16 May 2014

පිස්සු ලාබයි - වෙසක් ඉස්පෙෂල්

ආයුබෝවන් දයාබර ප්‍රේක්ෂක ප්‍රේක්ෂිකාවෙනි  ටික කාලයක විරාමයකින් පසුව නැවතත් ඔබ හමුවට එන්නේ ඔබේ ප්‍රියතම වැඩසටහන "පිස්සු ලාබයි "

(ඝන්ටාර නාදයක් පැතිරේ , සිහින්වට කෙනෙක් සාදු සාදු කියන හඬ ඇසේ )


මේ පින්බර වෙසක් සතියයි. ඒ නිසා අද අපේ වැඩසටහනත් ඒ තේමාවෙන්ම කරන්න අපි තීරණය කළා . ඉතින් අද  "පිස්සු ලාබයි වෙසක් ස්පෙෂල් "


අද අපේ වැඩසටහනට එන පලමු අමුත්තා බෞද්ධ ව්‍යාපාරිකයෙක් . කොටින්ම කියනාවනම් ඔහු බුද්ධාගම අලෙවි කරන්නෙක් . ඔහු තමයි සීමාසහිත බුඩිසම් සේල්ස් (ලංකා) ව්‍යාපාරයේ අධිපති , දේවදත්ත සංඝදාස මහතා . ඔබව ආයුබෝවන් කියලා පිලි ගන්නවා 


තෙරුවන් සරණයි , වෙසඟේ  සිසිලෙන් ඔබ හද ඇවිලේවා 


ආ හ්  , හරි ඔබටත් එසේම වේවා . අපිත් එක්ක එක්  වන දෙවැනි අමුත්තාවත් සාකච්චාව පටන් ගන්න කලින් හඳුනා ගනිමු . ඔබ ඔහුව දැක නැතිවට ඇතැම් විට ඔහුගේ හඬ අසා ඇති . නමින් ඔහු සුරාල් සම්පත් ඔහු රැකියාවක් හැටියට කරන්නේ තොරන්වල විරිදු කියන එක . ඔබවත් ආයුබෝවන් කියලා පිලි ගන්නවා .


(රබානට ගෙන ආරම්බයක් ලබා ගෙන )


බුදුන් දහම් සඟ තෙරුවන් සරණ ලැබෙන්නයි 

වෙසක් හඳේ බැති සිහිලෙන් ඔබ නැහැවෙන්නයි 

ඔබටත් එසේම නාන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා . අපි පටන් ගමු සාකච්චාව .  දේවදත්ත මහතා ඔබ ව්‍යාපාරය ටිකක් අමුතු තාලේ එකක් . කරුණාකරලා කියන්න පුලුවන්ද ඔබ ආයතනයේ වෙළඳ පොලට ඉදිරිපත කර ඇති නිෂ්පාදන කිහිපයක් 


තෙරුවන් සරණයි , නමෝ තස්ස භගවතෝ ..


මහත්මයා දැන් කලිනුත් කිව්වනේ , දැන් පන්සිල් දෙන්නද හදන්නේ ? මෙතන කාලය සීමිතයි 


ආ එහෙමද , එක ඕනේ නැද්ද 


කෙලින්ම පිළිතුර දෙන්න 


මට පළමු වටයේ විනාඩි කියක් ලැබෙනවද 


මේක ඒ ජාතියේ වැඩසටහනක් නෙමෙයි , ඔබ කතා කරන්න 


හරි මෙහෙමයි අපි කෙලින්ම අලෙවි කරන්නේ බුද්දාගම 


එක ටික හරි නෑ  වගේනේ , අධාර්මිකයි  වගේනේ 

ඇයි  එහෙම කියන්නේ , අතීතයේ ඉඳන්ම කවුරු කවුරුත් කරලා තියෙන්නේ ඕක තමයි . ධර්මාශෝක රජතුමා වික්කා , දුටු ගැමුණු රජතුමා වික්කා 

ඊට පස්සේ ඕල්කට් තුමා වික්කා  අපි ගත්තා , පස්සේ කාලෙක ජයවර්ධන උන්නැහේ වික්කා 

මහත්මයා  මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා මෙතන නොසිටින අයගේ නම් කීමෙන් වලකින ලෙස මොකද අපේ ආයතනයට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් 


එකත් එහෙමද . ඒ මොකුත් ඕනේ නෑ , අපේ ගම්වල පන්සල් වල උනත් වෙන්නේ ඕක තමයි හැබැයි මාකටින් හරි මදි , පැකේජින් හරි මදි
 
