30 November 2014

නළුවෝ , ගොළුවෝ සහ එළුවෝ

මංසන්ධියේ
ලයිට් කණු දිගේ , ගස්  උඩ
සිනාසෙන , බණ අහන ,
ආශ්චර්යයේ මාවත දිගේ එන්නැයි
අත වනන
නළුවෝ

කාස්ටකේ
තාප්ප දිගේ
දියාරු වට ඇනු පාප්ප පාරින්
මාසේ පඩියට
සිනා අලවන
ගොළුවෝ

තාප්ප වල ඇලවුණු
අලුත් කොළ
නැවුම්  තීන්ත සුවඳත් එක්කම
බ්‍රාස් ගා
උළා  කන
එළුවෝ

පලි :

නළුවෝ නළුවෝය , එළුවෝ එළුවෝය ..ඒත් ගොළුවෝ පව් ඕයි 

29 November 2014

කුඩා පොදු ගුණාකාරය , මහා පොදු සාධකය , පයිල්ස් සහ වෙනත් කතා // bite size nonsense

කුඩා පොදු ගුණාකාරය සහ මහා පොදු සාධකය  
කුඩා පොදු  ගුණාකාරය සහ මහා පොදු සාධකය අතර වෙනසක් ඇත . යමක් ඉතුරු නැතුව බෙදෙන කුඩාම ගුණාකාරය එකකි . අනෙක , සංඛ්‍යා වන් එක්වූ විට සෑදෙන මහාවූ පොදු සාධකයයි . නමුත් බොහෝ විට මේ දෙක පැටලේ 


ෆපයිල්ස් 
පයිල්ස් වනාහී අතිශ්‍ය භයානක ලෙඩකි . බුදින දෙයෙහි වැරදි , හරිහැටි නිදහසේ හුස්ම නොගැනීම , ශරීර ස්ථුලතාවය වැඩිවීම මෙයට හේතුන් ය . අභ්‍යන්තරයේ පයිලිස් ඇතිවිට තත්වය එතරම් භයානක නොවේ . බොහෝ අයගේ ඇතුලත මෙවැනි පයිල්ස් ඇතැයි  වෙදදුරෝ පවසති . එහෙත් ගුද මාර්ගයෙන් මේවා පිටතට ආ විට රෝගියා ඉතා අපහසු තත්වයකට පත්වේ . හිට ගැනීමට ඉඳ ගැනීමට පමණක් නොව , ගිලි දේ නිදහසේ පහ කිරීමට නොහැකිවී මහත් අසීරු තාවන්ට පත්වේ . එවිට රෝගීන්ට අතිශ්‍ය ලෙස කෝපාවිෂ්ට වේ , බොහෝ ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට පවා පෙළඹේ .

පයිල්ස් වෙදකමට  සුප්‍රසිද්ධ වෙද  මහතෙකු කොල්ලුපිටිය ග්‍රාමයෙහි  වෙසෙයි. ඔහු බොහෝ අයගේ පයිල්ස් ගැන දැන සිටියත් ඒවා ගැන කිසිවෙකුට නොකියන්නේ , ඔහු එවැනි මිනිසෙකු නොවෙන බැවිනි .

ලොක්කේ අයියගේ කතා වස්තුව 
ගමක ලොක්කේ අයියා නම්  චන්ඩියෙක් සිටියේය . ඔහු සම්ප්‍රදායිකව සුළු සුළු හොරකම් මැරකම් කර චන්ඩි ඉනිමගේ සෙමින් සෙමින් හිනි පෙත්තටම නැංගේය . ඔහු ඇන්දේ සුදු සරමය . නමුත් ඊට යටින් පුල්ලි පුල්ලි කැමා ලංකට්  එකක් ඇන්දේය . ඕනෑම වලියකදී ඔහු සරම කැහැපොට  ගහ ගන්නේය . වලියේ ප්‍රමාණයට අනුලෝමව සරම ඔසවා ගන්නා තරම වැඩිවේ . සුළු වලියකදී දන හිසට කැස  කවන සරම , ලොකු වලියකදී යටට ඇඳි  ලංකට්  එක පෙනෙන තෙක් එසවෙන්නේය . ලංකට් එක පෙනෙන විට ඔහුගේ දරුණු බව වැඩි වෙන බව ගම් වාසීන්  උගත්හ . ඉන් පසු ඔහු දකුණු පය විලුඹ  කෙලින්ම ප්‍රතිවාදියාගේ පපුවේය . වැදගත්හු බවලත්හු,  ඔහු  මේ ප්‍රදර්ශනය හමුවේ  බිරාන්ත වුහ , ලජ්ජාවෙන් රතු වී ඉවත  බලාගත්හ . අනෙක් අය ලංකට්  දර්ශනයෙන් පසු ඉරණමට බිය වුහ 

