26 January 2014

(හායි හූයි ) බබී ආච්චීට උචිත ජොබ් එකක් // Job hunting ..please help

"පුතේ, උඹ මොකුත් ලොකු වැඩක්ද ?" කියාගෙන බබී ආච්චි මා හුන් තැනට පැමිණියාය .

බබී ආච්චි , අපේ ගෙදර වැඩ පල වලට උදව් කරන තනිකඩ තලත්තෑනී ගැහැනියකි . පොඩිඑකා ආමන්ත්‍රණය කරන විදියටම "ආච්චි"  කීමට ගෙදර හැමෝටම පුරුදු වී ඇත . ඇයටද  එහි ගානක් නැත .

"මොකෝ බබී ආච්චි"

"මටත් හිතිලා තියෙන්නේ මොකක් හරි ජොබ් එකක් කරන්න කියලා පුතේ ."

මට ඉහලට ඇදී  හුස්ම ඉස්පොල්ලේ ගියේය .

"මොකෝ මේ  එකපාර"

"නෑ ඉතින් මට නිකන් හිතුනා"

"ඉතින් ආචිචිට මොකුත් සුදුසු කන් එහෙම තියෙනවද"

"තුනේ කැලැසියට  ගිහින් තියෙනවා පුතේ ."

"එහෙම නම් අමාරුවෙයි ආච්චි"

"නෑ  නෑ  තාත්තේ ආත්තිට හරියන ජොබ් තියෙනවා". 
මා පුතුද කොට කලිසම ඔසවමින් සංවාදයට එක්වීය .
දැන් මට වැඩේ පැහැදිලිය . චියරින් ස්කොඩ් එක කවුද . නූල් දුන්නේ කවුද කියා මට පැහැදිලි විය .

"එහෙම රස්සා හොයන්න බෑ පුතු . හොඳට ඉගෙන ගන්න ඕනේ "
 මම වැඩේ ගොඩින් බෙර ගන්නට තැත්  කලෙමි .

"බොරු කියන්න එපා තාත්තේ මේ මම දැන්වීම් දෙකක් හොයල දුන්නා  ආච්චිට ."

"අනේ බලපන් කෝ පුතේ ..."

මම පත්තර කොළ දෙක අතට ගතිමි

______________________________________________________

කේතුමතී  සිටී ෆිල්ම් ප්‍රඩක්ෂන් 


 ඉතිහාස කතාවක් පටක කරගත් චිත්‍රපටයක කුමරියගේ චරිතයට නිලියන් අවශ්‍ය කර  තිබේ .
නොකැළැල් චරිතය අනිවාර්යයි . බිකිනි , නාන ඇඳුම්  අඩුම ගණනේ දිය රෙද්දක්වත් නො ඇඳි,  එක්ටම් ගෙයක හැදුනු වැඩුණු  රූබර කුල කුමරියක් සිටිනම් අයදුම් කරන්න .
චිත්‍රපටයට අදාළ කාලසමයේ ඇඳුම් පැළදුම් වලට අනුව , මදක් නිරාවරන විලාසිතාවෙන් සැරසීමට සිදුවන බව කරුණාවෙන් සලකන්න .

මුලික පරීක්ෂණය , කේතුමතී නුවර නගර සභා ශාලාවේදී .
තෝරාගත්  අපේක්‍ෂිකාවන්ට, වැඩිදුර  ශාරීරික පරික්ෂාව කේතුමතී සිටි හොටෙල් හිදී , සංස්කෘතික අමාත්‍යංශයේ නිලධාරීන්ගේ අධික්ෂණය මැද 

______________________________________________________

"පිස්සුද ආච්චි මේක හරියන්නේ නෑ   වයසත් එක්ක .."


"හැට අටත් වයසක්ද  පුතේ ...හා එහෙනම් මේක බලහන් කෝ "

මම දෙවැනි පත්තර කෑල්ල  කියවන්නට වීමි .


______________________________________________________

කේතුමතී පළාත් සබාවට ශ්‍රී ල.පේ අපේක්ෂිකාවන් ගෙන් නාම යෝජනා කැඳවීමයි 



ඔබේ පියා , මාමා , ලොකු තාත්තා  , බාප්පාගේ පුතා  දේශපාලනයට සම්බන්දද? නැතිනම් ඔබ ටෙලිනාට්‍යයක අතිරේක චරිතයක් හෝ රඟ  පා ඇත්ද ? ගීත ගැයීමට පුලුවන්ද ?  හුරතල් අයුරින් , බැරි බැරි ගානේ සිංහල උච්චාරණය කල හැකිද ? සභා වාරවලදී ,රුපවාහිනී සංවාද වල වට්ටිඅම්මා කෙනෙකු මෙන් හැසිරිය හැකිද ? 

  ශ්‍රී ලලනා පෙරමුණෙන් ඉදිරිපත් වී ඔබේ පලාතට සේවය කිරීමට ඔබත් කැමතිද? උදළුතල  බෙදාදීම් , බෝක්කු සදා ප්‍රදර්ෂණය  කිරීම වැනි මහා සංවර්ධන ක්‍රියාවන්හි දීමට ඔබ කැමතිද ? 


එසේනම් පෙරට එන්න . 

