31 October 2013

SORRY තමයි


වැඩිහිටියන්ට වඳින්න , වැඩිහිටියෙක් දුටුවිට අසුනින් නැගිටින්න වගේ පොඩි කාලේ කියලා දෙන ගොඩේ සිරිත් විරිත් ටික කාලෙකින් පුරුද්දෙන් හැලුනත්.... excuse me , sorry , please කීම , කෝප්පයේ අඩියේ manners ටිකක් ඉතිරි කිරීම වගේ පොෂ් ඒවා නම්, පාවිච්චි කලා නොකලා , හිත්  වල ලියවී තියෙනවා  

වරදක් උනොත් එයට සමාව ඉල්ලීමත්  , පොඩි කාලෙම උගන්වන දෙයක් නේ . ඒත්  සමාව ඉල්ලිමේත් නෙක ක්‍රම තියෙනවා  .  විස්තරේ දිගට නොලියා , පොඩි කතා තුනක් ලියන්නම් පසු සටහනුත් එක්ක 


සොරි සිරි 

පලවෙනි කතාව ඉස්සර මා සේවය කල කාර්යාලයේ සිටි කා කා ස කෙනෙක් ගැන , යන්තන් බඩට ඇන්නොත් කිචි කැවෙන  , එවිට සම්භාව්‍ය  වදන් මුවින් නිරායාසයෙන් පිට වෙන ඔහුට ම අපි කියමු සිරි කියා .

ඔහුට තිබුන පුරුද්දක් නිකරුනේ sorry කියවෙන . හැමදාම වගේ ඇසුණු දෙබස් ඇසුරෙන් මෙහෙම තව දුරටත් විස්තර කරන්නම් 
අපි හිතමු  සිරි යනවා කියලා ඡයා පිටපතක් ගන්න (ඒ කිව්වේ ෆොටෝ කොපියක් ගහන්න ). ඉස්සරහට හම්බු වෙනවා රොෂෙල් මිස් . මුණ පාට කරලා , යටට ඇඳලා  කොටට , උඩට ඇඳලා  තදට .(මේවා දැකලා  අපි කොහොමද නිවන් දකින්නේ ?) 

ඔන්න සිරි පටන් ගන්නවා  

sorry මිස් ෆොටෝ කොපියක් ගහන්න ආවේ 

හරි සිරි ගන්න 
 ( පියන ඇර  මුල් පිටපත විදුරුව මත තබා , වසන්නට යත්ම පියන අත  හරි දඩස් ගා හඬ නගමින් පතිත වේ .)
sorry ( ෆොටෝ කොපි යන්ත්‍රයට )
(පිටපත් මුද්‍රණය වෙන කන් ඔහු හොරෙන් රොෂෙල් මිස් ගේ නිරාවරන වූ කලවා  දෙස බලන්නට ගොස් , ඇගේ  නෙත ගැටේ . අතේ මාට්ටුය  )

sorry මිස් , ලාල් නිවාඩු ද  

I don't know සිරි 

පිටපත් ගෙන අවසානයේ ඔහු යන්නට සැරසේ 
sorry මිස් මම ගිහින් එන්නම් 
සිරි මම කියලා තියෙනවනේ හැම තිස්සෙම sorry කියන්න එපා කියලා 
sorry මිස් 
(ඔහු කලබලේට පුටුවක හැපෙයි)
 (පුටුව දෙසට හරි )
sorry

රොෂෙල් මිස් සිනාසේ 

ඉස්සර අපේ දෝනිට , අගේ මව හැම විටම කියලා දෙනවා sorry කියන්න , please කියන්න (අපි වගේ නෙමෙයි , පොඩි එවුන් අපිට වඩා පොෂ් වෙන්න එපා යැ ). එතකොට මට මතකෙට එනවා සිරි ව .

(එකෙත් හැටි ඉස්සර එහෙම කරපු අපි , දැන් උනන්දු වෙන්නේ සිංහල සිරිත් උගන්වන්න ).

දැන් නම් අපේ ගෙදර එහෙම manners  උගන්වන වයසේ කවුරුත් නෑ  . ඒත්  කොහේදී හරි පොඩි එකෙකුට sorry කියන්න කියනවා ඇහුණාම , හිතේ කොනක ඉඳන් සිරි අහිංසක විදියට හිනා වෙනවා .




හොරාට  කලින් කැන 

දවසක් මගේ බොස් මාව  කාමරයට කතා කරලා මෙහෙම කියනවා
“ I am sorry for what I am going to say to you  …”
මෙන්න බොලේ මේ මනුස්සයා සමාව ඉල්ලනවා කරන්න යන වරදකට .

වැරදි , ඒ කියන්නේ වැරදිලා වෙන දේවල් වලට එහෙම කලින් සමාව ඉල්ලන්න පුලුවන්ද ?
එහෙම නම් නොකර ඉන්න එකනේ තියෙන්නේ . නොකළ වරදකට සමාව ඉල්ලීම කෙතරම් logicalද ? 


ඊලඟ   කතාවට පෙර අපි මියුරු ගීතයක් රස විඳිමු . ඔබේ දයාබර ගායක (නෑ  නෑ  ඒ  දයා නෙමෙයි ) දන්චන ආරච්චිලියන ගයන මේ ගීතයට එක් වන්නේ කාංචනා නිවැරදි , රිකිල්ලගස්කඩින් 


නැවතත් කතාවට 

වරදක් කලත් 

මේක නම මට ඇහුනේ රුපවාහිනි නාලිකාවක දේශපාලන සාකච්චාවක (ඔය තියෙන්නේ අකුරු තුනේ හතරේ ඒවා වැහි වැහැල ). මේ අයුරින්ම නොවුනත් , අදහස නම් මෙයමයි 

"....පසු ගිය කාලේ අපේ පක්ෂයෙන් සුළු සුළු වැරදි වුනා . සුළු සුළු මිනි මැරුම් , සුළු අපයෝජන , සුළු සුළු දුෂණ . අපි ඒ වෙනුවෙන් සමාව ඉල්ලා සිටිනවා ..හැබැයි මම කියන්න ඕනේ මේ වගේ දේවල් හෙටත් කා අතිනුත් වෙන්න පුළුවන් ...."

