31 July 2017

පොලු සහ ඔලු

Are you talking to me ? එහෙම ඇහුවේ ඩි නීරෝ    Taxi Driver  එකේ  . ඒත් මේ ලංකාවේ නේ . 
පැත්තක ගලවලා තිබුන බාටා සෙරෙප්පු දෙකට කකුල් රිංගන ගමන් මිනිහා ඇහුවේ " සර් හයර් එකක් යන්නද ?" කියලා 

(දැන් වාර්ෂික වගේ වෙලා තියෙන නිවාඩුවට ලංකාවට ගියවිට ,  මගේ ප්‍රියතම දෙයක් තමයි ත්‍රීවිල් රියදුරන් සමග අල්ලාප සල්ලාපය. ඉදින්  නැති ගමනුත් යොදා ගන්නේ ඒ සඳහාමයි  . 

ඒ කැමැත්ත   රටේ ඕනෑම දෙයක් ගැන විශේසඥ දැනුමක් ඔවුනට ඇති හෙයින්ද නැතිනම් මා  කැමති දේවල් , මා  කැමති ලෙවල් එකෙන් කතා කරන්න හැකිවෙන නිසාද  නැත්නම් මගේ පින්තූර  ගැනීමට පහසුම ප්‍රවාහන මග ඒ නිසාද නැතිනම් ඒ අල්ලාප සල්ලාපයෙන් මට අමුතු චූන් එකක් ලැබෙන නිසාද කියලා මම හරියටම නොදනිමි .)

ඉතින් ඔන්න අපි ගමන පටන් ගත්තා 

***
තෙල් ප්‍රශ්නේ විසඳිලාද දැන් 

පැය දෙකක් හිටියා සර් පෝලිමේ . ඊට පස්සේ  ආමි එක බැස්සුවනේ දැන් දෙයි ඔය *** ගේ පුතාලට නිල් වෙන්න 

හ්ම්ම් 

ඒ විතරක් නෙමෙයි සර් , කොළොන්නාවේ මහජනයාත් පොලු අරන් ගිහින් ඕකුන්ට නෙලන්න 

කුරුඳු පොලු ?

යහ පාලනේ නේ ඒවා නෑ දැන්, මැහෝගනී මම හිතන්නේ 

ඇයි දන්නේ නෑ ඔය වර්ජනේ ?

අර සයිටම් එකට නේ 

එතකොට අර දොස්තරලත් වර්ජනේ කරන්නේ ඒකට නේද 

නෑ උන් වර්ජනේ කරන්නේ ලංකාවේ තෙල් ලිං ටික චීනට දෙනවට 

ලංකාවේ ? තෙල් ලිං ?

ඔව් ඇයි අවුල්ද ?

***


රියදුරු සකි ගුවන් විදුලියේ හඬ වැඩි කරනවා ..

"මේ පැරණි රසාංග තීරයයි . මේ ගීතය පැරණි චිත්‍රපටයකින් .. "

පොල්ලෙන් නෙලා නෙලා 
ඔලුකටු පුපුරනා 
ප්‍රෝජාතාන්තර වාදේ 
විඳිනෙම් රඟ සොබා 

සම්පත්  ගොඩක්  ගසා 
පොළියට හිලව් තියා 
ලාබේට චීනාටම විකුනමු පනේ 

පදමට ඇඹුල් දමා 
පස්සෙන් ගෑස් ගසා 
රජ වෙන හීනේක  සුවෙයි  විපක්සේ 

රට යන තාලේ 
මේකයි රාළේ 
හැමදා පහුවෙනකොට 
ගුටි තමයි 

පොල්ලෙන් නෙලා නෙලා 
ඔලුකටු පුපුරනා 
මොන බල්ලෝ බිරුවත් 
දිගටම ගැල යනා 

යහපාලනේ කියා 
තෙම තෙම සබන් ගගා 
බාල්දියෙන් හිල් වෙන්නම
ගැහුවනෙ බොලේ  

පොල්ලෙන් නෙලා නෙලා 

***

අම්මපා සර් මමත් හොඳ දෙකේ පොල්ලක් අරං ගෙදර තියා ගන්නවා 

අර මොකටද ?

