30 September 2015

විහිලු නොතේරෙන ජනාධිපති සහ Bring your kids to work day

මම හිතන් උන්නේ අපේ රටේ ජනාධිපති තුමාට හොඳට විහිලු තේරෙනවා කියලා ය .   මුලින් මුලින් සෙල්ෆි අරන් , කොහුවල ගිහින් සපත්තු අරන් විහිලු පටන්  ගත්ත එතුමා අර අමරබන්දු ගැන කිව්ව  ජෝක්ස් එක නැගලා ම ගියේය . කෙතරම් නැගලා ගියාද කියනවානම් (වල්)  කොල්ලෝ එතුමාට අමරබන්දු රූපසිංහ කියන්නට පටන් ගත්තෝය .
ඊට පස්සේ එතුමා ගිය මැතිවරණ කාලේ හොඳ ජෝක්ස් දෙකක්ම කළේය . අපි ඒවාටද හිනා වුනෙමු . ඉන් පසු එතුමා කල නැසොනල් ලිස්ට් විහිලුවටනම් බඩ  අල්ලාගෙන හිනා වුනෙමු . 

ඉතින් මම හිතා උන්නේ පොර  එතුමා හොඳට විහිලු තේරෙන පොරක්  එතුමෙක් කියලා ය . ඒත්  විහිලුවට " ඔය රට කරන්න බැරි නම් දීපන් ළමයෙකුට"  යයි කෙනෙක් කී දෙයක් එතුමා සිරාවට ( no pun intended) අරන් දෝ කියලා මට දැන් සිතේ . 

***

අපේ කන්තෝරුවේ Bring Your Kids to Work day යයි දිනයක් තිබේ . ඒ දිනට  සේවකයන් තම දු දරුවන් කාර්යාලයට ගෙන එති . පොඩි එවුන් ඇවිත් තම අම්මා තාත්තා වැඩ කරන තැන බලා කියා ගෙන යති .  කළමනාකරුවාගේ  සිට කා කා ස දක්වා ගේ  සියලු දෙනා ගෙන දරුවන් රැගෙන ආ හැකි වුවද  බොහෝ විට පැමිණෙන්නේ සුළු සේවකයන්ගේ සිට ලිපිකරුවන් දක්වා වූ අයගේ දරුවන්ය. මුලින්ම දරුවන් ගෙන ගොස් රැස්වීම් ශාලාවක හිඳුවා රසකැවිලි වලින් සංග්‍රහ කරති .  දරුවන් අසලට යන කාර්යාල ප්‍රධානියා , ඔවුන්ගේ තාත්තා මේ කාර්යාලයේ වැදගත්ම රැකියාව කරන්නා ලෙස හඳුන්වා දෙයි . (අර නාසා ආයතනයේ වැසිකිලි පවිත්‍ර කරන්නා ගේ කතාව මමද අසා ඇත්තෙමි . නමුත් අවසන පඩි පත,  වාර්ෂික පාරිතෝෂික සකසන්නට යාමේදී, කොහෙත් , වැදගත් හා නොවැදගත් රස්සා ඇති බව දැන් අත්දැකීමෙන් දනිමි . ) . මේ දිනට කාර්යාලයේ වැඩ කෙරෙන්නේ සාමාන්‍ය ආකාරයට නොවේ . විශේෂයෙන්ම සුළු සේවකයන්ගේ ආත්ම ගරුත්වය ගැන වැඩි සැලකිල්ලක් දැක්වේ . ඔවුන්ට මේසයක් දී ඒ මත ෆයිල් කවර කීපයක්ද තබනු ලැබේ . කාර්යාලයට එන පොඩි එකා හිතන්නේ තමාගේ තාත්තාත්  අනෙක් අය  සම රැකියාවක්ම කරන බවය .  පොඩි එවුන් අමතා කතා කරන තම පියා දෙස ආඩම්බරයෙන් බලා සිටින පොඩි එකා හිතන්නේ මේ ඔපීසියේ වැදගත්ම රස්සාව කරන්නේ තම පියා යයි කියාය .

බලාගෙන ගියහම එක්සත්  ජාතීන්ගේ සංවිධානයෙත්  එහෙම දිනයක් ඇත .



28 September 2015

The Sideburns (Of Colombo)

ඊයේ සටහන හා සබැඳි .

මේ ඒ නිමිත්තට ලියවුනු දෙවැන්න . ලියලා තියෙන්නේ නම් ඉංග්‍රීසියෙන් තමා . එය රස විඳීමට බාධාවක් 
කරගන්න එපා (නොවේවා )

"Sideburns : you know 
that what's left
of Nirwana nights
of guitar rifts
of Iggy pop jams
of a rock and roll past 
Sideburns : you know 
is all what's needed 
to keep it in you
like a shot of 
Rockland rum,.
Red.
still alive in your belly 
burning from within"

He says.

He still wears his black leather 
in this balmy Colombo weather

Him and I 
both gaze deep into
the blurred horizon 
beyond 
The Indian ocean
as she babysits the full moon
as she lulls herself 
to sleep

but I notice 
that the sideburns 
are cut crooked 
are turning grey 
but I 
keep silent



27 September 2015

රොක් හඩ්සන්



හඩ්ඩා  අහස දෙස බලා ගෙන සිටින්නේය . කොමලසිරි විදානේගේ හඩ්සන් , ඒ උප්පැන්නේ නම . එය හඩ්ඩා යයි ලඝු වූයේ කවදාදැයි හරියටම නිච්චියක් ඌට වත් නැත . ඒ හැත්තෑ ගණන් වල මැද  භාගයේ යයි යාන්තමට මතකයක් ඇත . පන්ති පහට ගිය හ ඩ් ඩා, ඉන් පැන ආවේ ඉංග්‍රීසි සින්දු කියන්න නොදුන් නිසාය . 

"මචං මල්ලි මේ සයිඩ් බර්න්ස් තියෙනවා නේද ?  " 

ඒ ඔහුගේ සුපුරුදු ඇමතීමයි . මේ සයිඩ් බර්න්ස් කතාවද පරණ කතාවකි . ඒ ප්‍රශ්නය එතනින් එහාට විකාශනය නොවේ ,  හැමදා මෙන්ම හිස්ය . කන්පෙත්තේ සිට අඟලක් පමණ පහලට දික්වුනු , අංශක 45ක ඇලයට කැපුණු පැති  රැවුල ඔහු අභිමානයෙන් පිරිමදින්නේය .