මට එක පාරටම මතක් උනේ , දවසක් 
කික් කික් කික් කික් ගාගෙන නොනවත්වා නලාව නාද කරමින් පිටිපස්සෙන් ආපු ත්‍රී  විලරය , රුං  ගා ගෙන මා රිය පසු කලේ වෙට්ටුවකුත් දමා ගෙන .
එහි රියදුරු මහතා හිස එලියට දමා ඉතා කාරුණික වදනින් මා මෑණියන් ගේ ගුණ සිහි කලා . ඉගිලී යන ත්‍රි රෝද රථයේ පිටුපස ලිය තිබුනා මෙහෙම 

"වරදක් කලත් හිතකින් නොවේ "

28 October 2013

පිස්සු ලාබයි 5- අං common theme

(උපැස් යුවලක් පැළඳ  ගත් , නපුරු ටීචර් කෙනෙක් මෙන් ඔරවා ගෙන සිටින යුවතියක් තිරයේ දිස්වේ)

ආයුබෝවන් ..  අද  සුපුරුදු පරිදි සඳුදා , ඔබ එක වන්නේ තුන්සිය...
(මෙහෙයුම් මැදිරියෙන් , ear piece එක හරහා..."හෝව් හෝව් නංගි ....මාරු කර ගන්න එපා ප්‍රෝග්‍රෑම් එක ..)

සමාවෙන්න , පිස්සු ලාබයි වැඩසටහන සමගින් ...
(ව්‍යාපාර ලෝකයේ ඩෙවිල්  එක ටිකි ටිකි ටිකි ටිකි යතුරු ලියනයක අකුරු වැදෙන  හඬින්  තිරයේ  දිස්වේ ,)

 ඔබේ දයාබර නිවේදක හසන්ත මේ දවස් වල පොඩ්ඩක් හැංගිලා ...සමාවෙන්න , කාර්ය බහුලතාවය නිසා වැඩසටහනට එන්න නොහැකි වී තියෙනවා .....


අද අපේ වැඩ සටහන සමග එක්වන්නේ  තවත් ව්‍යාපාරිකයෙක් . ඔහු අලුත් ම ආරේක ව්‍යාපාරයක් කරන්නෙක් . අපි ඔහුගෙන්ම දැන  ගනිමු ඔහුගේ ව්‍යාපාරය ගැන .
( මෙ මැ : හෝව් හෝව් නංගි  මේක නන්  ස්ටොප් බයිලා නෙමෙයි වචන කඩලා හුස්ම අරන් කතා කරන්න . අනික ඔරවාගෙන ඉන්න එපා ..)

ඔහු නමින් කලාබර දිරියබාහු . ආයුබෝවන් කියලා  පිලිගන්නවා ඔබව
(රුප රාමුව පුළුල් නළලක් ඇති ඔහුගේ සමීප රූපයකට යොමුවෙත්ම , ගීතයක් වාදනය වෙන්න පටන් ගනී )

"ටික වේ න්න නාලා , කොන් ඩේ  කඩා ගෙන , එනවද සුරතලියේ  ඒ ඒ ඒ  .."

මෙ මැ : "cut the sound .  පොඩ්ඩක් ඉන්න technical issue  එකක් sound track මාරු උනා "
(දැන්වීම් තුනකින් පසුව නැවත වැඩසටහනට යොමුවේ )

ඔබ නැවතත් මේ එක්ව සිටින්නේ තුන්සිය , සමාවෙන්න පිස්සු ලාබයි වැඩසටහන් සමගින්

 ඉතින් දිරියබාහු  මහතා , ඔබ අද සාර්ථක ව්‍යාපාරිකයෙක් . කියන්න බලන්න ඔබේ ආරම්භය  ගැන

දිබා  : මම මුලින් ගීත රචකයෙක් , කළා කරුවෙක් . ඊට පස්සේ පොඩි මාර්කටින් වැඩ කළා .පසු ගිය යුධ සමයේ , මම එකතු උනා  අපේ ජ ..

 (නැවතත් හඬ මැකී ගොස් ගීතයක කොටසක් වාදනය වේ ....
පාආආආ ලා අනග රැඟුම් , රාආආආ ජා සමග ඉතින් , ඉන්නට ලැබෙන එකත්, පෙරකළ පිනකි උතුම් .....)

මෙමැ ; අයෙත් track පැන්නා ,  හරි දැන් continue

සමාවෙන්න මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා මෙතන නොසිටින අයගේ නම් ගම් කීමෙන් වලකින්න කියලා

ආ ඒකත්  එහෙමද ...එහෙමනම් මම එකතු උනා කෙනෙක් ගේ දෑත  ශක්තිමත් කරන්න .

මාර්කටින් වැඩ කිව්වේ , වෙළඳ ප්‍රචාරණය පැත්තෙන් ?

නෑ නෑ  ...මේ කඩේ යනවාටත් කියන්නේ මාර්කටිං  කියලා නේද ?

