වයට ... හැම පුරවැසියෙක්ම මුල් අවුරුදු දහයක් සිංහල  ඊට පස්සේ අවුරුදු දහයක් දෙමළ  ආයේ අවුරුදු දහයක් මුස්ලිම් ...ජාතික ප්‍රශ්නය අහෝසියි 

පිස්සු කතා .. එතකොට ජාතික අනන්‍යතාවය අච්චාරුවක් වෙනවානේ ...

ඉතින් හොඳයි නේ 

අනේ පලයන් .. දැන් ඔය වගේ ඒවා කොහේද වෙන්නේ
... ඒක නෙමෙයි උඹ හිතන්නේ විජේදාස රාජපක්ෂ මොකාටද එන්න හදන්නේ 

31 July 2017

පොලු සහ ඔලු

Are you talking to me ? එහෙම ඇහුවේ ඩි නීරෝ    Taxi Driver  එකේ  . ඒත් මේ ලංකාවේ නේ . 
පැත්තක ගලවලා තිබුන බාටා සෙරෙප්පු දෙකට කකුල් රිංගන ගමන් මිනිහා ඇහුවේ " සර් හයර් එකක් යන්නද ?" කියලා 

(දැන් වාර්ෂික වගේ වෙලා තියෙන නිවාඩුවට ලංකාවට ගියවිට ,  මගේ ප්‍රියතම දෙයක් තමයි ත්‍රීවිල් රියදුරන් සමග අල්ලාප සල්ලාපය. ඉදින්  නැති ගමනුත් යොදා ගන්නේ ඒ සඳහාමයි  . 

ඒ කැමැත්ත   රටේ ඕනෑම දෙයක් ගැන විශේසඥ දැනුමක් ඔවුනට ඇති හෙයින්ද නැතිනම් මා  කැමති දේවල් , මා  කැමති ලෙවල් එකෙන් කතා කරන්න හැකිවෙන නිසාද  නැත්නම් මගේ පින්තූර  ගැනීමට පහසුම ප්‍රවාහන මග ඒ නිසාද නැතිනම් ඒ අල්ලාප සල්ලාපයෙන් මට අමුතු චූන් එකක් ලැබෙන නිසාද කියලා මම හරියටම නොදනිමි .)

ඉතින් ඔන්න අපි ගමන පටන් ගත්තා 

***
තෙල් ප්‍රශ්නේ විසඳිලාද දැන් 

පැය දෙකක් හිටියා සර් පෝලිමේ . ඊට පස්සේ  ආමි එක බැස්සුවනේ දැන් දෙයි ඔය *** ගේ පුතාලට නිල් වෙන්න 

හ්ම්ම් 

ඒ විතරක් නෙමෙයි සර් , කොළොන්නාවේ මහජනයාත් පොලු අරන් ගිහින් ඕකුන්ට නෙලන්න 

කුරුඳු පොලු ?

යහ පාලනේ නේ ඒවා නෑ දැන්, මැහෝගනී මම හිතන්නේ 

ඇයි දන්නේ නෑ ඔය වර්ජනේ ?

අර සයිටම් එකට නේ 

එතකොට අර දොස්තරලත් වර්ජනේ කරන්නේ ඒකට නේද 

නෑ උන් වර්ජනේ කරන්නේ ලංකාවේ තෙල් ලිං ටික චීනට දෙනවට 

ලංකාවේ ? තෙල් ලිං ?

ඔව් ඇයි අවුල්ද ?

***


රියදුරු සකි ගුවන් විදුලියේ හඬ වැඩි කරනවා ..

"මේ පැරණි රසාංග තීරයයි . මේ ගීතය පැරණි චිත්‍රපටයකින් .. "

පොල්ලෙන් නෙලා නෙලා 
ඔලුකටු පුපුරනා 
ප්‍රෝජාතාන්තර වාදේ 
විඳිනෙම් රඟ සොබා 

සම්පත්  ගොඩක්  ගසා 
පොළියට හිලව් තියා 
ලාබේට චීනාටම විකුනමු පනේ 

පදමට ඇඹුල් දමා 
පස්සෙන් ගෑස් ගසා 
රජ වෙන හීනේක  සුවෙයි  විපක්සේ 

රට යන තාලේ 
මේකයි රාළේ 
හැමදා පහුවෙනකොට 
ගුටි තමයි 

පොල්ලෙන් නෙලා නෙලා 
ඔලුකටු පුපුරනා 
මොන බල්ලෝ බිරුවත් 
දිගටම ගැල යනා 

යහපාලනේ කියා 
තෙම තෙම සබන් ගගා 
බාල්දියෙන් හිල් වෙන්නම
ගැහුවනෙ බොලේ  

පොල්ලෙන් නෙලා නෙලා 

***

අම්මපා සර් මමත් හොඳ දෙකේ පොල්ලක් අරං ගෙදර තියා ගන්නවා 

අර මොකටද ?

දැන් ඔය අපේ බදු මුදලින් ඉගෙනගත්ත දොස්තරලා අපේම අයිතීන් වෙනුවෙන් ස්ට්‍රයික් කරලා අපිවම අපහසුතාවයට පත් කරන කොට , එතකොට අපේ හොඳට තෙල් විරුවෝ අපිවම බයිට් එකට ගන්නකොට , එතකොට දුෂණය නැතිකරනවා කියපු එවුන් " තමුසෙලා පගාව දෙනවනම් අපිට ඕවා කියන්න එපා " කියනකොට, 
මහා ආර්ථික  මොලයක් කිව්ව එකාගේ ආර්ථික උපායමාර්ගය   ගමේ බබානිසා කරන්නැහේ  ගේ දොර විකුණනලා /  උගසට තියලා කන බොන එකම බව පේන  කොට , මේ අගාධයට ඇදලා දාපු එවුන් පැත්තක ඉඳන් " අනේ බලන්නකෝ නේද ඉතින් .." කෝචෝක් කරන කොට , ඔය පොල්ල අරන් ...