ඒ කිව්වේ 


දැන් බලන්න නීති මදි බුද්දාගමේ . පන්සිල් උනත් අපිට ඕනේ නම් අපි ගන්නවා . එහෙම නෙමෙයි , තියෙන්න ඕනේ "අඩෝ සත්තු මැරුවොත් බලාගෙනයි , හොරකම් කලොත් බලාගෙනයි"  වගේ නීතී 


හරි.  ඔබ ගෙනත් තියෙනවා නිෂ්පාදන කිහිපයක් . පොඩ්ඩක් හඳුන්වා දෙන්න අපිට


මේ පලවෙනි නිෂ්පාදනය , අපි නම් කරලා තියෙන්නේ "සිල් සුවඳ " කියලා . මේක සුවඳ විලවුම් වර්ගයක් . පන්සලට අසපුවට යන්න කලින් පොඩ්ඩක් ඉහ ගත්තම සිල් සුවඳ පැතිරෙනවා හතර වටේ .


අඩේ  සෑර්  මාරයිනේ . දැන් ඕක ..


මේ තමුන් කවුද? 


මම සුරාල් , කට්ටිය කියන්නේ විරිඳු සුරාල්  කියලා 


හරි කවුරු උනත් කමක් නෑ  මගේ කාලය ගන්න එපා , ඔබේ අවස්ථාවේදී ප්‍රශ්න අහන්න 


දේවදත්ත මහතා මේක ඒ ජාතියේ වැඩසටහනක් නෙමෙයි ...ඒත්  සුරාල්  මහතා බාධා කරන්න එපා ..


මේක අපේ දෙවැනි ප්‍රඩක්ට් එක මේක රිමුවබල් ඉන්ස්ටන්ට් ටැටු  එකක් . බුදු රුවක් තියෙන්නේ 


අපෝ ඕවා ගහ ගෙන රටිනුත් පිටුවහල් කරයි 


නෑ  නෑ  . එකනේ රිමුවබල් . ශ්‍රද්ධාවට ගහ ගන්නවා චෙක් කරන කොට මකා ගන්නවා . හැබැයි ඉතින් දිගටම ගහගෙන හිටියොත් පෝලිම් පන්නලා නිවන් පුරේ රුවන් දොරටුව ගාවටම ගිහින් බස්සන්න පුළුවන් .


හැක්  හැක් ඉන්න විදියට මළොත් මදැයි මහත්තයෝ 


මේ මෙයා ආයෙමත් බාධා ..


හරි හරි ශේප් 


ඔබතුමා ඊළඟ නිෂ්පාදනය හදුන්වා දෙන්න 


මේක අපි නම් කරලා තියෙන්නේ ඇඩ්වාන්ස් රැපිඩ් නිවන් කෝස් කියලා . මේ පැකේජ්  එකේ අපි දෙනවා , මේ පහන් රාජයා  . මේක අපි නම් කරලා තියෙන්නේ "ඥාණ ප්‍රදීපය " කියලා .


 සර් අපේ ගෙවල් ගාවත් ඉන්නවා ඥානා කියලා මනුස්සයෙක්. මිනිහ නානාලත් එක්ක හෙන ගේම 


මේක ඥාන ප්‍රදීපය , නැණ  පහන . මේක පත්තු කරලා , මේ සී  ඩී  එකේ තියෙන විදියට කලාම , සති දෙකෙන් නිවන් යනවා .


ඇත්තටම ?


අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි . ඈස්  සීන්  ඔන්  ටී  වී 


සර් , කොහොමත් වැඩේ ඉවරකරලා යනකොටනම් ඉතින් කටින් පිඹලා හරි නිවන් තමයි යන්න ඕනේ පහණ  නැත්නම් අනතුරු දායකයි 


මේ පිස්සු කියවන්නේ නැතිව ඉන්නවද 


හරි හරි බොහොම ස්තුතියි ඔබේ පැහැදිලි කිරීමට . ඔබේ මේ නිෂ්පාදන වලට ඉල්ලුමක් තියෙයි කියලා මටත් හිතෙනවා  දැන් අපි හැරෙමු සුරාල්  මහතා වෙතට . ඔබ විරිඳු ගායකයෙක් මේ වෙසක් එකට කොහෙද ඔබ ගායනා කරන්නේ 


මේ සැරේ මම අර පොලිසියේ තොරණේ තමයි වැඩ 


අපේ වැඩසටහනේ කාලයත් අවසන් වෙලා තියෙන නිසා ...