දැන් ඔය අපේ බදු මුදලින් ඉගෙනගත්ත දොස්තරලා අපේම අයිතීන් වෙනුවෙන් ස්ට්‍රයික් කරලා අපිවම අපහසුතාවයට පත් කරන කොට , එතකොට අපේ හොඳට තෙල් විරුවෝ අපිවම බයිට් එකට ගන්නකොට , එතකොට දුෂණය නැතිකරනවා කියපු එවුන් " තමුසෙලා පගාව දෙනවනම් අපිට ඕවා කියන්න එපා " කියනකොට, 
මහා ආර්ථික  මොලයක් කිව්ව එකාගේ ආර්ථික උපායමාර්ගය   ගමේ බබානිසා කරන්නැහේ  ගේ දොර විකුණනලා /  උගසට තියලා කන බොන එකම බව පේන  කොට , මේ අගාධයට ඇදලා දාපු එවුන් පැත්තක ඉඳන් " අනේ බලන්නකෝ නේද ඉතින් .." කෝචෝක් කරන කොට , ඔය පොල්ල අරන් ...

ඔහෙත් යනවා අර කොළොන්නාවේ ජනයා වගේ ?

නෑ සර් දෑත බදලා මගේ ඔලුවටම එකක් ගහ ගන්නවා 


පලි 

පොලු සහ ඔලු අතර ඇති සම්බන්ධය අනාදිමත් කාලයක සිට සිරිලක පැවතෙන්නෙකි . එක කලෙක සෝභිත හාමුදුරුවන්ටද , සරච්චන්ද්‍ර උන්නැහේටද පොලු පාර දුන්නේ කාණුවේ වැටෙන්නය . ඒ බව පත්තර වල ලියවුනාට එදා ගුටි කෑ  සාමන්‍ය  ජනයා ගැන කවුරුවත් දන්නේ නැත . රතු පස්වල වේවා , ඉන්ධන සංස්ථාවේ වේවා , අරලිය ගහ මන්දිරය ඉදිරිපිට වේවා  පොලු පහර ඔලුවකට වැදෙන විට  ගේම ෆෝම් කරන උන් පිටිපස්සේ සිට සිනහ වෙති .

එමෙන්ම "ඕකුන්ට ඔහොම තමයි උත්තර දෙන්න ඕනේ කියන විට " පොලු සහ ඔලු අතර සම්බන්ධය එකට එකක් නොව බහුතරයකට එකක් ( Not one to one but one to many ) බව අපට අමතක වේ


22 July 2017

කුනු

කුනු උනත් විවිධාකාරය
නිකං ( උපමේයක්) වගේ

[දිගට ලියා ගෙනම යම්
හිස්තැනම 
වරහන් තුල ඉතිරි කොට
සුදුසු වචනය
පය ගැටේවී
ඔහොම යද්දී]

පොලීතීන්
මහ පන්තියේ
නොදිරයි
වැලලුවත්
කාලාන්තරයකට
මෘත සරීරත්
ප්රතිචක්රීකරනය වී
පරම්පරාවම අලුත්වෙන

කඩදාසි
අහිංසක
මැද පන්තියේ
වැඩක් නැති
අකුරැවැල්
සිරස්තල හංවඩු
දරා තම දිවි පුරා
බලාපොරොත්තු වේයෝ කා
දිරායන
නොදැනීම

ඉතුරැ කුනු නම්
ඔක්කොම 
එකම බක්කියට
හීන කුනුවී ඉස්ම
හීතල පොලොවටම උරන
ජිවීතත් එහෙමම
පනුවන් ගසා
කොම්පෝස්ට්ම වෙන

*අර වරහන ඇතුලට "මිනිස්සු" ගැලපේද මන්දා