පහු පහු වී ලොක්කෙ අයියා , ලොක්කේ මාමා  වෙන කල , ඔහු තම ජීවන ක්‍රමය සැහැල්ලු කරගත්තේය . යටට ලංකට් එකක් ඇඳීම අත හැරියේය .  නමුත් සරම් ඉස්සිමේ පුරුද්ද අත් නෑරීය .එහෙත් දැන් ඉතින් පෙනෙන්නට තියෙන්නේ ඔහුගේ ලජ්ජා කුට්ටමය . (වියපත් වෙන්නට වෙන්නට , ඔහුගේ බලයට අභියෝග වැඩිවත්ම , සරම් ඉස්සීමේ වාර ගණනද  වැඩිවිය ) . නමුත් පරණ පුරුද්දට , පරණ මතකයට ගම් වැසියා , සරම එසවී  නිරුවත පෙනෙන විට සලිත වන්නට වුහ . 

නමුත් එක දිනක් , කඩ මංඩියේ ගෝරියකදී ,  ලොක්කේ  මාමා සරම ඉස්සු විට , පොඩි එකෙක් "හු හු මාමා හෙළුවෙන් කියා කෑ ගසන්නට විය ....." සියල්ලෝම සිනහ වූහ . මාමා සරම පහල දා ගත්තේය . 
(මතු සම්බන්ධයි) 

නාන ඥාන සාර පාල නාන්න වගේ 
වැලේ තිබු තුවාය කරේ දමා ගත්විට " ආ ඥානපාල නාන්න යන්නද " කියා කෙනෙක් ඇසුවේය . ඔහු පිළිතුරු දුන්නේ නැත . පනිට්ටුව අතට ගත්  විට "දැන්නම් නාන්න යන්න වගේ" යයි කෙනෙක් කී  විට ඔහු කිවේ "තාම තීරණය කරලා නෑ " කියාය . සබන් කෑල්ල ද ගත්තේය "නාන්න වගේ..."  යයි කෙනෙක් කීය  "පිස්සුද යකෝ යයි " තරහ ගත්තේය .

හෙමින් සැරේ ලිඳ ලඟට ගිය  ඥානපාල " ශා මරු වතුර ටික, ඔන්න මට  දැන් නම් නා ගන්න හිතෙනවා " යයි කිවේය .



28 November 2014

මොනවද හිතේ තියෙන බලාපොරොත්තු


ගාල්ලේ කොටුවේ විදියක් දිගේ , කැමරාවත් බෙල්ලේ එල්ලගෙන යනකොට , ඔහු මට හමුවිය .

චකිතයෙන්,  හෙමින් හෙමින් පටන් ගත්ත අල්ලාප සල්ලාපය නැවතුනේ "පින්තුරයක් ගන්නද ? " කියලා අහලා .

"මම පොඩි අත්හදා බැලීමක් කරන්න යන්නේ , පින්තුරේ ගන්න ඉස්සරවෙලා මම ඔබෙන් ප්‍රශ්නයක්  අහනවා .. පිළිතුරු දෙන්න අවශ්‍ය නෑ ..එත් මුහුණේ ලියවෙන දේ මම සටහන් කර ගන්නවා .." මම තරඟයේ නීති පැහැදුවා

"හරි "

මම ප්‍රශ්නය ඇහුවා " මොනවද හිතේ තියෙන බලාපොරොත්තු ?"

උත්තරය මුණේ ඇඳුනා .


(පින්තුරය ඔබ ක්ලික් කර , පින්තුරයේ සැබෑ  ප්‍රමාණයෙන් නරඹන්න )

24 November 2014

ජනාධිපතිවරණයේ අතුරු කථා

අදත් ඇවිල්ලද අර කොල්ලා 

ඔව් අප්පා , දැක්කම මගේ බඩ  පපුව හෝස් ගාලා යනවා කාගේ උනත් දරුවෙක් නේ 

හොඳ පවුලක වගේ ...හොඳට ඇඳලා එහෙම ඉන්නේ 

ගිහින් කතා කරලා බලමුද ?

යමු 

(ඔවුන් පාර දිගේ තරුණයා සිටි දෙසට ගියහ . තරුණයා මොනවදෝ තනිවම කියවයි . ඔවුන් මදක් ලංවෙන විට ඔහු යමක් ගණන් කරන බව ඇසුනි )

මේ ළමයෝ , මොකෝ කරන්නේ 

මම මේ ගණන් කරනවා 

ඔය පුතාගේ ගෙවල් කොහෙද ..ඔය අසනීප තියන් තනියම ඇවිදින එක හරි නෑ  . යමු අපි ගෙදරට බස්සන්නම් 

පිස්සුද අංකල් 

ඕවා  ගණන් ගන්න එපා  , ලෙඩ ඉතින් කාටත් හැදෙනවනේ 

අංකල්  මම මේ ග්‍රාමසේවක ....ලයිට් කණු ගණන් කරනවා ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලයට කියන්න 

