28 February 2014

කතා මැද කතා , #1 මරණය නිවාඩු ගිය අතරේ ..

අපි කතා අහන්න , කියවන්න කොච්චර කැමතිද ?
 හැම කතාවක්ම දිවෙන්නේ කාල රාමුවක් ඇතුලෙනේ . නිශ්චිත කාල පරාසයක . "එකමත එක රටෙක " නැත්නම් Once upon a time කියලා  පටන් ගෙන   " ඔවුහු සැපසේ දිවි ගෙවුහ " ( They lived happily everafter ) කියලා ඉවර වෙනවා . හැබැයි කතාවට පාදක වෙන කාලයට ඔබ්බෙන් ඒ ජීවිත  විහිදෙන්නේ නැත්ද ? බෞද්ධ සම්ප්‍රදාය අනුව ගත්තොත් ආත්ම ගණනාවක් ඈතට විහිදෙන . 

කතාවේ කාල රාමුව තුල සිද්ධි දාමයට , ඉන් පිටත පුරුක් වල සම්බන්ධයක් නැත්ද . ඒවා අමතක කර , කතාව පමණක් කියවිය හැකිද ?  කතාවක් තුල විහිදෙන දුක්ඛ දෝමනස්ස කතාවේ අවසාන සමග නිමවේද ? කතාවේ රාමුවෙන් පිටතට නොඋනයිද ?

කොහොමත් බොහෝ කතන්දර තියෙන්නේ අපි කියවපු , අහපු දේට ඔබ්බෙන්. ඒවා , අපේ හිත්වල ලියවෙන්නේ අපේ හිස් කුහර වල පිරිච්ච අමුද්‍රව්‍ය වලින්.  

ඉතින් මට හිතුනා ලියන්න , මුලක් නැතිව , අගක් නැතිව , මැදක්  පමණක් ඇති කතා . දිගුම දිගු කතාවල පුංචි කොටස් .
මම සාහිත්‍ය හදාරා නැති බැවින් , මේවාට කියන නමක් නොදනිමි . ඉදින් මා  කියන්නම් මේවාට "මැද කතා " කියා .

මේවා ඉඳ හිට පල වේවි , මෙහි , "මැද  කතා" ලේබලය යටතේ .
කියවා දිගට කතාව ලියන්න වෙන්නේ ඔබට , ඔබේ මනසේ . අර  පොඩ්ඩි ගේ කාල තරණ ලිපිය වගේ , කාලයේ රේඛාව දිගේ ඉදිරියට අතීතයට ගමන් කරමින් ... ඔව් එයට සමාන්තර වෙනත් රේඛාත් ඇති අනන්තයේදී හෝ එකිනෙක ඡේදනය වන  .

අවසර ලියන්නට පළමු කතාව . දක්වන්න ඔබේ ප්‍රතිචාර කියවා 

මරණය , සතියක් නිවාඩු ගිහින් . මේ සතියේ මැරෙන්න වෙන්නේ නෑ ..... එපමණයි කියවා ගන්න ලැබුනේ . ඈ  පොත වසා උකුලෙහි තබා ගත්තාය .

අනුන්ගේ පොත් කියවන එක මහා නරක පුරුද්දක් , කවුදෝ ඉස්සර දවසක කියනවා මට සිහිවිය .

ඈ  මා දෙස නෙත් කොනින් හෙළ බැල්ම , මා  ගෙල දකුණු පැත්තේ පතිත වී , සියුම් වේදනාවක් දනවන්නට විය . මහා වරදකාරී හැඟීමක් මා සිත පුරා පැතිරෙන්නට විය . මම ඈ  දෙස බැලීමි . ඈ  ඉවත බලා ගත්තාය .

එනමුදු , එක මොහොතකට (සමහරවිට ඊට වඩා  මදක්‌  දිගු කලකට ) අප නෙත් හමු වන්නට ඇති . මට එතරම් නිනව්වක් නැත .

ඈ , වැසූ  පොත ලමැද ට හිර කර ගත්තාය . දිගු සුස්මක් පිටවිය . දුම්රිය ඩක ඩක  රිද්මයට  හැල්මේ දුවන්නිය. . සුසුම් වා පිඩ  , දුම්රිය මැදිරිය තුල සුළි නගා  , කවුළුව තුලින් වා තලයට මුසු විය . 