ඔහෙත් යනවා අර කොළොන්නාවේ ජනයා වගේ ?

නෑ සර් දෑත බදලා මගේ ඔලුවටම එකක් ගහ ගන්නවා 


පලි 

පොලු සහ ඔලු අතර ඇති සම්බන්ධය අනාදිමත් කාලයක සිට සිරිලක පැවතෙන්නෙකි . එක කලෙක සෝභිත හාමුදුරුවන්ටද , සරච්චන්ද්‍ර උන්නැහේටද පොලු පාර දුන්නේ කාණුවේ වැටෙන්නය . ඒ බව පත්තර වල ලියවුනාට එදා ගුටි කෑ  සාමන්‍ය  ජනයා ගැන කවුරුවත් දන්නේ නැත . රතු පස්වල වේවා , ඉන්ධන සංස්ථාවේ වේවා , අරලිය ගහ මන්දිරය ඉදිරිපිට වේවා  පොලු පහර ඔලුවකට වැදෙන විට  ගේම ෆෝම් කරන උන් පිටිපස්සේ සිට සිනහ වෙති .

එමෙන්ම "ඕකුන්ට ඔහොම තමයි උත්තර දෙන්න ඕනේ කියන විට " පොලු සහ ඔලු අතර සම්බන්ධය එකට එකක් නොව බහුතරයකට එකක් ( Not one to one but one to many ) බව අපට අමතක වේ


22 July 2017

කුනු

කුනු උනත් විවිධාකාරය
නිකං ( උපමේයක්) වගේ

[දිගට ලියා ගෙනම යම්
හිස්තැනම 
වරහන් තුල ඉතිරි කොට
සුදුසු වචනය
පය ගැටේවී
ඔහොම යද්දී]

පොලීතීන්
මහ පන්තියේ
නොදිරයි
වැලලුවත්
කාලාන්තරයකට
මෘත සරීරත්
ප්රතිචක්රීකරනය වී
පරම්පරාවම අලුත්වෙන

කඩදාසි
අහිංසක
මැද පන්තියේ
වැඩක් නැති
අකුරැවැල්
සිරස්තල හංවඩු
දරා තම දිවි පුරා
බලාපොරොත්තු වේයෝ කා
දිරායන
නොදැනීම

ඉතුරැ කුනු නම්
ඔක්කොම 
එකම බක්කියට
හීන කුනුවී ඉස්ම
හීතල පොලොවටම උරන
ජිවීතත් එහෙමම
පනුවන් ගසා
කොම්පෝස්ට්ම වෙන

*අර වරහන ඇතුලට "මිනිස්සු" ගැලපේද මන්දා



30 June 2017

ජනතාවගේ පැත්තේ සිට ගැනීම

කතාව 1 

බැරේ තොප්පියක්  ලස්සනට ඇලේට හිසේ ලා ගත් අයෙක් කැමරා අටවා ගත් පිරිසක් ඉදිරියේ ප්‍රකාශයක් කරන්නේය .

" .. මේ රටේ ක්‍රිකට් ක්‍රීඩකයෝ කියන්නේ රටට අපමණ අගයක් ගෙනත් දුන් කට්ටියක්. .. ඒ අතරින් මාලිංග කියන්නේ විශිෂ්ටයෙක් ..කවුරු හරි ඔහුට අකටයුත්තක් කරනවා නම් මම හිටගන්නේ ඔහුගේ පැත්තේ "

" ඒ වුනාට ඔබතුමා කිව්වා නේද , බඩ  බස්සගත්තේ නැත්තන් ටීම් එකෙන් හලනවා කියලා "

" නෑ මම මාලී ට හරි ආදරෙයි ... අයියා කෙනෙක් වගේ මම නිකන් අවවාදයක් කලේ බඩ පොඩ්ඩක් වැඩියි කියලා .."

" ඒවුනාට ඔබ තුමාට අර , රිලව් කතාවක් කියලා නේද , මේ විනය ක්‍රියාමාර්ග ගැනුනේ "

" මාලී උනත් දෙයක් කියනකොට , අර සංගා වගේ කඩ්ඩෙන් කිව්වා නම් අවුලක් නෑ නේ ... කාටවත් තේරෙන්නේ නෑනේ ...අඩුම ගානේ ඔය විනය තකන කට්ටියටවත් නොතේරෙන්න  ... දැන් ඉතින් මේකෙන් මටත් පාරේ යන්න බෑ ... මහජන දිනයටත් එකෙක් ආවා ගහක බෙනයක් තියනවා කියාගෙන ..... හැබැයි මේ කරලා තියෙන වැඩේ නම්  වැරදියි "

ඉතින් ක්‍රීඩා ඇමතිතුමා හැටියට ඔබ තුමා මොකද කරන්නේ 

මම හිටගන්නේ ජනතාවගේ පැත්තේ 

ඒ කිව්වේ ?

මේ නැගී එන ජනතා විරෝධය පැත්තේ තමයි මාත් හිටගන්නේ 


ඒ උනාට ඔය විරෝධතා වලින් කිසිම ඵලයක් නෑනේ 

( මද සිනාවක් ).. ඒ වුනාට මතක ඇතිව ලියා ගන්න මම ජනතාවගේ පැත්තේ කියලා 

*****

කතාව 2

තවත් වොයිස් කට් එකක් දෙන තැනකි . සුදු අත්කොට කමිසයක හා සුදු සරමක් ඇඳ ගත් අයෙක් ප්‍රශ්න වලට පිළිතුරු දෙන්නේය 

" ඔබ තුමාගේ අයිටම් එකට , සෑහෙන විරුද්ධතාවයක් නැගීගෙන එනවා .. මොකද ඔබතුමාට මේ ගැන කියන්න තියෙන්නේ .?"

