27 December 2017

හැපී ක්‍රිස්ට්මස් සේල් .. දෙයියෝ ලාබයි

නත්තල් දවස හින්දා මුළු  පල්ලියම පිරිලා . මිසිස් සිරිවර්ධන බොහොම අමාරුවෙන් පිටිපස්සේ බංකුවක අයිනේ ඉඩක් හොයා ගත්තා ඉඳ ගන්න . පාස්ටර්ගේ මුණ පෙන්නේ නැති වුනත් ඔලුව උඩම ස්පීකරේ හින්දා කටහඬ නම් ඇහෙනවා ... ක්රීන් ගාන කොට තමයි ටිකක්  අමාරු 

***
එක දිගට සිතිවිල්ලක හිත පවත්වා ගන්නට දැන් සිරිවර්ධන නෝනාට අමාරුයි . මේ ලෙඩේ හැටි 

නිතරම මුළු ඔලුව පුරාම මකුළු දැල් බැඳිලා වගේ ..ඒත්  හිටපු ගමන් කොහෙන්දෝ මතුවෙන හීන් වේදනාවක් වගේ , මතකයක් ඔලුව පුරාම පැතිරෙන්න ගන්නවා 

***

බිත්ති පොඩ්ඩක් හෝදා ගන්නවත් ඕනේ මැටිල්ඩා ව ගෙන්න ගෙන .. මොනවා වුනත් ක්‍රිස්ට්මස් නේ ... ඉස්සර නම් , මිස්ට සිරිවර්ධන ඉන්න කාලේ , හෝදා හෝදා හිටියේ නෑ , පේන්ට් කෝට් දෙකක්ම ගානවා ... හැබැයි අවුරුද්දට ...  ඒ කාලේ ක්‍රිස්ට්මස් නෑනේ අපිට 

මකුළු දැල්  

****
.. ආයෙත් වේදනාව ...

ආ සිරිවර්ධන නෝනා ....  ඔන්න බඩු ගෙනාවා .....

එහෙමයි .. කීයද හාමුදුරුවනේ ගාන 

රුවන්වැල්ල  හාමුදුරු නමක් තමා  කරන්නේ ... තුන් වරුවක් කියපු පිරිත් පැන් බෝතලේ පන්සීයයි ... එතකොට හත්වරුව කියපු එක තියෙනවා අටසීයයි .. ළමයාගේ විභාගෙට කිව්වා නේද ...හොඳම දේ ළමයින්ට නේ නෝනා ...අටසීයක් දෙන්න ... ඔන්න ඔය ටීපෝ එක උඩින් තියන්න .... හා හා තෙරුවන් සරණයි 

****
මකුළු දැල්  ...මකුළු දැල්  

ඔන්න ආයෙත් වේදනාව  ...

උපත්තියෙන්ම මිනිහෙක්ට ආගමක් බෙල්ලේ එල්ලනවා ... ඊට පස්සේ ඒකට මුලුජීවිත කාලේම ප්‍රාණ ඇප  කාරයෙක් වෙනවා ...

මකුළු දැල්  

****
කල්‍යාණි, මේ අලුත් පාස්ටර් කෙනෙක් ඉන්නවා .. හැන්ඩ්සම් යං පාස්ටර් කෙනෙක් .. අන්ධයන්ගේ ඇස් පාදනවලු , කොරුන් ඇවිද්දවනවලු. හරියට හීලින් එහෙමත් කරනවා .. ගෝඩ් එයට කෙලින්ම කතාකරනවලු . යමුද බලන්න ?

මකුළු දැල්  

 ***

ක්රීන් ... ස්පීකරේ විසිල් පාරක් ගහනවා 

"ඔබට සුබ නත්තලක් වේවා .. දෙවියන් වහන්සේ ගේ ආශීර්වාදය වේවා ...මෙතන ඉන්නවා නම් පිළිකා රෝගීන් , අඟහරුවාදා මගේ කැන්සර් හීලින් සර්විස් එකට එන්න , යනකොට සල්ලි ගෙවලා නොම්බරයක් අරන්  යන්න ."