පලි :වරක් මම ලියා කෙටිකතාවක් යොමු කළා අයෙකුට ප්‍රතිචාරයක් ලබා ගන්න . "මේක ටිකක් කාව්‍යමය ගතිය වැඩියි " ඔහු ලියා එවුවා ආපහු . පසු කලෙක කවි ලියද්දි , බොහෝ විට "ඒවා නිකන් කවි වගේ යයි " ප්‍රතිචාර ලැබෙනවා . අනේ මන්දා 

24 February 2014

නුවනැත්තන්ගේ අද තේරීම

ට්‍රින් ට්‍රින් ට්‍රින් 

හෙලෝ 

හෙලෝ ගුඩ් මෝනින් මචං ,  මේ මම 

ආ උඹ  ද ?....මොකෝ 

( සැප සනීප , කාලගුණය , ආදී අතිශ්‍ය  වැදගත් කරුණු සාකච්චා කිරීමෙන් පසුව )

එක නෙමෙයි උඹ දන්නවද  අපේ රටේ ජාතික ආදායමෙන් සීයට  පනස් හයක්ද කොහෙද යන්නේ සීයට  හතරක් අතට කියලා . කල්පනා කරලා බලපන් 

මොකෝ මේ  හදිස්සියේ එක මතක් උනේ 

එහෙනම් උඹ දන්නවද නුවර එළියෙන් කඩන ගෝවා  ගෙඩිය උඹේ කුස්සියට එනකොට ඒකේ  කොළ හයක් ගලවලා විසික්  කරලා කියලා . කල්පනා කරලා බලපන් 

මචං  අපි නම් වැඩිය ගෝවා  කන්නේ නෑ . හැබැයි මොකෝ උඹ ගෝවා බිස්නස් එකක්වත් පටන් අරන් ද ?

උඹ දන්නවද ලංකාවේ තියෙනවලු ඒ සී  කරපු කක්කුස්සි ..පොඩ්ඩක් කල්පනා කරලා බලපන් .

මේ මට මෙලෝ මලදානයක් තේරෙන්නේ නෑ  . අනික මොකද උඹ හැමතිස්සෙම අලුත් කෑල්ලක් දාන්නේ ..කල්පනා කරලා බලන්න කියලා 

ඇයි උඹ ඇහුවේ නැත්ද අනුර සහෝ ..

ආ දැන් නේ මට තේරුනේ .. ඒත්  උඹ ?

ඇයි  අපිට බැරිද ?

ඇත්ත කියපන් මොකෝ පෙරහැර මාරු කරේ ?

ඇයි  මචං උන් කියනවනේ උන්ගේ දර්ශනේ තේරෙන්නේ , උනත් එක්ක පෙළ ගැසෙන්නේ උගත් නුවණැති , ප්‍රගති මොකක්ද මොකක්ද කට්ටිය කියලා . උඹට කියන්න ඒ කතාව ඇහුවට පස්සේ මටත් හිතෙනවා හිතෙනවා වගේ උන් හරි කියලා 

එහෙනම් උඹත් දැක්කා  සීතාම්බර සේලය ?

මොකක්ද කියුවේ 

නෑ මොකුත් නෑ 

පලි  : වරදවා තේරුම් නොගන්න .ඔවුන්ගේ දර්ශනය උපහාසයට ලක් කිරීම නොව . මට පෙනෙන ප්‍රවනතාවයක් ගැන පමණි ලියුවේ . උපහාසයට ලක් කලේ එයයි . ඔවුන්ගේ ප්‍රචාරණය ඉලක්ක කොට ඇත්තේ ඔබ අප වැනි සමාජ ස්තරයකටය . පොඩ්ඩක් හිතන්න පුළුවන් , නැත්නම් එහෙමයි කියලා පෙන්නන්න කැමති ... ඇත්තටම කියනවා නම් මේ කියන මටත් ඔවුන්ගේ මේ කියන දර්ශනයේ හරයක් පෙනෙනවා (අසම්පුර්ණ බවක් පෙනුනත් ). ඒ ඇත්ත ඇති සැටියෙන් දැකීම  නිසාද නැතිනම් , මගෙත් හරි නිලයක් තෙරපුන නිසා දැයි මට සැකයි 

22 February 2014

මාමා ගේ ආතල් එක // metathesiophobia

පහුගිය දවසක අපේ පළාතේ පොඩි කලබලයක් විය . හිරිකිත මන්දිරයේ ලොකු මාමා හිටි අඩියේ ආගිය අතක් නැතිවිය . දවස් ගණනක් ගෙදර ඇවිත් නැත .
ගෙවල් වලට නොම්බර නොව නම් තබන කාලෙක තැනුණු ඒ නිවසේ , හරි නම කුමක්දැයි දැන් කාටවත් මතක නැත . බිත්තියේ කෙටු අකුරුද මැකී ගොසිනි . නමුත් මතක ඇති කාලේක සිට කොල්ලෝ කුරුට්ටෝ , උන්ගේ තාත්තලා , උන්ගේ සීයලා හැමෝම ඊට කිව්වේ ඔය නමය .