***
ගෝල්පේස් පිට්ටනියට ඔබ්බෙන් ඉන්දියානු සාගරය අටවක සඳ තුරුළු කරගෙන , පැද්දී පැද්දී නලවනවා . පොඩි එකීට ගුඩුස් ගිහින් බිව් සඳ රැස්  උගුරක් සාගරය පුරාවටම ඉහිරිලා 

***

එකදහස් නවසිය අසු දෙකේ, ජූනි මස හැන්දෑවක , ගිටාරයක් තුරුළු කරන්, ඉගිපොප් ගේ , බෝවීගේ සිංදු , උන්ට වැරදුනු තැන් නිවැරදි කරනවා. සින්දු දෙකක් මද රොක්ලන්ඩ් රතු රම් වඩියක් සෝඩා වල දියකරනවා . හිමින් සැරේ තත් පිරිමදිමින්, මතු යම් දිනෙක ලියවෙන , කියවෙන ගීයක ඉන්ටලූඩ් එක ස්වර පේලියෙන් පේලිය අමුණනවා .

" අඩෝ රොක්ලන්ඩ් හඩ්සන් , අන්නාසි කාරයෝ බය කරන්න එපා ...." 
ඇත ඉඳන් කෑගහගෙන කවුදෝ එනවා , පිට්ටනියේ දිගට ඇඳුනු ලයිට් කණුවේ හෙවනැල්ල දිගේ .

***
අටවක රෑ අහසේ තරු ලස්සනට ඉහිරිලා . පිස්සු ජැක්සන් පොලොක්ට බාර දීලා වගේ අද රෑ අහසේ සිතුවම අඳින්න . උල්කාවක් අහස දිගේ ඉරක් ඇඳගෙන කොහේදෝ ඈතක , නමක් නැති වැවකට වැටෙනවා . පත ගෙම්බෙක් නෙලුම් කොලයක් අස්සේ සැඟවෙනවා .

***
ප්ලාස්ටික් කෝප්පයක රොක්ලන්ඩ් රම් , කොකා කොලා හා මුසු වෙනවා .

"අපි මාර බඩු  තමා මචං  මල්ලි දවල්ට පං තොප්පි දා ගෙන , බතික් ෂර්ට් ඇඳන් කැලිප්සෝ ටියුන් ගහ ගහා ක්ලැරන්ස් ව විකුණන් කනවා, මුණ හංගගෙන ....රෑට් රොක් වෙනවා . "

දුම් වළලු, පුළුන් වලාකුළු දිහා බලා ගෙන පාවෙලා උඩට උඩට යනවා . ... හිතත් එක්කගෙන 

***

ආයෙත් මගේ හිත වත්මනට දුවලා එනවා . . 

මේ ඉහේ ඉඳන් පිට දිගේ දාඩිය බිඳු බේරෙන කොළඹ ගිම්හාන රැයක ,හඩ්ඩා පරණ පුරුදු විදියටම ලෙදර් ජැකට් එකක් ඇඳන් ඉන්නවා ...

"මචං මල්ලි ඇයි උඹ සයිඩ් බර්න් දෙක කැපුවේ "  කැස්සක් එනවා . එය දිගට අල්ලනවා ...කැහැළා ඉවර වෙලා හඩ්ඩා පපුව පිරිමැද ගන්නවා . 

"අපරාදේ " ඔහු වාක්‍යය අවසන් කරනවා .

"...සයිඩ් බර්න් තියෙනකන් බොක්කේ රොක් ජීවත් වෙනවා බං  " ඔහු සිතිජයට එහා ලක්ෂයක් දෙස බලාගෙනම දොඩවනවා .
පැති රැවුල පැහිලා , කහපාට හැලජන් ලාම්පුවේ එලියට හොඳට පෙනෙනවා . නමුත් මම මොකුත් කියන්න යන්නේ නෑ .


පලි :
ඇතැම් වස්තු බීජ මම හරිම පරිස්සමට ලෝබ කමට තියන් ඉන්නවා ... හරියට මොකක් හරි නිර්මාණයක් කෙරෙනකන් . සමහර වෙලාවට එක නිර්මාණයක් කරලා මදි .. ඒ නිමිත්ත පට්ට ගහනවා ...ඒත්  හරි නෑ  කියලා හිතෙනවා .. මේ ඒ වගේ එකක් . මෙයින් ම ලියවුනු දෙවැන්න මින් පසු පළ කරන්නම් .... ඒත් තාම හිතට හරි මදි .

මෙවැනි චරිත අපේ සමාජයේ කාලයක හිටිය බව මතක තියෙන්නට ඔබ ඇතැමෙකුට වයස ඇති . තවමත් කොළඹ ජරා ජීර්ණ වූ තැබෑරුම් තුළ මොවුන් හැංගිලා ඉන්නවා .

24 September 2015

ලෙප්ටිනන්ට් තිස්ස සහ චන්ද ලතා ගේ නිත්‍යානුකූල නැසොනල් ලිස්ට් මනාපය // the difference between Lawful and awful

මේ ඇහුනද?

ඔව් ඔව් , මොකෝ ?

අර තිස්ස...

මොන?  අර ඇපල් බා ගත්ත?

නෑ නෑ අනික් තිස්ස

අර බ්ලොග් ලියන?

නෑ ඕයි

ඒ තිස්සත් , මේ තිස්සත් හැර වෙන තිස්සලා සිටීද ?

මළ  විකාර .....අර වයසක පහේ.....

ආ.... මේ අපේ ලෙෆ්ටිනට් තිස්ස ....ඉතින්

මිනිහා අර චන්දලතා  ගේ මනාපේ ගන්න පස්සෙන් ගියානේ

ඒ උනාට කෙල්ල වෙන කෙනෙකුට බහ දුන්නා නේ

ඔය චන්දලතාත් මරු බඩ්ඩ ඔහොම හිටියට .. කී දෙනෙකුටනම් බහ දුන්නද ?

ඒත් පව් ඒ කෙල්ල ....සමහරු බය කරන් හිටියා , සමහරු රැවට්ටුවා ..

තමුසේ ගේ හිතෙත් අනුකම්පාව නේද ?

එහෙම එකක් නෙමෙයි මම මේ කියන්නේ . ඉතින් මොකෝ චන්දලතාටයි තිස්සටයි වෙලා තියෙන්නේ ?

ඒ මිනිහා උසාවි ගිහින් , ගිහින් කියලා, " චන්දා  මට දවසක් හිනා උනා . මමත් ඉතින් චන්දාගේ කොල්ලා කියලා හිතා ගෙන උන්නේ . මට උඹ ඉතරක්  උනාට , නුඹට ඉන්නේ මම ඉතරක් නොවුනට කමක් නෑ ....නැසොනල් ලිස්ට් එකෙන් හරි පොඩි චාන්ස් එකක් ලබා දෙන්න කියලා

ඉතින්

නඩු කාර උන්නාන්සේ ඇහුවලු , තමුසෙට පිස්සුද , මේ පාර්ලිමේන්තුව කියලා හිතාගෙනද කුණුහරුප කියන්න ආවේ ඊටත් වඩා ලැජ්ජාවක් නැද්ද කියලා

ඇත්තනේ ..ඉතින් ?

තිස්ස කාරයා කිව්වලු , චන්දා කරලා තියෙන පිස්සු , ලජ්ජා නැති වැඩ වල හැටියට මේක මොකක්ද කියලා 

හැ  හ් ?


