31 May 2014

පොඩි හිටියෙකුට අසුවුනෙමි // ..I am not smarter than a fifth-grader

මා මිතුරාගේ රචනා ශූරී පුත්‍ර රත්නය ඔබට මතකද ?   මෙතැනින් බලන්න .

පහුගිය දිනෙක මා මිතුරාගේ නිවසට දුරකථන ඇමතුමක් දුන් විට දුරකථනය එසවූයේ ඔහුයි . "පොඩ්ඩක් ඉන්න අංකල්  මම තාත්තාට  කතා කරන්නම් " කියා මදකට බැහැරවුනු ඔහු ,ආපසු පැමිණියේ "අංකල්  තාත්තා  නානවා , එනකං  මට කතා කර කර ඉන්න කිව්වා " කියා ගෙනය .. මොහු සමග මොනවා කතා කරන්නදැයි  එක්වරම හිතාගන්නට බැරිවුණ නිසා, මම මෙසේ අල්ලාප  සල්ලාපය පටන් ගතිමි .
"ඉතින් පුතා දැන් ඉස්කෝලේ නිවාඩු නේද ? මොනවද කරන්නේ ?"  

මෙතැන් සිට සිදුවූ කතාබහ, වොයිස් කට්  කීපයක් ලෙසින් පහත ඉදිරිපත් කරන්නෙමි .


Voice cut #1

පුතා මොනවද කරන සෙල්ලම් ? හොරා පොලිස් කරනවද ?

නෑ...  අපි බෝබසේ මුත්ලීම් කියල එකක් කරන්නේ 

ඒ කිව්වේ ? ඒක  කොහොමද කරන්නේ ?

අපි තුවාන්ටයි  මොහොමඩ්ටයි  හැංගෙන්න කියනවා . ඊට  පස්සේ අපි යනවා පෙළපාලියේ කෑ  ගහ ගහ,  මෙන්න මෙහෙම 
" ඇල  ඕකට ඇලෝ  , ලනුව උඩින් ඇලෝ  , ලනුව යටින් ඇලෝ ..., ඕක තමයි අපි කිව්වේ , අපිත් එක්ක බා කිව්වේ ". ඊට පත්තේ , උන් දෙන්නව අල්ලලා තොකු අනිනවා .

එක වැරදියි නේ . ඒ දෙන්නා මොන වරදක් කලාටද ගහන්නේ 

ඒ උනාට අපිට නිකන් ඉන්න පාලුයි නේ අංකල් . අනික උන් දෙන්නා අලාල් කනවා . ජාතිවාදේ අවුස්සනවා . උන්ත  ගහලා මදි අංකල් .

නෑ නෑ පුතා එක වැරදියි . එහෙම වෙන්නේ නෑ 

අනේ යන්න අංකල්  යන්න . එතකොට අංකල්  කියන්නේ සාදුලායි අනික් කට්ටියයි  බොලු කියනවා කියලද ?


Voice cut #2

අංකල්  මොනවද අලාල් කියන්නේ 

හලාල් කියන්නේ ඉස්ලාම් ආගමේ කියලා තියෙන හැටියට හදපු කෑම  බීම 

එතකොට එහෙනම් අංකල් , නානසාර අංකල්  , සොලි  සොලි  නානසර  සාදු කියන්නේ මේවා කුඩු වලටත් වඩා  බයානකයි කියලා . ඇයි  අන්කල් ඒ ?


Voice cut#3

අංකල්  ඒ වුනාට බුද්දාගම තමයි හරිම ආගම නේද 

නෑ  නෑ  පුතා එහෙම කියන්න බෑ . හැම ආගමේම ගත යුත්තක් තියෙනවා . අනික අපි අනිත් ආගම්වලට මොකුත් කියන්න හොඳ නෑ ...එතකොට ඒ අයගේ හිත රිදෙනවා 

එහෙනම් අර දවසක්  අංකලුයි අපේ තාත්තයි බුද්දාගමේ වැදි කිව්වේ 

ඒ ඉතින් බුද්ධාගමනේ , අනික ඉතින් අපි බුද්දාගමෙනේ 

අංකල්  බුද්දාගමේ උනේ කොහොමද 

මගේ අම්මයි තාත්තයි බුද්ධාගමේනේ 

මම වගේම එහෙනම් අංකලුත්  බවුද්ද කරලා තියෙන්නේ අම්මයි තාත්තයි .
අංකල්  බුද්දාගමේ වැදි කියන්න අන්කල් මුළු බුද්දාගමම දන්නවද ?

පිස්සුද පුතා , බුදු දහම කියන්නේ සාගරයක් වගේ ලොකු දෙයක් 

එහෙනම් අන්කල් බුද්දාගමේ අයිතිකායද 

නෑ  (එනපොට කුමක් දැයි මේ මොහොතේදී මම කල්පනා කරන්නට වුනෙමි )

එහෙනම් අන්කල් බුද්දාගමට බැන්නම  බුද්දාගමේ අයගේ හිත ලිදෙන්නේ නැද්ද ?

(මට පිළිතුරු නැති විය )

අංකල්  ඕනේ නම් ආස්ක් අ ෆ්‍රෙන්ඩ් අවස්ථාවක් ලබා ගන්න , ලයිෆ් ලයින් තාම ඉතුලුයි .  

ආ ?

ආ ඒත්  බෑනේ... අංකල්ගේ ෆ්‍රෙන්ඩ් තාම නානවානේ 


Voice cut#4

අන්කල් ජාතික සන් ඉන්දියාව කියන්නේ මොකක්ද ?