ලොකු මාමාත්  පොඩ්ඩක් විතර එක විදියක චරිතයකි .
අහුවෙන්නට කිසිම හොරයක් වංචාවක් නැති , එහෙත් ඉඳ හිට මොකක් හරි බයිට් කතාවක් කියා කඩ මන්ඩියේ
 හැමෝගෙම උසුළු විසුළු වලට ලක්වෙන චරිතයකි . ලඟකදී සිට ඔහු ටිකක් මද සිහියෙන් මෙනි යැයි  කිහිප දෙනෙක් ම කීහ 
. අර කලින් කීවාක් මෙන් ඔහු ආගිය අතක් නැති වුයෙන් , සියලු දෙනාම ඔහුව සොයන්නට විය .

"..හිටියේ හොඳටම හිත රිදිලා , ගෙදරම එවුන් එක එක ඒවා කියනවනේ " ඒ කිව්වේ නැන්දාය
"සීයට  මුනේ රැවුල නෑ  , කිසි ගතියක් නෑ  කිව්වා" පොඩි මුණුපුරාද  හූ මිටි තැබීය .

"මේ මනුස්සයා ලෙඩ දුක වෙච්චි , හිතුවක්කාර කමට කරන දේවල් ..ඔහොම හිටියට මේ වයසටත් හරි දඩබ්බරයා " නැන්දා  දිගු සුසුමක් හෙළුවාය 


අපි ගුරු පාර දිගේ ඇවිද යන්නට වුනෙමු
"ලොක්කගේ සිහිය විකල් වෙලාද දන්නේ නෑ  " අයෙක් යෝජනා කළේය 
" මම නම් හිතන්නේ මාමා ප්ලැන්  කලා මේක . දේපලත් ලියුවලුනේ " තවකෙක් කීය 

"අනේ උන්දැ  ගේ දෙපළ ලිවිල්ල ..පරාණ  බුක්තිය තියාගෙන ලියුවේ " ඒ සජියාය . නෑ කමට ඌ බෑණා  ය 

" අඩේ  ...මෙන්න ඉන්නවෝ ..." ගාමිණි කෑගැසුවෙන් , සියලු දෙනා ඒ දෙසට දිව ගියෙමු .
ඈතට පැතිරුණු හබරල යායක , මහා හබරල පඳුරකට මුවාවී ඇන තියාගෙන වාඩිවී , මාමා සිටින්නේය .


"මොකෝ මාමේ මේ? " පුස් රංජා කතාවට මුල පිරීය .

"මට ඉන්න දීලා  පලයල්ලා " ..මාමා  හිටිවනමය 

"මොකෝ මාමේ කවුරුත් කරදර කලාද ?"

"නෑ "

"එහෙනම් කවුරුත් බැන්නද ?"

"බැනුම් නම් අහලා මට එකනම් දැන් කිසි ගානක් නෑ...මට බය හිතුනා  කොල්ලෝ   "

මොකෝ කියන්නේ ? ඒ මොකද ? අර පාලිතයා  නේද ? උගේ නැහැදිච්ච කමනේ . නැත්නම් මේ තාත්තා  වගේ ඉන්න මනුස්සයට තමුසේ ඕයි  කියලා ගහන්න පනියිද ?

" ඒවා ඉතින් කාපු බීපු වෙලාවට කරන දේවල් නේ ...ඒක  නෙමෙයි 

එහෙනම් ? අර හෙන කඳ යා වගේ ඉන්න රවියා මාමට සද්දයක් දැම්මද ?

අයියෝ ඌ ඔය විසිල් ගැහුවට බල්ටි නෑ  . මම එක දන්නවා කොල්ලෝ .

(රහසින් මෙන් ) එහෙනම් අල්ලපු ගෙදර රැවුල්  මාමාගේ ගෝලයෙක් වත් ...

අනේ උන් නම් අපරාදේ කියන්න බෑ  කටක් ඇරලා මොකුත් කියන්නේ නෑ  ..

එහෙනම් මොකක්ද ?

(වට පිට බලා . පරිස්සමෙන් ..) කෑගහන්න එපා බන් අරුන් ඇහැරෙයි ..

කවුද ?

රට්ටු බන් රට්ටු ....මට බය හිතුනේ උන් ඇහැරිලා මගේ ආතල් එක කඩයිද  කියලා .


පලි. සියලු සිදුවීම් , චරිත මනකල්පිතයි (සත්තයි). කිසියම් ජීවමාන චරිතයකට සමාන බවක් පෙනේ නම් එය අහඹු සිදුවීමකි .

19 February 2014

අපි නොදන්න Charity // What do you think about පුණ්‍යා තන.