අනියම් සබඳතා ඇති අයට  වැඩි සැලකුම් . අධ්‍යාපන සුදුසුකම් අනවශ්‍යයි.  
ශරීර ප්‍රමාණය කුමක් වුවත් ඔබට සම අවස්තා . 


නාන  ඇඳුමින් , බිකිනියෙන් සැරසී   ගත්  ජායාරුපයක් සමග අදම අයදුම් පත  යොමු කරන්න . (නිරුවත් සේයාරු වලට වැඩි ලකුණු )_____________________




"හොඳයි තාත්තේ මේකට බැරිද අපේ බබී ආච්චිට "
නැවතීමේ තිතට ඇහ  යන්නටත් පෙර කොලුවා ඇසුවේය .

"මොකෝ පුතේ මට බැරි වෙයිද ..."

මම ගොලුවිමි . මොනවා කියන්නද කියා සිත ගන්නට නොහැකිය . එනිසා සැනෙකින් බ්ලොග් පෝස්ට්  එකක් ලියා ඔබෙන් අවවාදයක් ගැනීමට සිතා ගතිමි . 


පලි : ප්‍රේක්ෂක ජනතාව මගේ පිළිතුර බලාපොරොත්තුවෙන් තවම පුටුව අසල රැඳී සිටින  බැවින් ඔබේ ක්ෂණික ප්‍රතිචාරය  බලාපොරෝත්තුවෙමි .

24 January 2014

හොඳම රැවුල්කාර විහිළුකාරයෝ // Top 5 comedians with facial hair of Sri Lanka

හැම දෙකටම ලිස්ට් තියෙන හින්දා  ඔන්න මමත් හැදුව ලිස්ට් එකක් . ලංකාවේ හොඳම රැවුල තියෙන විකට ශිල්පින් පස් දෙනා .
විහිලු කාරයෝ කිව්වට මේ ගොල්ලෝ විනෝදාස්වාදය සපයන අය  . හැබැයි විකට ශිල්පය තමයි ප්‍රධාන අවි ය.
එහෙනම්  පටන් ගමු ලැයිස්තුව

අංක 5- ජොලි සීයා
බොරු රැවුලක් හා කොණ්ඩයක්  දා ගත්  ගායකයෙකි . ඔහුටම ආවේනික හඩින් ගී ගයයි . ගීතයට ප්‍රථමව දෙපිට කැපෙන මොනවා හරි කියා , ඉන් පසු ඔය මොකක් හරි එළවලු ලිස්ට් එකක් සික්ස් එයිට් රිදම් එකට කියයි . බාගෙට ඇඳගත් කෙල්ලෝ ටිකක් වටේට නටති , ඒ උන්ගේම රිදම් එකටය . කොල්ලෝ ටික  වේදිකාව යටට වී නටති , ඒ උන්ගේම රිදම් එකටය .
සින්දුව මැදදී " ආ මල්ලිලා ගන්න අඹරලා  " වගේ වැකි කියන්නේය . ඒ නටන වෙලාවට  වම්බටු කිව්වත් හිනා යන නිසා , සංගීත සංදර්ශන වලින්  ඉල්ලීමක් ඇත .


අංක 4- ටෙනිසන් කුරේ |
මොහුත් වැඩිපුර භාවිතා කරන්නේ දෙපිට කැපෙන වචනය . කට ඇද  කර අමුතු ශබ්ද දමා ප්‍රේක්ෂකයන් පිනවන්නේය .  මිනිසුන් මොහුව දුටු විට හිනා වෙන්නේ සමහර වෙලාවට මොකදැයි හරිහැටි නොදනිත්

අංක 3- පොඩි ළමයා
බෙල්ල ගාවට සරමක් හා අත්  දිග කමිසයක්  හැඳ උඩු රැවුල පමණක් ඇති තට්ටයෙකි . මොහුගේ ගීත වල විහිළුවෙන් ඔබ්බට ගිය , හිතන්නට දෙයක් ඇත . කෙලින්ම නොකීවත් දේශපාලන දර්ශනයක් ඇත  . ආනන්ද භවන් එකෙන් තෝසේ  කා , දෙමළුන්ට බැනීම ගැන මතක් කරයි .ඔහු ඔබට හිතන්නට බල කරයි

අංක 2 - ජිප්සීස් සුනිල්
මොහුගේ බ්‍රෑන්ඩ් එක , ගෙඩි පිටින් ඇන්ටි - පොලිටික්ය . දේශපාලනය , දේශපාලකයන් නිසා තම වේල  සරි කර ගන්නේය . දේශපාලඥයන්ගේ දොස් එළිපිට කියයි , කියන්නට ගොස් ඇතැම් විට ගුටි කයි . ඒත්  ඉල්ලුම වැඩි වෙයි . අපේ හිත්වල තියෙන දේ වේදිකාවක් උඩ  මයික් එකකින් කියා ඔහු අපිව හිනස්සයි