ඔව් එහෙමත් කියනවා . හරි, ඔබ දැන් ඔබේ සහජ හැකියාව සාර්ථක ව්‍යාපාරයක් බවට පරිවර්තනය කරගෙන සිටින්නේ ....කියන්න ඒ ගැන :

මට තේරුම් ගියා ලංකාවේ තේමා  ගීත හරියට අවශ්‍ය වෙනවා කියලා ඉතින් මම ආයතනයක් පටන් ගත්තා  තේමා ගීත ගැන ඉස්‌පෙශල්යිස් ... අං කොමන් තීම්ස් තමයි ඒ ආයතනයේ නම ...

ඔබ ආයතනය කරන්නේ තේමා  ගීත පද රචනය විතරක්ද

නෑ නෑ . පදරචනය , ගායනය , රූප රාමු ඔක්කොම කරනවා . එන්ඩ් ටු එන්ඩ් ප්‍රොඩක්ශන් .

පොඩ්ඩක් විස්තර කරන්න එය

ඒක විස්තර කරනවානං ....

සමාවෙන්න , මදකට  ඔබට බාධා කරනවා , දවසේ පුවත අහල එන්න ...

(මදකට පසු)
අපි නැවතත් එක් වෙනවා වැඩසටහන සමගින්  ..නැවතත් ඔබේ පිළිතුරට , ඔව් කියන්න

කියන්න ඉස්සෙල්ලා , ආයි  කොහේ හරි යන්න තියෙනවද ?

කොහේද , කාටද?

නෑ මං කිව්වේ .....ලැට් එකට , වතුර ටිකක් බොන්න එහෙම, යන්න තියෙනවානම්  එහෙම ගිහිල්ලම එන්න කියලා එක පාර  ...

නෑ නෑ  ඔබ කියන්න

මෙහෙමයි ඔය හැම සින්දුවකම තියෙන්නේ එකම වචන සෙට් එකනේ .ඉතින් ඒවා එහාට මෙහාට ඔබ්බලා ..අපි හදනවා අලුත් සින්දු ..රුප රචනා ගත්තත්  එහෙමයි ..

නියරක් දිගේ යන පොඩි එවුන් ..මුහුදු වෙරළ ...ලයිට් හවුස් එකක් ...උඩරට නැට්ටුවෙක් .. හිනා වෙන ගෑනු ළමයි . ඔය හැම එකේම තියෙන්නේ එකම වගේ ඒවානේ 

ඇත්තමයි ..ඉතින් කියන්න ඔබ මොනවද කරපු නව නිර්මාණ

අපි කලා අර ළඟදී තියෙන රූං  පෙත්තේ සමුළුවට
"රූං  පෙත්ත කැරකෙනවා, කෝම්  පිට්ටු ඉදිවෙනවා , මාමා උඹට සුරංගනා  කතා කියනවා "  කියලා ගීතයක් . එය නිතරම ප්‍රචාරය උනා . ඔබට ඇසෙන්න ඇති එය මම හිතන්නේ 


 පස්සේ අපි කළා මේ වැසිකිලි දස දහසේ "නිදහස් බොග දැමුම"  වැඩසටහනට තේමා ගීතයක් හැටියට
 " තටමන්න නිදහසේ " කියලා ගීයක්  . ඒකත්  ඔබට ලඟදීම  ඇහෙන්න ලැබෙයි .


කතා කරන්න බොහෝ දේ තිබුනත්  අවාසනාවකට වගේ  අපට ලැබී තියෙන කාල සීමාව අවසන් වේ ගෙන යනවා . පළමුවෙන්ම ඔබට ස්තුතිවන්ත වෙනවා මේ වැඩසටහනට සහබාගි වීමට පැමිණියාට .

අනේ ඔබතුමියටත්  , මේ කරගත් කුසළ  කර්මයෙන් මතු උපදින භවයක්  භවයක් පාසා වාසනාවන්ත ජීවිතයක්  ළමා ගන්නවා  ..කාලෙකින් රුපවාහිනි කැමරාවක් ඉස්සෙරහට ආවේ අප්පා  ...වැඩිය කවුරුත් කතාකරන්නේ වත් නෑ  දැන්

ඉතින් එහෙනම් වැඩසටහන අවසන් කරන්න , අපි ආරාධනා කරනවා ඔබට ගීතයක කොටසක් ගායන කරන්න කියලා

මම එහෙනම් මම රචනා කරපු ,  "පාර වහමු ..රේස් පදිමු" වැඩසටහනේ  තේමා  ගීතයෙන් කොටසක් කියන්නම්  ... 

"තා ර දමාලා  , මග ලෙළ දෙනවා , දිලිසි දිලිසි       නංගෝ
පා ර වසාගෙන රේස් පදිමු අපි , හඳ පානේ නංගෝ

පෝෂ්‍ ලම්බෝගිනි  ෆිරාරී
දැක දුරුවේ අපේ බඩගිනී

පා ර වසාගෙන රේස් පදිමු අපි , හඳ පානේ නංගෝ "

 (තිරය කෙමෙන් අඳුරුවී , නාමාවලිය දිග හැරේ )



27 October 2013

Almost හයිකු

සිතක පරිමාව 
තල්මසුන් , ඇතුන් රෑන්  සැරූ
මහා මුහුදු හතකින් පිරි , කඳුළු බිඳකටත්  ඉඩ  තිබු
මගේ හිත
අද
පිටාර ගලයි , නෙත් කොනින්,

අසු කශේරුව බිඳලූ පිදුරු ගස.