_______________________________________

කෝ ඉන්නවද 

අයියෝ මේ සැරේ නම් ටිකෙන් මිස් උනේ , ගියා  ඉස්පිරිතාලෙට , බෙහෙත් ටික අරන් එන්න 

ශිහ්  දැන් දවස් කීයක් නම් ආවද 

මොකෝ අයියේ මේ උඹ අපේ ආච්චිව හොයන්නේ 

මේ දෙදහස් පන්සියක් තියෙනවා දෙන්න . .. මේක දෙන්න දැන් මම පන්දාහකට විතර බයිසිකලේ පැද්දා 

________________________________________

පස්වාන් දහසකට අවසර මහා රජ තුමනි 

කිමද රාජ පුරුෂය ?

දේවයන් වහන්ස , රට වැසියෙක් වාසල දොරටුවේ , ඔබ තුමා බැහැ  දකින්න ඇවිත් 

යකෝ මේ රෑ ?... රජෙක් වුනාම රෑට වැඩ තියෙනවා කියා ඌ නොදන්නේද 

මම කීවෙමි රජ තුමනි , ඔහු නොසෙල්වී සිටිනවා 

උඹ රාජපුරුෂයෙක්ද  උපාසක මහත්තයෙක්ද ? කවුද ඔය ඇවිත් ඉන්නේ 

ගොවියෙක් රජ තුමනි 

කිමද ඒ ගොයියා ඇවිත් ඉන්නේ 

අර කියූ පරිදි ඔහු මඩ සෝදා ගෙන පැමිණ සිටින බවක් තමා කිවේ 

හැ හ් 



පලි : දෙවෙනි කතාවට නිමිත්ත මිතුරෙකුගේ මුහුණු පොතේ සටහනක් 


21 November 2014

බ්ලොගර් වරු

කොන්දොස්තර වරු කොන්දා උනු
කොස්තාපල්වරු කොස්සෝ උනු
හාමුදුරුවරු , (කිමට මා පව් පුරවා ගනු )
රටේ
අසිරිය විඳීමට
ඒරොප්පෙන් විත් "බ්ලොගර්වරු "

පලි
http://www.lankadeepa.lk/index.php/articles/275966

17 November 2014

නක්ෂස්ත්‍ර ජනතා පෙරමුණද ජනපති සටනට බසී // Who wants to be an executive president ?

මාමේ 

ඕ 


පොද්දා කවුද දන්නේ නෑ  නේද 


එකනේ බං වැඩේ , රනිල් හොඳයි කිව්වත් වැරදියි , නෝනා හොඳයි කිවත් වැරදියි , සාදු හොඳයි කිව්වත් වැරදියි 


එතකොට මාමේ මෛත්‍රී 


බෝධි සත්වයෝද ? උන්නාන්සේ බුදු වෙන්න තව කල් තියෙනවනේ 


ඇත්තටම මාමේ කවුරු ආවත් පරද්දන්න ලේසි නෑ නේ 


ලේසි නෑ කියන්නේ ...ඔක්කොම එන්නේ ලොක්කව පරද්දන්න ඕනේ කියා ගෙන නේ . ඒ කියන්නේ ලොක්ක දිනුම් බව නිකම්ම වාගේ පිලිගෙන නේ  . ඉතින් ටොස් එක දාන්න ඉස්සෙල්ලම මැච් එක දිනලා


ඒත් මාමේ මේ කට්ටිය කියන දේවලත් ඇත්තක් නැත්තේම නෑ  නේ ?  අර ඉරේ , හටනේ , බලේ ...ගිරිය පුප්පන් කියන්නේ 


කොලුවෝ , කට්ටිය හදන්නේ ජනතාවගේ බුද්ධියට , හද ගැස්මට , තාර්කණ ඥානයට , හර්ද සාක්කියට කතා කරන්න  . අපේ ගොඩක් අයට ඒවා නෑ නේ  , ඉතින් වැඩක් නෑ 


එහෙනම් මොකටද මාමේ කතා කරන්න ඕනේ 


කතා කරන්න ඕනේ බඩට බං . දවසේ අවශ්‍යතාවය බඩමයි . . අනික ඔය  දේශපාලන කොමඩි බලන්නේ කී දෙනාද ... බැලුවත් ඒවායේ කියවන දේයි  හා රටේ දේශපාලනයයි අතර කඩ ඉරි සම්බන්ධ කර ගන්නේ කීයෙන්  කී දෙනාද


ඉතින් ක්‍රමයක් ඇත්තෙම නැද්ද මාමේ 


තියෙනවා 


මොකක්ද ?


මම පක්ෂයක් පිහිටුවාගෙන ඉදිරිපත් වෙන්න  ඉන්නේ .


පුහ්  ....මේ අපේ මාමා ?


