30 April 2013

A poem in the underground wall .....උමං දුම්රිය පොළ බිත්තියේ ලියවුනු කවිය


පෝල් සයිමන් (Paul Simon )  ලියු  A poem in the underground wall ගීතය ඔබ අසා ඇත්ද ?
ඔහු වචන අමුණා රුප රාමු සිතේ මවන හැටි ඉතා ආස්වාද ජනකය . 

මෙන්න ගීතය 

මම දැරුවෙමි උත්සාහයක් පරිවර්තනය කරන්නට එය . අදහස එයම නොවුනත් ..

නිශාවගේ තන පුඩුවෙන්
ගලා විත් , 

ලොවක් පුරවන
කළුවර  අතරේ
ඔහු හිඳී
සැඟවී
අවසන් දුම්රිය එනතුරා 


රළුය , සිමෙන්ති පොලව .හීතලය. 
මිනිසුන් පෑගු , කෙල ගැසූ දවසක් පුරා

නොඉවසිලිමත් දෑස
දිව ගොස්
පිරිමදිත්
උමං දුම්රිය පොළ
දුර්වර්ණ බිත්තිය
පුරා  ඇඳි
සෙවනැලි  චිත්ර

කඩතොළු කබායක 
සාක්කුවේ
මිරිකේ තදින් 
සුදු හුණු කුරක්
හිරිවැටුණු
කෙසඟ දෑගිල්ලකට

සියොළඟ  කිළිපොලන 

හිරිගඩු පොපියන
සීතල
පෙරමග කියත්
මග එන දුම්රියට
සෙල්මුවා ගැබෙන් 
එලි දකී
ඔහු බලා  සිටි මනාලිය 


කලබලය ඔහු,  දැන් .

නිශාවේ ඇකයෙන්
මෑත් වී  

දිවවිත්
පිරිමදින්නේය බිත්තිය
තෝරා ඉමක්
දැන්වීම් වලට
ඔබ්බෙන්
සෙවනැලි වලටත්
එහා
ඔහු ලියන්නේය කවක්
හුණු කුරෙන්
දුම්රිය පොළ බිත්තියේ


අකුරු හතරක් . 
එකම වදනක් . හිතක හිරවුණ. හැඟුම් දාහක් .

කළු වැකුණු බදාම
මතින් ලියවෙද්දී
සුදු අපිළිවෙල අකුරු කවක්
රැයට මුසුවේ
මුසල හඬ
සිනහවක 

ඔහු
හිටී 
රේල් පීලි  මැද 
වසා
තම
නෙත් පියලි


අහෝ
 දුම්රිය නොදනී මේ කිසිත්

පලි :
ඔහු ලියු කව කුමක්ද ?
පෝල් සයිමන්ගෙන් මෙය ඇසු විට ඔහු කලේ සිනහ වීම පමණකි .
එක්  එක් අය අර්ථකතන දෙති  .
ඇතැමෙක් කියන්නේ  එය Love (ආදරය) බවය ...

තවකෙක් කියන්නේ එය "F"  අකුරෙන් පටන් ගන්නා ප්රචලිත වදන බවයි. ( පහු ගිය සතියේ ඒ කවිය නම් බිත්ති පුරා ලියන්නට මට ද  සිතුනේ වරක් දෙවරක් නොවේ . පහුගිය සතිය එවැනි සතියකි . )

27 April 2013

Deep is ..// ගැඹුර නම් ...

Instructions :
Step 1:First click : here
Step 2: Play the clip . 
Step 3: Minimise the window  and start reading the poem.

Depth is
what you do not see
immediately
at the surface
(I tell you ,
as you plunge  your toes 
in to the  still waters )
but lies beneath the calm
beneath the lines of reasoning
and mounds  of information
( No need  to be alarmed ,
 I am just thinking out loud)

how logic and facts
stack
one on  top of the other
as gravity does
and form 

shapes
sometimes neat
as crystals
sometimes as messy
as a pile
But the interesting stuff is always
in between
...life,
...thoughts
(poems too , you say ?)
...and conversations
It’s always
in between 



පලි 
ගැඹුර ගැන කියවූ ලිපියක් හේතුවිය මේ කව ලිවීමට .
 ගැඹුර නැති තැන , නැති බව සරල බවක් .  රොන් මඩ  රඳන්නට ගැඹුරක නැති තැන , නැති බව පෑදී දිය. නිහඬතාවය අබියසම ඇති , කුණාටුවක සේයාව  (හෝ කුණාටුවක් පසුවූ පසු ඉතිරිවෙන නිහඬ බව ). ගැන හිතන්න 

නමුත් ජීවිතය , සිතිවිලි , කතාබහ මේ සියල්ල පාවෙන්නේ , මේ අන්ත දෙක මැද නොවේද ?

