24 February 2018

ඇල්බට් අයියාගේ ටීම් එක , ගජමෑන් සහ අංජනම


ආ මල්ලිලා මොකද මේ පැත්තේ 

නෑ ඇල්බට් අංකල් 

අඩෝ.  මේ අංකල්  නෙමෙයි අයියා .. හැමදාම කියනවා 

ඇල්බට්. අයියාහ්   ..අපි මේ අපේ ක්‍රිකට් ටීම් එක 

ඔව් ඔව් මේ ලඟදි ගහපු මැච් ඔක්කොම පැරදුනා නේද 

ඒකනේ, අං .. අයියේ .. අපි පොඩ්ඩක් ටීම් එක අලුතින් හදන්න කියලා හැදුවේ .. හොඳට ගහන්න පුළුවන් කොල්ලෝ ටිකක් දාලා.

අන්න හරි .. එහෙම තමයි වයසක ඩයල් ටික හලලා, පිට්නස් තියෙන කොල්ලෝ ටිකක් දාලා,  හදමු අපි එළ  ටීම් එකක් .. ඔක්කොම ස්ටාර් ප්ලේයර්ස් ලා විතරයි ඔන්න ..කවුරු තරහ වුනත් කරන්න දෙයක් නෑ 

අන්න අයියට තේරුනා .. අපි මේ බයෙන් හිටියේ,  අයියා වරදවා වටහා ගනියිදෝ  කියලා 

 පිස්සුද මල්ලි. ..හදමු එළ ටීම් එකක් ..ඔක්කොම එළ ප්ලේයර්ස්ලා විතරයි ..ලියාගනින්කෝ ලයින් අප් එක ..මමයි .....

***

අහන්න ආපු දෙය  හිතට අරගෙන ඇස් දෙක වහගෙන වැඳ ගන්න, කට්ටියම
ඔං රීන්, ඕන් රීන්, අංජනම් දේවී වර වර .. 
තැටිය මැද්දේ කළු කරාපු පහන්තිරය එස්වඃ 
මැදට ආපු හනුමන්ටත් පුදුම හිතෙන එස්වඃ 

වෙන්න තියෙන දෙයක් සිදුවෙයිද කියලා දැන ගන්න ඇවිල්ලා තියෙන්නේ කියලා අංජනම් දේවි කියනවා 

එහෙමයි එහෙමයි 

ගිය සුමානේ වෙයි කියලා හිතන් හිටියා උනේ නෑ, මේ සිකුරාදා වෙයි කියලා හිතුනේ  ඒත් උනේ නෑ 

ඒකනේ ..සොරි එහෙමයි ..දැන් සඳුදා වෙනවා කියන්නේ 


හනුමන්තා පිටිපස්සේ ඉඳන් කියනවා, පණිවිඩ කාරයාව සත පහකට විශ්වාස කරන්න එපා කියලා. ඌ දත් දොස්තර . දත ගලවන්න ඉස්සෙල්ලා කියන්නේ නිකන් කුඹී  කනවා වගේ පොඩ්ඩක් රිදෙයි කියලා, අඬුවෙන් අදිනකොට කොට තමයි සුළු දිය පහ වෙන්නේ කියලා 

ගුරුන්නාන්සේ අහන්නකො අංජනම් දේවි  ගෙන්, ඔය තරුණ අරුණ කොමිටියෙන්වත්  හොඳ වැඩපිළිවෙලක් හදලා දෙයිද කියලා 

ඔං රීන්, ඕන් රීන්, අංජනම් දේවී වර වර .. 
රාමටත් බැරි උනාලු, වෙන වැඩකට  පෙරලුනාලු 
අංජනම් දේවී වර වර

අංජනම් දේවී කියනවා, හීන හතක් මැද විමනක් සැදුවයි, සීත සඳුන් සුව එතුළ පිරුණයි කියලා ..