සබැඳි පුවත්
http://www.lankadeepa.lk/index.php/articles/349495

21 September 2015

ලජ්ජා බය ( සේයා ගෙන් ඔබ්බට )








මා මේ ගැන ලියනවිට , හරකා මරා , හම ගසා , මස් කර , කුට්ටි කර , හොද්දද ලිපේ තබා අවසන් වුවද , මගේ අදහසද ලියන්නට මා හිත වද කළේය .

අර පුංචි කෙල්ලගේ මිනිය වලලා , හත් දවසේ දානෙත් දෙන්න ලෑස්ති වෙන විට , තවමත් කට්ටියක් මිනිය කරේ තියාගෙන යනවා යයි විටෙක සිතේ . ඒත් ඇයගේ  මරණයෙන් ඔබ්බට ගිය සමාජ ප්‍රශ්නයක් අප ඉදිරියේ ඇතැයි මම සිතමි .
එක් මිනී මැරුමක් ,  දරුණු අපරාධයක් . දෙවැන්නේ සිට එය දත්තයන් බවට පත්වේ යයි අයෙක් කියා ඇත .

දත්තයන් ලෙස මෙවැනි සිද්ධි ඉවත දමන්නට ප්‍රථම, ප්‍රශ්න මුලයන්ට පිළිතුරු සෙවිය යුතුයැයි  මම සිතමි . ඒ සංවාදයට , මගේ සත පහද මෙසේ එක් කරමි .

කතාවකින් පටන් ගනිමු

ඔන්න එක ගමක ජෝඩුවක් හිටියා ලු . රන් මැණිකයි , පොඩි අප්පුයි කියමුකෝ  . මේ අප්පු ඔහුගේ බිරිඳට හරිම ආදරෙයි ලු . හැබැයි ප්‍රසිද්ධියේ පෙන්නුවේ නෑ ලු . බොහෝ දින රාත්‍රියට , මැණිකා පැදුර එලන පරක්කුවට ලාම්පුව නිවන අප්පු ඈට  බොහෝම ස්නේහයෙන් සලකනවාලු  . මැණිකා ගෙනුත් කිසිම මැසිවිල්ලක් නෑ ලු  ඒ අංශය ගැන නම් . ඒත්  වැඩ  නිමා කරලා  අප්පු , මැණිකාගේ ඔලුවත් අත  ගාලා , දොර වහගෙන එලියට ඇවිත් , පිලේ බූරු  ඇඳේ  නිදා ගන්නවා .  වටේ පිටේ එවුන් දකින  හැම වෙලාවේම මැණිකා ගේ ඇතුලේ , අප්පු පිලේ . වැඩි දොහක් ගියේ නෑ  වටේ පිටේ අයියලා , කඩේ මුදලාලියා  විතරක් නෙවෙයි පන්සලේ නාකි ඇබිත්තියත් , මැණිකාට අයුතු යෝජනා ගෙනෙන්න, බැද්ද ඇතුලේ පොකුණු පෙන්නන්න ගෙනියන්න වගේම දවල් කරේ ගෙට එන්නත් පටන් ගත්තේ ,  "උඹේ මිනිහා උඹට සලකන්න දන්නේ නෑ" කියාගෙන ලු . 
බැරිම තැන රන් මැණිකා හොඳට දත් පාර හිටින්න , තමන්ගේ අත පය පොඩ්ඩක් විකා ගත්තා ලු . කරදර එතනින් නැවතුනාලු 
ආදර්ශය : අරක කොරාට වැඩක් නැත , කොරන බව පිටත පෙනෙන්නත් ඕනෑය 

නීතියත් එසේමය . තිබුනාට වැඩක් නැත , තියෙන බව , මිනිස්සු පිළිපදින බව පෙනෙන්නට ඕනෑය .

නමුත් මේ කියන්නේ අර කට්ටියක් කියනවා වගේ අපරාධ කරුවන් එල්ලන්න කියන එක නොවේය .

අපරාධ වැලැක්වීම හා අපරාධයන්ට දඬුවම් දීම යනු (එකිනෙකට බැඳුනු ) එහෙත් වෙනස් සංකල්පයන් දෙකක් යයි මම සිතමි. ලංකාවේ බොහෝ දුරට මේ දෙක පැටලී ඇත . ඒ මුලිකව අපේ පොලිස් සේවය (මෙය එම දෙපාර්තුමේන්තුවේ කාර්යක්ෂමතාවය ගැන නොව) බ්‍රිතාන්‍යයන් එය පිහිටවූ මුලික අභිප්‍රායෙන් ඔබ්බට ගෙන ඒමට නොහැකි වී ඇති බැවිනි . 
හොරුන් ඇල්ලීමට මිස හොරකම් වැලැක්වීම ගැන පොලිසිය උනන්දුවක් නොදක්වන්නේ , සැම හොඳින් වැඩුණු ගසක් පිටුපසම පොලිසියෙන් හැංගි  සිටින්නේ එබැවිනි . එය හිතන විදිය (mindset) වෙනස් කිරීමකි . එය අසීරුය .

බය 

දඬුවමට බයෙන් වැරදි නොකර සිටීම , අතීත රාජාණ්ඩු වල තිබු ක්‍රමයයි ( තෙතිස් වද ) . නමුත් නූතන  සමාජීය සංස්කෘතික පරිනාමයත් සමග  සංකල්පයමය වශයෙන් ලොවම එතනින් බොහෝ දුර ඇවිත් ඇත . 

ශ්‍රී ලංකා පොලිසියට අප බයය , ඒ අපරාධ වලට දඬුවම් කරාවියැයි කියා නොවේ . පොකට්ටුවේ තියන තුට්ටු දෙකට තට්ටු කරයි කියාය . ඒ නිල ඇඳුම සංකේතවත් කරන්නේ නීතියේ ආධිපත්‍යයයි . ගෞරවය ලබා ගන්නා ක්‍රම දෙකක් ඇත , වර්ණපාල ක්‍රමයද ඉන් එකකි . මෙහිදී එය පාවිච්චි කිරීමද එතරම් වරදක් නැත . ඒ බය ඇතිවූ පසු , පොලිසියේ presence  එක වැඩි කිරීමෙන් අපරාධ කිරීමට ඇති බය නිරතුරු මතක් කර දිය හැක . එසේ නොමැතිව නම් අඩියෙන්  අඩියට පොලිසියෙන් දැම්මත් වැඩක් නැත .
අනෙක අප සියලු දෙනාගේ පැතුම මෙවැනි අපරාධ ඇති වීම වැලැක්වීම මිස , වුවහොත් ඉක්මනින් අපරාධ කරුවා අල්ලා  ගැනීම නොවෙයි මම සිතමි. එසේ නම් එය කල හැක්කේ කෙසේද .එය කල හැක්කේ , බය පමණක් නොව , ලැජ්ජාව ද ඇති කිරීම මගිනි . 