මොකක්ද පුතා ඒ වචනේ 

ජාතික සන් ඉන්දියාව... අපේ ටීච හොයන් එන්න කිව්වා 

එක සංහිඳියාව පුතා . ඒ කියන්නේ , දැන් මෙහෙම හිතන්නකෝ . මම පුතාගෙන් ප්‍රශ්නයක් අහන්නම් , ලංකාවේ ඉන්න ජාතින් මොනවද ?

අයියෝ ලේසි ප්‍රශ්නයක්නේ අංකල්.... සිංහල , තම්බි , මැලේ , 

තම්බි නෙමෙයි පුතා මුස්ලිම් , තව ?

කේ එෆ් සී ද මොකක්ද එකක් තියෙනවා 

හා හා හා මම හිතන්නේ පුතා කියන්නේ බර්ගර් වෙන්න ඇති 

හිහිහි මට පොඩ්ඩක් පැටලුනා 

තව ?

පගති ගාමි ජනතාව , යු එන්  පී  ජනතාව , හම්බන්තොට කළගුණ ලකන ජනතාව 

ඒ ගොල්ලෝ ජාතින් නෙමෙයි නේ . පොඩ්ඩක් හිතන්න කාව හරි අමතක උනාද කියලා . වෙන කවුද ඉන්නේ ?

වෙන නෑ  එච්චයි 

ඇයි  දෙමළ ?

හු හූ අංකල්ට  අමතක වෙලා . දැන් දෙමළ  අය නෑ . අල  නන්දිකුදාල් වලින් පස්සේ නම් ටිකාක් හිටියා . දැන් නම් කවුලුත්ම  නෑ  . ඇත්තටම මොකද අන්කල් ඒ ගොල්ලන්ට වුනේ ?

හ්ම් පුතත් මාර කතා තමයි කියන්නේ 

අංකල්.... නුවනැත්තන්නම් බොන්නෙම ත්ති  නේ ...



පලි : 
මේ පොඩිහිටියාගේ දෙමාපියන් ගැන මට මහත් අනුකම්පාවක් ඇතිවිය . මා මිතුරාට මා කිවේ "මාත් මෙතන හොඳට නා ගත්තා " කියාය . එනමුදු ඔහු කි දේ ගැන සිතීම මට නැවත්වීමට නොහැකි වී ඇත . පහත වීඩියෝ වත් නරඹන්න . මෙහි ඉන්න පොඩි එක කියන්නේ ඌරුමස් නොකන කොටියා මුස්ලිම් බවය . දෙබලයක් අස්සෙන් ආ කොටිවලිගයක් අල්ලා ගත ගමරාළට අත්වූ ඉරණම මට සිහිවේ . කොටි වලිග වනාහි , අල්ලා ගත්තොත් අල්ලා  ගත්තාමය 

https://www.youtube.com/watch?v=wOytDGZK1Ww

24 May 2014

වීරයෙක් වීමට නම් // To be a hero


මේ කතාව පටන් ගන්නේ කොහොමද ? හරි මෙහෙම පටන් ගන්නම් .
ඔන්න මම අඳුනන මනුස්සයෙක් ඉන්නවා . මිනිහා අහිංසක තනිකඩයෙක් . ගෙදරින් හොයනවා මනාලියෝ, ඒත් එකක්වත් වැඩ කලේ නෑ  . මාසේ පඩියට වැඩ කරන ඔහු එහෙම කියලා ඉතුරු කරගත්ත දෙයකුත් නෑ  . අඩියක් ගැහුවත් , හිමිහිට සින්දුවක් මුමුනලා , ටිකක් සද්දෙට හිනාවෙලා , ගෙදර ගිහින් නිදාගන්නවා විතරයි. එච්චරට සාමකාමීයි .මිනිහා  කවි ලියනවා. ඉඳල හිටලා කවියක් දෙකක් පත්තරෙත් පළවුණා . ඔන්න දවසක් මිනිහට එනවා කෝල් එකක් . දැන් එතැන් සිට

මේ ..... මහත්තයද  කතා කරන්නේ

ඔව්

අර පත්තරේට කවි ලියන ..

ඔව් ඔව්

අපි ඔබතුමාගේ රසිකයෝ , නොම්බරේ හොයා ගත්තේ පත්තරෙන්

රසිකයෝ කිව්වා ?

ඔව් කොටින්ම කියනවානම් , ඔබතුමා අපේ හිත් වල වීරයෙක් . අපේ විප්ලවීය සිතුම් පැතුම්  ඒ විදියටම ලියනවා . බොහෝ දුක් කම්කටොලු අතරින් වෙන්න ඕනෑ  කවි ලියවෙන්නේ ?

එහෙමම නෙමෙයි . ඔය ඉරිදා දවල්ට මම මුරුක්කු පැකට් එකක් ගෙනල්ලා , පොඩි මෙව්වා එකක් ගෙනල්ලා ... ඉතින් එතකොට ඉබේම වගේ ලියවෙනවා

ඒවා කොහොම උනත් දැන් ඔබ තුමා අපේ වීරයෙක් . ඉතින් අපි තීරණය කළා කතා කරලා ඔබ තුමාට ඒ බව දැනුම් දෙන්න .

තෑන්ක්  යූ

දැන් ඔබ වීරයෙක් නිසා පොඩි කොන්දේසි කිහිපයක් තියෙනවා

කොන්දේසි ?

ඔව් ඔව් . ඔබ දැන් දුක්විඳින ජනතාවගේ , පීඩිත  පන්තියේ වීරයෙක් හරිද ?