අංක 1- (නම නම් කියන්න බැරිය   )
මනාව වැඩුණු උඩු  රැවුල , කරේ දමා ගත්  තුවාය මොහුගේ කොස්ටියුම් එකය . මොහු විහිලු කතා නොකියන්නේය . ඔහු ලියා දෙන විහිලු වෙන අය විසින් කියවන්නෝය .   කෙල්ලෝ රැලක් වටේට නටති . විහිළුවලට හිනා නොයන්නේ නම් වේදිකාවෙන් පහලට බැස විත් ප්‍රේක්ෂකයන්ගේ  බඩට ඇඟිල්ලෙන් සිනා ගස්සන්ට බලයි . ඇතැම්විට එසේ කරනවිට රිදෙන්නේය . එහෙමත් නැතිනම් කිතිකවයි . ඔබ හිනාවෙන විට ඔහුද සිනාසෙයි .
හිනා ගොස් බොහෝ වේලා ගිය විට ඔබ සිනාසුනේ ඔබටම යයි ඔබට අවබෝධ වේ . එතකොට ඔහු සිනාසුනේ කාටදැයි,  ඔබට පැනයක් මතුවේ .

ඔහුගේ මේ ඇති සුක්ෂම විකට රංගය හා එයට ඇති අඩු නොවන ජනප්‍රසාදය නිසා ඔහු අපේ ලයිස්තුවේ අංක 1 ලබා ගන්නේය  .

පලි : මෙය ලියන්නට හේතු වුවේ    CULT අඩවියේ වූ ලිපියකි

16 January 2014

අසන්නන්ගේ ඉල්ලීම් // You get what you ask for

අපිත් එක්ක අසන්නෙක් එකතු වෙනවා , හෙලෝ කවුද  මේ .  කතා කරන්නේ ?
(FM  නාලිකා වල නිවේදිකාවන්ටම ආවේනික සුකුමාල  හඬින්  ,  කන්කළු තාලයට ඇද  පැද  )


හෙලෝ ලෝ ලෝ ලෝ...., මේ මේ මේ මේ ..

ඔබේ ගුවන් විදුලියේ හඬ හොඳටම අඩු කරලා කතා කරන්න ප්ලීස් 

හෙලෝ , ඇහෙනවද ?

ඔව් දැන් හරි , කියන්න ඔබේ නම 

මගේ නම , අනේ මට මතක නෑනේ 

(දමින්ද දමින්ද  පසුබිමින් ඇසේ ...)

මගේ නම දමින්ද ලු 

හරි එහෙනම් කියන්න කාවද මේ ගීතය අහන්න එකතු කර ගන්නේ , මොකක්ද එයට කියන පණිවිඩය 

මම මේ පණිවිඩය කියන්නේ කොළොන්නාවේ සුදු නංගිට . නංගි  කොච්චර තරහ පෙන්නුවත් මම නංගිට මනාපයි . මම දන්නවා හිත යටින් නංගිත් එහෙමයි කියලා 

හානේ හරි ස්වීට් ...ඉතින් කාවද එකතු කර ගන්නේ සිංදුව  අහන්න 

ආ... එකතු කර ගන්නේ ...මැද  කොළඹ චන්ද දායකයින් සියලු දෙනා 

හරි එහෙනම් මෙන්න ඔබ ඉල්ලු ගීතය 


චින්  චීන් චීන්  න චින්  ...චින්  චීන් චීන්  න චින්...චින්  චින්  ....බුං 
ඩක  ඩක ඩක ...ඩක ඩක ඩක....ඩක ඩක ඩක...  චිකි බුං 

 ඩක  චිකි බුං //

පොඩි කාලේ කොළොන්නාවේ 
වැලි බත් උයාපු කෙල්ලේ 

පෙර කාලේ උසාවි ගානේ 
නහයෙන් අඬා  පු  කෙල්ලේ 

වැළලී ගියා අතීතේ 
කෝ දාපු සිංහ නාදේ 

හොඳනම් කලාට කම් නෑ 
උඹට මෙන් අපිටත් විලි ලජ්ජා නෑ  


රුචිරාණෙනි අහන්න 
අපිට මඩු වලිගෙන් තලන්න 

රුචිරාණෙනි අහන්න 
පත්වී අපිටම  කෙලින්න 

ඔබගේ මුවින්ම කීදේ 
ඇයි  ප්‍රියේ කඩ කෙරුවේ 

රුචිරාණෙනි අහන්න 
ලජ්ජා පැත්තකින් තියන්න 

රුචිරාණෙනි අහන්න 
පත්වී අපිටම  කෙලින්න 

( පොඩි කාලේ මරඳ වැල්ලේ ගීතයේ තාලයට , )

14 January 2014

මේ මග හැර ...No other way

ගාමිණි දුරකථනය විසන්ධි කළේය .

ඒත්..  ඔහු සිත පහුගිය කතා බහේ තැනක තවම නැවති ඇත  .. හරියටම කොතනද යයි කිව නොහැකි මුත්  ....ඒ වදන් මකුළු දැලක් සේ වී මුළු සිරුර පුරා පැටලෙනු  ඔහුට හොඳින් දැනුනි.  

" ගාමිණි , මට පොඩ්ඩක් කතා කරන්න ඕනේ . .....
අද හවස කලින් එනවද , බොන්නේ නැතිව "  කියන්න  පෙර ඈ  උවමනාවෙන්ම තැබූ නිහඬ විරාමය ...ඔහු සිත දැන්  එතැන  නැවති ඇත්තේය .