ලැජ්ජාව  

ළමයෙකුට කන විදිය , කතා කරන විදිය , ශරීර කෘත්‍ය කරන විදිය, නිවැරදිව පාර පනින විදිය හා සම්බන්ධ හර පද්ධති ඉගැන්විය හැකි නම් ලිංගික සදාචාරය ඉගැන්විය නොහැක්කේ මන්ද ?  එය පාසල් වල ලිංගික අධ්‍යාපන විෂය යටතේ ඉගැන්විය යුතුමය . මේ හරයන් සමාජයට පත්තියම් වෙන්න පරම්පරා දෙකක් තුනක් යාවී  . ඒත්  එය නිසැකවම වේවි . (අද ඇති මුලික ප්‍රශ්නය  මෙවැනි හිංසනයන් , හැසිරීම්  ගැන විවෘතව කතා කිරීමට , අපි එවැනි අපචාර කරන එකාට වඩා විටෙක ලජ්ජා වීමය ) . මාධ්‍යයේ වගකීම එයය , මිනී විකිණීම නොවේය . 

මෙවැනි දේ සමාජය නොරුස්සන දේ නොව නොඉවසන දේ බවට පත්කළ යුතුය ( untolerable instead  of  dislike ). ඒ සඳහා සමාජ ආකල්ප ගොඩනැගිය යුතුය . ගමේ පන්සලේ බණෙහි , පල්ලියේ දේශනයෙහි මේවා ගැන කතා කල යුතුය ( තම කිල්ලෝට වලත් හුණු තියාගෙන මෙය කළ  හැකිදැයි යන්න ද ප්‍රශ්නයකි )


ඉන් ඔබ්බට 
අපරාධ වැලැක්වීම ගැන ප්‍රසිද්ධ කියමනක් නිව් යෝක් නුවර පුරපති මයිකල් බ්ලුම්බර්ග්  කළේය . ඔහු කීවේ බ්රුක්ලින් පෙදෙසේ අපරාධ බහුල පෙදෙසක් ගැන සඳහන් කරමිනි . ඔහු කීවේ "කොල්ලෝ ගල් ගහලා ජනේලයක වීදුරුවක් කැඩිලා තිබ්බොත් , මම රජයේ වියදමින් එය සදා දමනවා . නැතිනම් හෙට තව ජනෙල්  දෙකකට ගල් ගහයි . ඊට පස්සේ එකෙන් ඇතුලට පනියි " කියාය . මෙහි ඇත්තක් නැත්තේම නැත . වෙනස් කම් ස්ථාපිත කිරීමේ ( විශේෂයෙන් ඇවතුම් පැවතුම් හෝ සංස්කෘතික ඝනයේ) ප්‍රධාන ක්‍රමෝපායක් වෙන්නේ එහි සාර්ථකබවේ උදාහරණ ( success  stories) ප්‍රචලිත කිරීම හා අසාර්ථකවූ සිදුවීම් පෙනෙන්නට නොසැලස්විමය. නමුත් මළකුණු විකුණන්නන් කරන්නේ කැඩුණු ජනේල සාමාන්‍ය කරණය කිරීමය .

මගේ අදහස මේ අපරාධ නැවැත්වීමේ මුල් පියවර , අප පවුල් තුලම ගත යුතු බවය. මේ මරණය ගැන දුක් වෙන , ආවේග ශීලි වන අප, මේ ගැන අපේ ගෙවල් වල කතා කලේ මොනවාද?  නිත්‍යා ගේ වයසේ , සේයා ගේ වයසේ අපේ පොඩි එවුන් දැනුවත් කලාද මෙවැනි පුද්ගලයෙකුට අහු වුනොත් මොනවා කරන්නද කියා? පොඩි එවුන් ගැවසෙන තැන්  වල ගැවසෙන්නවුන් ගෙන් උන් පරිස්සම් කර ගන්න අපි යම් වැඩ පිළිවෙලක් යෙදුවාද?  අඩුම තරමේ මෙවැනි ආසාවන් විකෘති ආසාවන් බව . එවැන්නන් රෝගීන් බව වත් අපේ කොල්ලන්ගේ හිත් වලට කාවැද්දුවාද ? 

අනෙක් හැම දේ වාගේම , අපරාධ වලක්වා ගැනීමේ ඉදිරි මෙහෙයුම් වළල්ල (Front defence line)  , අපි මය 

19 September 2015

කෙස්

මට එකපාරටම මතක් උනේ රාස්සිගේ ඇල්ල .

ඈ ඇවිත් හිටිය කොන්ඩේ  කඩා දාලා .

" නාලා ආවේ , කොන්ඩේ  තාම තෙතයි " මගේ සිතුවිලි කියවලා ඈ  බැන්දා  උත්තර .
"මම ආසයි ..දිග කොන්ඩේට " මම දිග හුස්මක් ඉහලට ඇදලා , හීනියට දැනුනු අරලිය මල් සුවඳ නාස් පුඩු දිගේ අරන් හිතේ කොනක හිර කර ගත්තා .

"එහෙනම් කපලා දෙන්නද ලඟින් තියා ගන්න ?"

"අර දෙවනියට කිව්ව එකනම් එච්චර නරක අදහසක් නෙවෙයි "

"ආ ඇත්තද ?"

***

දවල් හිතේ නැගුනු තරහ බොහොම පරිස්සෙමට හිතේ තද කරන ගෙදර ආපු මම , රණ්ඩුවට මුල පුරන්න , කෑම  පෙට්ටිය සද්දෙට මේසේ උඩින් තැබුවෙමි . පුරුද්දට ඈ එය අතට ගත්තේ " ආ මොකෝ මේ අද කෑම  කන්නේ නැතිව ආපහු ගෙනල්ලා " කියා අසමිනි .

"කොහොමද මනුස්සයෙක් කන්නේ , බත් එක පුරාම කෙස් "
බත් පතේ වූ එක්  කෙස් ගස මගේ කතාවේදී පැටව් ගැහැව්වා . 

"අනේ අද උදේ නාලා මන  බත් බෙදුවේ . අපරාදේ ඒක අයින් කරලා කන්න තිබ්බේ .. මාළු කෑලිත් දෙකක්ම බෙදුවා "

"රෙද්ද මාළු ...මම හැම තිස්සෙම කියනවානේ ඕක මෝහිනී වගේ කඩා දාලා ඉන්නේ නැතිව බැඳ ගන්න කියලා පිළිවෙලකට .."

පැතිරුණු නිහඬතාවය මාසිත අවුල් කළේය . ඒ , රණ්ඩුව මා පැතු  අයුරින් දිග නොහැරුණු නිසාවටත් වඩා , ඈ  මෙසේ නිහඬ වූ පසු , ඉන්පසු දින කිහිපයක ඉරණම මා අත්දැකීමෙන් දන්නා බැවිනි .