(හදිස්සියට ලියන්න ගිහින් හෙඩ් ලයින් එකේ වැඩිපුර ස්පේස් එකකුත් වැටිලා :) )

 මම පොඩි කාලේ දැන ගෙන හිටියේ පුණ්‍යාතන දෙකයි . ගමේ මරණාධාර සමිතියයි , සර්වොදයයි .


ගමේ මරණයක් වුනාම මරණාධාර සමිතියෙන් ගහනවා බැනර් එකක් ගෙදර ඉස්සරහ . සර්වෝදයෙන්  කොඩි විකුනනවා සතියක්  තිස්සේ. අපි සල්ලි දීලා කොඩියක් අරන් ගහ ගන්නවා ෂර්ට් එකේ ඔක්කොටම පෙනෙන්න . අර සර්වෝදයේ ලාංචනය ,ධර්ම චක්‍රය ,මැදින් හිලක් හදලා එල්ල ගන්නේ කමිසයේ දෙවෙනි බොත්තමේ .


පස්සේ කාලේ  මේ වගේ ආයතන ගොඩක් තියන බව දැන  ගත්තත් මේවයේ ක්‍රීයා  කාරිත්වය ටිකක්‌ ගැඹුරෙන් දැන ගන්න ලැබුනේ මෙවැනි ආයතනයක් එක්ක ටිකක් ලඟින් වැඩ කරන්න පටන් ගත්තට පස්සේ . ඒක  වෙන කතාවක් 


පුණ්‍යාතන  කිව්වට මේවට ඉංග්‍රීසියෙන්   කියන්නේ non profit organisations කියලා නේ . ඒ කියන්නේ ලාබ  නොලබන ආයතන . ඒත් ලාබ  ලබන  හැම ආයතනයක් වගේම , මේවයින් කරන්නෙත් ඉල්ලුමට සරිලන සැපයුමක්  නේ . එතකොට මොකක්ද ඉල්ලුම ?

 ..... මෙනෙහි කර කර ඉන්න,  පින් කියලයි මට හිතෙන්නේ . (ලෝකෙට පෙන්නන්න පරකාසේ ටිකක් එහෙමත් හම්බු වෙනවා තමයි... අර බොත්තමේ ගහ ගත්ත කොඩිය වගේ  )

ටිකක් වටේ ගියා දෝ මන්දා . ආයිත්  ට්‍රැක්  එකට එමු . ලඟදි අහන්න ලැබුන දෙයකින් මම මේ ආයතන ගැන අලුත් විදියට හිතන්න පටන් ගත්තා .


මගේ හිතේ ලියවිච්ච දේ කතා තුනක් හැටියට ලියන්නම්


1 වෙනි කතාව


ඔන්න හිතන්න විශ්ව විද්‍යාලයකින් උපාධියක් අරන් එලියට එන උගත් තරුණ මහත්තයෙකුට ආරාධනාවක් ලැබෙනවා ඔහුගේ අනාගතය හැටියට මේ වගේ ආයතනයක ප්‍රධානියා හැටියට කටයුතු කරන්න .


"පඩි නම් මාකට් එකත් එක්ක තරඟකාරී නෑ  . ඒත්  ලෝකෙට වෙනසක් කරන්න ඔබේ හැකියාව, ශ්‍රමය වියදම් කරන්න අවස්තාවක්"  කියලයි ඉන්ටවිව් එකේදී කියන්නේ   . 


ඔහු එය බාරගතොත් opportunity cost එක (මේකට සිංහල වචනය නම් දන්නේ නෑ . සමා වෙන්න ) සල්ලි වලින් ගත්තොත් සෑහෙන ගානක් වෙන්න පුළුවන් .

බොහෝ වෙලාවට ඔහු එය බාර නොගනීවි . නමුත්  පස්සේ කාලෙක කිසිම පැකිලීමක් නැතිව ටින් කැටයකට ආධාරයක් දමාවි . නැත්නම්  අර කලින් ගණන් හදපු ගානට  වඩා අඩු ගානක් , දන්  දේවි . 
වැඩ දෙකම කෙරෙනවා.

ඒත්  ඔහු එය බාර ගත්තා නම් ඊට වඩා වෙනසක් සමාජයට සිදුවිය හැකිව නොතිබුනාද ?


එසේනම් මම යෝජනා කලොත්  , මේ ආයතන එකතු කරන සම්මාදමෙන් මේ ආයතන වල සේවකයන්ටත් උපරිම වැටුපක් ගෙවන්න කියලා , ඔබ කුමක් කියයිද ?


ඔබේ නොමසුරු ආධාරය අපේ ආයතනයේ සේවකයන්ගේ පාරිතෝෂික දීමනා සඳහා  ලබා දෙන්න කිව්වොත් , ඔබ දමයිද කැටයට සල්ලි ?

