30 December 2014

ණයට ගත්ත සිංගප්පුරු හීනය හා සංවර්ධනයේ මිනුම් දඬු // Oh Development. Oh what a feeling to come home to .

 මේ වීඩියෝව මට හිතේ ගැඹුරටම වැදුනි . මෙහි මතුපිටින් ඇති දේශපාලන අදහස මදකට ඉවත ලා එහි යටි අරුත ගැන සිතන්නට මම ඔබට ආරාධනා කරමි . ඉන් පසු පහත කෙටි සටහන් කීපයත් කියවන්න . රටක සංවර්ධනය එහි  වෙසෙන මිනිසුන්ට බරක් නොවිය යුතු යැයි මම ඉදුරා විස්වාස කරමි 



ණයට ගත්ත සිංගප්පුරු හීනය 
 මේ ලඟදි මා මිතුරෙකු ආකේඩ් ඉන්ඩිපෙන්ඩන්ස් (Arcade Independence) ගොස් මුහුණු පොතේ චායාරූප කීපයක් එල්ලා තිබුණි . එහි සටහනක් ලෙස ඔහු ලියා තිබුනේ , ඔබේ චින්තනය වෙනස් කර ගතහොත් සිංගප්පුරු ගියා වැනිය කියාය (If you change your perception it is like in Singapore).  අන්තර්ජාතික කුමන්ත්‍රණ ගැන දොඩවන අපිම , ලෝක බැංකුවෙන්ද (කොහෙද) ගත්  ණයකින් සැදු මේ  සංකීර්ණයට Arcade Independence යයි නම තැබීම එක අතකට නරුම විහිළුවකි . එය පැත්තකින් තබමු . කොළඹ ලස්සනය, දැන් උදේ බස් එකේ ගාල්ලේ චින්තනට ආස්චර්යයේ හයිවේ එක දිගේ , හයිවේ බස් එකක පුංචි රුපියල් පන්සීයක්  දී රූන්  ගා විත් , සිංගප්පුරුව බලා හවස ගෙදර යා හැක . ඇවිත් සිංගප්පුරුව වැනි ගොඩනැගිලි , උද්‍යාන බලා , කඩ සාප්පු වල ඇති දේ ෂෝ කේස් එකේ 
එළියෙන් බලා හුල්ලා , පරණ සයිවර් කඩයෙන්ම බනිසක් කා,  හවස ගෙදර යා හැක . ඒ චින්තනගේ නො හැකියාවයි  . එනමුදු ඒ කඩ සාප්පු වලින් බඩු  මිලදී ගන්නවුන්, ඒ කැෆේ වලින් කන බොන වුන්ද  සිටිති . ඒ උන්ගේ හැකියාවයි .නමුත් මේ සිංගප්පුරු තොරන් ගසන්නට ගත් ණය වාරිකයට , පොළි වාරිකයට නම් චින්තනත් සම්මාදම් වෙන්නේය . එයට නොහැකියාව හැකියාව අදාළ වන්නේ නැත්තේය


සංවර්ධනයේ මිනුම් දඬු #1 
සංවර්ධනය මැනීමේ එක් මිනුම් දඬුවක් නම් අවුරුද්දකට සැරයක් දෙකක් ලංකාවට එන ඩයස්පෝරිකයන්ට , කොළඹ  සිට ඩවුන් සවුත් , හබරණ , දඹුල්ල , නුවර , යාමට යන ගමන් කාළය වසරින් වසර  කෙතරම් අඩු වේද යන්නය . අලුතෙන් තාර ඇතිරු මං  තීරු දකින විට "Oh development is happening all around " යයි මුවගින් මුවඟට කියවේ 


සංවර්ධනයේ මිනුම් දඬු #2
උත්සව සමයෙහි කඩ සාප්පු වල සේල් දමති . ඒවාට ඇන්දෙන මිනිස්සු ණයට කඩ සාප්පු වලින් බඩු මිලදී ගනිති . අනවශ්‍ය විදුලි කේතලයක් වට්ටම නිසාම මිලදී ගන්නා අපිට නොමිලේ පීරිසි  කෝප්ප කට්ටලයක්ද ලැබේ . ඒවායේ වටිනාකමද කේතලයේ  මිළට  එකතු වී ඇති බව අපිට නොදැනේ .  අලුත් කේතලයක් ගෙදර ගෙන ගියාට , විදුලි බිල ගැන සිතා දර ලිපේම වතුර උණු කර ගන්නෙමු . අල්ලට සීනි අහුරක් ගෙන කහට උගුරක් බීමට පීරිසි කෝප්පද අනවශ්‍යය . එහෙත් දැන් අපේ ගෙදර , මාසේ ගානේ ගෙවන , විදුලි කේතලයක් ඇත . 
රටක සංවර්ධනය , විදුලි කේතල හිමිකරුවන් ගණනින්ද මැනිය හැකිය .



28 December 2014

නත්තල් සීයා සමග විනාඩියක්

නත්තල් සීයා ... ඔව් එයා තමයි ..එහෙම කිව්වට ඔරිජිනල් කෙනා නෙමෙයි . මේ මනුස්සයා මට මුණ ගැහුනේ කෝට්ටේ පාරේ හරියටම සිරිකොත ඉස්සරහ විදුලි උපකරණ අලෙවි කරන ආයතනයක් ඉදිරිපිට නට නටා ඉන්නකොට . අව්වට පිච්චුන සූට්  එකක් ඇඳලා , වෙස් මුණ කුත් දා ගෙන කෝටුවක බැලුම් බෝල දෙකක් එල්ල ගෙන , මහා බෆර් රාජයෙක් ගෙන් පිට වෙන වේග රිද්මයට ඔහු නටනවා කැපිච්ච පණුවෙක් වගේ .ආයතනයේ ප්‍රධානින් බණියි යයි මුලින් අදිමදි කලත් , රුපියල් සීයක් දෙන පොරොන්දුවට ඔහු මා කතාවට එක්  වුනේය .

මේක විතරද රස්සාවකට කරන්නේ 

නත්තල් කාලේට නත්තල් පප්පට අඳිනවා . වෙසක් කාලේට ඔලු බක්කෝ නටනවා ..අනෙක් කාලේට  කුළි  වැඩ මහත්තයෝ 

කොහොමද මේ වැඩේ  ?

 මේක පොරවා ගත්තම හුස්ම ගන්නත් බෑ , මහා කාස්ටකේ . අනික මේ කොල්ලෝ දාන්නෙත් පණ  යන මියුසික් , හොඳ පණ  යනවා නටලම . නැටුවේ  නැත්නම් මැනේජර් මහත්තයා බනිනවා නත්තල් අසිරිය නෑ  කියලා .

ඒ වුනාට වාසිද  

මේක නම් ඉතින් දවසටම බත් එකයි හාරසීයයි . එහෙම කියලා වාසියක් නෑ  . ඔන්න ඊයේ ආවා කට්ටියක් , කළගුණ දන්න ජනතාව කියලා බෝඩ් වගයකුත් උස්සගෙන 

මම  කෝකටත් කියලා අර මහින්ද මහත්තයා බණ අහන බෝඩ් එකට මුවා උනා . කොල්ලෝ දෙන්නෙක් එතනටම ඇවිල්ලා , කළ ගුණ අමතක කරන්න එපා කියලා මෙන්න මේ බැලුම් බෝලේ දීලා ගියා මහත්තයෝ .
හවස් වෙන කොට තව කට්ටියක් ආවා ඇවිත් මගෙන් අහපි ලොක්කා මොකද කියන්නේ  යහ පාලනය ඕනේද කියලා

ඉතින් 

නිකන් දෙන එකනේ මහත්තයෝ මම කිව්වා හා එහෙනම් දෙන්න කියලා . 

ඉතින් 

ඒ කට්ටියත් මෙන්න මේ බැලුම දීලා ගියා මහත්තයෝ . ඊට පස්සේ තමා මට වැඩේ උනේ 

ඒ මොකෝ 

ඔන්න අදත් කට්ටියක් ආවා , ආස්චාර්යයේ ආස්වාදය කියලා බෝඩ් වගයක් උස්සගෙන මම හිතුවා අද නම් වාසියක් වෙයිමයි කියලා 

මොකෝ උනේ 

ඇවිත් අර සිරිකොතේ බුදුපිළිමෙට ගල් ගහන්න ගත්තනේ .. ගහපු ගලක් බම්ප් වෙලා ඇවිල්ලා වැදුනේ නැතැයි මගේ ඔලුවේ 

ඔහු වෙස් මුහුණ ගලවා ගෙඩි ගැසුණු නළල පෙන්වන්නේය 

ඉතින් මේ සියා දැන් මේ බැලුම් දෙකෙන් මොකද කරන්නේ 

අනේ මහත්තයෝ මේ ඇඳුම උනා දාලා , බැලුම් බෝක්කුවට විසිකරළා  , මගේ වියදමෙන් හවසට ගුණේ  අයියාගේ පොට් එකෙන් දෙකක් දා ගෙන ගෙදර යනවා 

පලි :අන්තිමේදී අපිට සිදුවන්නේ බොහෝ විට බැලුම් බෝල වල හුලං  ගොස් හැකිළුණු පසු , ඒවා විසිකර , අපේ වියදමෙන් දෙකක් දමා ගෙන හිත හදා ගැනීමටය .
මෙදා සැරේ අඩුම ගණනේ ලොකු බලාපොරොත්තු වත් ඉටු වේවායි පතමි . ඒත් අනේ මන්දා ය .



23 December 2014

දින සියකින් පොරොන්දු කීයක් කඩ කළ හැකිද සහ මෙනු නැති චින්තන හෝටලය

මචන් 

ඕ 

කියෙව්වද පොත් පිංච ?

මොන , අර ආනමාලු ආර්ථිකය එකද ?

නෑ එක නෙමෙයි මේ මේක මය්තිරි පාලනයක් 

ආ මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ..මේක දැක්කම මට මතක් උනේ අර හංදියේ හෝටලේ මිල ගණන් දර්ශනය 

ඒ මොකෝ 

ඇයි  ඒකෙත් , ඉඳි ආප්ප , ආප්ප , රයිස් ඇන්ඩ්  කරි , ප්‍රයිඩ් රයිස් , චිකන් කොත්තු , පොටෝ කොපි , ලැමිනේටින් , දුරකථන ඇමතුම් , රිලෝඩ් , සිගරට් , කොකා කෝලා , පලතුරු බීම , භුමි තෙල් , වයිපයි ඔක්කොම තියෙනවා නේ 

හැබැයි පුතෝ මේකේ චයිනිස් රෝල්ස් නම් නෑ 

ඔය කිව්වට ...

ඇත්තටම දවස් සීයකින්  මේ ඔක්කොම බලාපොරොත්තු වෙන අපි හරි අසාධාරණයි නේද .

නෑ නෑ ඔය ඔක්කොම දැම්මට ඔක්කොම හම්බු වෙන්නේ නෑ  කියලා හිටන් පොදු ජනයා  දන්නවලු 

ඌ දන්නවලුද ...එතකොට පොරොන්දු වෙන්නේ 

එහෙම වෙන්නෑ හිටන් යහ පාලනය 

එහෙම වෙයිද ?
______________________________________________________

මචන්

ඕ 

චින්තන හෝටලයේ මෙනු එක  තාම නෑ නේද 

ළඟ එනවාලු 

චන්දෙට කලින් එයිද 

සමහරවිට . ඒත්  ඒක  චන්දෙට ඉස්සෙල්ලා ඕනෙමද ? මෙනු එක තිබ්බත් නැතත් හෝටලෙන් දෙන දේ කන්න එපා යෑ 

එහෙම නෙමෙයි , නැත්නම් මිනිස්සු කොහොමද තීරණය කරන්නේ මොන වැඩ පිළිවෙලටද මනාප කියලා 

අයියෝ , මිනිස්සු චන්දෙ දෙන්නේ කරන දේවල් වලට නෙමෙයි නේ කරපු දේවල් වලටනේ . ඒ වුනාට චන්දෙට ඉස්සර වෙලා ඒක එලියට දායි .