At the war memorial
A dark skinned woman

in a placid drape
runs her finger through a line of letters
feeling the scars on the well polished dark slab of granite
....died in service (then a full stop) 

the finger ponders there 


නාමපද හෙවත් මිරිඟුව 
සතුට යනු ක්‍රියා පදයකි 
විරහව මෙන්ම 
ජීවිතය , ආදරය 
ඔබ , මම 
ක්‍රියාපද , මේ හැම  

... කෝ එතකොට නාම පද ?



My self
That was the subject
of the first ever essay I wrote

After a life time of research
I will re write it











20 October 2013

රූන් පෙති සමුළුවට සුභ පැතුම් // best wishes for the CHOGM summit

ඔන්න වැඩේ පටන් ගන්නවලු  කොළඹ .

කැනඩාව , ඉන්දියාව නාවට අපට කම් නැත , නාකි කුමාරයෙක් එන්නේය එංගලන්තයෙන් . (කුමාරයෙක් කිව්වට මොකෝ  මෑන් සීයා  කෙනෙක් නේ .)

රුන් පෙති ගහලා වටරවුම්වල ...අලුත් පාරක් හදලා , පිට පාරෙන්ම එන්න කට්ටියට .

(පෞද්ගලිකව,  මේ මැරිලා , දිරාගිය අධිරාජ්‍යයක මල මිනිය තවම ගෙදර තියාගෙන , මොකක් සමරනවද කියලා මට නම් ප්‍රශ්නයක් ....අපි වගේ නෙමෙයි දන්නා කියන කට්ටියනේ ඕවා තීරණය කරන්නේ , මොකක් හරි ඇති ...හැබැයි පොදු කිව්වට , තමන්ගේ පෞද්ගලික ඇජෙන්ඩා වලට  මුල් තැන කියලයි පෙනෙන්නේ නම් )

හැම දේකටම  තේමා ගීතයක් හදන අපේ රටේ , මේකටත් හැදිලා තේමා ගීතයක් . සුපුරුදු රූප  රාමු recycle සයිකල්  කරලා .(දෑත ශක්තිමත් කරන්න ගිය කලා බර කට්ටියට ඉතින් වැඩක් තියෙන්නත් එපා යැ )

සින්දුව නරක නෑ ....හැබැයි , මම යෝජනා කරනවා මෙන්න මේ  ගීතය , අර රූන්  පෙති theme එකත් එක්ක ගලපලා ....
(තාලය අර දයාරත්න රණතුංගයන්ගේ පරණ පුරුදු ගීතයේ එකම තමයි)



රූන් පෙත්ත කැරකෙනවා
කෝම් පිට්ටු ඉදිවෙනවා
ලොකු මාමා  අපිට
සුරංගනා කතා කියනවා

රූන් පෙත්ත කැරකෙනවා
කෝම් පිට්ටු ඉදිවෙනවා
කොළඹ වටේ කාර් රේස්
රෑට පැදෙනවා

පුංචි පුතේ දැන් දැන් නම් අපේ හිතුත් වෙනස් වෙලා
යුද්දේ ඉවර කාලේ වගේ
සාටකයක් දැකපු සැනේ
ජාතික ආලෙන් හර්දය  පිරී  යන්නේ නෑ
චන්ඩි කථා වලට  එච්චර   චූන් වෙන්නේ නෑ

රූන් පෙත්ත කැරකෙනවා //

සාටකයක් කරේ දමන්  , මැතිවරණයේ කාලේ වගේ
දැන් මාමා  වුනත්
දෙකට නැමී බිම ඉඹින්නේ නෑ
මූන් එක්ක පිල්ලේ එක්ක එච්චර ගේමට යන් නෑ

රූන් පෙත්ත කැරකෙනවා //





19 October 2013

ඉගිලෙන්න අමතක වීම // forgetting to fly

(ඔක්කොම ඉවර උනාට පස්සේ මමයි , මගේ හිතයි දොඩමළු උනා )

ඌ ඉගිල්ලිලා ගියා නේද ?

හ්ම්

රන් කූඩූවේ  දාලා , රස ආහාර කවලා ..අහල නැද්ද ?

ඒ උනාට කපුටෝ කොටලා බිම වැටිලා ඉඳිද්දී , ගෙනත් තුවාලවලට බෙහෙත් දැම්මේ මම . අත්තටු පණ  එනකන් කූඩුවේ  ආරක්ෂාව ඕනේ උනා ..උඹ නෑ  කියනවද ..

කොහෙක් ව කුඩුවේ ඇති කරන්න බෑ ...මම උඹට කොච්චර කිව්වද 

උඹ කියන දේවල් සමහර වෙලාවට මම පිළිගන්න කැමති නෑ , උඹම දන්නවා ඒ බව

හ්ම්.  උඹ කරපු දේ හරි . you did the right thing ..හැබැයි 

හැබැයි?

සාත්තුව වෙලාවට නවත්තන්න ඕනේ ..වෙලාවට උන්ට යන්න දෙන්න ඕනේ පියාඹලා ..නැත්නම් they forget how to fly උන්ට ඉගිලෙන්න අමතක වෙනවා ....

හ්ම්ම් ......

(වතුර වීදුරුවකට , තීන්ත පෑනේ  තුඩ දමා මවන රටා  මෙන් පැතිරේ නිහඬතාවය...)

මොකද උඹ සද්ද නැත්තේ ...මොකක්ද උඹ දැන් ඔය අමුණන , හිතුවිලි මාලය

සමන්තිකා ...

ඔව් මොකද එකී ට වෙලා තියෙන්නේ

එකිගේත් පිහාටු වල තුවාල හොඳ වෙලා ............