21 April 2013

ලුහුඬු පුවත්

අද උදේ රේඩියෝ එකේ මීටරේ එහෙට මෙහෙට කර කව කව ඉන්නකොට මෙන්න අහුවුණා සිංහල චැනෙල් එකක් . හැබැයි සිංහල උනාට ලංකාවේ නම් නෙමෙයි ....


"ටින් ටින් ටින්රි ටින්රි ටින් ටින් ..බීප් බීප් බීප්

දැන් වේලාව උදැසන දහය පසුවී  විනාඩි පහලොවයි . මේ කේතුමතී නුවර අහේතු කාලීන ගුවන් විදුලි සේවයයි . මෙන්න ප්‍රවුර්ති ලුහුඩින් .

 රටේ නීතිය රැකීමේ වගකීම අලුතින් පිහිටවන සර්වාගමික බල සේනාවකට බාරදී පොලිසිය විසුරවා හැරීමට තීරණය වී ඇති විශ්වාෂදායක ආරංචි මාර්ග කියයි .

පසුගිය සතියේ දහවලක  අපරාධ රැසක් සිදුවන  රාත්‍රී සමාජ ශාලාවක් වටලා , වැරදි කරුවන් ට දඩුවම් කිරීමට එක්තරා බල සේනාවක් ගත්  නිර්භීත ක්‍රියාව නිසා මේ අදහස පහල වී ඇතැයි තතු දත් ආරංචි පවසයි . 
ඒ අවස්ථාවේ එම සමාජ ශාලාවේ ආරක්ෂාවට , එහි කළමනාකාරිත්වය සිකුරිටි නිලධාරීන්ට අමතරව , පොලිසියද යොදා ගැනීමට සිදුවිය . එහිදී අදහස් දැක්වූ එහි නිලධාරියෙක් අප හා පැවසුවේ , රාත්‍රියට එහි ආරක්ෂාව තමන් සලසා ගත්තද , දවල්ට පොලිසියේ පිහිට තමයි කියාය .

දැනට පවතින මනාප චන්ද ක්‍රමය වෙනස් කිරීමට යයි . 
දැනට ගැටළු බොහොමයකට මුල්වන මනාප චන්ද ක්‍රමය වෙනස් කර ඒ වෙනුවට , අපේක්ෂකයන් අතර වාද බයිලා තරඟ  මගින් ජයග්‍රාහකයන් තේරීම කෙරෙහි  රජයේ අවධානය යොමු වී ඇතැයි සැලවේ..
සිංහල අවුරුද්ද වෙනුවෙන් පවත් වන සංගීත සන්ධ්‍යාවන්  වැනි සෑම අවස්තාවකම උපයෝගී කරමින් මැති ඇමතිවරු මේ සදහා පුහුණු වනු දැන් දැන් දක්නට ලැබේ. 
මේ ගැන අදහස් දැක්වූ විපක්ෂයේ ප්‍රකාශයෙක්  අප හා පැවසුවේ  ඔවුන් ගේ පක්ෂ වලද "ඉස්ටාර් ලා " කිහිප දෙනෙක් සිටින නිසා නොබියව මේ ක්‍රමයට මුහුණ දෙන බවය . 