ඔව්. අපේ පක්ෂය නක්ෂත්‍ර ජනතා පෙරමුණ . අපේ රටේ මිනිසුන්ට බඩට වැටෙන දේට වැඩියෙන් ඇඟට දැනෙන දෙයක් තියෙනවානම් ඔය නක්සස්තරේ අතේ වැඩ තමා . ....කරන්න ඕනේ ලොක්කා පැරදෙනවා කියලා බීජයක් මිනිසුන්ගේ හිත්වල පැල  කරන එක . ....එක කරන්න ඕනේ මිනිස්සු විශ්වාස  කරන කෙනෙක් ලවා 


එහෙනම් අපි වීරවංස මහත්තයට කියමු 


අනේ මේ උඹ මාව විහිලුවකට ගත්තද ? 


එහෙනම් නාථ  දෙයියෝ ?


බුදු හාමුදුරුවන්ටත් වඩා මිනිස්සු විස්වාශ කරන කෙනෙක් වෙන්න ඕනේ 


කවුද මාමේ එහෙනම් ?


සාස්තර කාරයෙක් ..ඉතින් අපි ඉස්සර වෙලා සාස්තර කාරයෙක් ගැන පොඩි හයිප්  එකක් හදනවා ... සාස්තර දෙකක් තුනක් කියලා . කතරගම දෙයියෝ කතා කරනවා .... පාරේ රහතුන් වහන්සේලා යනවා පේනවා වගේ කතා කියලා ...ඊට පස්සේ අසාධ්‍ය මරණාසන්න වගේ රෝගීන් දෙතුන් දෙනෙක් සුව කරනවා 


අපේ අගමැති තුමා වගේ ?


තුහ් උඹ කියන කතා ..


කොහොමද මාමේ එහෙම කරන්නේ 


ඇයි බං  ඔය රට වටේ පල්ලි වල පාදිලි ලා , විනාඩි දහයෙන් පිලිකා  නැති කරන්නේ 


අනේ මන්දා ...ඉතින් ඊට පස්සේ 


ඊට පස්සේ , ඉදිරිපත් වෙනවා ජනාධිපතිවරනෙට ...පෝස්ටරේ ගහන්නේ .."අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි  මීළඟ ජනාපයි  මන්ත්‍රා චාර්‍ය  හිටිවන කවිරත්න ".......ඉස්ටෙජ් වලට නැගලා කෑ  ගහන්නේ නෑ . මඩ  ගහන්නේ නෑ . ..කියනවා ,සිකුරු අතන රාහු මෙතන , ලොක්කා අනිවාර්යයෙන්ම පරදිනවා , මම දිනනවා ...අන්න බීජේ පැල කරනවා 


ඉතින් මාමේ දිනුවම මොනවද කරනවා කියන්නේ ...විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියනවද ...ජිවන වියදම අඩුකරනවා කියනවද ...දුෂණය නැතිකරනවා කියනවද ? යහපාලනය ?


ඒවා මොකුත් මිනිස්සුන්ට වැඩක් නෑ බං  ... 

වෙන් වූ අඹු සැමියන් ලං කර දෙමි ...හැරගිය සැමියා නැවත ගෙන්වා දෙමි ....සිත් ගත්  යුවතිය ලං කර දෙමි , ක්ෂණික මෝචනය , බෙලහීනතාවය  සුව කරදෙමි ...අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි ...මුද්දර ඇලවූ ලියුම් කවරයක් සමග විමසන්න .. ජය නියතයි කොලුවෝ  

14 November 2014

ශ්රෝඩින්ගර්ගේ බළලා සහ මාමා ගේ පෙට්ටිය (Unfortunately not a thought experiment)

පෙරවදන :
මේ හදන්නේ බල්ලාගෙ වැඩෙයි,  එළුවාගේ වැඩෙයි දෙකම බුරුවෙක් කරන්න . මා භෞතික විද්‍යාව ගැනවත් , දේශපාලන විද්‍යාව ගැන වත් ගැඹුරින් හදාරා නැති හෙයින්  මුලින්ම සමාව භජනය කරනවා මේ සටහනේ වැරදි ඇතොත් . ඒවා නිවැරදි කරන ලෙසද කාරුණිකව ඉල්ලමි 