එත් තැපැල් චන්දෙ ඉවරයි නේද 

ආ ඒකද ..ඒක එච්චචර ගණන් ගන්න එකක් නෙමෙයිනේ .. එක නිකන් විහිලුවට වගේ තියෙන එකක්නේ 

එහෙම කියන්න එපා , තැපැල් චන්දෙ තමයි , මහා චන්දෙ වැටෙන හැටි , කෙරෙන හැටි පෙර මග ලකුණු කියන්නේ 

ඒක  නම් හැබැව 


______________________________________________________

මට ඇති ප්‍රශ්නය මෙවරත් ආණ්ඩුව දිනුවොත් ඔවුන් කුමක් කරයිද යන්න නොව ( මොනවා කරන්න බැරිද ). මොනවා නොකරාවිද  යන්නයි .

ඇතැම් විටක 2019 දී , ජනමුල නායකයා,  ජනමුල දෙයියන් යයි අබිසෙක් කිරීමට ජන මත විචාරණයක් හෝ පාර්ලිමේන්තු පනතක් ගෙන එනු ඇත . එසේ කිරීමට හැකිදැයි අධිකරණයෙන් පලමුව අදහස් විමසනු ඇත .

18 December 2014

සිත මගේ මොකද වෙලා , චන්ද්‍රිකාගේ බණ්ඩා ගේ , සමන්මලිගේ සහ අපේ නිරුවත සහ වෙනත් කතා (ඔහේ හිතෙන දේ )

පෙ.ලි.
රසිකලොජිස්ට් ගේ දේශපාලනයෙන් තොර හැන්දෑවක් (මෙතනින් බලන්න )කියවූ මම සිතන්නට වුනෙමි . කාලයකට පෙර මා ලියු  මේ සටහනද  නැවත කියෙව්වෙමි . සුද්දන් කාලගුණය ගැන කතා කරනවා මෙන් , ඉන්දියානුවන් ක්‍රිකට් ගැන කතා කරනවා මෙන් , අප කතා කරන්නට දෙයක නැතිවූ කළ කතා කරන්නේ දේශපාලනය ගැන දැයි හිතන්නට වුනෙමි. එහෙත් "අපි දේශපාලනයට නැති වුනාට , දේශපාලනය ඇතුලේ අපි ඉන්නවා " යන්න මට නැවත සිහිවිය . පළ  කරන්නට පෙළ ගසා ඇති සටහන් නැවත කියෙව්වෙමි . තේමාව එකමය . ඒ සියල්ල පසෙක ලා , එක සටහනක් ලියන්නට ඉටා ගතිමි .  


මේවා කෙටි සටහන්ය . මට හිතුන දේය . ඇතැම් විට මුලක් අගක් නැති , මැදක්  පමණක් ඇති සටහන්ය .


සිත මගේ මොකද වෙලා 
නිමි නැති තගකට 
බයවී හිඳිනට 
හිත්  අපේ මොකද වෙලා 
රුපු යුද දිනනට 
උගසට තැබූ රට 
දැන් නම් සින්න වෙලා 


අට පාස් නැති ඇමතිලා සහ බුද්ධිමත් ජනතාව 
ජනතාව පත් කරන ඇමතිලා ගේ උගත් කම ගැන ජනතාව මැසිවිලි නගති . ඉන්න යක්කුන්ගෙන් කළු අඩුම යකා තෝරා ගන්නට වෙනවා යයි නිදහසට කරුණු කියති . අපේ රටේ සාක්ෂරතාව ගැන ඇමතිලා උදම් අනති .  එහෙත් මැතිවරණ වේදිකාවේ නෙක ගොන් කතා කියති . ඉන්පසු  "මැතිවරණ වේදිකාවේ කියන දේ ගණන් ගන්න එපා , සාමන්‍ය  ජනතාවටනේ අමතන්නේ " කියාද කියති . එමගින් රටේ ජනයාගේ උගත්කම ගැන තක්සේරුවක් දෙති .


 ලන්කට් එකේ භීෂනේ 
සුපර් මෑන් රතු ලංකට්  එකක් ඇන්දේ , නිකන් මෑන් ලා ගෙන් ඔහු වෙනස් බව පෙන්වීමටය . චොප්පේ අයියා සුදු සරමට යටින් කැමා  යට කලිසමක් ඇන්දේ ඔහුගේ චන්ඩිකම පෙන්වීමටය  . ඕනෑම වලියකදී ඔහු යන්තම් එය පෙනෙන්නට සරම ඔසවා ගත්තේය . ඔහුගේ ගෝලයෝද කැමා  ලන්කට් අඳින්නට පටන් ගත්තෝය . . පසුව පසුව ජනයා , චොප්පේ අයියාගේ හෙණ මෙන් දරුණු අඩි  පුඩි , ලන්කට් දර්ශනයට සම්බන්ධ කර ගත්හ . ලන්කට් එක දකින විටම බිය වුහ . කාලයේ ඇවෑමෙන්  චොප්පේ අයියාද ගෝලයෝද , සුදු සරම වැලේ වනා , ලන්කට් පිටින්ම ඔබ මොබ යන්නට පටන් ගත්හ . දැන් දැන් ජනයාට  මේ ලන්කට් හමුදාවේ  තුනී පට තිරයෙන් වැසුවද ,  උලුප්පා පෙනෙන නිරුවත පෙනෙමින් තිබේ . එහෙත් වැලේ වැනු  සුදු සරමද , දැන් වැලේ  නැත .


 ගිලීමලෙත් ඇත ...
මේ මැතිවරණ සමයේ මා ඇසු අවංකම ප්‍රකාශ තුනකි 

3. අනුර කුමාර දිසානායක - කට්ටිය අහනවා ඉතුරු ටික ඇයි කියන්නේ නැත්තේ කියලා ..කොහොමද දෙයියනේ කවුරුවත් ගැන චරිත සහතික දෙන්නේ 
2 මහින්ද රාජපක්ෂ - ...අපේ ගොන් ජනතාව රැවටෙන්නේ නෑ ...
1. මර්වින් සිල්වා - (ඔබ තුමා පක්ෂ මාරු කරනවාද යයි අසු පැනයකට පිළිතුරු දෙමින් කියූ සුභාවිත වාග් සංගායනාව ) - මේ පනින සංකල්පය පිළිබඳව . මේ පහත් ගොසිප් ප්‍රොපගැන්ඩා ව්‍යාපාරය පිළිබඳව . ලංකාවේ දේශපාලනයේ ස්වභාවය පිළිබඳව කියන්නට සුදුසුම ආකාරය මෙයය 


චන්ද්‍රිකාගේ නිරුවත , බණ්ඩා ගේ නිරුවත , සහ සමන්මලිගේ නිරුවත 
චන්ද්‍රිකාගේ නිරුවත දකිනට බණ්ඩා  සිහින මැව්වේ කාලයක සිටය . සිතේ ඇති ෆැන්ටසි සියල්ල වදන් වලට පෙරලා දෙඩවීම නොමනාය . චන්ද්‍රිකා ගේ නිරුවත ඈ පාලන සමයේ රටටම දුටුවේය . එය ඇතැම් විට ජුගුස්ස්පා ජනක විය . ඊට වඩා ජුගුස්පාජනක වන්නේ එය මෙනෙහි කර කර රස විඳින බණ්ඩා ගේ හිතය. බණ්ඩා  චන්ද්‍රිකාගේ නිරුවත පෙන්වන විට , ඔහුගේ හෙළුව සැමටම පෙනෙන්නේය .

සමන්මලී , බණ්ඩා ගේ හෙළුව ලේන්සුවකින් වසන්නට ගියාය .  අහෝ ආ සුළඟකින් ඈ ඇඳි  දිය රෙද්ද ( නාන්න යනවිට කුල කාන්තාවෝ අඳින්නේ දිය රෙද්ද නොවේද ? ) කඩා හැලිනි . ඈ  උඝතෝකෝටිකයකට මුහුණ දුන්නාය . ලේන්සුව අත  හැර දිය රෙද්ද අල්ලා ගත්තොත්  බණ්ඩා  හෙලුවෙන්ය ...ලේන්සුව අල්ලා ගෙන සිටියොත් ඈ  නිරුවතින්ය . සුදර්සිනී නෝනා පැන  තුවායක් ඔතා ඈව  ආවරණය නොකරන්නට වැඩේ කිරිමිනෙල් වෙනවාය .

මෙතන තියන ප්‍රශ්නය සමන්මලී උගත් , සරසවි අධ්‍යාපනයද ලද්දියකි . එමෙන්ම ජනයා විසින් සියලු සුදුසුකම් සලකා ජනතා නියෝජිතවරියක් ලෙස පත් කළ  අයෙකි . බණ්ඩා උසස් අධ්‍යාපන ඇමති වරයාය .
අවසාන යේ පෙනෙන්නේ උන් කාගේවත් නොව අපේ නිරුවත නොවේදෝ යයි මට සිතේ  





11 December 2014

ආස්චර්යයේ පාර පැනීම // Why did the politian cro$$ the road?



ස්ථානය අලුතෙන්ම  කාපට් දමා නැගුනු ආස්චර්යයේ මාවතක් . එහි වේගයෙන් දෙපැත්තට යන එන වාහන පෙළ පාලියකි . ජීප් පිරිවරා යන වැන් , ලoගම බස් බැනර් කොඩි ගසා ගෙන යත්. පාර පැනීමට බලාපොරොත්තුවෙන් පාර අයිනට වී සිටින ගැමියෙකි . ඔහු අතේ පනිට්ටුවකි . ඔහු අසළට  තරුණ ගැටයෙක් පැමිණෙන්නේය .

ආ මාමේ කොහේද මේ පාන්දරම ?

අර නළ  ලිඳ ගාවට යන්න කියලා බං 

උදේම නා ගන්නද ?

නෑ බං  දොට්ට යන්න හදනකොට දැක්කේ වතුර ඉවරයි කියලා . ඉස්සරනම් ගුරුපාර දිගේ ටුක් ගාලා ගියා . වතුර පනිට්ටුවක් ගත්තා 
දැන් මේ රෙද්ද සන්අර්දනේ හින්දා , යකෝ දොට්ට යන්න පාර පනින්න වරුවක් බලන් ඉන්න ඕනේ නේ.

ඒ වුනාට මාමේ ,මේක සංවර්ධනේ නේ ..අර අපේ ඇමති තුමා කියන්නා වගේ ලංකාවේ ආර්ථිකය නැගිටින්න මේ පාරවල් , අර UDA කැට  අල්ලපු ජෝගින්  ට්‍රැක්  එහෙම නැතුව බෑනේ 

අනේ මට නම් ඕවා තේරෙන්නේ නෑ  කොල්ලො

පනින්න තව ටිකක් බලන් ඉන්නවෙයි වගේ මාමේ . අද ලොක්කාගේ රැස්වීම අරහේ.. අනිත් කට්ටියගේ රැස්වීම මෙහේ. ඒ අස්සෙන් නිවාඩු දවස හින්දා ට්‍රිප් යන කට්ටියත් වැඩියි වගේ 

හ්ම්ම් , පාර පනින්න සෑහෙන වෙලාවක් ඉන්න වෙයි වගේ.

ඒ වුනාට මාමේ , අර කට්ටියනම් එහාට මෙහාට පනිනවා නිකන් බට්ට පනින්නා වගේ .

බඩත් පුරු පුරු ගානවා බං  දැන් නම් 

මාමේ මේ සමහරු ආපුවහමයි දන්නේ එහෙම උන් හිටියා කියලා .

ඒකනේ  බං   ...අර මේ ලඟදි ආවේ විනෝදාංශ පිලිබඳ නියෝජ්‍ය ඇමති කෙනෙකුත් . ඒ කියන්නේ මුද්දර එකතු කිරීම , මිතුරු මිතුරියන් ඇසුරු කිරීම , නවකතා කියවීම වගේ විනෝදාන්ස වලටත් ඇමති කෙනෙක් ඉඳලා නේ බං ...හෙහ් හෙහ් හෙහ් 

ඒක නෙමේ, මාමා ගේ විනෝදාංශ එහෙම මොනවද 

දැන් නම් ඉතින් මේ ආච්චර්යේ පාරේ දෙපැත්තට යන වාහන බලා ගෙන ඉන්න එක තමා කොල්ලෝ


පලි : කිරි කිරියේ කොන්ක්‍රීට් වැටි, රට පුරා සංවර්ධනයේ මාවත් දිගහැරී  ඇත . හැටට හැටේ පාගා ඒවායේ වාහන පේලි ඇදෙති  .සංවර්ධනයේ මාවත දිගේ වේගයෙන් යන එවුන්ට , එහෙම ගියාට කරන්නට එහෙම කියා රාජකාරියක් නැත . ඒ මාවත් දෙපස බලා සිටින්නවුන්ටද ඒ පාරෙන් ඒ හැටි වැඩක් නැත . පාර එළ ය. ගමනාන්තය ගැන අදහසක් එහෙමට නැත.එහෙම බලන කොට සංවර්ධනයේ මාවත දිගේ අපි කරන්නේ විනෝද චාරිකා යාම සහ දෙපස හිට ගෙන එහි යන එන වාහන ගණන් කිරීමය . එහෙව් රටක වැදගත්ම අමාත්‍ය ධුරය විනෝදාස්වාදය පිලිබඳ ඇමති ධූරයම යයි මට විටෙක සිතේ .

