28 December 2016

කැප්ටන් කූල් ගේ නත්තල් ගහ සහ හීතල උඳුවපේ විකාරී හීන

නත්තල් අසිරිය වැඩිවී  , හිස බමනය වන්නට වූ පහුගිය දිනෙක, මට මතක ඇඳට වැටෙනවා පමණි . එක් වරම මම සිටියේ ගාලු මුවදොර පිටියේය . අහසේ වළාවක සේයාවක් නැත . සරුංගල් දෙක තුනක් ඔහේ පාවේ . මුහුදු සුලඟ පුරුදු ලෙසම හමයි 

පාට පාට සරමක් හැඳි , කොන්ඩේ සුදුම සුදු  මහත්තයෙක් ඈත සිටම මට අත  වැනුවේ  ඒ දෙසට එන ලෙසය . මම සෙමින් සෙමින් ඒ දෙසට ඇවිදින්නට වුයෙමි . ලං ලං වත්ම මේ සුපුරුදු මුහුණ මට හඳුනා ගත හැකි විය .


"හව් ඊ ඊ ඊ ස්  දැට් ට් ට්  ට් " ???!!!!  

එක වරම ඔහු මහ හඬින් කෑ ගසන්නට වුයේය .  මම අන්දුන් කුන්දුන් වුයෙමි . ඒ සමගම ඔහුගේ ඇඟිල්ල දිගු වූ දෙසට මට බැලුනේ ඉබේටමය . මොකක්දෝ අහස උසට නැගුනු දැවැන්ත සැකිලි ඉදිකිරීමකි .

මොකක්ද කිව්වේ ?

නෑ  මම ඇහුවේ හව් ඊස් දැට් කියලා ?

ඇත්තටම ඒ මොකක්ද 

ඇයි ඔහේ දැක්කේ නැද්ද පත්තර වල , මේ අපේ ලෝකේ ලොකුම නත්තල් ගහ 

ආ මේ ඒකද  , මම ෆේස් බුක් එකේ නම් දැක්කා මේකට එක එක ඒවා කියලා තිබ්බා 

ඔය අවලම් කොල්ලෝ අල්ලලා කටවල් තලන් ... නෑ  මම කිව්වේ ඒ දරුවන්ට හොඳ නරක කියා දෙන්න ඕනේ 

හැබැයි කැප්ටන් , මේක නිකන් නත්තල් ගහක් කියලා පෙනෙන්නේ නෑ නේ ..නිකන් රොකට් එකක් වගේ , නිකන් කොපුවක් දාපු පුරුස ..

මේ ඕයි , තමුසෙට ඉමජිනේෂන් එකක් නැද්ද .. මේක නත්තල් ගහක් කියලා හිතාගෙන බලනවා , එතකොට ඒ වගේ පේනවා . අනික රෑට බලුබ් පත්තු කරපුවහම හරි 

සොරි කැප්ටන් , ඇත්තටම එහෙම බලපුවහම නම් , නිකන් ඒ වගේ වගේ පේනවා තමා .

අන්න ඒකනේ , දැන් ඔය ක්‍රමේ අනිත් දේවල් දිහා බලන්නත් පාවිච්චි කරනවා 

හැම දෙයක් දිහාම ඔහොම බලන්න පුලුවන්ද 

එහෙනං , ඔය වෙනස , නීතියේ ස්වාධීනත්වය , යහපාලනය , දුෂණය පිටුදැකීම ඔය ඕන එකකට ඔය ක්‍රමේ පාවිච්චි කරන්න පුළුවන් 

කැප්ටන් ඒක නෙමෙයි ඔය වැඩේට කට්ටිය මුලින් විරුද්ධ වුනා නේද ?

කව්ද 

ඇයි අර කාදිනල් තුමා 

පිස්සුද ..මේ හැම දෙයක්ම වගේ,  මේකත් මේ මාධ්‍ය වරදවා පතුරවා හැරපු ප්‍රවෘත්තියක් නේ .. මේකනේ උනේ .
මේ වැඩේට ප්‍රචාරණයක් දෙන්න අපි සංගීතයක් ඕගනයිස් කළා .  නත්තලටත් හරියන්න අපි සංගීතය සපයන්න හයර් කලේ "කාඩිනල් ස් අවුට් බර්ස්ට් " බෑන්ඩ් ඒක  ... ඕක වැරදිලා රිපෝර්ට් කරලා තමයි මේ අලකලංචිය වුනේ 

නෑ  ....මුන්ව උල තියන්න එපා යෑ 


ඉවසලා ඉන්න .. ළඟදීම. ළඟදීම .