(හැබැයි මෙහෙම නොකීවත් අපෙන් එකතු කරන සල්ලි , නොකියන දේට නොයනවා කියලා යෑ )



2 වෙනි කතාව


ඔන්න කෙනෙක් එනවා ටින්  කැටයක් අරන් ආධාරයක් බලාපොරොත්තුවෙන් . ( හරි අපි කියමු  ටිකක්  ඇහැට කනට පෙනෙන ගෑනු ළමයෙක් කියලා ) 


රුපියල් දහයේ කාසියක් අතට අරන් ඔබ අහනවා මෙහෙම 


"නංගි  මොකක්ද මේ ආධාරයෙන් කරන්න හදන්නේ?  "


" අපි මේ සල්ලි එකතු කරන්නේ අපේ සංගමයේ සේවය ගැන ඇඩ්  එකක් දාන්න '


"මොකක් කිව්වා ? "


" එතකොට වැඩියෙන් මිනිස්සු අපේ ආයතනය ගැන දැන  ගෙන  වැඩියෙන් ආධාර  දෙනවා  " (වැරදි නෑනේ )


" ඒවුනාට මේ ආධාරයෙන් මොකක් හරි සේවයක්ම කලා නම් තමයි හොඳ නේද , පවුලකට වැසිකිලියක් , වහලකට ශීට්  දෙකක් , උදැල්ලක් , පොඩි එකෙකුට පැන්සලක්  , අඩුම ගනනේ බල්ලෙකුට ආප්පයක් .." (එතකොටනේ අපේ හිතට හරි )


ලාබ  අරමුණු කරගත් ආයතන වෙළඳ ප්‍රචාරණයට සල්ලි වියදම් කරන්නේ , ඉන් වැඩියෙන් ගනු දෙනු කරුවන් අද්දවා ගත හැකි බව දත් නිසා .

මිලදී  ගන්නා සබන් කැටයේ මිලට වෙළඳ ප්‍රචාරණ වියදම්ද ඇතුලත් බව දතත්, කිසි පැකිලීමකින් තොරව එය ගෙවන අපට පුණ්‍යාතනයකට දෙන මුදල් වැඩි වැඩියෙන් දානපතියන් අද්දවා ගැනීමට , ප්‍රචාරණයට වියදම් වෙනවා කියලා දැන  ගන්න ලැබුනොත්  හිතට නිකන් මෙව්වා එකක් හිතෙන්නේ ඇයි   ?


3 වෙනි කතාව


සාමාන්‍යයෙන් ආයෝජනයක ප්‍රතිලාබය වැඩි වෙන තරමට අවදානම වැඩිවෙනවා නේ . (Greater the return , greater the risk)


අපි කියමු අපේ ගමේ මරණාධාර සමිතියේ අරමුදලින් කොටසක් සක්විති කාරයා  ළඟ ආයෝජනය කරන්න කවුරු හරි යෝජනා කළා කියලා ... ඔහුට වෙන දේ ගැන කියන්න ඕනේ නෑ නේද .


අරමුදල් වැඩි කර ගැනීමට ලාබ  ලබන ආයතනක එසේ අවදානමක් ගැනීම පිළිගත්තත් , මෙවැනි ආයතනයක එවන් අවදානමක් ගෙන ආයෝජනයක් කිරීම අපි පිලි නොගන්නේ ඇයි   (ඔබ කියයි මේවායේ තියෙන්නේ අනුන්ගේ සල්ලිනෙ කියලා . එහෙනම් හිතන්න බැංකුවක් ගැන ) .



පලි :මෙන්න අර මම කිව්ව වීඩියෝ එක සමහර විට ඔබ මේ විඩීයෝ එක බලලත් ඇති . නැත්නම් විනාඩි විස්සක් තියෙනවනම් බලන්න වටිනවා .




15 February 2014

කවිද මන්දා

මේවා කවි ද මන්දා . ඒත්  ඔහේ ලියවුන දේ .
කාටවත් විරුද්ධව නෙමෙයි , නිකන්ම හිතුන දේ .


පෙබරවාරි 5දා

කොඩි ගහෙන් බාලා
හතරට නවලා
අරන් තිබ්බා පැත්තකින්
සිංහ කොඩිය


නෙලුම් කුළුන (යෝජිත )

 හිස් වුනත් බන්ඩිය
උදේට ගහන කුඩාරම්
ලෝකෙටම පෙනෙන්න
පිරිමි කම


Out growing a belief

My daughter ...
she out grew the belief
when she was five
of the man in the red suit
who knew when you were good
 or bad

But in God
still believe
I


සතුටේ පිරිවැය

කිරි පිටි
හාල් මැස්සෝ
පරිප්පු
මිල වැඩිවුනත්

බලව් සබඳ
සතුටේ පිරිවැය එතැනම

මැක් ඩොනල්ඩුවේ
හැපී මීල් එකක්ම කීයද ?
හිල්ටන් පබ්  එකේ
හැපී අවර් එකම තුන් දාහයි
පොඩි රුපියල්

හරි හරි
එහෙම නැතිනම්
ධර්ම රාජ්‍යයක් හදන්නම වියදම
පින්වත
හන්ඩ්‍රඩ්  බක්ස්‌




13 February 2014

දුම් (ආවර්ජනයක්). Smoke (reminiscence ) ..