08 December 2014

එකමත් එක කළක , සමාන්තර විශ්වයක // once upon a time in a parallel universe

ඔන්න එකමත් එක සමාන්තර විශ්වයක 

කතා #1

හලෝ 

තිස්ස තිස්ස 

ඔව් තිස්ස තමා 

මම මහින්ද 

ආ ඇත්තද ...මේ මුවත් ඇවිත් ගියා විතරයි ..ගිහින් කියපන් ඕක උඹේ අ .

නෑ  තිස්ස මම මේ ජනමුල නායක  

ආ සර් 

මොකෝ කරන්නේ අද හවස ?

එහෙම කියල මොකුත් වැඩක් නෑ  සර් මට දැන් 

එහෙනම් එනවකො මේ පැත්තේ ...අද අපේ දිහා පාටියක් . තමුසේ එනවා අපේ පාටියට 

පාටියක් ? කොහෙද සර් ඔය පාටිය 

අපේ දිහා ... අර බජව් දාන කාමරේ ..සැලුන් දොරෙන් ඇතුළු වෙලා කෙලින්ම එනවා ....තමුසේ එනවා ඇඳුම් , පැදුරු කොට්ට අරං , ටික දවසක් ඉන්න බලාගෙනම . මම ගමන් වියදම දෙන්නම් 

අනේ සර් එහෙම හරි නෑ නේ ..මාව පත් කලේ අපේ පක්ෂයෙන් නේ ... අනික ජනතාව ඉල්ලා සිටින්නේත් වෙනසක් නේ ...අපිට චන්දෙ දුන්න ජනතාව අපෙන් ඉල්ලා සිටින්නේ ඒ වෙනසට නායකත්වය දෙන්න කියලා නේ . ඒ නිසා අනේ තරහ වෙන්න නම් එපා , ඔය පාටියට නම් එන්න වෙන්නේ නෑ 


කතා #2 

මගේ නම මාතර සුනිල් ....මට කියන්න තියෙන්නේ  ඔතන ඉන්නවා ලෝක හොරෙක් 

අඩෝ මේ ...අපිට සීයාගේ කාලේ ඉඳන් සල්ලි තියෙන මිනිස්සු . අපේ තාත්තට සල්ලි තිබුනා . රෝයල් එකට ගිය මටත් තියෙනවා සල්ලි වැක්කෙරෙන්න  

මහත්මයා  එහෙනම් මොන රෙද්දට ද ඔය හිඟන  මන්ත්‍රී වැටුප ගන්නේ  , දුප්පත් මිනිස්සුන්ගේ බදු වලින් ගන්න වාහන පාවිච්චි කරන්නේ .? දෙනවකො ඕක අපි වෙනුවෙන් අපි අරමුදලට ..



පලි :ඇතැම් සමාන්තර විශ්වයන්ගේ , සිදුවන්නේ යතාර්ථය බොහෝ වෙනස් දේය  . ඒත්  ඒ සමාන්තර විශ්වයන්ගේ නේ ...

07 December 2014

ජනාධිපතිවරණයේ අතුරු කතා #2 (කාලා වරෙන්කො )

ඔන්න පොඩි එකෙක් කන්න බෑ  කියලා මාර ගෝරියක් ය . ආතම්මා බත් පිඟානකුත් බෙදාගෙන ,  උගේ පස්සෙන් වත්ත වටේ දුවනවා .

"අනේ පුතේ මේ එක කටක් කාපන්කෝ "

"මත බෑලියෝ "

"ඔන්න පුතා කෑවේ  නැත්නම් ජිනීවා වලින් යම පල්ලෝ දෙන්නෙක් ඇවිත්... "

පොඩි එකා දුවන එක නවත්වා ආතම්මා ලඟට එන්නේය 

"ආතම්මේ යමපල්ලෝ ? ඊත පත්තේ උන් ඇවිත් ?"

"උන් ඇවිත් පුතේ , උඹව අල්ලාගෙන යනවා "

"ඊත පත්තේ ඊත පත්තේ ..."

"ගෙනිහින් උඹව විදුලි පුටුවේ ඉන්දනවා "

පොඩි එකා දෑස්  පීරිසි දෙකක් තරම් වී ය . කට ඇරිලා ය 

"ඒ නිසා දැන් මයේ පුතා මෙන්න මේ බත් ගෙඩිය කන්න "

ආතම්මා හොඳට ඇනු  බත් ගෙඩියක් කටේ එබුවාය . පොඩි එකාට එය ගිලීම මිස වෙන විකල්පයක් දැන්  නොමැත  .

_____________________________________________

දිනය ජනවාරි 8 වනදා . වේලාව  රාත්‍රී 8ට පමණ ඇත . ස්ථානය කොල්ලුපිටිය ප්‍රදේශයේ මන්දිරයක් ඉදිරිපිටය . මන්දිරයේ තාප්පයේ මීවන වර්ග වවා ඇත . ගේට්ටුව දෙපස නොසෙල්වී සිටගෙන සිටින නාවික භටයන් දෙදෙනෙකි . පමණට අනුමත වූ අයෙක් , වැනි වැනි එදෙසට එන්නේය . පැමිණ නාවික භටයෙක් ඉදිරියට විත් ඔහු අමතන්නේය 

මේ මල්ලි , මේ පිලාවූස්ද ?

නාවික භටයා නොසොල්මනේය .ගල්වූ සෙයකි .

මේ මල්ලි ..ආප්ප තියෙනවද ? මොකෝ තමුසෙට කතා කොරන්න බැරිද ? ආප්ප බාස් ඉන්නවද ඇතුලේ 

ඇයි  යකෝ මට රවන්නේ ? හරි හරි මට පොඩ්ඩක් වැඩි වුනා තමා . .. ඒත් ඉතින් අපේ සල්ලි වලින් නේ අපි බොන්නේ ...දැන් පැට්‍රොල් අඩු කරලා , හාල් මිළ පහල දාල අපේ අතේ සල්ලි තියෙනවනේ ...දානවකෝ මට ආප්ප  දහයයි බිත්තර ආප්ප හතරයි ටේක්  අ වේ ..... ටක් ගාලා 

ලුණු මිරිස් දෙනවනේ නිකන් .... හැබැයි ඉතින් මේ ලුණු මිරිස් එක්ක ආප්ප  ගිල්ල වගේ නෙමෙයි ,හෙට උදේට තමයි ඉතින් පුකේ ආඩම්බර බලන්න වෙන්නේ නේ ...

___________________________________________________


මෙයත් කොල්ලුපිටිය පැත්තේ මන්දිරයකින් ඇසෙන කතාවකි . දිනය ජනවාරි 10දා ය .

හෙට්ටි අයිසේ මට මේ ජාතික ගීය  වෙනස් කරන්න කියලා හිතුනා ඕයි 

හරි සර් එහෙනම් මම අමරදේව මාස්ටර්ට එන්න කියන්නද 

ඕනේ නෑ  අයිසේ මගේ හිතේ දැනටම සින්දුවක් තියෙනවා 

මරුනේ සර් , සර්ගේම  පද සංකල්පනාවක් ...

කොහොමත් එහෙමනේ ඕයි .. මේක පරණ සින්දුවක් තමුසේ අහලත් ඇති 

මොකක්ද සර් " අර මාගේ දේශය අවදි කරනු මැන  පියාණෙනි .." කියන එකද 

නෑ  ඕයි  " මේක ගුනේ අයියා ගේ බජව් දාන කාමරේ " කියන එක 

________________________________

රජ පුරුෂයෙක් දිව ගෙන රජ තුමා ඉදිරියට පැමිණෙන්නේය .

රජතුමනි , පස්වාන් දහසකට සමා අවසර 

මොකද ඕයි  ඒ සැරේ , එක දවසක් මහා රෑක  ගොයියෙක් ආවා කියලා ආවා . මොකද මේ සැරේ 

රජතුමනි , රට වැසියාගෙන් රජවාසල ඉදිරිපිට අතුරු සිදුරු නැතිව පිරි ගොසින්ය 

අහා ප්‍රීති ප්‍රීති , මා විජයග්‍රහණය ගැන සුභ පැතීමටද ඔවුන් පැමිණ සිටින්නේ 

එහෙමමත් නොවේ රජ තුමනි , ඔබ තුමා කළගුණ  සලකන්න පෙළ ගැසී එන්න කියා කීවා  කියා ඔවුන් පවස්සන්නොය 

ආ පෙළ ගැහිලද ඇවිත් ඉන්නේ ...එහෙනම්  ඔහොමම පෝලිමේ හිටගෙන අංශක එකසිය අසුවක් හැරෙන්න කියනවා . ඊට පස්සේ ඔය ඉනපටි එහෙම පොඩ්ඩක් බුරුල් කරගන්න කියනවකෝ ... මම එන්නම් ....කෝ මේ .....ප්‍රීති ප්‍රීති 




05 December 2014

රජ වැඩ කාරයෝ සහ වරද කාගේද // whose fault is it anyway ?

රජ වැඩ කාරයෝ 

අනේ කූඹින්නේ තොපටත් රජෙක් ඉන්නේ ....කියා අප ඉල්ලුවේ , පැතුවේ රජෙකි .


ජනතා සේවකයෙකු , ජනතා හද ගැස්ම නියෝජනය කරන පාලකයෙකු , රටේ භාරකාරයෙකු , ජන නායකයෙකු නොවේ , ජනාධිපති කෙනෙකු , කාර්යශුර විධායකයෙකු නොවේ   ...රජෙකි .
සුවර්ද රජෙක් ම ඕනෑද  කියා කිසිවෙක් ඇසුවේ නැත .

කැවුම් කිරිබත් කැව්වේ කෑවේ  , පෙළහර කරේ , සාධු කාරෙන් ගිගුම් දුන්නේ ( ඇහුනානේ  සද්දේ ?) රජෙක් ලැබුණ නිසාවෙනි .

ඉදින් රජෙක් ලැබුනා වගේ නොවේ , ඉනික්බිති එතුමාණෝ නඩත්තු කල යුතුය . රජෙක් වියදම් සහිතය . ඔහුගේ රාජ බෝජන යනු , ආහාර පාන පමණක්ම නොවේ , සුඛ විවරණය සඳහා වන සියලුම දේය .  සෙංකඩගල කළ මෙන්ම,  රජෙක් ඇති කල්හි  , ඔහුගේ නෑ සියන්ගෙන් පිරුණු , පදිරුප්පු වීදීන්  ඇති වීමද නොවැලක්විය හැක්කේය . කුමාරවරුන්ගේ උයන් කෙළි සඳහා විනෝද උයන් , දිය කෙළි  සඳහා පොකුණු , රති කෙළි සඳහා අන්තපුර සැදිය යුතුමය .
රජෙක් අවැසි නම් මේ නෙක්  බර දැරිය යුතුමය  .

රජෙක් සතු වස්තුව , රට වැසියාගේන්ම  ලබා ගන්නා භව භෝගය , වැඩි හරිය භාණ්ඩාගාරය පුරවා ගෙන සුළු කොටසක්  ජනයාටම බෙදාදී  රජ තෙමේ තම රාජ කරුණාව පෙන්වන්නේය . ඒ රජුන් ගේ හැටිය. එසේ බලන කල්හි අපිට මදි නොකියන්නට , බඩ කට පිරෙන්නට රජෙක් ලැබී ඇත්තේය .

එහෙත් අපි හරිම පුදුම ජාතියක්මු . අපි මේ ගැන ආඬි පාලි කියමු . අපට ඕනේ ලාබෙට රජෙකි . ලාබෙට රජවරුන් නොමැත . ඇත්තේ ජනතා සේවකයින් ය . උන් ලෝ කොලිටිය . රජුන් මෙන් තේජස් නැත . ශෝ එක නැත .