ඒත් කැප්ටන් මේ වගේ වැඩ නිසා මිනිස්සු ආණ්ඩුවට බනින්න ගන්නවනේ 

ඉතින් හොඳයිනේ 

ඒ කිව්වේ ..මට තේරුනේ නෑ 

අපේ නායකතුමා හැම තිස්සෙම කියන්නේ , ගොඩක් අයට ඔලුවක් තියෙනවා කියලා මතක් වෙන්නේ හිසරදයක් හැදුනමයි කියලා .. ඉතින් මිනිස්සු බැන්නේ නැත්තනම් උන්ටයි අපිටයි ඔක්කොටම ආණ්ඩුවක් තියෙනවා කියලා අමතක වෙයි 

ඒකත් එහෙමද ... ඒක  නෙමෙයි කැප්ටන් ඇත්තටම ඇයි මේ නත්තල් ගහ හැදුවේ ?

අයිසේ ,  අපේ ගෙවල් ගාව ඉස්සර ලංසි පවුලක් හිටියා බොහොම අහිංසක විදියට ජීවත් වුනු.  මිනිහාට රස්සාවක් නෑ . නෝනා මැහුමක් කරලා, කේක්  ගෙඩියක් හදලා තමා ගාණක් හොයා ගත්තේ .   . ඉතින් නත්තලට සාලේ තීන්ත ටිකක් ගා ගන්න එහෙම වත්කමක් තිබ්බේ නෑ . .. ඉතින් ඒ ගෙදර නත්තලට කලේ බිත්ති වල කඩතොළු වැහෙන්න ක්රෝටන් පැල තියන එක ... 

නෑ  කැප්ටන් මම ඇහුවේ මේ නත්තල් ගහ ගැන 

ලොකුම කඩතොළු වැහෙන්න තමා නත්තල් ගහ සෙට් කලේ 

දැන් තේරුනා ..ඇත්ත නේන්නම් , ලෝකේ ලොකුම මගඩි  වහන්න , හිල්  වහන්න . ලෝකේ ලොකුම නත්තල් ගහම හදන්න වෙනවා 

මොකක්ද කිව්වේ ?

නෑ කැප්ටන්.. දැන් මේකෙන් පස්සේ මොකක්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ ?

අපි මේකෙන් අරින්නේ නෑ .. අලුත් අවුරුද්දට චීනෙන් හාල් ගෙනත් හදනවා ලෝකේ ලොකුම කිරිබත , වෙසක් එකට ලෝකේ ලොකුම බෝ ගහ ,  රාමසාන් එකට ලෝකේ ලොකුම වටලප්පම ....ඊට පස්සේ අපි ජනතාවගෙන් අහනවා ...... (රහසින් මෙන් ) ..ඔබට ශතුටුයිද දැන් ?

කැප්ටන්,  ඔයිට වඩා නරකද .....ලෝකේ ලොකුම එල්ලුම් ගහ හදාගෙන කට්ටියම එල්ලුනා නම් 


හැ හ් ..

කැප්ටන් .. හව් ඊඊඊ ස්  දෑ දෑ දෑ ට් !!!!???

එකෙනෙහිම කැප්ටන් සරම කැහැ පට ගසාගෙන , ගොටයිම්බරයා වෙතට වන්  ජයසේනයා මෙන්,  මා වෙතට කඩා පැන්නේය . මා උරහිසෙන් තදින් අල්ලා සොලවන්න ට විය 

"මේ මේ මේ නැගිටිනවා .. බොන්න බැරි ගානට බී ගන්නවා ඊට පස්සේ රෑ තිස්සේ කෑ ගහන්න ගන්නවා .... ළමයිනුත් බය වෙනවා "

මා බිරිඳ, ඈ  ආදරණීය වදනින්  , මා සිහින ලොවින්  මුදාගත්තායින් , යාන්තං ගුටි නොකා බේරුනෙමි .

14 December 2016

ඇසිලියාගේ සාත්තරේ (විකාශනය), තිත් සහ ඉරි ප්‍රහේලිකා සහ මෝඩයන්ට ජෝක් පත්තියන් වීම

කලකට පෙර මම  ,  හැම දෙයටම රෙද්ද කඩපු  ඇසිලින් ගැන මේ අඩවියේ ලියුවෙමි .  ඔබ කිහිප දෙනෙකුට හෝ එය මතක ඇති https://pinchpoints.blogspot.hk/2012/06/blog-post.htm.

ඇසිලින් රැකියාවක් හැටියට කලේ ස්වයං ව්‍යාපාරයකි . කොටින්ම ඇගේ  මුළු පවුලම පාහේ මේ ව්‍යාපාරයේ යෙදුනහ. 
දෙටු පුත්‍රයා නිෂ්පාදන අංශයද , කනිටු පුත්‍රයා බෝතල් කිරීමේ අංශයද බාරව සිටි අතර , වෙළඳ අංශය බාරව සිටියේ ඇසිලියා ය . ඇගේ  සැමියා , වැලිකඩ බෝඩිමේ වැඩි කාලයක් ගත කළ  අතර , නිවාඩුවට ගෙදර විත් සිටින කාලයේ රස පරීක්ෂක ලෙස කටයුතු කළේය .