ශ්‍රොඩින්ගර් (Schrodinger) නම් භෞතික විද්‍යාඥඥයා ගැන ඔබ අසා ඇත්තේද . ඔහු ප්‍රකට මනෝ පරීක්ෂණයක් ( Thought experiment) කළේය . ඔහු පෙට්ටියකට බළලෙක්  දමුවායයි සිතන්නට කිවේය . ඒ පෙට්ටියටම විකිරණශීලි ද්‍රව්‍ය සාම්පලයක් , ගයිගර්මානයක්  හා වස බඳුනක්ද සිතෙන්ම දැමුවේය . ඉන්පසු පෙට්ටිය සීල්  තබන්නේය . විකිරණශීලි බව වෙනස්  වීම හේතුකොට , ගයිගර්මානය  ක්‍රියාත්මක වී  වස බඳුන බිඳී  බළලා  මියයාමේ සම්භාව්‍යතාවයක් ඇති බව ඔහු පවසන අතර , එය තනිකරම අහඹු ක්‍රියාවක් බවද පවසනවා . ඔහු අහනවා පෙට්ටිය අරින්නේ නැතිව , කියන්න බළලා  මැරිලද , ජීවත් වෙනවද .....?  ...ඔහු මෙහෙම කියනවා.... බළලා  මැරෙන්නේ හෝ ජිවත් වෙන්නේ නිරික්ෂයාගේ සිතුවිල්ල කරණ කොට හෙයින් , මේ මොහොතේ බළලා  මැරිලාවත්  ජීවත්  වෙන්නෙවත් නැත....... එතකොට බළලා  මැරෙන්නේ හෝ ජීවත්  වෙන්නේ නිරීක්ෂකයාට  එහෙම සිතුවිල්ලක් ඇතිවී එය ප්‍රත්‍යක්ෂ වෙන නිසා 

දැන් මම හදන්නේ ඔබේ අවධානය මේ දිනවල හරිම ජනප්‍රිය වෙනත් පෙට්ටියකට යොමු කරන්න . .. . අන්න හරි ...කතිර පෙට්ටිය ... මේ පෙට්ටියත් තාම සීල් .. (ඒ තියා අඩුම ගණනේ සීල්  කඩන දවසවත් තාම කියලා නෑ නේ )  . ඒත්  මේ පෙට්ටිය ඇතුලෙත් දෙන්නෙක් ඉන්නවා . ජයග්‍රාහකයෙක් සහ පරාජිතයෙක් . (දෙන්නෙක් කිව්වට තාම ඉන්නේ එක්කෙනයි . අනිත් එක්කෙනා තාම එලියට ඇවිත් නෑ . ) .. . 

ඉදින් , කවුද දිනුම් කියලා අසනවාට වඩා නිවැරදි පැනය ,  ඒ ඉන්න එක්කෙනා දැන් දිනුම්ද පරාදද කියන එකයි ? 

දිනන්නේ හෝ පැරදෙන්නෙ ජනතාවගේ , නිරීක්ෂණය , චිත්තය හා ඒ නිරීක්ෂණය ප්‍රත්‍යක්ෂ  කරණ  කොට හෙයින් ඔහු තවම දිනුම් වත් පැරදුම් වත් නැතියයි  අයෙක් කියන්නට පුළුවන .. ඒත්  ඇත්තටම එහෙමද ?  

නමුත් මට නම් පෙනෙන්නේ ,  එතුමා මේ වැඩේ හරියටම ටැකල් කර ඇති බවකි   . චන්දයක් දිනන්නේ මිනිස්සුගේ කැමැත්තෙන් නොහොත් චන්දයෙන් නොව ,  තමන් දිනු බව ඔවුන් පිළිගත් විට බව ඔහු හරියටම වටහා ගෙන ඇත . 

ඉතින් චන්දෙට කලින්ම ඒ සිතුවිල්ලේ බීජ  පැලකරන්න , හොඳින් පොහොර , දිය දා සාත්තු කරන්න , සිතුවිලි මිනිසුන්ගේ හිත්වල් පත්තියම් කරන්න  කටයුතු කලහම අහවරය  . 

එතුමා , ගාමිණි මෙන් කිහිප දෙනෙක් සමග එකවිට ගහගන්නවාට වඩා රොකි වගේ ද්වන්ධ සටනට මනාපය . ප්‍රතිවාදීන් වැඩිවෙන තරමට අගේනස්ට්  එකට ඇති සපෝර්ට්  එක බෙදී යනවා, එයින් වාසියක් වෙනවා නේද  යයි ඔබ සිතෙන්නට  පුළුවන . ඒත් ඔය රොත්තම ඇවිත් ගහන කොට, සියලු දෙනා ගැනම අවධානය යොමු කරගෙන සිටීමට නොහැකිය . ඔය රෝත්තේ බොහෝ අය එන්නේ  පයිට් එකෙන් දිනන්නට නොව , සපෝර්ට් එකට පාරක් දෙකක් නෙලන්නට , අඩුම ගන්නේ හූවක්  වත් තියන්නට විතරමය  . නිකන් හරි වැරදිලාවත් එවැනි එකෙක්ගේ පාරක් මර්මස්ථානයකට  වැදුනොත් එහෙම කියලා වැඩක් නැත ...යටිබඩ අල්ලන් දෙකට නැවී ඉන්න දොහේ , නිකම්ම පැත්තක ඉන්න හාල්පාරුවෙක් දිනන්නට පුළුවන . 