නවතම මැතිවරණ ක්‍රමය වට තුනකින් පැවැත්වෙන අතර , ප්‍රථම වටයට ඉදිරිපත් වන අපේක්ෂකයන් , හිටපු අවුරුදු කුමරියක් ,  දේශපාලනයට පැමිණි නළුවෙක්  හා නළුකමට ගිය දේශපාලකයෙක් විසින් දෙවන වටයට යොමු කරනු ලබයි . දෙවන වටයේදී , මහජනතාවගේ  SMS  මගින් අවසන් වටයට යොමුවන අපේක්ෂකයන් අතරේ දියවන්නා  ඔය අසබඩ පැවැත්වෙන විවුර්ත වාද බයිලා තරඟයකින් ජයග්‍රාහකයන් තෝරා ගනු ලැබේ .  මේ තරඟයේ පරාජිතයන්ටද , ඉතා වටිනා සැනසිලි ත්‍යාග පිරිනැමෙන බවද ආරංචි වේ .

කේතුමති නුවර පොලොසියට ඉස්කෝට්ලන්ඩ්යාඩ් පොලිසියෙන් සම්මානයක් පිරිනැමේ . අති විශිෂ්ට අපරාධ විමර්ශන සඳහා ජාත්‍යන්තරව පිරිනැමෙන මේ සම්මානය පිරිනැමුනේ  කෞතුකාගාරයේ සොරකමට සම්බන්ද අපරාධ කරුවන් සොයා ගැනීමේ ක්‍රමෝපාය වෙනුවෙනි . ඉතා සුක්ෂමව සැලැසුම් කළ  මේ සොරකමේ මහා මොළකරු , සීතලට පොරවා ගෙන විත් අමතක වී ගිය  බෙඩ් සීට් එකක් දැඩි විශ්ලේෂණයට භාජනය   කර මේ අපරාධයේ සුල මුල සොයා ගැනීමට අපරාධ පරීක්ෂකයන්ට හැකි වී ඇත 

මීට කිසිලෙසකින් සම්බන්දයක් නැති පුවතකට අනුව , ඊයේ පැවති සීතාවක ටෙලි සම්මාන උළෙලේදී මේ වසරේ හොඳම ටෙලි නාට්‍යට  හිමි සම්මානය , කටු ගේ හොරකම ටෙලිනාට්‍යට හිමි විය . හොඳම තිර රචනය , හොඳම අධ්‍යක්ෂණය , හොඳම චරිත නිරුපනය ආදී සම්මාන රැසක් දින ගැනීමට මේ නාට්‍ය සමත් විය . වසරේ නැගී ආ ජනප්‍රියම නළු සම්මානය දිනාගත් මෙහි ප්‍රධාන නළු සවන් අද්දර මහතා පැවසුවේ , තමාගේ රඟ පෑමේ සාර්ථක බවේ සම්පුර්ණ ගෞරවය මෙහි අධ්‍යක්ෂක වරයාට හිමි විය යුතු බවය .

මේ පැයේ ලුහුඩු පුවත් මෙයින් නිමයි . නැවතත් හමු වෙන්න මධ්‍යන දොළහට , අපේ ප්‍රධාන ප්‍රවුර්ති ප්‍රකාශය සමගින් "



පලි : අනේ ඉතින්  ඒ රටවල් වල වෙන දේවල් 

20 April 2013

two questions ?

If  a secret had
A conscience
Could it survive
for long?

If conscience had
a secret
can it keep it
for long ?


PS: Is it really two questions?

14 April 2013

සිරි මහත්තයාගේ බයිසිකල් රේස් දොළ දුක සහ තවත් කතා


(උගුර පාදා)
"
ළමයි වටවෙලා  ඔය පැදුරේ ඉඳ ගන්න . මම දැන් ඔය ළමයින්ට කතා හතරක් කියන්නම් අද අවුරුදු දවසේ , හිතට යන්නත් එක්ක "


 කතා අංක 1- සිරි මහත්තයාගේ බයිසිකල් රේස් දොළ දුක 

සිරි මහත්තයා රස්සාවක් හැටියට කලේ කුමක්දැයි කිසිවෙකුට හරි හමන් දැනීමක් නැත .
එනමුදු මල ගෙයකදී , පින්කමකදී,  ගමේ පොදු වැඩකදී ඔහු මුල් තැන ගත්තේය . මැදි  වයසේ සිටියද ඔහු ගමේ යොවුන් සමිතියේ කාරක සමිතියට පත්වුයේ , නිතරඟයෙන්ය .
ඔහු වැඩ වලට මුල් තැන ගත්තද , වැඩේ පටන් ගෙන හෝරාවක් ගිය තැන ඔහුව හොයා ගන්නට වත්  නොහැක . ඔහු කිහිප දෙනෙක් වට කර ගෙන බෝක්කුවක් උඩ , බීඩියක් උරමින් කතා සාගරයක් දිග හරිමින් සිටිනු සුලබ දසුනකි .  පැයක් වැඩ , පැය හයක් විඩා නිවීමය .