" ඔව් මමත් විරුද්ධයි ..."

" ඒ කිව්වේ "

" මේ වගේ දුෂීත අයිටම් එකක් පවත්වා ගෙන යනවට මමත් විරුද්ධයි "

එතකොට කාගේද වැරැද්ද 

" මේ ප්‍රශ්නෙදි මම නම් ඉන්නේ ජනතාවගේ පැත්තේ ...මේකේ සම්පුර්ණ වැරැද්ද ආණ්ඩුවේ ...ඊටත් වඩා වැරැද්ද ඒ ආණ්ඩුව පත් කරපු ජනතාවගේ . අනිත් එක ආණ්ඩුවක් පිහිටවන්න චන්ද ගන්න බැරිවෙච්ච විපක්ෂයේ ..."

එතකොට ජනතාව විරෝධතා පාන්නේ ජනතාවටමද 

ඒ වුනාට මම නම් ජනතාවගේ පැත්තේ ... මේ වගේ දූෂිත ආයතන පවත්වා ගෙන යන අයට හොඳ දඬුවමක් දෙන්න ඕනේ 

මොන වගේ දඬුවමක්ද 

දැඩි දඬුවම් දෙන්න ඕනේ  ..නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ ...ජනාධිපති මන්දිරේට ගෙන්නලා , සීනී අඩු තේකක්  දීලා , තදින් අවවාද කරලා .... ඔක්කොම බැංකු ණය කපා හැරලා ..ඔක්කොම සබ්බ සකලමනාවම එක්ක රටින් පිටිවහල් කරන්න ඕනේ ඔය එංගලන්තේට , ඇමරිකාවට හරි ඔස්ට්‍රේලියාවට හරි 

***

කතාව 3

ජනාධිපති තුමා පත්තරය දිග හැරියේය ....

ලේකම් තුමා ...ප්‍රකාශයක් නිකුත් කරන්න හිටං ...මේ උමා ඔය ප්‍රශ්නේදී මම ඉන්නේ ...

( එක්කෝ ඒ කතාව ඕනේ නැත )


පලි 

කවුදෝ , කිසියම් දාක කියූ කතාවක් මට සිහිවේ 

එකමත් එක රටේ , එක රජෙක් සිටියේය . අධික බදු පනවා ජනතාවට අධික පීඩනයක් කළ බැවින් රටේ ජනතාව කැරලි ගසන්නට විය . කැරැල්ල නැගලා ගිහින් , බුරුතු පිටින් මිනිස්සු ඇවිත් රජ මාලිගාව වට කළහ .   රජ්ජුරුවෝ බොඩි ගාඩ් ලා වල්ලකින් වටවී රාජ මාලිගේය . ටිකකින් පිරිස ඇතුළට කඩා පැන්නාහ . දැන් බොඩි ගාඩ්ලා වලල්ල  , රජු හා ජනතාව අතර ෆේස් ඕෆ් එකකි .. ටිකකින් බොඩි ගාඩ්ලා ජනතාවගේ පැත්තට හැරී රජුගේ පැත්තට අවි දික් කර ගත්හ . දැන් රජා පිරිසටත් බිත්තියකටත් මැදිවී සිටින්නේය 

"මොකද ප්‍රශ්නේ ? " රජා ඇසුවේය 

" අපි ඔබ තුමා ගේ පාලනය පිළිගන්නේ නෑ ... අපි ඔබතුමාව මින් පස්සේ අනුගමනය කරන්නේ නෑ  "

" හරි එහෙම නම් මමත් , ජනතා මතයට හිස නමලා ජනතාවගේ පැත්තේ හිට ගන්නවා "

රජා ජනතාවට පිටුපස හරවා බිත්තිය දෙසට හැරුනේය . දැන් රජා මුලින් , ඉන් පසු ජනතාව , හිස් බිත්තියට මුහුණ ලා සිටිති . ජනතාව නැවතත් රජාගේ පිටිපසින් පෙළ ගැසී සිටිති . ඔවුනට හොඳින් පෙනෙන්නේ රාජාගේ පශ්චාත් පෙදෙසයි 

18 June 2017

ස්ටින්ග් , පියවරුන්ගේ දිනය සහ රැවුල බාද්දී පෙනෙන්නේ කාවද

මැදිවියේ අයෙක් 
අරුණැල්ලට පෙර  ලොවට හොරෙන් ,  
එබෙද්දී  කැඩපතකට බිඳුණු 
 බ්ලේඩ් තලයකින් සූරා දමනට 
 දෙකොපුල් නිකට පුරා නැගී සුදු රැවුල් කොට  
දකීද ඔහු කුමක් නම් ?

පෙනේන්නේ ඔහුට 
තම පියාගේ හොල්මනද 
කාලයේ වැල්ලේ වැළලුනු ? 
නැතිනම් කොලුගැටයා ද 
ගැටවර 
සෙනෙහ කොළ මතකයක සිරවුණු 

නැතිනම් 
හෙවනැලි ද 
 දිගැරුණු 
හිතක අහුමුලු දිගේ
නැතිනම් 
ආත්මයේ කඩතොළු වල ම රැඳී 
සියලු බිය සංකා 
සම්ප්‍රයුක්තයම වෙද ?