අනේ ගුරුන්නාන්සේ එහෙම වෙයිද ...? අනේ අහන්නකෝ අපේ පොළොන්නරුවේ  දසමහ යෝධයා වත් වැඩේ අතට අරන් රට දැය සාමය ගොඩ ගනියි නේද කියලා 

කට කට ...දෙවියෝ එක්ක විහිලු කරනවද ... අංජනම් දේවී  කියනවා ..දෙවියෝ හිනා ගස්සලා, කෙල ඉස්පොල්ලේ ගිහින් කැස්ස ඇවිත් ...දේව කෝපයට ලක්වෙන්න එපා කියලා 

***
දවසක් සුපර් මෑන්  ගමනක් යනකොට රේල් පාරක් දිගේ, කඩල බදිනවලු..   බ්රේක් නැතිව කෝච්චියක් එනවලු හැටට හැටේ. මිනිස්සු ගෑනු බෙරිහන් දෙනවලු "අනේ බුදු සුපර් මෑන්, අපිව බේරාගන්නෝ " කියලා (ඔව් සිංහලෙන් තමයි) . කොච්චි ඩ්‍රයිවර් කෑගහනවලු, "මට මේක හරි ට්‍රැක් එකට දා ගන්න බැරිවුනා, දැන් වැරදි මාර්ගේ යනෝ  අයියෝ " කියලා. සුපර් මෑන්  ලන්කට් එක එහෙම පොඩ්ඩක් ඇජස්ට් කරගෙන කෝච්චිය ඉස්සරහට පැනලා. එක අතින් අල්ලලා කෝච්චිය නවත්තලා, ඇත දෙකෙන් උස්සලා,  හරි ට්‍රැක්  එකෙන් තිබ්බලු. 

තව දවසක් ඔය පාරේම ගජමෑන්  යනකොට . ඔය වගේම සිද්ධියක්ලු. කට්ටිය කිව්වලු ගජමෑන් ට මොනවා හරි කරන්න කියලා. ගජමෑන්  ඉතින් හිමින් සැරේ කිව්වලු "අයිසේ මේ මට ඕවා කරන්න බෑ"  කියලා. 

ඔන්න ඒ සැරේ මිනිස්සු කියනවලු, සුපර් මෑන්  නම් දවසක් මෙහෙම කළා. ඔයත් මෑන් කෙනෙක් නේද .. අරවද මෙව්වද කියලා.

එතකොට ගජයා කියනවලු. ඕනෙම නම් මම එහෙම කරනවා කියලා විහිළුවක් කරන්නම් කියලා 

18 February 2018

ඇඩ් අස්සේ කතාව , කතාව අස්සේ ඇඩ්



මතකද ආයිබෝං,  ඩයස් මහත්තයාගේ, නන්දිනී ගේ, දීප්තිගේ, සම්පතාගේ, සුදු සීයාගේ කතාව. දූ දරුවෝ. ටෙලි නාට්‍ය කලාවට, කර්මාන්තයට ස්ටෙරොයිඩ් එන්නත් කරන්න  කලින්, පවුල් පිටින් රොද බැඳගෙන බලපු. මතකද නාට්‍යය මැදදී ගිය රක්ෂණ වෙළඳ දැන්වීම ?

කාලෙකට පස්සේ මම කොහේදෝ කියෙව්වා , නාට්‍යය හැදුවේම වෙළඳ දැන්වීම ප්‍රචාරය කරන්නමයි වගේ කතාවක් . ඒ වචන වලින්ම නොවුනත් . ඇත්තටම දැන් වුනත් බැලුවොත් ඒ වෙලඳ දැන්වීම කතාවේම කොටසක් වගේ .
එතකොට අර "අහිංසා ඔයා ..? " දැන්වීම . දැන් පසුව හිතනකොට හිතෙන්නේ නැද්ද නාට්‍යය හැදුවේ වෙළඳ දැන්වීමට මග පාදන්න කියලා . ඇයි අර බවර් ගේ පොහොර දැන්වීම්  අස්සේ ගහපු මුවන් පැලැස්ස ගුවන් විදුලි නාට්‍යය

ඒත් මේ  දවස් වල ක්‍රමය ටිකක් වෙනස්,  ආයිබෝං .. සහෝදරයා නාට්‍යය මැද්දේ යන්නේ , සුපර් ක්‍රීම් ක්‍රැකර් ඇඩ් එකක් . ගැලපෙනවා නිකන් මස්  කරියකුයි වැනිලා අයිස් ක්‍රීමුයි වගේ .  හැබැයි අවුලක් නෑ  අත්දැකීම නාට්‍යයෙන් පටන් අරන් , නාට්‍යයෙන් ඉවර වෙනවා . ඒත්  ටෙලිය බලලා නැගිටිනකොට , හිතේ අස්සේ ක්‍රීම් කැකර් එකක් ගැන දොළක් පැලවෙලා . එහෙම නැත්නම් අර ඇඩ් එක දැක්ක ගමන නාට්‍යය අමතක වෙනවා