දුම් .
නාස් පුඩු දිගේ විත් 
හිස් කුහරය පුරවා 
සිහිය වසා ගන්නා 
මිහිදුම වගේ 
ගිරි හිස සිඹින .....මතක වගේ 

Smoke.
through the nostrils
the empty skull it fills 
spreading over the consciousness
like the mist
over the hills

...like the memories 


පලි 

Pinchpoint පටන් ගත්තේ පින්තුරයි ඒවාට ගැලපෙන පොඩි වදන් පෙලකුයි ලියන්න . 

ගොඩාක් වෙලාවට සිංහලෙන් හිතලා ඉංග්‍රීසියෙන් ලියුවා .

එතනින් ගොඩක් දුර ඇවිල්ලා මේ බ්ලොග් අඩවිය . වෙනස් වෙලා .

 අද බොහෝ දුරට සිංහලෙන් හිතලා සිංහලෙන්ම ලියවෙනවා .
ඒත්  ලියවෙන්නේ එදා වගේම , මට ඇහෙන්න , දකින්න ලැබෙන 
දේ ,අත්දැකීම් නිසා , මගේ හිතේ ඇතිවන කොනිති පාරවල් (pinch points ) ගැන . (ඒකනේ  විසිරුණු යථාර්තය මදකට පෑදී පෙනෙන කියලා කියන්නේ .).  එදා වගේම හිතේ හිරවුණු දේ කාට හරි කියා ගන්න .

පුරාජේරුවක් නෙමෙයි , ආවර්ජනයක් .... මේ පුරුද්දට  අවුරුදු හතක් විතර . 

මාස දෙකකට එක කමෙන්ට් එකක් වැටුන එදා,  කියවපු . 
මේ වැඩේ තව කට්ටිය අතරට ගෙනියන්න ඕනේ කියලා කියපු , ඒකට උදව් කරපු . 
අද කියවන,  ප්‍රතිචාර දක්වන  හැමෝටම ස්තුතියි .

For old time's sake , අද පරණ විදියටම ...

09 February 2014

ඔපරේෂන් නොමිනේෂන් ස්ටාර් (සම්පුර්ණයෙන්ම මානුෂික මෙහෙයුමකි ) - The operation report

ගාන  අඩු කරපු එකේ සල්ලි සල්ලි කියලා නොබලා ඔන්න ගිහින් ගෙනාවා පරිප්පු . ඔතාගෙන ආපු  ගොට්ට දිග ඇරලා බැලින්නම්... මෙන්න ....
මං  හිතන්නේ කොහේ හරි පොඩි එවුන්ගේ සෙල්ලමක් වෙන්ඩ  ඇති ..

මෙහෙයුම් වාර්තාව 
මෙහෙයුමේ නම : ඔපරේෂන් නොමිනේෂන් ස්ටාර් 

මෙහෙයුමේ අරමුණ : 
සතුරු කඳවුර තුලට භයානක විෂ බීජ  හා දුගඳ පැතිරෙන අසුචි හැලියක් හොර රහසේ ඇතුළු කිරීම .
මේ මගින් සතුරා අඩපන කර, අනාගත මෙහෙයුම් කිසිවකට එරෙහිව නැගී සිටීමට නොහැකි වන සේ බෙලහීන කිරීම 


මෙහෙයුම් සිද්ධාන්තය :
සටනක් පැරදී  යුද්ධය දිනමු . ( Loose a battle , win a war)


ප්‍රධාන අණ දෙන නිලධාරී : ජනරාල් පර්සි 

ජන 24:
මෙහෙයුමේ පලමු අදියර ලෙස අද "චාර්ලිස් ඒන්ජල්ස්"  ක්ෂණික 
විහිදුම් බලකාය පැරෂුට් මගින් සටන් පෙරමුණට ඇතුළු වන ලදී .  සුරුපි  සෙබලියන්ගෙන් සමන්විත මේ බලකාය, කඳවුරේ බටහිර දෙසින් ප්‍රථම ප්‍රහාරය දියත් කරන ලදී . ඇතිවූ සුළු ප්‍රතිරෝධය මැඩගෙන ඔවුහු ඉදිරියටම ඇදුනහ .