බැල්ම හිරවුණු 
හකු පුඩු දිගේ  
වියපත්  රැවුල් කොට වලම 
අමතක වුනු 
පළමු සික්ඛා පදයම 
යථාවාදී අත්පොත් 

අයෙකුට පවා 
ඒවී දවසක් 

ගැහෙද්දීත්  හදවත 
මුහුණ දෙන්නට 
බුර බුරා නැගී බියෙන්ම 
දෑස් ඔසවා බලන්නට 
චායාව කැඩපතේ
දකින්නට 
කඳුලැල්ලක් 
විස්මිතව  

හීන නම් ජීවිතයක 
හිම මෙනි 
සිසිරයේ රැයක වැටි 
වසා මිහිතලම 
සඳ කැන් දහරින් දිලිසෙන 

ඒත් අරුනැල්ලේ  
දියවේමය 
හිම නම් 

ගෝඩන් මැතිව් තෝමස් සම්නර් හෙවත් ස්ටින්ග් කියන්නේ මගේ ප්‍රියතම  ගායකයෙක් . මුල් කළ ඔහු නිර්මාණවල ඇති පොප් සංගීතයෙන් මිදුනු , ඔහුගේ වියපත් හඬ , කාව්‍යමය පද වැල් මා හද වඩාත් ඇද බැඳ ගෙන .   

She loves someone else කියන්නේ මා ප්‍රියතම ගීයක් . 

පද පේලි සිංහලට පෙරලන්නට පටන් ගෙන ටිකක් දුර යද්දී නොදැනීම  ,පද මූට්ටු වෙලා මොකක්දෝ වෙන අර්ථයක් එන විදියට . අද පියවරුන්ගේ දිනය හින්දද මන්දා  .

විනාඩියක් දෙකක් අරන් මේ ගීතයත් අහන්න 




11 June 2017

ඉන්ද්‍රජාල අංකල්ගේ ඇස්බැන්දුම් සහ විස්මිත මායා

ඉන්ද්‍රපාල හිටියේ අපේ ගෙවල් පැත්තේ . රැකියාව කලේ නගර සභාවේද කොහේදෝ කියලයි මට මතක . ඒත්  ඔහු ප්‍රසිද්ධ වෙලා හිටියේ වෙනත් අයුරකින් . 

කෝට්ටේ පාර අද්දර තිබුණු ඔහු නිවසේ තාප්පයේ  පාරට පෙනෙන්න බෝඩ් ලෑල්ලක් ගහලා තිබුනා . ජටාවක් ඔලුවේ ඔතාගෙන , සයිස් දෙකක් විතර ලොකුවට කෝට් බෑයක් පොරවාගෙන , අතේ පරෙයියෙක් අල්ලාගෙන. යටින් පොල් අකුරෙන් ලියලා තිබ්බේ මෙහෙම 

" ඇස්බැන්දුම්,  විස්මිත මායා සහ ඉන්ද්‍රජාල , ද අමේසින් ඉන්ද්‍රපාල "

ඔහු විනෝදාංශයක් ලෙස, ඊටත් වැඩියෙන් අමතර ආදායම් මාර්ගයක් ලෙස,  කළේ පොඩි පොඩි උපන් දින උත්සව , සතුටු සාද වල මැජික් පෙන්නීම . අර ජටාව ඔලුවේ ඔතාගෙන , කෝට් බෑය ඇඳලා  , උරහිස් දෙකේ හැට්ට කටු දෙකකික් පොඩි සාලුවකුත් එල්ල ගන්නවා පිට දිගේ නිකන් සුපර් මෑන් වගේ . නිල්පාට සාලුවේ ඉර හඳ තාරුකා ඇඳලා තිබ්බා .

ආයේ ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ , කොල්ලෝ,  කුරුට්ටෝ සහ සෙස්සෝ සියල්ලෝම ඔහුව ඇමතුවේ ඉන්ද්‍රජාල අංකල්  නැත්නම් ඉන්ද්‍රජාල අයියා කියලා .

මැජික්  කිව්වට  ඉන්ද්‍රජාල අංකල්ගේ ප්‍රගුණ කරලා තිබුනේ  තොප්පි වලින් හාවෝ ගැනීම  , කෝට්  අතෙන් පරෙයියෝ මැවීම,  කටෙන් නොනවත්වා ලේන්සු එලියට ඇදීම වගේ සිල්ලර මැජික් සහ ඇස්බැන්දුම් විතරයි . ඉතින් බොහෝ විට මේ සෝ වල මවිත රසයට වඩා ජනිත උනේ හාස්‍ය රසය .

 ගෙදර කට්ටියටත් ඉන්ද්‍රපාල්ගේ මේ මැජික් විහිළුවක් වෙලා තිබ්බේ . ඉන්ද්‍රපාලගේ නැන්දම්මා උණත් ඔලොක්කුවට කිව්වේ "පුළුවන් නම් උඹේ ඔය මැජික් එකෙන් කාර් එකක් මවා ගනින් කෝ " කියලා. ( ඒ වෙලාවට ඉන්ද්‍රපාල හිතුවේ මිනිස්සු සදහටම අතුරුදහන්  කරන්න  පුළුවන් ඉන්ද්‍රජාල ක්‍රම ගැන .)

. ඒ ඔක්කොටම වඩා ජෝක් එකක් උනේ , ඉන්ද්‍රපාලගේ පොඩි එකා ලලන්ත . ඉන්දරේ යන සෝ වලට ලලාත් ගියා අතේ එල්ලිලා . ඉන්දරේ ගෙදර ඉන්ද්‍රජාල ප්‍රැක්ටිස් කරනවා බලාගෙන ඉන්න පොඩි එකා සෝ එකේදී කෑ ගහනවා . "අන්න අන්න පලේයියා කෝත්  එකේ "... "අන්න තාත්ති ආවා පිටිපස්සේ අන්ගගත්තා " ...
ඉන්ද්‍රජාල අංකල්  මාර අපහසු තාවයකට පත්වෙන්නේ ඒ වගේ වෙලාවකට . 
අර මොකක්ද එකා කනවා ඉවසුවට , අර මොකක්ද එක ඇනෙන එක ඉවසන්න බෑ  කිව්වනේ... මුළු ප්‍රේක්ෂ්කාගාරයම  හිනා වෙනවා ඔලොක්කුවට .