ලෝකෙට ෂෝ එකට පොෂ් පවුලකින් කෙල්ලෙක් යාලු කරගත් මා මිතුරෙකු විය . .. ඈ  නඩත්තුවට ඔහුට අවසන තම මවගේ හා නැගණියගේ කනකර පවා උකස් තියන්නට සිදු විය


 වරද කාගේද

අපි පුදුම ජාතියක්මු .

එක අතකින් අපිට සෑම  දෙයක් ගැනම මතවාදයක් ඇත . ගෙදරට එන මේසන්ගේ , වඩුවාගේ , විදුලි කාර්මිකයාගේ සිට  ක්‍රිකට් පිටිය මැද ක්‍රීඩා කරන ක්‍රිකට් ක්‍රීඩකයා දක්වා , උන්ට උන්ගේ ශිල්පය කළ යුතු අයුරු ගැන උපදෙස් දීමට මැලි  නොවෙමු  .  එහෙත් රට පාලනයට කවුරු හෝ කෙනෙක් පත් කර ගන්නේ ඔහු ගේ මතු වැඩ පිළිවෙල ගැන නොව , අතීත කල්කිරියාව ගැන පමණක් බලාය . ඉන්පසු එය උන්ට එය කොරන්නට බාර දී අපි අත සෝදා ගන්නෙමු . වරද උන්ටම පවරන්නෙමු . උන් ට්‍රැක්  පනින විට "අනේ කවුරුවත් නෑනේ මොකුත් කරන්නට " කියා ලතවෙමු . 

අනෙක් අතට නිවසට වැඩට එන මේසන් බාස් , එන්නේ එක්කෝ මේසන් හැන්ද  නැතුවය , පයිප්ප බාස් එන්නේ එක්කෝ පයිප්ප  අඩුව  නැතුවය .
සේවාදායකයා ළඟ එම උපකරණ තිබිය යුතු යයි සේවා සපයන්නා බලාපොරොත්තු වන්නේය . රෙපයාර් එක නොවන්නේය . සේවාදායකයා තමන්ම සොයා ගත් බාස් ට බනින්නේ , ඉන්නෙම ඉතින් මෙහෙම එවුන්මනේ කි යාය .  බාස් ටද හේතුවක් ඇත . සේවාදායකයා සුදානම් වී නොසිටියේය . අවසන වරද  අවස්ථාවේය (fault is in the circumstance).


03 December 2014

Jacinta (the barista)

Jacinta 
(the barista )
is my meditation 
As she floats 
the foamy froth 
on top of the bitter
liquid
as I stop every morn
for a moment 
as I veer away from

the desire line

පලි :මේක මම  සති දෙකකට විතර පෙර දුම්රියේදී ලියු කවක් , කිහිප විටක් උත්සහ කලත් මෙහි භාවය වෙනස් නොවෙන සේ පරිවර්තනය කරන්නට මට නොහැකි උනා . මම එතරම් කෝපි  නොබිව්වත් , මෙහි කෝපි  කඩ වල උදේ පාන්දරට දිගට පෝලිම් . කෝච්චියෙන් බැහැලා , රස්සාවට දුවන ජීවිත  මදකට නවතිනවා මේ පෝලිම් වල . 

Starbucks වගේ ආයතන වලට 150% වගේ ලාබයක් තියාගෙන , Cappuccino , Latte වගේ බොරු නම් දාපු කෝපි  කෝප්පයක් විකුනන්න හැකි වෙලා තියෙන්නේ ඇයි  කියලා , මම ටික කලකට පෙර කියෙව්වා . සමාජ පීඩනය (peer pressure ) නිසා තම අසල්වැසියා වගේම ජිවත් වන්න සැදීම මුලික හේතුව යයි හිතුනත් , ඊට වඩා හේතු තියෙනවා .  විකුනන්නේ කෝපි  නෙමෙයි , තුන්වන තැනක් (a third place ) කියලයි කියන්නේ . ඒ කියන්නේ ගෙදරත් , කන්තෝරුවත් අතර තැනක් . වර්ග අඩි  හය සීයේ වගේ මහල් නිවසක හිරවෙලා , මිනිහෙක් පෙනෙන්නේ නැතිව ඉන්න මිනිස්සුන්ට එහෙම තැනක් ඕනේ , මනුස්සයෙක් දකින්න , සමාජශීලි වෙන්න . මිනිසාට ඇති සමාජ ශීලි වීමේ අවශ්‍යතාවයට උත්තරයක් තමයි විකිනෙන්නේ 

30 November 2014

නළුවෝ , ගොළුවෝ සහ එළුවෝ

මංසන්ධියේ
ලයිට් කණු දිගේ , ගස්  උඩ
සිනාසෙන , බණ අහන ,
ආශ්චර්යයේ මාවත දිගේ එන්නැයි
අත වනන
නළුවෝ

කාස්ටකේ
තාප්ප දිගේ
දියාරු වට ඇනු පාප්ප පාරින්
මාසේ පඩියට
සිනා අලවන
ගොළුවෝ

තාප්ප වල ඇලවුණු
අලුත් කොළ
නැවුම්  තීන්ත සුවඳත් එක්කම
බ්‍රාස් ගා
උළා  කන
එළුවෝ

පලි :

නළුවෝ නළුවෝය , එළුවෝ එළුවෝය ..ඒත් ගොළුවෝ පව් ඕයි 

29 November 2014

කුඩා පොදු ගුණාකාරය , මහා පොදු සාධකය , පයිල්ස් සහ වෙනත් කතා // bite size nonsense

කුඩා පොදු ගුණාකාරය සහ මහා පොදු සාධකය  
කුඩා පොදු  ගුණාකාරය සහ මහා පොදු සාධකය අතර වෙනසක් ඇත . යමක් ඉතුරු නැතුව බෙදෙන කුඩාම ගුණාකාරය එකකි . අනෙක , සංඛ්‍යා වන් එක්වූ විට සෑදෙන මහාවූ පොදු සාධකයයි . නමුත් බොහෝ විට මේ දෙක පැටලේ 


ෆපයිල්ස් 
පයිල්ස් වනාහී අතිශ්‍ය භයානක ලෙඩකි . බුදින දෙයෙහි වැරදි , හරිහැටි නිදහසේ හුස්ම නොගැනීම , ශරීර ස්ථුලතාවය වැඩිවීම මෙයට හේතුන් ය . අභ්‍යන්තරයේ පයිලිස් ඇතිවිට තත්වය එතරම් භයානක නොවේ . බොහෝ අයගේ ඇතුලත මෙවැනි පයිල්ස් ඇතැයි  වෙදදුරෝ පවසති . එහෙත් ගුද මාර්ගයෙන් මේවා පිටතට ආ විට රෝගියා ඉතා අපහසු තත්වයකට පත්වේ . හිට ගැනීමට ඉඳ ගැනීමට පමණක් නොව , ගිලි දේ නිදහසේ පහ කිරීමට නොහැකිවී මහත් අසීරු තාවන්ට පත්වේ . එවිට රෝගීන්ට අතිශ්‍ය ලෙස කෝපාවිෂ්ට වේ , බොහෝ ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට පවා පෙළඹේ .

පයිල්ස් වෙදකමට  සුප්‍රසිද්ධ වෙද  මහතෙකු කොල්ලුපිටිය ග්‍රාමයෙහි  වෙසෙයි. ඔහු බොහෝ අයගේ පයිල්ස් ගැන දැන සිටියත් ඒවා ගැන කිසිවෙකුට නොකියන්නේ , ඔහු එවැනි මිනිසෙකු නොවෙන බැවිනි .

ලොක්කේ අයියගේ කතා වස්තුව 
ගමක ලොක්කේ අයියා නම්  චන්ඩියෙක් සිටියේය . ඔහු සම්ප්‍රදායිකව සුළු සුළු හොරකම් මැරකම් කර චන්ඩි ඉනිමගේ සෙමින් සෙමින් හිනි පෙත්තටම නැංගේය . ඔහු ඇන්දේ සුදු සරමය . නමුත් ඊට යටින් පුල්ලි පුල්ලි කැමා ලංකට්  එකක් ඇන්දේය . ඕනෑම වලියකදී ඔහු සරම කැහැපොට  ගහ ගන්නේය . වලියේ ප්‍රමාණයට අනුලෝමව සරම ඔසවා ගන්නා තරම වැඩිවේ . සුළු වලියකදී දන හිසට කැස  කවන සරම , ලොකු වලියකදී යටට ඇඳි  ලංකට්  එක පෙනෙන තෙක් එසවෙන්නේය . ලංකට් එක පෙනෙන විට ඔහුගේ දරුණු බව වැඩි වෙන බව ගම් වාසීන්  උගත්හ . ඉන් පසු ඔහු දකුණු පය විලුඹ  කෙලින්ම ප්‍රතිවාදියාගේ පපුවේය . වැදගත්හු බවලත්හු,  ඔහු  මේ ප්‍රදර්ශනය හමුවේ  බිරාන්ත වුහ , ලජ්ජාවෙන් රතු වී ඉවත  බලාගත්හ . අනෙක් අය ලංකට්  දර්ශනයෙන් පසු ඉරණමට බිය වුහ 

පහු පහු වී ලොක්කෙ අයියා , ලොක්කේ මාමා  වෙන කල , ඔහු තම ජීවන ක්‍රමය සැහැල්ලු කරගත්තේය . යටට ලංකට් එකක් ඇඳීම අත හැරියේය .  නමුත් සරම් ඉස්සිමේ පුරුද්ද අත් නෑරීය .එහෙත් දැන් ඉතින් පෙනෙන්නට තියෙන්නේ ඔහුගේ ලජ්ජා කුට්ටමය . (වියපත් වෙන්නට වෙන්නට , ඔහුගේ බලයට අභියෝග වැඩිවත්ම , සරම් ඉස්සීමේ වාර ගණනද  වැඩිවිය ) . නමුත් පරණ පුරුද්දට , පරණ මතකයට ගම් වැසියා , සරම එසවී  නිරුවත පෙනෙන විට සලිත වන්නට වුහ . 

නමුත් එක දිනක් , කඩ මංඩියේ ගෝරියකදී ,  ලොක්කේ  මාමා සරම ඉස්සු විට , පොඩි එකෙක් "හු හු මාමා හෙළුවෙන් කියා කෑ ගසන්නට විය ....." සියල්ලෝම සිනහ වූහ . මාමා සරම පහල දා ගත්තේය . 
(මතු සම්බන්ධයි) 

නාන ඥාන සාර පාල නාන්න වගේ 
වැලේ තිබු තුවාය කරේ දමා ගත්විට " ආ ඥානපාල නාන්න යන්නද " කියා කෙනෙක් ඇසුවේය . ඔහු පිළිතුරු දුන්නේ නැත . පනිට්ටුව අතට ගත්  විට "දැන්නම් නාන්න යන්න වගේ" යයි කෙනෙක් කී  විට ඔහු කිවේ "තාම තීරණය කරලා නෑ " කියාය . සබන් කෑල්ල ද ගත්තේය "නාන්න වගේ..."  යයි කෙනෙක් කීය  "පිස්සුද යකෝ යයි " තරහ ගත්තේය .

හෙමින් සැරේ ලිඳ ලඟට ගිය  ඥානපාල " ශා මරු වතුර ටික, ඔන්න මට  දැන් නම් නා ගන්න හිතෙනවා " යයි කිවේය .



28 November 2014

මොනවද හිතේ තියෙන බලාපොරොත්තු


ගාල්ලේ කොටුවේ විදියක් දිගේ , කැමරාවත් බෙල්ලේ එල්ලගෙන යනකොට , ඔහු මට හමුවිය .

චකිතයෙන්,  හෙමින් හෙමින් පටන් ගත්ත අල්ලාප සල්ලාපය නැවතුනේ "පින්තුරයක් ගන්නද ? " කියලා අහලා .

"මම පොඩි අත්හදා බැලීමක් කරන්න යන්නේ , පින්තුරේ ගන්න ඉස්සරවෙලා මම ඔබෙන් ප්‍රශ්නයක්  අහනවා .. පිළිතුරු දෙන්න අවශ්‍ය නෑ ..එත් මුහුණේ ලියවෙන දේ මම සටහන් කර ගන්නවා .." මම තරඟයේ නීති පැහැදුවා

"හරි "

මම ප්‍රශ්නය ඇහුවා " මොනවද හිතේ තියෙන බලාපොරොත්තු ?"