පලි :
පාදක උන ඇත්තම කතාව නම් ...අපි පුංචි කාලේ කපුටෝ  කොටලා බිම වැටිච්ච කොහා පැටියෙක් බේරා ගත්තෙමු ... ඌට ලාවුලු කෙසෙල් කවමින් මාස කීපයක් ඇතිකලෙමු . ඇත්තට කියනවානම් ඌට ඉගිලෙන්නටත් පුරුදු කරන්නට උත්සාහ කළෙමු . දිනක් අපි ඌව නිදහස්  කළෙමු ...පේර ගහට ඉගිලී ගිය ඌ අපි දිහා බලා ඉඳ , තාප්පය උඩට ඉගිලුනේය ....පැනපු ගමන් ...කිටීගේ  දඩයම සාර්ථක විය

නිදහස ආකර්ශනීයයි ..එහෙත් විටෙක මරු කැඳවයි

ps:

When  I was about 10 years old we found a Koha chick pecked almost to death by the adopted parents . We took it home and raised it. After many kilo's of fruit and 2 months later he was all grown up.

Freeing it was the right thing to do ...It flew to the Guava tree , then on to the parapet wall , to end it's new found freedom as yet another trophy for the greatest hunter of our backyard ...Kitty , the cat .

Freedom is attractive , yet deadly



17 October 2013

අලි පෙරහැර























මෙතෙක් කථාව  :
වාර්ෂිකව ගමේ පැවැත්වෙන අලි පෙරහැර , මෙවර නොපැවැත්වෙන තැනට වැඩ කටයුතු සිද්ධ වන බවට ආරංචිය ලැව්  ගින්නක් සේ පැතිර ගියේ ගිය සතියේය . අලි පෙරහැරෙන්  තඹ දොයිතුවක ලාබ  ප්‍රයෝජනයක් අපිට නොලැබුනත් මෙය අලි ආරංචියකි . අපිට හප හපා සිටීමට මාතෘකාවකි .

අද එතැන් සිට :
හිමිදිරියේ පුරුදු පරිදි පාන් ගෙඩියක් ගෙනයාමට , බනිසක් කෑමට , පත්තරය බලා තේ කහට එකක් බීමට  හන්දියේ කඩයට රැස්වූ කට්ටිය මේ මාතෘකාව දිග හැර ගෙන , රෝග නිධානය , රෝගයට ප්‍රතිකාර හා වටේ ගොඩේ අනෙක් දේ කතා කරමින් සිටින විට එතනට අප්පුහාමි මාමා පැමිණියේය .

අප්පුහාමි වූ කලි ප්‍රසිද්ධ ඇත්  ගොව්වෙකි . අලි මන්තර කොටි මන්තර දත්තෙකි . කොටින්ම කියනවානම් ගමේ අලි පෙරහරේ කරඬුව ගෙනයන "චාමිකර" හස්ති රාජයාව මග දක්කා  ගෙන යන්නේ ඔහුය

"මුදලාලි ගමුකො වැඩි සීනි  ප්ලේන්ටීයක්   කුරහන් හැලපයකුත් එක්ක " කියමින් ඔහුද පේර  ගහ යට බැංකුවේ වාඩි  විය .

එතැන් සිට සිදුවූ කතා බහ එයුරින්ම පහත දක්වමි

සයිමා ( රැකියාව : දහවලට ඉඳ හිට කුලී වැඩ , රාත්‍රියට සුළු සුළු හොරකම්):  " ඈ මාමේ මොකෝ බං මේ අලි කලබලේ ?"

අප්පුහාමි : "
මෙහෙමයි , ඔය සුජිත් පුතා අලි නාම්බා ඉන්නවා නේද . උඋත් එක්ක හරි කරදරේ . හස්ති රාජයාගේ පිටේ කරඬුව තියෙනවා පේන්න  බෑ  ඇවිත් උගේ ඇඳුමෙන් අදිනවා . තල්ලු කරනවා ..කරඬුව වට්ටන්න හදනවා "


සයිමා ;  "ඉතින් බං  ඌත් කැමති ඇති ඕක  පිට උඩ  තියන් ගෙනියන්න"

අප්පුහාමි :  "ඌට  ඕනේ නම් ඒක  තමයි . ඒත්  එහෙම ආවට ගියාට කරඬුව පිටේ තියන්න පුළුවන් යෑ . සද්දන්ත කුලේ වෙන්න එපා යෑ . හත් තැනක් බිම ගැවෙන්න ඕනේ . කකුල් හතර , හොඩවැල , වලිගය ..
හත් තැනක් .. තේරුනාද සෙනෙහෙ ලතෝ   ?"

අප්පුහාමි සෙනෙහෙලතා දෙස බලා ඇසක් ගැසීය

සෙනෙහෙලතා  (පොත්ත රතු , පිරුණු හැට්ටය , විවාහක ...ඒත් ) : "අනේ මේ යන්න අප්පුහාමි මාමේ යන්න""
ඇය ගස්සාගෙන ඉවතට ගියාය .

උන්ගුවා (කඩේ මුදලාලිගේ බාල කොලු ) කලිසම් කොටය ඔසවමින්
" ඒ උනාට සීයේ   ඒ මහ ඇතා නිකං  ඇතින්න වගේනේ ඇවිදින්නෙත් ඇඹරි ඇඹරි , හිටගන්නෙත් අපේ ලතා අක්කා වගේ "


අප්පුහාමි : වහ කට .. පළ යන්න .. උඹේ පොඩිකමට නෙමෙයි කතන්දර ..පොලවේ ගෑවුම්  නොගෑවුම්  පැත්තකින් තිබ්බ..එහෙම ඇවිද්දට  ඌ සද්දන්ත කුලේ ..