***
 එක සැරයක් කන්තෝරුවේ සල්ලි වගයක් මොකක්දෝ කරලා අන්තරස්දාන කරලා ඉන්ද්‍රජාල අංකල් ගේ සේවය අත්හිටෙව්වා . ඒත්  පස්සේ සාක්කිත් අතුරුදහන් වූ නිසා , දඬුවම් නැතුවම බේරුනා .

ඊට පස්සේ සතියෙම  දන්නා ප්‍රාදේශීය මාධ්‍යවේදියෙක් ගෙදරට ආරාධනා කරලා පොඩි සංග්‍රහයක් එහෙම කරලා ( මාධ්‍යවේදීන් අතර අල්ලසට හිස නමන කිසිවෙක් නැති නිසා මෙය අල්ලසක් ලෙස නොසලකන්න ) , ඉරිදා පත්තරේක පොඩි තීරුවක් ලියා ගත්තා .

ඊට සති කිහිපයකට පස්සේ  අර තාප්පේ බෝඩ් එක වෙනස් වුනා . 


" ලෝකේ හොඳම  ඇස්බැන්දුම්,  විස්මිත මායා සහ ඉන්ද්‍රජාල , ද අමේසින් ඉන්ද්‍රපාල "

***

ටික කාලෙකට ඉන්ද්‍රජාල බිස්නස් එක නැගල ගියා ,. ඒත් ඵල ඇති රුකට ඉරිසියාකාරයෝ බෝමයි . ආයෙත් මුදල් අක්‍රමිකතාවක් ගැන පැමිණිල්ලක් ඇවිත් රස්සාව නැති උනා .

දවසක හවසක සෙට් උන මිත්‍රයෙක් මේ වෙච්ච අකරතැබ්බේට හේතු ඵල

" ඔය බෝඩ් එකේ හරියට  ඝන පිහිටුවලා නෑ.  මෙහෙම වෙනස් කරන්න "

" ලොව පතළ , අන්තර්ජාතික ඇස්බැන්දුම්,  විස්මිත මායා සහ ඉන්ද්‍රජාල , ද අමේසින් ඉන්ද්‍රපාල"

බෝඩ් එක මාරු උනා . හැබැයි ඉතින මෙහෙම ඉන්ටෝනැසොනල් බෝඩ් ගහලා  අර සිල්ලර මැජික් බෑ නේ . ඉතින් ඉන්ද්‍රජාල අංකල්  අලුත් මායා ඉගෙන ගත්තා.  

***
ඔන්න සෝ එක පටන් ගත්තා.  දැන් කට්ටියම ඉඳගෙන ඉන්නවා මොකාටද එන්නේ කියලා බලන්න .

" මගේ මුල්ම මායාව  සඳහා, කවුරු හරි ඉදිරිපත් වෙන්න " ඉන්ද්‍රජාල අන්කල්, බංගලාව හන්දියේ සංවර්ධනේ විකුණන අජියා දිහා බලාගෙනම කිව්වා.

 අජියා වේදිකාවට ආවා . 

ආ ඔය අතේ මොකක්ද තියෙන්නේ ?"

"මේ සංවර්ධන ලොතරැයියක් "

"දැන් මේ පෙට්ටියේ ඉන්නේ මොකෙක්ද ?"

"අම්බෝ තඩි ගෙම්බෙක් "

"...අපේ තාත්තිගේ හාවාව , බව්වා  කෑවා .. හදිස්සියට ගෙම්බෙක් විතලයි හොයාගන්න පුළුවන් උනේ " ..ලලාගේ කොමෙන්ට්‍රිය පටන් ගත්තා .

"දැන් ඔය ස්වීප් එක මේ පෙට්ටියෙන් තියන්න. .. පර්ස් එකෙන් නෝට්ටුවක් ගන්න   "

අජියා රුපියල් සීයක් දික් කළා 

" චිකේ .. මේක ඉන්ටනැසනල් මායාවක් .. පන්සීයක් වත් ඕනේ අඩුම ගානේ  ...

අජියා පන්සීයේ කොලයක් දික් කළා .

"ඔන්න ඔය පන්සීයේ කොළෙත් හතරට නාවලා  පෙට්ටිය ඇතුලේම තියන්න  . .."

ඉන්ද්‍රජාල අංකල්  පෙට්ටිය වැහුවා . 

"ඔන්න දැන් හොඳට බලා ගන්න ..ආ අර කවුද අර දෙවැනි පේලියේ මැද ඉන්නේ අපේ අනුරයියාගේ පුතා නේද ...හලෝ කිව්වා .. අවධානය බිඳ ගන්න එපා ..ඔන්න "  ... ඊට පිටිපස්සේ පේළියක ඉඳන් අනුරයියත් ලාවට හිනා උනා 

ඉන්ද්‍රජාල අංකල් පෙට්ටිය වට තුනක් කැරකුවා .. පෙට්ටිය ඇරියා ...ඇතුලේ හිටපු ගෙම්බා නෑ ... ඌ පරෙයියෙක් වෙලා . 

"අජිත් ගන්න බලන්න  ස්වීප් එක "

"චික් මූ ඒ ටිකට ඒක  උඩ බෙට්ටක් දාලා "  අජියා අත ආපහු ගත්තා 

"අන්න අන්න ..සුපියල් පන්සීය තාත්ති සාක්කුවේ දා ගත්තා " ලලා කෑ ගහනවා  ඈත කොනකින් ඇහුනා 


පලි : 
විද්යානුකුල ක්‍රමය කියන්නේ පරීක්ෂණ නිරීක්ෂණ ඔස්සේ නිගමන වලට ඒමය .

විජ්ජානුකුල ක්‍රමය කියන්නේ පෙට්ටිය වට තුනක් කරකවා පියන ඇරිය විට ඇතුලේ සිටි ගෙම්බා , පරෙයියෙක්  වීමය 

08 June 2017

සෝමේ අයියාගේ ගංවතුරු ආධාර බත් එක සහ කොම්පැනි ගංවතුරු ආධාර වතුර බෝතලේ

මේ , හෙට උදේට වැඩිපුර බත් එකක් බැඳලා දෙනවා .. ඉස්ටෙටමේ ගංවතුර ආධාර එකතු කරනවලු " කියලා සෝමේ අයියා කියපු නිසාම සොමි අක්කා උදේ පාන්දරම නැගිටලා බත් පාර්සල දෙකක් බැන්දා .