මේ දවස් වල තව නාට්‍යයක් රඟ දැක්වෙනවා . අලුත් ආණ්ඩුව .. ඒකේ එක එක කොටස් වලට වෙන වෙනම  අනු ශීර්ෂ .
පොහොට්ටුව පිපේ .. වෙනස් වූ ජනමතය .. රතු එලිය .. තනි අලියා ආණ්ඩුව ... රනිල් ගෙදර පළ ... ඌ වෙනුවට කරූ .. නිදිමත අගමැති ... මේකේ ඉන්නේ ගේම් කාරයෙක් . ජෙහාන් ලා මොන ගේම් කාරයෝද ... ඒකේ ඉන්න ප්‍රධාන චරිතේ එකපාරටම කතාව නවත්වලා "තේ කක් බොමුද " කියලා අපෙන් අහනවා .
ඒ අස්සේ සැබෑ වෙනසක් කියලා ඇඩ් එකක් පෙන්නවා, විටෙන් විටේ . හීන්දෑරී තලත්තැනි මනුස්සයෙක් කොස් කොළ ඔටුන්නක් දා ගෙන ඇවිත්, ලී කඩුවක් වන වනා විරිදු වගයක් කියනවා .

ඒ අස්සේ එක පාරටම නවත්තපු අර සති ගානක් තිස්සේ පෙන්නපු ඇලාගේ කතාව මතක් වෙනවා .

සමහර වෙලාවට ඇඩ් එකයි කතාවයි වෙන්කරලා අඳුනගන්න අමාරුයි ආයිබෝං . කතාව ඇඩ් එකද , ඇඩ් එක කතාවද කියලා පැටලෙනවා .  එහෙමත් නැත්නම්,  ඔක්කොම ඇලාගේ ඉරණම කියන කතාව අස්සේ හෝ වෙන කතාවක් අස්සේ පෙන්නන , ඇඩ් ද මන්දා කියලා  හිතෙනවා . 

ඇඩ් බලලම අපිට කතාව අමතක වෙලාද මන්දා ආයිබෝං 

04 February 2018

නිදහස් දින සිතුවිලි

අප්පච්චිගේ ආයුධ පෙට්ටිය 
අපේ අප්පච්චි සතු වටිනාම වස්තුවක් වුනේ ඔහුගේ ආයුධ පෙට්ටිය . ඒක මේ දැන් තියෙනවා වගේ ලොකු මිළට , ගොඩම එකට මිලදී ගත්ත එකක් නෙමෙයි . තමන් මිලදී ගත්ත ඒවා , අනුන්ගෙන් ණයට අරන් ගල් කරපුවා , මෙන්ම යාළුවො නිකන් දුන්න ඒවාත් ඉතා පිළිවෙලට ලී පෙට්ටියක අසුරලා තිබුනා . මාස කිහිපයකට සැරයක් ඔය පෙට්ටියම එලියට ඇදගෙන ,භුමි තෙල් ගාලා මළකඩ පිහිදාලා , පෝර උර දෙකක අවුවේ වනනවා භූමිතෙල් ගඳ යන්න වේලෙන්න . එදාට නිකන් අපේ මිදුලේ ආයුධ සේල් එකක් වගේ . ඒක දිහා බලාගෙන අප්පච්චි දුම්වැටියක් දල්වා ගෙන බලාන ඉන්නවා හීන් හිනාවකුත් එක්ක .

මම මුලින් මුලින් හිතුවේ මේ ආයුධ ඩිස්ප්ලේ එකක අහල පහල එවුන්ට පේන්නයි කරන්නේ කියලා . ඒ නිසා මට ඒක  එක්තරා තරමකට විහිළුවක් වුනා . පස්සේ මට තේරෙන්න ගත්තා , ඒක  එහෙම නෙමෙයි කියලා . අහල පහල එවුන්ට අපේ අප්පච්චි ගේ දුප්පත් ආයුධ පෙට්ටියේ තියෙන මොට්ට වෙච්ච ඉස්කුරුප්පු නියන වලින්වත් , මිට කැඩිච්ච මේසන් හැන්දෙන්වත් වැඩක් නෑ . එකේ ආතල් එක තියෙන්නේ අප්පච්චිටමයි . තමන්ගේ දුප්පත් ආයුධ පෙට්ටිය දිහා බල බල , ඔහු මාර ස්වයං මෙව්වා එකක් ගත්තා . 