ලැයිසා (පාන් බාගයක් හා කිරිපිටි හැඳි තුනක් ගැනීමට කඩයට ගොඩවූ ) :
ඒ වුනාට ඌ නාකියි නේ මාමේ . ඉතින් අලුත් සතෙක් පිටේ තිබ්බට කමක් නෑනේ පුරුදු වෙන්නත් එක්ක 

අප්පුහාමි : මේ දැරිවි කියන එකේ ඇත්තක්  තියෙනවා . එත් වැඩේ තියෙන්නේ , කරඬුව පිට උද තියන්න හදනකොට අර නාම්බා දුවනවා නේ ගාල කඩාගෙන , කහඹිලියා ගෑවුනා වගේ ..ඉතින් කොහොමෙයි ඒක  කරන්නේ 

සයිමා  : මාමේ එහෙනම් වෙන්නේ අර පන්සලේ හාමුදුරුවෝ කිව්වා වගේ කරඬුව කරත්තෙක තියලා අලි ඔක්කොම බැඳලා  අදින්න "

ලැයිසා ; අනේ අපේ හාමුදුරුවෝ දන්න  අලි පෙරහැරවල් 

උන්ගුවා ' මාමේ මාමේ , නැන්දේ , සීයේ  අර දෙහිවල සත්තු වත්තේ හවස අලි නැටුම් වගේ , අලි ඔක්කොටම වලිග අල්ලාගෙන වටේට වටේට යන්න කිව්වා නම් , හැමෝම සතුටුයි , හැමෝටම හිතෙයි මගේ පස්සේ තමයි අනිත් අලි එන්නේ කියලා..." 

සයිමා : හැහ්  හැහ්  හැහ්   පොඩි එකා ටත් යමක් කමක් තේරෙනවා ..

අප්පුහාමි කිසිවක් නොකියා නැගිට කෝප්පයේ අවසන් තේ උගුර කටට හලා ගත්තේය . හැමදාම කරේ ඇති ගුරු පාට තුවා කෑල්ලෙන් රැවුල පිහිදා ගත්තේය

"අනේ මන්දා  මෙහෙම ගියොත් ඉතින් අප්පුහාමි මාමට තමයි කරඬුව ඔලුව උඩ  තියන් ගෙනියන්න 
වෙන්නේ "
ලැයිසා කිවේ පාන් බාගයත්  ,කිරිපිටි ගොට්ටත් මල්ලට ඔබා ගනිමිනි .

"අම්මප මට හිතුනොත් කොල්ලෝ ටිකකට අලි සුට් අන්දලා කරනවා මේ පෙරහැර ... ඕන් "

ඔහු රැවුල පිරිමදිමින් තුවාය  කරේ දමා ගත්තේය .



පලි: 

පෙරහරේ අලි ගියාට හෙන්ඩුව ඇත්තේ ඇත් ගොව්වා අතේය. මෙය පෙරහැර බලන අපිටද , පෙරහරේ යන අලින්ටද විටක අමතක වේ .

දවල්වම ගොස් හොඳ ඉස්පොට් එකක් අල්ලා ගෙන , රෑ  නිදි මරාගෙන පෙරහැරවල් බලන්නේ ඇයිදැයි හරියටම කිසිවෙකුට නොතේරේ . පෙරහරට පෙර සහ පසු,  අලින්ට නම් කන්නට කිතුල් බඩ  සහ පලතුරු ලැබේ 

එනමුදු පෙරහැරට  අලි උවමනාමය ..නැතිනම් එය අර මොකක්ද එකක්  නැති මෙව්වා එකක් වාගේ වන්නේය  




14 October 2013

ලැජ්ජයි.. ඒත්

සිංහල සින්දුවක් අහමුකෝ කිව්වම , අපි දානවා අමරදේව මාස්ටර්ගේ , එහෙමත් නැත්නම් නන්දා මාලිනි ගේ , වික්ටර්ගේ , සුනිල් එදිරිසිංහගේ ගීතයක් .

කාලයකට ඉස්සර , කලාත්මක කියන තලයේ නොසිටි මුත්  , දැන් මිල්ටන් ලා , ජෝති වගේම රුකාන්තත්  ඇවිල්ලා එතැනට .
ඉතින් කිසි බයක් ලැජ්ජාවක් නැතිව අහන්න පුළුවන් ඔවුන්ගේ ගීතයක් .  ඇස්  දෙක පියා ගෙන රසවිඳින්නත් පුළුවක් කිසිම සංකාවක් නැතිව  .


ඒත්
කාලය : glorious eighties . හැත්තෑවේ මහා ගායකයිනුත්  , අනූව අග බාගයේ භාතිය සන්තුෂ්ලා  දුකාලා කවිය පැකේජ් කරලා, ගැමි flavoured tunes විකුනන්න ගන්නත් අතර මැද  .....

මහරගම youth centre එක එතකොට අලුත් . රේඩියෝ චැනල  දෙකයි . මතකද ඔබට මේ ගායකයින්

චන්ද්‍රලේඛා (පරණ චන්ද්‍රලේඛා), ෂර්ලි ව්‍යෛ ජයන්ත , නාමල් උඩුගම , ප්‍රින්ස් උදයකාන්ත

නන්දා මාලිනිලා පවන ගයද්දී , කපුගේ බර හඬින් , යෞවන හදවත් වල යථාර්වාදී (වගේ) තත් පිරිමදිද්දී . තරුණ සේවා සමිතිය හරහා එලියට එන මේ ගායක ගායකයෝ ගයනවා බොළඳ ප්‍රේමය ගැන . විරහව ගැන හැමදාම කියපු එකම සින්දුව , අප්පිරිය වෙනකන් ..... කැසටුත් විකිනෙනවා උණු ආප්ප වගේ