 මාලි ගේ වදන් වල දෝංකාරය සෙමින් වියකෙද්දී , හේ මනස මතක මාවත දිගේ පිය නගන්නට විය .

දෙහිවල වෙරළේ , මළ හිරු වර්ණ ගැන්වූ අහසක් යට ,  කොණ්ඩයක් එක කරලට ගොතා නිල්  මල් මල් ගවුමකින් සැරසුණු මාලි ඔහුගේ දකුණත ගෙන ඇගේ සුරත මත තබා ගෙන 
 " මට පොරොන්දු වෙන්න ආයේ ඔහොම බොන්නේ නෑ  කියලා " ඔහුගෙන් දිවුරුම් ගන්නට උත්සාහ කරන්නීය 
 "පිස්සු කෙල්ල " ඔහු අත  ඉවතට ගන්නේය 

 සිත නැවතත් මතක මාවත දිගේ සක්මන් කරන්නේය 

"මට තවත් මේක කරන්න බෑ  ගාමිණි ... "
" what the hell is wrong with you (මොනවා වෙලාද  ඔහේට ) ?  තොට කන්න බොන්න ගෙනත් දෙනවා නම් , වෙන මොන බම්බුවද මට කරන්න කියන්නේ ... ?"
" ඔයා  වෙනස් වුනේ නැත්නම් මට තීරණයක් ගන්න වෙනවා  ගාමිණි "
" You  can't change me (උඹට මාව වෙනස් කරන්න බෑ ) ...you පරට්ට බැ ..."

සිතට නැගුනු ආවේගයක් , සුස්ම්නාව දිගේ විත්, බාහුව දිගේ විත් ....  
 ...ඔහු ඇගේ කෙස්වල්ලෙන් ඇද , බිත්තිය දෙසට තල්ලුකරනවා , සිනමා පටයක් මෙන් මනසේ නැවත  ප්‍රචාරය  වෙයි .

"ටකස් "    
මෙලවූ මිටෙහි වෙර  දරා  ගත නොහි , බෝල්පොයින්ට් පෑන  දෙකට කැඩී  ගොසිනි .

________________________________________________________________

“Gamini , I wanted you to hear from me first" (ගාමිණී , මේක ඔයාට මගෙන්ම මුලින්ම ඇහෙන්න ඕනේ යයි මම හිතුවා ).. ආයෙත් අර සිත නොසන්සුන් කරවන නිහඬ විරාමය 
"මම ඩිවෝස් එකකට ෆයිල් කළා . . මම අක්කලාගේ  ගෙදර යනවා මේක ෆයිනලයිස් වෙනකන් “

දුඹුරු පැහැ  ගමන් මල්ල , ඇඳ පාමුල බකන්නිලා සිටින්නේය . ඇඳ  උඩ පිළිවෙලකට නැමූ  ඇඳුම් ගොඩවල් තුනක් තිත් හුල් තුනක් මෙන් ඒ වාක්‍යය  අවසන් කරන්නෝය . නිල්  මල් මල් සාය  ඉන් එක් ගොඩක උඩටම වී ඔහු දෙස බලන්නිය  . 

මාලි , එක එල්ලේ බලාගෙන සිටින්නීය . ඇගේ බැල්මේ වෙනදා නැති තීව්ර  බවක් , නියත බවක් ඇත .
ගාමිණි දෙඇස් ඔසවා ඇය දෙස බැලුවේය . එහි ගැබ්වූ මහා අනුකම්පාවක්   ?

“But why ? Can’t we work it through ? I will try to change .After all what we have been through.. “ (ඒත්  ඇයි  . මම වෙනස් වෙන්නම් . අපිට බැරිද මේක විසඳ ගන්න )
වචන මුවින් පිටවුනද ඔහු බිම බලාගත්වනමය

“ගාමිණි , we tried many times .  there 's  no  other way (අපි කී සැරයක් උත්සාහ කලාද . වෙන මගක් නෑ )
මෙතනින් එහාට යන්න තියෙන්නේ මේ පාරේ විතරයි ....you too know that “(ඔයාත් දන්නවා ඒක  )

ඈ නෙතු දැහැන , ඔහු නිකටෙන් අල්වා  මුව ඉහලට හරවා , දෙනෙත් තුලින් පිවිස හදවත පසාරු කරන්නීය .

“රන් හූයෙන් බැඳ , අතැඟිලි එක කල ....till death do us part .....”  ඔහු දෙසවන දෝංකාරයෙන් පිරේ 

Shit !  I need a drink . ( දැන්නම් ෂොට් එකක් ඕනේ )

_____________________________________________________________________


ගාමිණි  වාහනය ගරාජයේ නවත්වා කොරිඩෝව දිගේ විත්  ඉස්තෝප්පුවට පය තබත්ම , පය පැටලුණි .
(දොරත් හාස් ගාලා ඇරලා දාලා , මේ නාකි  ගෑනිට ....)
"සුමනා , මොකද මේ දොර ඇර  දාලා . උඹට මම හැමදාම කියනවා නේද?"

"ගාමිණි , මමයි දොර ඇරියේ ..." ඔහු නෙත දුටු දර්ශනය , සිහියට සමපාත වීමට මොහොතක් ගත විය .