...ආමෙන් ... මිසිස් සිරිවර්ධනට  කියවුනේ ටිකක් සද්දෙට . එහා පැත්තේ ඉන්න තරුණ කපල් එක හැරිලා බැලුවා
"අද මේ නත්තලේ , අපේ ජේසු සමිදුන් ඉපදුනු දවසේ , දෙවියන් වහන්සේ තමන්ගේ පුත්‍රයා , පව්කාර අපේ ගැලවීමට කැප කල දවසේ ...අපි දෙවියන් වහන්සේ වෙත කැප විය යුතුයි ...මම දෙවියන් ගේ නාමයෙන් ඔබට  අණ කර සිටිනවා අපේ මහා පල්ලිය සැදීමේ අරමුදලට ආධාර කරන ලෙස ... තව මිලියන 4ක් විතර අඩුයි වහලේ ගහන්න ...මතක තියා ගන්න 
මුලින්ම ඔබේ ධනය දෙවියන්ට , ඉන්පසු ඔබට .... දෙවියන්ව ප්‍රශ්න කරන්නේ පව්කාරයෝ ... පවින් මිදෙන්න 

මිසිස් සිරිවර්ධන හිමින් සැරේ , පර්ස් එක ඇරියා .. ත්‍රී වීල් එකට තියෙන පනහ විතරයි ... පෙන්ෂන් හම්බු වුනෙත් නෑනේ 
 .. සුසුමක් පිටවුනේ නොදැනීම . අර ජෝඩුව ආයෙත් හැරිලා බැලුවා
මොනවා කරන්නද , සල්ලි නිසාම ජීවිතේ විතරක් නෙමෙයි ස්වර්ග මාවතත් මිස් වෙයිද මන්දා 

***

පේමන්ට් එක මිනිස්සුන්ගෙන් පිරිලා .. එක එක වෙළෙන්දෝ එක එක දේවල් විකුනනවා .. කකුල ඇද ඇද ඇවිදින එක සෙනග ගොඩේ ලේසි නෑ . දෙතුන් දෙනෙක් ඇඟේත් හැප්පුනා .... ඈ ...ඒ මිනිහා මොනවද මේ කියන්නේ  .  එක්කෝ මට එහෙම ඇහුනා වෙන්න ඇති ... මිසිස් සිරිවර්ධන හිමින් සැරේ වෙළෙන්දාට ලංකලා . වටේට මිනිස්සු පිරිලා මොනවා විකුණනවද කියලා පෙන්නේ නෑ .. හැබැයි  සද්දෙට කියන දේ නම් දැන් ඇහෙනවා 

" හැපී ක්‍රිස්ට්මස් සේල් .. දෙයියෝ ලාබයි ... දෙයියෝ ලාබයි ...ක්‍රිස්ට්මස් සේල් "


පලි :
අසනීපයට උදව් කරන , නිසි කලට වැසි ලබා දෙන, අස්වැන්න ලබා දෙන  බහුදේව ආගම් වලින් , සර්ව බලධාරී ඒකීය  දෙවියන් ගැන විශ්වාසයකට සහ  දෙවියන් රහිත දර්ශන වලට මාරුවෙන කොට,  ඇතිවන හිඩැසට රිංගා ගන්නේ සාන්තුවරු . එතනින් පස්සේ හිමින් සැරේ සාන්තුවරුන් ව එතැනින් අයින්කරලා පූජකයෝ හිටගන්නවා අල්තාර්ය මත  . 


බැරිම උනාම තමන්ගේ දුක කියන්න අයෙක් සිටීම සමාජ අවශ්‍යතාවයක් එක අතකින් . අනෙක් අතට දුකම කලත්ත කලත්ත පීඩිත ත්‍රිල් එකක් ගන්නත් ඒ සංස්ථා/ ආයතන මරු . ඒකත් වැරදි  නෑ . ඔබ කැමති දෙවියෙක් ඇදහීමේ අයිතිය සහ ඒ වෙනුවෙන් පෙනී සිටීමේ අයිතිය ඔබ සතුයි 

ඒත් මෙහෙම මිනිස්සුන්ව මානසිකව වට්ටන, මිනිස්සුන්ව තමන්ගේ හිත්  අස්සෙම ලජ්ජා කරවන , බය පාවිච්චි කරලා මිනිස්සුන්ව අඩපන කරවන , මිනිස්සුන්ගේ ජීවිත, සිත්  ප්‍රාණ ඇපයට අරන්  කෝටි  ගණන් හම්බු කරන නයි තෙල් බෙහෙත් කාරයින්  නම් ..

 මිසිස් සිරිවර්ධනලා ,  පව් ඕයි..