" කාලෙකින් බයිසිකල් රේස් එකක් දැක්කේ නෑ බන්   " , මේ අවුරුදු සමයේ සිරි මහත්තයාට දොළක් උපදිනි .  අවුරුදු  උත්සවයක් නැතුව , බයිසිකල් රේස් වැඩක් නැතිය . 
"මල්ලි අපි සංවිදානය කරමුද බක් මහා උළෙලක් ?"  ඔහු යෝජනා කළේය 
යෝජනාව සම්මත විය .යොවුන් සමාජය ගජරාමෙට වැඩ පටන් ගත්තේය . සිරි මහත්තයා , විටින් විට හමුවී ප්‍රගති සමාලෝචන විමසන්නේය .

දිනය උදාවිය . කොල්ලෝ බනිස් කෑහ. කෙල්ලෝ තරඟෙට සිනහ වුහ . සීයලා  රබන් ගැසුවෝය . ආච්චිලා ඔන්චිලි වාරම් කීහ .  බයිසිකල් රේස් එක පටන් ගන්නත් දැන් වෙලාව ළඟය . එහෙත් සිරි සොයා ගන්නට බැරිය. 
ඔහු ලයිසාගේ පොට් එකේ වැඩ අල්ලලාය . බෝතල් බාගයක් පමණ හිස් වී දැන් සිරි , අම්මට සිරි ය . 
"සිරි මහත්තයා  මොකද මෙහෙ කරන්නේ , අන්න බයිසිකල් රේස් එක පටන් ගන්න ලෑස්තිය .." 
 කාරක සභිකයන් දෙදෙනෙක් ගේ නොසැලෙන  සහයෝගයෙන් ඔහු අමාරුවෙන් එතනට ආවේය . 
"මල්ලිලා , මට අද අවුරුදු සිරිය ටිකක් වැඩියෙන් දැනෙනවා . ඒ නිසා මම ගෙදර යනවා නිදා ගන්න . ලවුඩ් ඉස්පිකරෙන් හඬින්  එනවුන්ස් කරගෙන යන්න මට ඇහෙන්න "

කොල්ලෝ මාසයක් විතර මහන්සිවී , සිරි අයියගේ දොළ සන්සිඳිය . සිරි මහත්තයා ට හොඳින් නින්ද ගියේය .

 


කතා අංක 2- මසුරු සිටාණන්ගේ කැවුම් කෑම 

පෙර දවස එක සිටු කෙනෙකුට කැවුම් කෑමට දොළක් උපදුනි . ඔහුට අවශ්‍ය වුයේ කැවුමක් දෙකක් කෑමටය . නමුත් සිටු කෙනෙකුට තනියම කැවුම් කන්න නොහැක . මුළු සිටු මැදුරටම සෑහෙන්න කැවුම් ඉවිය යුතුය . සිටු මැදුරේ කැවුම් බදින  පුසුඹ දැනුනු කල , අවට වැසියෝ කෙල ගිලති . උන්ටද  බෙදන්නට කැවුම් ඉවිය යුතුය . 

කැවුමක් කෑමේ ආසාව ඉබේම මහා කැවුම් දාන ව්‍යාපාරයක් වෙන්නේය .කැවුම් පාටියකි .  
කැවුම් එසේ කන්නට නොහැකි නිසා , කෙසෙල් කොකිස් අනෙක් කැවිලි ඊට එක් විය යුතුය .

සිටු කෙනෙක් උනත් , එහෙම වස්තුව නාස්ති කිරීම අනුමත කල නොහැක . එනමුදු ඔහුට කැවුම් කෑමට අවැසි නම් අපි සවොමට කැවුම් කැවිය යුතුය , එය ලෝක සම්මතයයි .