හරි කියමුකෝ

දැන් ඉතින් ඔය දෑත් ශක්තිමත් කිරීම් බැහැ . ප්‍රොමෝෂන් වලට ඇප්ලයි  කරන්න බෑ . පඩි වැඩිවීම් බෑ . කොටින්ම ලොතරැයි දිනුමක් වත් ඇදෙන්න බෑ  . දුක් විඳින එක නවත්වන්න බෑ 

හැ  හ්

අනික ඔබේ ඔය වීරවංස වගේ රැවුල කපන්න බෑ . අවුල් වුන කොන්ඩේ..  ඒකත් ඔය විදියටම තියෙන්න අරින්න . ඒ දෙකෙන් ඔබතුමාට නියම රැඩිකල් ලුක් එකක් එනවා

අම්මට හු ... කනේ මයිල් ට්‍රිම් කළාට  කමක් නැත්ද දන්නේ නෑ නේද

විහිලුත් කරනවා නේ..
ඔබ අඳින අන්ඩ දාපු කමිසය මාරු කරන්නත් බෑ

ඒ කිව්වේ අලුත් කමිසයක් ගන්න බැරිද

දැන් ඔබ වීරයෙක්, එහෙම බෑ .
දැනට බොන්නේ ගල් නේද

පඩියේ හැටියට , වෙන මොකුත් කරන්න අමාරුයි නේ

ඒකට  කමක් නෑ  , හැබැයි පුතෝ , මගුල් ගෙදරකදීවත්  ඔය ධනවාදී විස්කි බ්‍රැන්ඩි බීලා  අහුවෙන්න එපා

ඈ  ..නිකං  හම්බු උනත් ?

බෑ බෑ එහෙම තමයි වීරයෙක් වුනාම

අනික මේ නිකන් විහිළුවටවත් ලව් කවියක් එහෙම ලියනවා  නෙමෙයි .ට්‍රැක්  පනින්න ඔට්ටු නෑ  .
අනික තමුසේ නිකන් වත් කසාදයක් ගැන එහෙම හිතනවා නෙමෙයි . විප්ලවයටම කැප වෙච්ච කවියෙක් ගේ තියෙනවා අමුතු ගතියක්

මේ ඕයි මමත් මනුස්සයෙක් .

නිකන් ද්‍රෝහියෙක් වෙන්න හදන්න එපා . හිතට දහිරිය ගන්න .

හිතට ගැනිල්ල  කොහොම උනත් . අතට තමයි ...දැන් මොකක්ද මේකෙන් මට තියෙන වාසිය

දැන් ලජ්ජා නැත්ද ඕයි  ඔහොම අහන්න , තමුසේ වීරයෙක් නේද ? ඕහෙටනම්  කිසිම වාසියක් නෑ  . ඒත්  අපිට ..
අපිට දැන් තවත් එක වීරයෙක් ඉන්නවනේ , ඉඳලා  හිටලා විඳින්න , උඩින් තියන්න , චියර් කරන්න .. ඒකම  මදිද

පලි :

පහුගිය කතාවට ඌණ  පූර්ණයක් ලෙස මෙය ලියන්නට ගතිමි . මේ මාගේ අදහසයි . කිසිවෙකුට අපහාසයක් නොවේ . වීරයෝ අපි අපේ හිත්වල හදා ගන්නවා . ඉන්පසු ඔවුන්ගේ අඩුපාඩු දැක්කම කළකිරෙනවා .
සුපර්මෑන් , ක්ලාක් කෙන්ට් ලෙස වෙස්වලාගෙන සිටින්නේ  එබැවින්දෝ යයි සිතේ . ක්ලාක් කෙන්ට් වැරදිකලාට  කම් නැත . ඔහු ඇඳුම් හුවා ( ඔව් ඔව් කලිසමට උඩින් යට කලිසම හැඳ ) සුපර් මෑන් වී ඉන්නා සුළු කාලයේ වැරදි නොකිරීමට වග බලා ගත්තානම් ඒ ඇතිය ... ඒත්  ඒ සුපර් මෑන්  නේ ... හැමෝටම ඕල්ටර් ඊගෝ එකක් නෑනේ

පපලි
මේ කතාව කියවූ අයෙක් මගෙන් ඇසුවේ මේ කතාව අපේ දෙමාපියන්ටත්, දෙමාපියන් හැටියට අපිටත්  අදාළ දැයි කියාය .
පිටරට වැඩ කරන , අවුරුද්දකට සැරයක් දෙකක් ගෙදර එන පියෙක් සහ සැමදා හවසට ගෙදර එන පියෙක් ගැන කතාව ඇදුනි .
ඒත්  එය වෙනමම කතාවකි

21 May 2014

කොහොමද ශාන්ත ...කාලෙකට පස්සේ



හරියටම කාල වකවානු මට ගලපා  ගන්න බෑ  , ඒත්  කාලයක් තිබුනා ඉරිදා දිවයින පත්තරේ එනකන් බලා ගෙන හිටපු . රාවය එහෙම එන්න කලින් .. රටටම උඩින් කළු වලාකුලක් පැතිරුණු . මානි ලා , කසුරි ලා ලියපු දේ ඒ කාලේ අපේ අදහස් එක්ක ගැලපුණු . 

පත්තරේ අතට ගත්තම කොලම්  ටිකත් කියවලා , කෙටි කතාවත් කියවලා , කවි ටිකත් කියවන අතරේ කුරුටු ගෑවුණු කළු සුදු සිතුවමක් එක්ක මොහොතකට තනි වෙනවා හිත .  රේඛාවන් ලඟින් ලඟින් ඇඳිලා මවන චමත්කාරය . සුදු පාට වැඩි , නෙගටිව් ස්පේස් වැඩි , අමුතුම විදියකට කන්ට්‍රාස්ට්  වෙන ඒ සිතුවම් ඇන්දේ ශාන්ත කේ හේරත් .  ඒ කාලේ මමත් චිත්‍ර ඇඳපු  හින්දද මන්දා මම හරිම වින්දනයක් වින්දා .