21 December 2017

වචන , කෆ්කා සහ මනස්ගාත

ජීවිතය කතාවක් ..කතාවක් කොච්චර දිගද ....කෆ්කා කියවලා තියෙනවද 

එක කතාවක් කෆ්කා ලියනවා මෙහෙම 

For we are like tree trunks in the snow. In appearance, they lie sleekly, and a little push should be enough to set them rolling. No, it can not be done, for they are firmly wedded to the ground. But, see, even that is the only appearance


මුළු ක්තාවම එච්චරයි . වචනය වචනය ගාව නැවතී නැවතී හිතන්න වෙනවා. මේ තරමට කතාවක් හිඳින්න , කොච්චර හිතන්න ඕනේද ?


ස්වේත හිම 
බිම් හිටවූ 
තැනින් තැන
ඉණි 
 වැනි 
අපි 
පිපි මල් , ලූ  දළු 
සේයාවක්වත් 
නැති 
සුසුමකින් 
වුව 
පෙරළෙන 
සේ පෙනෙන 
...ඒත්
මිහි ගැබට  කිඳී 
මහ මුල් 
බදා පස් 
කඳුලින් පෙඟි
මාරුතයකින්වත් 
සසල නොහි ......

සේ 
පෙනෙන 

19 December 2017

මා හා ඔබ

මා
කියා
පටන් ගත්
ඔබ කියා
නිමා කළ
ඔබ
කියා පටන් ගෙන
මා කියා නිමා කළ
වචන අද්ද අද්දා ලියු
හැම කවක් අතරමැද
අපි  කථා කර ඇත්තේ
විසංයුත
ලොවක්  ගැන

Every poem
that started with I
and ended with you
or with You and I
in the middle of staggering
wordsteps.
Sentences.
have ended up
writing about
everything but
us

***


14 December 2017

සීනි නැති සීනි වැඩි ප්ලේන් ටී සහ හකුරු නැතිව , හකුරුයි කහටයි

මෙය කිහිප විටක් අසා ඇති විහිළුවකි . අපිට ගැලපෙන ලෙස වෙනස් කරන්නම් . තේ කඩයකට පැමිණි මිනිසෙක් හා වේටර් අතර කතා බහකි 

අයිසේ සීනි වැඩි ප්ලන්ටි එකක් ගේනවා මට , සීනි නැතිව 

සීනි වැඩි ප්ලෙන් ටී නම් නැහැ....සර් දැක්කේ නැද්ද බෝඩ් එක , හකුරු එක්ක කහට බොමු කියලා තියෙන .. . හකුරු නැතිව ප්ලේන්ටී එකක් ගේන්නද  ?

දැන් මෙතන තියෙන ප්‍රශ්නය සීනි නැති සීනි වැඩි ප්ලේන් ටී එකයි , හකුරු නැති , හකුරු එක්ක කහට එකයි දෙකම එකද කියන එකයි .

සීනි වැඩි ප්ලේන් ටී සහ හකුරුයි කහටයි ටාගට් මාකට් එක වෙනස්ය . ඒ නිසාම ඒ දෙක සඳහා ගෙවිය යුතු මිලද වෙනස්ය .  අවසන කස්ටමයිස් කරන ලද තේ එකට ගෙවන මිලද ඒ නිසාම වෙනස් වේ .

ඒත් සමාජය දියවැඩියා  රෝගයෙන් පෙළෙයි නම් , හැමදා බොන්නට වෙන්නේ කහටය 

07 December 2017

බය නැති අගමැති සහ ගෝතා බය (ඔබට මතක නැති උනාට ..)

සති කිහිපයකට පෙර කොළඹ තාප්ප පුරා ඇලවුණේ බය නැති අගමැති පෝස්ටරයයි .  නවතම පෝස්ටර ව්‍යාපාරයෙන් මිනිස්සුන්ගෙන් අහන්නේ ගෝතා බය මතකද කියාය . මේ දෙකම ඩිසයින්  වෙන්නේ , මුද්‍රණය වෙන්නේ එකම තැනකින් යයි නොකියමි . එසේ නොවේ යයි ද නොකියමි .