"හෙට කැන්ටිමෙන් කන්න වෙයි උඹට"  මාසිත උළුක්කුවට මෙන් සිහි ගැන්වීය 

***

"ඉතින් කෝ දෙන්න ඔය කන්නාඩිය "

"ඕනේ නෑ ඕක බලන්න දැන්ම , හිත ගැස්සෙන එක හොඳ නෑ "

"දෙන්න !"

ඒ සියුම් විධානයට යටත් වෙනවා හැරෙන්නට මට කළහැකි වෙන යමක් නොවිණි . මම වෙව්ලන අතින් කැඩපත ආ වෙත දිගු කලෙමි . 

දිගු බැල්මක් . ඊටත් වඩා දිගු සුසුමක් .

"මම දැන් මෙහෙණින් වහන්සේ කෙනෙක් වගේ "

"කේශී , ඩොක්ට කිව්වා වගේ , මෙහෙම කරපුවම  බේත් සැරට  කොන්ඩේ  යනවා පේන්නේ  නෑනේ ."

"හ්ම්ම්ම් ..දේවා ,.. ඔයා ඉස්සෙල්ලාම  කැමති උනේ මගේ දිග කොණ්ඩෙට නේද ?..."

මම දෙඅතින්ම ඈ  මුඩු හිස අල්ලා ගතිමි . සිපගතිමි . එහි උණුසුම මා තොල් වලට දැනුනි .

"කොල්ලා කාලේ හිතුන දේවල් නේ කේශී ..ඔය නර කෙස් වල නැත්නම් මොන ලස්සනක්ද ?"

ඈ හෙලු මද සිනහවේ ගැබ්වුණු මහා අනුකම්පාවක බර මට හොඳින් දැනෙන්නට විය .


පලි : මේ කතාවට නිමිත්ත මා කියවූ කවියක් . කවියාගේ නම දැන් නම් හරියට මතක නැතත් , මතක් විදියට ඩෝසන් ප්‍රීති ද කොහෙද. 


මෙය කෙටි කතාවකටත් වඩා , දිගම දිග කතාවක , කෙටිම කෙටි කොටසක් .

15 September 2015

සඳ සාක්කි

ස්වාමීනි පැමිණිල්ලේ ඊළඟ සාක්කිය හැටියට .....

එපා !

සුරත තියා දිවුරා 
නීති පොත මත 
නංවන්නට කූඩුවට 
හඳ 

සමහර දාට රෑට 
මමයි හඳයි 
විතරයි 
උන්නේ 
වළා සිඳුන අහසක් යට 
බොල් එලිය ඉහිරුණු ටකරන් 
වහල යට 
සිකුරිටි කුටියේ 

තවත් දාක 
රැක්කේ පාළු 
පැක්ටේරියේ ගේට්ටුව ළඟ 
...සඳ මැයි 
නයිට් ශිප්ට් වැටිච්ච දාට 
ඈට 

අසම්මතයේ "අ" යන්න 
උළා  මකන්නට තරම් 
නැති රිදී 
පවට මක් කරන් 
සසර පුරාවට 
අපි රැස් කරන් 

ඒත් 

අපේ හිත්වලත් 
බුර බුරා නැගෙන 
හීන නම් 
වැලකී  නොහේ 
ඈ කියෙව්වා 
තොරතෝංචියක් නැතිව 
රෑ කළුවර තිරයට මුවාවෙන් 
මා බලා හුන්නා කල්පයක් 
ඈ නෙත් දිලී නිවෙන 
හැටි 

පැහිච්ච කතා මොටදැයි පොඩි උන්ට 
තාරුකා එලවා රෑ අහසෙන් 
ඕපා දූප ඇහිලුවේ 
හූමිටි තිබ්බේ 
සඳ මැයි 

බැරිම තැන දරා ඉන්න 
වහ කුප්පිය උගුරට දෙකට ගුඩුස් ගා 
බිව්වේ ඈ 

බොඩිය මොචරියේ ලූ 
මම විත්ති කුඩුවේ ලූ 
මහතුන්ගේ අධිකරණයේ 

ඒත් 

නොකරනු කරදර 
අසා සාක්කි 
හඳේ න් 
මොනවා කරන්නද 
අපේ කරුමෙට 
ඈ 

13 September 2015

ලොකු සාදු ගේ රෑ දානේ සහ වෙනත් පස්චාත් මැති දිවුරුම් දීම් කතා


"  පොඩි නම ... පොඩි නම !!!.." නායක හාමුදුරුවෝ කටහඬ අවදි කලෝහ .

"පොඩි සාදු  හංදියට වැඩියා ලොකු සාදු , පෝන්  එකට සිම් කාඩ් එකක් වඩම්මන්න ..ඔබ වහන්සේට තේ කෝප්පයක් හදන්නද ?"

පොඩි ඇබිත්තියාට තවම  උඛ්ත ආඛ්‍යාත පැටලේ . නායක හාමුදුරුවෝ එය නො ඇසුනා සේ සිටියහ .

"නෑ  නෑ පොඩි උපාසක , අද රෑට මොනවද හදන්නේ .."

"මම පිටි ටිකක් අනන්නද  සාදු ...රොටියක් පුච්චගන්න .."

"රොටි බෑ බන් , අර පුච්චපු රොටියත් කර උනා , තැටිය සුද්ද කරලා ගනින් ...."

"හරි සාදු , මොකෑ හදන්නේ රෑට"

"උළුදු ටිකක් පෙඟේන්න  දාපන් තොසේ හදන්න"

"රොටි තැටියේ ? තොසේ ? අනික පන්සලේ ?"

"ඔව් ළමයෝ දැන් එහෙම  තමා"

***

"සර් මොකෝ මේ ජාතික ආණ්ඩුවක් පිහිටෙව්වේ?"

"ඇයි  අපි මුල ඉඳන්ම කිව්වනේ ඕක  කරනවා කියලා . ඉතින් ජනතාව එකට කැමැත්ත ප්‍රකාශ කරානේ  . සියලු දේ කෙරෙන්න ඕනේ ජනතා කැමැත්තට නේ  .."

"එතකොට සර් අර ජනතාව එපා කියපු උන් .. එතකොට ජනතා කැමැත්ත?"

"ඇයි අහලා නැද්ද ..ඕනෑම දෙයක් ඕනෑ වට වඩා ඕනේම  නැත නේ"

"සර් ..."

"ඇයි  ? "

"අන්න අර කිතුල් ගහේ නම් තණ කොළ තියෙනවා වගේ.."

***
බුරුවා පොලේ , කට්ටිය වටවී සිටිති . දෙදෙනෙක් කොළ බෙදන්නෝ ය 


"කුට්ටම හොඳට ඇනුවද "

"ඔව් ඔව් "

"එහෙනම් බෙදන්න බලන්න "

"එකයි එකයි දෙකයි දෙකයි .. එක්කෙනෙකුට කීය ගානේද බෙදන්නේ "

"එහෙම ගානක් මිම්මක් ඕනේ නෑ ඔහේ බෙදා ගෙන පලයන්කෝ "

"හරි ....ඔන්න එහෙනම් බෙදාගෙන යනවා "

"මොකක්ද බන් උඹ බේ ජෝකර් දෙන්නත් අනලා නේ "

"උනුත් කුට්ටමේ ඉන්නවනේ , වෙනස් කමක් කරන්න හොඳ නෑ "

"හරි ... මේ උඹ ඔක්කොම කොළ ගත්තද ?"