උත්තරය මුණේ ඇඳුනා .


(පින්තුරය ඔබ ක්ලික් කර , පින්තුරයේ සැබෑ  ප්‍රමාණයෙන් නරඹන්න )

24 November 2014

ජනාධිපතිවරණයේ අතුරු කථා

අදත් ඇවිල්ලද අර කොල්ලා 

ඔව් අප්පා , දැක්කම මගේ බඩ  පපුව හෝස් ගාලා යනවා කාගේ උනත් දරුවෙක් නේ 

හොඳ පවුලක වගේ ...හොඳට ඇඳලා එහෙම ඉන්නේ 

ගිහින් කතා කරලා බලමුද ?

යමු 

(ඔවුන් පාර දිගේ තරුණයා සිටි දෙසට ගියහ . තරුණයා මොනවදෝ තනිවම කියවයි . ඔවුන් මදක් ලංවෙන විට ඔහු යමක් ගණන් කරන බව ඇසුනි )

මේ ළමයෝ , මොකෝ කරන්නේ 

මම මේ ගණන් කරනවා 

ඔය පුතාගේ ගෙවල් කොහෙද ..ඔය අසනීප තියන් තනියම ඇවිදින එක හරි නෑ  . යමු අපි ගෙදරට බස්සන්නම් 

පිස්සුද අංකල් 

ඕවා  ගණන් ගන්න එපා  , ලෙඩ ඉතින් කාටත් හැදෙනවනේ 

අංකල්  මම මේ ග්‍රාමසේවක ....ලයිට් කණු ගණන් කරනවා ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලයට කියන්න 

_______________________________________

කෝ ඉන්නවද 

අයියෝ මේ සැරේ නම් ටිකෙන් මිස් උනේ , ගියා  ඉස්පිරිතාලෙට , බෙහෙත් ටික අරන් එන්න 

ශිහ්  දැන් දවස් කීයක් නම් ආවද 

මොකෝ අයියේ මේ උඹ අපේ ආච්චිව හොයන්නේ 

මේ දෙදහස් පන්සියක් තියෙනවා දෙන්න . .. මේක දෙන්න දැන් මම පන්දාහකට විතර බයිසිකලේ පැද්දා 

________________________________________

පස්වාන් දහසකට අවසර මහා රජ තුමනි 

කිමද රාජ පුරුෂය ?

දේවයන් වහන්ස , රට වැසියෙක් වාසල දොරටුවේ , ඔබ තුමා බැහැ  දකින්න ඇවිත් 

යකෝ මේ රෑ ?... රජෙක් වුනාම රෑට වැඩ තියෙනවා කියා ඌ නොදන්නේද 

මම කීවෙමි රජ තුමනි , ඔහු නොසෙල්වී සිටිනවා 

උඹ රාජපුරුෂයෙක්ද  උපාසක මහත්තයෙක්ද ? කවුද ඔය ඇවිත් ඉන්නේ 

ගොවියෙක් රජ තුමනි 

කිමද ඒ ගොයියා ඇවිත් ඉන්නේ 

අර කියූ පරිදි ඔහු මඩ සෝදා ගෙන පැමිණ සිටින බවක් තමා කිවේ 

හැ හ් 



පලි : දෙවෙනි කතාවට නිමිත්ත මිතුරෙකුගේ මුහුණු පොතේ සටහනක් 


21 November 2014

බ්ලොගර් වරු

කොන්දොස්තර වරු කොන්දා උනු
කොස්තාපල්වරු කොස්සෝ උනු
හාමුදුරුවරු , (කිමට මා පව් පුරවා ගනු )
රටේ
අසිරිය විඳීමට
ඒරොප්පෙන් විත් "බ්ලොගර්වරු "

පලි
http://www.lankadeepa.lk/index.php/articles/275966

17 November 2014

නක්ෂස්ත්‍ර ජනතා පෙරමුණද ජනපති සටනට බසී // Who wants to be an executive president ?

මාමේ 

ඕ 


පොද්දා කවුද දන්නේ නෑ  නේද 


එකනේ බං වැඩේ , රනිල් හොඳයි කිව්වත් වැරදියි , නෝනා හොඳයි කිවත් වැරදියි , සාදු හොඳයි කිව්වත් වැරදියි 


එතකොට මාමේ මෛත්‍රී 


බෝධි සත්වයෝද ? උන්නාන්සේ බුදු වෙන්න තව කල් තියෙනවනේ 


ඇත්තටම මාමේ කවුරු ආවත් පරද්දන්න ලේසි නෑ නේ 


ලේසි නෑ කියන්නේ ...ඔක්කොම එන්නේ ලොක්කව පරද්දන්න ඕනේ කියා ගෙන නේ . ඒ කියන්නේ ලොක්ක දිනුම් බව නිකම්ම වාගේ පිලිගෙන නේ  . ඉතින් ටොස් එක දාන්න ඉස්සෙල්ලම මැච් එක දිනලා


ඒත් මාමේ මේ කට්ටිය කියන දේවලත් ඇත්තක් නැත්තේම නෑ  නේ ?  අර ඉරේ , හටනේ , බලේ ...ගිරිය පුප්පන් කියන්නේ 


කොලුවෝ , කට්ටිය හදන්නේ ජනතාවගේ බුද්ධියට , හද ගැස්මට , තාර්කණ ඥානයට , හර්ද සාක්කියට කතා කරන්න  . අපේ ගොඩක් අයට ඒවා නෑ නේ  , ඉතින් වැඩක් නෑ 


එහෙනම් මොකටද මාමේ කතා කරන්න ඕනේ 


කතා කරන්න ඕනේ බඩට බං . දවසේ අවශ්‍යතාවය බඩමයි . . අනික ඔය  දේශපාලන කොමඩි බලන්නේ කී දෙනාද ... බැලුවත් ඒවායේ කියවන දේයි  හා රටේ දේශපාලනයයි අතර කඩ ඉරි සම්බන්ධ කර ගන්නේ කීයෙන්  කී දෙනාද


ඉතින් ක්‍රමයක් ඇත්තෙම නැද්ද මාමේ 


තියෙනවා 


මොකක්ද ?


මම පක්ෂයක් පිහිටුවාගෙන ඉදිරිපත් වෙන්න  ඉන්නේ .


පුහ්  ....මේ අපේ මාමා ?


ඔව්. අපේ පක්ෂය නක්ෂත්‍ර ජනතා පෙරමුණ . අපේ රටේ මිනිසුන්ට බඩට වැටෙන දේට වැඩියෙන් ඇඟට දැනෙන දෙයක් තියෙනවානම් ඔය නක්සස්තරේ අතේ වැඩ තමා . ....කරන්න ඕනේ ලොක්කා පැරදෙනවා කියලා බීජයක් මිනිසුන්ගේ හිත්වල පැල  කරන එක . ....එක කරන්න ඕනේ මිනිස්සු විශ්වාස  කරන කෙනෙක් ලවා 


එහෙනම් අපි වීරවංස මහත්තයට කියමු 


අනේ මේ උඹ මාව විහිලුවකට ගත්තද ? 


එහෙනම් නාථ  දෙයියෝ ?


බුදු හාමුදුරුවන්ටත් වඩා මිනිස්සු විස්වාශ කරන කෙනෙක් වෙන්න ඕනේ 


කවුද මාමේ එහෙනම් ?


සාස්තර කාරයෙක් ..ඉතින් අපි ඉස්සර වෙලා සාස්තර කාරයෙක් ගැන පොඩි හයිප්  එකක් හදනවා ... සාස්තර දෙකක් තුනක් කියලා . කතරගම දෙයියෝ කතා කරනවා .... පාරේ රහතුන් වහන්සේලා යනවා පේනවා වගේ කතා කියලා ...ඊට පස්සේ අසාධ්‍ය මරණාසන්න වගේ රෝගීන් දෙතුන් දෙනෙක් සුව කරනවා 


අපේ අගමැති තුමා වගේ ?


තුහ් උඹ කියන කතා ..


කොහොමද මාමේ එහෙම කරන්නේ 


ඇයි බං  ඔය රට වටේ පල්ලි වල පාදිලි ලා , විනාඩි දහයෙන් පිලිකා  නැති කරන්නේ 


අනේ මන්දා ...ඉතින් ඊට පස්සේ 


ඊට පස්සේ , ඉදිරිපත් වෙනවා ජනාධිපතිවරනෙට ...පෝස්ටරේ ගහන්නේ .."අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි  මීළඟ ජනාපයි  මන්ත්‍රා චාර්‍ය  හිටිවන කවිරත්න ".......ඉස්ටෙජ් වලට නැගලා කෑ  ගහන්නේ නෑ . මඩ  ගහන්නේ නෑ . ..කියනවා ,සිකුරු අතන රාහු මෙතන , ලොක්කා අනිවාර්යයෙන්ම පරදිනවා , මම දිනනවා ...අන්න බීජේ පැල කරනවා 


ඉතින් මාමේ දිනුවම මොනවද කරනවා කියන්නේ ...විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියනවද ...ජිවන වියදම අඩුකරනවා කියනවද ...දුෂණය නැතිකරනවා කියනවද ? යහපාලනය ?


ඒවා මොකුත් මිනිස්සුන්ට වැඩක් නෑ බං  ... 

වෙන් වූ අඹු සැමියන් ලං කර දෙමි ...හැරගිය සැමියා නැවත ගෙන්වා දෙමි ....සිත් ගත්  යුවතිය ලං කර දෙමි , ක්ෂණික මෝචනය , බෙලහීනතාවය  සුව කරදෙමි ...අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි ...මුද්දර ඇලවූ ලියුම් කවරයක් සමග විමසන්න .. ජය නියතයි කොලුවෝ  

14 November 2014

ශ්රෝඩින්ගර්ගේ බළලා සහ මාමා ගේ පෙට්ටිය (Unfortunately not a thought experiment)

පෙරවදන :
මේ හදන්නේ බල්ලාගෙ වැඩෙයි,  එළුවාගේ වැඩෙයි දෙකම බුරුවෙක් කරන්න . මා භෞතික විද්‍යාව ගැනවත් , දේශපාලන විද්‍යාව ගැන වත් ගැඹුරින් හදාරා නැති හෙයින්  මුලින්ම සමාව භජනය කරනවා මේ සටහනේ වැරදි ඇතොත් . ඒවා නිවැරදි කරන ලෙසද කාරුණිකව ඉල්ලමි 



ශ්‍රොඩින්ගර් (Schrodinger) නම් භෞතික විද්‍යාඥඥයා ගැන ඔබ අසා ඇත්තේද . ඔහු ප්‍රකට මනෝ පරීක්ෂණයක් ( Thought experiment) කළේය . ඔහු පෙට්ටියකට බළලෙක්  දමුවායයි සිතන්නට කිවේය . ඒ පෙට්ටියටම විකිරණශීලි ද්‍රව්‍ය සාම්පලයක් , ගයිගර්මානයක්  හා වස බඳුනක්ද සිතෙන්ම දැමුවේය . ඉන්පසු පෙට්ටිය සීල්  තබන්නේය . විකිරණශීලි බව වෙනස්  වීම හේතුකොට , ගයිගර්මානය  ක්‍රියාත්මක වී  වස බඳුන බිඳී  බළලා  මියයාමේ සම්භාව්‍යතාවයක් ඇති බව ඔහු පවසන අතර , එය තනිකරම අහඹු ක්‍රියාවක් බවද පවසනවා . ඔහු අහනවා පෙට්ටිය අරින්නේ නැතිව , කියන්න බළලා  මැරිලද , ජීවත් වෙනවද .....?  ...ඔහු මෙහෙම කියනවා.... බළලා  මැරෙන්නේ හෝ ජිවත් වෙන්නේ නිරික්ෂයාගේ සිතුවිල්ල කරණ කොට හෙයින් , මේ මොහොතේ බළලා  මැරිලාවත්  ජීවත්  වෙන්නෙවත් නැත....... එතකොට බළලා  මැරෙන්නේ හෝ ජීවත්  වෙන්නේ නිරීක්ෂකයාට  එහෙම සිතුවිල්ලක් ඇතිවී එය ප්‍රත්‍යක්ෂ වෙන නිසා 

දැන් මම හදන්නේ ඔබේ අවධානය මේ දිනවල හරිම ජනප්‍රිය වෙනත් පෙට්ටියකට යොමු කරන්න . .. . අන්න හරි ...කතිර පෙට්ටිය ... මේ පෙට්ටියත් තාම සීල් .. (ඒ තියා අඩුම ගණනේ සීල්  කඩන දවසවත් තාම කියලා නෑ නේ )  . ඒත්  මේ පෙට්ටිය ඇතුලෙත් දෙන්නෙක් ඉන්නවා . ජයග්‍රාහකයෙක් සහ පරාජිතයෙක් . (දෙන්නෙක් කිව්වට තාම ඉන්නේ එක්කෙනයි . අනිත් එක්කෙනා තාම එලියට ඇවිත් නෑ . ) .. . 