"ආහ්  මාලි.... අද අපේ ඔෆිස්  එකේ පොඩි  පාටි   එකක්..පොඩි ඩ්‍රින්ක්  එකක් ගත්තා  "
(චිහ් මොකට මම මේ ගෑණිට  නිදහසට කාරණා දෙනවද තවම ... සිත ඔහුට දොස් කිවේය  )

ඈ මා අතින් අල්ලා යන්තමට වත්තම් කරමින් පුටුවක් දෙසට යොමු කරද්දී, අත  ගසා දමපන් යයි කිහිපවරක් හිත කීවද , මා  එසේ නොකලේ මන්දැයි මට නොතේරේ . ඇගේ ඇඟිලි වල උණුහුම , මගේ නිරාවරණ බාහුවට හොඳින් දැනුනි .  තව එක තත්පරයක් එය විඳින්නට උවමනාවක් ලාවට ලාවට සිත තුල උපදිනවාත් සමගම , එය අවසන් විය 

"ගාමිණී මෙතනින් ඉඳ ගන්න . ඩොක්ට පීරිස්  කෝල් කළා .  ටෙස්ට් රිසල්ට්ස්  ඇවිල්ලා ."
(අර නිහඬ විරාමය ...මම කෙතරම් මෙයට අකමැතිදැයි  එක වරම මට සිහි විය )

"හෙට ඉඳන් කිමියෝ (chemio)  පටන් ගන්න කිව්වා ."

ඔහු හිතේ අර දැනුනු උණුසුම් නිමේෂයේ හොල්මන බිඳුනේය.  එනමුදු ඔහු සිත තවම නිසලය . එක්කෝ  රුධිරයේ මධ්ය සාර සාන්ද්රනණය ඔහු  සිහිය නිර්වින්ධය කොට ඇත  නැතිනම් කම්පනය ඔහු හිරිවට්ටවා ඇත. ඔහුටම පුදුම හිතෙන තරමට ඔහු සිත  නිසලය .

සාලේ සෝපාව ළඟ අර දුඹුරු ඇඳුම් මල්ල නිහඬව සිටින්නේය .  නිල්  පාට මල් මල් සාය එදා වගේම ඉන් එබී බලන්නිය  
ගාමිණීට ඉබේම වගේ ටීපෝව උඩ  දෙකට ඉරා දැමු A4 කොළ කිහිපය නෙත ගැටිණි  . Divorce  යන වචනය ගාවින්ම කොළය  දෙකට ඉරි ගොස් ඇත 

මාලි , ඈ සුපුරුදු බැල්මෙන් ඔහු දෙස බලා  සිටින්නීය .

" ඔයා ගාව කවුරු හරි ඉන්න ඕනේ දැන් .. there's  no  other  way  ( වෙන විදියක් නෑ  )

ඇගේ  මුවේ ලාවට නැගුනු සිනහව , ගාමිණීට  බොඳවී පෙනුණි .


 පලි  : ඉතා වෛර සහගත ක්‍රියා පටිපාටියක් යයි (process) සිතෙන දික්කසාදය තුල වුව,  හුයෙන් හුය සෙමින් වියකෙන ආදරයක්,  මම විටෙක දැක ඇත්තෙමි  .

මේ කතාවට මිට වඩා  උචිත මාතෘකාවක් ඇතොත් කරුණාකර යෝජනා කරන්න 

11 January 2014

හැම දෙයකම හේතුවක් ඇත // Reason happens in everything

පෙරවදන 
ඇයි  දෙයියනේ මෙහෙම වෙන්නේ ? කියලා හිතුන වෙලාවට , 
ඇය  (බොහෝවිට) මා ලඟින් ඉඳගෙන කියනවා " Everything happens for a reason ,හැම දෙයක් ම වෙන්නේ හොඳටයි"  (හැම දෙයක්ම වීමට හේතුවක් ඇත) කියලා . ......ඒ ඇගේ  විශ්වාසයට අනුව .

ඒත්  . විටෙක මට හිතෙනවා , හැම දෙයක්ම වීමට හේතුවක් තියෙනවද නැත්නම් , වෙන හැම දෙයකම හේතුවක් දකිනවද කියලා . ( Seeing a reason in everything that happens )

මේ පෙරවදන යටින් තියෙන කතා වලට සම්බන්ධද නැත් ද කියලා මට හරියටම sure  නෑ  .
කියවලාම බලන්නකෝ 


තෝරා  ගැනීමේ බලය  / right to choose   

මේක ප්‍රරික්ෂණ වාර්තාවක් . හැබැයි ඇත්තටම කෙරුනද නැත්ද කියලා මම නොදනිමි . (Daniel Pinkගේ පොතක ඔහු මෙය දක්වලා තිබ්බා .)

පෙට්ටි දෙකක බල්ලෝ දෙන්නෙක් දානවා . උන්ට විටෙන් විට විදුලි සැරයක් වැදෙන්නට සලස්වනවා . එක පෙට්ටියක ( පෙට්ටිය A )  පොඩි ස්විච් එකක් තියෙනවා . එකේ ඉන්න බල්ලා  හොම්බෙන් එකට ඇන්නම  ඒ වදින විදුලි සැරය පෙට්ටි දෙකේම   නවතිනවා .