"මේ දැන්  මතක තියාගන්නවා , මේ පින්තුරේ තියෙන කොලෙන් ඔතලා තියෙන්නේ ආධාර බත් එක අනිත් එක ඔයාගේ .. ඒකට මාළු කෑල්ල  බෙදුවා . ගංවතුරු කාරයින්ට එලවුලුයි බතුයි ඇතිනේ " සොමි අක්කා සිලි මල්ලක බත් ගෙඩි දෙකම දැම්මා.

" එහෙම හොඳද ? " සෝමේ අයියා කෝච්චියේ එනකන් හිතුවේ ඒ ගැන .


කෝච්චියේ සීට් එකට හේත්තුවෙලා , පෝන් එකේ පේස් බුක්එකේ පහලට  යනකොට,  මෙන්න දැන්වීමක්

එක්තරා බෝතල් වතුර සමාගමකින් අඩු මුදලට ගංවතුර ආධාර සඳහා වතුර බෝතල් දෙනවලු .

කොම්පැනි නේ. මාසේ පඩියෙන්, තුන් වේල ගැට ගහන අපි වගේ නෙමෙයිනේ. වියදම වත් පියවගන්න ඕනෙනේ.

ඒත් එක්කම , රුපියල් දහය ගානේ , අඹ ගෙඩි  සීයක් විකුණු විට ලැබෙන ලාබයද , රුපියල් දෙක ගණනේ අඹ ගෙඩි දාහක් විකුණු විට ලැබෙන ලාබයද වැඩි , පොඩි ඒකිගේ ගණන් පොතේ පැනයක් සෝමේ අයියාට මතක් උනා

04 June 2017

අකලමනා ආපදා කතා


තෙවරප්පෙරුමගේ  සිල්ලර පොලිටිකල් භූමිකාව 
තෙවරප්පෙරුම වතුරේ බැහැගෙන , ආච්චිලාව , පොඩි එවුන්ව උස්සගෙන ගිය එකෙයි , නාමල් බෝට්ටුවක් තල්ලු කර ගෙන සෙල්ෆි (වගේ ඒවා ) ගත්ත එකෙයි වෙනසක් තියෙනවා . සන්ජන් කරන පොලිටිකල් ස්ටාර් රියලැටි  වැඩ සටහනෙයි , තෙවරක්පෙරුමගේ වික්‍රමයන්ගෙයි වෙනසක් තියෙනවා .

ඒ  තමයි මුලින්ම  ටයිමින් එක . දෙවැන්න සද්බාවය .

මුලින්ම දෙවැන්න. ඈත ඉඳන්,  මගේ කියවීම නම්, තෙවරක්පෙරුමගේ ක්‍රියාව සෑහෙන දුරකට ජෙනුඉන් කියලයි . කොටින්ම සිරසේ ඉන්ටවිව් එකකට ඇවිල්ලා , නිවේදකයා ඔලුවට දාන්න හදන ඔටුන්න ( හෝ තොප්පිය ) ඔහු පැත්තකින් තියෙනවා . වෙලාවක " අනේ මහත්තයෝ මට මේ කතාව කියන්න විනාඩි පහක් දෙන්න " ඔහු බැගෑපත් වෙනවා . කපටියෙක් නොවී දේශපාලකයෙක් වෙන්න බෑ . ඒක  හරි ..ඒත් .. පාර්ලිමේන්තුවේ ලොකු විවාද කරන්න බැරි උනාට ,  පොලිටිකල් ටෝක් ෂෝ වල ගල් පැලෙන තර්ක නොකලට , ජෙන්ටල්මෑන් පොලිටිෂන් කෙනෙක් නොවුනට , ඒ සිල්ලර දේශපාලනය ඇතුලේ  යමක් තියෙනවා කියලා මට හිතෙනවා .

ටයිමින් .. මිනිහෙකුට කෘතීම ශ්වසනය දෙන්න ඕනේ මැරෙන්න කලින් . අන්න ඒ වගේ තමයි . වතුරට යට වෙලා ඉන්න මිනිස්සු ලඟට බෝට්ටුවක් අරන් එන මිනිහෙක් , ඒ වෙලාවේ වීරයෙක් . ගැලවුම් කරුවෙක් . කොන්ෆරන්ස් රූම්  වල සැලසුම් කරන , සම්බන්ධීකරණය කරන ආපදා කළමනාකරණ මෙහෙයුම් වගේම  ඕන ද ග්‍රවුන්ඩ් දුක බෙදා ගැනීමත් අවශ්‍යයි .
අන්න ඒකයි තෙවරප්පෙරුම  භූමිකාව. විය යුතුව තිබුනේ (හෝ විය යුත්තේ ) ඔහුව ආපදා කළමනාකරණ යාන්ත්‍රනය තුලට අනුගත කර ගැනීමයි 
ඒත් අනෙක් අතට , දවස් දෙකකට පස්සේ නැෂනල් සූට්  එක උඩින් ලයිෆ් ජැකට් එකක් දා ගෙන ගංවතුරු බෝට්ටු සවාරි යන එකා, කෙහෙල් ගෙඩි තුනක් ඔතලා , පොටෝ ස්ටිකර් එකක් ගහලා බෙදන එකා ජෝක් එකක් . ඒ වගේම උන් කරන්නේ අර මිනිස්සුන්ට අපහාසයක් .