යටට ඇඳි කැමා සෝට  බාගෙට වගේ පෙනෙන්න , සරම කැහැපොට  ගහගෙන , "කට්ටිය පිටින්ම එන්නේ නැතිව තනි තනිව වරෙන් ඩෝ  පයිට් එකට " කිව්  තැන සිට ... 

වටේ ඉන්න එවුන් ඔන්න ගියා මෙන්න ගියා කියා ... ඒවුනාට නොගිහින් "ලංසුව  තියන්න ඕනේ දිනන අස්සයෙකුටනේ " කියන තැන දක්වා 

......පයිට්  එකට දිනයක් සෙට් නොකර , "මොකෝ බයද ? ඔන්න අපි නම් එවරෙඩි " කියන තැන දක්වා  

....ප්‍රතිවාදීන්ට  ටෙලිපෝන්  කෝල් දී "ඕල් ද බෙස්ට් ෆෝ ද ෆයිට් හොඳේ , සටනට එනකොට මතක ඇතිව හොඳට යටට ඇඳලා  එන්න  " කියන තැන දක්වා ,

 "කොච්චර චන්ඩි සිටියත්  , සටනට  කලින් දවසේ පිට චන්ඩි දාලා අඬුවක් දෙකක් අඹරලා දාන්නත් පුළුවන්නේ, අපි කරනවට නෙමෙයි ඉතින් "  කියන තැන දක්වා .....

"පොඩ්ඩක් ඉන්නකෝ මම මේ පයිට්  එක දිනනකන් ඊට පස්සේ අපි ශ්‍රමදානයක් දාලා ඔය ගුරුපාර එක විදියක් කරලා දාමු " කියන තැන දක්වා   ...මේ ක්‍රියාත්මක වෙන්නේ ඒ සැලැස්මයි .

 මට නම් හිතෙන්නේ එහෙමයි 

පලි : ජාතික ලොතරැයියේ ටැග් ලයින් එකක් තිබ්බා "දිනුවත් දිනුම් , පැරදුනත් දිනුම් " කියලා . සමාන්තර විශ්වයක ලොතරැයියක් ඇති "පැරදුනත් පරාදයි දිනුවත් පරාදයි " කියලා 

13 November 2014

අම්මා සහ අප්පච්චි

මහ පොළොවටවත් 
බර 
දැනෙනු නොහේ 
සීරුවට 
දිවි ගෙවූ 
අපේ අප්පච්චි
සිනැහේ 
පින්තුර රාමුව විනිවිද 

මහ පොලොව වගේ 
නෙක දුක් කන්දර 
මෙරක් 
දරා ඉවසූ 
අපේ අම්මා 
පැන්  වඩන්නීය 
සුසුම් හද තුළ  හංගා 
පරණ පුරුද්දට 

09 November 2014

නිශාවේ අග මුරය // The graveyard shift


"උඹ දන්නවද අපේ අප්පච්චි ..මට නම තියලා තියෙන්නේ ..."

ඔහු වාක්‍යය අවසන් නොකර ම  කහට කෝප්පයට සීනි  හැන්දක් දිය කළේය . 

අමල් වේලාව  බැලීය  . අව පහ ගැහුණු ඔරලෝසුවේ වීදුරුව , 02:30 ඇඳි  ඉරි ඉල්ලක්කම්  , නිවී නිවී දැල්වෙන මැද  තිත් දෙක . පාන්දර දෙක හමාරයි ..ලොග් පොත දිග හැර  , බෝල් පොයින්ට් පෑන  දෙසැරයක් ගැසුවේ අවශ්‍යතාවයට වඩා පුරුද්දටය . 

"මට නම තියලා තියෙන්නේ නිශාවේ අන්තය කියන තේරුමෙන් . .. උඹ දන්නවද නිශාව කියන්නේ රෑ  "
හැඳි පහරෙ නැගුනු සුළියේ , සීනි කැට රවුමට රවුමට කැරකේ ...සෙමින් දියවේ  

"හ්ම්ම් "  අමල් ගේ පුර්ණ අවධානය ලොග් සටහනටය .

"රෑ අග , කළුවර ඉරාගෙන පැතිරෙන එළිය  කියන තේරුමෙන් තමා , මට නම තියලා තියෙන්නේ ..... 
චටාස්...තව කොයිල් එකක් පත්තු කරන්න වෙයි බං  , හරියට මදුරුවෝ , "
හේ  තොප්පියෙන් මදුරුවන් එලවන්නට විය .

"උඹ දන්නවද අපේ අප්පච්චි සිංහල ගුරුවරයෙක් ,"

"උඹ කිව්වේ එදත් ... නිසාන්ත අයියේ මම පොඩ්ඩක් ඇහැ පියා ගන්නම්,  උඹ පාන්දර වෙනකං  මේ සිෆ්ට් එක කරපන් ඈ " 

උඹ දන්නවද , අපේ අප්පච්චි මළා බං,  මම මේ රස්සාවට ආපු දවසේ , පපුවේ අමාරුව හැදිලා ...