පහු කාලේක  මොවුන්ගේ හැඩ  රුව හොයන්න ගත්තම , හමුවුනා පින්තුරයක් කෙහෙදැරි මිනිසෙක්ගේ , හිසකේ පැත්තට වගේ පීරූ . එතකොට තමයි මතක් උනේ මේ මනුස්සයා  , අර සිතුවම් අතරත් හිටියා නේද කියලා . ඔහුගේ චිත්‍ර වල හිටියෙත් ඒ වගේ ම වේලිලා ගිය මිනිස්සු ගෑණු . නොදැනීම  වගේම දැන දැනම ඔහුගේ චිත්‍ර වලින් මම අභාසය ගත්තා .

මේ ලඟදි මුහුණු පොතේ සැරිසරණ  කොට මට නැවතත් හමු උනා ශාන්තව . අපි වගේම , ශාන්තත් වයසට ගිහින් . ඔහුගේ සිතුවමුත් නාකි වෙලා . ඒත් ඒ අමුතු චමත්කාරය තවමත් තියෙනවා . ඔක්කොටම වැඩිය පරණ මිතුරෙක් හමුවුනා වගේ හැඟීමක් දැනෙනවා . මේ කාලේ අතරතුර දී  කොච්චර නම් දේවල් සිද්ද වෙලාද , කොච්ච‍ර නම් දේවල් තියෙනවද අපිට කතා කරන්න

16 May 2014

පිස්සු ලාබයි - වෙසක් ඉස්පෙෂල්

ආයුබෝවන් දයාබර ප්‍රේක්ෂක ප්‍රේක්ෂිකාවෙනි  ටික කාලයක විරාමයකින් පසුව නැවතත් ඔබ හමුවට එන්නේ ඔබේ ප්‍රියතම වැඩසටහන "පිස්සු ලාබයි "

(ඝන්ටාර නාදයක් පැතිරේ , සිහින්වට කෙනෙක් සාදු සාදු කියන හඬ ඇසේ )


මේ පින්බර වෙසක් සතියයි. ඒ නිසා අද අපේ වැඩසටහනත් ඒ තේමාවෙන්ම කරන්න අපි තීරණය කළා . ඉතින් අද  "පිස්සු ලාබයි වෙසක් ස්පෙෂල් "


අද අපේ වැඩසටහනට එන පලමු අමුත්තා බෞද්ධ ව්‍යාපාරිකයෙක් . කොටින්ම කියනාවනම් ඔහු බුද්ධාගම අලෙවි කරන්නෙක් . ඔහු තමයි සීමාසහිත බුඩිසම් සේල්ස් (ලංකා) ව්‍යාපාරයේ අධිපති , දේවදත්ත සංඝදාස මහතා . ඔබව ආයුබෝවන් කියලා පිලි ගන්නවා 


තෙරුවන් සරණයි , වෙසඟේ  සිසිලෙන් ඔබ හද ඇවිලේවා 


ආ හ්  , හරි ඔබටත් එසේම වේවා . අපිත් එක්ක එක්  වන දෙවැනි අමුත්තාවත් සාකච්චාව පටන් ගන්න කලින් හඳුනා ගනිමු . ඔබ ඔහුව දැක නැතිවට ඇතැම් විට ඔහුගේ හඬ අසා ඇති . නමින් ඔහු සුරාල් සම්පත් ඔහු රැකියාවක් හැටියට කරන්නේ තොරන්වල විරිදු කියන එක . ඔබවත් ආයුබෝවන් කියලා පිලි ගන්නවා .


(රබානට ගෙන ආරම්බයක් ලබා ගෙන )


බුදුන් දහම් සඟ තෙරුවන් සරණ ලැබෙන්නයි 

වෙසක් හඳේ බැති සිහිලෙන් ඔබ නැහැවෙන්නයි 

ඔබටත් එසේම නාන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා . අපි පටන් ගමු සාකච්චාව .  දේවදත්ත මහතා ඔබ ව්‍යාපාරය ටිකක් අමුතු තාලේ එකක් . කරුණාකරලා කියන්න පුලුවන්ද ඔබ ආයතනයේ වෙළඳ පොලට ඉදිරිපත කර ඇති නිෂ්පාදන කිහිපයක් 


තෙරුවන් සරණයි , නමෝ තස්ස භගවතෝ ..


මහත්මයා දැන් කලිනුත් කිව්වනේ , දැන් පන්සිල් දෙන්නද හදන්නේ ? මෙතන කාලය සීමිතයි 


ආ එහෙමද , එක ඕනේ නැද්ද 


කෙලින්ම පිළිතුර දෙන්න 


මට පළමු වටයේ විනාඩි කියක් ලැබෙනවද 


මේක ඒ ජාතියේ වැඩසටහනක් නෙමෙයි , ඔබ කතා කරන්න 


හරි මෙහෙමයි අපි කෙලින්ම අලෙවි කරන්නේ බුද්දාගම 


එක ටික හරි නෑ  වගේනේ , අධාර්මිකයි  වගේනේ 

ඇයි  එහෙම කියන්නේ , අතීතයේ ඉඳන්ම කවුරු කවුරුත් කරලා තියෙන්නේ ඕක තමයි . ධර්මාශෝක රජතුමා වික්කා , දුටු ගැමුණු රජතුමා වික්කා 

ඊට පස්සේ ඕල්කට් තුමා වික්කා  අපි ගත්තා , පස්සේ කාලෙක ජයවර්ධන උන්නැහේ වික්කා 

මහත්මයා  මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා මෙතන නොසිටින අයගේ නම් කීමෙන් වලකින ලෙස මොකද අපේ ආයතනයට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් 