නිදහස් දින (මගේ අදහස නම් දැන්වත් මෙය ජාතික දිනයක් බවට පරිවර්තනය විය යුතුයි කියන එකයි ) සැමරුමුත් මේ  වගේ .  මුළු ලෝකෙටම පේන්න කියලා හිතාන අපි පෙළපාලියක් යනවා . ඒත් අපේ යුධ ශක්තිය , දියුණුව බලා ගන්න උන්ට වෙන ක්‍රම තියෙනවා ( කැස්සක්  CIA , කැස්සක් රෝ ...). මේකෙන් ආතල් එකක් , දේශාභිමානයක් ගන්නේ අපිමයි . එකේ වරදක් නෑ . මොකද රාජ්‍ය කියන සංකල්පය ඇතුලේ ගෝත්‍රවාදය තියෙන නිසා . ගෝත්‍රවාදය පවත්වා ගෙන යාමට පක්ෂපාතිත්වය වැදගත් , ඒ සඳහා මනුස්ස සන්තානයේ තියෙන පරණම හැඟීම් අවුස්සා ගන්නම වෙනවා . 

ඒත් ඇත්තටම අපි සමරන්නේ , අතීතය විතරයි . වර්තමානයේ සමරන්න එකතු කරන්න වෙලා තියෙන්නේ , හරි එකතු වෙන්නේ හරි විහිලු විතරයි . අනාගතය හීනයක් . අපි හිතන් ඉන්නේ දියුණුව කියන්නේ ඉන්ටසිටි බස් එකක් කියලා කොළඹින් නැගලා සීට් එකේ ගුලිවෙලා නිදා ගත්තම , ඉබේම නුවරට යයි . ඩ්‍රයිවර් ගෙනියයි . ගියාම කොන්දා ඇහැරවයි  කියලා . අතීත ශ්‍රී විභූතිය කොට්ටෙට තියාගෙන අපි නිදා ගන්නවා . ඒත් ඇත්තටම ඒක බයිසිකලේ නුවර යනවා වගේ . බැලන්ස් එක තියාන , නොනවත්වා පාගන්න ඕනේ . පාගන එක නැවත්තුවොත් මග. බැලන්ස් එක නැතිවුනොත් වැටිලා අතපය කැඩෙනවා .


ලැප්ටොප් වන්නම
ලැප්ටොප්  වන්නම ඇවිලිලා නිවිලා ගියා . මේකේ අදහස තිබුනේ  වත්මන අප රට ලබා ඇති තාක්ෂණික දියුණුව පිළිබිඹු කිරීමයි කියලා කවුදෝ කියලා තිබ්බ  . අධ්‍යාපන විද්‍යාතනයකින් නව නිර්මාණාත්මක අංගයක් ලෙස මෙය නිර්මාණය කර ඇත .  ඔව් මේක දකින කොට අවුල් තමා . සත්‍යයට මුහුණ දෙමු . අපේ ආකල්ප දැනට තියෙන්නේ මෙතැන තමා . ලැප්ටොප් ටෙලස්කෝප් බස්සන්න හදන්නෙත් කුළුගෙඩි නැටුමට තමා . නුදුරේදීම , ඉවතලන චීන මිසයිලයක් ඔසවාගෙන නටනටා ගියත් පුදුම විය යුතු නැත . අපි හිතන්නේ දියුණුව කියන්නේ පොෂ් වීමයි කියාය . වන්නම අත හැර , කුලුනැටුම ඉරාජ්ගේ පොප් සංගීතයට කිරීමයි කියාය . නමුත් හිතන්න , මේ නැටුම මේඩ් ඉන් ශ්‍රී ලංකා රොබෝවෙක් කළ ගජගා වන්නමක් වුවා නම් තත්වය කෙතරම් වෙනස් ද 


හැත්තෑව තිහට මාරු වීම 
මගේ යාලුවෙක් උන්නා . ඌ අමද්‍යපයා . බයිට් මරුවා . අනිත් එවුන් ෂොට් එකක් ඉල්ලනකොට ඌ ඉල්ලන්නේ සෝඩා ෂොට් එකක් . ඩබල් ෂොට් එකක් ඉල්ලනකොට ඌ ඉල්ලන්නේ සෝඩා ඩබල් ෂොට් එකක් . ඇතැම් වෙලාවට වේටර් ඩබල් ෂොට් එක බිලට දාලා , තනි ෂොට් එකක් වීදුරුවට දාලා ගෙනාපු වෙලාවට , ඔක්කොටම අවුල් වුනාට මූට අවුලක් නෑ . 