දෙවන පෙළ ලෙස ඇතුළු වූ "බේබි බ්‍රිගේඩ්" බලකායද , සටන් පෙරමුණට පිටුපසින් සීරුවෙන් (standby) තබා ඇත 

තෙවන පෙළ ලෙස බටහිර උතුරෙන් "නළුබට්ටාස්" බලකාය ද කඳවුර තුල සීරුවෙන් (standby) තබා ඇත 

ජන 30: 
"චාර්ලිස් ඒන්ජල්ස්" බලකායට  සතුරු පෙරමුණෙන් තදබල ප්‍රතිරෝදයක් එල්ලවෙමින් පවතී . මේ අතර තුර  හොර රහසේ ඇතුළු වූ බේබි බ්‍රිගේඩ් බලකාය , සතුරු රේඩාර් වලට අසු නොවී ඉදිරියටම ඇදෙමින් සිටිති .

සතුරු කඳවුර තුලම , සතුරන්ට පක්ෂ සේනා ලෙස වෙස් වලා සිටි "අලිෆන්ට් බලකායද " සතුරාගේ අවධානය වෙනතකට හැරවීම සඳහා කැප්ටන් "රැම්බෝ නදී" ගේ මෙහෙයුමින්  කඳවුරේ දකුණු දෙස විදී  නාට්‍ය මාලාවක් රඟ දක්වමින් සිටිති .


පෙබ 4;
 මේ වනවිට අසුචී  හැළිය  සහ දරුණු විෂබීජ,  කඳවුර අභ්‍යන්තරයට ගෙන ගොස් ඇති බවට ගුවන් විදුළි  පණිවුඩ ලැබී ඇත . එම නිසා සැලසුම් කල අයුරින්ම, චාර්ලිස් ඒන්ජල්ස් බලකායට පසු බසින ලෙස අණ  දෙන ලදී . මේ උපක්‍රමයට හසුවූ සතුරා , තමන් ජය ලැබී යයි රැවටී , ජයග්‍රහණය ඉහලින් සමරණ  බව ඔත්තු සේවය සැළ කර සිටි .


පෙබ 5: 
කඳවුර තුල තැන්පත් කල ජීව අවි සහ අසුචි හැලියෙන් පැතිරෙන විෂ බිජ පැතිරීමට තව සති දෙක තුනක් යනු ඇත . ඒ කාලය තුළ  එම අවි සතුරාට නිරාවරණය වන බවක් දැනුනොත් , ඔවුන්ගේ අවධානය වෙනතකට යොමු කිරීමට සුළු ප්‍රහාර එල්ලකර පසු බැසීමට නළුබට්ටාස් බලකාය සුදානමෙන් සිටිති . අවසාන තුරුම්පුව ලෙස බේබි බ්‍රිගේඩ් බලකායට  වුව සුළු ප්‍රහාර එල්ල කර පසු බැසීමට අණදිය හැක . නමුත් එසේ කිරීමට අවශ්‍ය නොවනු ඇත.

පෙබ 8; 
සටන් පෙරමුණේ තත්වය සතුටු දායකය . ඒන්ජල්ස් ලාගේ පසු බැසීමෙන් පසු සතුරා තවමත් ජයග්‍රණය බුක්ති විඳිමින් සිටිති . කඳවුර තුලට හොරරහසේ ඇතුළු වූ අනෙකුත් බලකායන් ගැන ඔවුන්ට නිනව්වක් නැත. කඳවුර තුල අසුචි බඳුන පැසෙමින් විෂබීජ ඔඩු දුවමින් තිබේ .

මෙහෙයුම සාර්ථකය .  

07 February 2014

තරු මතක

අහස පුරාවටම තරු

ඔව් , ඒත් ඔය සමහර තරු නම් දැනටමත් මැරිලා ඇති 

හ්ම්ම් ....ආලෝකයේ වේගය ...ආලෝක වර්ෂ

අර තියෙන්නේ ...අර තරු පන්තිය ඔරායන් ..දඩයම් කරුවා .  අර තරු තුන එයාගේ බෙල්ට් එක 

(ඇය  නිකටට දෙඅත් තබා ගෙන දෑස්  අල්වා ගෙන අහස දෙස  බලා සිටින්නීය )

තරු කියන්නේ ඉරවල් නේද

ඔව් ..ඒවා වටේට කරකැවෙන ග්‍රහලෝකත් ඇති 

ඔය හිතන්නේ ඒවයේත් ඇත්ද සත්තු ,මිනිස්සු ?