එකත් එහෙමද . ඒ මොකුත් ඕනේ නෑ , අපේ ගම්වල පන්සල් වල උනත් වෙන්නේ ඕක තමයි හැබැයි මාකටින් හරි මදි , පැකේජින් හරි මදි
 
ඒ කිව්වේ 


දැන් බලන්න නීති මදි බුද්දාගමේ . පන්සිල් උනත් අපිට ඕනේ නම් අපි ගන්නවා . එහෙම නෙමෙයි , තියෙන්න ඕනේ "අඩෝ සත්තු මැරුවොත් බලාගෙනයි , හොරකම් කලොත් බලාගෙනයි"  වගේ නීතී 


හරි.  ඔබ ගෙනත් තියෙනවා නිෂ්පාදන කිහිපයක් . පොඩ්ඩක් හඳුන්වා දෙන්න අපිට


මේ පලවෙනි නිෂ්පාදනය , අපි නම් කරලා තියෙන්නේ "සිල් සුවඳ " කියලා . මේක සුවඳ විලවුම් වර්ගයක් . පන්සලට අසපුවට යන්න කලින් පොඩ්ඩක් ඉහ ගත්තම සිල් සුවඳ පැතිරෙනවා හතර වටේ .


අඩේ  සෑර්  මාරයිනේ . දැන් ඕක ..


මේ තමුන් කවුද? 


මම සුරාල් , කට්ටිය කියන්නේ විරිඳු සුරාල්  කියලා 


හරි කවුරු උනත් කමක් නෑ  මගේ කාලය ගන්න එපා , ඔබේ අවස්ථාවේදී ප්‍රශ්න අහන්න 


දේවදත්ත මහතා මේක ඒ ජාතියේ වැඩසටහනක් නෙමෙයි ...ඒත්  සුරාල්  මහතා බාධා කරන්න එපා ..


මේක අපේ දෙවැනි ප්‍රඩක්ට් එක මේක රිමුවබල් ඉන්ස්ටන්ට් ටැටු  එකක් . බුදු රුවක් තියෙන්නේ 


අපෝ ඕවා ගහ ගෙන රටිනුත් පිටුවහල් කරයි 


නෑ  නෑ  . එකනේ රිමුවබල් . ශ්‍රද්ධාවට ගහ ගන්නවා චෙක් කරන කොට මකා ගන්නවා . හැබැයි ඉතින් දිගටම ගහගෙන හිටියොත් පෝලිම් පන්නලා නිවන් පුරේ රුවන් දොරටුව ගාවටම ගිහින් බස්සන්න පුළුවන් .


හැක්  හැක් ඉන්න විදියට මළොත් මදැයි මහත්තයෝ 


මේ මෙයා ආයෙමත් බාධා ..


හරි හරි ශේප් 


ඔබතුමා ඊළඟ නිෂ්පාදනය හදුන්වා දෙන්න 


මේක අපි නම් කරලා තියෙන්නේ ඇඩ්වාන්ස් රැපිඩ් නිවන් කෝස් කියලා . මේ පැකේජ්  එකේ අපි දෙනවා , මේ පහන් රාජයා  . මේක අපි නම් කරලා තියෙන්නේ "ඥාණ ප්‍රදීපය " කියලා .


 සර් අපේ ගෙවල් ගාවත් ඉන්නවා ඥානා කියලා මනුස්සයෙක්. මිනිහ නානාලත් එක්ක හෙන ගේම 


මේක ඥාන ප්‍රදීපය , නැණ  පහන . මේක පත්තු කරලා , මේ සී  ඩී  එකේ තියෙන විදියට කලාම , සති දෙකෙන් නිවන් යනවා .


ඇත්තටම ?


අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි . ඈස්  සීන්  ඔන්  ටී  වී 


සර් , කොහොමත් වැඩේ ඉවරකරලා යනකොටනම් ඉතින් කටින් පිඹලා හරි නිවන් තමයි යන්න ඕනේ පහණ  නැත්නම් අනතුරු දායකයි 


මේ පිස්සු කියවන්නේ නැතිව ඉන්නවද 


හරි හරි බොහොම ස්තුතියි ඔබේ පැහැදිලි කිරීමට . ඔබේ මේ නිෂ්පාදන වලට ඉල්ලුමක් තියෙයි කියලා මටත් හිතෙනවා  දැන් අපි හැරෙමු සුරාල්  මහතා වෙතට . ඔබ විරිඳු ගායකයෙක් මේ වෙසක් එකට කොහෙද ඔබ ගායනා කරන්නේ 


මේ සැරේ මම අර පොලිසියේ තොරණේ තමයි වැඩ 


අපේ වැඩසටහනේ කාලයත් අවසන් වෙලා තියෙන නිසා ...


සර් මෙයාට මෙච්චර වෙලා කියවන්න දුන්නා  දැන් අපිට කතාකරන්න වෙලා දෙන්නේ නෑ , වැඩේ කැතයි 


මොනවා කරන්නද වාසනාවකට ලැබී තියෙන කාලය අවසන් , එත් ඔබෙන් ඉල්ලා සිටිනවා තෝරන් වල කියන විරිඳුවක් කියා වැඩසටහන අවසන් කරන්න කියා 


( රබානට ගසමින් ගායනය පටන් ගනී )


(තාලයට ) 
ඔන්න සුදන මේ අසනුය බින්න නැතානේ
පොලෝසියේ ගුනේ විස්තර බලනු තොරනිනේ  

(තාලයක් නැතිව කතා කරනවා මෙන්) පලවෙනි කොටුවෙන් පෙනෙන්නේ භයානක අපරාධ කරුවෙක් වන වම්බට්ටා ඇල්ලු හැටියි . 