මීට අමතරව ඇගේ  අලෙවි හලේ නිරතුරු ගැවසුණු පාරිභෝගිකයන් කිහිප දෙනෙකි . ජෙමා ඒ අතරින් එකෙකි . ඔහු ගැන විස්තර කරනවා නම් , ඔහු වචනයේ පරිසමාප්තයෙන්ම ජෙමෙක් ම විය 

ඉඳ හිට , ඇගේ  තිප්පොල පොලිසියෙන් වටලන්නේය . පොලිස් ජීප් එක වැයික්කියට ඇතුළු වූ වහාම ආරංචිය ලැබෙන්නේය . වැඩිපුර බූලි  දෙක තුන ඒ ලැබෙන ඉඩ කඩින් සැඟ වෙන්නේ , එඬරු යායේය . පොලිසියේ මහත්තුරු වත්තට ඇතුළු වූ වහාම නිසැකයෙන්ම සිදුවන සිද්ධීන් තුනක් ඇත  . මුලින්ම ඇසිලියා රෙද්ද කඩා දමන්නේය , ඉන්පසු ජෙමා හූ  කියන්නට ගන්නේය , ඉන්පසු කවුරුන් හෝ ජෙමාගේ  සරමත් කඩා දමන්නේය . පොලිස් නිලධාරීන් මේ දර්ශනය මගහරින්නට එහේ  මෙහෙ දුවති 

මේ ජරමර ඇසිල්ලේ , බොහෝ දෙනෙක් මාරුවෙන්නෝය .

අහුවෙන දෙතුන් දෙනාට පොළී  සමග පොලිස් ගුටි ලැබුනද , නඩු සාක්කි නැති බැවින්  ටික දිනකින් ලාබෙට නිදහස් වෙන්නොය .සිද්ධිය එසේ සිදුවේ .

ඇසිලියාගේ මේ සාත්තරේ සමාජයේ විකාශනය වී ඇති සෙයකි .

සුපර්ස්ටාර් සංජන්ලාගේ   අනිත් එවුන් ගේ රෙද්ද කැඩීමේ සිට , පාර්ලිමේන්තුවේ දී ජෙමා ලාගේ රෙදි කඩා  පුරුෂ ලක්ෂණ පෙන්වීමේ සිට, කැප්ටන් හැඩොක් ලා , ටින්ටින් ලාට කණට  ගසා රෙද්ද කඩා දැමීම දක්වාම ඇත්තේ ඇසිලියාගේ  මේ සාත්තරේ ම නොවේදැයි මට විටක  සිතේ . 

රෙදි කැඩෙ , හෙළුව පෙනේ  , හූ කියවේ , බඩු බූලී පිටින් මාරුවේ .

***
පොඩි කාලේ , මම කැමතිම ප්‍රහේලිකා වර්ගයක් වුයේ තිත් යා කර චිත්‍රයක් මතුකර ගැනීමේ ප්‍රහේලිකා ය . තිත් ටික විසඳන්නාට ලැබේ , නමුත් ඒවා යා කරන ඉරි තමන් විසින් විසඳා ගත යුතුය . මුළු චිත්‍රය මතුකර ගත හැක්කේ තිත් දෙස බලා සිටීමෙන් නොව සම්බන්ධතා කියවීමෙනි 

 ලංකාවේ දේශපාලන යයි බොහෝ විට පෙනෙන්නේ , දේශපාලනය හා සම්බන්ධ සිද්ධීන් ය . මේවා කියවීමෙන් , දේශපාලනය කියවිය නොහැක . 

වර්ජන ,  වොයිස් කට් පමණක් නොව , බල පෙරලි හා මතුවී එන  නායකයින්ද මේ තිත් ඝනයට අයත්ය . 

සිද්ධීන් කියවීමේදී , ඒවා සම්බන්ධ  පුරුක් නොපෙනී යයි .  නමුත් දේශපාලනය කියවිය හැක්කේ පුරුක් කියවීමෙනි . 

එසේ සිතන්නට වූ කළ  මේ ගොන් ජෝක් වල භයානක කම මෙන්ම , ඒ ජෝකර් ලා ගේ භූමිකාවද පෙනෙන්නට ගනී 

***

මෝඩයෙක් එකම විහිලුවට තෙවරක් සිනාසෙන්නේලු .

මුලින්ම  අනෙකුන් සිනාවෙන නිසාද,  දෙවනුව විහිලුව තේරී ද, තෙවැනුව මුලින් බොරුවට සිනහා වූ බව සිහි වීද ඔහු සිනහා වේලු . නමුත් අන්තිමට ඇඬේන විහිලුත් ඇති බව මට සිතේ