නැතුව , අන්න අර ග්‍රහලෝකයේ ඇති කොන්ඩේ එක කරලට ගොතපු කෙල්ලෙක් 

ඇත්තට

ඔව් ගිනිමැලයක් ළඟ වාඩි  වෙලා කොල්ලෙක් ගේ බොරු අහ ගෙන 

හා හා හා.....  ඇත්තට
( අපි දෙදෙනාම සිනාසෙන්නෙමු )

_______________________________________


Appachchi (අප්පච්චි )

(she calls out  still holding the marshmallow to the flame )
(ඇය  කෝටුවක  ගැසූ මාශ්මෙලෝ එක ගින්නට අල්ලාගෙනම  අසන්නී ය )

Hmm    (හ්ම් )

The sky is filled with stars (අහස පිරිලා තරු වලින් )

hmm   (හ්ම් )

What is that constellation  (මොකක්ද අර තරු පන්තිය )

That one ? Orion, අරක ?  (ඒක  ඔරායන් )

That's the hunter  right   (ඒ  කියන්නේ දඩයම් කරු නේද )

Yes                (ඔව් )

Appachchi  (අප්පච්චි )

Hmm   (හ්ම් )

Do you think there's life in those stars  (ඒ තරු වල ජීවය  ඇත්ද )

hmm   (හ්ම් )

Appachchi , what are you thinking ?   (මොනවද හිතන්නේ )

Nothing duwa  ( මොකුත් නෑ  දු )

You are lying... I can tell   ( ඔය බොරු , මට තේරෙනවා )

Hmm   (හ්ම් )

So  ? (ඉතින් ?)

I remembered  Ammi   (මට අම්මිව මතක් උනා )

Hmm    (හ්ම් )


පලි 
පහු ගිය දිනෙක තරු පිරිච්ච අහසක් යට මූදු  වෙරළක අපි තුන් දෙනා උන්නා . හිත හැම තැනම ඇවිදලා , කතාවක් ලියාගෙන ඇවිත් හොරෙන්ම තියාගෙන . ඉංග්‍රීසියෙන් ලිව්වේ ඒක ඒ අවස්ථාවට  වඩා  ගැලපෙන නිසා . අහිතක් නොසිතන්න 
සමහර වෙලාවට අපිට පෙනෙන තරු මැරිලා ..අපිට පෙනෙනකොට .
සමහර වෙලාවට අපේ ජිවිත ගලා ගිහින් , ඒත්  මැරිච්ච තරු තාම අහසේ 

04 February 2014

කකුල දිගේ ගලාගිය , සමන්ගේ නිදහස

(දැන් නම් හරිම අමාරුයි අප්පා )

"මොකද සමන් ඇඹරෙන්නේ ? ජාතික ගීය  කියනකොටවත් කෙලින් ඉන්න බැරිද "

(සිස්ස නායක රංග අයියා  ...එයා නම් කියයි... මටනේ අමාරුව ...බඩත් කොරවෙලා වගේ )

"මොකෝ ළමයෝ අසනිපයක් නම් අර රතු කුරුස වෑන්  එක ගාවට යන්න "

(මූත්  මෙතෙන්ටම වෙලා ඉන්නවා ..එක්කෝ යනවද?)

",,අප හට සැප සිරි සෙත සදනා ..."

(නෑ  තව ටිකයි නේ , ඔහොම අල්ලගෙන ඉන්නවා )

පෙරදා සවස  දහයේ වසරේ අයියලා පාසැල්  මිදුලේ වලක් හාරා  සිටවූ පුවක් ගස් කුඹ ගස මුදුනේ , අවුරුද්දකට වරක් විතර එලියට එන , ලොකු සර් ගේ  කබඩ් එක ඇතුලටම පරණ වුනු සිංහ කොඩිය ලෙළ  දෙන්නේය.

හමා ආ සුළං  රැල්ලට ඇමති තුමාගේ කිරි පැහැ  සරමද මදක් ලෙළ  දුනි . ඔහු එය වමතින් සකසා ගත්තේය.

කොඩිය මෙන් නොව සරම නම් අලුත් පාටය

(හම්මේ දැන් නම් ඉන්නම බැරිය . පෙරේත කමට අර නිකන් දුන්නු බිම බෝතලේම එකපාරම බීපු එකේ පව තමයි,  මේ නම් පටිසන් දෙන්නේ )

"...යමු යමු වී නොපමා ..."

එක්වරම කොට කලිසමත් තෙමාගෙන , කකුල දිගේ උණුහුමට  , ගලා  ගිය නිදහස....

(කවුරුවත් දැක්කද දන්නේ නෑ ? )

"ඊයා ...............චූ "
පිටුපස පේලියේ කෙල්ලෙක් කෑ ගසනවා ද  ඉන් පසු හෙමින් පටන් ගෙන පැතිරෙන කිචි බිචියක්ද දැන් මා දෙසවන පුරා ඇසේ .

මා කන් රතුවී , හිස හිරි වැටීගෙන එන සෙයක් දැනේ