***

ආපදා අකලමනා 
සුනාමියෙන් පස්සේ ඇති කරපු ආපදාව කළමනාකරණ අමත්‍යාංශය තාම හරියට කළමනාකරණය කරගන්න බැරි හැඩකි . ආපදා කලමනාකරණය කියන්නේ  ආපදාවේ දිග පළල හේතුව සෙවීම නොවේ . මතු ආපදා වැළකීමත් ඇතිවන ආපදා වලට මුහුණ දීමත් .

ආපදා කළමනාකරණ ඇමති තුමා , මෙක්සිකෝවේ ඉඳලා ඇවිත් චන්ඩි ටෝක් දීලා ආපදාවේ  සම්පූර්ණ වගකීම ගත යුත්තේ වැස්ස වලාහක දෙවියන් සහ මිනිස්සුන්ගේ කරුමේට පැවරුවේය .  එතකොට ආපදාවෙන් පසු සහන සේවා ? ඒවා පුළු පුළුවන් විදියට මිනිසුන්ගේ පරිත්යාගයන්ගෙන් සිදුවෙන බවත් , මීට අමතරව චීනෙන් සහ ඉන්දියාවෙන් නැව් එන බවත් කීවේය . මම බලන් හිටියේ ඔහු  මාද්‍ය හමුවෙන් නැගිටින තෙක්ය . ඒ ඔහු සරමක් කලිසමක් ඇඳ  සිටින්නේද කියා බලා ගැනීමටය . 

මිනිස්සුන්ට උදේට වැඩට එනකොට වැඩිපුර කෑම  එකක් බැඳන් එන්න කියන්න නම් මේ අමත්‍යාංශය මොකකටද . කොළඹ හෝටල් වල කුස්සි ටික බත් පාර්සල ටිකක් උයාගන්න සම්බන්ධීකරණය කරන්නට බැරි නම්  , ධීවර බෝට්ටු ටික , රට ඇතුලේ ගංවතුරු බේරාගැනීම් වලට සම්බන්ධීකරණය කර ගන්න බැරි නම් මේ අමත්‍යාංශය කුමකටද ? 

අමාත්‍යංශයක පිරිවැය සුළුපටු නොවේ. ඉදින් සල්ලි ගෙවා ගෙවා මෙවැනි ඒවා පවත්වා ගෙන යනවට වඩා එක අතකින් මෙය  පුද්ගලීකරණය කරන්නේ වත් නම් හොඳයි දෝ සිතේ .

***
වතුර බැහැලා ගියාට 

"වතුර බැහැලා ගියාට මිනිස්සුන්ගේ දුක එහෙම බැහැලා යන්නේ නෑ මහත්තයෝ"

ඇල්බට් ගොයියා @ කඩමණ්ඩිය , පුස්ලෝඩා එකක් කඩලා කටට දා ගන්න ගමන් .

මේ වගේ ආපදාවකදී ජීවිත නැතිවීම ඛේදවාචකයක් තමයි . ඒ දුක ජීවත් වෙන අයට .

ඒ විතරක් නෙමෙයි, ජීවිත කාලයක් තිස්සේ එකතු කරගත්ත  දේ එක පාරට ගහගෙන ගියහම ඇතිවන චිත්ත බිඳීම සමහර විට ඊටත් වඩා. එක එක ආර්ථික මට්ටම වල හිටියත් අපි ඔක්කොම අමාරුවෙන් ජීවත් වෙන මිනිස්සු . ගොඩේ තරම වෙනස් වුනත් , ඒ තියෙන්නේ ජීවිත කාලයක් පුරා ගොඩ නගපු දේවල් . භෞතික දේවල් විතරක් නෙමෙයි.
මේවා වතුරට ගහගෙන ගියහම , ඇතිවන ඉච්චා බංගත්වය තමයි , මිනිස්සුන්ගේ කකුල් බර කරලා , කොඳු කඩා දාලා ආයේ නැගිටින්න අමාරු කරන්නේ .

අපි ඔක්කොම මමත්ව කේන්ද්‍ර මිනිස්සු . ඉතින් වටේ ලෝකේ කඩා වැටුනත් , ආත්ම ගරුත්වය කෙලින් තියෙනකන් , ආයෙත් නැගිටිනවා .    (අසු තුනේ ජූලි  කලබල වලට අහුවෙලා ගෙවල් දොරවල් අත ඇරලා දාලා , ඉස්කෝලෙක අනාථ කඳවුරක හිරවෙච්ච ෂන්මුගන් අන්කල් පස්සේ දවසක කිව්වේ , ඔහු මාස ගණනක් ඇඬුවේ ,  සබ්බ සකල මනාව ගින්නෙන් අළු උණු එකටවත් , පොඩි  මල්ලි ශංකර් ව පෙති පෙති ගහලා දාපු එකටත් වඩා , ඔහුට හිඟන්නෙක් වගේ මිනිස්සුන්ට අතපාන්න වෙච්ච එකටයි කියලයි . ) 

හැම මිනිහෙක්ගේම ආත්ම ගරුත්වය තමයි ජීවිතේ නැගිටින්න ට්‍රැක්ෂන් එක දෙන්නේ. මෙවැනි ආපදාවකදී භෞතික පිළිසරණ වගේම,  කරන්න ඕනේ , හැකි ඉක්මනින් මේ ආත්ම ගරුත්වය පිකප් කරන්න උදව් කරන එක  . 

අන්න එකටයි ආණ්ඩුවක් ඕනේ . ආපදා කලමනා කරන අමාත්‍යාංශයක් ඕනේ .