සර් මෙයාට මෙච්චර වෙලා කියවන්න දුන්නා  දැන් අපිට කතාකරන්න වෙලා දෙන්නේ නෑ , වැඩේ කැතයි 


මොනවා කරන්නද වාසනාවකට ලැබී තියෙන කාලය අවසන් , එත් ඔබෙන් ඉල්ලා සිටිනවා තෝරන් වල කියන විරිඳුවක් කියා වැඩසටහන අවසන් කරන්න කියා 


( රබානට ගසමින් ගායනය පටන් ගනී )


(තාලයට ) 
ඔන්න සුදන මේ අසනුය බින්න නැතානේ
පොලෝසියේ ගුනේ විස්තර බලනු තොරනිනේ  

(තාලයක් නැතිව කතා කරනවා මෙන්) පලවෙනි කොටුවෙන් පෙනෙන්නේ භයානක අපරාධ කරුවෙක් වන වම්බට්ටා ඇල්ලු හැටියි . 

අනේ පින්වත්නි දෙවනි කොටුවේ ඔහුට වෙඩි කන්න වෙනවා බෝම්බයක්  පෙන්නන්න ගිහින් 

ඔන්න සුදන මේ අසනුය බින්න නැතානේ

පොලෝසියේ ගුනේ විස්තර බලනු තොරනිනේ 

(තාලයක් නැතිව කතා කරනවා මෙන් ) තුන්වැනි  කොටුවේ දත් විලිසා ගෙන ඉන්නේ නේවි  නිහාල් දරුණු මිනිමරුවෙක් . අනේ 
ඊළඟ කොටුවෙ ඔහුත් වෙඩි කනවා තුවක්කුවක් පෙන්නන්න ගිහින් ..

හරි හරි අපිට වැඩේ තේරුනා , අපිට ලැබී ඇති කාලය අවසන් නිසා අපි වැඩසටහන අවසන් කරනවා නැවතත් අපි හමුවෙන තෙක් ආයුබෝවන් 

19 comments:

  1. පිස්සු බම්ප්... වල්ලා පට්ට..

    තෙරුවන් සරණයි....!!!

    ReplyDelete
  2. ස්තුතියි. අපි නම් කියන්නේ හැපි වෙසක් කියලා

    ReplyDelete
  3. හිනායනවා තමයි. නමුත් ඇත්ත තත්වය මේක නේද කියලා හිතෙනකොට ඇතිවෙන්නේ කලකිරීමක්.

    ReplyDelete
    Replies
    1. හිනා වෙලා අන්තිමේ කඳුලු එනවා

      Delete
  4. හොඳ වෙලාවට බුදු සාදු නිවන් ගියේ. නැත්තම් මේ විකාර දැකලා බඩේ අමාරු නොවෙයි හදා ගන්නේ හාට් ඇටෑක්.

    ReplyDelete
    Replies
    1. කකා.මම ඉන්නේ වෙන තැනක.බුදුන් වහන්සේයි සාසනයි කියන්නේ දෙකක් නිසා , උන්වහන්සේ උපෙක්ශාවෙන් ඉවසා වදාරාවී

      Delete
  5. එළ . හැබැයි විරිදු කාරයාට තව ටිකක් වෙලාව දෙන්න තිබ්බා

    ReplyDelete
    Replies

    1. තොරන්වල සෙවනැල්ලට මුවා වෙච්ච මිනිස්සු නේ තිලකේ. උන්ව ඕනේ වෙන්නේ විරිදුවක් කියා ගන්න විතරයි

      Delete
  6. මරු ලිවිල්ල.. :)

    ReplyDelete
  7. තෙරුවන් සරනයි

    ReplyDelete
  8. AnonymousMay 17, 2014

    අපේ අම්මේ... හි හි නියමයි

    ReplyDelete
  9. //සර් , කොහොමත් වැඩේ ඉවරකරලා යනකොටනම් ඉතින් කටින් පිඹලා හරි නිවන් තමයි යන්න ඕනේ පහණ නැත්නම් අනතුරු දායකයි//

    :)

    ReplyDelete
  10. AnonymousMay 19, 2014

    මෙන්න උපහාසාත්මක ලිපි. අති සාර්ථකයි!!

    ReplyDelete
  11. AnonymousMay 20, 2014

    තෙරුවන් සරණයි!!!

    ReplyDelete

Have commented