"විස්...සයි..... ඇයි එහෙම ඇහුවේ "

"නෑ .. මේ ...මට ...තාම ආසියෝ මොකුත් වැටුනේ නෑ "

"මටත් නෑ "

කට්ටිය පිටිපස්සේ සිට කෙනෙක් ආසියා කොළ හතරම අතේ තියාගෙන , උඩු රැවුල දෙ කනේ ගෑවෙන සේ සිනහසෙන්නේය .

***

ප්‍රශ්නය ඇත්තේ බොහෝවිට 
කියා නොකරන
නොකියා කරන 
දෙයට වඩා
නොකියා නොකරන 
දෙයෙහිය 

***
පලි: දරුණු විහිළුවක්ම පොතු හැර බැලු කළ ඛේදවාචකයක් හමුවේ 

12 September 2015

යහපාලනයේ ආවස්ථික පිරිවැය සහ සංහිඳියාවේ ආවස්ථික පිරිවැය // Opportunity cost of good governance and consensus

ආවස්ථික පිරිවැය (නැත්නම් ගමේ ගොඩේ කියන විදියට opportunity cost ) සංකල්පය මට මුලින්ම හිතට වැටෙන ලෙස කියා දුන්නේ මිතුරෙක්ය . දිනක් මා අලස සුවය විඳිමින් සිටිද්දී පැමිණ, ඔහු මෙසේ ඇසුවේය.

මොකද කරන්නේ?
ඔහේ ඉන්නවා...
ඇයි  එහෙම ඉන්නේ අපරාදෙනේ ?
මොන අපරාධයක්ද ?.. අතින් පයින් යන්නේ නෑනේ ...
ඒ වුනාට උඹ පත්තර වලින් කඩදාසි බෑග්  හැදුවානම් පැයට  කීයක් හදන්න පුලුවන්ද ... එහෙම බලපුවහම උඹට කොච්චර පාඩුද ?

ඔහුට එකඟ වුවා, නොවුවා , සංකල්පය මගේ ඔලුවට නම් (පොල්ලෙන් ගසන්නාසේ ) වැදුනි . ඔබට එසේ නොවෙන්නට ඉඩ ඇත . ඒ නිසා අපි උදාහරණයක් දෙකක් සලකා බලමු.

 ජනවාරි අට වෙනිදා වෙනසේ, යහ පාලන පෙරළියේ, අවස්ථික  පිරිවැය කෙතරම්ද . එය නොවුනා නම් මීට වේගයෙන් පාරවල්වලට තාර වැටෙන්නට තිබුණි , පෝට්  සිටිය ඉදි වෙන්නට තිබුණි , නෙලුම් කුලුන , අර මොකක්දෝ නිල් පාට පෙත්තක් ගැසුවා සේ, ඉද්දෙන්ට තිබුණි . හරි හරි , ඒ ඔක්කොමත් හරි ඒත් ඔබට මට නැතිවූ යේ කුමක්ද ? ඔබ කියාවි ජාතික අභිමානය , සංවර්ධනය ...ඒවා ඉතින් ආර්ථික අගයක් දෙන්න බැරි , මනින්න බැරි සංකල්ප නේ (ඔව් සංවර්ධනය පවා ) ...කොටින්ම අර අයිස්චාර්යයේ හයිවේ එකේ යනකොට දැනෙන මෙව්වා එකට, ස්වයං වින්දයට (pun intended )  වඩා යමක් නම් නැතිවූ වගක් නොහැඟේ . පෝට්  සිටියේ කඩයක් දා ගැනීමට සිටි කෙනෙක් , එහි ඉඩම් කෑල්ලක්  ගෙන ගේ පොඩිත්තක් සදා ගැනීමට සිටි කෙනෙක් , නෙලුම් කුලුනේ සිකුරිටි ජොබක් ගැන හීන මවමින් සිටි කෙනෙක් මම නොදනිමි (එතනින් එහාට ප්‍රතිලාභයක්  නම් අපි වැනි පුංචි රාළලාට නොලැබේ ) . ඇතැම් විට ඔබ දන්නවා ඇති . නමුත් 8 වනදා සිදුවූ වෙනසේ ආවස්ථික පිරිවැයක් ඇත , එනම් බට දිගේ ලංකාවට ආ චීන සල්ලි ( විසුද්ධි කරණයට හෝ , ආරක්ෂක වියදම් ලෙස හෝ පුණ්‍යාධාර ලෙස හෝ ) 8 වෙනිදායින් පසු නිසැකවම නවතින්නට ඇත . (නමුත් රටක් හැටියට අපි තරාදියේ අනෙක් පැත්තට දැමුවේ ප්‍රජාතන්ත්‍රවාදය , මානව නිදහස හා ඒකාධිපතිවාදයකට ඇති නො කැමැත්තයි . ඒ රටේ බහුතරයගේ තීරණයයි ). නමුත් ඇත්තම පිරිවැය ඒ එන්නට තිබු මුදලින් ඔබට මට ලැබෙන්නට තිබුනේ කුමක්ද යන්න නොවේද ? 

හරියට තේරුනේ නැතිද? එහෙනම් තව උදාහරණයක් සලකා බලමු.

මාස අටකට  ෆාස්ට් ෆොර්වර්ඩ් කරමු . ඇමති මණ්ඩලයක් පත්කර ඇත . ඒ ගැන කිසිවෙක් වගකීම ගන්නේ නැත . "ඔන්න මගේ පැත්ත නම් හරි "  යයි අයෙක් කියද්දී අනෙකෙකු කියන්නේ "මේ සංහිඳියාව සඳහා මේක නොකර බැරි වුනා"  කියාය . මේ දෙකම මට නම් කුනුහරුපය . ආශ්චර්යය හා යහ පාලනය යන වචන කුණුහරුප වුවා සේම සංහිඳියාව ද ළඟදීම (දැනටත්  වී නැත්නම් ) කුනුහරුපයක් වෙනු ඇත . තවත් කෙනෙක් කියන්නේ "ජනතාවගේ වැරැද්ද නේ , ප්‍රබල ආණ්ඩුවක් පත් කලේ නැති එක" කියාය . එවිටනම් අපිට අනේ උන්ගේ .... (ස්වයං වාරණයට ලක් කෙරින ). සංහිඳියාව උදේසා හොරුන් පත් කිරීම කෙසේ තර්කානුකුල වේදැයි මට නොතේරේ . නමුත් අපි එතනින් එහාට යමු . 
උදාහරණයක් ලෙස මුතුහෙට්ටිගම , වස ඩප්පි කාරයා හෝ අප්පච්චි මළා හාදයා ව ගනිමු . මේ අයව පත් කිරීමේ ආවස්ථික පිරිවැය කුමක්ද .. "ඇයි යකෝ උන්ට ගෙවන මහජන මුදල් , දෙන වරප්‍රසාද... අපේ බදු සල්ලි නේ " යයි ඔබට මුලින්ම සිතේවී . නමුත් ඇත්තේ ඒ පිරිවැය පමණක් නොව .. ඔවුන් පත් කිරීමෙන් වැඩ කල හැකි අයෙකු පත් කර ගැනීමට , ඔහුගෙන් ලැබෙන වැඩ වල ප්‍රතිලාභ ලැබීමට ඇති හැකියාව නැති නොවුනේද . රනිල් පෙන්වූ පංච තන්ත්‍රයේ හෝ අට වෙනිදා පෙන්වූ කේතුමතී නුවර විත්ති පොතේ  අවසාන පින්තුරයක් තිබුණි  ...ඒ  සඳහා වූ road  map  එකක් තිබුණි. එනමුදු පෙරහැරක වේගය එහි සිටින මන්දගාමිම අලියා තීරණය කරන්නේ නොවේද  .