බල්ලෝ දෙන්නටම වදින්නේ එක විදුලි සැරය,  එකම කාලාන්තරයකට . දැනෙන්නේ එකම වේදනාව , එකම කම්පනය .
නමුත් එක බල්ලෙක් හිතනවා (පෙට්ටිය A ) ඌට එය පාලනය කිරීමේ හැකියාව තියෙනවා කියලා . අනෙකාට  එහෙම පාලනය කිරීමේ හැකියාවක් නෑ  . ටික කාලයක යනකොට B  පෙට්ටියේ බල්ලා  , A  පෙට්ටියේ ඉන්න බල්ලාට වඩා    සෑහෙන්න  ආතතියකට , මානසික අවපාතයකට ලක්වෙනවා .

ඒත්  . උන් දෙන්නටම වැඩෙන්නේ එකම විදුලි සැරය  දිගටම ....උන් දෙන්නටම විදුලි සැරය  වැදීම වැළක්වීමේ හැකියාවක් නෑ  . තියෙන්නේ මදකට එය නැවැත්වීමේ හැකියාවක් විතරයි

පලි: මෙහෙම ස්‌විච් අපේ ජීවීත  වල කොච්චර නම් තියෙනවද


The way to name the tallest tower //  නම් තැබීමේ ක්‍රමෝපාය

Burj Khalifa is the tallest building in the world . (The one that Tom Cruise climbed in MI 3. ) It is built in Dubai . The Sheik Maktoum of Dubai wanted the tallest building in the world (there's a theory about men  and their need to have the biggest . But that is a a different story ). He spent  1.5bn dollars and built it . But he did not name it after him .... He named it after Sheik Khalifa the Sheik of Abhdhabi . Ofcourse many reasons were given . But

When the clouds gather above Dubai . and when clouds are filled with lighting . Lightning strikes the talles manmade structure . And hits the tower that is named after Sheik Khalifa .

Burj Khalifa ලෝකයේ උසම ගොඩ නැගිල්ල . ඩොලර් බිලියන 1.5ක් වියදම් කර , උසම බිල්ඩිම හැදු ඩුබායි රටේ ශීක්  මක්ටුම් දැම්මේ නෑ  ඊට ඔහුගේ නම (ඔන්න එකමත් එක රටක නම් ඉස්කෝලේ, ගුවන් තොටුපොළේ , රඟහලේ ඉඳන් පොදු වැසිකිලියට යනකන්  දාන්නේ රටේ නායකයාගේ නම )... 
ඔහු දැම්මා අල්ලපු රටේ ශීක් ගේ නම .... විවිධ හේතු දුන්නා , ඒ හේතුන් වලට බොහෝ අයෙක් ගේ පැසසුම් ලැබුනා .

නමුත් ...දැන් ....තව වැඩක් වෙලා ...ඩුබායි රටට උඩින් අහසේ   වලාකුළු පිරුනහම , ඒවායේ පිරෙන විදුලිය  හෙන ගහනවා ..හෙන පහර වදින්නේ උසම තැනට .

Sheik Khalifa ගේ නම  තැබුණු  කුළුණට  . ඔන්න නම් තියෙන ක්‍රමය 



අපි නොදන්න කොලිටි ඉම්පෘව්මන්ට්  

මෙහෙම හිතන්න.
Restaurant එකක් තියෙනවා  . කෑම  ඉස්තරම් (තරු පහයි ). හැබැයි වතුර බහින කානුව සුද්ද කරලා නෑ  ඉතින් මුළු Restaurant  එක පුරා වටම කානු ගඳ පැතිරෙනවා .
ඉතින් මෙහි ගුණාත්මක බව වැඩිකිරීමට කල යුත්තේ . ඇතුලත අලංකරණය , කෑම  ගුණාත්මක බාවය වැඩිකිරීම වගේ දේවල් නෙමෙයි , කානුව සුද්ද කිරීම 

මේ මැතිවරණ කතා ආපුවහම . නාමයෝජනා දෙන කට්ටිය ගැන ඇහුණාම විටෙක කියවෙන්නේ , ඉන්න එවුන්ගේ හැටියට  මේ අය  එකතු වුනාට තව කොහේ නරක වෙන්නද කියලා . අනික ජිවන වියදම ගැන අපි කොච්චර කතා කරත් , ගොඩක් වෙලාවට සංවර්ධනය මනින්නේ හයිවේ වලින් නේ 





07 January 2014

ගැරඬි උපවාසය

චන්දරේ වැඩ ඇරී ගෙදර එනවිට , ගෙදර මහා කලබලයකි .
ඔහුගේ බිරිඳ ලීලා ද පොඩි උන් දෙදෙනාද , උන්ගේ ආතම්මාද පමණක් නොව ගෙදර සුරතලයට ඇතිකරන බූලා ද කඩුල්ල ගාවට විත් සිටියෝය .