ඔහු හොරෙන්ම කුටියකට වී කැවුමක්  පිස , කෑමට සැරසෙත්ම රහතන් වහන්සේ කෙනෙක් විත් ඔහුගේ රහස ලොවට හෙළි කළහ .

ඔහු අපකීර්තියට පත්විය . වැසියෝ ඔහුට සිනහ වුහ . මසුරු සිටානෝ යයි අපි පොත පතෙහි ලියුවෙමු .


 කතා අංක 3- ගුනේ අයියගේ  කාමරේ 

ගුනේ අයියා ගේ  බජව් දාන කාමරය ගැන ඔබ අසා ඇති මම සිතමි. සත් සර නද එහි පිරි ඇත . රජවරු මැතිවරු , ආසහාය ගායකයෝ එහි එති , යති , ලැගුම් ගති . එපමණක් නොව අවශ්‍ය අනිත් හැම දෙයක්ම එහි ඇත .මස්කට් පැණි බූන්දි ඇති බව ඔහු කියන්නේ එහි ඇති තවත් දේවල් ගැන ඉඟි සපයමිනි . එනමුදු ඔහු එහි කාටවත්  එන්නට කියන්නේ නැත . දොර අගුල දමා නැති බව පමණක් පවසා සිනහ සෙන්නේය . 

ඔහුගේ බජව්ව අපිට කරදරයක් නොවේ . අපිට අවශ්‍ය නම් සහබාගි විය හැක . ඔහුගේ සොමිය ඔහුටය , අපේ සොමිය අපිට අවැසි නම් අපි සාදා ගත යුතුය .


කතා අංක 4

කෝ සිව් වෙනි කතාව ? ඔබ දැන් අසනු ඇත . එනමුදු එය මට සටහන් කල නොහැක . 
සිතන්න  ඔබේ සිහින සැබෑ කර ගැනීමට ඔබ දුවාදරුවන් දක්කන හැටි . 
සිතන්න පුද්ගලයන් වශයෙන් , කණ්ඩායම් වශයෙන් එතනින්  ගියහම  නෙක බල මණ්ඩල , රාජ්‍ය, එක්සත් කට්ටියගේ සංවිදාන වශයෙන් තමන්නේ මතයන්, ආකල්ප,  විශ්වාස වෙනුවෙන් අනෙකුන් පෙළ ගැසිය යුතුයයි හිතන . ඒ සදහා  ධනය , බලය කාලය හා අනෙකුත් දේ වැය  කරමින් වෙහෙසෙන . සිතන්න එසේ නොවුණු විට චිත්ත සන්තාපයෙන් පෙලෙන අපි ගැන . 
දැන් අර හැම දාම කියන විදියට , තම තම නැණ , දැන පමණින් ,ඒ කතාව ඔබම  ලිවිය යුතුය 

පලි 
ඔබට සුභ අලුත් අවුරුද්දකට ආසිරි පතමි ඉත සිතින් 

13 April 2013

One autumn afternoon....ගිම්හානයේ එක් දහවලක .............


























One  late afternoon
on a Sunday
You were there
meditating on the milky swirls
in an over priced latte
on the abstract shadow shapes
the autumn trees made
On the café wall
meditating you were
there you weren't

ගිම්හාන් පවනේ 
සිතක් ඈතට 
පාවෙනා
ඔබ කවුද ?
කිමෙද ඒ සෝ  බර
ඔබේ සිත
පුරවනා 


I too meditated
on your tresses dancing care free
in the breeze
On the lips trebling to hide the
throbbing sigh
 The tear hanging on
At your eyes edge 
I was there
I too meditated

ඒත් හොරෙන් හොරෙන් 
නෙතග කඳුලට 
විකුනු තොළගට 
පමණක් නොවේ 
නටන කෙහෙ රොදටත් 
හොරෙන් 

PS:
Yes it is one poem . If we do not think in one language, saw no reason why I should , when I scribbled them down
අපි සිතුවිලි වලට බාසාවක් තිබේද ? අපි හිතන්නේ යම් කිසි බසකින් ද ? එසේ නැතිනම් සිතුවිලි වචන වලට හරවද්දී එසේ විය යුතුද ?

