16 July 2018

බෝ මුල සත්‍යය දැකීම

ඈ නම ශ්‍රියා ය 
නුගේගොඩ ය 
බෝ ගහ යටය 
බෝ පතුත් ලෙලවා 
සායත් උස්සන්න හදන 
සල්ලාල සුළඟක් ය 
කාර් එකේ දොර ඇරුනේය 
ටොයෝටා ය 
ප්රියස් ය 
බායි කිව්වේ කොල්ලෙක්ය 
කොල්ලෙක් කීවාට ...
ඒ කතා අනවශ්‍යය 
දික්වුනේ නොට්ටුය 
දාහේ කොළ හතරක්ය 
ඉතුරු දුර ටැක්සියේ යන්නය 

හමුවුනේ බුකියේය 
චැට් කලේ රෑට රෑටය 
ඉන්නේ ඉතාලි කීවාට 
ඈතින් ඇහුනු කුණුහබ්බ 
සිංහලය 

සති හයක් ඇවෑමෙන් 
“නම්කි 
මම ශාන් 
ලංකාවේ වැකේෂන් 
කතාකරන් පොඩ්ඩක් 
යමු අපි ට්‍රීප් ?”

කෑවේ චයිනීස් ය 
බීවේ ඔරේන්ජ් ජූස් ය 
ඇහැකොනින් බැලුවේ වේටර්ය 
කටකොනින් අවඥා හිනාය 
සිවිලිමේ තඩි හූනේක්ය 
බෙඩ් සීට් වල රැලිය 
නොකළේ කතා පමණක්ය 

වෙලාව හය හමාරය 
ඉන්නේ බස් එකක් එනකංය
එකසිය තිස් අටය
බෝගහේ මා වවුලෙක් ය 
ටීන් ගෑවේ එස් එම් එස්ය 
නම්කි මම ශාන්ය 
වෙරි සොරිය 
අද එන්න වෙන්නේ නෑය 

එතකොට 
සුදු ප්රියස් 
ෆ්‍රයිඩ් රයිස් 
රැළි නැගුන 
බෙඩ් සීට් ?

දහසක් බුදුන් උපදින්නේ
අළුයමය  
සත්‍යය වැටහෙන්නේ 
ගොම්මන බෝගස් යටය

මාතලන්ගේ ජෝක්ස් එකක් ඇසුරෙනි

15 July 2018

ඊයේ දැක්ක පෝස්ටරේ


තාප්පයකි
පොලීසියකි
වම්  කොණ ගැලවුණු
පෝස්ටරයකි

ජනපතියෙකි
අහඹු
හිනාවකි
පුරුදු
ආරාධනාවකි
හොම්බට අනිනු
වීර වාක්‍ය සිරස්තලයකි
ප්‍රොපගැන් ඩා ගඳ කි
පිළුණු

බැල්ලියකි
මුත්‍රා පාරකි
කොන්ක්‍රීට්
පේමන්ටුව
දිගේ ගලනා
ගඟකි

හොරා
පොලිස්
නැත
බල්ලන්ට
කම්

07 July 2018

ගිනි cool වීම


(from https://www.deviantart.com/maxeerz/art/Frozen-Fire-315066870)

විප්ලවය රෝමාන්තික සිහිනයක්ව ඉපැද , 
ආශ්වාදයක් , "high " එකක් ව පැවැත , 
ඛේදාන්තයක්ව අවසන් වෙයි . 
හැමවිටම . 
ඉන්පසු නොස්ටල්ජියානු මතකයක්ව ශේෂ වේ .
ඒ විප්ලවයන්ගේ ජීවන චක්‍රයයි . 

චේ , චේගේ පැවැත්ම , කියුබානු විප්ලවය , කියුබාව සහ පිටකොටුවේ පේමන්ට් එකේ විකිණෙන  චේගේ ටී ෂර්ට් එක ...
එතනිනුත් එහාට යනවා නම් , ඒ ටී ෂර්ට් එකම ඇඳ ගෙන කොළඹ කොෆි ෂොප් එකක , කැපචිනෝ බොන කොන්ඩේ දිග හාදයෙක් 

විප්ලවයක අවසන ශේෂවන්නේ ඒ විප්ලවයේ චින්තනමය  පදනම හෝ ඒ ක්‍රියාවලියේ ගතිකය පිලිබඳ මතක නොවේ . විප්ලවය නිසා මතුවුණ චරිත පිලිබඳ නොස්ටල්ජියාවයි . 

ඒ නිසායි හැමවිටම , විප්ලවයේ නෂ්ටාවශේෂ cult icon වලට පරිවර්තනය වෙලා , ඒවාට මිලක් නියම වෙන්නේ . අපි පිළිගත්තත් නැතත් නිදහස ව්‍යාප්ත වෙන්න වෙන්න වෙළඳ පොළ ගති ලක්ෂණ හැසිරීම වැඩියෙන් තීව්ර වෙනවා . 
ඉල්ලුම සහ සැපයුම .

ලංකාවේ මෙවැනි icon level එකට තල්ලු කරන්න පුළුවන් චරිත දෙකක් මගේ ජීවිත කාලය තුළ  ජීවත් වෙලා තියෙනවා 
ඉන් පළමු වැන්නා විජේවීර. දෙවැන්නා ප්‍රභාකරන් 
(මහින්ද රාජපක්ෂ ගැන මට තියෙන්නේ දෙගිඩියාවක් ).