කැසට් මිලදී නොගත්තට , ලොතරැයි වෙළෙන්දාගේ සිට  පෞද්ගලික බස් හිමියා දක්වා,  බලෙන්ම අපිට ඇස්සෙව්වා මේ ගීත  . ....නන්දන වින්දන වැඩසටහන් වල , දිලිසෙන සිලික් කමිස , ඉස්ට්මන් වර්ණ සුට්  හැඳ, වැඩිය හෙලවෙන්නේ නැතිව ගායකයෝ ගැයුහ මේ ගී





 ලොකු අර්ථයක් නොතියෙන්න ඇති ඒ පද රචනා වල (දවසට සින්දු තිහ හතලිහ ලියු  රචකයොත් හිටියාලු ) . කල් පවතින නාද රටාත් නොතියෙන්න ඇති .

ඒත් දැන් නැවතත් ඒ ගීත අහන කොට, ඒ නාද රට ඔස්සේ හිත යනවා ඈතට ..පරණ නුගේගොඩ හන්දියේ සිරි ....රොටරියට හැරෙන තැන හිටපු ස්වීප් වෙළෙන්දා (ශනි දා වාසනාව ඇද්දේ සිකුරාදා වගේ මතකයි )  ....නාමල් උඩුගම , ප්‍රින්ස් උදයකාන්ත උදේ ඉඳන් රෑ  වෙනකන් සින්දු කියපු ,  පාන් බාගේ වෑන්-බස්...

හැත්තෑවේ අසහාය කළා කරුවෝ වයසට ගිහින් , දෑත  ශක්තිමත් කරන්න එක්  වෙද්දී .... ගැමි ගී ඌරුව හින්දි තාල හා මිශ්‍ර වෙද්දී .....මගේ හිතේ හිර වෙනවා පැනයක් , ඇයි  මේ සිංදු  අහනකොට පොඩි ලැජ්ජාවක් වගේ දැනෙන්නේ ...

13 October 2013

සංකල්ප බෝඩ් එක // Behind the billboard

ජිනේ කාමරයට පැමිණි වහාම  අමුතු යුරියා වැනි ගන්ධයක් පැතිරී ගියේය
"මොකක්ද අප්පා මේ පුසුඹේ " අපේ නහයට දැනුනු එහෙත් හිතේ තද කරගත් හිතිවිල්ල වචන බවට පත් කළේ ගුණේ ය .

"නෑ බන් මං  සංකල්ප බෝඩ් එක පැත්තෙන් ආවේ " ජිනේ හේතු දක්වන්නට විය

සමාවන්න .  අමතක උනා , ඔබ නොදන්නා බව මේ සංකල්ප  බෝඩ් එක ගැන . ..........

ටික දවසකට පෙර ,  අපේ නගරයේ අඩුවක්ව තිබු පොදු වැසිකිලියකට පිඹුරුපත් සැදුනේ , අර ..." එක වැඩක් " ව්‍යපෘතියෙනි .

එහි මුල් අදියර ලෙස , ඒ සංකල්පය ඇතිවුයේ කාටදැයි සැවොටම  දැන  ගැනීම පිණිස මහා බෝඩ් එකක් එම ස්ථානයේ සිටවිනි .

නමුත් එහි පිඹුරු පත් පරික්ෂා කල , පන්සලේ දායක සභාව ඊට විරෝධය පෑවේ ශරීර කෘත්‍ය කිරීමේදී විහාරය දෙසට පසුපස ලා හිඳ  ගැනීමට වන බව පෙන්වා දෙමිනි . පොඩියට පොඩියට බෞද්ධ අයිතිවාසිකම් සඳහා සිවිල් බලවේගයක් ද බිහිවුනි . "බාවන රල " (බර ) නමින් එය නම් කෙරිණි .

අනිත් පසට දොර දැමීමටද නොහැකි වුයේ , මුස්ලිම් පල්ලියක් ඒ දෙසින් ඇති බැවිනි . "තකටතක රළ " සංවිධානය අනෙක් පසින් විවාදයට එක විය .

බා.ර හා  ත.ර ගැටුණි .

ජාතින් අතර සහජීවනය ගැන සලකා බලා වැසිකිලිය ඉදිකිරිම ඇනහිටුනි . එක ගමකට එක වැඩක් නිසා , බෝඩ් එක වෙන තැනක සවි කර , වැසිකිලියක් සෑදීමටද නොහැකිය . එවිට වැඩ දෙකක් වන්නේය .

සංකල්ප බෝඩ් එක එතැනමය. දැන් ඇතැමෙක් ,  එහි පිටුපසට මුවා වී දවස පුරා ඇතිවන සුළු සුළු බරින් නිදහස් වෙති . කොල්ලෝ , හොරෙන් දුමක් අදිති  . නිකරුනේ හැසිරෙන සුනඛයෝ , පස්චාත් ගාතය ඔසවා සංකල්ප බෝඩ් එකටම මුත්‍රා කරන්නෝය .  ඉන්පසු පුරුද්දට වගේ  පසු කකුල් දෙකින් වැලි බොරළු ටිකක් ඒ දෙසට විසි කරන්නෝය .
එහි (සු ?) ගන්ධය දසත පැතිරී යන්නේය .