ඉදින් , කවුද දිනුම් කියලා අසනවාට වඩා නිවැරදි පැනය ,  ඒ ඉන්න එක්කෙනා දැන් දිනුම්ද පරාදද කියන එකයි ? 

දිනන්නේ හෝ පැරදෙන්නෙ ජනතාවගේ , නිරීක්ෂණය , චිත්තය හා ඒ නිරීක්ෂණය ප්‍රත්‍යක්ෂ  කරණ  කොට හෙයින් ඔහු තවම දිනුම් වත් පැරදුම් වත් නැතියයි  අයෙක් කියන්නට පුළුවන .. ඒත්  ඇත්තටම එහෙමද ?  

නමුත් මට නම් පෙනෙන්නේ ,  එතුමා මේ වැඩේ හරියටම ටැකල් කර ඇති බවකි   . චන්දයක් දිනන්නේ මිනිස්සුගේ කැමැත්තෙන් නොහොත් චන්දයෙන් නොව ,  තමන් දිනු බව ඔවුන් පිළිගත් විට බව ඔහු හරියටම වටහා ගෙන ඇත . 

ඉතින් චන්දෙට කලින්ම ඒ සිතුවිල්ලේ බීජ  පැලකරන්න , හොඳින් පොහොර , දිය දා සාත්තු කරන්න , සිතුවිලි මිනිසුන්ගේ හිත්වල් පත්තියම් කරන්න  කටයුතු කලහම අහවරය  . 

එතුමා , ගාමිණි මෙන් කිහිප දෙනෙක් සමග එකවිට ගහගන්නවාට වඩා රොකි වගේ ද්වන්ධ සටනට මනාපය . ප්‍රතිවාදීන් වැඩිවෙන තරමට අගේනස්ට්  එකට ඇති සපෝර්ට්  එක බෙදී යනවා, එයින් වාසියක් වෙනවා නේද  යයි ඔබ සිතෙන්නට  පුළුවන . ඒත් ඔය රොත්තම ඇවිත් ගහන කොට, සියලු දෙනා ගැනම අවධානය යොමු කරගෙන සිටීමට නොහැකිය . ඔය රෝත්තේ බොහෝ අය එන්නේ  පයිට් එකෙන් දිනන්නට නොව , සපෝර්ට් එකට පාරක් දෙකක් නෙලන්නට , අඩුම ගන්නේ හූවක්  වත් තියන්නට විතරමය  . නිකන් හරි වැරදිලාවත් එවැනි එකෙක්ගේ පාරක් මර්මස්ථානයකට  වැදුනොත් එහෙම කියලා වැඩක් නැත ...යටිබඩ අල්ලන් දෙකට නැවී ඉන්න දොහේ , නිකම්ම පැත්තක ඉන්න හාල්පාරුවෙක් දිනන්නට පුළුවන . 

යටට ඇඳි කැමා සෝට  බාගෙට වගේ පෙනෙන්න , සරම කැහැපොට  ගහගෙන , "කට්ටිය පිටින්ම එන්නේ නැතිව තනි තනිව වරෙන් ඩෝ  පයිට් එකට " කිව්  තැන සිට ... 

වටේ ඉන්න එවුන් ඔන්න ගියා මෙන්න ගියා කියා ... ඒවුනාට නොගිහින් "ලංසුව  තියන්න ඕනේ දිනන අස්සයෙකුටනේ " කියන තැන දක්වා 

......පයිට්  එකට දිනයක් සෙට් නොකර , "මොකෝ බයද ? ඔන්න අපි නම් එවරෙඩි " කියන තැන දක්වා  

....ප්‍රතිවාදීන්ට  ටෙලිපෝන්  කෝල් දී "ඕල් ද බෙස්ට් ෆෝ ද ෆයිට් හොඳේ , සටනට එනකොට මතක ඇතිව හොඳට යටට ඇඳලා  එන්න  " කියන තැන දක්වා ,

 "කොච්චර චන්ඩි සිටියත්  , සටනට  කලින් දවසේ පිට චන්ඩි දාලා අඬුවක් දෙකක් අඹරලා දාන්නත් පුළුවන්නේ, අපි කරනවට නෙමෙයි ඉතින් "  කියන තැන දක්වා .....

"පොඩ්ඩක් ඉන්නකෝ මම මේ පයිට්  එක දිනනකන් ඊට පස්සේ අපි ශ්‍රමදානයක් දාලා ඔය ගුරුපාර එක විදියක් කරලා දාමු " කියන තැන දක්වා   ...මේ ක්‍රියාත්මක වෙන්නේ ඒ සැලැස්මයි .

 මට නම් හිතෙන්නේ එහෙමයි 

පලි : ජාතික ලොතරැයියේ ටැග් ලයින් එකක් තිබ්බා "දිනුවත් දිනුම් , පැරදුනත් දිනුම් " කියලා . සමාන්තර විශ්වයක ලොතරැයියක් ඇති "පැරදුනත් පරාදයි දිනුවත් පරාදයි " කියලා 

13 November 2014

අම්මා සහ අප්පච්චි

මහ පොළොවටවත් 
බර 
දැනෙනු නොහේ 
සීරුවට 
දිවි ගෙවූ 
අපේ අප්පච්චි
සිනැහේ 
පින්තුර රාමුව විනිවිද 

මහ පොලොව වගේ 
නෙක දුක් කන්දර 
මෙරක් 
දරා ඉවසූ 
අපේ අම්මා 
පැන්  වඩන්නීය 
සුසුම් හද තුළ  හංගා 
පරණ පුරුද්දට 

09 November 2014

නිශාවේ අග මුරය // The graveyard shift


"උඹ දන්නවද අපේ අප්පච්චි ..මට නම තියලා තියෙන්නේ ..."

ඔහු වාක්‍යය අවසන් නොකර ම  කහට කෝප්පයට සීනි  හැන්දක් දිය කළේය . 

අමල් වේලාව  බැලීය  . අව පහ ගැහුණු ඔරලෝසුවේ වීදුරුව , 02:30 ඇඳි  ඉරි ඉල්ලක්කම්  , නිවී නිවී දැල්වෙන මැද  තිත් දෙක . පාන්දර දෙක හමාරයි ..ලොග් පොත දිග හැර  , බෝල් පොයින්ට් පෑන  දෙසැරයක් ගැසුවේ අවශ්‍යතාවයට වඩා පුරුද්දටය . 

"මට නම තියලා තියෙන්නේ නිශාවේ අන්තය කියන තේරුමෙන් . .. උඹ දන්නවද නිශාව කියන්නේ රෑ  "
හැඳි පහරෙ නැගුනු සුළියේ , සීනි කැට රවුමට රවුමට කැරකේ ...සෙමින් දියවේ  

"හ්ම්ම් "  අමල් ගේ පුර්ණ අවධානය ලොග් සටහනටය .

"රෑ අග , කළුවර ඉරාගෙන පැතිරෙන එළිය  කියන තේරුමෙන් තමා , මට නම තියලා තියෙන්නේ ..... 
චටාස්...තව කොයිල් එකක් පත්තු කරන්න වෙයි බං  , හරියට මදුරුවෝ , "
හේ  තොප්පියෙන් මදුරුවන් එලවන්නට විය .

"උඹ දන්නවද අපේ අප්පච්චි සිංහල ගුරුවරයෙක් ,"

"උඹ කිව්වේ එදත් ... නිසාන්ත අයියේ මම පොඩ්ඩක් ඇහැ පියා ගන්නම්,  උඹ පාන්දර වෙනකං  මේ සිෆ්ට් එක කරපන් ඈ " 

උඹ දන්නවද , අපේ අප්පච්චි මළා බං,  මම මේ රස්සාවට ආපු දවසේ , පපුවේ අමාරුව හැදිලා ...

08 November 2014

භූත නිවාස සංචිතය සහ මම // Directory of haunted houses and me

නගරය පුරා පැතිරුණු කුඩ විප්ලවය ගැන සද්දේ,  හෙමිහිට අඩුවීගෙන යනවා . 

හරියට පාරේ වාහනේකට අහුවෙච්ච සතෙක්ගේ මළකුණ වගේ . 

මුලින් මුලින් කට්ටිය වට වෙලා බලනවා කතා කරනවා . ටික වෙලාවකට පසු එය මග හැර යන්න මිනිස්සු පුරුදු වෙනවා . ඉන් පසු කපුටෝ ඇවිත් මළකුණ අවුස්සනවා . බොකු , ඕජස් පාර පුරා පැතිරෙනවා . දැන් සමාජයට , සාමන්‍යය ජිවිතයට මෙය කරදරයක් වෙනවා . ඉන් පස්සේ සියල්ලන්ගේම ඔල්වරසන් හඬ මැද කවුරුන් හෝ මේ මළකුණ වළලනවා .

පහුගිය සතියේ අලුත් පුවතක් මෙහෙ පත්තර වල මුල් පිටුව පුරා ඇලවිලා . ප්‍රධාන විදෙස් බැංකුවක  තරුණ විධායක නිළධාරියෙක් , අබිසරුලියන් දෙදෙනෙක් මරා දාලා . එක මිනියක් සුට් කේස්  එකක ඔබලා , දවස් ගණනක් . ...

මේ පුවත ඔස්සේ යනකොට මට හමු උනා අපුරු අන්තර්ජාල පිටුවක් . මේ නගරයේ භූත  නිවාස (directory of haunted houses ) නාමාවලිය . භූත නිවාස කිව්වට , මෙහි තියෙන්නේ , සියදිවි නසා ගැනීමක් , මිනි මැරුමක් සිදුවුණ නිවාස වල විස්තර . මෙය යාවත්කාල කරන්නේ පොලිසියෙන් . එය නීතිමය අවශ්‍යතාවයක් . 
චීන ජාතිකයන් තදින් විශ්වාස කරන ෆන්ෂුයි ශාස්ත්‍රය අනුව මේ නිවාස ඉතා අසුභයි . ඒ නිසාම මේ නිවාස වල වෙළඳ පොළ වටිනාකම , වානිජ අගය,  ඉතා අඩුයි . සාමාන්‍ය වටිනාකමෙන් 10% ක් විතර , ඇතැම් නිවාස . සිදුවීම සිදුවූ නිවාසය පමණක් නොවේ ඇතැම් විට මුළු මහලම , වාණිජ අගය අඩු වෙලා .

නිවසක් ගැන හීන  මවන, එහෙත් ඒ සඳහා අරමුදල් සොයා ගන්න අපහසු (ඌරන්ට මොන සෞඛ්‍ය ද ?)  මට මෙය කල්පනා කරන්නට කාරණයක් . 

එහෙත්, හොල්මන් ගැන විශ්වාස නොකරන , මියගිය කෙනෙක් නැති නිවසකින් අබ සොයා ගිය පටාචාරාවගේ කතාව දන්නා මම  මෙවැනි නිවසක් ගැන හිතන්නට මැළි  වෙමි . ඒ ඇයිදැයි කියා නොදනිමි . ඒ ඇයිදැයි කියා සිතමි .

ඔබ මා නම් . ( අර සිංදුවේ  වගේ ඔබද මා ම වුයේ නම් ) ඔබ කුමක් කරන්නේද ? 

05 November 2014

ඔප්ෂන්ස් ( A video by gappiyaa )-


ගප්පියා ගේ වීඩියෝවක් කලකට පෙරත් PINCHPOINT හි තිරගත කරන ලදී . මේ තරුණයා දැන් ටිකක් ප්‍රසිද්ධයි . පුවත්පතකත් මොහු ගැන සටහනක් තිබුනා .

මේ වීඩියෝව ඔප්ෂන්ස් ගැන . ....