01 April 2013

පිස්සු ලාබයි - episode 2- ඉස්ටිකර් Man


 නිෂ්පාදක මැදිරිය 
 ස්ටෑන්ඩ් බයි , වී ආ ස්ටර්ටින් ඉන් 5. ලයිට්ස් ඔන් , කැමේරා ස්ටාට් . ඇක්ෂන් 3, 2 1
(Stand by . We are starting in 5. lights on . Camera start . Theme music. Action 3 2 1 )

නිවේදක 
හරි ලොකු උන්නැහේ ඔන්න දැන් පටන් ගන්න යන්නේ . ඔය සරම හදා ගන්න .

හෙමින් හෙමින්, වචන කඩමින්,  හෙම්බිරිස්සා - ගොරහැන්ඩි -බෙලෙක්ක හඬකින් ,  පුර්ව  හැඳින්වීම ආරම්භ වෙයි .
මේ කියන වකවානුව එක දහස් නවසිය අසු ගණන් . පාසැල් ගේට්ටු අබියස සිහින විකුණු වෙළෙන්දෝ ඔබට මතකද ? ඉස්ටිකර්, පාට කූරු , තව බොහෝ දේ  සිප්හල් ගේට්ටුව අබියස එලා ගත් , ලුමිනස් වර්ණ ඉටි රෙද්දක පිලිවලට අසුරා , ඒ පිටිපස සිටගෙන සිටි ඔහු . අද අතීතයේ මතකයක් වෙලා . මේ සංවාදය අතීතයේ පොඩි දරුවන්ට සිහින විකුණු ඉස්ටිකර් වෙළෙන්දෙක් සමගයි .

අපි ඔබව ආයුබෝවන් කියා පිලිගන්නවා වැඩසටහනට. ඉතින් අපිට කියන්න ඔබ මොනවද වික්කේ කියලා 

මහත්තයෝ , ඉස්ටිකර් තමා 

ඔය ඉස්ටිකර් ඇත්තටම මොනවට පාවිච්චි වෙන්නේ . 

මේක හරිම අරුම පුදුම දෙයක් මහත්තයෝ . මුලින් මුලින් නම් ළමයි ඔය කාර් , මල් වගේ ඒවා අර ගෙන පොත් වල පිටකවර වල ඇලෙව්වා . ඊට පස්සේ  ළමයි  , උන්ට දවල්ට කන්න දෙන රුපියල දෙක දීලා ඔහේ ගන්නවා  , මොකට ගන්නවද කියලා උන් දන්නෙත් නෑ . 

ඇත්තෙන්ම බලනවානම් ගොඩක් දේවල් එහෙම තමයි 

එහෙමයි

මොන වගේ ස්ටිකර් ද විකුණුවේ ?

පිරිමි ඉස්කෝල  ගාව නම් මුලින් මුලින් සත්තු , කාර් . ඊට පස්සේ බෘස්  ලී , රැම්බෝ , කොමාන්ඩෝ .

එතකොට සුපර් හීරෝ ලා 

මොකේක් කිව්වා ?

මම කිව්වේ සුපර් මෑන් , බැට් මෑන් එහෙම 

ආ ඒ අයද ?
ඒ දවස් වල හිටියේ , අර දම් පාට ඇඳුම ඇඳලා , ලන්කට් එක උඩින් ඇඳලා  පටිය බැඳපු පැන්ටම්  විතරයි නේ . 
ඊට ටික කාලෙකට පස්සේ සුපර්මෑන්  ආවා සිංහලෙන් . ඉන් පස්සේ ඉතින් ඒ අයගේ ඉස්ටිකරුත් වික්කා . ඊට අමතරව හිටියේ ඉතින් ගජ මෑන් තමා , එයාගේ වික්‍රම ඉතින් හාමිනේ එක්ක නේ .


මොනවද මේ යකා කියවන්නේ . ගෙට් බැක්  ටු ද  (get back to the ) මාතෘකාව 

ඔව් අපි දිගටම කතා කරමු . කොහොමද  මේවයේ මිල එහෙම ?