"මොකෝ මේ අද පඩි දවස නෙමෙයි නේ . වැරදුනාද ? " චන්දරේ නොක්කලයකට කිවේය 
"න් න්  නයෙක් " ලීලා  ගෙය දෙසට අත  දිගු කළාය .
"තාත්තේ මෙච්චර දිග " පොඩි එකා ඇති දිග හැර තරම පෙන්නුවේය 
"මොකෙක්"
"නයෙක් ඇවිත් ඕයි  . ගේ ඇතුලේ "
"කොහොමද දන්නේ නයෙක් කියලා. ප යන්න දැක්කද "
"අනේ මේ මගෙන් මුකුත් අහ ගන්න එපා . ඌ කාමරේ . ගිහින් ඌව එලවනවා . නැත්නම් අපිට ගේ ඇතුලට යන්න වෙන්නේ නෑ  " ලිලා පෙනේ පිප්පුවාය 

චන්දරේ හිමින් හිමින් කිට්ටු කර , කාමරේ දොරේ අගුල හිමින් හැරියේය . සර්පයා දරන ගසා ගෙන ඇඳ  උඩය .

"නයින්ට ගහන්න හොඳ නෑ  . උන්ට බැගෑපත්ව  කියන්න ඕනේ " ඔහුට ලොකු අත්තා කියූ කතාවක් සිහිවිය 

" අනේ නයි හාමි , අපි අසරණ මිනිස්සු , අපිට කරදර  නොකර කරුණාකරලා මෙතනින් යන්නකෝ " ඔහු බයාදු ස්වරයෙන් කියුවේය ..

"හාහ් හාහ් හෝ හෝ . " එක වරම මහා සිනහවක් නැගුනි 
"තමුසෙට ලජ්ජා නැත්ද ඕයි  . පිරිමියෙක් නේද " සර්පයා කතා කළේය 
" ක ක කතා කො  කො "
"ඔව් ඔව් ක ක කො  කො  , කතා කොරනවා තමයි . ඔව් මට සිංහල පුළුවන් . අනික මම නයෙක් නෙමෙයි ලොක්කා . ගැරඬියෙක් . ඒ වුනාට අපි මුචලින්ද ගේ පරම්පරාවේ ."

"කොහෙද අප්පේ මුචලින්ද ගේ පරම්පරාවේ ගැරඬි . ඒවයින් වැඩක් නෑ  මොකෝ මේ ඔහේ අපේ ඇඳ  උඩ ?"

"මට ඉල්ලීම් වගයක් තියෙනවා . ඒවට  සාධාරණ විසඳුම් ලැබෙනකන් මම මෙතනින් හෙල්ලෙන්නේ නෑ "
*******************************************************************************

රෑ  බෝ වනවිට නිවෙස අසල්වැසියන්ගෙන් පිරෙන්නට විය . කතා කරනා සර්පයා බැලීමට ආ පිරිස ඌ වට කරගෙන වළල්ලක් සැදී සිටිති . සරුපයා නො හෙල්ලුම්ය .

"චන්දරේ අයියා බය වෙන්න එපා . මම මේ ප්‍රශ්නේ විසඳන්න විදියක් දන්නවා . දැම්මම දාන්නම් කෝල් එකක් ". නිමල් දුරකතනයේ නොම්බර එබිය .

විනාඩි පහළොවක් ගත විය . නිමල්  නයිටියක් ඇඳ  ගත්  නෝනා කෙනෙක් සමග ගෙතුලට ආවේය 

"මම කතා කරලා බලන්නද මිස්ට සර්පයාට " ඇය  ඇසු  පමාවෙන් පිම්බේ සර්පයා නොව ලීලා ය .
"නෝනා මේ ඔයා ඔයාගේ  වැඩක් බලාගන්න . අපි අපේ සර්පයා එලවගන්නම් "

 "අපි මෙහෙම කේස්  ද බෙන්තර ඇල්පිටියේ කරලා තියෙන්නේ . නයිටි ඇඳන් ඇවිත් , ජනතා සේවය කරන්නේ . රෑ  කතා කරලා උදේ පාලම් හැදෙව්වේ "  කියමින් ඈ  යන්නට ගියාය 

"කව්ද බන් උඹ ගෙනෙන කට්ටිය " චන්දරේ නිමල් දෙස බැලීය  . නිමල හිස කසමින් අහිංසක ලෙස සිනාසුනේය 

"හරි හරි එහෙනම් තව කෙනෙක් ඉන්නවා . අපේ සිරි අයියා . කෙලින්ම විරහ ගීත කියලා ගැරඬි එලවන්නේ . උන්ට දුක හිතිලම යන්න යනවා ."

චන්දරේ හොරෙන් ලීලා දෙස බැලීය . ලීලා දත්මිටි කෑවේය .

"නෑ  නෑ  එයා  ඕනේ නෑ  ."