ගෝතා  බය මිනිස්සුන්ට මතක තිබුන නිසාවෙනි , ආණ්ඩු මාරුවක් වෙන්නේ . ඒ බව කෙනෙකුට අමතක වී ඇත . ගෝතා  බය නැවත කිසිම දිනයක ඇති නොවෙන ලෙස සිස්ටම් එක මාරු කිරීමටය කෙනෙක් බලය ඉල්ලුවේ . එයද කෙනෙකුට අමතක වී ඇත . ඇමති වරුන්ගේ වාහන පරිපුරකය මෙන්ම පාස් කර ගන්න මෙන්ම, මේ සිස්ටම් එක මාරු කිරීමට අවශ්‍ය පාර්ලිමේන්තු බලයද ආණ්ඩුවට  ඇති බවද කෙනෙකුට අමතක වී ඇත . ටුකුස් ගාලා අහෝසි කරනවා කියා ස්ටේජ් උඩ මොර  ගැහුවද , තවම විධායක ජනති තමන් බවද තවත් අයෙකුට අමතක වී ඇත .  බැඳුම්කර හෙළුව , පුට් නෝට්  ආදී විවිධ උපක්‍රම වලින් වහ ගන්නට ගොස් බැරි වී සරම ඔසවා මුහුණ වහගෙන ඉන්නා අයටද උන් හෙළුවෙන් බව අමතක වී ඇත . ඔහුගේ හෙලුවට හිනා වෙන අනේකාට  අමතක වී ඇත්තේ අරූ රෙද්ද උස්සා ඇත්තේ තමන්ට බවය 

ගෝටා සාර්ථක වුයේ , එක්තරා සිස්ටම් එකක  පසුබිමේය . ඒ කාලේ කොළඹ මල් පෝච්චි , වොකින් පාත් ලස්සනයි සුදු වෑන්  කැතයි කියන්නට පෙර , මල් පෝච්චි හා සුදු වෑන් අතර සම්බන්ධයක් තිබුනේ දැයි සිතා බැලීමට සිදුවේ . අනෙක්  අතට ඒ තිබුන සිස්ටම් එකේ ආණ්ඩුවක් තව කාලෙකට ලංකාවේ බිහි නොවෙනු ඇත . එවන් තත්වයක් යටතේ , අදේශපාලිනික ගෝටා ආවත් කොච්චර දෙයක් කරන්නට හැකිදැයි සිතේ .

 මිනික්බිති ලියන්නේ  ඕපපාතිකව ඇතිවී නැතිවෙන සිතුවිලි කිහිපයක් ඔස්සේ ලියවුනු එකිනෙකට සම්බන්ධයක් නැති වාක්‍ය කිහිපයකි .

මහින්ද , රනිල් අඹ යාළුකම ගොයින් ස්ට්‍රොන්ග් වගේය . සිරිකොත ඉස්සරහ පාරේ තාර දමා , ගල්රෝලක් නවත්තා රනිල් ගේ අනාගතය රැක ගත්තාද මතකය . රනිල් කියන්නේ මොනවා උනත් කළගුණ දන්නා මනුස්සයෙකි .

නෝන්ඩි  වෙන්න ඉස්සරහට එන අය  අතර  බය නැති එවුන් විතරක් නොව ලජ්ජා නැති එවුන්ද සිටිති.  
සෝඩා විතරක් නොව , දෙකන් රත්වෙන ජින්ජර් බියර් පවා  කල් ගිය විට රැස් යයි . රැස් ගිය විට ඉතිරි වන්නේ , ලාවට රසය දැනෙන , පැණි බීමකි 

මිනිසුන් වර්ග දෙකකි . දෙවියන් විසින් මිනිසා මැවුවා යයි විශ්වාස්කරනවුන් හා මිනිසා විසින් දෙවියන් මැවුවා යයි විශ්වාස කරන උන් සිටින්නාක් මෙන්ම වෙනස් දේශපාලකයන් තෝරා ගැනීමෙන් සිස්ටම් එක වෙනස් වේ යයි සිතන්නොද    , සිස්ටම් එක වෙනස් කිරීමෙන් වෙනස් දේශපාලකයන් බිහිවෙයි යයි සිතන්නොද  වෙති .

පෝස්ටර් දෙක නැවත මතක් වේ . කියන්නට බොහෝ සිතට නැගේ . ඒත් සමහර වෙලාවට කට පරිස්සම් කරගෙන " කිව්වා කියලා හිතා ගනින් " කීම අදහස මනාව සන්නිවේදනය කරන්නේය