අනේ පින්වත්නි දෙවනි කොටුවේ ඔහුට වෙඩි කන්න වෙනවා බෝම්බයක්  පෙන්නන්න ගිහින් 

ඔන්න සුදන මේ අසනුය බින්න නැතානේ

පොලෝසියේ ගුනේ විස්තර බලනු තොරනිනේ 

(තාලයක් නැතිව කතා කරනවා මෙන් ) තුන්වැනි  කොටුවේ දත් විලිසා ගෙන ඉන්නේ නේවි  නිහාල් දරුණු මිනිමරුවෙක් . අනේ 
ඊළඟ කොටුවෙ ඔහුත් වෙඩි කනවා තුවක්කුවක් පෙන්නන්න ගිහින් ..

හරි හරි අපිට වැඩේ තේරුනා , අපිට ලැබී ඇති කාලය අවසන් නිසා අපි වැඩසටහන අවසන් කරනවා නැවතත් අපි හමුවෙන තෙක් ආයුබෝවන් 

13 May 2014

පොලිසිය ගැන දුක සිතීම හා සිවුරට බය වීම

මචං  

ඔව් 

දැක්කද අර කුරුණෑගල කොස්සෝ දෙන්නෙක්ව උස්සන් ගිහින් වෙඩි තියලා 

ඔව් ඔය පත්තරේ තිබ්බේ 

මචං  උඹ බැලුවද අර 360 , අර පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමා කතා කරනවා .

ඔව් 

මචං  මිනිහත්  කරන්නේ රස්සාවක්නේ කියලා හිතුනා මට, එක බලනකොට .අපි කොච්චර නම් බිග් මැච් දවස් වල කොස්සොන්ට හූ කියලා ඇත්ද . කැම්පස් එකේ කොල්ලෝ ගෆුර්ට ගල් ගහපුවම, උගේ ඔලුව පැලුණම, ඒ දවස් වල අපිට කොච්චර ජොලියක් හිතට දැනුනද. ඒත්  දැන් මට පාරේ හිටන් ඉන්න රාළහාමිලා දැක්කම පව් කියලා හිතෙනවා.

හ්ම්ම්

******************************************************


මචං  

ඔව් 

 අද අර සීට්ටු සල්ලි හම්බු උනා . ඉතින් ත්‍රී  වීල්  එකක අම්මවයි පුතාවයි දාගෙන මම කූල්  ප්ලැනට්  එකට ගියා  පොඩි එකාට ටී  ෂර්ට් එකක් අරන් දෙන්න . බඩු  අරන් එලියට බහිනකොටම , සුදු එල කිරි ජීප් එකක් නතර කලා  . ඉස්සර සීට්  එකේ හාමුදුරු කෙනෙක් පස්සේ සිට්  වලත් තරුණ හාමුදුරු වරු . මට හීන්  දහඩිය  දැම්මා . 

ඔව් ඔව් ඔය මුස්ලිම් කඩ වලින් බඩු  අරන් , අර සේනාවට අහු උනොත් ...උඹට කන්න තමයි වෙන්නේ 

ඔව් මචන් දැන්  සිවුරක් දකිනකොටත් බය හිතෙනවා 



පලි :
පරණ කාර් කඳු නගිද්දී මග නවත්වන්න බැරිය . එක හැල්මේ පිඹ ගෙන අදින්නේය . ඒත් එක හැල්මේ පිඹ ගෙන ගිය කල එන්ජිම රත් වේ . එවිට නවත්වන්නම සිදුවේ . එවිට පල්ලම දිගේ රූටා පහලට වැටේ .

පොලිසිය ගැන දුක හිතීම හා සිවුරට බය වීම, මෙවැනි ලක්ෂයක් අත  ළඟ බව කියා පානවා යයි මට සිතේ   

08 May 2014

මගුල් පින්තුරය // The Wedding Photo





ආයෙත් පින්තුර කතාවක් .

පහුගිය දවස් වල එහෙ මෙහෙ ඇවිදිනකොට මේ යුවළ  දුටුවෙමි.  කොල්ලා  කැමරාව සෙට් කරලා දුව ගෙන ගිහින් , ගෑණු  ළමයාගේ කරට අතක් දාලා  පින්තුරේට හිට ගන්නවා . ඔව් ගෑනු ළමයා සුදු ගවුමක් ඇඳලා , මල් කලඹක් අතට අරන් . මල් කලඹ ප්ලාස්ටික් !

මට එක පාරටම නන්දා  මාලිනි ගේ  "යනවා නම් අනේ මං  අරන් "  සින්දුව මතක් උනා .


 ඒ දවස් වල අපි විහිලුවට කියන  " ඈත පලාතක , පුංචි කඳු ගැටයක් උඩ  , පුංචි පැලක්  හදා ගෙන ..." කතාව ... හ්ම් ජිවිතේ ඊට වඩා කොච්චර නම් වෙනස් ද ... දෙමාපියෝ යාලුවෝ අත  ඇරලා මේ නොරටට ආපු දවස් වල , අපිටත් දැනුනේ ඈත පළාතක ආවා වගේ තමයි . අපේ ලෝකය , අපි තුන් දෙනා . කාමරේට ඇවිත් දොර වහගත්තම අවට මොනවා වුනත් අපිට කම් නෑ . කෙල්ලගේ හුරතල් පණ්ඩිත කතා අහගෙන අපි දෙන්නා හිනා වෙනවා .