එසේනම් ජාතික සංහිඳතා රජයේ ඇති ආවස්ථික පිරිවැය කුමක්ද? එය අපමණ අගයක් වේද ?

දැන්නම් හොඳටම තේරුනා යයි සිතමි 

05 September 2015

රනිල් (කෙනෙකු)ට ලැබුණු තෑග්ග, විපක්ෂ නායක හමුවේ ඇති අභියෝග හා Back to the baller

ලංකාවේ විපක්ෂ නායක හමුවේ ඇති අභියෝගය 

ලංකාවේ විපක්ෂ නායක ඉදිරියේ ඇති මූලික ප්රශ්නය නම් ඔහු 
සම්බන්ධ න් ද 
some බන්දන් ද 
some  පන්දන්ද 
some ban done ද 
sum බන්ධන් ද 


(එක්තරා) රනිල් (කෙනෙකු)ට ලැබුණු තෑග්ග (සමාන්තර විශ්වයක කතාවක් හොඳේ )

(එක්තරා) රනිල්  (කෙනෙක්)  එදා උදැසනම නැගිට්ටේය . 

අද අලුත් පාර්ලිමේන්තුවට යන්න තියෙනවා ඉතින් උදේ පාන්දරම ලෑස්ති උනාම හොඳයි ,   ඔහු ඈනුමක් ඇරියේය. ඈ මොකක්ද මේ පාර්සලයක් , නෝනේ මොකක්ද මේ ?...

ආ ඕක අර මනුස්සයෙක් ගෙනත් දීලා ගියා කියලා මුර කාරයා කිව්වේ 

ඈ තෑග්ගක් ?, මිනිහෙක් ?...කවුද?  කොහෙන් ආපු මිනිහෙක්ද ?

මම දන්නේ නෑ ... මුර කාරයා නම් කිව්වේ හරියටම මුණ දැක්කේ නෑ , ලෝගුවක් පොරවා ගෙන ආපු මිනිහෙක් දීලා ගියා කියලා .. උඩු රැවුලක් තිබ්බ වගේ යාන්තමට දැක්කා කියන්නේ 

බෝම්බයක් වත් ද .... නෑ  වෙන්න බෑ...මොකෝ බෝම්බ තියපු රැවුලෝ , බෝම්බ තියපු රැවුලෝ ගැන කියපු රැවුලෝ දැන් නෑනේ ...... තෑග්ගක් වගේ ... 

ගලවලා බලමු එහෙනම් ..මොකක්ද මේ එන පුරුදු සුවඳ ....නිකන් අර අරලිය ගහ මන්දිරයේ තිබ්බ සුවඳ වගේ ..මොකක්ද ඒ කුරක්කන්ද ... 

පිස්සුද නෝනේ ඔය කට්ටිය හිතුවට අරලිය ගහ මන්දිරයේ නම් කුරක්කන් සුවඳ කාලේකට  තිබ්බේ නෑ ... බලමු ලිහලා 

මේ මොනවද ලියලා තියෙන්නේ  " to  my  old friend ...."

අඩේ මේ මිනිහා තමා මිනිහා ..... මේ මොකක්ද මේ යට කලිසමක් 

හි හි හි ... ඔයාටනම් ටිකක් ලොකුයි වගේ නේ ... අනික නිකන් කැමෆ්ලාජ් ...
පොඩ්ඩක් රස්තියාදුකාර පාටයි නේ .. වෙන මොනවද තියෙන්නේ 

මේ මොකක්ද මේ  පොතක් ....  පාරම්පරික නිල වෙදකම ....

කාඩ් එකකුත් තියෙනව නේද ...කියවන්නකෝ ..

" මා මිතුරැ රනිල් වෙත 

ඔබ අගමැති ලෙස අභිනව පාර්ලිමේන්තුවට යන අද දින ප්රයෝජනවත් තෑග්ගක් දීමට සිතුවෙමි . මේ යට කලිසම ඔබේ කලිසමට යටින් ඇඳිය හැක ..මෙය ටිකක්  ලොකු වගේ පෙනුනාට , ඔබ මේ ඉදිරිපත් කර ඇති ටාගට් වලට යන්න නම් , ඔබට ඉතා ඉක්මනින්ම මහා ලොකු  බෝල කුට්ටමක් අවැසි වනු ඇත ( අපේ ගමේ නම් කියන්නේ හැව්  බීග් බෝලස් කියාය ). පාර්ලිමේන්තුවේදී කවුරු හරි නිකන් දෙකයි පනහේ කතා දාගෙන ආවොත් , පොඩ්ඩක් ඉනට ඉහලින් ඔය යට කලිසමේ දාරය පෙන්නවන්න , නැතිනම් සිප් එක පොඩ්ඩක් පාත් කර හෝ ....සරමක් ඇඳන් හිටියා නම් වැඩේ ලේසිය . මේ සමග ඔබට වටිනා පොතක්ද එවමි . එහි විවිධ පුද්ගලයින්ගේ විවිධ රෝග මර්ධනයට ඇල්ලිය යුතු විවිධ නිල දක්වා ඇත . මෙයද ඔබට ඉතා ප්රයෝජනවත් වෙනු ඇතැයි සිතමි .