08 November 2014

භූත නිවාස සංචිතය සහ මම // Directory of haunted houses and me

නගරය පුරා පැතිරුණු කුඩ විප්ලවය ගැන සද්දේ,  හෙමිහිට අඩුවීගෙන යනවා . 

හරියට පාරේ වාහනේකට අහුවෙච්ච සතෙක්ගේ මළකුණ වගේ . 

මුලින් මුලින් කට්ටිය වට වෙලා බලනවා කතා කරනවා . ටික වෙලාවකට පසු එය මග හැර යන්න මිනිස්සු පුරුදු වෙනවා . ඉන් පසු කපුටෝ ඇවිත් මළකුණ අවුස්සනවා . බොකු , ඕජස් පාර පුරා පැතිරෙනවා . දැන් සමාජයට , සාමන්‍යය ජිවිතයට මෙය කරදරයක් වෙනවා . ඉන් පස්සේ සියල්ලන්ගේම ඔල්වරසන් හඬ මැද කවුරුන් හෝ මේ මළකුණ වළලනවා .

පහුගිය සතියේ අලුත් පුවතක් මෙහෙ පත්තර වල මුල් පිටුව පුරා ඇලවිලා . ප්‍රධාන විදෙස් බැංකුවක  තරුණ විධායක නිළධාරියෙක් , අබිසරුලියන් දෙදෙනෙක් මරා දාලා . එක මිනියක් සුට් කේස්  එකක ඔබලා , දවස් ගණනක් . ...

මේ පුවත ඔස්සේ යනකොට මට හමු උනා අපුරු අන්තර්ජාල පිටුවක් . මේ නගරයේ භූත  නිවාස (directory of haunted houses ) නාමාවලිය . භූත නිවාස කිව්වට , මෙහි තියෙන්නේ , සියදිවි නසා ගැනීමක් , මිනි මැරුමක් සිදුවුණ නිවාස වල විස්තර . මෙය යාවත්කාල කරන්නේ පොලිසියෙන් . එය නීතිමය අවශ්‍යතාවයක් . 
චීන ජාතිකයන් තදින් විශ්වාස කරන ෆන්ෂුයි ශාස්ත්‍රය අනුව මේ නිවාස ඉතා අසුභයි . ඒ නිසාම මේ නිවාස වල වෙළඳ පොළ වටිනාකම , වානිජ අගය,  ඉතා අඩුයි . සාමාන්‍ය වටිනාකමෙන් 10% ක් විතර , ඇතැම් නිවාස . සිදුවීම සිදුවූ නිවාසය පමණක් නොවේ ඇතැම් විට මුළු මහලම , වාණිජ අගය අඩු වෙලා .

නිවසක් ගැන හීන  මවන, එහෙත් ඒ සඳහා අරමුදල් සොයා ගන්න අපහසු (ඌරන්ට මොන සෞඛ්‍ය ද ?)  මට මෙය කල්පනා කරන්නට කාරණයක් . 

එහෙත්, හොල්මන් ගැන විශ්වාස නොකරන , මියගිය කෙනෙක් නැති නිවසකින් අබ සොයා ගිය පටාචාරාවගේ කතාව දන්නා මම  මෙවැනි නිවසක් ගැන හිතන්නට මැළි  වෙමි . ඒ ඇයිදැයි කියා නොදනිමි . ඒ ඇයිදැයි කියා සිතමි .

ඔබ මා නම් . ( අර සිංදුවේ  වගේ ඔබද මා ම වුයේ නම් ) ඔබ කුමක් කරන්නේද ? 

05 November 2014

ඔප්ෂන්ස් ( A video by gappiyaa )-


ගප්පියා ගේ වීඩියෝවක් කලකට පෙරත් PINCHPOINT හි තිරගත කරන ලදී . මේ තරුණයා දැන් ටිකක් ප්‍රසිද්ධයි . පුවත්පතකත් මොහු ගැන සටහනක් තිබුනා .

මේ වීඩියෝව ඔප්ෂන්ස් ගැන . ....

හැබැයි
Please note that this video contains violence , drug related scenes and rude remarks . Parental guidance is advised 
සිංහලෙන් කියනවනම් (අර කට්ටිය කියනවා වගේ ) "වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි "



වැඩිය වැල්වටාරම් නැතිව මෙය නරඹා මට සිතුනු දේ , මා උගත් දේ  කෙටියෙන් සටහන් කරන්නම් .
  • හැම විටම ඔප්ෂන් දෙකක් ඇත . බොහෝ විටම ඒ දෙකම එක වගේය . ඒ දෙකම අත  හැර,  අපිම තෝරා  ගන්නා තුන්වැනි තේරීමෙන් අපිට වඩාත් හානි සිදුවේ , වඩාත් කෙලවේ
  • වීරයෝ දෙවර්ගයකි . උන් නම් ඉස්පයිඩර් මෑන්  වැනි දුප්පත් වීරයෝ හා කළු අයියා වැනි බර ඇති වීරයෝ ය
  • විහිළුද දෙවර්ගයකි . හිනා යන විහිලු හා හිනා නොයන විහිලු ය  . දෙවැනි වර්ගය අයෙකුට දෙන්නේ "ඉඳා " කියා තදින්ය . බොහෝ විට එවැනි විහිළු තදින් රිදීමක් ඇති කරයි  .
  • ගැඹුරු කට හඬක් ඇත්තේ බැට්  මෑන් , නොහොත් කළු අයියාට ය  නැතිනම්  පෙර දා රෑ  සංගීතයකට ගිය අයටය .
  • දුප්පත් වීරයෝ , සල්ලි නැති නිසා හරියට කරාටේ පන්ති යන්නට බැරි වී , රී ලෝඩ් එකක් දා ගන්නට බැරිව ඉමහත් පිඩාවන්ට පත්වෙති . බර ඇති වීරයෝ කොට්ටාවේ කරාටේ පන්ති ගොස් සූර වීරකම් උගෙන , වැඩේ ගොඩ දා ගනිති .
  • බොහෝ විට දුෂ්ටයෝ හා වීරයෝ සටනට පෙර තේ එකක් බී  කෙටි සුහද සාමිචියක යෙදෙති .
  • දුප්පත් වීරයන් ගොඩ ගන්නට මුලින් පෙළ ගැසුණු මහින්ද අයියා , පසුව තම දේශපාලන ගමනේ දුර යාම නිසා බොහෝ වෙන්ට වීරයෝ, ඒ මාවතේ මග   අතරමන් වුහ  . ඔවුහු තවමත් බාග විරයෝය
     
වීඩියෝව නරඹන්න . මීට  අමතරව ඔබ උගත් දෙයක් තිබේනම් සටහන් කරන්න 

01 November 2014

අපි හිත උණු වෙන ජාතියක් ඕයි // Sympathy reload

අපි හිත උණු වෙන ජාතියක් ඕයි
සුනාමියේදීත් අනේ කියවුනු
කොස්ලන්දේ දීත් අපොයි කියවුණු
මුහුණු පොතේ
බිත්ති දිගේ
මනුසත්කම බේරෙන
කරුණාව ෂෙයාර් වෙන
පරණ ඇඳුම් 
සිලි මල්ලක හුවා
දන් දී
පාරමි පුරන
අපි
හිත උණු වෙන ජාතියක් ඕයි
උපන් දිනේට මහළු  නිවාසෙට
පල්ලි දොරේ යාචකයනට
බත් පාර්සල් බෙදා දෙන
මාවතේ බල්ලන් 
ගෙදර ගෙනවිත්
නාවන
කන්න බොන්න දෙන
අපි හිත උණු වෙන ජාතියක් ඕයි

එතකොට තාප්පෙන් එහා
අප්පා අබ්බගාත
ඉස්කෝලේ නොගිහින්
ගෙදර නැවතුනු පොඩි එකී ?
යාල් පානමේ , අලුතෙන් තාර වැටුන 
පාර අද්දර 
අව් කාස්ටකේ
අර කියූ සාමය එනතෙක්
මග  බලාන ඉන්න
පොඩි එකා ?

ශික්.
ලස්සනට ගලා ගෙන ආව
කවිය
කරුණාව
එහෙම්ම නැවතුනා 
අතරමග 
මේවා ඔලුවට අවුත්


පලි : වරදවා තේරුම් ගන්න එපා . අපි ඇත්තටම හිත උණු වෙන ජාතියක් . ඒ වගේම ඉක්මනට අමතක වෙන . 
දැන් දැන් නම් , ලෝක දෙකක් අතර අතරමං  උන . පුංචි රුපියල් පනහක කරුණාව රිලෝඩ් එකක් දා ගෙන සද්දේ දාන , ඒක  ඉවර උනාම ..  
සාමාන්‍යයෙන් මෙය සමාජයක තරුණයන්ගේ , ගැටවරයන්ගේ තත්වය . තාරුණ්‍යය තමයි රැල්ලට දේ කරන. ඉක්මනට අලුත් මාතෘකාවක් හොයන ගති ලක්ෂණ පෙන්වන්නේ  ..
ඒත් අපේ මුළු ජාතියම මේ වගේ වෙලා . සමාජයක මුහුකුරා ගිය ගති ලක්‍ෂණ... ඉවසීම , දිගු කාලීන උපායන් යෙදීම හා ඒ සඳහා කැපවීම .  තුන් කල් බැලීම ... මේ වගේ ගති ලක්ෂණ නැතිම වගේ වෙලා දෝ කියලා මට වෙලාවකට හිතෙනවා