(මිනිස්සු කාණ්ඩයක හෝ ) සිහින  වල ජීවත් වුනු , සිහින වල මිනිස්සු ජීවත් කරවපු , ගම්‍යතාවය මගින් high  එකක් දීපු . නොස්ටල්ජික් මතකයන් ඉතිරි කරපු .

ගිය සතියේ විජේවීරගේ බිරිඳ නඩුවක් ගොනු කරනවා , විජේවීර අතුරුදහන් කියලා . එජාප ආණ්ඩුවක් විසින් ගෙනාපු අතුරුදහන් වුවන් ගැන වූ පනත ඇතුලේ මෙහෙම නඩුවක් ගොනු වීමේ මාර Satire එකක් (උත්ප්‍රාසයක් ?) හෝ මාර ගේම් එකක් හෝ දෙකම තියෙනවා . 

ඊට දවස් දෙකකට පස්සේ විජේවීරගේ ජීවිත කතාව (වගේ එකක් ) අළලා  නිපැයුණු ගින්නෙන් උපන් සීතල ( ඒ කියන්නේ ගිනි කූල් වීම . කූල් කියන එකට අර්ථ දෙකකි  ) ගැන කතාව ඇවිලෙනවා . 

විප්ලවය අලෙවි වීම , විප්ලවීය නායකයෙක් අලෙවි වීම ...හොඳද , නරකද කියන එක නෙමෙයි කතාව  
(ඒ ගැන මගේ නම් අදහස (හා පිළිතුර ) ... අදාළ  නැත !)

ඔබ එකඟ වේවි , මේ සංසිද්ධිය තුළ  ජෝක්ස් , උත්ප්‍රාසය , single player game , multi player game  ගැන සම්භාවිතාවයන් පොදි ගැහිලා යන වග

ඒ ඔක්කොම අස්සේ මගේ හිතේ මේ මොහොතේ  නලියන ප්‍රශ්නය නම්  , නඩුව ෆිල්ම් එකට ඇඩ් එකක්ද , ෆිල්ම් එක නඩුවට ඇඩ් එකක්ද , මේ දෙකම වෙන මොකක් හරි එකක් උදෙසා වූ ඇඩ් කැම්පේන් එකක කොටස් දෙකක්ද ..

එහෙමත් නැත්නම් .....!!???




පළි : ප්‍රභාකරන් ගැන මෙතන කතා නොකරමි . වැඩේ කොරගත් විජේකලා ගැන , ප්‍රභාකරන් ගැන වෙනම කතා කරමු 

01 July 2018

කුකුල් මස් රසට දෙල් සහ දෙල් රසට කුකුල් මස් - ( Shoutout to Bonikara Tharuwa Podcast @ Youtube)

කුකුල් මස්, කුකුල් මස් රසය . දෙල් , දෙල් රසය 

කුකුල් මස රසට දෙල් උයා ගන්නට කියා ,  දෙල් කරියකට කුකුල් මස් කැබැල්ලක් දැමුවද , වැඩේ තව දුරටත් දෙල්ය .

දෙල් රසට කුකුල් මස් හදන්නට කියා , හොඳින් පහේ තබා සාමාන්‍ය ආකාරයට ලිපේ තබා ගත්  කුකුල් මස් කරියකට දෙල්  දැමුවොත් කුකුල් මස් කාරිය කුකුල් මස් විකාරයක් වේ .

එකමත් එක කාලයක එක්තරා රජයක , සෞඛ්‍ය ඇමති , වාරිමාර්ග ඇමති කෙනෙක් විය . නමුත් හඳත් ඉරත් දෙපැත්තෙන් පායපු නිසාවෙන් වූයේ  චන්ද්‍රග්‍රහනයකි . එය විධායක ජනාධිපති ගේ බල පරාක්‍රමයේ වරද විය . එවන් රජෙක් පත් කරගත් ජනතාවගේ වරද විය 


නමුත් දැන් , විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනය . පරිසර ඇමති මෛත්‍රීපාල සිරිසේනය.

දිවිහිමියෙන්  පරිසරය රැකීම ගැන කතා සාගරයකි . ඒත් විල්පත්තුවේ ප්‍රශ්නය එහෙමමය . ගල උස්සලා කරෙන් තිබ්බොත් ගෙනිහින් තියන්නම් යයි කියන අන්දරෙලාය .  . සිංහරාජයේ අලි ප්‍රශ්නය විසඳන තෙක් අලිද මිනිස්සුද දෙපැත්තට වී විටක් හපමින් බලා සිටිති . වනජීවී ඇමතිලා වේලුනු අලි බෙටි ඉඹිමින් , අලි ගිය මග සොයති 

විධායක ජනාධිපති සිරිසේන නිසා , පරිසර ඇමති සිරිසේනට වැඩ කරන්නට බැරිය . නමුත් විධායක ජනාධිපති සිරිසේන විධායක බලය පාවිච්චි කරන්නේ නැත .

කුකුල් මස් කුල මස් රසය , දෙල් දෙල් රසය . 

වැරැද්ද ජනතාවගේය