මම ආයෙමත් මේ පින්තුරේ දිහා බලනවා . ලක්ෂ ගණන් වියදම් කරලා ගන්න මහා විවාහ උත්සව . මංගල යුවල පිටුපස  කැමරා මනා ගෙන එන මහා සේනාව මතක් වෙනවා මට මොහොතකට

05 May 2014

ශ්‍රී ක්‍රමොපායිගිකාරාමයේ සිරි විසිතුරු // A Letter from uncle James

මට මෙන්න මේ ලියුම එවලා තිබුනා බ්ලොග් එකේ පළ  කරන්න කියලා . තැපැල් කරලා තිබ්බේ ඕස්ට්‍රේලියාවෙන් .  මට පුදුමත් හිතුනා, ඕස්ට්‍රේලියාවේම ජිවත් වෙන , බ්ලොග් ලියන, මෙච්චර ප්‍රකට බ්ලොග් කරුවන්, කාරිනියන් ඉඳිද්දිත් , මාව තෝර ගත්තේ මොකෝ කියලා, මේ වැඩේට. ඒත් මව් කිරි වගේම අර කුකුල් බෙටිත් බෙහෙතට ඕනෑ  වෙනවනේ කියා සිතා ,  ඔන්න ඒ ලියුම සිංහලට පරිවර්තනය කරලා පළ  කරනවා .


සියළු  ශ්‍රී ලාංකික ජනතාව වෙත 

මේ දවස් වල ලංකාවේ මා සදන්නට යන හෝටලය ගැන විවිධ මත පැතිරෙන බව මට දැන  ගන්නට ලැබුණි . බොහෝ අය මින් ඇති විය හැකි අනිසි ප්‍රතිපල ගැන කියමින් ජනතාව මුළා කිරීමට සැරසෙති . එහෙයින් මේ ව්‍යාපෘතිය ගැන ඇත්ත ඇති සැටියෙන් ඔබට දැන්වීමට අවශ්‍යයි, මම සිතුවෙමි .

මුලින්ම  ඔවුන් කියනා මුසාව, මෙහි සාදන්නේ කැසිනොවක් බවය. එය මහා බොරුවකි .  ජනාධිපති තුමා අච්චර කියලාවත් , මුන් පිළිගන්නේ නැත්තේ ඇයිදැයි,මට නම් නොතේරේ . මගේ රුලේ මේසේ පල්ලා , හාරත ආසියා  පල්ලා, මාත්  රවී උපාසක මහතාත් එක්ව මෙහි තනන්නේ හෝටලයකි . එය බොදු පිළිවෙත් අකුරටම පිළිපදින ආයතනයකි . එක්  විදියකට කියනාවනම් අසපුවකි.  කෙපමන ධර්මානුකුලද කියනාවනම් සියලුම දේ අනු සාංඝිකය .

සැම  පෝය දිනකම මෙහි ධර්ම ශාලාවේ සුමදුර ධර්ම දේශනයකි . දෙසවන්  ඇසෙන මානයේ බොදු බැති ගී නාදයයි . කොටින්ම, ගරුතර ජනාධිපතිතුමාගේ සංකල්පයක්  අනුව පිහිටුවන, ආගමික පොලිසියේ ප්‍රධාන කාර්යාලය පිහිටුවන්නේද මෙහි උඩු මහලේය . සංස්කෘතික අමාත්‍යංශය  ඊට පහල මහලේය .ඇතුල් වන මහා දොරටුව අබියසම බුද්ධාලම්බන ප්‍රීතිය ඔද වඩන , බලුබ් හාර ලක්ෂයක මහා තෝරන් රාජයෙකි . 

අනුරාධපුරයේ , සියඹලාණ්ඩුවේ , වවුනියාවේ පාසැල්  දරුවන්ට, අධ්‍යාපන චාරිකාස ඳහා , අයිස්චර්යයේ මාවත දිගේ විත්  කොළඹ නගරයේ  කටුගෙය , ගෝල්  පේස්  නරඹා , බේරේ  වැවේ එක ඉවුරක ඇති ගංගාරාමයත් , අනෙක් පසින් ඇති මනරම් "ක්‍රමොපායිගිකාරාමයත්"  වැඳ  පුදා  ගත හැකිය . එවිට ඔවුන්ට අයිස්චර්යයේ තරම හොඳින් මනසට හා හදවතට  දැනෙනු ඇත . හැබැයි පුතෝ ඕන දෙයක් දොරෙන් එළියේ ඉඳන් ය . 

කෙතරම් හොඳ වුවද මෙවැනි ස්ථාන වලට ඇතුළු වීමෙන් ශ්‍රී ලාංකිකයන් නරක්  විය හැකි බැවින් , කිසිම ලාංකිකයෙක් මෙහි සේවයට ගන්නේ නැත . රිකිල්ලගස් හන්දියේ සුමනා , පදවියේ විනීතා මෙහි දොරෙන් ඇතුළු වුවහොත් , මනස දුෂණය වී , කුරුවල් වී , ඔවුන්ගේ නම් සැන්ඩ්රා , හා විනී වී ගණිකා වෘත්තීය වැනි විසමාචාර වලට යොමිවිය හැකියයි  අයෙක් කියති . අපි ඔවුන්ගේ මතයට ගරු කරමු . එහෙයින්  සුමනාට ,  විනීතාට රිකිල්ලගස් හන්දියේ, පදවියේම සැන්ඩ්රා හා විනී වීමට ඉඩ හරිමු . 
ඔබ හෝටලයට ඇතුළු වූ වහාම,  ඉතා සංවර ඔසරියකින් , ළමා සාරියකින් සැරසී දෑත් එක් කොට ආචාර කොට ඔබව පිලිගන්නේ රුසියාවේ ස්වෙට්ලානා සහ තායිලන්තයේ සනී ය  . පිලි ගැනීමද අනු සාංඝිකය . 

බෝජනාගාරයේ ඔබට කැමති ඕනෑම කෑමක්  බිමක් ඇත . බීම  කිව්වාම , පොල් පලා නම් පොල් පොල් පලාය , බෙලිමල් වතුර නම් , බෙලිමල් වතුරය  . මතට තිතමය . සෝඩා  එපාය .කෑම  බීමද  අනුසංඝිකමය .