නිදහස උනත් එහෙමයි , සැර නැති සෝඩා නම් අඩු වැඩි වුනාට එච්චර අවුලක් නෑ .

රටේ ප්‍රධාන පුරවැසියාගේ ජාතික දින කතාව හරියට ලියා ගන්න බැරි රාජ්‍ය සේවයක් ? කිසිම හැඟීමක් නැතිව ඒක  ඔහේ කියවා ගෙන යන, වරදක් වූ බවක් නොදැනෙන ජනාධිපති කෙනෙක් . පුද්ගලයා නොව , ක්‍රමය වෙනස් විය යුතුමය .
අනෙක් අතට ක්‍රමය වෙනස් වෙන්නේ , හැම පුද්ගලයාම වෙනස් වීම තුලින්ය 

01 February 2018

නෙලුම් කුලුන උඩ සිට (අනාගතයේ ලියවෙන කවක් )

පෙර ලිවීම 
අනාගතයේ යම් දිනෙක , ටිකට් එකක් අරන් , නෙලුම් කුලුන උඩටම යන්න අපිට පුළුවන් වේවි . උඩට ගිහින් ගිණි  ගානට බියර් එකක් අරන් , බිලේ පින්තුරයක් සමාජ ජාලා වල දාන්නත් පුළුවන් වේවි . උඩට වෙලා , කළුවර වෙනකල් ඉර බහිනවා බලන්නත්  පුළුවන් වේවි . රෑට පාරවල් දිගේ වාහන ලයිට් පේලි පේලි හිමින් හිමින් ඇදෙනවත් පෙනේවි . ඒත්  මේ සංවර්ධනේ කියන්නෙම ගේමක් . කොටින්ම zero sum ගේමක් .එකෙකුගේ කොටහ වැඩි වෙන්න තවකෙක්ගේ කොටහ අඩුවෙන්නම ඕනේ . පංති අතර වුනත් , රටවල් අතර උනත් .
ඉතින් ඉර බහිනකම් වට පිට බැලුවහම පේන්නේ දුප්පත් කම නම් , ඒ සංවර්ධනේද කියලා හිතෙනවා මට නම් . 
සංවර්ධන ලොතරැයිය ... ඇත්තටම !!. මතකනේ සේල්ස් පිච් එක , විකුණන විදිය ..."අද අදිනවා , හෙට අදිනවා ,, සංවර්ධන වාසනාව " ..!!


හප්පා
මෙහෙම කුළුණක්
කවුරු තිබ්බත් මුල් ගල් 

කවුරු විවෘත කෙරුවත්
හප්පා
මෙහෙම හුළඟක් 
ටිකට් එකට ගෙවූ
දෙසිය පනහට
හිලව්වට 
සනීපෙට
ඇඟ ගෑවී නොගෑවී 
ටිල්වින් 
සහෝ
ඇහුවට
එල්ලෙන්නද  කියා
නැතිවම නෙමෙයි
මේකෙත් ගතියක්
බ්‍රෝ 


වළා සිඹිනට 
කුළුණක්
හයිවේ 
අධික වේගෙට  
නැතිව කොහොමැයි
මචං
කරනු
සංවර්ධනයක් 

උඩට නැග්ගම පෙනේ 
මුළු කොළඹම නෙමේ 
යාල්පානටමත් එහා
අම්මපා
මිනිස්සු නම් පේන  නොපෙනෙන 
කුරා කුඹීන් එහෙ මෙහෙ යන  ගානයි

හීන් දුම් රොටු කෙඳිරි 
උඳුගොව්වෝ කෑ 
විල්පත්තුවෙන් නැගී 
ගැබ්බර වළා හිත 
ගැඹුරු සුස්මක්ව සැඟවී 

නිල්පාට කොලපාට 
ෆ්ලොරසන්ට් එළි 
කණාමැදිරි සැණකෙළි 
අඳුරේ දිළි දිළි 

පැල්පත් මුඩුක්කු   
හිඟන 
දම්පාටට තෙමා 
සිතිජයට එහායින්
 අදත්
බැස යනවා
ඉර