හැබැයි
Please note that this video contains violence , drug related scenes and rude remarks . Parental guidance is advised 
සිංහලෙන් කියනවනම් (අර කට්ටිය කියනවා වගේ ) "වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි "



වැඩිය වැල්වටාරම් නැතිව මෙය නරඹා මට සිතුනු දේ , මා උගත් දේ  කෙටියෙන් සටහන් කරන්නම් .
  • හැම විටම ඔප්ෂන් දෙකක් ඇත . බොහෝ විටම ඒ දෙකම එක වගේය . ඒ දෙකම අත  හැර,  අපිම තෝරා  ගන්නා තුන්වැනි තේරීමෙන් අපිට වඩාත් හානි සිදුවේ , වඩාත් කෙලවේ
  • වීරයෝ දෙවර්ගයකි . උන් නම් ඉස්පයිඩර් මෑන්  වැනි දුප්පත් වීරයෝ හා කළු අයියා වැනි බර ඇති වීරයෝ ය
  • විහිළුද දෙවර්ගයකි . හිනා යන විහිලු හා හිනා නොයන විහිලු ය  . දෙවැනි වර්ගය අයෙකුට දෙන්නේ "ඉඳා " කියා තදින්ය . බොහෝ විට එවැනි විහිළු තදින් රිදීමක් ඇති කරයි  .
  • ගැඹුරු කට හඬක් ඇත්තේ බැට්  මෑන් , නොහොත් කළු අයියාට ය  නැතිනම්  පෙර දා රෑ  සංගීතයකට ගිය අයටය .
  • දුප්පත් වීරයෝ , සල්ලි නැති නිසා හරියට කරාටේ පන්ති යන්නට බැරි වී , රී ලෝඩ් එකක් දා ගන්නට බැරිව ඉමහත් පිඩාවන්ට පත්වෙති . බර ඇති වීරයෝ කොට්ටාවේ කරාටේ පන්ති ගොස් සූර වීරකම් උගෙන , වැඩේ ගොඩ දා ගනිති .
  • බොහෝ විට දුෂ්ටයෝ හා වීරයෝ සටනට පෙර තේ එකක් බී  කෙටි සුහද සාමිචියක යෙදෙති .
  • දුප්පත් වීරයන් ගොඩ ගන්නට මුලින් පෙළ ගැසුණු මහින්ද අයියා , පසුව තම දේශපාලන ගමනේ දුර යාම නිසා බොහෝ වෙන්ට වීරයෝ, ඒ මාවතේ මග   අතරමන් වුහ  . ඔවුහු තවමත් බාග විරයෝය
     
වීඩියෝව නරඹන්න . මීට  අමතරව ඔබ උගත් දෙයක් තිබේනම් සටහන් කරන්න 

01 November 2014

අපි හිත උණු වෙන ජාතියක් ඕයි // Sympathy reload

අපි හිත උණු වෙන ජාතියක් ඕයි
සුනාමියේදීත් අනේ කියවුනු
කොස්ලන්දේ දීත් අපොයි කියවුණු
මුහුණු පොතේ
බිත්ති දිගේ
මනුසත්කම බේරෙන
කරුණාව ෂෙයාර් වෙන
පරණ ඇඳුම් 
සිලි මල්ලක හුවා
දන් දී
පාරමි පුරන
අපි
හිත උණු වෙන ජාතියක් ඕයි
උපන් දිනේට මහළු  නිවාසෙට
පල්ලි දොරේ යාචකයනට
බත් පාර්සල් බෙදා දෙන
මාවතේ බල්ලන් 
ගෙදර ගෙනවිත්
නාවන
කන්න බොන්න දෙන
අපි හිත උණු වෙන ජාතියක් ඕයි

එතකොට තාප්පෙන් එහා
අප්පා අබ්බගාත
ඉස්කෝලේ නොගිහින්
ගෙදර නැවතුනු පොඩි එකී ?
යාල් පානමේ , අලුතෙන් තාර වැටුන 
පාර අද්දර 
අව් කාස්ටකේ
අර කියූ සාමය එනතෙක්
මග  බලාන ඉන්න
පොඩි එකා ?

ශික්.
ලස්සනට ගලා ගෙන ආව
කවිය
කරුණාව
එහෙම්ම නැවතුනා 
අතරමග 
මේවා ඔලුවට අවුත්


පලි : වරදවා තේරුම් ගන්න එපා . අපි ඇත්තටම හිත උණු වෙන ජාතියක් . ඒ වගේම ඉක්මනට අමතක වෙන . 
දැන් දැන් නම් , ලෝක දෙකක් අතර අතරමං  උන . පුංචි රුපියල් පනහක කරුණාව රිලෝඩ් එකක් දා ගෙන සද්දේ දාන , ඒක  ඉවර උනාම ..  
සාමාන්‍යයෙන් මෙය සමාජයක තරුණයන්ගේ , ගැටවරයන්ගේ තත්වය . තාරුණ්‍යය තමයි රැල්ලට දේ කරන. ඉක්මනට අලුත් මාතෘකාවක් හොයන ගති ලක්ෂණ පෙන්වන්නේ  ..
ඒත් අපේ මුළු ජාතියම මේ වගේ වෙලා . සමාජයක මුහුකුරා ගිය ගති ලක්‍ෂණ... ඉවසීම , දිගු කාලීන උපායන් යෙදීම හා ඒ සඳහා කැපවීම .  තුන් කල් බැලීම ... මේ වගේ ගති ලක්ෂණ නැතිම වගේ වෙලා දෝ කියලා මට වෙලාවකට හිතෙනවා 

26 October 2014

යටට ඇඳලා ඉන්නේ මොකක්ද ?// camouflage prints , a fashion trend in Sri Lanka

යුද්ධය කාලේ කැමා (camouflage) ඇඳුම් ඇඳීම තහනම් විය , ඒ ආරක්ෂක හේතුන් නිසාය . යුද්ධය නිමාවී කිරිබත් කෑ අපි , කැමා  ඇඳගෙන සිටි අය  ඒවා උනා දමා සුදු ඇඳුම් අඳිද්දී , හවුසොප් පැසන්  එකෙන් ගෙන කැමා  ෂෝට්  ඇන්දේ , අර හිතේ තිබුණු පරණ ආසාව සංසිඳුවා ගැනීමටය .

හැබැයි බලා ගෙන ගියාම ගොඩක් දෙනා උඩින් පෙනෙන්නට 
නොඇන්දාට , යට කලිසම හැටියට අඳින්නේ කැමා  ෂෝට්  එකක් බව හොඳින් පැහැදිලිය .

අලුත්ගම පැත්තේ රට දැය සමය රැකගන්නට දෙස් දුන්නවුන් ගේ සුදු ඇඳුම් , කසාවන් චීවර  යටින් ද , රටේ වැදගත්ම අය සහභාගී වූ ඇමරිකාවේ සාදයක බාල් නැටුම් නැටු අයගේ කෝට් සුට් යටින්ද හැඳ  සිටියේ කැමා යට කලිසම්මය . ඔබ මා විශ්වාස නොකරනවා නම් මම මේ නුදුරේ උදාහරණ කීපයක් දෙන්නම් . 

ගිය සතියේ කුරුණෑගල පැත්තේ වැදගත් ඇමති වරයෙක් රූපවාහිනි වැඩසටහනක  වැදගත් කතාවක් කළේය .  ඉතා සංවර ස්වරයෙන් ඒ කතාව අවසන් කල ඔහු අත් දෙක ඔසවනවිට කකුල් දෙකටම ඇඳ  සිටි කලිසම මදක් පහතට වැටුණි . ආන්න එවිට අර කැමා ෂෝට ඉන හරියෙන් පෙනුනි . ඔබ එය නුදුටුවේද ?

මේ සතියේ මඩකලපුව පැත්තේ හාමුදුරු කෙනෙක් ඉතා දැමුණු වදනින් , මහාර්ඝ දෙසුමක් කලෝය . අවසානයේ ඉතා දීර්ඝ වේලාවක් අසා සිටි අයගේ මව් පියන්ට පුණ්‍යානුමෝධනා කිරීමෙන් පසු උන් වහන්සේ  
" සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා , සුවපත් වෙත්වා " කියා මෙත් වඩා , එහා මෙහා වූ චීවරය  සකස් කර ගත්තෝය . අන්න එවීට සිවුරට යටින් ඇඳ  සිටි කොළ කාකි පැල්ලම්  සහිත කැමා ෂෝට  හැමෝටම දිස් විය . ඔබ එය නුදුටුවේද ?

ඒ කිසිවක් නොදුටුවෙනම් .. මේ පහුගිය සතියේ අප ජනාධිපති තුමා බජව් එක බජට් එක ඉදිරිපත් කළේය . ඉතා ගරු ගාම්භීරව , ඉතා ගැඹුරු යෝජනාවලියක් ඉදිරිපත් කල ඔහු කතාව අවසන් කළේ  "තෙරුවන් සරණයි" කියාය . ඉන් පසු ඔහු සුදු සරමේ ගැටය ලෙහා පට පට ගා ගසා , නැවතත් ගැට ගසා ගත්තේය ....එවිට මුළු රටටම ඔහු සරම යටින් ඇඳ සිටින කැමා සෝටේ හැඩ  පෙනුනි .

19 October 2014

මං නම් පොලිටික්ස් වලට නෑ // But politics needs you

පෙලි :සමහර වෙලාවට සමහරෙක් කියන කතාවක් තමයි, අපි නම් පොලිටික්ස් වලට නෑ කියන එක. ඒත්...

ඔන්න මං නම් 
පොලිටික්ස් වලට නෑ
ඒ උනාට
එහෙම බෑ
පොලිටික්ස් වලට 
මා 
ඕනෑ

බේගල් තර්ක ගුලි ගිලින්න
සිල් රෙදි, උදලු තල ,ටකරන් 
සහන හිරිපොද වරුසාවට 
තෙමෙන්න
මහා බල ජනතා පරමාධිපත්‍ය
දන්සල් දොරෙහි 
පෙළ ගැහෙන්න
එ මහතුන් හිත් පිරෙන්න
මහජන කැමෑත්ත මලු පිරෙන්න

දසන් පෙන්වා සවන් දක්වා
ඇලවුනු මුහුනු පවුරු පුරා
සිහි කරත් මට
මේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්ජේ
මගේ කැමැත්තට ඉඩක් නෑ
මං පොලිටික්ස් වලට නැති උනාට
එහෙම බෑ

17 October 2014

My favorite moment //මා කැමතිම මොහොත


My favorite moment
Is the 
silence before the
Music begins
non taste before the
Palate gets confused
The moment of 
Vulnerable nakedness 
Before the plunge
Emptiness 
before the memories
Rush and fill my head


මා කැමතිම 
 විනාඩි කිහිපය
නිහඬය..වෘන්දය වෙණ වැයීමට පෙර
නීරසය..කලින්, මුව ලූ රස කාන්දු වීමට
නිරාවර්ණය..නග්න ගත දිය තුල කිමිදෙන්නට පෙර
හිස්ය..මතකයන් විත් හිස් කුහරේ පිරෙන්නට පෙර

ඒවගේම සහන තෑගී වැහි වහින චන්දේට පෙර මොහොත...

14 October 2014

ලොක්කාගේ ටිකිරි මොළේ

ඔන්න එකමත් එක රටක බොස් කෙනෙක් හිටියාලු.( සත්තයි අපේ කන්තෝරුවේ නම් නෙමෙයි). ඉතින් එයා යටතේ වැඩ කරන ව්‍යාපෘති කලමනා කරුවන්ට පොඩි ( කිව්වට ටිකක් විතර ලොකු) ප්‍රශ්නයක් තිබුනා. කොහෙත් වගේ චුටි එලකිරිස් ගෑනු ලමයෙක් ලොක්කව අන්දගෙන , අනික් කට්ටියටත් ගෑස් පෙන්නගෙන, වැඩෙත් නාගෙන .. දැන් ඔබට තේරෙනවා ඇතිනේ. ඔන්න මේ කට්ටියත් අපේ කන්තෝරුවේ නෙමෙයි.