සැමදා උදැසන , ශබ්ද විකාශන යන්ත්‍රයෙන් පන්සිල් ප්‍රචාරණය කරනු ලැබේ . ඉන් පසු සුරාවේ සුදුවේ  , සහ කාමයේ වරදවා හැසිරීමෙන් ඇතිවන ආදීනව ගැන ඉතා කෙටි ධම්ම චින්තාවකි .

මා හෝටල් හදන්නේ කැසිනෝ මුල් කර ගෙන බවද . ඉන් ලැබෙන ලාබයෙන් වැඩි හරියක් ලැබෙන්නේ කැසිනෝ වලින්ම බවද . කැසිනෝ නැත්නම් මට මොන ලබ්බක් ද ලාබයක් ද කියා ඇතැමෙක් අසති . පිම්වත්නි පින්වත්නි මාගේ මේ උත්සාහය හුදෙක් ලාබය සඳහා නොවේ . මාගේ මේ ප්‍රයන්තනය  ඔබේ දහම් දීපයේ අයිස්චර්යයේ කොටස් කරුවෙකු වීමටය . බල්ලොත් නොකන සල්ලි , තුහ් , මට නම් සතයක්වත් එපා එපාමය . මතු දවසක මෙතේ බුදුන් දැක නිවන් දකින්නට මා පින්ම කරමි .

එහෙයින් මා ඔබෙන් ඉල්ලා සිටින්නේ , සති දෙකක් තුනක් ඉවසන ලෙසය . එවිට වැඩේ පාස්ය , සැමදේ  වගේ මෙයත් ඔබට අමතකය  . මොනවද ඔට්ටු ? . ඔබ සැමට සුබ අනාගතයක් පතමි .

මීට කලාබර දයාබර 

ජේමිස් මාමා 

04 May 2014

සැපයුමට සරිලන ඉල්ලුම // Demand for supply

ටික දවසකින් මොකුත් ලියන්නත් බැරි උනා . (ඒත් ලියවුන දේ කියෙව්වා. )

 පරන කතා ආයෙත් ආයේත් ඇදලා ගන්නවා කියලා හිතන්න එපා, මේ පහුගිය දවස් වල සිද්ද වෙච්චි සිද්ධීන් නිසා මේ කතාව ලියන්න හිතුනේ ටික දවසකට කලින්. සාමාන්‍ය විදියට සති දෙකකට පස්සේ මේ සිද්ධින්ගේ සැර බාල වෙලාද දන්නේ නෑ . ඒත් මේ කස කාරයෝ, පෙරහැර ගැන දෙන ඔත්තුව බැරෑරුම් නිසා මේ සටහන පළ  කරන්න හිතුනා . 

මුලින්ම කියන්න ඕනේ මේක මම අහපු කතාවක් බව . ඉතින් කතාවේ ඇත්ත නැත්ත හරියටම දන්නේ නැත්තෙමි . හැබැයි කතාවෙ යටිපෙල අරුත හා පාඩම , අදාලයි කියලා හිතෙනවා අදටත්. 

උස්වත්ත ආයතනය ගැන ඔබ දන්නවා ඇති . අර තොප්පි දාන , රැවුල වවපු සුනිල් ගේ පවුලේ ව්‍යාපාරය . අර ජුජුබ්ස් හදන්නේ...
ඔන්න එක කාලයක අවතිර්න වුනාලු වෙලඳ පොලට තවත් ආයතනයක් ජුජුබ්ස් වගෙ ජාතියක් නිශ්පාදනය කරන. (ඕක අපේ රටේ (විතරක්ද මන්දා ) හැටියක්නේ . සපත්තු කඩයක් සාර්ථක වුනොත් , මුළු පාරේම පටන් ගන්නවා සපත්තු කඩ . නිකන් වත් කාටවත් හිතෙන්නේ නෑ  දාන්න මේස්  කඩයක් ..)
  වෙලඳ පොලට දාපු මුල් රස කැවිලි පැකට් ටික විකුනුනාලු උණු කැවුම් වගේ. දෙවැනි තොගයත් එහෙමමයි. මුල් මාස හයේ මාර අලෙවියක්. ඉතින් අර ආයතනය නිශ්පාදන ධාරිතාවය වැඩිකලා, අලුතින් සේවකයන් බඳවා ගත්තා. ණයක් අරන් අලුත් බිල්ඩිමක් කුලියට ගත්තා ,  අලුත් මැශින් ගත්තා. හැබැයි පොඩි රහසක් ..දාන දාන බඩු මිලදි අරන් තියෙන්නේ උස්වත්ත ආයතනයෙන් . 

ඔන්න එක පාරම නූල් දීලා දීලා , සරුන්ගලේ නූල  අත ඇරියා. බඩු මිලදි ගැනිම නැවැත්වුවා. වෙච්ච දේ හිතා ගන්න පුලුවන් නේ . අර ආයතනය ණය ගෙවා ගන්න බැරුව බංකොලොත්  වුනා. 

ජුජුබ්ස් වලට විතරක් නෙමෙයි අනෙක් හැම දේ ටත් , බොහෝවිට ඇති ඉල්ලීම මෙවැන්නක්  බව , බොහෝ දේට මෙවැනි ඉරනමක් හිමි නොවේ යයි අපට කෙසේ නම් සිතිය හැකිද ? 

පලි : කවුරුන් හෝ නානසාර උන්නැහේ පාවිච්චි කරගෙන කරන භයානක සෙල්ලම .  අල්ලන අල්ලන දේ රන් වන වරමක් ලැබුණු රජ කෙනෙකුගේ කතාවක් හේතුකොට මෙය ලිය වුනි