සංකල්පය ඔහේ තියෙන්නේය

12 October 2013

සිතුවිලි අතර // where the train of thought stops

මම දුම් රිය පොලේ එක කොනක ඉඳන් අනෙක් කොනට ඇවිදගෙන යනවා, නියමිත වෙලාවට ටිකක් කලින් රැස්වීමට යන්න. මේ රැස්වීම ගැන පොඩි චකිතයකුත් හිතේ තියෙනවා .
 අහමු කියලා හිතෙනවා සින්දුවක්........ ෆ්‍රැන්ක් සිනෙට්‍රා ගයනවා " ඔබ සැමවිට මා හිතේ " (You are always on my mind) . 
දුම්රිය පොලේ සෙනඟ නම් ඉතින් අඩුවක් නෑ. ඒත් දවල් හින්දා වැඩිය ඉන්නේ office crowd  එක සහ සංචාරයකයින්. 

මම ඇවිදගෙන යනවා ඉස්සරහට . නිරායාසයෙන්ම වගේ. මගේ මනස පිරෙනවා එක එක චිත්ත රූප වලින් .  මතකයන්ගෙන්  . මුලින්ම මේ රටට ආපු දවස් , පොඩි එකීවත් කරේ තියන් අපි දෙන්න ඇවිදන් ගිය හැටි. වටේට තිබුන විච්චුරණ මැජික් වගෙ බලන් හිටපු හැටි. ඒවා ටික ටික හුරු වෙච්ච හැටි . 

ඊට පස්සේ එනවා උඩට හිතට  වද දෙන ප්‍රශ්න, රෙදි , ලොන්ඩ රියක රෙදි වැලක් වගේ දී, නිමක් නොපෙනෙන , වේලෙන්න වනා තියෙන ..ඒවාට ඇති එක එක විකල්ප විසඳුම් .. 
ඒ පෙල දිගේම හිත දුවනවා කාලේකට ඉස්සෙර හිතට වද දුන්න ප්‍රශ්න වලට...ඒවා විසඳිච්ච හැටි . 

උල්පත පැදුනු ගමන් වගේ මෙහෙම උනා ගෙන ආපු හිතුවිලි එක පාරටම නතර වෙනවා . පිරිච්ච ඔලුව හිස් .
අනන්තයක් සේ දැනෙන නිමේශයක් .සිතුවිලි නැති රික්තකයක් . නිවන් ගියා වගේ .

ඔබටත් දැනී  ඇති මෙවන් මොහොතක් , අනේක වාරයක් .

05 October 2013

පුංචි පුංචි කවි (වගේ ඒවා ) // Seeds of poems


ඉබේම විසිල් ගැසෙන 
ඔලුවේ හිරවූ තාලයක්
ආදරය 


First Impressions :
In floating cotton clouds 
I see
Swans
Dragons
Angels


මාවත කොනේ 
බස් නැවතුම මම 
ගිනි අව්ව දරා හිඳ
සඳ එළියේ , සෙමින් ඉකි ගසන

කපුටු බෙටි මෝස්‌තර,  හිස මත
අනුන්ගේ දැන්වීම්,  ගෙල වටා

මාවත කොනේ
නැවතුම මම
බස් උනත්
ටිකක් ඈතින් නවත්වන
මුහුණ පුළුටු කරගෙන
ඔබ
පාරේ එහා පැත්තට පනින

මගේ කඳුළු , වානේ අංශු අතර හිරවී
අනුන්ගේ කඳුළු වැස්සට තෙමෙන




Salt water
 is the only answer to
most of the life’s troubles

be it tears
be it sweat
Or
be it the waters
of the deep blue ocean
to cleanse your thought sins


පලි :
මේවා මහා ලොකු කවි නොවේ. එහෙ මෙහෙ කොළ කෑලිවල  ලියවුනු පොඩි පොඩි අදහස් .

අපි first impressions හදා ගන්නවා මිනිසුන් ගැන , සංකල්ප ගැන , ලෝකය ගැන .

අපේ ඇහින් දැකලා , අපේ හිත් වල . ඊට පස්සේ අපිට පෙනෙන්නේ වලාකුළු වල ඇති හාවා හැඩය විතරයි . 

ඉස්සර සුභාද්රාරාමයේ පන්ති ගිහින් එනකොට , අපි පහුකරනවා බස් නැවතුමක්. ඒකේ  තහඩු තැන් තැන්  වලින් දිරලා ගිහින් . චන්ද කාලේට  චන්ද දැන්වීම් . නැත්නම් දත් බෙහෙත් , සබන් දැන්වීම්. පුසුඹේ බැරුවා, ලගින් යන්න බෑ.

හතර කොනේ කාක බෝ .


කුඩ ඉහල ගෙන ගෑනු ළමයි අපිට ඉස්සර වෙලා ඇවිදගෙන  යනවා . ඒ ලංවෙන කොට , ඔවුන් නහය වහගෙන පාර එහා පැත්තට  පනිනවා 


ටිකක් දුර ගිහාම හතරමන් හන්දියේ ගරාජ් එකේ ඉන්නවා , අපේ වයසේ වගේ කොල්ලෙක් . පන්ති ඇරෙන වෙලාවට , ඔහු කොළපාට  මයිලෝ ටී  ශර්ට් එකක් ඇඳ  ගෙන පාර  අයිනට වෙලා බලන් ඉන්නවා . ගෑනු ළමයි ආපහු පාර  එහා පැත්තට පනිනවා .

මේ වගේ බස් නැවතුම් හැම තැනම තියෙනවා .


පපලි 
බොහෝ ලොකු  ප්‍රශ්න පොඩි කර ගන්න , හති වැටෙනකන් දිවීමෙන්  , ඔක්කොම අමතක වෙන්න මුහුදේ  ගිලී නෑමෙන් හෝ ඉකි ගසා ඇඩීමෙන් පුළුවන් කියලා වයසත් එක්ක මට තේරුම් ගිහින්