ඉතින් මේ පලපුරුදු කලමනාකරුවෝ ආයතනයට තියෙන ලැදි කම නිසාම ලොක්කට ගිහින් වටින් ගොඩින් ප්‍රශ්නේ කිව්වා. ඒත් කිසිම ප්‍රතිචාරයක් නෑ. දෙවෙනි සැරේ කතාකරන්න ගියාම ඔන්න ලොක්කා , මග ඇරලා වැසිකිලියට ගියා.
කට්ටියේ රතු කට්ට පැන්නා. මොවුන් රැස්වීමක් සංවිධානය කලා. ලොක්කටත් ආරාධනා කලා,රැස්වීම කල් ගියා කිහිප සැරයක් reschedule උනා. කොහොම හරි එක් ඉරණම්කාරී දවසක
ලොක්කා ආරාධනාව පිලිගත්තා. දැන් කට්ටිය ඉන්නවා දත මැදගෙන ලොක්කට කණ පිරෙන්න දෙන්න. ලොක්කා ආවා, කට්ටිය පටන් ගත්තා විවේචනය. ලොක්කා කිව්වා

"අයිසේ මේවා මෙහෙම කතා කරන්න බෑ .යමු උඩ mess එකට මොනවා හරි බීලා කතාකරන්න"

කට්ටිය ගියා . ලොක්කා බීම කෑම ඇනවුම් කලා.කට්ටිය ආයේත් පටන් ගන්න කොටම ලොක්කා කියුවා." 

"කන බොන වෙලාවටවත් වැඩ ගැන කතා කරන්න එපා අයිසේ" 

කට්ටිය ඉතින් වෙන දේවල් ගැන කතා කලා.ඊට පස්සේ විසිර ගියා.

ඊලග දවසේ උදේ ලොක්කා අහනවා කට්ටියගෙන්
" දැන් ඔක්කොම ප්‍රශ්න හරි නේ"

මොකෝ දැන් කට්ටිය නෑ කියන්න යෑ?

පලි: මැදමුලානට සබඳතා ඇති සුද්දොද සිටිති

12 October 2014

එක එක්කෙනාගේ බර සහ තුන්වරක් බැරි කාටද

ඔන්න අද පලවෙනි කතාව හැටියට තේරවිලි කවියක් 

ගැල් පිට බර දන්නේ කවුරුන්දො
දරුවන් බර දන්නේ කවුරුන්දො
රාලගේ බර දන්නේ කවුරුන්දො
රජුන්ගේ බර දන්නේ කවුරුන්දො

ගැල්පිට බර ගොනුන් විනා කවුරුන් දන්නේ
දරුවන් බර මවක් විනා කවුරුන් දන්නේ
රාල ගේ බර
(රාල ගේ බර නේද ?)
රාලගේ බර බට්ටි විනා කවුරුන් දන්නේ
රජුන්ගේ බර දනා විනා කවුරුන් දන්නේ

මෙන්න බෝනස් ප්‍රශ්නය 
චී ණයේ බර දන්නේ කවුරුන්දෝ
--------------------------------------


ලොක්කට තුන් සැරයක් බෑ කියලා හැම තැනම පෝස්ටර් ගහලා. අර අප්පගේම පුතාලා කියලා හොඳටම පෙනෙන පුතණ්ඩියෝ තුන් දෙනෙක් ඉඳිද්දි ..

ඒ වුනාට තුන් සැරයක් බැරි කට්ටියකුත් ඉන්නවා.
වේල් තුනක් කන්න බැරි.. තුන්වෙනි එකෙක් බඩට ආවොත් වහ බොන්න වෙන.. තුනේ පන්තියෙන් ඉහලට ලොකු කෙළී ව ඉස්කෝලේ යවන්න බැරි.. තුන්වෙනි සිල් පදේ කඩලා ජීවත් වෙන්න හම්බු කරන්න වෙච්චි..
ඉන්න යකා වෙනුවට මාරු කරන්න ඉන්නේ හිටපු යකා විතරක්ම වෙච්ච..තුන්වෙනි ඔප්ශන් එකක් නැති
උන්ට බෑ කියලා තමා ඔය පෝස්ටරේ ගහලා තියෙන්නෙ මට හිතෙන්නේ

11 October 2014

Her// ඈ



On a corner
Of every street
You'll find her
She is not
A mother
Nor a sister
Nor a daughter 
Nor a wife
Nor a lover

At the corner of
Every eye 
She is 
A dream
A vision
A thought
A shadow
You see for a blink
Of an eyelid 


She is the one
Who was there
Before eve
Even Adam

සිත් මාවත අද්දර
නෙතු පියෙන පමාවක
සිටින 
මවක් සොයුරියක් නොවන
දියනියක් පෙම්බරියක්ද නොවන



04 October 2014

බැලුම් දෙකක් ගෙන දුම්රියට නැගි තරුනයා

තවත් නගරයක තනියෙම ආයෙමත් සැරයක්.තනිකමට මම වයස වැඩිද මන්දා.සතිය නම් ගතවෙනවා ,ඒත් සති අන්තය වෙනම කතාවක්.කාලය කියන්නේ එකාකාරව ගලන දෙයක් නෙවෙයි දෝ මන්දා.නදියක් වගේ. විටෙක හෙමින් , විටෙක වේගයෙන්.හෝටල් කාමරයක ගොඩාක් හිතන්න වෙලා තියෙනවා.
නුහුරු නගරයක මිනිස්සු දිහා බලන්න හිතෙනවා. උන්ගේ ජීවිත ගැන, කොහේ සිට එනවද,කොහේ යනවද..

ඊයේ කෝච්චියට නැග්ගා තරුනයෙක්.තායි හරි , වියට්නාම් හරි, බුරුම හරි. අතේ බැලුම් දෙකක් .දැන් දුම්රිය ඇතුලේ ඔහු දුරකතන ඇමතුමක. ඔහුගේ බාසාවෙන්. ඒත් අතරින් පතර ඉංග්රීසී නිසා,මම කන් දුන්නා.ඔහු මගදී හැපි බර්ත් ඩේ සින්දුව කියන්න ගත්තා.ඔහු කියනවා මෙහෙම

"අපි දෙන්නා ප්ලැන් කලා වගේ ඔයාගේ උපන් දිනේට මම ගියා .... සතුටු උයනට. මේ ටිකට් එක..මේ බැලුම් දෙක එතනින් ගත්තේ.. ඒත් ඔයාට එන්න බැරි උනානේ...කමක් නෑ ...සල්ලි ටිකක් ඉතුරු කරන් අපි යමු දවසක.."

මේ සිද්ධිය හිතේ කොහෙදෝ ස්පර්ශ කලා.. මට හිතිච්ච දේ පසුව කොමෙන්ට්ස් වල ලියන්නම්.මුලින් ඔබට හිතිච්ච දේ ලියන්න


පලි.සුපුරුදු පරිගණකය මා ලග නැති නිසාවෙන් දිගු ලිපියක් ලියන්නට අපහසු බැවින් ටික දවසක් කෙටි කෙටි සටහන් ..පොඩ්ඩක් ඉවසා වදාරනු මැනව.:)

01 October 2014

කුඩ විප්ලවය

කුඩ ඉහලන්
තාර පාරේ
කොල්ලෝ කෙල්ලෝ
බිම ඉඳගෙන
විසිල් හඬින් ෆෝම් වෙලා
මර්දනයෙන් කෙනිත්තිලා
සාධාරන යහපත් සමාජයක්
ගැන දකිත් හීන
ප්රජාතාන්තරවාදය
සැම ප්රශ්න විසදන දිව ඔසුව
ඒ ගැන නම් ඉතින්
අහන්න වෙන්නේ 
මාමාගෙන් තමයි

29 September 2014

සතියේ ප්‍රස්නය // This week's question

මෙන්න පහුගිය සතියේ ජයග්‍රාහකයෝ , මොණරාගල ශෂී , බදුල්ලෙන් ප්‍රනාන්දු මහතා සහ හම්බන්තොට ප්‍රේම් . ඔබ සියලු දෙනාටම අපේ සුභ පැතුම් . ඔබට හිමි ත්‍යාග කොළඹ ගිරිගොරිස් මාවතේ අපේ කාර්යාලයට පැමිණ ලබා ගන්න .

මෙන්න මිහිඳු පපඩම් , මිහිඳු කුරක්කන් බිස්කට් , මිහිඳු ගැමි සුවඳ සබන් , මිහිඳු වැසිකිළි පෝච්චි , මිහිඳු පානීය ජලය ඇතුළු දහසින් බැඳී පියල්ලේ වටිනා තෑගී මල්ලක් දිනා ගන්නට මේ සතියේ ඔබ පිළිතුරු දිය යුතු ප්‍රශ්නය .

කොල්ලෝ ඔය රේඩියෝ එකේ සද්දේ පොඩ්ඩක් වැඩි කරපන් . ඔන්න ප්‍රස්නේ කියන්න හදන්නේ 

මොකට ද සීයේ  ඔය පපඩම් , නුඩ්ල්ස් ටිකකට ඔච්චර මහන්සි වෙන්නේ 

උඹේ පණ්ඩිත කම් නැතිව ඔන්න ඔය කොලයක් අරන් ඕක ලියා ගනින් පැහැදිලිව 

මෙන්න මේ සතියේ ප්‍රශ්නය . ක්‍රිකට් ක්‍රීඩා තරඟයකදී  එක පන්දුවකට හයේ පහර දෙකක් ගැසිය හැක්කේ කෙසේද ? මෙන්න නැවතත් ......  එක පන්දුවකට හයේ පහර දෙකක් ගැසිය හැක්කේ කෙසේද ?

මෙන්න ඊට අදාළ උපකාරක ඉඟි .....පලවෙනි ඉඟිය විදුලි බිල , දෙවැනි ඉඟිය සීයට  විසිපහ , තුන්වෙනි ඉඟිය බෙහෙතක් නැති ලෙඩේ  . පලවෙනි ඉඟිය විදුලි බිල , දෙවැනි ඉඟිය සීයට  විසිපහ , තුන්වෙනි ඉඟිය බෙහෙතක් නැති ලෙඩේ .

මේ ප්‍රශ්නයට පිළිතුරු , පැහැදිලි අත් අකුරින් තැපැල් පතක පමණක් ලියා,  ලබන බදාදාට  පෙර අප ලිපිනයට ලැබෙන්න සලස්වන්න . අපේ ලිපිනය... මිහිඳු මැජික් සමුහ ව්‍යාපාර , ගිරිගොරිස් මාවත කොළඹ  .

මාර ප්‍රස්නයක්නේ ...කොල්ලෝ ලියා ගත්තද පැහැදිලිව 

හ්ම්ම් 

27 September 2014

A daily miracle // ආශ්චර්යමත් දිනක්

How come that a 
wheeled chair 
Is parked there?
Sans the ill limbed inhabitant
it ought to bear
Beneath the sign 
that says
in green and white 
in case of fire please 
do 
not
take the stairs 
I ask the man walking
Away
From the chair
How come sir ? such a feat
You fair
To be met with a
Stretched stare
And a
Well a miracle happens , every day

somewhere

ගින්නක් නම් කොතැනක 
පාවිච්චි කරන පඩිපෙළ 
කිරි සුදු අකුරින් 
ඇඳි 
කොළ පෑ පුවරුවක 
පාමුළ 
කොනකට හේත්තු කළ 
රෝද පුටුවක් 
පිරේ .... මා සිත .... කුහුලින් 
කෝ ?.... එහි හිඳී .... ඔහු 
ඇවිද යන ඈතට 
හේ , හෙලා බැල්මක් මා දෙස
කියන්නේය 

දන්නේ නැත්ද 
ආශ්චර්යමත් දෙසක් මෙය 
දිනක් අද  

20 September 2014

අදින් පස්සේ // Back to life , Back to reality





අදින් පස්සේ
ගෙදරටම ගෙනත් දුන්
සහන මලු නැත  
සිනා මුව ඇඳි
වතුර බෝතලුත් නැත
නොකඩවා ගලා ගිය  
සෙනෙහෙ කරුණා ගඟුලත් සිඳී
මාමේ නැන්දේ කියාගෙන
ආගිය නෑයොත් නැත
කස කාරයෝ , ගිනි පෙනැලි , හේවිසි
පිරිවරා ගිය
ඩිපෙන්ඩර් රිය පෙරහැරත්
නැත
හවසට කාන්සියට
සින්දුවක් අහන්න තිබුණු
සංගීතෙත් නැත

කොඩිත්  නැත
බයිලාත්  නැත
මැජිකුත්  නැත
එහෙම කාලයක්
තිබුණු වගක්වත්  නැත

අදින් පස්සේ

අනේ ඉතින්