"එහෙනම් ඉන්නවා අපේ දුරින් නෑ  වෙන කෙනෙක් . බදුරලිය පැත්තේ . මිනිහා ෂර්ට් ගලවාගෙන මාරාන්තික උපවාසයක් කරයි . සරුපයට නෝ  සෙකන්ඩ් . සරුපයා  සරෙන්ඩර් . මොකෝ කියන්නේ "

"අපෝ අපෝ එපා . ඊට පස්සේ ඌව ඇඳෙන් එලවන්න බැරි වෙනවා "

"එකත් ඇත්ත . හරි එහෙනම් දෙන්නම්  හරිම ඉන්ජෙක්ෂන් එක ලෙඩේට දැන්මම දෙන්නම් කෝල් ඒක "

"කව්ද බන් ඒ සැරේ "

"ආපුවහම බලන්නකෝ "


මේ ගැලවුම් කරුවා එනතුරු සියල්ලෝ බලා  සිටින්නට විය . මේ අතරතුරේ ඉස්සරහ ගෙදර නන්දා කොපි හදාගෙන විත් බෙදුවාය. ඇල්බට් මුදලාලි බිස්කට් බෙදුවේය . කොල්ලෝ ඒවා පුස් කාලා යයි කියුහ . මුදලාලි රැවුවේය . රුපවාහිනී කණ්ඩායමක් ඇවිත් කැමරා  මාන ගෙන , සරුපයාව ඉන්ටවිව් කරන්නට තැනුවෝය  .

සරුපයා  තවම නෝ  හෙල්ලුම්ය 
*******************************************************************


රෑ  දොළහට විතර , කළුවර ඉරාගෙන යන බ්රේක් පහරක් ගසමින් වාහනයක් මිදුලේ නතර විය . මිදුල පිරෙන්නට කළුම කළු මොන්ටෙරෝ රාජයෙකි 

එහි දොරක් හැරගෙන , කඩවසම් සිරුටම කිටි කිටියේ තදවුණු ටී  ෂර්ට් එකක් ඇදගත් ඉලන්දාරියෙක් ගෙදරට ගොඩවිය . ඔහු වම් කනෙන් ඇරඹුණු සිනහව දකුණු කන ළඟටම පැතිරුණි .

"නුවර ඉඳන් එන ගමන්  . එහෙත් කට්ටියක් වහලයක් උඩ  නැග  ගෙන බහින්න බෑ  කිව්වා . ඒක  විසඳලා ආවේ "  ඔහු ළඟ සිටි පැටික්කියකගේ හිස අත  ගෑවේය . ඉන් පසු ඇගේ  මව දෙස බලා ලජ්ජාවෙන් සිනාසුනේය .

සෙනඟ අස්සෙන් නිමල් ඉදිරියට ආවේය "බේබි බෝගම්බර නේද ? කොහොමද ඒ කෙස් එක විසඳුවේ ?"

"මම කිව්වා හිර බත් කාලා  සමාදානව හිටියේ නැත්නම් . නිදහස් කරලා රජයේ රස්සාවකට දානවා කියලා මාසේ පඩියෙන් කන්න .... හරි කෝ මේ හාදයා "

"එන්න බේබි මේ කාමරේ ඉන්නේ ."

"ආ ගැරඬි හාමි මොකෝ මේ "

"මගේ ඉල්ලීම් වලට සහනයක් ඕනේ "

"කාගෙන්ද "

"ලොක්කා . මේ ලංකාවේ ඕන ප්‍රශ්නයක් විසදන්න පුළුවන් එක්කෙනයි නේ ඉන්නේ ආයුබෝවන් "

"හරි පොඩ්ඩක් ඉන්න" (ඔහු දුරකථන ඇමතුමක් ගත්තේය)

"හරි ඔක්කොම හරි . එතුමා කියනවා ඔබේ ඉල්ලීම් සියල්ලම සලකා බලන එක ගැන සලකා බලන්න සලකා බලන්නම් කියලා "

එහෙනම් ඉතින් හරි . මගේ ඉල්ලීම් වලට නිසි විසඳුමක් ලැබුන . කෝ ඔය කැමරා  මල්ලි මෙහෙ එන්න . මම මගේ උපවාසය මෙතකින් නිමා කරනවා . නමුත් නැවතත් අවශ්‍ය උනොත් ඕනෑම  විටක පෙළ ගැහෙන් ...

ඉලන්දාරියා උගුර රැල් බුරුල් කළේය 

"නෑ  නෑ  මගේ කතාව මින් අවසානයි අසා  සිටි ඔබ සැමට ස්තුතියි "

ගැරඬි යා හිමින් සැරේ එලියට ඇදී  ගියේය



 පලි : මෙය උදක්ම මනකල්පිත සිද්ධියක් බවත් . ගැරඬියා හැරුණු කොට මෙහි එන සියලු චරිත සියල්ල මනකල්පිත චරිත බවත් කරුණාවෙන් සළකන්න  

02 January 2014

31 දා ‍රෑ මල්වෙඩි

මුලින්ම ඇවිලුනේ
ගිනිකූරූ හිසක්
නැහැ කාටවත් දැනුනේවත්
පලමු කූර අලු වී ගියා
නිකරුණේ
දෙවැන්න, හිස ගිනිගෙන
දැවෙන දැල්ලෙන්
පත්තු කරන් වෙඩි නූල
කැරකුනා
බඹර චක්‍ර

අහස් කූරූ හූස් ගා ගෙන
පිඹගෙන ගොස්
ඩෝං ගාලා පිපිරුනා
මල් වෙඩි වරුසා වැටුනා
අහසක් පිරෙන්න

පෙට්ටියෙන් එලියට
ගෙල දික්කර
ගිනිකූරූ
බලාසිටියා ඒ දෙස
නෙත් අයා

පලි: මම ලියුවේ මේ 31දා රෑ පත්තු කරපු මල් වෙඩි ගැන...