එක එක ගණන් මහත්තයෝ . ඔය හැමෝටම විකිනෙන මිලක් තියෙනවානේ .
තිහකට හතළිහකට එක පාර ගහන්න හැකි රැම්බෝ  ලා එනකොට , බෘස් ලි ලා විකිනෙනවා අඩුයි . එතකොට අඩුවට යනවා . අර අනාගතයෙන් ඇවිල්ලා ගේම් දෙන  ටර්පන්ටයින්  ආපුවහම 

මම හිතන්නේ ඔය කියන්නේ ටර්මිනේටර් වෙන්න ඇති 

අන්න හරි .ඌ ආපුවහම රැම්බෝ  ලාගේ කාලේත්  ඉවරයි. එතකොට අඩුවට විකිනෙන්නේ 

වෙන මොනවද ඉතින්  ඔබ අලෙවි කලේ 

දහම් පාසල් ගාව එහෙම ඉතින් , බුද්ධ රූප , දේව රූප , වෙසක් කාඩ්

ඒවායේ ගානවල් එහෙම කොහොමද 

මහත්තයෝ , බෘස්  ලී ලා , සුපර්මෑන් ලට වගේම , දෙවියන්ටත්  විකිනෙන ගානක් තියෙනවා .

ඔබේ වෙළඳාමට සිටි තරඟ කාරීන් කවුද ?

ඒ කිව්වේ ?

මොනවද ඔබේ වෙළඳාමට තිබ්බ බාධා ?

බාධා කියන්නේ ඉතින් පොලොසියෙන් තමයි ඉතින් . කියක් හරි සාජන්ට් මහත්තයාගේ ....

නෑ නෑ  එහෙම නෙමෙයි , අපි අදහස් කරන්නේ අනෙක් වෙළෙඳුන් 

ඉස්ටිකර් කාරයෝ , ගල් සියඹලා කාරයෝ , අච්චාරු ආච්චිලා , අපි ඔක්කොම ඉතින් ළමයින්ගේ අතේ තියෙන රුපියල කඩා ගන්න තමයි ඉතින් කුරුමානම . අපිත් ඉතින් ජීවත් වෙන්න නේ මහත්තයෝ . 
හැබැයි ඉතින් අර ඇස්ට්‍රා කාරයා ගැහුවා අපේ බඩටම . දුන්නානේ ක්‍රිකට් ටීම් එකේ ඉස්ටිකර් නොමිලේම .

එතකොට කොහොමද ලාබය එහෙම ...

hold on අමතක උනා සෙකන්ඩ් සේග්මන්ට් එක දාන්න . දැන් දැම්මා 

නැවතත් අර ගොරහැන්ඩි කටහඬ 
 ඔහු , අනෙක කම් කටොලු මැද  තම දෑතේ විරියෙන් දහදිය මහන්සියෙන් ලොවම දිනු අපේම ව්‍යවසායෙක් . සවන් දෙමු තව දුරටත් ඔහුගේ කතාවට 

ලොකු උන්නැහේ , ඔබ තුමා , ඔබේ දෑතේ මහන්සියෙන් හරි හම්බු කර ගෙන , අද මෙතනට ඇවිල්ල ඉන්නවා , මොකද හිතෙන්නේ 

 අපි ඉතින් උදේ ඉඳන් හවස් වෙනන්කන් ඉස්කෝල ඉස්සරහ තැග්  ගහ ගෙන ඉඳල , හම්බුවෙන සොච්චමෙන් මුදලාලිගේ ගානයි , සාජන්ට් මහත්තයාගේ තේ වියදමයි පියෙව්වම පාන් කාලක් ගන්න ඇති .
 පස්සේ මම වෙන රස්සාවකට බැස්සා 

ඒ මොකක්ද 

මම ඇල්බට් මුදලාලි ගාව හිඟාකන්න ගියා   .
අන්න මහත්තයෝ රස්සා . ඒකත් ඉතින් වෙළඳාමක් නේ . විකුනන්නේ පිං . 
මට මතක් වෙනවා කියුව කවි එහෙම .
අද අද එයි මරු පින් කර ගන්නේ ..කෙලෙසද හෙට මරු ඒවි සිතන්නේ ...........

මේ යකා වැඩේ කනවා .   . කිල් ද සවුන්ඩ් . බ්ලර් ද ෂොට් . ස්ටාර්ට් ද එන්ඩින් ටයිට්ල්ස් . (kill the sound . Blur the shot , start the ending titles )