17 May 2017

පස්චාත් වෙසක් කතා

 

බුදු හිරගෙය 
අට පට්ටම් රාමුවේ
සව් කොළ
පාට පාට
බිත්ති මැද
හිරවෙලා
අපේ බුදුන්

***
සම්බාහන දන්සැල සහ අනෙක් දන්සැල 
රිචාජ් , ඩේටා , හයර් දන්සැල් අතරේ
8 වැනි පටුමගේ
ලීනා මැඩම්
දානපතිනියගේ
නොමසුරු පරිත්යාගයෙන්
පවත්වන
මහා සම්බාහන දන්සැල ලු
හෙඩ් මසාජ් , ලෙග් මසාජ්
ඉන තෙක්
බොඩි මසාජ් ලු

ඊට වඩා බෑ නේ
දන්සල් නේ
වෙසක් නේ

ඒ වුනාට
සෙනග නෑලු
යාලු

9 වෙනි පටුමගේ
පොට් එකේ
රෝසා අක්කත්
දාළලු දන්සැලක්
කෙල්ලෝ ටිකත් එක්ක
වෙන්නට
නො සෙකන්ඩ් 


***
ප්රී වෙ ඕ පු

කලු කොඩියත්
ලෑස්ති කරන් 
හිටියත් අපි මග බලන්
මෝඩි 
හොර ගෙඩියා වගේ
නැගලා තඩි ප්ලේන් එකේ
ආවේ පෝයට පස්සේ

දැන් ඉතින් වෙන කුමක් කරන්නද

කලුකොඩි හැම රෝල් කරන්
අනේ අපිට ප්රීති වෙසක්


14 May 2017

The old Ballerina's home remedy, අපේ අම්මාගේ මුදූ වැලි සාත්තුව සහ තවත් දහසක් කතා


Despite
the rationale queries
well intent; yet
the scepticism 
hackles 
yet 
the maternal pride 
makes up for it 

her son
a grown man now
..almost

And the doctor's
thirty six seconds’  of 
(she'd learnt to count
one missipi two)
wisdom,
the last of the colloquy 
conventional
but expensive

Hoary ballerina 
with  crooked toes
take the long lurch  
to the shore
for a handful of sand
surf's forgotten
yet
 still tear soaked

First 
heat up the sand 
over a slow flame
pack 
small parcels
of 
memories
(amnesia flickers first )
enfold in frayed silk 
whiffing of moth balls
to  massage her
inflamed joints


..It helps


***



වටකුරු තර්ක
යථාවාදී මුත්
පීඩාකාරීය
කල් ඉකුත් වත්
(පොඩි පුතා , යමක් දත්
මහා මිනිහෙක් නේ දැන් )

චැනල් කඩේ දොස්තර
ලියු තුණ්ඩුවේ
පිටින් ගන්න පෙති ජාතිම තුනක්
(හරියටම විනාඩි දෙකයි බැලුවේ
එක ලෙඩෙක් )

පා අද්ද අද්දා
ඕ  ගාටන්නී
ගන්නට මිටක් වැලි
කදුළු මිරිකා
රළටත් අමතක වූ
වෙරළ  කොනකට

තැටියේ රත්කර
මද ගින්නේ
බැඳ මතක පොට්ටනි
පොඩියට
තවන්නට
හන්දි පත්
දිවියේ බරටම
ඉදිමුණු

(පුංචි වගේ ගුණයක්
තියෙනවා )


පලි
සමහර නිර්මාණ වල , නිමිත්ත,  කතාව තරමටම රසවත්. නිර්මාණය අතින් අත යද්දී, පවතිද්දී, නිමිති කතාව කාලයට දියවෙලා යනවා.

අපේ අම්මා, කාලයක ඉඳන් දණහිසක වේදනාවකින් පෙළෙනවා.  දේශීය බටහිර දෙවෙදකමම මාරුවෙන් මාරුවට වගේ කරනවා. වෛද්‍ය නිගමනය ආතරයිටිස්වල මුල් ලක්ෂණ . ගිලින්න පෙති ගොඩක්, කල් ගතවෙන ප්‍රතිකර්ම .
මාසිකව දොස්ත්ර හමුවීම දැන් චාරිත්‍රයක් වගේ වෙලා .. ඒ ඔක්කොම මැද  ජීවිතේ  ගොඩක් දේ වගේම මේ වේදනාවත් ඈ  උහුලා ගෙන ඉන්නවා.

දවසක් ඈ  සමග කතා කරද්දී, තෙසක් රියක රියදුරෙක් ඇයට රියදුරෙක් ඈට  කියූ ගොඩ වෙදකමක් ගැන මට කියනවා.

"...පරණ වෙද පුස්කොල පොතක තිබිලා වෙද  මහත්තයෙක් කිව්වේ .. මුහුදේ වැලි,  තැටියක රත් කරලා, පොට්ටනි බැඳලා, ඉර අවරට ගියාට පස්සේ  තවන්න නෝනා. මාස තුනෙන් හොඳ වෙනවා. මෙන්න මගේ පෝන්  නොම්බරේ, නෝනට හොඳ උනාම මට කෝල් එකක් දීලා කියන්න ."

ඔහුම රිය පාරේ අයිනේ නවත්තලා ගිහින් වැලි ටිකක් සිලි මල්ලකට ගෙනත් දෙනවා. (අපි හරි වෙනස් !!)

" මම ආමි එකේ හිටියේ නෝනා, ජොනි බට්ටෙක් පෑගුනා " දණෙන්  පහල කෘතීම පාදය පෙන්නලා ඔහු කියනවා

මගේ යථාවාදී විද්‍යාත්මක තර්ක ඈ  නිසොල්මනේ  අහගෙන ඉන්නවා.  දුරකතනයෙන් එහා පැත්තේ, ඈ , මුවඟට නැගෙන (ආඩම්බරය මුසු ) හිනාවක් පහළට  අකුලා ගන්නවා, මට මැවිලා පෙනෙනවා

එදාත් හවසට ගෑස් ලිප උඩ , රොටි තැටියේ, මුහුදු වැලි රත්වෙනවා.

පපලි: මෙහි මාතෘකාවේ දහසක් කතා කියා ලියුවේ ඇයි කියා ඔබට තේරෙනු ඇතැයි  සිතමි