ඔබට ජය .
මීට ඔබේ බෙස්ට් ප්රෙන්ඩ් 


පලි : රනිල් අර යට කලිසමත් හැඳ , පොත් පිංචත් ෆයිල් කවරය තුල හුවා ගත්තේය 


Back to the baller

වේග පන්දු යවන මහජන චන්දදායක නැවතත් පන්දුවක් යැවීමට සුදානම් වෙනවා . මේ තරඟ  වාරයේ විශේෂයෙන්ම දකුණු දිගින් දිව විත් නෝබෝල් පන්දු කීපයක් හා වයිඩ් පන්දු කීපයක් යවා තියෙනවා මේ පන්දු යවන්නා . මේ ඕවරය පුරාවටම එතරම් ලකුණු රැස්  කර ගැනීමට ලැබුනේ නැහැ . දැන් පන්දුවට පහර දීමට සරත් මායාදුන්නේ සුදානම් කඩුල්ල ඉදිරියේ . ඔව් පන්දු යවන්නා දිව විත් , විනිසුරුකරු පසු කර ,  non strikers end හි සිටින පිතිකරුගේ කකුලත් පාගමින්  රිවස් ස්වින්ග් පන්දුවක් යොමුකරනවා .. පිතිකරු ඉදිරියට පැන .... ඔව් සහය පිතිකරු කෑ  ගසනවා    No No  කියා ...ඔව් ඔහු ඉදිරියට පැන වේගයෙන් පහරක් එල්ල කරනවා කෙලින්ම පන්දු යවන්නා ඉලක්ක කොට .....   පන්දුව ඔහු දෙසට ගිය වේගයෙන්ම ඇදී  එනවා ... නිතැතින්ම  පන්දු යවන්නා මේ පන්දුව රැක  ගත්තත් ඇඟේ  වැදුනත් ..ඔහුගේ පන්දුවේ වේගය ඔහුටම දැනේවී  ...

04 September 2015

පරණ විහිලු පොත // same old joke



ඔහුට වැඩි දුරක් යාමට ලැබුනේ නැත . පෙරමගට තනියම හිනහ වේවි එන්නේ අපේ සිරි සීයාය . 

මොකෝ සීයේ මේ හිනහ වේවි තනියම . මම ඒත්  බැලුවා මගේ සිප් එක වත් උඩට අදින්න අමතක වෙලාවත්ද කියලා 


හො හො හො . උඹේ ඔය හුචක්කුව දැක්කා කියලා එච්චර හිනහා යනවයෑ  හිටං . මට මේ විහිලු කතාවක් මතක් උනා බං 


විහිලු කතාවක් ?? කියන්න කෝ බලන්න ...සීයා ගේ විහිලු මරුනේ , අර එක දවසක් කිව්වේ ..මේකත් අමරබන්දු රූපසිංහ ගේ කතාවක්ද 


පිස්සුද , ඒවා පරණ විහිලු නේ හිටං ..මේක මේ විහිලු කතා, ජෝක්ස් පොතක තිබ්බේ 


ජෝක්ස්  පොතක් ?


ඔව් බං අර කාල්ටන් කාරයා ගාව තිබ්බ පරණ පොතක් ... යනකොට තියලා ගිහින් ..මම හිමින් සැරේ ගල් කොලා හිටං 


අප්පා කාල්ටන් සීයාත් මාර විහිලුකාරයනේ ... ඒ දවස් වල කියපු විහිලු කතා ...පස්සේ පස්සේ මිනිස්සු හිනා වෙන එක නැවත්තුවානේ 


එහෙනම් ... ඔහොම හිටියට අපේ වික්‍රමසිංහ උන්නැහැත් හරි විහිලු කාරයා ... සමහර කරන  ජෝක්ස් වලට අපිට හිනා යන්නේ අවුරුදු ගානක් ගිහිල්ලා ...සමහර විහිලු වලට අද අපි හිනා වෙනවා , කාලයක් ගිහිල්ල උන් දෑ අපට හිනා වෙනවා ...

මතකනේ අර සජිත් ගොයියට කරපු විහිලුව , අර උප නායක ..

ඉතින් සීයේ කියන්නකෝ එක විහිලු කතාවක් අර පොතෙන් 

ඔන්න එහෙනම් 


ඔන්න එක රටක හරක් හොරු මුලක් හිටියා .  ඒ රටේ රාජ  සේනාව මුන් ඔක්කොම හොයලා මැරුවා .  එක කෙප්ප හොරෙක් දුවලා ගිහින් අල්ලපු රටක හැංගුනා .. මේ රජ්ජුරුවෝ චර පුරුෂයෝ යවලා ...


සීයේ පරිස්සමෙන් , බුද්ධි අංශ පවා නොදෙනු කියාගෙන කට්ටිය ගේම ඉල්ලයිද දන්නේ නෑ 


හරි හරි බන්,   මේක ඉතිං කතාවක්නේ හිටං , අනික එකෝමත් එක රටක නේ .. ඉතින් චර පුරුසයෝ යවලා මේ හොරා ව අල්ල ගෙන ආවා .. එත් එක්කම ඌ ගාව තිබ්බ ගෙරි මස් වගයකුත් අහුඋනා ... ගෙරි මස් නරක් වන නිසා , රජ්ජුරුවෝ අණ කළා හොඳ බීප් කරියක්  හදන්න ..


හොදි ඕන් නෑ 


ඔව් ඔව් හොදි අඩුවට ..... රාජසභාවම රෝස් පාන් එක්ක බීප් කරිය  කෑවා ...

නඩුව අහන්න ටික දවසක් ගියා . අර බීප් කරිය දිරෙව්වා .. ලේප්ට් ඕවර් කුස්සියේ එවුන් කෑවා .. අර කෙප්ප හොරා උතුරු සළුවක් පොරවා ගෙන අටසිල් සමාදන් උනා . ටික දවසකින් නඩු අහන්න ගත්තා . චෝදනාව හරක් හොර කම ...සාක්කි හැටියට ඉතුරු වෙච්ච කුර , අං  කෑලී ටිකක් ඉදිරිපත් උනා ... 
නඩු කාරයා කියපි 
"අත්අඩංගුවට ගන්නා විටදී මොහු ගාව මස් තිබ්බට , අං  කුර කෑලී හම්බු උනාට , මොහු හරක් හොරෙක් යයි නිශ්චිතවම කියන්න නම් බෑ කියලා "

"රට වැසියෝ උම්  බෑ කිව්වා ......."



මට මාර හිනා බන් ඒ කතාවට ... කාල්ටන් සීයාගේ පොතේ බන් තිබ්බේ ...ඔය වගේ කතා ගොඩක් තියෙනවා ..මම මේ ඒකෙන් කතා කිය කියා යනවා ..මාර ප්‍රතිචාර!

තව එකක් තියෙනවා බන් මේ අස්ස කරත්තයක් ගිනි අරගෙන ....

සීයේ වෙන වෙලාවක ...මට පරක්කු වෙනවා .....

03 September 2015

Summer's end showers // ගිම්හානය අග වැසි

Earth still damp with 
monsoon tears
long sighs of summer's end
ruffle the tresses

Girls giggle

***

පොළො  තෙතයි තාම
මෝසම් කඳුලට තෙමුණු
ගිම්හානයේ අග
සුසුම් දිග
අවුල් කරයි කෙහෙරැල්

කෙල්ලන්ගේ කොමළ සිනා
මුකුළු ලතා